ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවක්.. කාබනික වගාව ගැන කිංස්ලි පහදයි..
Posted on August 5th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි.

රසායනික පොහොර තහනම ඉවත් කළා ද” යන්න මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ලලිත් වීරතුංග මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සතිපතා සංවිධානය කරන මාධ්‍ය හමු මාලාවේ දෙවන මාධ්‍ය හමුව අද පැවැත්විණ.

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ දශක ගණනාවක් රසායනික පොහොර භාවිතයට හුරුව සිටි රටක් කාබනික පොහොර භාවිතයට යොමු කිරීම අභියෝගාත්මක කරුණක් බැවින් එහිදී විවිධ මතවාද ඉදිරිපත්වීම සාධාරණ බවයි.

ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක පමණක් ආනයනයට කටයුතු කරන අතර, පස ජෛව විද්‍යාත්මකව පරිපූර්ණ කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය සාධකයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. කාබනික පොහොර භාවිතය බොහෝ ගොවීන්ට නව අත්දැකීමක් බැවින් මෙම කටයුතු සතිපතා නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් සකසා ඇති බවත්, ඒ සඳහා තාක්ෂණික සහ නව ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය විශ්වවිද්‍යාල, කෘෂි පීඨ සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් සහ සහාය මේ සඳහා ලබා ගැනීම සිදු කෙරෙන අතර සියලු මාධ්‍ය ආයතනවල සහාය ද අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය.

ආනයන සීමා පනවා තිබුණද ජාතික අවශ්‍යතාව මත යම් තීන්දු තීරණවලට එළැඹීමට සිදුවන අතර ප්‍රතිපත්තිමය කරුණුවලින් බාහිරව ඒ කිසිවක් සිදු නොකෙරෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අවධාරණය කළේය.

ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනයට ගෙන ඇති තීරණය පිළිබද අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් ආයතනවල දැඩි අධීක්ෂණය සහ නිර්දේශ යටතේ එම කටයුතු සිදු කෙරෙන බවයි. පාංශු පරීක්ෂණයකින් අනතුරුව ගොවීන්ට ලබාදෙන ඛේතාංක මත පදනම්ව ඒ ඒ ප්‍රදේශවල අවශ්‍ය ප්‍රමාණයෙන් කාබනික පොහොර ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන පාංශු පරීක්ෂණ ඉදිරි සතියේ ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

කාබනික වගාවට යොමුවීම සමග අස්වනු අඩුවුවහොත් ගොවි ගැටලු විසඳන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා වැඩසටහන ආරම්භයේ දී ගැටලු ඇතිවිය හැක. එහෙත් තිරසර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැත. මතුවන ගැටලුවලට නිවැරදි විසදුම් හඳුනාගත යුතුය. රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවීන් කල්පනා කිරීමට පිළිවන. එසේ වන්නේ නම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50කට වැඩි මුදලින් අඩුවන ආදායම ගෙවන බවට” හානිපූර්ණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කළ ප්‍රකාශය උපුටා දැක්වීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress