මී මැස්සෝ හා පන් ගොයියෝ
Posted on July 8th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

ලෝකය කොතරම් සුන්දර තැනක්ද? නමුත් මේ ලෝකයේ සැබැ සුන්දරත්වය අත්විදිමට හැම දෙනාටම වරම් තියෙනවා නම් කොපමණ හොඳද?  සිතුවිලි කන්දරාවක්  පහලවේ. ඒ මී මැසි රජ දහන තුලදිය. මී මැසි රජ දහනේ සංචාරය, එම රජ දහනට ඇතුළු වූ මෙහොතේ සිටම නවතාවයකින් පිරුනක් විය. තම රජ දහනට ඇතුළු වූ මේ නවකයා කවරෙක්දැයි කිසිවෙකුටත් බැලීමට කිසිඳු උවමනාවක් නොවිණ. මහා වැඩ කන්දරාවක නියළුන පිරිස, තමනට උරුම කාර්යයෙන් බැහැරව කිසිම දෙයක් සම්බන්ධව තම අවධානය යොමුකරන බවක් නොපෙනේ. මෙච්චරට මේ සත්වයින්ට තිබෙන කාර්යයභාරය කුමක්ද?අමුත්තා තුල  ගැටළුවක් මතු කලේය.  තමන් ගේ රජ දහනට ඇතුළු වු මේ අමුත්තා දෙස නිකමටවත් බැලීමට එකද මී මැස්සෙක්වත් උත්සහ නොකලේ මේ එන අමුත්තා ඔවුනගේ හතුරෙක් නොව, ඔවුන් වෙනුවෙන්ද වෙහෙසෙන  මිතුරෙකු බව, ඔවුන්ව දැනුවත් කර තිබුණ බැවින්ය. මී මැසි රාජධානියේ ව්‍යුහය ‍කොතරම් අපූරුද, ‍මෙහි සැලැසුම මෙය විය යුතුයයි තිරණය ක‍ලේ කවුද? එම සැලසුම මී මැස්සා‍ට කිරිමට හුරු කරවනලද්‍ දේ කව‍රෙකු විසින්ද? මේ ගොඩනැංවිමේ තාක්ෂණය මී මැස්සාට පලමුව හඳුන්වා දුන්නේ කවරෙක්ද? මෙම තාක්ෂණය මී මැස්සාගෙන් මීමැස්සාට සම් ප්‍රේෂණය කරන අධ්‍යාපන ක්‍රමවේදය කවරේද? අමුත්තාගේ සිත තුල කිසිදා නැති ආකාරයේ ප්‍රශ්න කන්දරාවකින් වෙලී පවතී. නෑ ඕක ඉබේම එනවා යන පිලිතුර සැබෑ පිලිතුරක් නොවන බව අමුත්තා ඉතා හොඳින් දනී. එහෙම නම් ඇයි මිනිසුන්ට එහෙම කිසිම දෙයක් ඉබේටම එන්නේ නැත්තේ? අමුත්තා තව තවත් සිතයි.මිනිසාට වඩා හොඳ අධ්‍යාපන ක්‍රම වේදයක් මී මැසි රාජ්‍යය සතුව පවතිනවා අමුත්තාගේ තීරණයයි. මම අංශක 90ක කෝණයක් නිර්මානය කරන්න තියොඩලයිට් එකක් අරගෙන වෙහෙසී කරන කාර්යය හා සසඳන විට මේ කුඩා මී මැස්සා කිසිඳු තාක්ෂණික මෙවලමක් නැතිව, අංශක 120 කෝණ නිර්මාණය කරමින් ගොඩනංවන සඬස්‍රාකාර කුටි වලින් පිරුණ රාජ්‍යය සම්බන්ධව මීට වඩා හැදෑරිය යුතු බව අමුත්තාම සිතා ගනී.

ආයබෝවන්! බර කල්පනාවක වගේ

අමුත්තා පිලිගනිමින් මී මැස්සියක විචාලාය.

ආයබෝවන්!  මම බැලුවේ මේ රාජ්‍යෙය් ඇති ක්‍රමාණුකූලභාවය සම්බන්ධවයි. ඇත්තටම විශිෂ්ඨයි, ශ්‍රේෂඨයි. මට කියන්න වචන ඇත්තේම නැහැ.

ස්තුථියි. රැජින ඔබ එනතුරු රැදී සිටිනවා. අපි යමු.

අමුත්තා රැජින වෙත යන ගමන මල්පැණි ගබඩා, මී පැණි ගබඩා, මල් රොන් ගබඩා, පසු කරමින් ගමන් ගනී. පැණියෙන් පිරුණ දේශයක්, මේ කුඩා සතුන් මේවා රැස්කරන්නේ කිසිවෙකුටත් කරදරයක් හිංසාවක් කරමින්  නම් නොවේ. අමුත්තා තුල තමන් සම්බන්ධව සියුම් ලැජ්ජාවක් හට ගනී. මම නියෝජනය කරන සමාජය මේ සතුන් එක්රැස්කරන දේ කොල්ල කන්නේ කොතරම් පහත් ආකාරයටද? තවත් ප්‍රශ්නයක් කරදර කරයි. රැජිනගේ සුහඳශීලී පිලිගැනුම අමුත්තා තුල නව ප්‍රබෝධයක් ඇති කලේය.

ආයුබෝවන්! ඔබේ පැමිණීම අපට කල විශාල ගෞරවයක් ලෙස පිලිගන්නවා. සතුට පිරි ඇගේ දෑස් විශාල කථාන්තරයක් කීමට සැරසේ .

ආයුබෝවන්! මහා රැජිණියෙණි, මගේ ජීවිතයේ දුටු අපූරුම පුරවරය ඔබගේ රාජ්‍යයයි මට හැඟෙනවා. මම බොහෝමයක් දේ දුටුවා සමහර දේවල් ඔබ වැනි කුඩා සත්ව පරපුරක් කරන්නේ කෙසේදැයි මට විශ්වාස කරන්නත් බැහැ.

මාගේ පලමු ප්‍රශ්නයෙන්ම ඈ මුවඟට නැඟුනේ හාස්‍ය යෙන් පිරි සිනාවකි. ඇය මද වේලාවකට පසුව කථා කලාය.

පුදුම වන්න ඔබ දුටුවේ මොනවාද? ඇය අමුත්තාගෙන් විචාලාය.

මහා රැජිණියෙණි, මෙතරම් කුඩා ජීවියෙක්, මෙවන්වූ අපූරු රාජධාණියක් ගොඩනැංවීමම මහත්වූ ඓශ්වර්යක් ලෙස මට දැනෙනවා. විශේෂයෙන්ම,සඬස්‍රාකාර කුටි සමමිතිකව ගොඩනැංවීම, ඒවා විශිෂ්ඨ ලෙස පරිපාලනය කිරීම මට අදහා ගන්න බැහැ.

ඇත්තටම ඔබ පුදුම වෙන්නේ; පුදුම වෙන්න ඕනි දෙයකට නම් නොවේ. ඇයි ඔබ අහන්නේ නැත්තේ  මුළු ලෝකයේ ජීවීන්ගෙන්  80% කඩා අවශ්‍ය කරන ආහාර මේ කුඩා ජීවියා නිශ්පාදනය කරන්නේ කොහොමද? කියලා, මුළු මහත් ලෝකයේ ජනගහණයෙන් 80% කට වඩා ජනතාවට අපි කන්න දෙන්නේ කොහොමදැයි? කියල ප්‍රශ්න කලා නම් මම වඩාත් සතුටු වෙනවා. ඔබට නිකමටවත් හිතිල නැහැ, ඒ කාර්යය කරන්නේ මේ කුඩා සතා බව.

අමුත්තාට මී මැසි රැජීනගේ ප්‍රකාශයේ සැබෑ අරුත එකවරම නොතේරුණි.

ඔබතුමියගේ කථාව පැහැදිලි කලා නම් මම අගය කරනවා.

ඔව් මම දන්නවා මිනිස්සු හිතන විදිය. ආහාර නිශ්පාදනය සඳහා ඔබලාට අවශ්‍යයයි සිතන්නේ, ඉඩම, බීජ, ජලය, පොහොර, වල් නාශක, කෘමි නාශක හා ගොවියා යන කරුණු විතරයි. ඔබලා ගෙන් හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නෙත් ඒ විදියට, ඒ උනාට ඒ සාධක වලට අමතරව බඹරා, දෙබරා, කණ මැස්සා මී මැස්සා වැනි පරාගණය සඳහාම පුහුණුවූ හමුදාව නැතිව ඔබලාට කිසිම පලදාවක් ලබාගන්න නම් බැහැ. මේ පරාගණ හමුදාව තමයි මුළු ලොවටම ආහාර සපයන්නේ. ආහාර නිශ්පාදනය කරන්නේ පරාගණ හමුදාවයි. ඒ කාර්යය කිරීම සඳහා අපි දිවා රෑ වෙහෙසෙනවා. වැඩකරන මැස්සියන්ට දිනපතා උපදෙස් දෙනවා. ඉදිරිකාල වලදී මේ කාර්යයන් ඉටු කිරීම සඳහා අනාගත මී මැසි පරම්පරාව ගොඩනංවනවා. අපිට විශාලම ප්‍රශ්නය තියෙන්නේ මේ ලෝකයේ බුද්ධිමත්ම සතා කියන මිනිසාගෙන් ඇතිවෙන බාධකයි. බලන්න අද වෙනකොට රට පුරාම ඔබලාගේ මිනිස්සු මොනවාද කරන්නේ, විෂ පොහොරයි, විෂ වල් නාශකයි, අපිව මරන්න කෘමි නාශකයි  ඉල්ලමින් කිසිම වැඩක් නොකර මහා පාරේ රස්තියාදු ගහනවා මේ යටත් කන්න දෙන්න අපිට වැඩ කරන්න සිද්ධ වෙලයි තියෙන්නේ ! කොච්චර අසාධාරනයක්ද?

අමුත්තාට මීට මොහොතකට පෙර ඔහු කෙරෙහි ඔහු තුලවූ අභිමානය ගරා වැටෙන්න විය.ඔහු මහා අපහසු තාවයකට පත්විය. මෙවැනි කාර්යයක් සිදුවෙන බව අප දැනගෙන හිටියත් ගොවියට වඩා කෘමියා ඉහල ඉන්න බවක් නම් විශ්වාස කලේම නැහැ. ඇත්තනේ ලෝකයේ තියෙන මහා වනාන්තර පද්ධතිය තුල සිටින මහා ජීවි පරපුරට අවශ්‍ය කරන ආහාර වලින් කොටසක් සපයන්නේ ගොවියා නොව මේ කුඩා කෘමියා බව අමුත්තාට වැටහිණි. ගොවියාලේ මූලිකත්වයෙන් කරන වගාවන්වලදීද මේ කෘමියා කරන පරාගණ කාර්ය අත්‍යවශ බව අමුත්තාට වැටහිණි.

ඔව් මට ඔබතුමිය කියන කාරණාව මනාව වැටහෙනවා

ඔබට පරාගණය යනු පොතට සීමාවූ කුඩා විෂයක් පමණයි. නමුත් අපට පරාගණය යනු මුළු පෘතුවියේ අඛණ්ඩව ගලායන ජීවී ප්‍රජාවගේ උරුමයන් රැක දෙන මහා ක්‍රියාවලියයි. මේ ක්‍රියාවලියෙන් මිදීමට අපිට හිමි කමක් උරුමව නැහැ.අපි අපේ සතුරන්ටත් මිතුරන්ටත් එකසේ අවශ්‍යකරන ආහාර නිශ්පාදනය කරන්නෝ වෙමු.

ඔබතුමිය පරාගණ කාර්ය සම්බන්ධව කථා කරන විට මිනිසා යන නාමය ඇසෙන විට කථා කරන්නේ සතුරෙක්ගේ නමක් ඇසුනාක් මෙනි. ඒ ඇයි?

අපිට කථා කරන්න ගොඩාක් කරුණු තියෙනවා. මේ සංවාදය අපි සතුරු ලෙසින් කථා කිරීමෙන් කිසිඳු පලක් නැහැ. නමුත් මිනිසාගේ ක්‍රියාකාරකම් රාශියක් අපට මහා වේදනාවක් ගෙන දෙනවා. ඔබලා ඉටු කරන මොනම කාර්යකටත් වඩා වටිනවා ආහාර නිශ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. ඒ මහා කාර්ය කරන්නේ කෘමි ප්‍රජාව,:වැඩිපුර අඝ්‍රණය කලොත් තමන්ටත් මරණය උරුම කරන අති පුබල කාමි නාශක කිසිඳු පදනමකින් තොරව විසුරුවා හැරීම හේතුවෙන්, පරාගණය කිරීමට සිටින හමුදාව මරා දමන්නේ මිනිසා බව ඔබේ මිනිසුන්ට වටහා දෙන්න.. මේ පරම්පරාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රැජිනක් වශයෙන් මට පැවරී ඇති කාර්යයන් අතර, දිනකට බිත්තර 700කට ආසන්න ප්‍රමාණයක්  දැමීමට අමතරව මෙහි පරිපාලනයත් ඉටුකරනවා. මී වදයක් පිරෙන්න මී පැණි හොයන්න මී මැස්සෝ ගමන් කරන දුර ප්‍රමාණය කිලෝ මීටර 80,000කට වැඩි බව මිනිසුන්ට අවබෝධ කරල දෙන්න. මේ මී වදය පුරවන්න පැණි නිශ්පාදනය කරන්න මල් මිලියන දෙකක් තරම් ප්‍රමාණයක් අතර සැරි සරන මහා කාරියක්. මේ වනවිට මෙතරම් මල් ප්‍රමාණයක් සොයා ගැනීමත් මහා දුෂ්කර කාර්යයක් බවට පත්වෙලා. එදා මෙන් නොව අද හැම මිනිහෙක්ම වවන්නේ මල් පිපෙන ගස් නොව, මල් නැති කොල හා කඳ අලංකාර වූ ගස් පමනක් වීමත් මහා අර්බූදයක් වෙලා. ඒ නිසා සමාජය මල් වලින් බරිත වූ සමාජයක් කරන්න කියන්න. එවිට සමනලයින් මී මැසිසන් කන මැස්සන් ගෙන් පිරුණ සමාජයක් නිර්මාණය වේවි. මිනිසුන්ට මී මැස්සන්ට ආදරය කරන්න කියන්න. මී මැස්සන්ව ඇති කරන්න කියන්න. මී මැස්සා හා සහජීවනයෙන් ජීවත්වෙන්න කියන්න. කාබනික පොහොර මෙන්ම මී මැස්සන් සඳහා වූ කලාප වගාවන් අසලම ගොඩනංවන්න කියන්න. ආහාර අතින් සංවර්ධනය කිරීම එවන් තත්වයන් යටතේ අපට පහසුවෙන් කල හැකි වේවි.

ඇගේ ඉල්ලීම තුලවූයේ කාරුණිකභාවය කැටිවූ තද ස්වරයකි. ඇය වැඩකරන්නේ මුදලට නොවන බැවින් රට සංවර්ධනය කිරීම ඇයගේ එකම අභිලාශය බවට පත්ව ඇත.මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මිනිසා පලදාව විනාශ කරන්නෙක් බව ඇය දන්නේ නම් මට මෙතරම් වටිනා රජධානියක් තුලට අතුළු වීමටවත් අවසර නොලැබීමට ඉඩ තිබිණැයි අමුත්තාට සිතිණි. මී මැසි රැජිණිය ගෙන් සමුගත් අමුත්තා මහත් සිතුවිලි රාශියක් අතරේ තෙරපෙමින් ඉදිරියටම ඇදිණ.
සෑම මී මැස්‍සකුටම සම නිපුනතාවයන් නිරිමාණය කරන ලද නිර්මාන කරුවා. අපට උරුම කර ඇත්තේ කොච්චර සුන්දර නිර්මාණයන්ද? හැමටම සඩාස්‍රාකාර සමාන කුටි, හැමදෙන ඒකාකාරව කරන වෙහෙසීම අපට කියාපාන්නේ මිනිසා කථා කරන සමාජවාදයද? නැත්නම් උත්තර නිර්මිතියද?

මී මැසි රාජධානියෙන් එලියට බට අමුත්තාට ඇසුන කන පිනවන මියුරු ගී නාදයට අනුව මුළු ලොව උයනක් බවට පත් කරවිය යුතු බව අවබෝධ වී කිබිණ. නමුත් ඒ මියුරු ගී නාදය පරයමින්  බෝඩ් උස්සාගත් කාඩ්බෝඩ් ගොයියෝ

“අපට පොහොර දියව්!”
“අපට් කෘමි නාශක දියව් ”  යනුවෙන් මොරදුන්හ.

අමුත්තාට මී මැසි රැජින මේ ගොයියන්ට වඩා කොතරම් ප්‍රබුද්ධාදැයි සිතිණි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress