කලා නලා කාරයෙක්ව කටයුතු කරන රටේ, යුක්තිය, ධර්මය නිතිය සොයන්න එපා.
Posted on April 25th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

නලා කාරයාත් හොද කලා කාරයෙකි. නලාවේ හඩ ගෙනහැර පාන්නේ, එය පිඹින නලාකාරයාගේ කලාත්මක කුශලතාවයයි.  ඒ කුශලතාවයට, නයෙක් මෙන්ම සමාජයක් වුවද නැටවිය හැකිය. මේ නැටවීම අපූරු කලාවක් වන අතර, නැටවීම නම් වූ සංකල්පයත් සමග නටන්නෙක්ද ඉස්මතුවේ. මේ ඉස්මතුවූ නව චරිතය, නැට්ටුවා ලෙස කරලියට එනවිටම නලා කාරයාගේ තාලයට ගයන නව චරිතයක්ද ඉස්මතුවේ. ඒ ගායකයා ලෙස සමාජගතවන නව කලා කරුවෙකි, මේ වාදනය, ගායනය, හා නර්තණය බැලීම සදහා එක් රොක් වෙන සමාජ බලකායක්ද ඉස්මතුවන අතර. එම නව බලකාය ප්‍රේක්ෂකයින් වශයෙන් හැදින්වේ.මේ නලා කාරයා කලාකාරයා බවට පත්වී සිදු කරන ලද  සමාජ විප්ලවයයි.

මේ විප්ලවය කිරීමට තුවක්කු බයිනෙත්තු හෝ අත් බෝම්බ ඇවැසි නොවේ. සත්‍ය වශයෙන්ම අවශ්‍ය වන්නේ හොද නලාවක් හා එය මනාව හැසිරවිය හැකි නලාකාරයෙක් පමණි. මේ කලා කාරයා බවට පත්වූ නලා කාරයා මුළු මහත් සමාජයම තම කලා කුශලතාවයන් මගින් හසුරවන බල මුළුවක් බවට පත්වී සමාජයට විවිධ ආකාරයේ පණිවුඩ නිකුත් කිරීම ආරම්භ කරයි. ඔහු දෙන පණිවුඩය, සමාජය විසින් ඩැහැගන්නේ මහත් අභිමානයෙනි. ඒ පණිවුඩය තුල ඇති ගුණාත්මක බාවය සම්බන්ධව වෙහෙසෙනවාට වඩා, එය වැලදගෙන මනෝරාජ්‍යයයීය කලා කරුවෙක් බවට පත්ව කටයුතු කිරීමට ජනතාව පෙලඹේ. මෙය සමාජීය යතාර්ථයයි. නලා කාරයාගේ අරමුණ සමාජයට හොද පණිවිඩයක් ලබාදී ගුණ ගරුක සමාජයක් ගොඩ නැංවීම නම්, ඔහු මේ කලා බලමුළුව යොදා සමාජය ගොඩගන්නා අතරම, එහි ප්‍රතිවිරුද්ධය වුවද ඔහුට ඉටු කල හැක.

කලාව තුලින් සමාජය නව මාවතකට ගෙන ඒම සදහා ජනතා හිතවාදී මාවතේ කලාව මෙහෙය වන විට එය සමාජ විප්ලවයක් වශයෙන් දකින මනසට, ජනතා ද්‍රෝහී මගෙහි කලාව හසුරවන කලා කරුවා දකින්නේ  ප්‍රති විප්ලවවාදී කලා කරුවෙකු වශයෙනි. කලාවට කල හැකි කාර්ය භාරය අතිමහත්ය. කාර්යක් කිරීමට ශක්තියක් ඇවැසි වන බව අපි දනිමු, ඒ මත පදනම්ව බලන විට කලාව යනු ප්‍රබල ශක්ති ප්‍රභවයකි. මේ ශක්ති ප්‍රභවයෙහි බලය හදුනාගත්තවුන් ඒ ශක්ති ප්‍රභවය තමන්ගේ සතුරන්ව පුළුස්සා දමන්නට පාවිච්චි කරන්නේ ඉතාමත් සියුම් ලෙසය, කලාත්මක ලෙසය,

ඇත්තටම මේ කලාවට ඔතරම් ප්‍රබල කාර්යයක් ඉටුකල හැකි ශක්ති ප්‍රභවයක්ද? යන පැනය මේ අවස්ථාවේදී මිනිස් මනස තුල මතුව ඒ. කලාව මොටකර ඇති සමාජයක, ජන මනස තුල පැන නගින එක ප්‍රශ්නයකි ඒ. කලාවෙන් මොනවාද කල හැක්කේ, කලාව කන්නද? යන ප්‍රශ්න ඇසූ මෙරට සිටි ප්‍රබල දේශපාලකයින් තමන්ගේ දේශපාලන රැස්වීම් පවත්වන විට, දේශපාලන කතාවකට පසු ගායකයකුගේ හෝ ගායිකාවකගේ ගැයුමක්  යොදා ගත්තේ ජනතාව නොසෙල්වී රැස්වීම් බූමියේ රදවා ගැනීමටය. දේශපාලකයාගේ කථාවෙන් රැස්වීම් භූමිය හැර යාමට සිතක් පහල කරව ගන්නා ප්‍රේක්ෂකයාගේ මනසහි ගත් තීරණය වෙනස් කර, භූමියේ තව දුරටත් රදවා ගන්නා තීරණය ගන්නේ කලා කරුවාගේ ඇති ජන මනසට බලපෑම් කිරීමට ඇති ශක්තිය හේතුවෙණි.

වාදනය, ගායනය, නර්තණය මිනිස් සමාජයට උරුම වූයේ දිව්‍ය ලෝකයෙන් නම් ඒ දිව්‍ය ලෝකයට ඤාතිත්වයක් දරණ කලා කරුවා, මේ භූමියේ දේශපාලනය කරන දේශපාලකයා අභිමුවේදී නිවටව නියාළුව සිටිය යුතු නොවේ. නමුත් මේ රටේ සිටින කලාකරුවන්යයි කියා ගත් පරපුර දෙස බලන විට, සැබෑ ලෙසම මේ කලා පරපුර, යුගයේ කාර්යභාරය ඉටුකරනවාද? යන පැනය, අප ඉදිරියේ සිටගෙන, ඇයි මේ සම්බන්ධව කතිකාවතක් ආරම්භ නොකරන්නේ යන පැනය අසන්නේ, අපටද බලපෑම් කරමිණි. අපේ කලා කරුවා පසුගිය ඉතිහාසයේ ලද ශ්‍රේෂ්ඨ යුද ජයග්‍රහණය උදෙසා හෝ ලැබූ යුධ ජයග්‍රහණයේ බලය ජන මනස තුල ස්තාපිත කරන්නට සිදු කලේ කුමක්ද යන පැනය ඉදිරියේ, අපව අතරමං නොකරවන්නේ, සුනිල් එදිරිසිංහයන්, සහේලි, හා ” ධවල භීෂණය” හා බැදුන කලා පරපුරයි. මේ යුධ ජයග්‍රහණය ඉදිරියේ අපේ සම්භාව්‍ය කලාකරුවන් අතරමංවෙලා සිටියේ ඩොලර් නෝට්ටු අතරේ දැයි ප්‍රශ්නයක් ජන මනස තුල ඇත. ජාට්ඝියේ අභිමානවත් අවස්තාවක ගයන්නට සිතෙහි ගී පදවැල් මතු නොවෙන කළා කාරයා ඔබින්නේ කුණු බක්කියට මිස ඉහළ පුද සත්කාර ලැබීමට නම් නොවේ. අපේ කළා පරපුරට  ඇයි එහෙම උනේ යන පැනය ජන මනස තුල ප්‍රබලව ගමන් කරන පණිවුඩයයි. මේ රටේ ප්‍රබල ගීත රචකයින්ගේ පෑන් තුඩින් මේ උදාර කර්තව්‍යය සම්බන්ධව ගී පදවැල් නොලිය වුණෙ ඔවුන් මුදල් අරබයා ගී පදවැල් ලියූ සිරගත කලාකරුවන්වූ බැවින්ය යන මතය ජන හද තුල බුර බුරා දෙන දෝංකාරයයි.සැබෑ කරුණද වන්නේ එයයි.

මෙරට ගීත රචකයින් හා ගායකයින් හා ගායිකාවන් මේ අභිමානවත් යුධ ජයග්‍රහණය ඉදිරියේ නිදි පෙති අරගත්තවුන්සේ නිද්‍රාවට පත්ව සිටින විට, සාමාන්‍ය ජනතා සිත්වලින් මේ යුද්ධය හා එහි වටිනාකම ක්‍රම ක්‍රමයෙන් මැකී යෑම සිදුවෙනු ඇත. අප ජන හදවත් තුල මේ යුධ ජයග්‍රහණය හා බැදුන වර්තමාන සංවර්ධන කාර්යයන් නිධානයක් සේ නිධන්ගත කරවන ගීතාවලියක අවශ්‍යතාවය රට ඉදිරියේ මතුව පවතී. එය කලාකරුවන් උදෙසා පවතින අභීයෝගයකි. නමුත් කිසිදු කලාකරුවෙක් ඒ කාර්යට අත ගැසුවේ නැත. යුද්ධය නිම කිරීම තුලින් ලද නිදහස උපයෝගී කරගෙන සංදර්ශන පවත්වමින් මුදල් ඉපයීමේ කාර්යටම සිය කාලය යොමුකළ කලාකරුවා මෙරට ජනමනස තුල ඒ වටිනා පණිවුඩය නිධන් නොකර යලිත් ජනමනස තුල ත්‍රස්තවාදී බිජ රෝපණය වී පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකකට පසුව, කොහිද යුක්තිය, කොහිද ධර්මය, කොහිද නිතිය යයි අසන්නට කිසිදු අයිතියක් නැති බව කීමට සිදුව තිබේ. මුදල් පසු පසම හඹා යන ඔබලා හෙට අනිද්දා මේ අපරාධකාරයින්ව අත්අඩංගුවට ගෙන දඬුවම් දීමට කටයුතු කරන විට “යදමින් බැද විලංගුලා මගේ පුතා රැගෙන යා” යයි කියමින් ඔවුන් වෙනුවෙන් ගී ගැයුවද මෙරට ජනතාව පුදුම නොවෙති. ඒ අපේ කළා කරුවන්ගේ ස්වභාවයයි රටට ජාතියට වැඩදායි කලාකරුවන්ගේ ප්‍රබල හිඟයක් ඇතිබව ඉතා පැහැදිලිව පෙනේ…

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress