බෞද්ධ ජනරජ ප්‍රවාදය – 8 වැනි කොටස
Posted on March 1st, 2021

උපදේශනය සඳහා ජනතා ප්‍රවාහ

ජනරජයේ පරමාධිපත්‍යයට ජනතා උපදේශනය අයත් බව ද, එම කාර්යයෙහි වගකීම උත්තරීතර උපදේශක සභාව” නමින් පිහිටුවනු ලබන ආයතනයකට පැවරිය යුතු බව ද අපි නිරීක්‍ෂණය කළෙමු. මෙම උත්තරීතර උපදේශක සභාව” පිහිටුවිය යුත්තේ කෙ ලෙසින් ද? ඒ සඳහා තෝරා පත් කරගත යුත්තේ කවුරුන් ද? එම ජනතා නියෝජිතයන් තෝරා පත් කරගත යුත්තේ කවර ආකාරයෙන් ද? අපි මෙම කරුණු පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.

කවර ජනරජයක වුව ද ජනතාවගේ සම්පූර්ණ (එනම්, සියයට සියයක) එකඟතාව සහිත ව අදාළ පාලන බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. පක්‍ෂ දේශපාලන ක්‍රමය තුළ පාලන බලතල පවරා ගන්නේ ප්‍රමාණවත් බහුතර බලයක් දිනාගත් කණ්ඩායමක් විසිනි. එවැනි කණ්ඩායමක් විසින් දිනා ගන්නා ජනතා කැමැත්තේ නියෝජනය බොහෝ විට සියයට පනහ සීමාවේ පවතියි. එහෙයින් බහු-පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාව විසින් ජනතාව පාලනය කිරීමක් කිසි විටෙක සිදු නොවේ.

මෙම කාර්යයේ දී සිදුවනු‍යේ යම් ආකාරයක එකඟතාවක් (සම්මුතියක්) මත කටයුතු කිරීමට ජනතාව පොළොඹවා ගැනීම ය. ඒකාධිපති හෝ කිහිප දෙනකුගේ පාලනයක් ඇතිවීම වැළැක්වුණු බවට අදහසක් ජනතාව තුළ ඇති කරවීම මෙම සම්මුතිය තුළින් සිදු වෙයි. එය එ සේ වුව ද, පක්‍ෂ ක්‍රමය තුළ තීන්දු තීරණ ගනු ලබන්නේ කිහිප දෙනකු විසින් බව අපි දනිමු. එම ආධිපත්‍යය ඉවසා සිටිනු හැර වෙනත් විකල්පයක් ජනතාවට නොමැත.

ජනතාවගේ උපදේශන බලය යනු ඕනෑ ම රටවැසියකුට නියෝජනය කළ හැකි වගකීමක් නොවේ. එහෙයින් සිදුවිය යුත්තේ යම් සම්මුතියක් තුළ එම වගකීම දැරීමට සුදුසුකම් ඇති ජනතා නියෝජිතයන් පිරිසක් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමයි. මෙවැනි වගකීමක් දැරීමට අදාළ සුදුසුකම පවතිනුයේ ඒ ඒ විෂයය සම්බන්ධයෙන් ඉහළ දැනුමක්, අවබෝධයක් සහ අත්දැකීම් සමුදායක් රැස් කර ගත්තවුන් තුළ ය. ජනතාවගේ පොදු පිළිගැනීම් සහ එකඟතා මත මෙවැනි පිරිස් නියෝජනය කළ හැකි අය උත්තරීතර උපදේශක සභාව” සඳහා තෝරා පත් කරගත යුතු වේ.

සැබැවින් ම, උත්තරීතර උපදේශක සභාව” යනු එ ලෙසින් පිහිටුවනු ලබන ජනතා සංවිධාන ජාලයක ඉහළ ම නියෝජනය යි. මෙම වගකීම විෂයානුබද්ධ ජනතා ප්‍රවාහ” සමූහයකින් තේරී පත් වන නියෝජිත පිරිසකට පැවැරිය හැකි ය. රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය ජනතා උපදේශනය විවිධ වූ විෂයානුබද්ධ කරුණු අනුව සංවිධානගත කළ හැකි ය. අදාළ විෂයානුබද්ධ දැනුම, අවබෝධය සහ අත්දැකීම් ඇති පිරිස් එ ලෙසින් සංවිධානගත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විෂයානුබද්ධ ජනතා ප්‍රවාහ” බිහිවෙයි.

මෙ කී විෂානුබද්ධ ජනතා ප්‍රවාහ” සමාජයේ විවිධ මට්ටම්වලින් ඇරැඹෙයි. ඇතැම් ප්‍රවාහ ගම් මට්ටමින් ද, තවත් ඒවා කෝරළ (දැනට ක්‍රියාත්මක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ) මට්ටමින් ද ආරම්භ වනු ඇත. තවත් ප්‍රවාහ දිස්ත්‍රික්ක, ආයතන සහ ජාතික මට්ටම්වලින් ආරම්භ කළ හැකි ය.

නිදසුනක් ලෙසින් අපි කෘෂිකාර්මික උපදේශනය සළකා බලමු. මෙම උපදේශන කාර්යයය ගම් මට්ටමින් ආරම්භ කළ හැකි එකකි. ඒ සඳහා සංවිධානගත වන්නේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ දැනුම, අවබෝධය සහ අත්දැකීම් ඇති ගැමියන් ය. මෙ ලෙසින් ආරම්භ කෙරෙන කෘෂිකාර්මික ජනතා ප්‍රවාහයට කෝරළ මට්ටමේ දී ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයන් සම්බන්ධ කළ හැකි ය. මෙම ප්‍රවාහය තවත් ඉදිරියට වර්ධනය වන විට කෘෂිකර්මයට අදාළ උසස් අධාපන ආයතනවලින් බිහිවන විශේෂඥයින්ගේ නියෝජනයක් ද ඒ හා එක් කළ හැකි ය. අවසානයේ දී, උත්තරීතර උපදේශක සභාව” සඳහා වන කෘෂිකාර්මික උපදේශකයන් එම ප්‍රවාහය විසින් තෝරා දෙනු ලබයි.

දැනට පිහිටුවා ඇති බොහෝ ආයතන ද මෙම කාර්යය සඳහා අනුගත කළ හැකි ය. නිදසුනක් ලෙසින් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක ශාසනාරක්‍ෂක බල මණ්ඩල ඔස්සේ ලබාගත හැකි ශාසනික උපදේශන කාර්යය අපි සළකා බලමු. මෙම ආයතනවලට සම්බන්ධ වී කටයුතු කරන්නේ ජනතා සම්මුතිය තුළ නායකත්වයෙන් පිළිගැනෙන භික්‍ෂුන්වහන්සේලා ය. එ නමුදු, අද වන විට මෙම බල මණ්ඩලවලින් රාජ්‍ය පාලනය උදෙසා කිසිදු උපදේශනයක් ලබා නො ගැනෙයි. ජනතා උපදේශනය නිසි පරිදි සිදුවීමට නම් මෙ ලෙසින් ක්‍රියාත්මක වන ශාසනික ප්‍රවාහයේ අදහස් උත්තරීතර උපදේශක සභාව” තුළ නියෝජනය විය යුතු ය.

මෙ ලෙසින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නියෝජනය කරන පැවිදි සහ ගිහි පිරිස්; අනෙකුත් ආගම්වල අය; හමුදා, පරිසර, අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, කෘෂිකර්ම, වාරිමාර්ග, නීතී, සමාජ ශාස්ත්‍ර, මහජන උපයෝගීතා, ළමා, තරුණ සහ කාන්තා ඇතුළු විෂයයන් පිළිබඳ දැනුම, අවබෝධය සහ අත්දැකීම් ඇති පිරිස් අදාළ විෂයානුබද්ධ ජනතා ප්‍රවාහ ඔස්සේ උත්තරීතර උපදේශක සභාව” තුළට තේරී පත්විය යුතු ය. ජාතික අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා අදාළ ජනතා උපදේශනය ලබාදීම මෙ ලෙසින් පත් කෙරෙන නියෝජිතයන්ගේ වගකීම වෙයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress