යුරෝපා ජීඑස්පී තහනම තවත් ‘ආර්ථික ඝාතනයක‘ ආරම්භය යි – තරඟකාරී පදනමින් අපනයනය අජිත් නිවාඩ් ගේ‘ තවත් දවල් හීනයකි
Posted on June 14th, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

2010 – 2015 ආණ්ඩුවේ උපදේශකයින් තවත් වරක් ලංකා ආර්ථිකය ඝාතනය කිරීමේ මාවතට ශ්‍රී ලංකාව වේගයෙන් තල්ලු කරමින් සිටින්නේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

‘‘2010 සිට 2017 මැයි 17 දක්වා යුරෝපයේ ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමිවීම නිසා ශ්‍රී ලංකාවට රු. බිලියන 150 සිට 250 දක්වා වන පාඩුවක් සිදුවුණා.  2017 දී යුරෝපා සංගමය 2023 දක්වා ලංකාවට නැවත එම බදු සහනය ලබා දුන්නා. මේ රජයේ අදූරදර්ශී ක්‍රියා නිසා නැවත එම සහන අහිමිවීමේ අවදානමක් තිබෙනවා‘‘ යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

‘‘ලංකාවේ මානව හිමිකම් තත්වය නරක අතට හැරෙමින් පවත්නා අතර, එය යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික හා ඒකාබද්ධ වාණිජ්‍ය කටයුතු සඳහා අයහපත් අන්දමින් බල පෑ හැකිය.‘‘ යන පැහැදිලි පණිවුඩය ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.  සමාජිකයින් 705 කින් සමන්විත යුරෝපා පාර්ලිමේන්තුවේ දී ලංකාවට පක්ෂව ලැබුණේ ඡන්ද 15 කි.  ලංකාවට බදු සහන ලබා නොදිය යුතුය යන මතයට ඡන්ද 628 ක් ලැබී ඇත. යුරෝපා පාර්ලිමේන්තුවේ ලංකාවේ කටයුතු වලට මෙවැනි එල්ල වූ දැවැන්තම විරෝධය මෙය යැයි ද තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ජීඑස්පී සහනය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය

චීනය ලංකාවේ ලොකුම වෙළෙඳ හවුල්කරුවා වන අතර දෙවන වෙළෙඳ හවුල්කරු යුරෝපා සංගමය යි.  යුරෝපය 2020 දී යුරෝ මිලියන 2083 ක් භාණ්ඩ 27 ලංකාවෙන් මිලදී ගෙන ඇත. 

2010 වසරේ දී ලංකාවේ අපනයනයන්ගෙන් 35% ක් යුරෝපය මිලදී ගත්තේය.  2010 සිට 2017 දක්වා ජීඑස්පී බදු සහනය අහිමි වීමෙන් පසුව අද ලංකාවේ අපනයනයන්ගෙන් යුරෝපයට යොමුවන්නේ 22.4% ක් පමණී.  මෙම තත්වයට හේතු වූයේ එදා රජයේ ආර්ථිකය මෙහෙයවූ පිරිසගේ ක්‍රියාකලාපය යි.  නැවත වරක් එවැනි තත්වය පාමුලට ලංකාව පැමිණ තිබේ.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල් යුරෝපා සංගමය මගින් ලැබෙන බදු සහන උපයෝගී කොට ගෙන සිය ආර්ථිකය ගොඩ නංවා ගැනීමට දැඩි උත්සාහයක් දරයි.  එසේ තිබිය දී, ‘තරඟකාරී පදනමින් අපනයනය සිදු කිරීම සුරංගනා කථාවකි.

2010 – 2017 ජීඑස්පී සහන අහිමිකිරීමේ ප්‍රතිඑලය

2010 වන විට ලංකාවේ ප්‍රධානම අපනයනයක් වූවේ යුරෝපා සංගමයේ ඇඟළුම් වෙළෙඳපොල යි.   ලංකාවට බදු සහනය අහිමි කරන විට වියට්නාමය, පාකිස්ථානය කාම්බෝජය යුරෝපයට ඇඟළුම් අපනයයෙන් ලංකාවට පිටුපසින් පිළිවෙලින් ඩොලර් මිලියන 2.1, ඩො.මි. 1.5 හා ඩො.මි. 1.09 ක් ලැබීය.  2019  වන විට ඉහත රටවල් සියල්ල ඇඟළුම් ආදායමනේ  ශ්‍රී ලංකාව පසුකර ගියේය.  ලංකාවේ ඇඟළුම් ව්‍යාපාරිකයෝ බංගලිදේශය, වියට්නාමයේ ව්‍යාපාර ඇරඹීය. 2017 නැවත ලංකාවට ජීඑස්පී ලැබෙන විට ඉහත රටවල් පමණක් නොව ලතින් ඇමරිකානු හා අප්‍රිකානු රටවල් ද ලංකාව පසු කර යුරෝපා වෙළෙඳ පොල දිනාගෙන අවසන් ය.

අපට අහිමි වූ යුරෝපා ඇඟළුම් වෙළෙඳපොල දිනාගත් බංගලි දේශය අද ශ්‍රී ලංකාවට ණය ලබා දීමට ඉදිරිපත් වී ඇත. ජීඑස්පී සහන නොලැබීමෙන් ලංකාවේ ආර්ථිකය ඝාතනය කිරීමේ ආරම්භ වූවේය. ග්‍රීක බැඳුම්කර, හෙජින් සුදුව නිසා භාණ්ඩාගාරය හිස් වන විට එය පක්ෂයේ පමණක් නොව එවකට ආණ්ඩු පක්ෂයේ ද විරෝධය එල්ල විය. අප නැවතත් ගමන් කරමින් සිටින්නේ ඒ ආර්ථික ආගධය වෙතය.

තරඟකාරි පදනමින් අපනයනය සිහිනයක් පමණක් වන්නේ, ජීඑස්පී සහන අහිමි වන්නේ නම්, මත්ස්‍ය නිෂ්පාදනය සඳහා 18.5% ක ද, අඟලුම් සඳහා 9.6% ක ද,  එළවළු පළතුරු සඳහා 12.5% ක ද, සෙරමික් සඳහා 8.4% ක ද, බදු ගෙවීමන ලංකාවේ අපනයන කරුවන්ට සිදුවීමය.  එවන් අතිරේක බදු බරක් දරමින් යුරෝපා වෙළෙඳපොල ජය ගැනීම සිහිනයක් පමණී.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සිදු කරන මර්ධනකාරී ක්‍රියා මෙන්ම, හිතුවක්කාරී අදූරදර්ශී තීරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අපට අහිමි කර තිබේ.  එය නැවත දිනා ගැනීම සඳහා කටයුතු නොකරන්නේ නම් නැවත වරක් 2012 -2017 සමයේ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයට නොවැලැක්විය හැකි වනු ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress