බෞද්ධ ජනරජ ප්‍රවාදය – 1 වැනි කොටස- රාජ්‍යය යනු කුමක් ද?
Posted on January 26th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

රාජ්‍යයක් යනු යම් දේශ සීමාවකින් මායිම් කෙරෙන හුදු භූමියක් පමණක් නොවේ. එම භූමිය ද, එම භූමිය මත සහ භූමිය තුළ ඇති සියලු ස්වභාවික භෞතික සම්පත් ද, එය වසා පැතිරුණු වා තලය ද, භූමිය ඇසුරෙහි සාගරයක් වේ නම් ඒ හා සබැඳි සියළු ස්වභාවික සම්පත් ද, මේ මහා පරිසර පද්ධතියෙහි ම කොටසක් වන මානව සම්පත ද රාජ්‍යයේ එක් කොටසක් නියෝජනය කරයි.

රාජ්‍යය යනු මිනිසා ඇතුළු මේ සියළු ස්වභාවික සම්පත්වල එකතුව පමණක් ද නොවේ. එම භූමියේ විසූ සහ වසන මිනිසා විසින් කළ සහ කරනු ලබන භෞතික සහ භෞතික නොවන නිර්මාණ සියල්ල ද රාජ්‍යයට ඇතුළත් වේ. එ ලෙස මිනිසා විසින් කරන ලද ඒ නිර්මාණ සියල්ල ඇතුළත් සමස්තයට අපි සංස්කෘතිය යැයි කියමු.

මිනිසා යනු එක් අතෙකින් ස්වභාව ධර්මයේ කොටසකි. තවත් අතෙකින් ඔහු තමන් විසින් ගොඩ නංවනු ලැබූ සංස්කෘතියේ නිර්මාණයකි. එහෙයින් කිසියම් රාජ්‍යයකට අයත් මිනිසා එක් පසෙකින් එහි ස්වභාව ධර්මයට අයත් වන අතර ම තවත් පසෙකින් ඔහු විසින් නිර්මාණය කරන ලද සංස්කෘතික ලෝකයට ද අයත් වෙයි.

(ගෘහාශ්‍රිතව වසන සහ හීලෑ කරන ලද අනෙකුත් සත්ත්වයෝ ද මිනිසා විසින් උරුම කර දෙන ලද ඇතැම් සංස්කෘතික පුරුදු අනුව හැඩ ගැසී සිටිති. කෙසේ වුව ද, මිනිසා නොමැති නම් එම සතුනට එවැනි පුරුදු උරුම කරගැනීමේ ඉඩක් නොමැත.)

වර්තමානයේ අප භාවිත කරනු ලබන පරිගණකය ආශ්‍රයෙන් ද මෙම කාරණය පැහැදිළි කර දිය හැකි ය. දෘඪාංගවල සහ මෘදුකාංගවල එකතුවක් ලෙසින් පරිගණකයක් සැකසෙයි. සියලු දෘඩාංග තිබුණු පමණින් එය පරිගණකයක් වන්නේ නැත. මූලිකව ම එයට මෙහෙයුම් පද්ධතියක් (ඔපරේෂන් සිස්ටම් එකක්) තිබිය යුතු ය. එයට අමතරව, තවත් භාවිත මෘදුකාංග ඇතුළත් කරවීමෙන් එය අංගසම්පූර්ණ බවට පත් කෙරෙයි.

රාජ්‍යයකට හිමි භූමිය ඇතුළු සියලු ස්වභාවික සම්පත් පරිගණකයේ දෘඩාංග වැනි වේ. ඒ හා බැඳුණු මූලික පොදු සංස්කෘතිය එහි මෙහෙයුම් පද්ධතිය වැනි ය. එම සංස්කෘතිය මත ක්‍රියාත්මක පුද්ගල ක්‍රියාකාරකම්, ලොකු – කුඩා සියලු ආයතන සහ ඒවා අතර පවතින සබඳතා අනෙකුත් භාවිත මෘදුකාංග වැනි ය.

සැබැවින් ම, රාජ්‍යයක් යනු පරිගණකයේ සීමාව ඉක්මවා පැහැදිළි කරගත යුතු දෙයක් වේ. රාජ්‍යයක වසන ජනයා එයට අයත් භූමිය ඇතුළු ස්වභාවික සම්පත් සමඟත් එහි සහ එයින් බාහිරව වසන මිනිසුන් සමඟත් විවිධ වූ සබඳතා පවත්වති. මෙම සබඳතා යහපත් හෝ අයහපත් හෝ ඒවා විය හැකි ය. ඒවායෙහි යහපත් බව සහ අයහපත් බව තීරණය කරන්නේ ද සංස්කෘතිය විසිනි. මේ සඳහා භාවිතා කරන නිර්ණායක සංස්කෘතික ඇගැයීම්වලින් හැඩ ගැසෙයි.

තමන්ට ප්‍රිය වූ අනෙකුත් මිනිසුන්ට මෙන් ම බිමට ද, ගහ කොළට ද, සතා සීපාවට ද මිනිස්සු ආදරය කරති. එ මෙන් ම, මිනිස්සු තමන්ගේ උරුමය සමඟ ද බැඳී සිටිති. මෙම සියලු ආකාරයේ බැඳීම්වල ප්‍රමාණය සහ වටිනාකම් භෞතික මිනුම් දඬුවලින් නිර්ණය කළ නොහැකි ය. එහෙයින් භෞතික නිර්ණායකවලින් පමණක් රාජ්‍යයක් හඳුනා ගැනීමට උත්සුක වීම නිෂ්ඵල කාර්යයකි.

මිනිසුන් යනු හුදකලාව එකිනෙකාගෙන් වෙන්ව වසන සත්ත්ව කොට්ඨාශයක් නොවේ. පවුල් වශයෙන් ද, කුඩා කණ්ඩායම් වශයෙන් ද, ජනවාර්ගික සහ ආගමික සමූහ වශයෙන් ද මිනිස්සු එක් වී සිටිති. මිනිස්සු එකිනෙකා හා සන්නිවේදනය කර ගනිති. ඒ සඳහා ඔවුහු පොදු භාෂාවක් යොදා ගනිති. මිනිසුන් එක් වී සිටින්නේ කිසිදු ගැටලුවක්, භේදයක් නැති අයුරින් නොවේ. යම් යම් කරුණු මත පදනම් වී මිනිස්සු නිතර ම ආරවුල් ඇති කර ගනිති.

කෙසේ වුව ද, අවසානයේ මිනිසුන් පොදුවේ එකතු කරන සහ ඔවුන්ව ඔවුන් විසින් සාදා ගන්නා ලද රාජ්‍යයට බැඳ තබන තීරක සාධකය වනුයේ එම භූමියේ පොදු සංස්කෘතිය ය.

ආධිපත්‍යයක් නැති භූමියක රාජ්‍යයක් බිහිවන්නේ නැත. භෞතික මෙන් ම භෞතික නොවන මාධ්‍යවලින් එම ආධිපත්‍යය ක්‍රියාත්මක කරනු ලැබෙයි. මෙම ආධිපත්‍යය බලය දීර්ඝ කාලීන ව පවත්වා ගත හැකි වනුයේ ඒ සඳහා ලැබෙන පොදු සංස්කෘතික එකඟතාව තුළ ය. එ බඳු පොදු සංස්කෘතික එකඟතාවක් නොමැතිව ක්‍රියාත්මක කරනු ලබන බලහත්කාරකම් කෙටි කාලයක් තුළ බිඳ වැටෙයි.

එහෙයින් රාජ්‍යයේ පැවැත්ම සඳහා සංස්කෘතියේ මූලික බව අපි අවබෝධ කරගත යුතු වන්නෙමු. සංස්කෘතියකින් තොරව, සංස්කෘතික ආධිපත්‍යයකින් තොරව රාජ්‍යයකට පැවැත්මක් නොමැත. ශ්‍රී ලංකාව යනු සිංහල – බෞද්ධ සභ්‍යත්වය මත ගොඩ නැගුණු රාජ්‍යයකි. එ මෙන් ම, මෙම රාජ්‍යයෙහි මූලික පොදු සාධකය වන්නේ සිංහල – බෞද්ධ සංස්කෘතිය ය. බෞද්ධ ජනරජ ප්‍රවාදය” නම් මෙම ලිපි පෙළ එම අවබෝධය මත ලියැවෙයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress