උදය ගම්මන්පිලට එරෙහි විශ්වාස භංග යෝජනාව හොඳ දෙයක් මිස නරක දෙයක් නොවේ.
Posted on July 12th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

උදය ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මේ විශ්වාස භංග යෝජනාවට පදනම සකස් කිරීමට පදනම නිර්මාණය කර දුන්නේ, පොහොට්ටුවේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුවූ සාගර කාරියවසම් මහතා විසිනි. සාගර කාරියවසම් මහතා බබෙක් නොවේ. ඔහු තෙල් මිල වැඩිකිරීම වරදක් සේ දැක ඒ වරද සිදුකලේ උදය ගම්මන්පිල ඇමතිවරයා විසින් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා පමණක් නොව එය පොහොට්ටුවේ මතය බවත් පුන පුනාම ප්‍රකාශ කළහ. මෙය පොහොට්ටුවේ මතය නොවේනම් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුව කැඳවා මෙවැනි ප්‍රකාශයක් කිරීමට හේතුව ඔහුගෙන් විමසිය යුතුය. නමුත් එවැන්නක් සිදු නොවිය. මෙයින් තේරෙන්නේ, පොහොට්ටුවේ, මධ්‍යමකාරක සභාවක් හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් නොමැති බවයි. පොහොට්ටුව යනු සාගර කාරියවසම් බවට පත්වුණ දේශපාලන පක්ෂයක් බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ  නොවේ. නමුත් එතුමා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ,, තෙල් මිල වැඩි කිරීමට තීරණය කලේ මුළු කැබිනට් මණ්ඩලයම රැස්වී ගත තීරණයක් මත බවයි.. එහෙත් සාගර කාරියවසම් මහතා එයින් නොසැලී, තමාගේ මතය පොහොට්ටුවේ මතය බව යලි යලිත් කියා සිටියේය. කාරියවසම් සිදුකරන්නේ,වස පැතිරවීමේ කාරිය බව ඉතා පැහැදිලිය. මේ සම්බන්ධව තමා සමග වාදයකට එන ලෙස උදය ගම්මන්පිල මහතා ඉල්ලා සිටියද එය මග හරිමින් තමා වාදයකට යන්නේ තමාට සුදුසු අයෙකු සමග මිස අන් අය සමග නොවන බවක්ද පල කළහ. ඔහු නිතිවෙදියෙකි, ඔහු ඇගිල්ල දිගු කොට කෙනෙකුට චෝදනා කොට, ඒ සම්බන්ධව වෙනත් අයෙකු සමග වාද කිරීමට කැමත්ත දක්වන නිතිවෙදියෙකි. ඔහුව ඉතා පැහැදිලිව අපි දකිමු. දැන් අවස්තාව උදාවී ඇත්තේ, උදය ගම්මන්පිලට හා විමල් විරවංස ප්‍රමුඛ දේශප්‍රේමී බලකායටය. ඔවුන් සිදුකල යුතුදේ මැනවින් තේරුම්ගත යුතය. මෙම විශ්වාස භංගය සාගර කාරියවසම්ට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගයක් බවට වේදිකාව සකස් කරගත යුතුය. එක්සත් ජාතික පක්ෂයටවත්, සජබයටවත්, ජනතා විමුක්ති පෙරමුණටවත් එරෙහිව එකද වචනයක් පාවිච්චි නොකර සාගර කාරියවසම් නමැති පොහොට්ටුවේ ලොක්කායයි කියන මේ පුද්ගලයාව පමණක් ඉලක්ක කොට ගෙන පහරදීම තුලින් සතුරන්ගේ බල කඳවුරක් වීමේ මුල් අදියරේ පවතින පොහොට්ටුව ඉන් මුදා ගැනීමට උත්සහ කලාට වරදක් නැත.

උදය ගම්මන්පිල මහත්මයාණෙනි, ඔබ සමග වාදයකට පැමිණීම මග හරින සාගර කාරියවසම්ව මුළු මහත් රට වැසියන්ම බලා සිටිනා පාර්ලිමේන්තු මන්දිරයේදීම ඒ කාර්ය සඳහා සුදානම් කරවා ගන්න. හැම වෙලාවකම ජය ගන්නේ සත්‍ය මිස අසත්‍ය නොවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress