රනිල් – සජිත් ගැටුමෙන් මන්ත්‍රීවරුන් 750 කගේ තනතුරු අහිමිවේද?
Posted on June 18th, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

මනාප ක්‍රමය තුල ලැයිස්තුවේ ඊලඟට සිටින්නා සෑම විටම තමන්ගේ අවස්ථාව එනතුරු බලා සිටීම අලුත් දෙයක් නොවේ. අලියා, පොහොට්ටුව, ද්‍රවිඩ – මුස්ලිම් පක්ෂ, ලොකු – කුඩා ඕනෑම පක්ෂයක මහජන නියෝජිතයින්ට ඕනෑම මොහොතක විනය චෝදනා එල්ල වී තනතුරු අහිමි කළ හැකිය. අද එජාපට මන්ත්‍රීවරුන් 2300 ක් ඇත. එයින් 750 කට වැඩි පිරිසක් මන්ත්‍රී ධූර රැකගැනීමටත්, තවත් පිරිසක් ඒ මන්ත්‍රීධූර ලබා ගැනීමටත් බලා සිටින්නේය. බැසිල් – විමල් ගැටුම එවැනිම තත්වයක් පොහොට්ටුවට ඇති කළ හැකිය. තනතුරින් ඉවත් කිරීම මන්ත්‍රීවරුන්ටත් ඔවුන්ට ඡන්දය දුන් අයටත් එක සේ වැදගත්ය.

පුංචි අත් වැරද්දක්, නොතකා හැරීමක්, විසංවාදයක්, කේලමක් තනතුරක් අහිමි කරන යුගයක, එය රැක ගැනීමේ ක්‍රමය දේශපාලනය කරන සැමට පාඩම කි.

තංගල්ල, නාවලපිටිය, වැලිගම ඇතුළු පළාත් ආයතන කිහිපයක සභාපතිවරු ඉවත් කර ඇත. එජාපය (සජබ) ට බලය හිමිව තිබූ පළාත් පාලන ආයතන රැසක නව බල පොරයක් නිර්මාණය වී ඇත. සමගි ජන බලවේගයට සහාය දැක්වූ පිරිසක් (නාමිකව හෝ) නැවත එජාපයට යනු ඇත. මන්ත්‍රී ධූර අහිමි වන පිරිසගෙන් කොටසක් එජාපය තම පරම සතුරා බවට පත් කර ගනු ඇත. රනිල් – සජිත් බල අරගලය තම තනතුර, දේශපාලන ජීවිතය අවසන් කළ බව සිතන තවත් විශාලම පිරිසක් ලැයිස්තුවට එක් වනු ඇත.

ඉතිහාසය පුරාම කැරළිකරුවන්, ඉඟුරු කල්ලි, දෝෂාභියෝග, නායකත්ව සටන්, පුද්ගලික ඉදිරිවාදිකම් මහජන නියෝජිතයින්ට තනතුරු අහිමි කර ඇත. අද සිදුවෙමින් ඇත්තේ ටිකක් වෙනස් ක්‍රියාවකි.

ප්‍රශ්නය හා අතීත කතාව

එජාපයෙන් තේරී පත් පලාත් පාලන නියෝජිතයින් බහුතරය පසුගිය මහා මැතිවරණයේ දී සජබ ට සහාය දුන් නිසා එජාපය 3% ක වැටුණේය. ඔවුන් අතරින් 10 කට ආසන්න පිරිසකට විනය පරීක්ෂණ පවත්වා තනතුරු අහිමි කර ඇත. 69 ක් සාමුහික අධිකරණ ක්‍රියාමාර්ගයකින් පරාජය වී ඉවත් කිරීමේ නිවේදනයට එජාපය මහ ලේකම් අත්සන් තබා ඇත. ගම්පොල නඟර සභාවේ සභාපති සමන්ත අතුළු පිරිසක් නැවත එජාපයට එක් වි තම තනතුර රැකගෙන ඇත. එම අවස්ථාව අතහැර දැමූ තංගල්ල සභාපතිවරයාට සියල්ල අහිමි වී ඇත. කලක් රනිල් විරෝධී සටනේ පෙරගමන්කරුවෙකු වූ, රනිල් එපා යැයි නිසාම පක්ෂ තහනමට ලක් වූ පාලිත රංග බණ්ඩාර මහ ලේකම්වරයාගේ පරණ කතා සජබ සමාජ මාධ්‍ය කණ්ඩායම නැවත පළ කරමින් සිටී. නාටක රැසකි.

නඩු ගිය එජාපයෙන් මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ආසන රැක ගැනීමට අවස්ථාවක් තිබුණේ ද? ඉතිරි පිරිසට තනතුරු අහිමිවිවේ ද? මේ ලිපිය ඉතිහාසයේ තවත් දුර්වලම විපක්ෂයක් බිහි කළ එජාප – සජබ ගැටුම ගැන නොවේ. හෙට (පෙහොට්ටුව ද ඇතුළු) ඕනෑම මහජන නියෝජිතයෙකුට අදාල විය හැකි ‘ඉවත් කිරීමේ ව්‍යවහාරය ගැන ය.

පාර්ලිමේන්තු, පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීම/ඉවත් කිරීම/තනතුර අහිමි කිරීම පිළිබඳ ඇත්තේ එකම නීතිය කි. ව්‍යවහාරයකි. එසේ නම්, (පක්ෂ මාරු කරන) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තනතුර රැකෙන්නටත්, පොඩ්ඩන්ට මන්ත්‍රී ධූරය අහිමිවන්නටත් හේතුවක් නැත.

තනතුර අහිමි වන්නේ විනය පරීක්ෂණ, අධිකරණ ක්‍රියාදාමයේ දී සිදුවන ‘කරුණු ඉදිරිපත් කිරීමේ හා අවස්ථාවට මුහුණදීමේ‘ වැරදි නිසාම ය.

හේතුවක් ඇතිව හෝ නැතිව (විනය පරීක්ෂණයකින් වරදකරු වී හෝ නොවී) පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම/තහනම් කිරීම, පක්ෂයෙන් ඉවත් කිරීම හෝ වෙනත් කරුණු මත පක්ෂ ලේකම්වරයෙකු නිකුත් කරනු ලබන ලිපියක් ලැබුණු විට අදාළ මන්ත්‍රීවරයා එයට එරෙහිව (දිසා) අධිකරණයේ පිහිට පැතිය හැකිය. ලේකම්වරයා ගේ ලිපියෙන් දින 21 යාමට පෙර තහනම් නියෝගයක් ලබා සිය පුටුවට වෙනත් අයෙකු පත් කිරීම වලක්වා ගත හැකිය. එසේ රැකගත්, රැකගෙන සිටින මන්ත්‍රීවරු රැසකි. තහනම් නියෝගයක් ලබා ගත නොහැකි නම්, මහ ලේකම් ගේ ලිපියට අනුව, දින 21 කට පසුව මැතිවරණ කොමිසම අනිවාර්යයෙන්ම අලුත් මන්ත්‍රීවරයා ගැසට් කළ යුතුමය. (එසේ නොවූ අවස්ථාවක මැතිවරණ කාර්යාලයට එරෙහිව එක් මහ ලේකම්වරයෙක් නඩුවක් පවා කෙටුම්පත් කළේය. එය දැනගත් විගසම නව මන්ත්‍රීවරයා ගැසට් කිරීමෙන් අර්බුදය නිමා විය)

1995 කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූරය හේතුවෙන් මතු වූ ‘සිරිවර්ධන එදිරිව ෆාරුක්‘ ශ්‍රේෂ්ඨාධිකරණයේ 826/94 නඩු තීන්දුව දින 21 නීතිය පැහැදිලි කරයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී ෆාරුක් ට තනතුර අහිමි වූ අතර, දින 21 ක් තුල තහනම් නියෝගයක් ලබා ගැනීමට ෆාරුක්ට නොහැකි විය. (තහනම් නියෝගය ලැබුණේ 22 වන දිනයේ දී ය.) එවිට මැතිවරණ දෙපාර්තමේන්තුවේ එදා සිටි සිරිවර්ධන මහතා පුරප්පාඩුවට වෙතන් මන්ත්‍රීවරයෙකු ගැසට් කළේය. දින 21 කට පෙර තහනම් නියෝගයක් ගැනීම ‘අමාත්‍යමය තීරණයක්‘ බැවින් එය සිදු නොවන තැන තමන්ට නව සභිකයා පත් නොකර සිටීමට බලයක් නොමැති බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියූ අතර, මන්ත්‍රී ෆාරුක් නඩුවෙන් පැරදුණේය.

නීතිය අතිශයින්ම පැහැදිලි හා නිරවුල් ය. මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීම වැලැක්වීමට නම් දින 21 ක් තුල අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය ය. නමුත්,

යම් පලාත් පාලන මන්ත්‍රීවරයෙකු ගේ ධුරය අහිමි කරනු ලැබු විට එයට විරුද්ධව පලාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට (උදා- ප්‍රධාන අමාත්‍යවරයාට) නැතිනම් අද තත්වය අනුව ආණ්ඩුකාරවරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එවිට සිදුවන්නේ කුමක්දැයි අවශ්‍ය නම් කෙනෙකුට අවශ්‍ය නම් තනතුර අහිමි කරන මන්ත්‍රීවරයෙකුට දැන් පරීක්ෂා කර බැලිය හැකිය.

ඉතා මෑතක දී මනෝ ගනේෂන් ගේ පක්ෂයේ (ඉනිමග) උඩපලාත ප්‍රා.සභාවේ මන්ත්‍රී කනගරත්නම් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කළේය. කනගරත්නම් නඩුවක් පැවරීය. එක දවසකින් හෝ දෙකකින් ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් විය. කනගරත්නම් අදටත් උඩපලාත සභාවේ මන්ත්‍රීවරයෙකි.

මනෝ ගේ පක්ෂයේම මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රී විග්නේෂ්වරන් සිය ගේ තනතුර රැකගන්න අභියාචනාධිකරණයට ගියේය. දැන් ඔහුගේ තනතුරට මහයියාවේ විමලචන්ද්‍රන් පත්ව ඇත. අභියාචනාධිකරණ නඩුව තවම විභාගයට ගෙන හෝ නැත. මනෝ ගේ පක්ෂයේ ම පන්විල ප්‍රා.සභාවේ විජේන්ද්‍රන් කිසිදු අධිකරණයට ගියේ නැතිවම තනතුර අහිමි කර ගත්තේය.

අනෙක් මෑතම උදාහරණය මඩකලපුවෙනි. ප්ලොට් සංවිධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ (ගෙය) සන්ධානගත පක්ෂයකි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එම පක්ෂයේ මඩකලපුව මන්ත්‍රී විලේන්ද්‍රන් මහතා ආණ්ඩුව සමඟ ඡන්දය දුන් අතර ඔහුගේ සමීපතම ආධාරකරුවන් වූ පලාත් පාලන නියෝජිතයින් සිව් දෙනෙකු විනය පරීක්ෂණයක් හෝ තියන්නේ නැතිව නෙරපා හරින්නට ද්‍රවිඩ සන්ධානය කටයුතු කළේය. එයට යාපනය මහාධිකරණයේ නඩුවක් පැවරුණි. ලිඛිත විරෝධතාවයෙන් පසුව ද්‍රවිඩ සන්ධානය අවම වශයෙන් අධිකරණයට නීතිඥයෙකු හෝ යොමුු කළේ නැත. එම මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් තිදෙනෙකුගේ මන්ත්‍රී ධූර දැන් රැකී ඇත. අනෙක් මන්ත්‍රීවරයාගේ තීන්දුව ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සමගි ජනබලවේගයට සහාය දුන් එජාප මන්ත්‍රීවරුන් ගේ තනතුරු අහිමි වූ නමුත් එකම ආකාරයේ, එකම සිද්ධිවලට ඉනිමග, ගෙය ලකුණින් තරඟ කළ අය ගේ තනතුරු රැකී ඇත! විනය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් තාර්කික ප්‍ර වේශයක් ගත් සියළු දෙනාගේ මන්ත්‍රී ධූර රැකී ඇත!!

‘‘අපේ මන්ත්‍රී ධූර රැකගත හැකිද?‘‘

පිළිතුර ‘ඔව්‘ යන්නය. දැන් නඩුවෙන් පැරදී ඇති 72 ත් විනය පරීක්ෂණයෙන් වරදකරු වී නියමිත කාලය තුල අධිකරණයට නොගිය පිරිසත් හැර අන් සියල්ලගේම මන්ත්‍රී ධූර රැක ගත හැකිය.

සූරියවැව මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ සිද්ධියේ දී ඔහුගේ තනතුර රැකුණේ නීතිඥ ගුණරත්න වන්නිනායක, අනුරුද්ධ ලියනගේ, කොල්ලුරේ ඇතුළු පිරිස නිසාය. හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කෙහෙල්ඇවරිය පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක ගේ තනතුරු අහිමි කළේය. එයට පෙර උසාවියට ගොස් එජාප මන්ත්‍රීවරුන්ගේ තනතුරු රැක දුන්නේ ය. දේශපාලන පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ තනතුර රැකගන්නට මම පාර කියා දුන්නෙමි. මේ ගැන විශේඥතාව සහිත පරිපාලන සේවයේ නිලධාරීන් රැසකි. 2015 බල පෙරළියට පාර කැපූ 2012 ඔක්තෝබර් 18 හයිඩ් පාර්ක් රැළිය නිසා පක්ෂ තහනමට ලක් වූ අශෝක් අබේසිංහ, පාලිත රංගේබණ්ඩාර හා පාලිත තෙවරප්පෙරුම ගේ මන්ත්‍රී රැකුනේය. අද ඒ පාලිත රංගේ බණ්ඩාර මහ ලේකම්වරයා වී එජාප මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට අත්සන යොදන්නේය. සිරිකොත තාප්ප පෙරලූ, කුරුලු පොළු සටන් කළ, කෘත්‍යධිකාරි මණ්ඩලය තියන්නට පාරට තාර දැමූ දිනයේ කරු – සජිත් වෙනුවෙන් සටන් කළ කිසිදු මන්ත්‍රීවරු ද තනතුරු රැක ගත්තේය. නීතිඥ ජගත් ලියනාරච්චි ගේ ශාස්ත්‍රීය පරිචය, ශිරාල් ලක්තිලක ගේ සටන් අත නොහැරීමේ ගුණය නිසාය.

2020 මහා මැතිවරණ සමයේ එජාපය හා සජබ අතර මන්ත්‍රීවරු රැක ගැනීමට තිබුණේ දැවැන්ත සටනකි. එජාපය තෝරාගත් පිරිසකට විනය පරීක්ෂණ ලිපි යැවීය. පක්ෂයෙන් ඉවත් කිරීමේ ලිපි ද යැවීය. සජබ මේ මන්ත්‍රීවරුන්ගේ මොරාල් නංවන්නට එම ලිපි මත පදනම්ව නඩු පැවරීය.

විනය පරීක්ෂණයකට ලිපියක් ලැබුණු පමණින් තහනම් නියෝගයක් ඉල්ලීම ‘දේශපාලනිකව තාර්කික වූ නමුත්‘ මගේ අදහසට අනුව නම් ‘ජම්ප් ද ගන්‘ පන්නයේ (අනුවණ) ක්‍රියාවකි. වැරදි දේශපාලන තීරණයකි. නීතිය වගේම දේශපාලන සාධක ද එහි දී සැලකිය යුතුව තිබුණි. කිසිදු මන්ත්‍රීවරයෙකු එජාපයෙන් නෙරපා හැර නව මන්ත්‍රීවරුන් පත් කර නොතිබූ නිසා සජබ නීතිඥයින් ඉල්ලා සිටි ‘තහනම් නියෝගය‘ ලැබුණේ නැත. සැබවින්ම, එවැනි තහනම් නියෝගයක් ලබාදීමේ පදනමක් ද නොතිබූ අතර, ඉතිහාසයේ කිසිම දවසකට විනය පරීක්ෂණ ලිපියකට දිසා අධිකරණයක් තහනම් නියෝග ලබාදී ද නැත.

මහා මැතිවරණය අවසන් විය. සජබ ට සහාය දුන් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර රැක ගැනීකොළඹ පලාත් අභියාචන මහාධිකරණය ද, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු පැවරුණි. දැන් එම නඩු දෙකම පරාජයට පත්ව ඇත.

දිසා අධිකරණයේ තහනම් නියෝග ලබා ගැනීම නීතිඥයින් සතු කටයුත්තකි. නමුත්, එය දේශපාලන තීරණයක් වූ වේ නඩුවේ ප්‍රමුඛ නීතිඥයින් දිසා අධිකරණවලට යාමට දැක්වූ නොකැමැත්ත නිසා ය. (සිය රියදුරා වෙනුවෙන් නීතිඥ කබාය දමාගත් ලලිත් – ගාමිණි යුවල මට සිහි වේ) ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ තාක්ෂණික දෝෂ තිබූ බව කියවේ. නඩුවේ ලේඛනගත නීතිඥයා ම දිවුරුම් ප්‍රකාශ අත්සන් කිරීම වැනි මුලික ව්‍යාකාරණයන් වැරදීම පුදුම සහගත ය. මේ නඩු කටයුත්ත පිළිබඳ සැබෑ උනන්දුවක්, වෘත්තීය භාවයක් තිබුනාදැයි මට සැකය.

ප්‍රකට සරත් අමුණුගම නඩු තීන්දුව (SC SPL.(E) NO. 4/99) මගින් මන්ත්‍රී ධූරය රැක ගැනීමේ ක්‍රමය පැහැදිලිව කියා ඇත. සමහර මන්ත්‍රී ධූර රැකුණු අන්දම ම විහිළු සහගත ය. මාතලේ මන්ත්‍රී ඇලික් අළුවිහාරේ මිය යන විට එජාප ලැයිස්තුවේ ඊලඟට සිටි නන්දිමිත්‍ර ඒකනායක යි. නන්දිමිත්‍ර ඒ වන විට එජාපයෙන් ඉවත්ව, පුටුව ලකුණෙන් මධ්‍යම පළාත් සභාවට පත්වූ මන්ත්‍රීවරයෙකි. ඇලික් මිය ගිය පසුව, 2009 ජූනි 9 දින නන්දිමිත්‍ර නම් ශ්‍රීලනිප පලාත් සභා මන්ත්‍රීවරයා එජාප මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ගියේය. නන්දිමිත්‍ර ට මන්ත්‍රීකම ලැබීම වලක්වන්නට එජාපයට හැකිවූවේ නැත. මම මේ කථාවෙන් කියන්නේ, තේරී පත්වන මන්ත්‍රීවරයෙකු ගේ තනතුර අහිමි කිරීම කොතරම් දුෂ්කර කාර්යයක් ද යන්න ය.

නමුත් ජූනි 18 (අද) කෑගල්ල නගර සභාවේ ලක්ෂමන් දිසානායක ගේ නඩුව ද කොළඹ දිසා අධිකරණය එජාපයට ගාස්තු ගෙවීමට යටත්ව නිෂ්ප්‍රභ කරන ලදී. එජාපය මන්ත්‍රීවරුන් එකිනෙකා නිශ්චිතව ඉවත් කරන විට, සජබ ට ඩයනා ගමගේ ඉවත් කරගන්න නොහැකිවීම තේරුම් ගත යුත්තේ කෙසේ ද?

20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ඩයනා ගමගේ පක්ෂයෙන් ඉවත් කළ හැකි බව කියමින් මම 2020 නොවැ. 01 දීර්ඝ ශ්‍රාස්තීය ලිපියක් පළ කළෙමි. එහි අවසන් වැකිය මෙසේය. ‘‘පක්ෂ තීන්දුවලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් ඉවත් කළ නොහැකි ය යන්න මිත්‍යාවකි. නමුත්, එය සිදු කිරීමට නම්, මා පෙර කී ලෙසම ‘‘විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතු‘‘ ව ඇත. එක රොත්තට මන්ත්‍රීවරු 72 ක්, සමහරවිට 750 ක් ඉවත් කිරීමට එජාපයට හැකිවන්නේ ‘විශේෂඥතාව හා වෘත්තීය භාවය‘ එජාපයට ඇති නිසා ද?

වැරදි උපක්‍රමය

ඕනෑම පක්ෂ තීන්දුවලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් ඉවත් කළ නොහැකි ය යන්න මිත්‍යාවකි. නමුත්, එය සිදු කිරීමට නම්, මා පෙර කී ලෙසම ‘‘විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතු‘‘ ව ඇත.

ඕනෑම විනය පරීක්ෂණයක දී කාලය අමිල සාධකයයි. කල් ගැනීමත්, උපක්‍රමශීලිව මුහුණදීමත් කාල තරණයේ මාවතයි. විනය ක්‍රියාමාර්ග අවසානයේ පක්ෂයෙන් නෙරපීම සිදු කරන්නේ නම්, එයට තනි තනිව දිසා අධිකරණයේ නඩු පවරා තහනම් නියෝගයක් ගැනීමට සජබ ආධාරකරුවන් වූ එජාප මන්ත්‍රීවරුන්ට ඇත. අද පවත්නා කොරෝනා තත්වය අනුවත්, නඩු දින ලබාදීමේ රටාවත් අනුව පලාත් පාලන ආයතනයේ කාලය ලබන වසරේ අවසන් වන තුරු පහසුවෙන්ම නඩුව ඇදගෙන යා හැකිය.

අනාගතයේ දවසක සාගර කාරියවසම් මහ ලේකම්වරයාගේ ලිපියක් ලැබෙන්නේ නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ද, එය එලෙසම අදාළ වනු ඇත්තේය.

නමුත්, දැන් ප්‍රශ්නගත මන්ත්‍රීවරුන් 69 හෝ 72 හි ඉරණම ලියැවී අවසන් ය. ඔවුන්ගෙන් අති බහුතරය මා දන්නා හදුණන රනිල් වික්‍රමසිංහ නායකත්වයට එරෙහිව වසර 10 කට වැඩි කලක් සජිත් ප්‍රේමදාස – කරු ජයසූරිය කඳවුරේ සිටි අයයි. සිරිකොත තාප්ප ගැලවූ, පිටකෝට්ටේ පාරට තාර දාන්නට, 2012 සජිත් ගේ මැයි දින පෙළපාලියට පැමිණි අය යි. දිස්ත්‍රික්කයේ සජබ මතය මෙහෙයවන්නන් ය.

විසඳුම කුමක් ද?

එජාප – සජබ ප්‍රතිපත්ති වෙනසක් නැත. ඇත්තේ කල්ලි ගැටුමකි. සජබ හා එජාප නායකයින්, තමන් වෙනුවෙන් කොට ඇද්ද මන්ත්‍රීවරු පිළිබඳ සැබෑ කැක්කුමක් ඇති නම් ඔවුන්ගේ මන්ත්‍රි ධූර රැක දීම සඳහා නායකත්ව මට්ටමේ සාකච්ඡාවකින් ප්‍රශ්නය විසඳාගත යුතුව ඇත. ඔය කොයි කණ්ඩායමටත් ඊලඟ ජනාධිපතිවරණයක දී හෝ පාර්ලිමේන්තු මැතිවරණයක දී බලය ලබා ගැනීමට අවශ්‍ය බල ඇණිය දැන් මේ ගැටුමට මැදිවී සිටින 750 කට ආසන්න පිරිස ය. එකම පක්ෂයක් වෙනුවෙන්, එකම පාට තොප්පි දමාගෙන, එක කෑම පැකට් එක බෙදාගෙන කෑ පිරිසකගේ මන්ත්‍රී ධූර අහිමි කිරීම/අහිමිවන තැනට කටයුතු යෙදීම කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත වන්නේ නැත. අවම වශයෙන් මේ පක්ෂ දෙක මේ මන්ත්‍රී ධූර අවුල ලිහාගන්නට හෝ සාකච්ඡා මේසයකට පැමිණිය යුතුව ඇත.

රටකට විපක්ෂය නැතිවීමේ ඛෙදවාචකය 1977 සිට 1992 දක්වා අප තේරුම් ගත යුත්තේ ය. උතුර ගින්න ඇවිලීයන්නට අමිර්තලිංගම් ලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම හේතු විය. 2010 – 2014 රටේ විපක්ෂය වූයේ එජාපය නොව සිවිල් සංවිධාන යි. විපක්ෂය දුර්වලවීම එජාප – සජබ ගැටුමේ අවසන් ප්‍රතිඑලයි. එයින් කිසිවෙකුට සිදුවන වාසියක් නම් නැත.

සජබ ට ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ නොහැකි වූයේ ඇයි?

එජාපය ඉවත් කරන්නට යන මන්ත්‍රීවරුන් 750 හා සජබ මන්ත්‍රීනි ඩයනා ගමගේ ට ඇත්තේ එකම චෝදනාව කි. ඒ පක්ෂයේ විනය කඩ කිරීම ය. නමුත්, ඩයනා ගමගේ ඉවත් කිරීම තබා, එහි මුලික අදියරට හෝ තවමත් සජබ පැමිණ නැත. (පුරතවැසි භාවය පිළිබඳ නඩුවකින් ඇය ඉවත් කරන්නේ නම් එය වෙනම කාරණයකි) මෙය අහම්බයක් ද? කිසි ලෙසකින් හෝ එය අහම්බයක් නොවේ.

දේශපාලන පක්ෂයක් අවිධිමත් ආකාරයෙන් මහජන නියෝජිතයෙකු නෙරපා හරින්නේද? මන්ත්‍රී ධූරය රැක ගැනීමට ඕනෑ තරම් මාවත් තිබේ. විනය චෝදනා එල්ල වූ මහනුවර සරත් අමුණුගම, කෙහෙළිය, බදුල්ලේ ලක්ෂමන් සෙනෙවිරත්න, පොළොන්නරුව අර්ල් ගුණසකර, ගාල්ල මනූෂ නානායක්කාර, ගම්පහ උපෙක්ෂා ස්වර්ණමාලී, කුරුණෑගල නිමල් විජේසිංහ, මහනුවර අබ්දුල් කාදර්, හම්බන්තොට නිහාල් ගලප්පත්ති, නියතපාල, ප්‍රදීප් හපන්ගම, තිලක් කරුණාරත්න, හේමකුමාර, අනුර බන්ඩාරනායක මේ කිසිවෙකුට මන්ත්‍රී ධූර අහිමි වූවේ නැත. මන්ත්‍රී ධූරය අහිමි කර ගන්නේ නම්, එහි වරද ඔබගේම ය. මන්ත්‍රීවරුනි, අතහරින්න එපා. නිවැරදි මාවතේ උත්සහ කර බලන්න! සටන් කරන මිනිසුන්ට දිනන්නට පුළුවන් ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress