බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ දුර්මත පතුරවන්නන් ගැන සෙවීමට කමිටුවක්
Posted on March 19th, 2021

Courtesy Hiru News

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

බෞද්ධ උපදේශක සභාව අද (19) පස්වරුවේ 09 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙසයි කමිටුව කඩිනමින් ස්ථාපනයට තීරණය වී ඇත්තේ.

පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද, විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත,  අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද, රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී, රජ රට විශ්ව විද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේ එහි සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානයයි. බෞද්ධ ප්‍රතිරූපකයෝ සහ වංචනික භික්ෂු ප්‍රතිරූපකයෝ බෞද්ධ මූලික ඉගැන්වීම් විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටිති. පිරිසිදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම්සහගත කුමන්ත්‍රණය වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුය. දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යය බවයි ද මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කලේ.

සම්බුද්ධ ශාසනය සහ ත්‍රිපිටකය රැක ගැනීමේ මෙහෙවරේ නිරත භික්ෂුන් වහන්සේට මෙම දුර්මතධාරීහු සංවිධානාත්මකව නින්දා අපහාස එල්ල කරමින් සිටින අතර ඒ පිළිබඳව කණගාටුව පළ කළ මහා සංඝරත්නය සමාජ මාධ්‍ය ජාල හරහා ගෙන යන මෙම වැඩපිළි‍වෙළ කෙරෙහි ද කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඇදහිලි හා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

ත්‍රිපිටකය රැක ගනිමින් සංරක්ෂණය කිරීම යනු බෞද්ධ උරුමයත්, සංස්කෘතියත් ආරක්ෂා කිරීම වන අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමෙන් පමණක් එය සුරක්ෂිත නොවන බවයි මහා සංඝරත්නය පෙන්වා දී ඇත්තේ.

ත්‍රිපිටක සංරක්ෂණ පනත කඩිනමින් කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාව ද උන්වහන්සේලා අවධාරණය කර තිබෙනවා.

2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් යෝජනා කෙරුණු බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත සවිබල ගැන්වීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

කෙටුම්පත මහා නායක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර මාසයක් තුළ සංශෝධන සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කෙරුණු අතර එහි ප්‍රගතිය ද සමාලෝචනය කෙරුනා.

බොහෝ පුරාවිද්‍යා ස්මාරක යනු බෞද්ධ උරුමයක් වන අතර පුරාවිද්‍යාත්මකව කාසියක් හෝ පෞරාණික භාණ්ඩයක් දෙස හෝ බලන අයුරින් පමණක් ඒ දෙස බැලීම සුදුසු නොවන බව මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා.

තීරණ ගැනීමේ දී අදාළ නිකාය මූලස්ථානවල අදහස් හා යෝජනා අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කර තිබෙනවා.

ආරණ්‍ය සේනාසන පවත්වාගෙන යාමේ දී භික්ෂුන් වහන්සේට රාජ්‍ය නිලධාරීන්ගෙන් එල්ල වී ඇති ගැහැට පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ මහා සංඝරත්නය උන්වහන්සේට නිදහස්ව ආරණ්‍ය සේනාසනවලට වැඩවිසීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස ඉල්ලීමක් කළා.

පරිසරය සහ සතා සීපාවා රැක ගැනීමට අතීතයේ පටන්  මහා සංඝරත්නය සුවිශාල කැපවීමක් කළ අතර භික්ෂුන් වහන්සේගෙන් කිසිදා පරිසරයට හානියක් නොවන බව අවධාරණය කෙරුණා.

කිසිවෙකුට පරිසරයට හානි කිරීමට  උන්වහන්සේලාගෙන් ඉඩක් නොලැබෙන බව ද මෙහිදී පෙන්වා දුන්නා.

තවමත් රටේ ජනගහණයෙන් 75%ක් පමණ වන ග්‍රාමීය ජනතාව දිගුකලක සිට විවිධ වූ ආර්ථික, සමාජ ගැටළු සමුදායකින් පීඩා විඳිනවා.

ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට ගමින් ගමට යමින් ජනාධිපතිවරයා දෙන ආදර්ශය අගය කළ මහා සංඝරත්නය ඊට ද එරෙහිව ඇතැම් පිරිස් ගෙන යන සාවද්‍ය ප්‍රචාර නිසා ගමට යාම නතර නොකරන ලෙසට ඉල්ලා තිබෙනවා.

වත්මන් රජය බලයට පත් කිරීමට අතිබහුතර ජනතාවක් කැපවීමෙන් ක්‍රියා කළ අතර ජනතාව අනුමත කළ එම ප්‍රතිපත්ති මාලාව සැමදා ආරක්ෂා කළ යුතු බව ජනාධිපතිවරයා කියසිටියා.

අවශ්‍ය වන්නේ තමා ආරක්ෂා කිරීම නොව ජනතාව අනුමත කළ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම බවයි ඔහු අවධාරණය කළේ.

රජයට එරෙහි විවිධ මඩ ප්‍රහාර ක්‍රියාත්මක වී ඇත්තේ මෙම ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව ජනාධිපතිවරයා සඳහන් කළා.  

ඒ සඳහා ඇතැම් පිරිස් විශාල මුදලක් වැය කරමින් සිටින අතර මෙම කුමන්ත්‍රණ කඩිනමින් ජනතාවට හෙළි කළ යුතු බව ද කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress