පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD)
Posted on February 17th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ( Post-traumatic stress disorder -PTSD)  යනු ක්ලමථ සහ ක්‍ෂිතිමය කම්පන සහගත අත්දැකීමකින් පසුව ආරම්භ වන කාංසා අක්‍රමතාවයකි. මෙම ක්ලමථය ජනනය කරන ක්‍ෂිතිමය සිදුවීම් ස්වාභාවික විපතක්, බරපතල අනතුරක්, ත්‍රස්ත ක්‍රියාවක්, සංග්‍රාමික අත් දැකීමක්, ස්ත්‍රී දූෂණයක් හෝ තර්ජනාත්මක මරණයට නිරාවරණය වීමක් ,  මරණීය රෝගී තත්වයකට මුහුණ දීමක් විය හැකිය.  සරලව දක්වන්නේ නම් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු කම්පන සහගත, බියජනක හෝ භයානක සිදුවීමක් අත්විඳ ඇති සමහර පුද්ගලයින් තුළ වර්ධනය වන ආබාධයකි.  සමහරක් විට ක්‍ෂිතිමය කම්පන සහගත සිදුවීම් පවුලේ සමීප සාමාජිකයෙකුට හෝ සමීප මිතුරෙකුට සිදු වූ බව දැන ගැනීම මතද මෙම කාංසාමය අක්‍රමතාවට ගොදුරු වූවන් සිටිති. කම්පන සහගත සිදුවීමකින් මාසයක් ඇතුළත පශ්චාත් කම්පන ආතති ආබාධ ලක්ෂණ ආරම්භ විය හැකි නමුත් සමහර විට සිදුවීමෙන් වසර ගණනක් යන තුරු රෝග ලක්ෂණ නොපෙන්වයි. මෙම රෝග ලක්ෂණ සමාජ හෝ රැකියා අවස්ථා සහ සබඳතා වල සැලකිය යුතු ගැටළු ඇති කරයි. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය කාංසාමය අක්‍රමතාවක් ( Anxiety Disorder) ලෙසට ඇමරිකානු මනෝචිකිත්සක සංගමය විසින් 1980 දී මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යානමය අත්පොතේ (DSM-III) තුන්වන සංස්කරණයේදී නිල වශයෙන් පිළිගන්නා ලදී.

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය රෝග විනිශ්චය හඳුන්වා දුන් දින සිට, එහි ව්‍යාප්තිය හා එහි පැවැත්ම පිළිබඳව පවා මතභේද පවතී. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝග ලක්‍ෂණ සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ කම්පන සහගත සිදුවීමෙන් පසු පළමු මාස තුන ඇතුළත වන නමුත් සමහර රෝගීන් තුල ප්‍රමාද වූ ප්‍රතික්‍රියා වාර්තා වී තිබේ. බොහෝ විට පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  කම්පනය ඇති වූ වහාම වර්ධනය වේ. සමහර අවස්ථාවල දී රෝග ලක්‍ෂණ මතු වන්නේ වසර ගනනක් ඇවෑමෙනි. වියපත්වූ දෙවන ලෝක යුද්ධ වෙතරානුවන් තුල ප්‍රමාද වූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝග ලක්‍ෂණ වාර්තා වී ඇත. අප විසින් අධ්‍යනයට ලක් කරන ලද එක් සොල්දාදුවෙකුට පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝග ලක්‍ෂණ පහළ වූයේ කම්පන සහගත මූලික සිදුවීමෙන් වසර 13 කට පසුවය.

සමූහ ප්‍රචණ්ඩත්වයට (collective violence) නිරාවරණය වන පුද්ගලයින්ගෙන් සියයට 67 ක් තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනය වන බව පෙන්නුම් කර ඇත. සටන් වලට නිරාවරණය වන පුද්ගලයින්ගෙන් 78% ක් පමණ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවට ගොදුරු නොවන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.  සරණාගත ජනගහනය තුළ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සඳහා අනුපාත 4% සිට 86% දක්වා පරාසයක පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ   මානසික සෞඛ්‍ය සමීක්ෂණ වලින් කරන ලද විශ්ලේෂණයකින්, ආදරණීයයෙකුගේ අනපේක්ෂිත මරණය ගැන දැන ගැනීමෙන් පසු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනය වීමේ 5.2% ක අවදානමක් ඇති බව සොයා ගන්නා ලදී. පිළිකා රෝගයෙන් දිවි ගලවා ගත්  පුද්ගලයින්ගෙන්  22% ක් තුල ජීවිත කාලය පුරාම පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝග ලක්‍ෂණ තිබෙන බව වාර්තා වෙයි. වියට්නාම් යුද ප්‍රවීණයන්ගෙන්  15 % ක් සහ ගල්ෆ් යුද්ධයේ ප්‍රවීණයන්ගෙන්   12 % ක් පමණ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන බව හෙලිවී තිබේ. එක්සත් ජනපදයේ මිලියන 8 ක පමණ ජනතාවක් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සමඟ ජීවත් වෙති. සෑම වසරකම එක්සත් ජනපද වැඩිහිටියන්ගෙන් සියයට 3.5 කට පමණ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට ගොදුරු වෙයි.  ඇස්තමේන්තු කර ඇති පරිදි පුද්ගලයන් 11 දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ රෝග නිර්ණයට ලක් වීමට සිදුවේ.  පිරිමින්ට වඩා කාන්තාවන්  තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනය වීමේ ඉඩකඩ වැඩිය. ඇමරිකානු මනෝචිකිත්සක සංගමයට (APA) අනුව, කාන්තාවන් තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව වර්ධනය වීම පිරිමින්ට වඩා දෙගුණයකි. 

 ජානමය හේතූන් මත සමහර පුද්ගලයින්ට අනෙක් අයට වඩා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනය වීමේ ඉඩකඩ වැඩි බව පෙනී ගොස් තිබේ.   පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවට ගොදුරු වීමේ හැකියාව පාරම්පරික බවට සාධක ඇත.  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනය වීමේ  විචල්‍යතාවයෙන් 30% ක් පමණ සිදුවන්නේ ජානමය හේතූන් මත බව පෙන්වා දී තිබේ.

භීතියේ වඩාත් සුලභ ව්‍යාධි ප්‍රකාශනය වන්නේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයයි. භීතිය යනු ශරීරයේ සාමාන්‍ය සටන් කිරීම හෝ පළා යාම ” ප්‍රතිචාරයේ කොටසකි, එය සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට හෝ ප්‍රතිචාර දැක්වීමට මානවයාට උපකාරී වේ. කම්පනයෙන් පසු මිනිසුන්ට විවිධාකාර ප්‍රතික්‍රියා අත්විඳිය හැකි අතර බොහෝ දෙනා කාලයත් සමඟ ඔවුන්ගේ රෝග ලක්‍ෂණ වලින් සුවය ලබති .  නමුත් ජනගහනයේ යම් කොටසක් තුල කම්පන ප්‍රතික්‍රියා අඩු වන්නේ නැත. එවැනි කොටස් තුල  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනය වෙයි.   

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  මානසික සෞඛ්‍ය ආබාධයකි. ඇතැම් පරියේෂකයන් පෙන්වා දෙන අන්දමට පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු ක්‍ෂිතිමය සිදුවීම් වලට නිරාවරණය වීමෙන් පසු මොළයේ සිදුවන රසායනික හා ස්නායු වෙනස්වීම් වලට දක්වන ප්‍රතිචාරයකි.  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය මස්තිෂ්කයේ විවූහාත්මක වෙනස්කම් ඇති කරන බව සොයාගෙන තිබේ. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝගීන් තුල මොලයේ හිපොකැම්පස් ප්‍රදේශය හැකිළීමකට ලක් වන බව සීටී ස්කෑන් පරීක්‍ෂණ මගින් හෙලිවී තිබේ. (හිපොකැම්පස් යනු මොළයේ සංකීර්ණ ව්‍යුහයක් වන අතර එය  ඉගෙනීම හා මතකය සඳහා එය විශාල කාර්යභාරයක් ඉටු කරයි). 2007 දී කරන ලද අධ්‍යයනයක දී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු   වියට්නාම් යුධ සටන් ප්‍රවීණයන් එවැනි රෝග ලක්ෂණ නොමැති ප්‍රවීණයන් හා සසඳන විට ඔවුන්ගේ හිපොකැම්පස් පරිමාවේ 20% ක අඩුවීමක් පෙන්නුම් කරන ලදි. ස්වභාවයෙන්ම මොලයේ හිපොකැම්පස් විවූහයේ අඩු පරිමාවක් තිබීම සහ  ඇමිග්ඩලා සහ මොළයේ කලාපයක් වන  ඉන්සියුලාවේ අධි ක්‍රියාකාරීත්වයක් තිබෙන පුද්ගලයන් තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  වර්ධනය වීමේ හැකියාව වැඩිය.

මිනිස් මොලයේ ඇමිග්ඩලාව චිත්තවේගීය මතකය සමඟ සම්බන්ධ වේ. මෙකී රෝගීන් තුල  ඇමිග්ඩලාව අධික ලෙස ක්‍රියාත්මක වේ. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝගීන් තුල  අසාමාන්‍ය ලෙස ආතති හෝමෝන (stress homones) තිබිය හැකිය. කම්පන සහගත අත්දැකීම් වලදී, අධික ලෙස ආතති හෝමෝන ස්‍රාවය කිරීම  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනයට ප්‍රධාන සාධකයක් විය හැක.  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝගීන් තුල කෝටිසෝල් අඩු ස්‍රාවයක් සහ මුත්රා වල කැටෙකොලමයින් අධික ලෙස ස්‍රාවය කරන බව පෙන්නුම් කරයි. තවද ඔවුන් ගේ මොළයේ කැටෙකොලමයින් මට්ටම ඉහළ මට්ටමක පවතී.  (කැටෙකොලමයින් යනු මොනොඇමයින් නියුරෝ ට්‍රාන්ස්මිටරය වන අතර එය මධ්‍යම ස්නායු පද්ධතියේ ස්නායු මොඩියුලේටර ලෙසත් රුධිර සංසරණයේ හෝමෝන ලෙසත් ක්‍රියා කරයි). කෝටිසෝල් සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය අතර සබඳතාවක් පවතියි. කෝටිසෝල් යනු ශරීරයේ ප්‍රධාන ආතති හෝමෝනයයි. කෝටිසෝල් මනෝභාවය, අභිප්‍රේරණය සහ බිය පාලනය කිරීමට මොළයේ සමහර කොටස් සමඟ ක්‍රියා කරයි. පරියේෂණ වාර්තා පෙන්වන්නේ ස්වභාවයෙන්ම   අඩු කෝටිසෝල් මට්ටම පුද්ගලයන් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට ගොදුරු විය හැකි  බවය. සෙරොටොනින් සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය අතර ඇති සබඳතාවය පරීක්‍ෂණ මගින් පෙන්වාදී තිබේ.  සෙරොටොනින් යනු මනෝභාවය, යහපැවැත්ම පිළිබඳ හැඟීම් සහ සතුට ස්ථාවර කරන ප්‍රධාන හෝමෝනයයි. මෙම හෝමෝනය   මුළු ශරීරයටම බලපායි. එය මොළයේ සෛල හා අනෙකුත් ස්නායු පද්ධතියේ සෛල එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි.  මෑතකදී කරන ලද අධ්‍යන වලින් පෙනී ගොස් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළෙන පුද්ගලයින් තුල සෙරොටොනින්  අඩු මට්ටමක පවතින බවය . 

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළෙන සෑම පුද්ගලයෙකුම භයානක සිදුවීමකට මුහුණ දී නොමැත. ආදරණීයයෙකුගේ හදිසි, අනපේක්ෂිත මරණය වැනි සමහර අත්දැකීම් ද පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට හේතු විය හැක.  එසේම ක්‍ෂිතිමය සහ  භයානක සිදුවීම් අත් දුටු සෑම කෙනෙකු තුලම  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනය නොවන බව මෙහිදී කිව යුතුය. ක්ලමථ සහ ක්‍ෂිතිමය කම්පන සහගත සිදුවීමක් අත්විඳීමෙන් හෝ දැකීමෙන් පසු බොහෝ දෙනෙකු  මානසික ආතතියක් ඇතිවිය  හැකිය.  එය සාමාන්‍යයෙන් කෙටිකාලීන හා තාවකාලික වේ. නමුත් එය දිගින් දිගටම මනස තුල  ප්‍රතිරාව වෙමින් ක්ලමථ සහ කාංසාමය තත්වයක් ඇති කරන්නේ නම් එම තත්වය පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ලෙස හඳුනා ගත හැකිය. මෙම තත්වය මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බල පවත්වයි. 

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ රෝග ලක්‍ෂණයක් ලෙස අධි සුපරීක්‍ෂාකාරිත්වය (hyper arausal)  වින්දිතයා තුල දැකිය හැක. මෙම අධි සුපරීක්‍ෂාකාරිත්වය එක්තරා ආකාරයක පරිනාමීය ආරක්‍ෂක ක්‍රියාවලියකි. මෙමගින් බාහිර පරිසරයෙන් යම්කිසි උපද්‍රවයක් වේදෝ කියා පුද්ගලයාව නිරන්තර පරික්‍ෂාකාරී තත්වයකින් තබා ගනියි. එහෙත් සාමාන්‍ය ජීවිතයේදී මේ ආකාරයෙන් අධි සුපරීක්‍ෂාකාරිත්වය තුල ක්‍රියා කිරීමට යාමේදී වින්දිතයා තුල බොහෝ ගැටළු මතුවේ. ඔහු ජීවත් වන්නේ නිරන්තර බිය සහ සැකයකින් යුතුව සහේතුකව පැහැදිලි කළ නොහැකි බියකිනි. ඔවුන් නිරන්තරයෙන් බාහිර තර්ජන පිලිබඳව අවධානයෙන්  සිටින අතර පහසුවෙන් තැති ගනී.   ඔවුන් ආරක්‍ෂිතව සිටියදී පවා ඔවුන්ට ආතතියක් හෝ අනියත බියක් දැනේ. 

ආගන්තුක හෙවත් තමන් ගේ පාලනයකින් සහ කැමැත්තකින් තොරව ක්ලමථ සහ බිය උපදවන මතකයන් (intrusive memories) සිත තුල නිරන්තරයෙන් ඇති වීම තවත් ලක්‍ෂණයකි. මෙම පීඩාකාරී මතකයන් බොහෝ විට ක්ලමථ සහගත ක්‍ෂිතිමය අත්දැකීම් සමග සම්බන්ධය. උදාහරණයක් ලෙස ඉතා බියකරු වාහන අණතුරකට ලක්වූ පුද්ගලයෙකුට එම බියජනක සිදුවීම් තමන් ගේ පාලනයකින් සහ කැමැත්තකින් තොරව මනසට ගලාගෙන ඒම සිදු විය හැකිය. එම නිසා වින්දිතයා වර්තමානයෙන් මිදී අතීත අමිහිරි සහ බියකරු මතකයන් ඔස්සේ සැරි සරයි. රෝගීන් තුල දැඩි කාංසාව මෙන්ම සිදුවීම පිළිබඳ පාලනය කළ නොහැකි සිතුවිලි ද  ඇතිවේ.  සිත් තැවුලට පත් මතකයන් නිරන්තරයෙන්ම තිබීම රෝගීන් තුල දුක්මුසු ස්වභාවයක් ඇති කරයි.  

සමහර විට ක්‍ෂිතිමය සිද්ධීන් මනස් සෘෂ්ඨීන් ලෙස වින්දිතයා තුල ඇති විය හැක. මෙය Flashbacks ලෙස හැඳින්වේ. එය විචිත්‍රවත්, සංවේදී පුනරාවර්තන අත්දැකීම් සමූහයකි. එය සිදුවීමේදී රෝගීන්ට යථාර්ථය අතර වෙනස හඳුනාගත නොහැකි නිසා කම්පන සහගත අත්දැකීම් නැවත සිදුවෙමින් පවතින බවක් දැනේ. සංග්‍රාමික  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට ගොදුරු වූ රෝගීන් හට මෙවැනි අවස්ථා වල වෙඩි හඞ ඇසීම මෙන්ම යම් යම් ගන්ධයන් දැනීම ( උදාහරණයක් ලෙස පෙට්‍රල් සුවඳ , වෙඩි බෙහෙත් ගඳ දැනීම) ඇතිවිය හැකිය. ඒවා කෙතරම් සංකීර්ණ විය හැකිද යත්, ඔවුන් කම්පන සහගත අත්දැකීම් තුල නැවත ජීවත්වන බව හෝ ඒවා ඔවුන්ගේ ඇස් ඉදිරිපිට විද්‍යාමාන වන බව රෝගීන්ට දැනේ.  මේ නිසා ක්‍ෂිතිමය සිදුවීම් නැවතත් පුනර්ජීවනය කරන බවක් වින්දිතයාට හැඟේ. මේ නිසා වින්දිතයන් තුල පහසුවෙන් තැති ගැනීම නොසන්සුන් බවකින් යුක්ත වීම දකින්නට තිබේ.  

බොහෝ විට පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය විසින් මතු කරන මනස් සෘෂ්ඨීන් භින්නෝන්මාදය විසින් ඇති කරන මනෝ භ්‍රාන්තීන් (hallucinations) ලෙස වරදවා වටහා ගත හැකිය. වරක් මනෝ වෛද්‍ය මහාචාර්‍ය අශෝක කුරුප්පු ආරච්චි මහතා විසින් හෙලිකොප්ටර වල අවරපෙති නාදය ඇසුනු  සොල්දාදුවෙකු භින්නෝන්මාදයෙන් පෙලෙන බවට රෝග නිර්නය කරන ලදි. නමුත් පසුව සිදු කරන ලද පසු විපරම් වලදී සනාත වූයේ මෙම රෝගියා භින්නෝන්මාදයෙන් නොව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු බවය. ඔහුට ඇසුනු හෙලිකොප්ටර වල අවරපෙති නාදය මනෝ භ්‍රාන්තියක් නොව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය විසින් මතු කරන මනස් සෘෂ්ඨීයක් බව පසුව සනාත විය. පරියේෂක කෙස්ලර් විසින් පෙන්වා දෙන පරිදි පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන රෝගීන් ගෙන් 16% මානසික ව්‍යාධී (psychotic ) ලක්‍ෂණ පෙන්නුම් කල හැක. එම නිසා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය බොහෝ විට වරදවා භින්නෝන්මාද ලක්‍ෂණ ලෙස සිතීමේ ඉඩකඩ තිබේ. 

කම්පන සහගත අත්දැකීමකින් පසු බියකරු සිහින හා කාංසාව පිළිබඳ සිහින දැකීම බොහෝ විට සිදුවෙයි. තම ක්ලමථ සහ ක්‍ෂිතිමය කම්පන සහගත අත්දැකීම නිරන්තර බියකරු සිහින මගින් පෙනීම පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන රෝගීන් අත් විඳිති. වාර්තා වන පරිදි රෝගීන් ගෙන්  71% සිට 96% දක්වා බියකරු සිහින දකිති. නපුරු සිහින යනු කම්පන සහගත අත්දැකීම් තුළින් ශරීරයේ තුලින් මතු වන තීව්‍ර ප්‍රකාශනයක් විය හැක.  නපුරු සිහින මගින් ශරීරයේ කම්පනය සැකසීමේ හැකියාව බිඳ වැටීමක් ද නිරූපණය කළ හැකිය. නිරෝගී මිනිස් ක්‍රියාකාරිත්වයට නින්ද අත්‍යවශ්‍ය වන අතර එය නොමැතිව මොළයට ක්‍රියා කිරීමට හෝ අවශ්‍ය කාර්යයන් සම්පූර්ණ කිරීමට නොහැකිය. රෝගීන් තුල සමස්ත නින්දේ ගුණාත්මක භාවය අඩු වන අතර, නින්දේ වේලාව සැලකිය යුතු ලෙස අඩුවීම සහ රාත්‍රී කාලයේ පිබිදීම වැඩි වේ. නින්ද නොලැබීම නිසා අතිරේක සෞඛ්‍ය අවදානම් රෝගීන් තුල මතු විය හැකිය.  

පරිවර්ජනය හෙවත් මඟහැරීම (avoidance) පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ තවත් ප්‍රධාන රෝග ලක්‍ෂණයකි. කම්පන සහගත අත්දැකීම් සිහිගන්වන ස්ථාන, සිදුවීම් හෝ වස්තූන් මඟ හැරීම මෙහිදී සිදුවේ. රෝගීන් කම්පන සහගත සිදුවීම ගැන සිතීම හෝ කථා කිරීම වළක්වා ගැනීමට උත්සාහ කිරීම, කම්පන සහගත සිදුවීම  මතක් කරන ස්ථාන, ක්‍රියාකාරකම් හෝ පුද්ගලයින් මග හැරීම සිදු කරති. උදාහරණයක් ලෙස ඩබල් කැබ් රථයක ගමන් කරමින් සිටියදී බිම් බෝම්බයකට අසුවී දිවි ගලවාගත් සොල්දාදුවෙකු  ඩබල් කැබ් රථ වල ගමන් කිරීමට බියක් දැක්වූ අතර ඔහු නිතරම ඩබල් කැබ් රථ මඟ හැරීම කලේය.

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය නිසා සංජානන ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු වෙයි. මේ හේතුවෙන්  අධි කලමථකාරක සිදුවීම් වල වැදගත් කොටස් මතක තබා ගැනීමේ අපහසුතාව සමහරක් රෝගීන් තුල තිබේ.   සමහරක් විට අවරෝධනය (repression) නිසා  අති  ක්ලමථකාරී මතකයන් මතකයෙන් යටපත් වෙයි. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහ මතකය (ස්මෘතිය) අතර ගැටළු දැකිය හැක. අප විසින් ප්‍රතිකාර කරල ලද යුද ආතතිය නිසා තීව‍්‍ර පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට ලක්වූ එක් හමුදා නිලධාරියෙකු තමන් යාපනයේ සිට කොලඹ යුද හමුදා රෝහලට ආ අයුරු පිලිබඳව කිසිදු මතකයක් නොවීය. චිත්තවේගයන්, මතකයන් සහ තොරතුරු සැකසීම සඳහා වගකිව යුතු මොළයේ ක්‍ෂේත්‍රයන් එකට බැඳී ඇති හෙයින් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝගීන් තුළ මතකය පිලිබඳ ගැටළු තිබේ. එසේම අඩු අවධානය (low attention span) සහ අවධානය යොමු කිරීමේ අපහසුතාවයද රෝගීන් තුල බහුලව තිබේ.  අවධානය යොමු කිරීමේ අපහසුතාව  හෝ මතක ශක්තිය නැතිවීම වැනි තත්වයන්  පිලිබඳව ඔවුන් පවසති.  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන රෝගීන්ට පසුකාලීන ජීවිතයේ දී ඇල්සයිමර් වර්ධනය වීමට වැඩි ඉඩක් ඇත.

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝගීන් තුල චිත්තවේගීය හිරිවැටීම (emotional numbing) දක්නට තිබේ. එය කම්පනයට පොදු ප්‍රතික්‍රියාවකි. චිත්තවේගීය හිරිවැටීම දැඩි ආතතියේ රෝග ලක්‍ෂණයක් විය හැකිය. චිත්තවේගීය හිරිවැටීම යනු හැඟීම් වසා දැමීමේ මානසික හා චිත්තවේගීය ක්‍රියාවලියකි.   කම්පනයෙන් දිවි ගලවා ගත් බොහෝ වින්දිතයෝ  ඔවුන්ගේ චිත්තවේගීය අත්දැකීම් වල සීමාවන් (restricted emotions)  වාර්තා කරති.  බොහෝ රෝගීන් සතුට වැනි හැඟීම් හෝ සංවේදනය අත්විඳීමට ඇති නොහැකියාව පිලිබඳව  පවසති.  එක් රෝගියෙකු තමා තුල පවතින හැඟීම් නිර්වින්දනය පැහැදිලි කලේ නෙළුම් කොළයට වැටුනු දිය බිඳක් කොළය නොතෙමා තිබෙන්නාක් මෙන් සතුට සිතේ නොරැඳී තිබෙන බව කියමිනි.

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝගීන් තුල මනෝභාවයේ ඍණාත්මක වෙනස්කම් දක්නට තිබේ. රෝගීන් තුල පෙර ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව නැතිවීම,  සමාජ හුදකලාව පිළිබඳ හැඟීම් බහුලව තිබේ. ධනාත්මක චිත්තවේගයන් අත්විඳීමේ අපහසුතාව එනම් සතුට හෝ තෘප්තිය වැනි ධනාත්මක හැඟීම් දැනීමේ අපහසුතාව රෝගීන් කෙරෙන් වාර්තාවෙයි. කම්පන සහගත සිදුවීමකට පසු මිනිසුන් තමන්, අන් අය සහ ලෝකය දෙස බලන ආකාරය වෙනස් වෙයි. ඔවුන් ගේ ලෝකාන්වේෂණය ඍණාත්මක මෙන්ම සර්වද්‍යෝෂදර්ශී (cynical ) විය හැකිය. ඔවුන් තුල නිෂේධාත්මක සිතුවිලි වර්ධනය වෙයි. වරදකාරිත්වය, කනස්සල්ල හෝ තමන්ටම දොස් පැවරීම බහුලව සිදුවේ. ඇතැම් රෝගීන් තුල අනාගතය පිළිබඳ බලාපොරොත්තු රහිත බව දක්නට තිබේ.    

කෝපාවිෂ්ට හෝ ආක්‍රමණශීලී හැසිරීම ආවේගශීලීත්වය රෝගීන් ආශ්‍රයෙන් බොහෝ විට දැකිය හැකිය.  කෝපය බොහෝ විට කම්පනයෙන් දිවි ගලවා ගත් වින්දිතයන් ගේ ප්‍රතිචාරයේ විශාල කොටසකි. එය මිනිසුන්ගේ පැවැත්මේ ප්‍රතිචාරයේ මූලික කොටසක් ලෙස පෙන්වා දිය හැකිය. අධික තර්ජනයකට මුහුණ දෙන විට මිනිසුන් බොහෝ විට ප්‍රතිචාර දක්වන්නේ කෝපය වැනි හැඟීම හරහාය. ප්‍රචණ්ඩත්වය එක්තරා ආකාරයක පරිනාමීය ආරක්‍ෂිත ක්‍රියාවලියකි. ප්‍රචණ්ඩකාරී හැසිරීම සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව ආබාධ අතර ද්විත්ව සම්බන්ධතාවයක් ඇත. එක් අතකින්, ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීමෙන් පශ්චාත් කම්පන ආතති ආබාධ රෝග ලක්ෂණ ඇති වන අතර අනෙක් පාර්ශවයෙන්  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ සමහර රෝග ලක්ෂණ වන්නේ ප්‍රචණ්ඩකාරී හැසිරීම සහ ආක්‍රමණශීලීත්වයයි. සමහරක් රෝගීන් ස්වයං-විනාශකාරී හැසිරීම් වල ස්වරූපයෙන් තම කෝපය තමන් වෙත ප්‍රක්ෂේපණය කර ගනිති. 

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝගීන් ආතති හරණ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය හෝ මත්පැන් දෙසට නැඹුරු වෙති.  රෝගීන් වේදනාව සංසිඳුවීමට හෝ ඔවුන්ගේ ජීවිතවල යම් පාලනයක් ලබා ගැනීමට මාර්ගයක් ලෙස මත්ද්‍රව්‍ය හෝ මත්පැන් වෙත යොමුවනු දක්නට තිබේ. මේ නිසා රෝගී තත්වය තවත් සංකීර්ණ වන අතර අතුරු ආබාධයන් ද ඇතිවේ.  

අවදානම් හෝ විනාශකාරී හැසිරීම් රටාවන් ද රෝගීන් ආශ්‍රයෙන් වාර්තා වී තිබේ. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන පුද්ගලයින් තුළ සියදිවි නසා ගැනීමේ අවදානම වැඩි බව අධ්‍යයනවලින් පෙනී යයි. දළ වශයෙන් රෝගීන් ගෙන් 27%   ඔවුන්ගේ ජීවිත කාලය තුළ සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට පරියේෂණ වාර්තා පෙන්වා දෙයි. මානසික අවපීඩනය පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සමඟ බෙහෙවින් සමපාත වන අතර එය සියදිවි නසාගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රබල අවදානම් සාධකයකි. 1994-2006 දක්වා ඩෙන්මාර්කයේ ජාතික සෞඛ්‍ය සේවා සහ සමාජ ලේඛන භාවිතා කරමින් සියළුම සියදිවි නසාගැනීම් පරීක්ෂා කරන ලද අතර, පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන පුද්ගලයින් සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් නොපෙලෙන පුද්ගලයන් අතර සිය දිවි නසා ගැනීමේ අනුපාතය  5.3 ඉහල බව බව සොයා ගන්නා ලදී.

විඝටන ලක්ෂණ (Dissociation) යනු කම්පනයට පොදු ප්‍රතිචාරයකි. කම්පන සහගත අත්දැකීම් වලට මුහුණ දී ඇති බොහෝ පුද්ගලයින්ට ඔවුන්ගේ අත්දැකීම්වල ප්‍රතිඑලයක් ලෙස බිය, වේදනාව හෝ ශෝකය වැනි හැඟීම් ඇති වූ විට පවා සිදුවූ දේ තාවකාලිකව මතක තබා ගැනීමට නොහැකි බව පෙනී යයි.  එසේම බොහෝ අවස්ථාවන්හිදී, පුද්ගලයා කම්පන සහගත අත්දැකීම් සිහිපත් කරන උත්තේජකවලට මුහුණ දෙන විට   විඝටන ලක්ෂණ අත්විඳියි. 

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා රෝග විනිශ්චය කිරීම සඳහා හදිසි කම්පන සහගත සිදුවීමක් අවශ්‍ය නමුත් එය ප්‍රමාණවත් නොවේ. රෝග විනිශ්චය සඳහා වන නිර්ණායක මඟින් වින්දිතයාගේ කම්පනය පිළිබඳ සංජානනය මෙන්ම ඊට සම්බන්ධ රෝග ලක්ෂණ වල කාලසීමාව හා බලපෑම, කම්පන සහගත සිදුවීම අඛණ්ඩව නැවත අත්විඳීම, සුපුරුදු ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම සහ වැඩිවන උද්දීපනයේ රෝග ලක්ෂණ ඇතුළත් වේ. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය රෝග විනිශ්චය කිරීමට නම්, රෝග ලක්ෂණ මාසයකට වඩා වැඩි කාලයක් පැවතිය යුතු අතර සැලකිය යුතු පීඩාවක් හෝ ගැටළු ඇති කළ යුතුය. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය රෝග විනිශ්චය කිරීමට නම්, රෝග ලක්ෂණ මාසයකට වඩා වැඩි කාලයක් පැවතිය යුතු අතර සැලකිය යුතු පීඩාවක් හෝ ගැටළු ඇති කළ යුතුය.  

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය බොහෝ විට රෝගීන්ට සාමාන්‍ය ජීවිතයට පැමිණීම දුෂ්කර කරයි.  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ  රෝග ලක්ෂණ පුද්ගලයෙකුගේ පෞද්ගලික චර්යාව වෙනස් කිරීමට හේතු විය හැක. රෝග ලක්ෂණ නිසා පුද්ගලයාට ආතතිය හා කෝපය දැනිය හැකිය. නිදාගැනීම, ආහාර ගැනීම හෝ අවධානය යොමු කිරීම වැනි දෛනික කාර්යයන් කිරීම ඔවුන්ට අපහසු විය හැකිය.  එසේම පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය බොහෝ විට මානසික අවපීඩනය, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හෝ වෙනත් කාංසාව ආබාධවලින් එකක් හෝ වැඩි ගණනක් සමඟ සම්බන්ධ වේ.  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  තිබීම වෙනත් මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම ද වැඩි කළ හැකිය.

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම පවතියි. ඒ අතර ප්‍රති විශාද ඖෂධ මෙන්ම නින්ද යාම සඳහා නිර්දේශ කරන ඖෂධ වර්ගද භාවිතා කෙරේ. මනෝ චිකිත්සක ප්‍රතිකාර අතර ප්‍රජානන චර්‍යාත්මක ප්‍රතිකාර (CBT) , පුද්ගල කේන්ද්‍ර ප්‍රතිකාර (Client Centered Therapy) , සාන්දෘෂ්ටික ප්‍රතිකාර ක්‍රම (Existential Therapy) මෙන්ම EMDR මනෝ ප්‍රතිකාරයද භාවිතා කෙරේ.

මූලාශ්‍රය;

Shell Shock to Palali Syndrome PTSD Sri Lankan Experience – Ruwan M Jayatunge MD- Godage Publication 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress