රූමස්සල සංවේදී පාරිසරික කලාපය හරහා අඩි 20 පුලුල් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අපගේ පැමිණිල්ල.
Posted on January 31st, 2021

කීර්ති හේවාගොඩ

–  ගරු ජනාධිපති ලේකම් කාර්යාලය 
—  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
–   වෙරල සංරක්ෂණ සහ වෙරල සම්පත් කලමනාකරන දෙපාර්තමේන්තුව
—වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  වෙතට, 

රූමස්සල සංවේදී   පාරිසරික කලාපය හරහා අඩි 20 පුලුල් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අපගේ පැමිණිල්ල. 
—————————————————————–
ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රූමස්සල යනු පාරිසරික ව ,භූ- විද්‍යාත්මකව සහ එතිහාසිකව ඉතා වැදගත් භූමියකි.

එහෙත්  මේ වන විට උණවටුන වැල්ල දේවාලය අයත් යද්දෙහිමුල්ල  සිට රූමස්සල බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි පීල්ල හන්දිය දක්වා අඩි 20 ක් පමණ පළලින් යුතු රථ වාහන ගමන් කල හැකි කාපට් මාර්ගයක් තැනීමට යන්නේ රූමස්සල විනාශයට මං පෙත් විවර කරමිනි. .

මෙම මාර්ගය උණවටුනේ විශාලතම   හෝටල් ව්‍යාපාරකයෙකු සහ පිරිසකගේ උවමනාව මත යෝජනා වූ  අතර, එය හබරාදුව ප්‍රාදේශීය සභාව විසින් සම්මත කර හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ට ඉදිරිපත් කර තිබේ. එම ප්‍රාදේශීය ලේකම් ගේ මැනුම් ඉල්ලුම්  අංක 05/HAB/ LAN /5 (පොදු- 1292) ලිපිය   මත ගාල්ල මිනින්දෝරු දෙපාර්තමේන්තු කාර්යාලය විසින් මිනුම් කටයුතු සිදු කරනු ලැබූ අතර අනුරේඛණ අංක GA/ HBR/ 2019/895 යටතේ සිතියම් ගත කර තිබේ. 

මීට අමතරව වර්ෂ 2020 ඔක්තෝබර් මස 08 දාතම , අංක 95/ HAB /LAN/08/137B/2- 04  දරණ ලිපිය මගින් හබරාදුව ප්‍රාදේශීය ලේකම් තුමිය විසින්  මධ්‍යම පරිසර අධිකාරියේ  දකුණු පලාත් අධ්‍යක්ෂ තුමා ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත. 

එහෙත් මෙම යෝජිත මාර්ගයේ, රූමස්සල බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි භූ ඛණ්ඩාංක 6. 0149 N /  80. 2375 E ඇති ගල්හේන දිය පහර සහ  6.0166 N/ 80. 2373 E පිහිටි පීල්ල හන්දිය අතර ඇති ආසන්න වශයෙන් මීටර 200 පමණ වන කොටස මේ වන විට ඇත්තේ සංවේදී වන ගහණය අතරින් දිවෙන අඩි පාරක් ලෙසයි.  

එමෙන්ම මෙම  මාර්ග කොටස දිවෙන්නේ,   වර්ෂ 1937 අංක 2,  සිට වර්ෂ 1993 අංක 43 ආදී සංශෝධන ද ඇතුලත් වන සත්ත්ව සහ වෘක්‍ෂලතා ආඥා පනත්  ( FPPO)  වලට අනුකූලව වර්ෂ 2002 දෙසැම්බර් 03 දින අංක 1269 /25 දරණ අති විශේෂ   ගැසට් නිවේදනය  මගින්   නම් කරන ලද ” රූමස්සල සමුද්‍ර සහ ගොඩබිම අභයභූමියේ ”  මායිම ට ස්පර්ශව එයට සමාන්තර පථයක වෙයි. (Rumassala Sanctuary )

රාම -රාවණා කථා පුවත ආදී සාහිත්‍යයන් ට සබැදී වද ,  කෝට්ටේ යුගයේ රචිත කොවුල් සන්දේශයේ ද වර්ණනාව ට ලක්ව, විවිධ  පෞරාණික සහ මධ්‍ය කාලීන නාවික සහ සාහිත්‍ය වාර්තා වල උණවටුන සහ රූමස්සල  ගැන සදහන්ය. එදා රූමස්සල අපූර්ව දසුනෙන් වශීකෘත වූ පෘතුගීසීන් එය “සුන්දර දසුන”හෙවත් Buona vista ලෙස නම් කලෝය. පසුකලෙක එය ඇන්ග්ලිකන් උරුවට Bonavista ”  බොනවිස්ටා” ලෙස උච්චාරණය ට ගැණින. 

 දකුණු දිග මුහුදු තීරය ආශ්‍රිත ජනතාවගේ ජනශ්රැති සහ ඇදහීම් වලට  සබැදී වූ රූමස්සල එතිහාසික සහ මානව විද්‍යාත්මක වටිනාකම අති මහත්ය.  වැල්ල දේවාලය ආදී පෞරාණික පුද බිම් වලට අනූරූපව පුරා විද්‍යාත්මක ව වැදගත් වේ. මේකී මානව සහ පුරා විද්‍යා සාධක සමස්තය මෙරට ස්වදේශිකයන් ගේ භෞමික අනන්‍යතාව සංරක්ෂණයේ ලා වැදගත් වන බව පැවැසිය යුතුය.

රූමස්සල භූ විද්‍යා සුවිශේෂී බව ආතර් සී ක්ලාර්ක් ආදී විද්‍යාඥයින් ගේද අවධානයට ලක් වූවකි. ලංකා භූමි  පදනමේ 90%  ප්‍රාග් කේම්බ්රීය පාෂාණ සම්භවය ඇත. රූමස්සල  ඇති   ආග්නේය සහ අවසාදිත පාෂාණ සුවිශේෂී  විපරිතකරණයට ලක්ව විවිධ පාෂාණ ප්රභේද සතුය. ඒ අතර යකඩ මූලද්‍රව්‍ය අධි ප්‍රතිශතයෙන් සංඝටක වූ පාෂාණ ඵලක (plates ) දක්නට ලැබීම විශේෂත්වයකි. ඉහත කී මාර්ගය කැපී යන්නේ එවන් විවිධ වූ පාෂාණ අයත් බිම් කොටසකට දැඩි භෞතික හානියක් කරමිනි.

රූමස්සල  ආශ්‍රිත ගොඩබිම් සහ සමුද්‍ර පාරිසරික පද්ධතීන් ඉතා ඉහල ජෛව විවිධත්වයක් යුතුය . මෙහි මුහුදු වෙරල, කොරල් පර ,වගුරු සහ දිය පහර ආශ්‍රිත ජලජ පාරිසරික පද්ධතියන්ද ,  ගල්පර සහ බෑවුම් ආශ්‍රිත ගොඩබිම් පාරිසරික පද්ධතිද දක්නට ලැබේ.  එවන්  සංයුක්ත  පාරිසරික පද්ධති විවිධත්වය සහ සංකලනය    නිසා ඊට අනුරූප ජෛව විශේෂ වල විවිධත්වයද අධික වේ.  (Diversity of biotic species due to  eco system diversity  and  integration  ) .

රූමස්සල  බොනවිස්ටා කොරල් පරය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් වැඩිම කොරල් පරයයි. මේ කොරල් පරය සහ ඒ ආශ්‍රිතව ජීවත් වන මසුන් විශේෂ ගණන 500 කට අධික වන අතර එයින් විශේෂ 350 ක්ම කොරල් මසුන් වෙති. ලංකාවේ වෙරල ආශ්‍රිතව වෙසෙන පනාවන්  (Chaetodon) මත්ස්‍ය විශේෂ 36 න් 25 ක්ම රූමස්සල ආශ්‍රිත ව වෙසෙති.  ලංකාවේ කොරල් පරයක වාර්තා වූ වැඩිම මත්ස්‍ය විවිධත්වය වන ඝණ අඩි 189 කට මත්ස්‍ය විශේෂ 497 ක් පමණ වාර්තා වූයේ මෙහිය.

මීට අමතරව මේ කොරල් පරය වාසස්ථානය (habitat ) කොට ගත් මෘද්වංගීන්, සන්ධිපාදිකයන්, ශල්‍යචර්මීන් (echinoderms) ආදී අපෘෂ්ඨවංශී  සත්ත්ව විශේෂ දහස් ගණනක් ද ,ඇල්ගා විශේෂ සහ ක්ෂුද්‍ර ජීවි විශේෂද වෙති. මේ රූමස්සල බොනවිස්ටා කොරල් පරයේ ඒකක ඝන වපරිසරයක් තුල ඇති ජෛව විවිධත්වය සිංහරාජ වැසි වනාන්තරයේ එම ඉඩ ප්‍රමාණයේ ම  ඇති ජෛව විවිධත්වය ට වඩා වැඩි බව පැවසේ. ඇත්තවශයෙන්ම, කොරල් පර යනු මුහුදේ ඇති වැසි වනාන්තරයි.

රූමස්සල පක්ෂීන් විශේෂ 80 ක් සහ සමනල් විශේෂ 75 පමණ වාර්තා වී ඇත. දශක තුනකට පමණ පෙර වරින් වර අප කල ක්ෂේත්‍ර චාරිකා තුල මිමින්නන්, උරගයින්, මිරිදිය මත්ස්‍ය විශේෂ සහ උභය ජිවී විශේෂ දක්නට ලැබුනද කාලාන්තරයක් තුල රූමස්සල සිදුවූ   ජනාවාසකරණය ,රසායනික, ශබ්ද සහ ආලෝක දූෂණය නිසා එම සතුන්ගේ වාසස්ථාන අහිමි වීම සහ ආහාර දාම කැඩි යාම හේතුවෙන් ඔවුනගේ නිකේතන (niches) බිද වැටී මේ වන විට එම සතුන් රූමස්සලින් තුරන්ව ගොසිනි. කලකට ඉහත   කන්දේ හෙක්ටයාර 150 ක පමණ පැතිර තිබූ වන ගහනය (forest cover ) මේ වන විට තැනින් තැන කැබලි වූ (fragmented ) කැලෑ කුට්ටි සහ තීරු  බවට පත්ව තිබේ.   ඒවායේ සමස්ත වන ආවරණය හෙක්ටයාර 20 පමණ වන බව පෙනේ.  රූමස්සල මාර්ගයක් ඉදිකරන්නට යන්නේ එසේ දැනට  ඉතිරිව ඇති ,ගල්හෙනට උතුරින් වූ ගල්පර කැලෑව සහිත කොටසත්, ගලහෙන දිය පහර මුහුදට වැටෙන කොටස ආශ්‍රිත  වෙරලාශ්රීත වන බිම් කඩත් වෙන් කරමින් සතුන්ගේ වන මං කඩක් ද ( wild crossing / jungle corridor ) විනාශ  කරමිනි. 

මෙම ගලහේන යනු මුහුදු මට්ටමේ සිට මීටර 30 උසින් ඇති කුඩා ද්‍රෝණියකි.     උන්නතාංශය මීටර 80 කට මදක් වැඩි වන රූමස්සල උසම ස්ථානය වන  කුලුණු කන්දේ සිට  එන දිය පහර මේ හරහා ගලා එයි . අතර මගදී මේ දිය පහර අක්කර 7 ක් පමණ වූ ගලහේන  ගොහොරු බිම ඔස්සේ  ඓන්ද්රීය පාදර්ථ ද ගෙන මුහුදට වැටෙයි. මෙසේ ගෙන එන ඓන්ද්රීය ද්‍රව්‍ය නොගැඹුරු මුහුදේ කොරල් පර ආශ්‍රිත ජෛව ප්‍රජාවට පෝෂ්‍ය පදාර්ථ ලෙස වැදගත් වේ.  අඩි 20 මාර්ගය තැනීමේදී මෙම දිය පහර ට හානී වන අතර, ඒ ආශ්‍රිත ගොඩබිම, මිරිදිය සහ කරදිය ජෛව ප්‍රජාව විනාශ වීමට හේතු කාරක වේ.

ගලහේන ද්‍රෝණය සහ කුලුනු කන්ද ආදී මුදුන් ආශ්‍රිත වූ වනාන්තරය හායනය වීමට පෙර කාලයේ මේ ගලහේන දිය පහර ගැමියන් විසින් ඖෂධීය ගුණයෙන් යුතු  දිය පහරක් ලෙස සැලකූ අතර එයින් ස්නානය කිරීම මගින් ලෙඩ රෝග සුව කල ගත හැකි බවට ඔවුන් විශ්වාස කලෝය. මේ දිය පහර අමිල සම්පතකි.

රූමස්සල ගොඩබිම් පාරිසරික පද්ධතිය තුල ලංකාවේ ඇති වනාන්තර දර්ශ කිහිපයක් දක්නට ලැබේ.  ලංකාවේ සමුද්‍ර ආශ්‍රිත එකම නීවර්තන වැසි වනාන්තරය සහ ගල් පර ආශ්‍රිත දිය ඇලි තිබුනේ රූමස්සල ය. නමුත් මේ වන විට කන්දේ නැගෙනහිර බෑවුමේ මුහුදු සුලං මුවාවේ තිබූ එම වැසි වනාන්තරය සදහටම විනාශව ගොස් තිබේ. එහි අවශේෂ (residuals) තවමත් දැකිය හැකිය.

රූමස්සල කෑලයේ දේශීය වෙදකම ට වැදගත් ඖෂධ ශාක විශේෂ 170 ක් පමණ සොයාගෙන ඇත. ඒ අතර කොතල හිඹුටු, අත්තික්කා, අරලු ,බුලු, වන රාජ, යකි නාරං ආදිය වෙති.  මෙම ශාක වල ජාන සම්පත අති මහත්ය.  ජාන මංකොල්ලය ට විශේෂයෙන්ම දොරටු විවර වන්නේ ජෛව විවිධත්වයෙන් අධික රූමස්සල වැනි වනාන්තර සහ තෙත් බිම් ආදී සුවිශේෂී පාරිසරික පද්ධතීන් හරහා  මාර්ග යාමෙන් සහ පාරිසරික පද්ධතීන් වාණිජකරණය කිරීම මගිනි. (Promotion of bio piracy )

රූමස්සල සුවිශේෂී භූ පාංශු ස්ථරයේ වර්ධනය වන ශාක පටක වල විශිෂ්ඨ  සාරය ,වෙනත් ස්ථාන වල වර්ධනය වන එම   ශාක විශේෂයන් ගෙන්  ලබා ගන්නා සාර වලට වඩා ඖෂධීය ගුණයෙන් අධික බව අතීතයේ ආයුර්වේද වෛද්‍යවරුන් පවසා ඇත.  

ඉහත කරුණු සියල්ල සලකා බලා කල යුත්තේ මේ ඉතා කුඩා භූමි භාගයක තැනින් තැන ඉතිරිව ඇති කැලෑ කොටස් නිරවද්‍ය සංරක්ෂණ ක්‍රමවේදයකට අනුව රැක ගැනීමයි. 

ගොඩබිම සිට ගලා එන ජලය ,ඓන්ද්රීය භාරය සහ කොරල් පර සමුද්‍ර මත්ස්‍ය ප්‍රජාව ට අත්‍යවශ්‍ය ය.  ගාල්ල වෙරලාශ්රීත ධීවර කර්මාන්තය ට වැදගත් වන මසුන්ගේ බිත්තර සහ පැටවූ අවධියේ රැකවරණය සහ පෝෂණය ලබන්නේ මේ කොරල් සහ වෙරලට සමීප නොගැඹුරු මුහුදේය. රූමස්සල පාරිසරික පද්ධතීන් බිද වැටීම ධීවර කර්මාන්තය ට හානිකර ලෙස බලපානු ඇත. 

මාර්ගය ඉදිකිරීමේදී බැහැර වන අප ජලය , සිමෙන්ති , තෙල්,  අබලි ද්‍රව්‍ය  මගින්  ස්වභාවික පරිසරයට  වන හානිය අමුතුවෙන් කිව යුතු නැත.  එමෙන්ම මේ මාර්ගය සහ හෝටල් ඉදිකිරීම් මගින් රූමස්සල මහ වැල්ල සහ සුදු වැල්ල වාණිජකරණය වීමෙන් ඔබ්බෙන් වූ බොනවිස්ටා කොරල් පරය විනාශ වනු ඇත. 

වර්ෂ 1981 අංක 57 දරණ වෙරල සංරක්ෂණ පනත (CCA ) සහ එහිම, වර්ෂ 2011 දී  අංක 49 සංශෝධනය යටතේ වෙරල තීරයේ සිට ගොඩබිම ට මීටර 300 ක් දක්වා ආවරණය වන භූමියේ හානිකර ඉදිකිරීම් කිරීමට අයිතියක් නැත. 

අභයභූමියකට යාබදව  මෙම මාර්ගය තැනීම වර්ෂ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ වගන්ති උල්ලංඝනය කිරීමකි.  තෙත් බිම් රැක ගැනීම සම්බන්ධව වු RAMSAR සම්මුතියට ලංකාවේ රජය අත්සන් කර ඇත.  

මෙම මාර්ගය ඉදිවීමට ඇති  භූ විද්‍යාත්මකව සංවේදී භූමියේ බෑවුම්  ඇලය  (slope gradient) අධිකය. යටි වනරෝපණය දැනටමත් සැලකිය යුතු පරිදි ඉවත්ව ඇති නිසා පස සෝදා යාමට ලක්වෙමින් ඇත. එය යම් පමණකින් හෝ පාලනය කරගෙන සිටින්නේ ස්වභාවිකව මෙහි පිහිටි ගල් කුට්ටි මගිනි. යෝජිත  මාර්ගය තැනීම පස සොදා යෑම තීව්‍ර  කරනු ඇත. එම නිසා වර්ෂ 1951 අංක 25 දරණ පස සංරක්ෂණය පිලිබද ආඥා පනත ඇතුලු වර්ෂ 1996 අංක 24 දරණ පාංශු සංරක්ෂණ පනතේ වගන්ති උල්ලංඝනය ට ලක්වේ. 

භූමියේ ආනත බව නිසා, මාර්ගය ඉදිකිරීමේදී පස් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ෂාව මගින් සොදා ගොස්  පහල ඇති මුහුදට  එක්වෙනු ඇත. රූමස්සල බටහිර මුහුදු තීරය දූෂණයට ලක්වේ . මෙය 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැලකීමේ පනතේ වගන්ති වලට එරෙහිව යෑමකි. 

 මෙහි කලින් පාරක් තිබුණේ නැත.  වනය හරහා යන අඩි පාරක් අතීතයේ දී  රාත්‍රී  මසුන් මරන්නන් සහ මුහුදුබත් වූ නැව් කිමිදෙන්නන් විසින් භාවිතා කරන ලදී. ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ වර්ෂ 1931 කල පිඹුරු සැලැස්මක ( title plan) අඩි පාරක් ලෙස සහ එහි මාර්ග අවශේෂිතය (reservation ) ලෙස ලකුණු කොට පමණක් ඇත. වෙනත් කිසිදු සිතියමක හෝ මූලාශ්‍රයක මෙවන් පාරක් ගැන සාක්ෂි නැත. අපගේ අත්දැකීම අනුව මීට දශක තුනකට පෙර ද මෙය කැලේ   ඇතුලෙන් රිංගා ගල් අතර පනිමින් යා යුතු වන මගකි.  එහෙත් පසු කලෙක යුරෝපීය සංචාරකයන් උණවටුනේ සිට මහ වැල්ල සහ සුදු වැල්ල වෙත ඒමට මේ කැලැ පාර භාවිතා කල අතර ඔවුන් එයට path to the jungle beach ලෙස කීවෝය. එය  අනුකරණය කල ලංකාවේ සංචාරක මග පෙන්වන්නන් සමහරක් විසින් මෙයට “ජන්ගල් බීච් පාර” යැයි නමක් පට බැදීය. 

මේ  සමග, යෝජිත මාර්ගයේ පාරිසරිකව සංවේදී කලාපය තුලින් යන මීටර 200 ක පමණ කොටස පෙන්වන චන්ද්‍රිකා රූපය සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් පාර සලකුණු කරන ලද අනුරේඛණ පිිිිටපත අමුණා ඇත. සෙසු ජෛව විද්‍යාත්මක,  පාරිසරික සහ නෛතික දත්ත ආශ්‍රිත  මූලාශ්‍ර  තුල දැක්වේ. 

මිල කල නොහැකි  සෞන්දර්යාත්මක සහ විද්‍යාත්මක උරුමයක් සතු   රූමස්සල ලාංකීය මහජනතාව ට එළිමහන් කලාගාරයක් සහ විද්‍යාගාරයක් ලෙස සංරක්ෂණයට සහ අධ්‍යනය ට ලක් කල යුතුව තිබියදී  සුලු පිරිසකගේ මූල්‍යමය සහ දේශපාලන වාසි තකා බිල්ලට දීම විශාල අපරාධයකි.  රූමස්සල විසින්  සෘජුව අප සැමගේ සභ්‍යත්වය ප්‍රශ්නය ට ලක් කරයි.

සමස්ත ජාතියේම උරුමයක් වූ රූමස්සල විනාශ කරමින්  කැපීමට යන මේ මාර්ගය ට,  සදාචාරාත්මක,  විද්‍යාත්මක සහ නෛතික සාධක මත අපගේ විරෝධය පල කරන අතර රූමස්සල රැක ගැනීමට ඔබගේ සක්‍රීය මැදිහත් වීම කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. 

කීර්ති හේවාගොඩ
Environmental Activist 

0765561912

Date. 31.01.2021
මූලාශ්‍ර. 

1- අසිරිමත් රූමස්සල.  ජයතිස්ස තෙන්නකෝන්.( 2014) 

2-  Fauna and Flora protection ordinance no 2 of 1907 and following amendments. 

3-  Coast conservation (Amendment ) Act no 49 of 2011

4- National Wetland directory of Sri Lanka.  IWMI/ CEA/ IUCN (2006)

5- Karunarathne and Weerakkody (1998) / De Silva (1998)/  Rajasuriya and White (1995)

6- Medicinal plants of Rumassala. Dr. S.P. Samarakoon (1991 )

7- National Environmental (Authority )Act no 47 of 1980. 

8- වර්ෂ 1996 අංක 24 දරණ පාංශු සංරක්ෂණ පනත සහ වර්ෂ 1951 අංක 25 දරණ පස සංරක්ෂණය පිළිබඳ ආඥා පනත. 

9-  2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැලකීමේ පනත

10- MOFE (1999 ), CZMP (2003), Ekarathne (2000 )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress