කාබනික පොහොර ව්‍යාපෘති වලට බව පවසා ව්‍යාපාරිකයින් දෙදෙනකු පශු වෛද්‍ය කාර්යාලයන්ට අයත් භූමි දෙකක් අත්පත් කර ගෙන
Posted on July 28th, 2021

තිසර සමල් – අනුරාධපුර

කාබනික පොහොර ව්‍යාපෘති වලට බව පවසා ව්‍යාපාරිකයින් දෙදෙනකු පශු වෛද්‍ය කාර්යාලයන්ට අයත් භූමි දෙකක් අත්පත් කර ගෙන ඇතැයි උතුරු මැද පළාත් පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අමරසිංහ මහතා ‘සෞභාග්‍යා’ තිරසර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනේදී පැවසීය.

 ‘සෞභාග්‍යා’ තිරසර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන අනුරාධපුර පිහිටි  උතුරු මැද පළාත් සභා සංකීර්ණයේදී විණි.දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෘෂිකර්ම වැඩසටහන් වල ප්‍රගති සමාලෝචනය, ගොවින් දිස්ත්‍රික් මට්ටමින් මුහුණ දෙන  ගැටළු සාකච්ජා කිරීම, නව කෘෂිකාර්මික සංවර්ධ වැඩසටහන හදුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

එහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අමරසිංහ මහතා කියා සිටියේ,

 අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කාර්යාල තියෙන ඉඩම් පවා කාබනික පොහොර මධ්‍යස්ථාන හදන්න කියලා පවරා ගන්න හදනවා, මේ වෙන කොට ලියුම් ඇවිත්   තියෙනවා. අපිට ඒක නිදහස් කරන්න කියලා. ගොඩනැගිල්ල තියන භූමිය තියාගෙන ඉතුරු ටික නිදහස් කරන්න කියලා තියෙන්නේ. ගලෙන්බිදුණුවැවයි, කැකිරාවෙයි ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ඉඩම අල්ලගෙන ඉන්නවා යන්නේ නෑ, දැන් ඒ දෙන්නා. සති දෙකකට විතර ඉස්සරලා තමයි අල්ලා ගත්තේ.

ඊට පිළිතුරු  දුන් කෘෂිකර්ම අමාත්‍යයතුමන් –

ඒක අපි කථා කරගමු,මේ කන්නයේ ඉඩම් ප්‍රථිසංස්කරණ මණ්ඩලය මැදිහත් වෙලා ලොකු කාර්යභාරයක් කරනවා.ඒකට සයිට් එකක් නැති නිසා ගන්නේ, පවරා ගැනීමක් නෙමෙයි, අපි ඔබතුමන්ලාගේ ඉඩම් අත්පත් කර ගැනීමක් කරන්නේ නෑ, අපිට කාබනික පොහොර හදන්න තැන් ටිකක් තමයි ඔබතුමන්ලාගේ ඉඩම් තියෙන නිසා, ඒ භූමිය මේ කටයුත්තට විතරයි ඉල්ලලා තියෙන්නේ, මේක පළමු නියමු ව්‍යාපෘතිය නිසා හිඟයකින් තොරව කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්න ඕන, භය වෙන්න එපා ඒක අපි ගන්නේ නෑ.

ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන – ආ මං දන්නෙත් නෑ… මං ඒක බලන්නම් යැයි පැවසීය.

එහිදී වැඩිදුරටත් කෘෂිකර්මයට අදාළ කරුණු ලෙස

 අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් පමණක් මෙම වසරේ මිලියන 2619ක් ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යයතුමන් පැවසූ අතර, එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය, ඒවා ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන්ට මුහුණ පෑමට සිදුවන ගැටළු සහ ගොවි ජනතාවට ඵලදායි ලෙස එම ප්‍රතිපාදන වෙන් කොට සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙම ප්‍රගති සමාලෝචන වැඩසටහනේදී සාකච්ජා කෙරිණි. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංගම් නියෝජනය කරමින් ගොවි නියෝජිතයන් රැසක් මෙම සාකච්ජාවට සහභාගී වු අතර, ඔවුන්ගේ ගැටළු ද එකින් එක සාකච්ජා කෙරිණි.

අලි වැට ඉදිකිරීම් , වගාවන්ට සිදු වන වන සත්ව හානී, වැව් ප්‍රථිසංස්කරණය හා වාරී පද්ධති ප්‍රථිසංස්කරණය, කෘෂී උපකරණ මිලදී ගැනීම හා  වගා හානී වන්දි ලබා දීම ,  දීර්ඝ කාලයක් වගා කටයුතු කළ හේන් හා කෘෂී ඉඩම් සඳහා බලපත්‍ර හා  ඔප්පු ලබා ගැනීම හා  අනුරාධපුරයට ගොවි විශ්‍රාම ශාලාවක් ඉදි කිරීම සම්බන්ධයෙන්ද සාකච්ජා කෙරිණි.  

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් ලක්ෂ 700ක් වෙන්කර තිබෙන බවත්මේ,  සියලු ප්‍රතිපාදන අඩුපාඩු සහිත තැන් හඳුනාගෙන ගොවි ජනතාවගේ අදහස් හා යෝජනා අනුව යොදවා නියමිත අරමුණ කරා යොමුවන ලෙසටද කෘෂිකර්ම අමාත්‍යයවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යයතුමා,

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම යන්ත්‍ර උපකරණ ඒකකයක් දෙනවා, ගොවිජන සේවා මධ්‍යස්ථාන දහයක් අංග සම්පූර්ණව නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙනවා,ඒ දහයටම යන්ත්‍ර උපකරණ ඒකක දහයක් එනවා.ඒ සියල්ල ටෙන්ඩර් කරලා තියෙනවා.ලබන වසරේ ඉතුරු ටික දෙනවා.

අතිගරු ජනාධිපතිතුමන් පහුගිය අප්‍රේල් 27 වැනිදා තීන්දුවක් ගත්තා මේ රටට රසායනික පොහොර ආනයනය, කෘමි නාශක, වල් නාශක, දිලීර නාශක ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරන්න.ඒ අනුව එළැඹෙන යල් කන්නයේ සිට මේ රටේ කෘෂිකර්මාන්තයට අපි යොදන්නේ වස විසෙන් තොර, රසායනික වලින් තොර  කාබනික පොහොර.

සෑම භෝගයකටම පොහොර නිර්දේශය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් නම් කරලා තියනවා, ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත එවා තිබෙනවා. අපි සැප්තැම්බර් මාසයේ එළැඹෙන මහ කන්නයට අදාල පොහොර ටික දෙනවා. මහ කන්නයට අපි පටන් ගන්නේ අම්පාරෙන්, ඒ නිසා ගොවීන්ට පුහුණුව දෙන්න තව මාසයක් තියෙනවා.ඒ නිසා ඉදිරි මාසය තුළ සෑම ගොවියකුටම තාක්ෂණය, පුහුණුව, දැනුම මේ සියල්ල ලබා දෙන්න, කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සූදානම්.

ඒ වගේම මේ රසායනික පොහොර සම්බන්ධයෙන් තීන්දුව ගත්තාම ගොවියෝ පොහොර නෑ කියලා 100% ක් පොහොර හම්බෙලා තියෙද්දී  ගොවියෝ උද්ඝෝෂණ කළා, අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් ගොවි සංවිධාන 04 කට ඇරෙන්න අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දුන්නා.එහෙම හිඟයක් එන්න හේතුව තමයි, අපෙන් ඉල්ලපු පොහොර ප්‍රමාණයට වැඩිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩියෙන් වගා කරලා තිබ්බා,ඒකට එක හේතුවක් හොඳට වතුර ලැබුණා, අනෙක් එක තමයි කොවිඩ් එකත් එක්ක ගොවියෝ වැඩියෙන් වගා කළා. හෙක්ටයාර 50 000 ක් අනුරාධපුරය වැඩියෙන් වගා කළා, ඒ නිසා පොහොර හිඟයක් ඇති වුණා, පහුවෙලා වගා කරපු අයට තමයි පොහොර හිඟයක් ඇති වුණේ.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය වන කාබනික පොහොර ලබා දීම සඳහා රජය වෙනම වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඊට අමතරව ක්ෂුද්‍ර ජීවින් භාවිතයෙන් අපි දියර පොහොරක් හදනවා,ඒ පොහොර ලීටර 15 ක් ගොවීන්ට ලැබෙනවා.ඒ නිසා අනියත බියක් ඇති කර ගන්න එපා.ගොවීන්ට අවශ්‍යය කාබනික පොහොර සහනාධාර ක්‍රමයට ලබා දෙනවා. ගොවියෙක් තමන්ගේ කාබනික පොහොර හදා ගන්නවා නම් හෙක්ටයාරයකට රුපියල් 12 500 ක් ගෙවනවා. කාබනික පොහොර පිළිබඳ අනියත බියක් ඇතිකර ගන්න එපා, දේශපාලන පක්ෂවලට, රාජ්‍ය නිලධාරීන්ට, විවිධ ගොවි සංගම්වලට මුදල් වියදම් කරමින් පොහොර ගෙන්වන බහුජාතික සමාගම් පරිසර හිතකාමී කාබනික කෘෂිකර්මාන්තයෙන් ගොඩ නඟන ගමන අඩාල කිරීමට සියලු උත්සාහයන් දරන බවත්, ඒ පිළිබඳ  සිහිබුද්ධියෙන් කටයුතු කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යයතුමන් එහිදී ගොවීන්ගෙන් ඉල්ලා සිටියහ. 

ඉදිරි කන්නයේ පොහොර හිඟයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ, නිෂ්පාදනය දශමයකින් අඩු වෙන්න ඉඩ දෙන්නේ නෑ, යම් පාඩුවක් ගොවියකුට වුණොත් එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව හැටියට අපි ගන්නවා,

 මිරිස් හා අර්ථාපල් වලට රෝග හැදෙනවා, ඒකට කාබනික දිලීර නාශක නෑ,අපි හදුනාගත් රෝග කීපයක් සඳහා තුන් වැනි, හතරවැනි කාණ්ඩයේ  රසායනික පළිබෝධ නාශක වර්ග 28 ක් ලංකාවට ගෙනල්ලා වරායේ ගුදම් කරලා තියාගන්නවා, උදාහරණයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරගු වගාවට හදිස්සියේ රෝගයක් හැදුනොත් අවශ්‍ය පළිබෝධනාශක භාවිතා කරලා ඒ ප්‍රදේශය කාබනික නොවන ප්‍රදේශයක් ලෙස නම් කරනවා.

අද අපි වී කිලෝවක් සඳහා  රුපියල් 50 ක් දෙනවා, මේ මිල යටතේ හාල් කිලෝවක් රුපියල් 97 ට විකුණනන්න පුලුවන්, හැබැයි හාල් මිල බැලුවොත් නාඩු කිලෝ එක රුපියල් 120, සම්බා කිලෝ 1 රුපියල් 150 යි, කීරී සම්බා 225 යි, මෙතෙක් කල් සහල් මිල පාලනය කලේ වී මෝල් හිමියන් දෙතුන් දෙනෙක්, අපි ඒ ඒකාධීකාරය කැඩුවා, මින් ඉදිරියට මෝල් හිමියන්ට වී මිළ හාල් මිළ පාලනය කරන්න. වී මිළ කීයට ගියත් අපි හාල් මිල පාලනය කරනවා. හාල් වැඩි මිලට වික්කොත් රුපියල් ලක්ෂයක දඩයක් ගහනවා. ජනාධිපතිතුමන්ට ඕන වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට දෙන්නයි.අපි මේ හැප්පෙන්නේ ලෝකේ තුන්වැනි බලවතා එක්ක, ලෝකයේ ලොකුම ව්‍යාපාරය තමයි ගිණි අවි සහ මත්ද්‍රව්‍ය, දෙක බෙහෙත්, තුන රසායන ද්‍රව්‍ය. 

ඒ වගේම ඉදිරි වසර 03 තුළ කිරි වලින් ස්වයං පෝෂිත රටක් වීමයි බලාපොරොත්තුව, සත්තු ලක්ෂ 12 ක් ඉන්නවා, කිරි ගන්න සත්තු ඉන්නේ ලක්ෂ 2.5 යි, ඒ සත්තුන්ගේ කිරි වල සාමාන්‍ය්‍ය අගය ලීටර 02 යි, අපි සත්තුන්ට හොඳ කෑඹ දීලා එය කිරි ලීටර 05 දක්වා වර්ධනය කර ගන්න බලාපොරොත්තු වෙනවා, ගැබ් නොගන්නා සත්තු ලක්ෂ 05 ක් පමණ ඉන්නවා, ඒ සත්තු ගැබ් ගැන්වීමට අවශ්‍යය නිළධාරීන් බදවා ගන්න වගේම, පිටරටින් සත්තු 15000 ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා.ඉදිරි වසර තුන තුල මේ රටේ අවශ්‍යය කිරි රට තුළ නිෂ්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඉදිරි වසර තුන තුළ මෙරටට ආනයනය කරන මිරිස්, බී ළූනු, අල ඇතුළු නිෂ්පාදන රැසක් නතර කොට දේශීය ආර්ථිකයක් ගොඩ නඟන බවත්, ඊට ගොවි ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යයවරයා එහිදී පැවසීය.

බීජ ආනයනයට රුපියල් බිලියන 02 ක් වැය කරනවා, මේ ආනයනය කරන බීජ 90% ක් අපි ඉදිරි වසර හතර තුළ නවත්වනවා.අපේ රටේ ගොවියා ශක්තිමත් කර දේශිය ආර්ථිකයක් ගොඩනැගීමයි ජනාධිපතිතුමන්ගේ බලාපොරොත්තුව.

ගොවි ගැටලු සාකච්ජා කිරීමේ වාරයේදී වගා කටයුතු වලට හානී කරන රිලා -වදුරු කරදරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යයතුමන් කියා සිටියේ,

දිස්ත්‍රික්කයේ තැන් දෙක තුනක් දෙනවා නම් අපි අක්කරයේ- දෙකේ කූඩු ගහනවා, මේ රිලවුන්ගෙන් වෙන හානිය ගත්තාම, රිලවු කූඩුවකට දාලා ෆයිඩ් රයිස් දුන්නත් පාඩුවක් නෑ, ඊට වඩා පාඩුවක් කෘෂිකර්මාන්තයට කරනවා. අපි වනජීවී එකත් එක්ක මහා පරිමාණ කූඩු හදනවා.ඒ නිසා දිස්ත්‍රික්කයේ අවශ්‍යය තැන් දුන්නොත් මේ සත්තු ටික දාලා කන්න බොන්න දෙනවා.ඒක සංචාරක ව්‍යාපාරයටත් සම්බන්ධ කර ගන්න පුලුවන් වෙයි.

අපේ රටේ කෘෂිකර්මාන්තයේ දත්ත නෑ, මෙතෙක් කාළයක් අපි රටට බොරු කියලා තියෙන්නේ ඒක කණගාටුවෙන් වුණත් කියන්න ඕන, මේ ඉන්න ගොවීන් ප්‍රමාණය, භූමි ප්‍රමාණය හදලා බැලුවම ඒ තොරතුරු වැරදියි, ඒ නිසා අපි ප්‍රථම වතාවට කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ දත්ත ගබඩාවක් හදනවා, සියලුම කෘෂි පර්යේෂණ නිළධාරීන්ට, ඩී.ඕ මහත්තුරුන්ට, ඒ අයි මහත්වරුන්ට  ලැප්ටොප් එකක් දෙනවා.හැම ගොවියෙක්ගේම තොරතුරු අපේ දත්ත ගබඩාවට එන්න ඕන.

 එහිදී අදහස්අ දැක්පිවූ ගොවි නියෝජිතයින්- මේ ආණ්ඩුව පත් කරලා සතුටු වුණා ගොවියට යමක් වෙයි කියලා, දැන් හැමතැනම ගොවියොන්ගේ අප්‍රසාදයක් තියෙනවා. රසායනික පොහොර හැම තැනටම ආවා කිව්වත්, අතිරේක භෝග වලට අවශ්‍යය පොහොර ලැබී නෑ,

කෘෂිකර්ම අමාත්‍යයතුමා – ඔබතුමාගේ ගොවිජන සේවා බල ප්‍රදේශය මොකක්ද? 

ගොවි නියෝජිතයා- රාජාංගනයේ, රාජාංගනයේ විතරක් නෙමෙයි හැමතැනකටම නෑ.

කෘෂිකර්ම අමාත්‍යයතුමා – ගොවිජන සේවා කොමසාරිස්තුමා ඇයි රාජාංගනයට පොහොර යවන් නැත්තේ කියන්න.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක – තව කොච්චර ඕනද කියලා අහන්නකෝ, ගොවි සංවිධාන නැගිට්ටව නැගිට්ටව අහන්න දෙයක් නෑ, නිළධාරීන්ගෙන් ඇහුවනම් කොච්චර ඉල්ලලා තියෙනවාද කොච්චර ලැබිලා තියෙනවාද ?

කෘෂිකර්ම අමාත්‍යයතුමා – දුමින්ද ඇමතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයට 3% – 4% ක පොහොර හිඟයක් තියෙනවා. වී සඳහා පමණයි, අනෙක් භෝග සඳහා පොහොර දැනුත් අපි ලඟ තියෙනවා, ඒ ටික එවන්න පුලුවන්, වී වලට පොහොර හිඟ වෙන්න හේතුව ගිය කන්නයේ වැඩ කළාට වැඩිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කරලා තියෙනවා.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක – ඔය ටික හරි, අතිරේක භෝග වලට විශාල පොහොර හිඟයක් තියෙනවා.

කෘෂිකර්ම අමාත්‍යයතුමා- දුමින්ද ඇමතිතුමා දැන් කියන්න අතිරේක භෝග වලට කොච්චර පොහොර ඕනද කියලා. වී හැර අතිරේක භෝග වලට දවස් දෙකක් ඇතුළත පොහොර දෙන්නම්.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක – අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍යය අධ්‍යක්ෂතුමා අවශ්‍යය පොහොර ප්‍රමාණය හරියට ඇමතිතුමාට කියන්න. කියලා ගෙන්න ගන්න..

අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍යය අධ්‍යක්ෂ –  ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලින් එළවලු පොහොර සඳහා  ටොන් 1481 ක් ඕන, රාජාංගනයට  ටොන් 50 ක් ඉලල්ලා තියෙනවා.

කෘෂිකර්ම අමාත්‍යයතුමා- මම ඉල්ලුවා මීට කලින් මම ඉල්ලුවා පොහොර කොච්චර ඕනද කියලා, නිකං බොරුවට  පොහොර ඕන කියලා ඊළඟ කන්නයට තියා ගන්න පොහොර එවන්න බෑ,ඒ නිසා මේ කන්නයට අවශ්‍යය පොහොර පැහැදිලිව අපි ඉල්ලුවා ඕන තරම් අපි දෙන්නම් කියලා.අනෙකුත් භෝග සඳහා පොහොර වල අපිට ගැටලුවක් නෑ, පොහොර  දෙන්න පුලුවන්. තව අඩු තියෙනවාද ? දවසින් දවසට නේ පොහොර ඉල්න්නේ, නියෝජ්‍යය කොමසාරිස් වුණාම එකක් කියන්න ඕන අනුරාධපුරයට. දවසින් දවස පොහොර ඉල්ලන්නේ ඊළඟ කන්නයට, මතක තියාගන්න ඊලග කන්නයට රසායනික පොහොර දෙන් නෑ, මේ කන්නයට විතරයි අපි පොහොර දෙන්නේ.ඔය සෙල්ලම නටන්න බෑ,මේ කන්නයට අවශ්‍යය පොහොර ටික දෙන්නම් අපි. ඔය ඉල්ලන පොහොර ප්‍රමාණය දුන්නොත් අනුරාධපුර ප්‍රශ්නය ඉවරද?  හරි මම ඒක එවන්නම්.

ගොවි නියෝජිතයින්-  මේ අස්වනු නෙලන අවස්ථාව ඔබතුමන්ලා තීරණයක් ගත්තා පිටරටින් හාල් ගෙන්වනවා කියලා, ඒකේ වාසිය අතරමැදි වෙලෙන්දා ගන්නවා. අපේ වී දැන් රුපියල් 40 ට ගන්නේ.

කෘෂිකර්ම අමාත්‍යයතුමා -ඒක වැරදියි,  අපි ගෙන්වනවා කිව්වම රුපියල් 30 කින් හාල් මිල බැස්සා, 2015-2020 ඔබතුමන්ලා වී විකුණුවේ කීයටද? කිලෝ එකක් රුපියල් 30-38 ට,  මේ ආණ්ඩුව යටතේ අපි වී කිලෝ එකක් රුපියල් 50 -52 කලා. මේ සංවාදය ගෞරවනීය සංවාදයක් කර ගන්න, කාටවත් දේශපාලන වාසී දාගෙන වීරයෝ වෙන්න නෙමෙයි අපි මේ එන්නේ. අපි පොහොර සහනාධාරය දුන්නා.වී අලෙවි මණ්ඩලයට ඔබතුමන්ලා වී ගේන්න, අපි රුපියල් 50 ට වී ගන්නවා.අපි අලුතින් ගොවියා ගාවටම ගිහින් වී මිලදී ගන්නවා.අපිත් වී මෝල් හිමියෝ වගේ ගොවියා ගාවටම ගිහින් වී මිලදී ගන්නවා. ඒ වෙලාවේම සල්ලි දෙනවා ගොවියා අතට.රුපියල් 50 ට අඩුව වී දෙන්න එපා.

අද ජනතා විමුක්ති පෙරමුණ බොහෝම ප්‍රසිද්ධියේ කියනවා ගොවියාට රසායනික පොහොර දෙන්න කියලා.හැබැයි අනුර කුමාර මහත්තයා ජනාධිපතිවරණයේදී කිව්වේ කාබනික පොහොර මේ රටට දෙන්න ඕන, ගොවියාට වහ දෙන්න බෑ කියලා.ඒ නිසා රසායනික පොහොර සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නවා ඒ අය.ගොවියා ආරක්ෂා කරමින් , ගොවියාට හොඳ මිලක් දෙන එකයි අපේ වගකීම.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක – එකම ගොවි මහත්තයෙක්වත් විහින් මැරෙන්න රසායනික පොහොර ඉල්ලන්නේ නෑ, ආදායම සහතික වෙනවා නම් ගොවි මහත්වරු ඔබතුමන්ලා කියන ඕන දෙයකින් වගා කරයි.

කෘෂිකර්ම අමාත්‍යයතුමා- මේ තීන්දුව ගත්තේ වගකීමකින්, ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ ජනතාව බේරා ගන්න.කෘෂිකාර්මික ප්‍රදේශවල 25% ක් දියවැඩියා රෝගයෙන් පෙලෙනවා.මේවා හදුනා ගෙන තියෙනවා.  ඒ නිසා වී ගොවියා සඳහා කාබනික පොහොර ලෙස අපි කාබනික ජෛව පොහොර කිලෝ 500 ක් දෙනවා, ක්ෂූද්‍ර ජීවින් භාවිතාවෙන් හදලා තියෙන ජෛව  පොහොර ලීටර 15, නයිට්‍රජන් කිලෝ 05 ක්, පොටෑසියම් කිලෝ 35 ක් ලැබෙනවා. එහි මූල්‍ය වටිනාකම 42 000 යි. අනෙකුත් භෝග සඳහාත් නිර්දේශ අනුව පොහොර ලබා දීම සාමාන්‍යය පරිදී ලබා දෙනවා. 

    වී වලට වැඩි මිලක් ගොවියා ඉල්ලන බව මම ජනාධිපතිතුමාට, කැබිනට් මණ්ඩලයට දැනුම්වත් කරන්නම්, ගොවියාට වී වලට රුපියල් 100 ක් ලැබෙනවා නම්  වැඩියෙන්ම කැමති වෙන්නේ කෘෂිකර්ම ඇමතිතුමා.හැබැයි මතක තියා ගන්න   බඩඉරගු මිල වැඩි වුණාම කුකුල් මස් මිල වැඩි වෙනවා, වී මිළ වැඩි වුණාම හාල් මිල වැඩි වෙනවා. ගොවියෝ ලක්ෂ 11 , පාරිභෝගිකයෝ මිලියන 22 යි.මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.මේ දෙකම මැද තැනකට ගෙනත් ගොවියා හා පාරිභෝගිකයා රැක ගනිමින්, ගොවියාට කිසිදු අසාධාරණයක් නොවෙන්න කටයුතු කරනවා යැයි පැවසීය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න, උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත්, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් ද,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු පළාත් නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ  

ප්‍රගති සමාලෝචන රැස්වීමේන් අනතුරුව තණකොළ කපන යන්ත්‍ර ඇතුළු කෘෂි උපකරණ ගොවි සංගම් නියෝජිතයන්ට බෙදා දීම ද සිදු කෙරුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress