හොරුන්ට ගිය රට චීනත් සමග පෙරට
Posted on May 25th, 2021

මතුගම සෙනෙවිරුවන්

ලංකාවට නිදහස ලබන විට රත්තරන් පවුමත් වී බුසලත් එකම මිලක් නොහොත් රුපියල් විස්සකට තිබුණි යැයි කතාවක් තිබේ.හැටේ දශකය වන විට එම මිල රුපියල් දෙසීයකට නැග තිබුණි.2000 වර්ෂය පමණ වන විට රුපියල් 2000 ආසන්නයේ තිබුණි යැයි දැන ගන්නට ඇත.අද වන විට වීබුසලක මිල රුපියල් දෙසිය දහයකි. රන්පවුමක මිල රුපියල් එක්ලක්ෂ අටදාහකි.මෙය සිදු වූයේ කෙලෙසකද .ඒ පිළිබඳ මනා විශ්ලේෂණයක් කෙරී තිබේද.සැබවින්ම ස්වදේශික දේශපාලකයන් විසින් භාරගත් රට දීර්ඝ අරගලයකින් පසුව 1972 දී පූර්ණ නිදහසක් අත්පත් කර ගත්තේය.පූරණ නිදහසක් නම් ආර්ථික නිදහසත් ඇතුලත් විය යුතුය .ඒ සඳහා යම් උත්සාහයක් සිරිමා මැතිණිය විසින් ගන්නා ලද නමුත් 70 -77 කාලයේ දී ආණ්ඩුව තුළ ඇතිවූ අර්බුදයන් නිසා ඒ වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි විය

.එහි අවසාන ප්‍රතිපලය වූයේ ජයවර්ධන රජය විශාල චන්ද පදනමකින් බලයට පත් වීමයි..ඉන්පසු විවෘත ආර්ථික සංකල්ප මගින් රට පාරාදීසයක් කිරීමට දොරටුවක් විවෘත වී යැයි පාරම්බාන ලදහ.අවසානයේදී සිදු වූයේ ලංකාවේ මූල්‍ය ඒකකය විශාල වශයෙන් පරිහානියට පත් වීම ඇරඹීමයි 1978 දී මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා රට විශාල ආර්ථික පිම්මක් පැන්නීමට ගත් උත්සාහය බලාපොරොත්තු වූ තරම් සාර්ථක නුවුණු බව අද අපට තේරුම් යා යුතුය. සිරිමා මැතිණියගේ ආර්ථික මොඩලය වූයේ ස්වයංපෝෂිත බව තුළින් සමෘද්ධියයි. එහෙත් 1977 සිට ස්වයංපෝෂී රාජ්‍යය විසින් ගොඩනගාගෙන තිබූ රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් කුණු කොල්ලයට විකුණා දමන ලදහ. අවසානයේ සිදු වූයේ හැකි තරම් ආනයනය කරමින් අපනයනයට වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට රුපියල බාල්දු කරමින් ගත කළ කාල පරිඡේදයයි. 1980 -2000 කාල වකවානුව තුළ ඇති වූ කොටි ත්‍රස්ත මෙහෙයුම නිසා ඇති වූ ආර්ථික පරිහානියද දේශපාලන අස්ථාවරත්වයද   සුලු පටු නොවේ.සිරිමා මැතිණියගෙන් පසු බිහිවූ සෑම පාලකෙයෙකුම විදෙස් ආයෝජන පතා ලොව පුරා හිඟා ගියහ.ලැබුණු ණය කන්දරාවට හිලවු වශයෙන් රටේ සම්පත්ද ප්‍රතිපත්තිද පාවා දෙන්නට සිදු විය. විදෙස් ආයෝජන සමග බිහිවූ කොමිස් කුට්ටි සහ අල්ලස් නිසා පාදඩ ධනපති පන්තියක ආරම්භයක් ඇති විය. ඔවුහු දේශපාලනයටද පිවිසියහ.

 රටේ අහිංසක ජනතාව යම් නිෂ්පාදනයක් කර්මාන්තයක් හෝ වෙළෙඳාමක් කරමින්  හම්බ කරන මුදලින් රජයට අය විය යුතු බදු මුදල අය වැය පියවීමට ප්‍රමාණවත් නැත. අය වැය හිඟය පියවීමට තවත් ණය වීම සෑම අවස්ථාවකදීම සිදු වෙයි. ලංකාව සහලින් සවයංපෝෂිත රටකි. නමුත් තවමත් තිරිඟු පිටි මෙට්රික් ටොන් 15000 පමණ ලංකාවට ගෙන්වති. වියදම ඩොලර් මිලියන 385ක් පමණ වේ. ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කිලෝ 65 ක් දක්වා වැඩි වී තිබේ. රටේ සමස්ත ආහාර ආනයන වියදම ඩොලර් මිලියන එක්දහස් පන්සිය පනහකි..තිරිඟු පිටි සීනි පරිප්පු  සහ අනෙකුත් ආහාර එයට ඇතුලත් වේ.සැබවින්ම අප ණය ලබා  ලබාගන්නේ රටේ නිපදවිය හැකි දේ ආනයනය කර ගැන්මටයි.රටේ වී නිෂ්පාදනයට මිලක් ලබා දෙන්නේ නැති බව ද රුපියලේ අගය වැඩි කර ගැනීමට එය කිසිසේත්ම ප්‍ර යෝජනවත් නොවන බවද ඒත්තු ගන්වා තිබේ. එවැනි මගඩි ආර්ථිකයක් තිබෙන රටකට ආයෝජන කොතෙක් පැමිණියද වැඩක් නොවේ. හිල් කල ගෙඩිකට වතුර වක්කරන්නා මෙන්ය.

චීනා ලංකාව සමග ගනුදෙනු කිරීමේ ඉතිහාසය ක්‍රි.ව.පස්වන සියවස දක්වා ඈතට දිව යයි.ඔවුහු වැඩි වශයෙන්ම මෙරටට පැමිණෙන ලද්දේ ලංකාව සුපිරිසිඳු ථෙරවාද බෞද්ධ රටක් බැවිනි.ලංකාවේ නිෂ්පාදනය කල හරිත පාෂාණ(නිල්දණ්ඩාහීන්න) බුදු පිළීමයක් වරක් චීනයට තෑගි කොට යැවිණ.කෝට්ටේ යුගයේ දී චෙන්හෝ නම් සෙනවියෙකු ලංකාවේ පාණදුර වරායට පැමිණ මෙරට ආක්‍රමණික මුස්ලිම් වානිජයන් පළවා හැරියහ. රට මුස්ලිම් වීම වැලකුණි.අනතුරුව මුස්ලිම් අයට උදව් කළ රයිගම සිටි අලකේශ්වර රජුව අත් අඩංගුවට ගෙන චීනයට ගෙන ගියේය. අවසානයේ සයවන පරාක්‍රමබාහු රජ දවස දී චීනය සම දැඩි මිත්‍ර සම්බන්ධකමක් ගොඩනැගුණේ චීන අධිරාජ්‍ය සමග ගනුදෙනු කිරීම නිසයි. ඒ මගින් රටේ ආර්ථික සමෘද්ධිය ඇති විය.රජුගේ පුත්‍රයා දූත ගමනක් ගිය අවස්ථාවක චීන රජ කුමරියක් සමග විවාහ වුණු බවද  අද ඒ දරු පරපුර පවතීන බවද තොරතුරු වාර්තා වේ..එවැනි ඉතිහාසයක් ලංකාවත් චීනයත් අතර පවතී.   චීනයේ නිෂ්පාදිත පිඟන් දහනව වන සියවසේ දී පමණ ලංකාවට ලැබුණි.ඒ එංගලන්තය හරහාය.ඒ නිසාම චීන මුදල්ද මෙහි සංසරණය විය.චීනාට අවශ්‍ය වූයේ ලංකාව ස්වකීය වෙළඳ පළක් බවට පත් කර ගැනීමයි.නමුත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිටි බැවින් ඉන් එපිට ගනුදෙනුවක් සිදු නොවීය.චීනයේ සංස්කෘතික විප්ලවයෙන් පසු චීන සාම්ප්‍රදායික සිතුවිලි බැහැර වන්නට වූ බව නොරහසකි. කොමියුනිස්ට් පාලනයත් නිළධාරිවාදයත් නිසා චීනවැසියන් සංස්කාතික බැමි බිඳ හෙලා ඇමරිකානුවන් අනුගමනය කරමින් ලොව ධනවත් ව්‍යාපාරිකයන් බවට අද පත් වී තිබේ.මෙරට සිටින ඇතැම් ජාතිකවාදීන් යයි කියා ගන්නා මාකස්වාදී පිරිස් චීනා පැමිණීම අගය කරන්නේ චීන කොමියුනිස්ට් බලපෑම මගින් ලංකාවේ ජාතිකත්වය දියකර හැරීමට අවස්තාවක් ලැබෙන බැවිනි.

    කොළඹ වරාය අතීතයේ දී මෙන්ම අදත් ආක්‍රමණිකයන් ගේ තිප්පලකි.ගෙරිහම්කඩක ප්‍රමාණයෙන් වූ භූමියක් පෘතුගීසින්ට දීම නිසා කෝට්ටේ රජුට සදාකාලික ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදු විය.නමුත් පරංගින් ගේ පැමිණීමත් සමග මුස්ලිම් ආක්‍රමණ අවම වූ බවද සිහිපත් කළ මනාය. කොළඹ වරායට නුදුරින් වරාය නගරයක් මුල් වරට යෝජනා වූයේ 2002 රීගේනින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේය. පසුව රනිල් ගේ ආණ්ඩුවේ අදහස මහින්ද රජපක්ෂ ණයට ගත්තේය.ඒ ඔහු නිතරම රනිල්ව අනුගමනය කල බැවිනි.චීනයේ නව සේද මාර්ගය ට මෙම වරාය නගර ව්‍යාපෘතිය   ගලප්පා ව්‍යාපාර ගනුදෙනුවක් කිරීමට මහින්ද රාජපක්ෂ පොළඹවන ලද්දේ ඔහුගේ ආර්ථික උපදේශකයන් විසිනි. මහා දැවැන්ත ව්‍යාපෘති කිරීමත් ශෝබනය ප්‍රදර්ශනය කිරීමත් එම ව්‍යාපෘති වලින් කොමිස් ගැසීමත් මහින්ද වටා සිටි හොරු රැලට නැතිවම බැරිය.නෙලුම්කුළුණක් අටවා ගත්තේ මේ සඳහාය.කිසිම පරිසර අගැයීමක් නොකළ වරාය ව්‍යාපෘතිය දේශපාලන හයියෙන් ඉදිරියට පැමිණුනි. වරාය බිම්කඩ වැලි මගින් පිරෙව්වද මායිමට මෙන්ම ගොඩනැගිලි සෑදීමටද කලුගල් අවශ්‍ය වෙයි. කලුගල් ගෙනෙන්නේ කොන්ත්‍රාත්කරුවන් යයි ඇමතිවරයෙක් පවසා ඇත. නමුත් ගල් කඩන්නේ රට අභ්‍යන්තරයෙනි. දැනටමත් කලුතර දිස්ත්‍රික්කය තුළ ගල් කොරි රැසක්ම මේ සඳහා වෙන් කර ගෙන තිබේ.කඳුකර වැසි වනාන්තර බිහි කරන කඳු පන්ති බිමට සමතලා කිරීමෙන් පසු දිය උල්පත් හිඳෙන බව මේ කොන්ත්‍රාත්කරුවන් දන්නේ නැත. හොරණ තිබ්බටුගොඩ ගල් වල නිසා කුඹුරු වලට ජලය සපයන දිය කඳුරු දෙකක් සිඳී ගොස් තිබේ. වරාය නගරයෙන් එන අතුරු ප්‍රතිඵල මේවාය.

1977 සිට මේ දක්වා කරන ලද විදෙස් ආයෝජන ගත් කල්හි ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල සම තත්වයක හෝ ආසන්න තත්වයක තිබෙන්නට අවශ්‍යය. නමුත් එසේ සිදු වූයේ නැත.භෞතික සංවර්ධනය වන අධිවේග මාර්ග තට්ටු ගොඩනැගිලි ජන සංනිවේදන පහසුකම් මෙන්ම විදුලිබල පහසුකම් දියුණු වී ඇත. එහෙත් අපගේ විදේශ සංචිත හිඳී ගොස් ඇත.උපයන දේ මිල කොට රුපියලේ අගය වැඩි කර ගැනීමෙට අපට හැකියාවක් නැත.එකම විසඳුම වී ඇත්තේ ණය ගැනීමෙන් ඩොලරය සමබර කර ගැනීමයි. ඉදිරියේ දී චීන හෝ ඇමරිකානු ආයෝජන මත ද එසේම වනවා හැර වෙන යමක් සිදු වන්නේද නැත. ඊට හේතුව චීනා මෙන්ම ඇමරිකානුවාද ලංකාවේ මේ දේශපාලන ඩීල් කරුවන් හෝරුන් බව දන්නා හෙයිනි.

මේ හොරු රැළ පෝෂණය කරමින් ඔවුන් සතු දේශපාලන බලයට හයියක් වෙමින් ඉදිරියට යනවා හැරෙන්නට වෙනත් යමක් අපට ඉතිරිවන්නේ නැත. ලෝකයේ රටවල් පණස් ගණනක මෙවැනි මූල්‍ය නගර තිබුණද ඒ සැම සාර්ථක වී තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වය මගිනි.පක්ෂ දේශපාලනය විසින්ද දූෂිත ධනපති පන්තිය නිසාද බෙදුම්වාදය නිසාද වර්තමාන ලංකාව අස්ථාවර රටකි.මුස්ලිම් අන්තවාදය සහ ඇමරිකන් බලපෑම මේ ව්‍යාපෘතිය මගින් යම් තරමකට පාලනය කර ගැනීමට හැකිවන්නට පුළුවන.එහෙත් දෙවනි රාජසිංහයන් පරංගීන් විනාශ කර සිය හස්තය දිගු කරන ලද්දේ ලන්දේසීන් වෙතයි. ඉන් වැඩක් වූයේ නැත. අවසානයේ 1766 දී ලංකාවේ මුහුදුබඩ පළාත් වලින් ගව්වක ප්‍රමාණයක් ලන්දේසි කොම්පඤ්ඤයට ගිවිසුමකින් පවරා දීම සිදු විය.ඒ පැවති දේශපාලන අස්ථාවරත්වය නිසයි. වර්තමානයේ සිදු වන්නට ඉඩ තිබෙන්නේ ද එයයි. චීන කොම්පඤ්ඤයට අවශ්‍ය පරිදි රට නැටවීමත් තවත් පසෙකින් ඇමරිකන් ණය උගුල තීව්ර වීමත් තුළ කිසිම  ගැලවීමක් ජාතියට ලැබෙන්නේ නැත.

   ඒ මහා භෞතික සංවර්ධනය අගය කිරීම මෙන්ම ඉන්රස විඳීමට මෙරට මධ්‍යම  පන්තිය උත්සාහ දරනවා නිසැකය. ඒ අධිවේගී මාර්ගයේ ගමන් යන එනවා මෙන්ය. නමුත් රටේ සම්පත් වන ගහනය දිය උල්පත් මෙන්ම ස්වදේහිකයන්ගේ ඉඩම්ද ඔවුන් පැහැර ගන්නවා ඇත.ඉදිරියේ බිහි වන සැබෑ නායකයෙකුට පවා රට නිවැරදි දිශාවකට ගෙන යෑම මහත් අභියෝගයක් වනු ඇත.පවතින දේශපාලනය තුළ නැගී තිබෙන දූෂිත බල අධීකාරිත්වය චීන කොම්පඤ්ඤය සමග එක්ව ඇති කළ හැකි කුමන්ත්‍රණ කුමන ස්වරූපයක් ගන්නේ දැයි පවා පැහැදිලි කරලීමට හැකි වන්නේ නැත.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress