විධිමත් නගර සියයක් රටේ ජනතාවට උරුම කරනවා – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on July 27th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සියලුදෙනාට තිරසර නගරයක පහසුකම් අත්විඳිය හැකි අයුරින් විධිමත් නගර සියයක් රටේ ජනතාව වෙනුවෙන් උරුම කර දෙනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින පෙරවරුවේ දී පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන රට පුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය” කුරුණෑගල හිරිපිටිය නගරයෙන් ආරම්භ කිරීමේ ජාතික උත්සවය සඳහා අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන මෙම ව්‍යාපෘතිය සංකේතවත් කරමින් නාගරික සංවර්ධන ,වෙරළ සංරක්ෂණ ,අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් හිරිපිටිය නගරය සංවර්ධනය කිරීමට අදාළ නාම පුවරුව විවර කළේය.  

සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එක් නගරයක් සංවර්ධනය කොට අලංකාර කිරීම සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 20කි. ඒ අනුව නගර සියය සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ.  

සියක් නගර‍‍ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරමින්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

අපේ රටේ ජනතාව කැමති තමන්ට ළඟම නගරය දියුණුවෙනවා දකින්න. හැමදේටම කොළඹ යන්නෙ නැතිව ළඟම නගරයෙන් ඒ අවශ්‍යතා ඉටු කරගන්න තිබුණ නම් කියලා ජනතාවට හිතෙන එකේ කිසි වරදක් නැහැ.

හැබැයි කාලයක් තිස්සෙ කිසිම සැලැස්මක් නැතිව සංවර්ධනය වුණු නගරවලින් ජනතාව අපේක්ෂා කළ ඒ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ. අපේ රටේ බොහොමයක් නගර අදටත් තියෙන්නේ අපිළිවෙලකට බව කාටවත් හංගන්න රහසක් නෙමෙයි.

මේ නගර පිළිවෙලක් කරලා පහසුකම් වැඩි දියුණු කරලා. ඇහැට ප්‍රිය නගරයක් කරන්න කොතරම් උත්සාහ කළත් ඒවා ඇතැම්විට ගඟට කපපු ඉනි වගේ කිසි වැඩක් නොවී අවසන් වුණා.

සමහර වෙලාවට නගරයක වැඩක් පටන් ගත්තම මැතිවරණයක් ඇවිත් බලයෙ සිටි අය පැරදුණාම ඒ වැඩේ එතනම නවතිනවා. තවත් සමහර ව්‍යාපෘති හැමදාම එකම නගරයකට සීමා වුණා. ඒ නිසා තමන්ගෙ නගරය දියුණුවෙයි කියලා සිතිවිල්ලක්වත් ජනතාවට නැතිව ගියා.

අද මේ ව්‍යාපෘති ආරම්භ කරන නගර ගත්තත් එහෙමයි. කවදාවත් මේ නගරවලට දියුණුවක් ඇතිවෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ.

මේ නිසා අනවසර ඉදිකිරීම් මුල්බැසගත්තා විතරක් නෙමෙයි හරියට කාණු පද්ධතියක්වත් නැති අපිළිවෙල නගර බවට ඒවා පත්වුණා.සමහර තැන්වල කාණු උතුරනවා බලන්න කවුරුත් නෑ. එහෙම නැත්තම් මගියට ගමන් කරන්න තියෙන පදික වේදිකාවේත් ඉදිකිරීම් කරනවා. දැන්වීම් හැමතැනම අලවලා. එක එක තැන්වල පුවරු සවි කරලා. වාහනයක් නවත්වන්න බෑ. අර කතාවට කියන්නෙ හරියට කපුටු කූඩු වගෙයි.

මිත්‍රවරුනි,

ඔබ දැක්කා අපි බලයට ආවම තරුණ තරුණියො ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වෙලා තාප්පවල චිත්‍ර ඇන්දා. මේ තරුණ පරපුරට අවශ්‍ය වුණේ ගමෙන් පටන්ගෙන මුළු රටටම ඒ සඳහා ආදර්ශයක් දෙන්න. අපි ඒක එදා අගය කළා වගේම අදත් අගය කරනවා. කොවිඩ් ඇවිත් ඒ හැමදේම සීමාවෙනකොට සමහරු අර තරුණ තරුණියන්ටත් හිනා වුණා. කෝ දැන් පාට කරන්නෙ නැද්ද ? කියලා ඇහුවා. සමහරු හිතුවා අපිට ඔවුන්ව අමතක වුණා කියලා.

අපි ඔවුන්ගෙ අවශ්‍යතාව දැක්කා. අපේ රට කියලා අභිමානයෙන් කියන පරපුරක බලාපොරොත්තු ඉටු කරන එක අපේත් වගකීමක්.  සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් අපි ඒ බව තහවුරු කළා.  අද මුලපුරන මේ සියක් නගර සංවර්ධන වැඩසටහනින් අපි ඒ විශ්වාසය ඔබ වෙනුවෙන් තහවුරු කරන බව සිහිපත් කරන්න උවමනායි.

මේක ආරම්භයක් විතරයි. ඔබේ නගරයට එනකම්ම අපි මේ වැඩපිළිවෙල අද දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා.

මේ කටයුත්ත සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය,නාගරික සංවර්ධන අධිකාරිය පමණක් නෙමෙයි, ඔබේ නගර සභාව, ප්‍රාදේශිය සභාව, විදුලිබල මණ්ඩලය, ජල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රජයේ සියලුම ආයතනවල සහය ලැබෙනවා. ඒ සඳහා ඔබෙත් සහය ලැබුණොත් එය තවත් ශක්තියක්.

මේ ව්‍යාපෘතිය මේ වසර අවසන් වෙනකොට නිම කරන්නයි අපි සැලසුම් කරලා තියෙන්නෙ. මේ කටයුත්තට  නගර නිර්මාණ ශිල්පීන්, භූ දර්ශන විද්‍යාන්ඥයින්, වාස්තු විද්‍යාන්ඥයින්, ඉංජි‍නේරුවරුන් හා අනෙකුත් වෘත්තීකයන්ගේත් සහය ලබා ගන්නවා. ඒ නිසා අපි හිතන විධිමත් නගර සැලැස්මකට මෙම නගර 100 ‍ම ගොඩ නගන්න අපිට හැකිවෙන බව විශ්වාසයි.

නගර සංවර්ධනය කරලා ආයේ පසු විපරම් කිරීමත් කරන්න කියලා මම නිලධාරින්ට උපදෙස් දුන්නා. නගර ජනතා අයිතියට පත්කළාම ඒවා අලංකාරවත් ලෙස තබා ගැනීම ඔබ සැමගේත් අපේත් වගකීමක්. ඒ සඳහා රාජ්‍ය අංශයෙන් වගේම  පුද්ගලික අංශයේ සහයත් අපට ලැබෙන්න ඕනි.

මිත්‍රවරුනි,

මේ නගර 100 සංවර්ධනය වෙනකොට ඒ ආශ්‍රිත ග්‍රාමීය ජනතාවට තවත් පියවරක් ඉදිරියට යන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අනෙකුත් නගර අතර පවතින සංවර්ධන විෂමතාවයත් මෙමගින් මග හැරෙනවා. තිරසර නගරයක ජීවත්වීම ඔබට හැම අතින්ම පහසුවක්.

අපි ඉතිහාසය අරන් බැලුවමත් ක්‍රමානුකූල නගර නිර්මාණය අපට ආගන්තුක දෙයක් නෙමෙයි. පුරාවිද්‍යාත්මක ‍හෙළිදරව්වලට අනුව  මෙරට  බිහිවූ  සැළසුම් සහගත ප්‍රථම ජනාවාසය පිළිබඳව තම්මැන්නා ගම සහ අනුරාධපුර ග්‍රාමයෙන් අපට උදාහරණ තිබෙනවා.

නගර බිහිවන්නේ ජනතාව තුළින්. එදා අතීතයේ අපිටම උරුම වෙච්ච නගර නිර්මාණ සැලසුම් තිබුණා. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ආදී අතීත රාජධානි සමඟ බැදුණු නගර නිර්මාණ අදටත් මුළු ලෝකයේම කතාකරනවා. ඒ විතරක් නෙමෙයි ඒ සැලසුම් අධ්‍යනය කරන්න අපේ රටට අදටත් විදේශිකයින් එනවා.

නූතන නගර නිර්මාණ සැළසුම්වල ඉතිහාසය මෙරට යටත් විජිත සමය හා බැඳුණු එකක්. 16 වැනි සියවසේ දී පෘතුගීසී ආගමනයත් සමඟයි කොළඹ කේන්ද්‍රකරගත් නගර සංවර්ධන වැඩ පිළිවෙලක් ආරම්භ වෙලා තියෙන්නේ. 17 වෙනි සියවසේ ලන්දේසි ආක්‍රමණයත් සමඟ කොළඹට සීමා වෙලා තිබුණු නගර සැළසුම් ත්‍රිකුණාමලය, යාපනය, මීගමුව, ගාල්ල වැනි නගර දක්වා විහිදිලා තිබෙනවා.

ඔලිවර් වීරසිංහ මැතිතුමා තමයි ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම නගර හා ග්‍රාම සැලසුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා.  අනුරාධපුර නව නගරය සැලසුමත් එතුමගේ වැඩක්.  1940 වර්ෂයේ එතුමා ආරම්භ කළ ඒ  සුවිශේෂ ව්‍යාපෘතිය අතීත ලාංකීය උරුමයන් සංරක්‌ෂණය කිරීමට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්‌ ලෙසයි අදටත් සැලකෙන්නේ.

මිත්‍රවරුනි,

ඒ වගේම තමයි තිස් වසරක් පැවැති යුද්ධය නිසා රටේ සංවර්ධනයත් ආපස්සට ගිය බව ඔබ තමුන්නාන්සෙලා දන්නවා. අපි නම් යුද්ධයක් තිබියදිත් සංවර්ධනය අමතක කළේ නැහැ. නමුත් ඊට පෙර නගර සැලසුම් සහ සංවර්ධනයට කිසිවෙකුත් අත තිබ්බෙ නැහැ.

ඒ නිසා මහා පාරේ කැලි කසල කඳු පිරිලා තිබුණේ. බලන්න අප්‍රසන්නයි. පදික වේදිකාවේ පදිකයෙකුට යන්න බැහැ. ඒවා උඩ කඩ ගහලා. වාහන නවත්තලා. පොඩි වැස්සටත් යටවෙනවා. කුණු කාණු උතුරනවා. වෙනත් නගර නෙමෙයි කොළඹත් එහෙමයි තිබුණෙ.

ඒ තත්ත්වයෙන් නගර ගොඩ ගන්න එදා මම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාට, නාගරික සංවර්ධනයත් භාරදුන්නා. එතුමා ඒ වැඩේ හරියටම කළා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට මේ රටේ නගර සංවර්ධනය කඩිනම් කරන්න අදටත් විශාල අවශ්‍යතාවක් තිබෙන බව ඔබ හොඳින්ම දන්නවා.

මිත්‍රවරුනි,

මට මතකයි එදා එතුමා මුලින්ම කොළඹ මහා පාරවල් අයිනේ තියෙන කසල කඳු ඉවත්කළා. ඒක එකපාර කරන්න පුළුවන් ලෙහෙසි පහසු වැඩක් වුණේ නැහැ.  එදා කොළඹ මහා නගර සභාව තිබ්බේ අපේ යටතේ නෙමෙයි. ඒත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරල කොළඹ නගර සභාවත් ඒ වැඩේ‍ට සම්බන්ධකර ගත්තා. කොළඹ තැන තැන එදා තිබ්බ කසල බහාලන ස්ථාන ඉවත් කරලා නගර සභාව යොදවල විධිමත් ආකාරයට කසල එකතුකරන්නත් ගත්තා.

ඔය අතරේ පාරවල්වලට කුණු බෑග් විසිකරන අය අල්ලන්නත් පරිසර පොලීසිය කියල එකකතුත් හැදුවා. මහා පාරේ කුණු දාන අයට දඩ ගහන්නත් අපිට එදා සිද්ධ වුණා. හැබැයි මාස කිහිපයකින් ඒවායේ ප්‍රතිඵල අපිට ලැබුණා. ටොෆි කොළයක්වත් බිම දාන්නේ නැති බුලත් විටක් හපල  මහා පාරේ කෙල ගහන්නේ නැති තැනකට අපි මේ රට ගෙන ආවා. මග දෙපස ගස්  සිටුවලා නගර අලංකරණය විධිමත් කළා.

පදික වේදිකාව තියෙන්නේ පදිකයන්ට. ඒ නිසා පදික වේදිකාවේ සිටි වෙළඳුන්ට විධිමත් ලෙස වෙළදාම් කරන්න ස්ථාන සකස්කරලා,  පදිකයන්ට  පදික වේදිකාව  නිදහස් කරල දුන්නා ඔබතමුන්නාන්සේලා දන්නවා. නගරයේ වාහන තදබදයට පිළියම් සොයලා තනි දිසාවට වාහන ධාවනයට මාර්ග වෙන් කළා. මේ විධියට ගෝඨාභය ජනාධිපතිවරයා එදා නාගරික සංවර්ධනයේ ලේකම් ලෙස මේවා කළේ ටිකක් තදින්. ඒ නිසා තමයි කොළඹ නගරය විධිමත් තත්ත්වයකට ගේන්න අපිට පුළුවන් වුනේ.

අපි එතැනින් නතර වුණේ නැහැ. ලෝකයේ ආකර්ශනීය මෙන්ම සුන්දරම නගරයක් ලෙස කොළඹ නගරය සංවර්ධනය කරන්න පටන් ගත්තා. කුඩා බිම් කඩක වැස්සට තෙමෙමින් අව්වට පිච්චෙමින් ජීවත්වූ පැල්පත්වාසීන්ට තට්ටු නිවාස ලබාදෙමින් නගරයේම කොටසක් වෙච්ච ඒ ජනතාව දිහාත් බැලුවා.

ඔබ දන්නවා කොටුවෙ පාවෙන වෙළද සංකීර්ණය අද කොළඹ නගරයේ ආකර්ශනීය ස්ථානයක්. එදා  එතැන කුණුගද ගස්සවන අපරාධකරුවන්ගේ රජ දහනක්  විදිහටයි තිබුණේ.  එවන් තැනක් තමයි අපි කොළඹට එළිය දෙන තැනක් කළේ.

මිත්‍රවරුනි,

ඒත් යහපාලන ආණ්ඩුව එහි වටිනාකම තේරුම් ගන්නේ නැතිව  ඒ තැන් විනාශ වෙන්න ඉඩ හැරියා. ඒ විතරක් නෙමෙයි,  මහා පාරේ  ලස්සනට තියල තිබ්බ  මල් පෝච්චි ටිකට වතුර ටිකක් දැම්මේ නැහැ. ඒවා වතුර නැතිව අව්වට පිච්චිලා මැරෙන්න ඉඩ හැරියා. අපි බලයට ඇවිත්  මේවා නිවැරදි කරන්න තවත් කාලයක් ගන්න සිද්ධවුණා.

මිත්‍රවරුනි,

බත්තරමුල්ලේ දියත උයන, ඒ වගේම ගිය සතියේ අපි විවෘත කරපු සඳුන් අරණ වගේ පරිසර හිතකාමී අලුත් ව්‍යාපෘති අනෙකුත් නගරවලටත් හඳුන්වා දෙන්න කියලා අපි දැනටමත් නිලධාරින්ව දැනුවත් කරලා තියෙන්නෙ. අපට අවශ්‍ය ඔබ සැම වෙනුවෙන් සුවපහසු නාගරික යාන්ත්‍රණයක් ඇති කිරීම. ඒ සඳහා ඔබේ නගරය දියුණු අලංකාර නගරයක් බවට පත්වීම ඔබ අද මුහුණ දෙන බොහෝ ගැටලුවලට විසඳුම වනු ඇතැයි අපි විශ්වාස කරනවා. නගර සීයයේ ජාතික උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කය මුල් කරගෙන ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.

මේ කටයුත්ත සඳහා දායක වන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාටම මාගේ ප්‍රණාමය නැවත වතාවක් පුදකරනවා. ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඇතුළු මන්ත්‍රීවරු සියලුදෙනාට මාගේ ගෞරවය හා ස්තූතිය මේ අවස්ථාවේ පුද කරනවා.

ඔබ සැමට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

තිහව ගස්සන්දළුපොත පුරාණ විහාරය ,පොල්පිතිගම  ඓතිහාසික නාගොල්ල රජමහා විහාරය යන උභය විහාරාධිපති ,හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ගනේගොඩ රතනජෝති නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය හිරිපිටිය නගරයේ පැවති උත්සව අවස්ථාවට වැඩම කළහ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත්වරු මෙම ජාතික උත්සවයට අරලියගහ මන්දිරයේ සිට සම්බන්ධ වූහ.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ ,අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන යූ.කේ.සුමිත් උඩුකුඹුර, චරිත හේරත්, අසංක නවරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමලත් මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහත්වරු ඇතුළු ප්‍රාදේශිය දේශපාලඥයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress