පැමිණීමට අපේක්ෂිත විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්
Posted on January 26th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.01.26 දින උපදෙස් ලබා දුන්නේය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍යතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

ඒ අනුව මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍ය අවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙසේ පැමිණෙන ශ්‍රමිකයන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබදවද ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මේ දක්වා එම ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමේ ගුවන් පහසුකම් සැලසූ බව ශ්‍රිලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවැසීය.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් එස්.අරුමෛයිනායගම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ, ශ්‍රිලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහත්වරු එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress