බෞද්ධ ජනරජ ප්‍රවාදය – 18 වැනි කොටස – වගකීමේ පාලනය
Posted on May 18th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

රාජ්‍ය පාලනය සංවිධානගත විය යුත්තේ ඒ ඒ ආයතනවලට අදාළ කාර්යයන්ගේ වගකීම් නිශ්චිත සහ පැහැදිළි අයුරින් පැවැරීමෙනි. රාජ්‍ය පාලන ව්‍යුහය නිරවුල් නොමැති නම් අදාළ ආයතනවලට වගකීම් පැවැරීම ද ඒවා ඉටුවන බව සහතික කිරීම ද කළ නොහැකිය.

එනමුදු දැනට අප රටෙහි පවතින්නේ එවැනි පැහැදිළි රාජ්‍ය පාලන ව්‍යුහයක් නොවේ. පළාත් සභා ක්‍රමය නිසා අප රටෙහි රාජ්‍ය පාලන ව්‍යුහය ඉතාමත් ව්‍යාකූල එකක් බවට පත් වී තිබේ. කොළඹ සිට පාලනය අසාර්ථක බව පවසමින් හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය ද ජනතාවගෙන් ඈත් වූ එකකි. ජනතාවට ආගන්තුක විශාල පාලන තන්ත්‍ර සමූහයක් ඒ තුළින් ගොඩ නැගී තිබේ. මහ ඇමැති, පළාත් අමාත්‍යංශ, පළාත් ඇමැති, පළාත් දෙපාර්තමේන්තු, පළාත් අධ්‍යක්‍ෂ ආදී ආයතන සහ තනතුරු විශාල ප්‍රමාණයකින් මෙම පාලන තන්ත්‍ර සැකැසී තිබේ. ඒවා නඩත්තුකිරීමට දරන පිරිවැය ද අති විශාල ය.

තව ද මධ්‍යම රජයට සහ පළාත් සභාවලට පැවැරී තිබෙන විෂයයන් පැහැදිළි අයුරින් වෙන් කර හඳුනාගැනීම ද පහසු නැත. සෞඛ්‍ය, අධ්‍යාපන වැනි විෂයය විශාල ප්‍රමාණයක් මධ්‍යම රජයට මෙන් ම පළාත් සභාවලට ද අයත් ය. මෙය ඉතාමත් ව්‍යාකූල තත්ත්වයකි. මෙවැනි වාතාවරණයක් තුළ ජනතාවට තමන්ගේ සේවා අවශ්‍යතා සපයාගැනීම ඉතාමත් අසීරු ය.

මෙම ප්‍රවාදය තුළින් හඳුන්වා දෙන රාජ්‍ය පාලන ව්‍යුහය ඉතාමත් නිරවුල් එකකි. එ මඟින් බෞද්ධ ජනරජයේ පාලනය බිම් මට්ටමේ, ද්විතීයික ප්‍රාදේශීය මට්ටමේ සහ ජාතික මට්ටමේ ආයතනවලට වර්ග කර තිබේ.

බිම් මට්ටමේ ක්‍රියාත්මක වනුයේ ගම් සභා සහ නාගරික සභා ය. ඒවා ජනතාවට ඉතාමත් සමීප ය. ග්‍රාමීය මට්ටමේ ශාසනික කටයුතු, ග්‍රාමීය පරිපාලනය, ප්‍රාථමික අධ්‍යාපනය, මූලික සෞඛ්‍ය අවශ්‍යතා, කෘෂිකර්මය, ග්‍රාමීය කර්මාන්ත, වෙළෙඳාම, ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරාගැනීම සහ ඒ ආශ්‍රිත පාලනය මෙහෙයවීම මෙම බිම් මට්ටමේ ආයතනවලට පැවරෙයි. අදාළ වගකීම් එම ආයතනවලට පැවැරී තිබෙන බව වටහාගැනීම අපහසු කාර්යයක් නොවේ.

ද්විතීයික මට්ටමින් ක්‍රියාත්මක වනුයේ කෝරළ සභා ය. තම බල ප්‍රදේශය තුළ ශාසනික කටයුතු, කෝරළ පරිපාලනය, ද්විතීයික අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, කෘෂිකර්මය, ප්‍රාදේශීය කර්මාන්ත, ප්‍රාදේශීය වෙළෙඳාම, ප්‍රාදේශීය මහාමාර්ග, ප්‍රවාහනය, ක්‍රීඩා, ප්‍රාදේශීය අපදා කළමනාකරණය, පුනරුත්ථාපන කටයුතු සහ අනෙකුත් ප්‍රාදේශීය අවශ්‍යතා සපුරා ගැනීම සහ ඒ ආශ්‍රිත පාලනය මෙහෙයවීම කෝරළ සභාවේ වගකීම වෙයි. මෙම කාරණය ද ඉතාමත් පහසුවෙන් ජනතාවට වටහාගත හැකිය.

කෝරළ මට්ටමේ ආයතනයකට යම් අයකු යා යුත්තේ බිම් මට්ටමේ දී විසඳාගත නොහැකි කාරණයක් වෙනුවෙන් පමණකි. එවැනි අවශ්‍යතාවක් ඇති වුව හොත් ඒ සඳහා ගමන් කළ යුතු දුර ද කිලෝ මීටර් විස්සක උපරිමයකට යටත් වෙයි. කෝරළ පාලන මධ්‍යස්ථානය පිහිටා ඇති ප්‍රධාන නගරයෙහි අදාළ සියලු ආයතන පවතින බැවින් තම අවශ්‍යතා ඉතා අඩු කාලයක දී සපුරාගැනීමට ජනතාවට හැකි වේ. දැනට ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමය තුළ මෙවැනි පහසුවක් නොමැත.

කෝරළයට අනුබද්ධ ආයතනවල සේවය කරන්නේ ග්‍රාමීය පාලක සහ නිලධාරි මට්ටමට එක් ස්ථරයක් පමණක් ඉහළින් සිටින්නෝ ය. තව ද මෙම වගකීම් දරන්නන්ගෙන් අතිමහත් බහුතරයක් අදාළ ප්‍රදේශයේ ම හැදුණු වැඩුණු සහ ජීවත්වන අය විය හැකිය. එහෙයින් ජනතාව සහ ඔවුන් අතර විශාල පරතරයක් ද නිර්මාණය නොවේ. එවැනි පිරිසක් සමඟ ගනුදෙනු කිරීම ජනතාවට ඉතාමත් පහසු කාර්යයකි.

අදාළ නිලධාරීන් කටයුතු කරන්නේ ඒ අයට ඉතා පහසුවෙන් නිරීක්‍ෂණය කළ හැකි බල ප්‍රදේශයක් තුළ ය. එවැනි සීමිත ප්‍රදේශයක් තුළ වසන ජනතාවට තිබෙන අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව ද ඔවුහු දනිති. තමන්ට පැවරුණු වගකීම් නිසි අයුරින් ඉටුකිරීමේ වාතාවරණයක් ද මෙම පහසුව සහ අවබෝධය තුළින් නිර්මාණය වෙයි.

බිම් මට්ටමේ දී සහ කෝරළ මට්ටමේ දී ඉටු කරගත නොහැකි අවශ්‍යතා සහ විසඳාගත නොහැකි ගැටලු සඳහා පමණක් ජනතාව ජාතික මට්ටමේ ආයතන වෙත යා යුතුය. එනමුදු එවැනි ගැටලු විශාල ප්‍රමාණයක් පැවැතීමේ ඉඩකඩ ඉතාමත් සීමිත ය. වර්තමානයේ දී පවා ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට අදාළ මූලික රාජකාරී තටයුතු ග්‍රාම නිලධාරි සහ ප්‍රාදේශීය ලේකම් මට්ටමේ දී අවසන් වෙයි. අදාළ දත්ත පවත්වාගැනීමත් හැඳුනුම්පත් මුද්‍රණයත් පමණක් ජාතික මට්ටමේ දී කළ හැකිය. එනමුදු මෙම කාර්යයට අදාළ වගකීම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව කොළඹට ගොස් තම අවශ්‍යතා ඉටු කරගැනීම වෙනුවෙන් දුක් විඳිති.

මෙම ප්‍රවාදය විසින් යෝජනා කරන පාලන ව්‍යුහය තුළින් නියමිත වගකීම් නිශ්චිත අයුරින් ඒ ඒ ආයතනවලට පැවරෙන බැවින් ඉහත දැක්වූ ආකාරයේ ගැටලු පැන නොනගියි. ඒ, බෞද්ධ ජනරජය තුළ ක්‍රියාත්මක වනුයේ වගකීමේ සහ වගවීමේ පාලනයක් වන බැවිනි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress