කළුකොඳයාවේ මහනාහිමි හා හිට්ලර්
Posted on May 5th, 2021

චන්ද්‍රසිරි විජයවික්‍රම

හැදින්වීම

2017 පෙබරවාරි මස මුලින් ලියන ලද මෙම ලිපියේ මාතෘකාව වූයේ, “රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි ” කියාය. එය “කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර මහනාහිමි හා හිට්ලර්” යනුවෙන් වෙනස් කලයුතුය කියා මට සිතුනේ, දැන් 2021 මැදවන විට රටේ දක්නට ලැබෙන අසතුටුදායක, අවිනීත සමාජ දේශපාලන වාතාවරණය නිසාය. හිට්ලර් කෙනෙක්වෙලා හෝ රට බේරා ගන්න යයි 2019 ජනාධ්පති මැතිවරණයට පෙර හාමුදුරුනමක් කල අනුශාසනාවක්, විකෘතිකර, ගෝඨාභය චන්ද අපේක්ෂකයාව ගෝනි බිල්ලෙක් සේ හුවා දක්වන්නට සජිත් හා අනුර කුමාර පිල් ගත් අශොභන වෑයම සිංහල බෞද්ධ ජනතාව ප්‍රතික්ෂේප කලේය.

මේ වනවිට උඩුදුවා ගොස් ඇති ලංකාව වෙලාගෙන, ගිලගෙන සිටින, – දේශපාලකයා-නිලධාරියා-එන්ජීඕකාරයා- යන දුෂ්ට ත්‍රිකෝණය වෙනුවට,
ගම් මට්ටමින්, ග්‍රාම සේවක වසම් හෝ ප්‍රාදේශීය සභා කොට්ඨාශ මට්ටමින්, නව පරිපාලන ත්‍රිකෝණයක් බිහිකල හැකි බව කළුකොඳයාවේ හිමිදුන් 1930-40 දශක වලදී රටට පෙන්වා දුන්නේය. උන්වහන්සේ ඒකාලයේ ඒ සඳහා යොදාගත්තේ පොලිසිය, පන්සල හා ග්‍රාම සංවර්ධන සමිතිය යන ත්‍රිත්වයය.

මෙම අතිශයින් සාර්ථකවූ දීප ව්‍යාප්ත වැඩ සටහන සුද්දන්, කළුසුද්දන් හා නිලධාරීන් විසින් කඩාකප්පල් කර දමන ලදී. ඩොනමෝර් ඇමතිවරුන් වූ ඩී. බි. ජයතිලක, ඩී. ඇස්. සේනානායක හා බණ්ඩාරනායක යන තිදෙනා මෙන්ම, මැලේරියා බඩුමළු බෙදමින් ගිය තරුණ මාක්ස්වාදීන්ද මීට වගකිව යුතුය. එංගලන්තයෙන් ගෙනා පක්ෂ දේශපාලන ක්‍රමය ලංකාව විනාශ කලේය. 2009 දී රට දෙකඩ වීමෙන් බේරාගැනීම හැරෙන විට, රටේ සිටි අගමැතිලා/ජනාධිපතිලා කර ඇති අඥාන ක්‍රියා නිසා අද ජනයා දුකට වැටී ඇත. ඔවුන් බොහෝ විට හැසිරී ඇත්තේ ආත්මාර්ථකාමී ලෙසටය. ඊළග චන්දය දිනන්නේ කෙසේද, වස්තු සම්භාර එකතු කරගන්නේ කෙසේද යනාදිය සිතමින්ය.

මීට වෙනස් ආකාරයකට ක්‍රියාකිරීමක් සිංහල බෞද්ධ ජනයා ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තුවේ. අවුරුදු 72 ක් පුරා සිටි ආකාරයේ තවත් කබල් දේශපාලක පංචස්කන්ධයක් නොවේ. උභතෝකෝටික ප්‍රශ්ණ ජාලාවකට ඔහු මැදිවී, හිරවී සිටී. විශේෂයෙන් විරුද්ධ පක්ෂය හා දෙස් විදෙස් සතුරු බලවේග ගෙනයන අසාධාරණ, අසත්‍ය, සංවිධානාත්මක ප්‍රහාර ගැන සිතන විට, සිංගප්පූරුවේ ලී ක්වාන් මතක් වෙන්නේ, ඔහු ඊට ඉඩදුන්නා නම් ඒ දූපත අදටත් මඩවඟුරක් වන්නට තිබුණ නිසාය. බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ, විශේෂයෙන් 1978 න් පසු සිදුවී ඇත්තේ රජය මගින්ම ජනතාවට වස කැවීම නොවේද?

හිට්ලර් කෙනෙක් වෙලා හෝ රට බේරාගන්න යැයි කීමෙන් අදහස් වුනේ විනය ගරුක ශිෂ්ට සමාජයක් ගොඩනගා ගැනීමය. සතුටින් පිරි රටවැසියෙක් (හැපිනස්) මතුවන්නේ එමගින් පමණය. කොරෝනා වසංගතය අපට පෙන්වන්නේ රටේ මිනිසුන්ට නිදහස හා සාමය ලඟා කරදීම දැනට පවතින සුද්දගෙ නීතිය, බොරු නීතියේ ආධිපත්‍යය වැනි සුරංගනා කතාවලින් කල නොහැකි බවය. සම්මුතිවාදී ග්‍රාම මට්ටමේ පාලන ක්‍රමයකින් එය කල හැකි බව, ගම-වැව-දාගැබ යන අපගේ අතීත සමාජ, ආර්ථික, දේශපාලන ත්‍රිත්වය ( මොඩලය ) නූතන සමාජයට අනුව ගලපා ගැනීමක් කළුකොඳයාවේ මොඩලය මගින් සිදුවිය.

පලාත් සභා නම් මර උගුල වෙනුවට මෙම ක්‍රමය ක්‍රියාවේ යොදවාවිය යන්න “ජන මූල සභා” යන චන්ද ප්‍රකාශණයේ තේරුම නොවේද කියා සිතේ. මේ මගින් රටේ ප්‍රශ්ණ වලින් සියේට හැත්තෑවක් පමණම විසඳා ගත හැකිය. එය දැන් මෙන් නොව සැබැම ප්‍රජාතන්ත්‍රවාදයක් කල හැකි වන්නේ ගම් මට්ටමින් බලතුලනය කිරීමෙන්ය. පක්ෂ දේශපාලනයෙන් තොරව තෝරාගත් නියෝජිතයින් දහ දෙනෙක්, පන්සලකින් හාමුදුරුනමක් බැගින් (කෝවිල්/පල්ලිද සමඟ ) හා පොලිසි/යුද හමුදා නිලධාරීන් යන කොටස් තුන අළුත් පාලන ත්‍රිකෝණය ය. මාසයකට වරක් පොදු මහජන රැස්වීමක් මගින් ප්‍රගතිය සමාලෝචනය ( මොනිටර් ) කරණු ලැබේ.

1802 න් පසු ලංකාවේ ඉතිහාසය පන්සල හා පාලකයින් (සුද්දන් හා 1948 න් පසු කළුසුද්දන්) අතර ඇතිවූ සනාතන ගැටුමක/ අරගලයක කතාවක් නොවේද යනුවෙන් විමසා බලන විට හඳුනා ගතහැකි අවධි අතරින් එක් අවධියක් වන්නේ, අනාගාරික ධර්මපාලතුමා අනුව යමින් කළුකොඳයාවේ නාහිමිඳුන් කල උදාර ජාතික මෙහෙවරය. හීනටිගල ධම්මරතන හිමියනුත්, හොරණ ප්‍රදේශයේදී විල්මට් ඒ පෙරේරාත් මෙවන් ක්‍රියාවල නිරත විය.

මුර දේවතා සංකල්පය ලෝකයේ වෙන කිසිම බෞද්ධ සමාජයක දක්නට නැති සංසිද්ධියකි. නෝත් ආණ්ඩුකාරයාගේ සිට හා 1940 ස් ගණන් වල ඩී.බී-ඩී. ඇස් කාලයේ, “පොලිටිකල් මන්ක්ස්” යනුවෙන් හංවඩු ගැසීමට ලක්වූ රට ජාතිය වෙනුවෙන් අරගල කල හාමුදුරුවරුන්ට 1978 න් පසු එල්ලවූ අභියෝග එමටය. 2015 න් පසු උදාවූ යහපාලන මරාළයේ , සිංහල බෞද්ධ විරෝධී, මහාවංශ විරෝධී කුමණ්ත්‍රණ ව්‍යාපාරය, රන්ජන් අල්ෆොන්සෝ රාමනායක හිරගෙට යාමෙන් වැලලී ගියත් මළේ නැත. මේ නිසා මෙම පන්සලේ ඉතිහාස කතාව වැඩිදුරටත් විමසිය යුතුය. ඊළඟ ලිපියෙන් එය සළකා බලමු.

රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි

ගිහි-පැවිදි භේදය

කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර මහානායක හිමියන්ගේ ස්වයංලිඛිත චරිතකථා පොත (1970) කියවිය යුතුය කියා මට සිතුනේ එච් එල් සෙනෙවිරත්න මහතා විසින් ලියූ ද වර්ක් ඔෆ් කින්ස් (1999) යන පොත කියවූ පසුවය. එම පොතෙන් ඔහු කියා සිටියේ රජවරුන් විසින් කලයුතු වැඩ වලට හාමුදුරුවරුන් අත ගසා ඇතිබවය. හාමුදුරුවරු ආරණ්‍යගතව භාවනායෝගීව සිටිය යුතු බවත් දේශය පාලනය කිරීමේ කාරියට අතනොගැසිය යුතු බවත් යනුවෙන් ඔහුගේ පොතේ සඳහන්වූ එක්තරා ගැමියෙකුගේ මතය ඔහුගේද මතයවූ බව පෙනේ. ඔහු විශ්ව විද්‍යාලයේදී මාක්ස්වාදීයෙක්ව සිටියේය. ලෝ වැසියාගේ හිතසුව පිණිස ගම් නියම් ගම් සැරිසරණ ලෙස පස්වග මහණුන්ට බුදුහාමුදුරුවන් දුන් උපදේශය පන්සිල් පද කියාදීමට හැර, මිනිසුන්ගේ කුසගිනි නිවීම, සාමය හා සතුට ලබාදීම යනාදී කාරණා ඊට ඇතුලත් නොවන්නේය යන්න මේ මතයේ හරයය. එහෙත් 1916 දී සිටම කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමියන් කියා සිටියේ ආගමකින් කළ යුතු කාර්‍ය්‍යය නම් මිනිසුන්ගේ ජීවිත සකස් කිරීම (හැදීම) බවත්, ඒ සඳහා ජීවිත නොමඟ යාමට ඇති හේතු මොනවාදැයි සොයා බලා එම හේතු වළක්වා ගැණීමට උපදෙස් දියයුතු බවත් යන්නය (ප්‍රඥාශෙඛර චරිතය, 230 පිටුව).

පන්සල හා ගම

තමන්ගේ වැරදි මතය අන්තයටම ගෙන ගිය එච් එල්, ලංකාවේ ප්‍රශ්නවලට (සිංහල-දෙමළ?) වගකිව යුතු වල්පොල රාහුල හා යක්කඩුවේ ප්‍රඥාරාම යන හාමුදුරුවරුන් දෙන්නා යයි කියා සිටියේය. ඔහුගේ පොත ලිවීමේදී රාහුල හාමුදුරුවන් (1907-97) ගෙන්ද උදව් ලබාගත් බව සඳහන් කර තිබූනත් ඔහුගේ මේ බරපතල චෝදනාවට පිළිතුරු දීමට උන්වහන්සේට අවස්ථාවක් නොලැබුණේ පොත පිටවන විට උන්වහන්සේ ජීවතුන් අතර නොසිටීමය. පන්සල හා ගම අතර තිබුණ ගසට පොත්‌ත වැනි බැඳීම නමැති සුද්දන්ට මතුවූ උභතෝකෝටික ප්‍රශ්නය නෝත් ආණ්ඩුකාරයා දැනගත්තේ 1805 දීය (312 පිටුව). දැන් 2017 දී මේ ප්‍රශ්නය කළු සුද්දන්ට හා එන් ජී ඕ මුදලාලිලාට ලොකුම හිසරදයක් වී ඇත. ඔවුන් වටකරගෙන බෞද්ධාගමට හා ශාසනයට පහර දෙන්නේ ඒ නිසාය. පන්සලේ පූජා කිරීමට මල් කැඩීමෙන් මීමැස්සන්ට පැනි නැතිවන නිසා සත්‌ව හිංසාවක් වෙන බවත්, කුඩා ළමුන් මහණ කිරීමෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩවන බවත් කියන තරමට එය උන්මත්‌තක ව ඇත.

බෞද්ධයා රැවටීම

2003 දෙසැම්බර් 12 දින, කුමණ්ත්‍රනයක් යැයි සැකසිතෙන ආකාරයට රුසියාවේදී සිදුවූ සෝම හාමුදුරුවන්ගේ නැතිවීමත් සමඟ යටගිය සිංහල බෞද්ධ බලවේගය, 2012 මැයි මස ඇරඹුණ බොදු බල සේනාව විසින්, පන්සලේ බණ මඩුවෙන්, ප්‍රසිද්ධ වේදිකාවට ගෙන යාමත් සමඟ මේ ප්‍රහාරය අමුතුම වේශයක් ගෙන ඇත. දේශපාලකයින් විසින් සිංහල බෞද්ධයාව හිත හොඳ ගැහැනියක් සේ සැළකීමට විරුද්ධව මිලිටන්ට් ව්‍යාපාරයක ඇති අවශ්‍යතාවය හා වතුර සොයා ගොස් ලිප් බොක්කේ හිරවූ බෝධි සත්‌ව නාගයා විසින් දර ඉපලක් ගත් මැහැලියට ඉගැන්වූ පාඩමේ කාලෝචිත භාවය, බොදු බල සේනාව රටටම හා ලෝකයටම එලිකර දුන්නේය. හාමුදුරුවරු දේශපාලනයෙන් ඉවත්‌විය යුතුයයි කී අයගේ සටන අන්තිමේදී ඇමෙරිකන් තානාපතිනි මිචෙල් සිසන් අට පිරිකර සමඟ කෝට්ටේ නාග විහාරයට යෑමෙන් කෙළවර විය. කබරගොයා තලගොයා විය. එහෙත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ රට වෙනුවෙන් පෙන්වූ හොඳ හිත හා තරුණ ජීවිතය, පරාජිතවූ මනසකින්, හා සැක මතුකරමින් සිංගප්පූරු වෛද්‍ය ගුවන් යානයක් තුල අවසාන විය.

වර්‍ෂ 2001 වනවිට ප්‍රඥාශෙඛර ස්වයංලිඛිත චරිත පොතක් ලංකාවෙන් හොයා ගැනීම හරියට කළුනික සොයනවා වගේ විය. අන්තිමේදී බොහෝ දෙනෙක් හා සම්බන්‌ධකම් තිබූ මගේ බිරිඳගේ සොහොයුරා මේ පොත හොයා ගත්තේ ඔහුට 1970 දී ඒ පොත මුද්‍රණය කල අයව දැන සිටි කෙනෙක්ව කොළඹ ආපනශාලාවකදී අහම්බෙන් මුණ ගැසීම නිසාය. පොත් ලෙස කපා පිළියෙල නොකල එහි මුද්‍රිත කොල මිටි කීපයක් ඔහු ලඟ ඉතිරිවී තිබුණේය. ඉන් එකක් ලබාගෙන ඒවා කපා පොතක් ලෙස බන්ඳවා ඔහු මට එව්වේය. මේ පොත හොයා ගත්තේ කෙසේදැයි මියගිය ආනන්ද ගුරුගේ මහතාද වරක් මගෙන් ඇසුවේය. හිටගෙන නිදා ගන්නා, නිදාගෙන බණ කියන උන්වහන්සේ ගැන මතකයක් අද කාලයේ ලංකාවේ මිනිසුන්ට නැත. හාමුදුරුනමක් වශයෙන් බණ දහම් අංශයෙන් උන්වහන්සේ විසින් කර ඇති සේවය විෂ්මය දනවයි. තනි පුද්ගලයෙක් මේ සියල්ල කලේ කෙසේද යන්න අදහා ගැනීමට පවා අපහසු වුවත්, උන්වහන්සේ ඒ සියල්ල දිනපතා දිනපොතක ලියා තබා ඇත.

අනාගාරික ධර්‍මපාලතුමාගේ ආදර්‌ශය

1895 දෙසැම්බර් 30 දා උපන් දොන් ඉඟෝනිස් නමැති දරුවා කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නමින් පැවිදිවූයේ 1911 පෙබරවාරි 23 වන දාය. සතිපතා සෙනසුරාදා දිනයේ පන්සලට ලැබෙන සිංහල බෞද්ධයා පත්‍රය කියවීම හාමුදුරුවන්ගේ පුරුද්දක් විය. එහි කොටස් වශයෙන් පළවූ අනාගාරික ධර්‌මපාලතුමාගේ දැන ගත යුතු කරුණු නමැති දීර්‍ඝ ලිපිය උන්වහන්සේගේ අදහස් වෙනස් අතකට පෙරළුවේය. <ගිහියා වේවා පැවිද්දා වේවා මේ සිංහල රට ජන්මභූමි කොට ඇත්තෙක් වී නම් සියරට වෙනුවෙන්, ආගම වෙනුවෙන්, ප්‍රජාව වෙනුවෙන් සේවාවක් කළ යුතුයයි මට අවබොධ වූයේ එම දැන ගත යුතු කරුණු කියවීමෙනි. කවර ජාතික ආගමික සේවාවක් හෝ කිරීම ජීවිතලාභයෙහි ඵලයකැයි එම ලියවිලි කියවීමෙන් වැටහී ගිය මා තුළ ඇතිවූයේ අතිශය උද්වේගයකි> (119 පිටුව). මේ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු විස්සකි (1916). ලංකාව අද වැටී ඇති අවාසනාවන්ත අඩිය ගැන සිතන විට මේ හාමුදුරුවන් 1930-50 අතර කාලය තුල ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරය උදෙසා කල කැප කිරීම රටට ලැබී නැතිවී ගිය දියසේන කුමාරයෙක්ගේ සේවාවක් වැනිය.

බණමඩුව හා පාංශකූලය

ක්‍රිස්තියානි හා මාක්ස්වාදී සම්භවයක් ඇති රාවය පත්‌තරේ වික්ටර් අයිවන් වැනි අය හා නා නා මාදිලියේ දෙස් විදෙස් සුද්දන්, කළු සුද්දන් ඊලම්කාරයින් හා පල්ලි නිකායිකයින් විසින්, සිවුර, බණ මඩුවට හා පාංශකූලයට සිරකර තැබීමට දැන් 2017 වනවිට කරගෙන යන අඛණ්ඩ ව්‍යාපාරයට, දැනට අවුරුදු සීයකට පෙර, 1916 දී සිට 1970 ගණන් වනතුරුම න්‍යායාත්මක, ප්‍රායෝගික හා යථාර්‍ථවාදී බෞද්ධ පිළිතුරක් උන්වහන්සේ විසින් දී ඇති ආකාරය අති විශිෂ්ටය. රාහුල හාමුදුරුවන්ගේ භික්‍ෂුවකගේ උරුමය නම් පොතත්, 1956 නිහඬ විප්ලවයට බලපෑ යක්කඩුවේ හාමුදුරුවන්ගේ විද්‍යාලංකාර ප්‍රකාශනයත් පළවූයේ 1946 දීය. 1931-32 වන විට ආරම්භකර, ග්‍රාමප්‍රතිසංස්කරණය හා අපරාධමර්‍දනය නමින් කාරණා 99 කින් යුත් පොත් පිංචක් ලෙස 1942 දී කළුකොඳයාවේ හාමුදුරුවන් විසින් ඒ ව්‍යාපාරය ගැන කල විස්තරය කළු සුද්දන්ගේ හා එන් ජී ඕ පොත්පත් ලේඛනාදියේ සඳහන් නොවේ. එය කූඨ ලෙස යටගසා, වලලා දමා ඇත. අද 2017 දී කොසොල් රජතුමාගේ සීන සැබෑවී ඇති අවධියක හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් බෞද්ධ රාජ්‍ය සංකල්පය ලෝකයටම පතුරවාලීමට කතාකරමින් සිටිනා අවස්ථාවක (2017 ලෝක වෙසක් දිනය ලංකාවේ පැවැත්‌වීමද සමඟ) 1931 දී ඇරඹූ ඒ අනගි ව්‍යාපාරය කළු සුද්දන් විසින් කඩාකප්පල් කර දැමූ බව දන්නේ කී දෙනාද?

බෞද්ධ දේශපාලනය

ලංකාවට හූනියමක් වී ඇති පක්‍ෂ දේශපාලන බොරු වල, ලංකාවට නොගැලපෙන සුද්දන් ඇටවූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමැති නාස් ලණුව, 13 වන සංශොධනය නම් මර උඟුල, දෙමළ ඊලම්වාදය හා මුස්ලිම් ශාරියාවාදය, ගම් මට්ටමින් මහජනතාවට බලය මාරුවන ජන සභා ක්‍රමය, මහජාතිය හා අනිත් ජන වාර්ගික කොටස් සමඟ සංහිඳියාව හා තිරසර සංවර්‌ධන මාවත යන මේ අද ලංකාව මුහුණපා සිටින උභතෝකෝටික නොහොත් අන්තෝ ජටා-බහි ජටා ප්‍රශ්න වලට 1931 දී සිට කළුකොඳයාවේ හාමුදුරුවන් ගත් විසඳුම මිස වෙන විසඳුමක් තිබේද යන්න මේ පොත කියවන්නට ලැබුණා නම් අතුරැලියේ රතන හා ගලබොඩ අත්තේ ඥානසාර හිමිවරුන්ටත් රටේ ජනාධිපතිවරයාටත් ප්‍රත්‍යක්‍ෂ වනවා නිසැකය. දැන් බදාගෙන දඟලන සිංගප්පූරු-ඉන්දියන්-චීන, හෝ දකුණු අප්‍රිකා මොඩල් වෙනුවට මෙම කළුකොඳයාවේ මොඩලය (ක්‍රමවේදය) අපේ උරුමය නොවේද? ගස් කොලන් කපා දමමින් රටට කරනා මෙගාඩීල් විනාශය වෙනුවට පරිසරය රැකගන්නා ගම-වැව-දාගැබ නම් සිංහලේ ත්‍රිත්‌වය මේ මොඩලය මය.

කළුකොඳයාවේ මොඩලය

තවමත් පිරිවෙන් ශිෂ්‍යයෙකු වශයෙන් සිටියදීම දෙමටගොඩ කොලොන්නාව පාරේ කුලී ගෙයක පවත්වා ගෙන ගිය ධර්‌මදාන සමිතියක උප‌අනුශාසකවරයා වශයෙන් 1917 ජනවාරි 21 පත්‌වූ හාමුදුරුවෝ දෙවසරකට පසු එහි ප්‍රධාන අනුශාසකවරයා විය. මෙම සමිතිය විසින් ද්‌විභාෂා (සිංහල හා ඉංග්‍රීසි) රාත්‍රී පුණ්‍ය පාසැලක් ආරම්භ කරන ලදී. ගිහියන් හා පැවිද්දන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ ඇති වැදගත්කම (ප්‍රයෝජනය) උන්වහන්සේ නිතරම සඳහන් කර ඇත. 1931-32 කාලයේ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු එම් ටී අක්බාර් මහතාගේ මාර්‍ගදේශකත්‌වයෙන් පැවති දීප ව්‍යාප්ත අපරාධමර්‌දන ව්‍යාපාරයට හාමුදුරුවන්ගේ එක්‌වීම සිදුවන්නේ 1933 ජනවාරි මාසයේ කොළඹ ආනන්ද විදුහලේ පැවැත්‌වූ මහ සභාවකට අනුශාසනයක් දීමට ලැබුණු අරාධනාවට පසුවය.

පක්‍ෂ දේශපාලනය නම් වසංගතය බෝවීමට කලින් අපරාධම‌ර්‌දන ව්‍යාපාරයේ මුල් තැනක් ගෙන ක්‍රියාකල උන්වහන්සේ 1931 න් පසු පක්‍ෂ දේශපාලනය රටට කරන විනාශය මෙහිදී පෙන්වා දුන්නේය. ගම් වැසියාගේ ජීවනත‌ත්වය උසස් කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙමින් කල අනුශාසනය පොතක් ලෙස මුද්‍රණය කිරීමට එය අසා සිටි අක්බාර් විනිසුරු අරාධනාවක් කලේය. එය පියසේන නිශ්ශංක කතුවරයා විසින් පසුදා සිටම ග්‍රාමප්‍රතිසංස්කරණය හා අපරාධමර්‌දනය යන සිරස් තලයෙන් සිළුමිණ පත්‍රයේ කොටස් වශයෙන් පළකරණ ලදී (242 පිටුව).

මෙම පොතේ අදහස් අත්‌හදා බැලීම පිණිස තෝරාගත්තේ (අපරාධමර්‌දන-ග්‍රාමාරක්‍ෂක මහාසංගමය, 1933 අප්‍රියෙල් 30 දා පිහිටුවන ලදී) හේවාගම්කෝරළය ය. 1934 දී කෝරළය පුරා පැතුරුණු මැලේරියා වසංගතය නිසා හැම ගමකම ශාඛා පිහිටුවීමට නොහැකි වුවත්, මුදලිවරු, පොලිසිය, දිසා විනිසුරු හා මන්ත්‍රී ෆොරැස්ටර් ඔබේසේකරද එයට සහාය ලබාදුන්නේය. මේ අතර 1912 දී රටේ මුලින් ආරම්භවුණ අමද්‍ය ව්‍යාපාරයට නව පණ දීමක් 1933 දී සිදුවිය.

මාවනැල්ල පොලිස් සථානාධිපති ඩී අබේවර්‍ණ මහතාගේ මැදිහත් වීමෙන් 1940 සැප්තැම්බර් 27 දා රාත්‍රියේ එලිවනතුරු එවකට කෑගල්ලේ උප පොලිස් සුපිරින්ටැන්ඩන්ට් ව සිටි ඔස්මන් ද සිල්වා සමඟ පැවැත්වූ ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරයට අදාල සාකච්චාව ඓතිහාසික සිදුවීමක්, කැස්බාවෙන් දෙන්නෙක් දියට දැමීමක් යයි හාමුදුරුවෝ සටහන් කර ඇත (366 පිටුව). කෑගලු දිස්ත්‍රික්කයේ ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරය ඇරඹුණේ එලෙසය. දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හය පුරාම සමිති බිහිවීම ඇරඹුණේ 1940 නොවැම්බර් 25 ප්‍රසිද්ධ රැස්වීමකට පසුවය. 1941 අප්‍රියෙල් වනවිට දිත්‍රික්කයේ තැන් 73 ක ග්‍රාම සංවර්‍ධන-ජාතිකෝත්සව සංවිධානය කරන ලදී. මේ නිසා සිංහල අවුරුදු කාලයේදී දිස්ත්‍රික්කයේ කිසිම අපරාධයක් සිදු නොවීය. ගම් බිම් කෙත් වතු සරු සාර වෙමින් දිලෙන්නට විය. උන්වහන්සේගේම වචනයෙන් කියතොත් < මෙයට පෙර අවුරුදු දහයක් පමණ කල් ප්‍රත්‍යක්‍ෂාවබොධයක් නැතිව සිහිනෙන් දකින්නාක් මෙන් රටට අවශ්‍ය සංවර්‍ධන ව්‍යාපාරය නම් මේ යයි සිතා ඒ පිළිඹඳව මම අනුශාසනය කෙරෙමින් සිටියෙමි. ක්‍රියාත්මක ව්‍යාපාරයකට සම්බද්‌ධ වන්නට හැකි වූයේ කෑගලු දිස්ත්‍රික්කයේදීය. මා දකිමින් සිටි සිහිනය ස්වල්පකාලයක් තුළ දීම සත්‍යයක් වූ බව ප්‍රත්‍යක්‍ෂයෙන් දත හැකි වූයේය> (371 පිටුව).

මේ නිසා රටේ ඉතිරි දිස්ත්‍රික් 20 තුළද මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් ඊට පෙර කෑගලු දිස්ත්‍රික්කයේ ව්‍යාපාරය ආදර්‍ශ ප්‍රදේශයක් වශයෙන් ස්ථාවරත්වයට පත්කර ගැනීමටත් රජයේ සහයෝගය ලබාගතයුතු බව වටහාගත් හාමුදුරුවෝ ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන ඇමතිවරයාවූ සර් දොන් බාරොන් ජයතිලක මහතා හමුවිය. දිස්ත්‍රික්කයේ සංචාරයක් කල එතුමා එහි අගය අවබොධකරගත් බව දැන්වූ විට එසේනම් ව්‍යාපාරය ස්ථාවර කරගන්නා තෙක් ඔස්මන්ඩ් සිල්වා මහතාට අවුරුද්දක් දෙකක් මේ දිස්ත්‍රික්කයේම ඉන්නට ඉඩ සලසා දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. මෙයට හේතුව වූයේ රටට හෝ රටවැසියාට හිතකර ලෙස රාජකාරිය කරණ නිලධාරීන්ට ප්‍රමාණවත් කාලයක් එම ස්ථානයේම රැඳී සිටින්නට ඉඩ නොදීම එදා පාලනතන්ත්‍රයේ උසස් ධර්‍මතාවක් මෙන් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබුණ හෙයිනි. රට හදන්නට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔස්මන්ඩ් සිල්වා මහතාව වෙන පෙදෙසකට මාරුකර යවන්නට වෙර දරණ යත්න දරණ පිරිසක් ඒ වන විටත් මතුවී සිටින බව උන්වහන්සේට ආරංචිවී තිබුණේය. < එහෙයි, ඔබ වහන්සේගේ ඉල්ලීම ඉටු කරන්නට හැකිතාක් උත්සාහ කරණවා යයි ඔහු කී නිසා මම එයින් තෘප්තියට පත්වීමි> (372 පිටුව).

එසේ වුවත් සිදුවූයේ කුමක්ද? රජයේ සිවිල් නිලධාරියෙකු මේ ව්‍යාපාරය ගැන පරීක්‍ෂාකිරීමට පත්කල බව ප්‍රසිද්ධ විය. කෑගලු දිත්‍රික්කයේ ගමක් පාසා ගොවිතැන්බත් සරුවී ඇත. ගම් රැසක පාලුවට තිබූ ඉඩම් කැබලි වැවිලිවලින් පිරී ඇත. අපරාධ සියේට පනහකින් අඩුවී ඇත. බොහෝ නිලධාරීන් ඔස්මන්ඩ් සිල්වාගේ මේ ව්‍යාපාරයට සහයෝගය දුන්නේ එය අතිශයින්ම සාර්‍ථකවූ නිසාය. නමුත් දේශ ද්‍රොහී ප්‍රබල නිලධාරීන්ට එය ඇහේ කටු ගසන්නාක් මෙන් විය. හාමුදුරුවන්ගේ සහාය නිසා ආගම් භේදය පිළිඹඳ කුමන්ත්‍රණයක්ද ඇතිවුයේ යයි කියති. < අපගේ ව්‍යාපාරය කවර ආගමික ප්‍රචාරයක් සඳහා වත් ආයුධ කර නොගන්නා ලදී. කෑගලු දිස්ත්‍රික්කයේ ඉතා ස්වල්ප දෙනෙකුන් හැර හැම දෙනාම වාගේ බෞද්ධයෝය. ප්‍රදේශයේ සෞඛ්‍ය තත්වයේ සැළකිය යුතු දියුණුවක් ඇතිවිය. සොරකම, වංචාව, දුරාචාරය, සූදුව හා සුරාපානය බෙහෙවින් ම අඩුවිය> (374 පිටුව).

මේ හැර ඔස්මන්ඩ් සිල්වා මහතාගේ පුද්ගලික ජීවිතය පිළිඹඳ කරුණු පවා හුවා දැක්‌වින (පසු කළෙක ඔහු විවාහ වන්නේ පොලිස්පති සර් රිචඩ් අළුවිහාරේ ගේ දියණිය සමඟය). අන්තිමේදී ව්‍යාපාරය කඩා කප්පල් කර දැමූ නිලධාරී වාර්‍තාවත් සමඟ ඔහුව බම්බලපිටියේ පොලිස් අභ්‍යාසවිද්‍යාලයේ අධිපති ලෙස උසස්කර මාරු කර යවන ලදී. එතැනට ගම් වැසියන් යන්නේ නැත. තමන් දුන් ප්‍රතිඥාව වෙනස් කළේ ඇයිදැයි විමසූ විට ජයතිලක මහතා දුන් ක්‍ෂණික පිළිතුර වූයේ පාලන ව්‍යවස්ථාව අනුව මාරුව කළයුතුම බවය. එහෙත් ප්‍රතිඥාව දෙන විට තිබුණේද ඒ ව්‍යවස්ථාවමය (376 පිටුව). කෙසේවෙතත් කෑගල්ලේ ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරය කුරුණෑගල හා මහනුවර දිස්ත්‍රික් වලටද ව්‍යාප්තවිය. <එහෙත් රජයේ ප්‍රබල නිලධරයෙකුගේ අවංක හෘදයංගම සහයෝගය නැතිව අපගේ අනුශාසනයෙන් හා මාර්ගෝපදේශකත්වයෙන් පමණක් මෙබඳු පෘථුල ක්‍රියාමාර්‍ගයක් සමෘද්‌ධ කල නොහැකි බව හොඳින් ප්‍රත්‍යක්‍ෂ විය.. කෑගලු දිස්ත්‍රික්කයේ සියළුම ග්‍රාම සංවර්‍ධන සමිති ඒකාබද්‌ධකොට පිහිටුවා ගන්නා ලද ග්‍රාම සංවර්‍ධන සමිති සම්මේලනයේ අනුශාසක ධූරයට ද 1941 දෙසැම්බර් 27 දා මම පත්කර ගන්නා ලද්දේ වෙමි> (386 පිටුව).

ඔස්මන්ඩ් සිල්වා මහතා බම්බලපිටියෙන් උතුරු පළාතට ගොස් ඉන්පසු වයඹ පළාතේ සුපුරින්ටැන්ඩන්ට් ලෙස මාරුවිය. කෑගලු දිස්ත්‍රික්කයේ ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරයෙන් වඩා ලාත් ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිඵල ලැබූවෝ හීන යයි සම්මත කුලවලට අයත් අයය. ඔවුන් හා සම්බන්‌ධතා ඇති කුරුණෑගල ජනයා ඔස්මන්ඩ් සිල්වාට මේ ව්‍යාපාරය ආරම්භ කරණ මෙන් ආරාධනය කළත් කෑගල්ලේදී උගත් පාඩම් නිසා ඔහු ඒ ගැන යුහුසුලු නොවීය. ඔහු හමුවීමට ගිය හාමුදුරුවෝ කෑගල්ලේදී මෙන් නොව මුලින්ම පොලිසිය හා දිසාපති අතර සම්බන්ධකමක් ඇති කරගතයුතු බව සාකච්චා කළේය. එවකට කුරුණෑගල දිශාපතිවූ බී එෆ් පෙරේරාගේ සහයෝගය ලබාගත්තේ මේ නිසාය. ප්‍රථම රැස්වීම පැවැත්වූයේ 1948 ඔක්තෝබර් 14 දා වාරියපොළ පාදෙණිය විහාරස්ථානයේ දීය. <මෙසේ වන්නි හත්පත්තුවේ කෘෂිකර්‍ම ව්‍යාපාරය කෙතරම් සමෘද්‌ධ වී ද යත්: අනුරාධපුර යුගයෙන් මෙපිට වන්නියේ මෙතරම් දියුණුවක් ඇති නොවූ හෙයින් එයට මූලිකව මං පෑදූ ඔස්මන්ඩ් සිල්වා මහතාට වන්නි දෙවියෝ යයි ඔහු තුමූ නම් කළ හ> (405 පිටුව).

බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ජනයා සිටින හලාවත දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් කොට්‌ඨාශයට අයත් මොරකැළේ ගම කෙතරම් දුශ්චරිත වලින් යුක්තවූවාද යත් කොස්වත්තේ පොලිසියක් තබන්නට වූයේ ඒ නිසායයි කියැවින. ගමේ පවුල් 175 න් 135 ක්ම හැළි අරක්කු පෙරන, මිණීමරා ගන්නා අය විය. එහෙත් ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරය නිසා ගම වෙනස් විය. කොස්වත්තට දැන් පොලිසියක් අවශ්‍ය නැත, එය වසා දැමිය යුතුය කියන තැනට පත්‌ව්‌ය (407 පිටුව).

මේ වකවානුවේදී 1935 සිට මාක්ස්වාදීන් කලේ සූරියමල් විකිණීම (පොපිමල් වලට එරෙහිව) හා මැලේරියා වසංගතයේදී ආධාර බෙදීමය. එය ඒ කාලයේ ලංකාවේ හැමෝම කල දෙයකි. මෑත කාලයේ සුනාමිය වගේය. මැයි දිනයේදී බිල්ඩින් වලට ගල් ගසන බංගවේවා දේශපාලනය ආවේ 1948 ට පසුවය. බ්‍රේස්ගේඩල් හංඟා ගැනීම හෝ ජේලර්ගේ අනුදනුම ඇතිව හිරෙන් පලායාම හෝ ඉන්දියන් වතුකම්කරුවන් ගැන මිස ලංකාවේ ගැමියන්ගේ දුක් ගැනවිලි ඔවුන්ට අදාල නොවීය. ඔවුන්ගේ කම්කරු ව්‍යාපාරය ව්‍යාජ රතු කළු සුද්දන්ගේ වැඩක් කියා මට සිතෙන්නේ මේ නිසාය. 1971 හා 1988-9 ට පසුව අද වනවිට ජේ වී පී එක කරන්නේත් මෙවැනිම අතරමංවූ දේශපාලනයක් යයි මට සිතේ. මොලය පෑදී කළුකොඳයාවේ හාමුදුරුවන් සමඟ එකතුවූවා නම් ලංකාවට කුමක් වන්නට ඉඩ තිබුණාද? මුදල් ඇමති ලෙස ඇන් ඇම් දළදා මාලිගාවට නෙළුම් මල් බන්දේසියක් අරගෙන ගියේ 1964 දීය.

පක්‍ෂ දේශපාලනයෙන් තොරව, නිලධාරීන් විසින් ඉතා සාර්‍ථක ලෙස ගම්වල ගෙනගිය වර්තමාන ව්‍යාපාරයක් ලෙස ගැමි දිරිය වැඩ සටහන හඳුන්වා දිය හැකිය. මෙය ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත් වලටද හඳුන්වා දෙනවා වෙනුවට දේශපාලකයින් එය කඩා කප්පල්කර දමන ලදී. මා මේ බව දන්නේ මෙම ව්‍යාපෘතිය නිර්‍මානය කල නිලධාරියාත්, එහි අධ්‍යක්‍ෂක ලෙස අවංක සේවයක් කල නිලධාරියාත් යන දෙන්නාවම මා පුද්ගලිකවම දන්නා නිසාය. ගම කරට ගත්තා සේ හැසිරෙමින් 1970 සිට විවිධ දේශපාලකයින් විසින් කරන ලද ආණ්ඩුවේ ගම් සංවර්‌ධන වැඩ සමෘධි-දිවි නැඟුම යන නම් වලින් තිබෙතත් එය කළුකොඳයාවේ මොඩලය මෙන් සම්මුතිවාදී දේශපාලනයක් නොවේ. ඒවා පක්‍ෂ දේශපාලන බරකරත්‌ත ය. ස්වාභාවික මායිම් සහිත ජන සභා ක්‍රමයක් ඇතිකර (දැනට ඇති 14,020ක් වන ග්‍රාම සේවා නිලධාරී වසම් වෙනුවට) රට ගලවා ගත හැකි ආකාරය තේරුම් ගැනීමට 1933 දී කළුකොඳයාවේ හාමුදුරුවන් පෙන්වා දුන් කාරණා 99 න් අද වනවිට යල් පැන ඇතැයි කිව හැක්කේ ඉතා සුළු ප්‍රමාණයක් පමණය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress