‘සිංහල’, බෞද්ධ’ – ක්‍රමයෙන් පරිහානියට යන දේද?
Posted on August 14th, 2021

චානක බණ්ඩාරගේ

 ‘සිංහල’, බෞද්ධ’ සංකල්පයන්

 ‘සිංහල’, බෞද්ධ’ යන සංකල්පයනට පසුගිය වසර 40 ක පමණ කාලයක සිට සිදුවී ඇති අවැඩ, අගතිය, හානිය අති මහත්ය.

1815දි  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු පවා  උඩරට ගිවුසුම මඟින් මේ රට හැඳින්වුයේ ‘සිංහලේ’ යන නමිනි. සිලෝන් හෝ ශ්‍රී ලංකා යන නම් ඔවුන් පාවිච්චි නොකළේ එකල ඒවා මේ රටේ නාමය ලෙසට සනිටුහන්ව නොතිබීමයි.   

1995 මැද භාගයේ පමණ සිට මේ රටේ සැමදා තිබුණු  ‘සිංහල බෞද්ධ’ වෙනුවට ශ්‍රී’  ලාංකික’ යන අනන්‍යතාවය දිය යුතුය යන රාජ්‍ය මතයක් ගොඩ නැඟීමට පටන් ගැනිණි. එක් සුළු ජාතියකට මහ ජාතිය විසින් කරන ලද අසාධාරණ වෙනුවෙන් තමා ලැජ්ජාවට පත්වෙන බව වැනි අදහසක් එවක සිටි රාජ්‍ය නායක ජාත්‍යන්තරයේදී කියා තිබුණි.

මේ රටේ සිංහල බෞද්ධයනට අමතරව ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, ආදිවාසින් (මොවුන් සිංහල බෞද්ධයන්ගේම කොටසක් වැනි වෙති), මැලේ ආදීහු ජීවත් වෙති. එවන් පසුබිමක සියළු රටවැසියන් ‘ශ්‍රී ලාංකික’ යන අනන්‍යතාවෙන් හැඳින්වීම/කටයුතු කිරීමේ කිසි වරදක් නැත. එය එසේම විය යුතුය. නමුත්, ශ්‍රී ලංකාවේ තිබෙන්නේ සිංහල බෞද්ධ පසුබිමක් (අත්තිවාරමක් (foundation) බව සියළු දෙනා පිළිගත යුතුය. මෑතක තිබු රජයන් ඉතා සුක්ෂම ලෙස   ‘සිංහල’’, බෞද්ධ’ ලෙස රට හැඳින්වීමට එදිරිව කටයුතු කලහ.

විජයාගමනය යනු මේ රටේ නව ශිෂ්ටාචාරයක ආරම්භය විය. විජයගෙන් රාජධානි තුනකට පමණ පසු  රාජ්‍යත්වයට පැමිණි දෙවන පෑ තිස් රජ සමයේ  සිදුවූ මහින්දාගමනයෙන් එම රජතුමා සමඟ මුළු රටම සිංහල බෞද්ධ විය. සිංහල කථා කල ජාතිය බෞද්ධගම වැළඳගැනීම සහ එය වන්දනාමාන කිරීම තුලින් මෙරට තුල සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතිවිය.  

(මහාවංශය සහ වෙනත් අටුවා පොත් අනුව අප සිංහලයනට  බුදු බුදුරජානන් වහන්සේට ඥාති සම්බන්ධතාවක් ඇත.  ශ්‍රී ලංකාවේ දෙවන රජ වූ පඬුවස්දේව (ඔහුට විජය කුමරු මාමණ්ඩිය විය) විවාහ වුයේ බුදු රජාණන් වහන්සේගේ  සමීපතම ලේ ඥාතියෙක් වූ බද්ධ කච්චානා (කපිලවස්තුහි, ශාක්‍ය වංශයේ) කුමරිය සමඟයි).

ගරුතර සංඝයාවහන්සේලා එම සිංහල බෞද්ධ සංස්කෘතිය මෙහෙයවීම සහ ඒ පිළිබඳව අනුශාසනය දීමට පෙරමුණ ගති. මෙම සිංහල බෞද්ධ සංස්කෘතිය වැදගත්, විනය ගරුක, යහපත්, ශික්ෂාකාමී  සමාජයක් මේ රට තුල  බිහි කළේය. ඒ තුලින් වැව සහ දාගැබ මුලිකවූ, අදටත් ලෝ වැස්සන් මවිතයට පත්වෙන සුවිශේෂ කෘෂිකාර්මික ජිවන ක්‍රමයක් ඇරඹුණි.  

විජයටත් පෙර මේ සියළු දේ ශ්‍රී ලංකාවේ තිබු බවට මතයක් දැන් ඉදිරිපත් කර ඇත. ප්‍රාභාකරන් පැවසුවේත්, දැන් TNA සහ ඔවුනට හිතෛය්ෂී ඉතිහාසඥයන් පවසන්නේත් එයයි. මෙම මනස්ගාත මතය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්චා නොකෙරේ; කලින් ලිපියක සාකච්චා කර ඇත.

2009 යුද්ධයෙන් පසු සන්හිඳියා ක්‍රියාදාමය

සියළු රටවැසියන් සිය ආවේනික ජාතිය අමතක කර (සිංහල, දෙමළ, මුස්ලිම්) ‘ශ්‍රී ලාංකික’ විය යුතුයයි කියන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රමයෙන් මුල්බැසගති.  කලින් සඳහන් කලාක්මෙන් ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවක් රට වැසියන් තුල ගොඩ නැගීම හොඳය, නමුත් එම ක්‍රියාදාමය මුළු රට පුරාම එක විදියට ක්‍රියාත්මක විය යුතුය – එක ජාතියකට පමණක් සීමා නොවිය යුතුය.

සෑම ජාතියක්ම එක ලෙසින් එම ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව වැළඳ ගත යුතුය. නමුත් එවැන්නක් සිදු වුයේ නැත.

දකුණේ සිංහලයන් සිය  සිංහල බෞද්ධත්වය  දෙවෙනුවට මෙන් තබා මේ නව ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ඉමහත්  භක්ත්‍යාධරයෙන්, ආදරයෙන් වැළඳ ගත්හ.  සුළු ජාතින් තුල, විශේෂයෙන්ම උතුරේ,  එවන් ආසාවක්/උද්යෝගයක් තිබුනේ නැත.

සිංහලයෝ ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ආශාවෙන් වැළඳ ගැනීමට යාමෙන් සහ සුළු ජාතින් එය ඒ තරමින් වැළඳ නොගැනීමෙන් සිංහලයෝ තමනට ආවේනික වූ ජාතිකත්වය (‘සිංහල’’, බෞද්ධ’)මොට කර ගත්හ. මෙහි අවාසනාවන්ත ප්‍රථිපල දැනටත් දක්නට ලැබෙතත් වඩා බරපතල ප්‍රථිපල විද්‍යාමාන වනුයේ තවත් වසර 25ට පමණ ඔබබෙන් යයි ලියුම්කරු විශ්වාස කරයි.  

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ සම්භවය ඇති රටක් නොවේය යන සංකල්පය රට තුල ඇතිකළේ ඇතැම් සිංහල බෞද්ධ දේශපාලනඥයන් විසින්මය. කාදීනල්තුමා තම මතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔවුහු මඳක් නිහඬ විය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වෙනි වගන්තියෙන් රජයන් විසින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී  බෞද්ධාගම ආරක්ෂා කිරීමට සහ රැක ගැනීමට ලබාදී ඇති ප්‍රතිඥාව ඉවත් කිරීමට රජයන් සලකා බැලු බව නොරහසකි. මෙයද බොහෝ දුරට ව්‍යවර්ථ වුයේ කාදිනල්තුමා තම මතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

නැවතත්, සන්හිඳියාව යටතේ සිංහලයෝ තම  සිංහල බෞද්ධ සංස්කෘතිය වර්ධනය කරනවා වෙනුවට  ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රගුණ කිරීම වෙනුවෙන් ඇප කැපව වැඩ කළහ.  බොහෝ දෙනෙක් දෙමළ ඉගෙන ගත්හ. කෝවිල් ගියහ. දෙමළ චිත්‍රපටි, සින්දු රස විඳින්නට වඩාත් යොමු වුහ. දෙමළ ක්‍රමයට ඇඳුම් (සරම්, සාරි, පොට්ටු, කරාඹු) ඇන්දහ/පැලඳුහ. දෙමළ/මුස්ලිම් කෑම සෑදීමට/අනුභවයට, දෙමළ නෘත්‍යනය ඉගෙනුමට වඩාත් යොමු වුහ. දෙමළ/මුස්ලිම් අය තම සමීප මිතුරන්/අසල්වැසියන් බවට පත් කර ගත්හ.  තම විවාහ සහකරු/සහකාරිය ලෙස පෙර නොවූ විරු ලෙස සිංහල නොවන ද්‍රවිඩ/මුස්ලිම් අයව තෝරා ගත්හ.  

දකුණේ සිංහලයෝ ද්‍රවිඩ/මුසලිම් සංස්කෘතින් හා සමීපවීම වීමට උත්සාහ කරද්දී උතුරු, නැගෙනහිර අය සිංහල කථා කිරීම, බෞද්ධාගම ගැන, සිංහල සිරිත් විරිත් ඉගෙනුම  ගැන සුවිශේෂ උනන්දුවක් දැක්වූ බවක්  අසන්නට නොලැබුණි.

දෙමළ කථා කරන  සුළු ජාතින් (විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ද්‍රවිඩ, මුස්ලිම්)  ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රගුණ කිරීම/වැළඳ ගැනීමට වඩා ඔවුන්ටම ආවේනිකවූ ජාතිකත්වය තවත් වර්ධනය කිරීම සහ ඒ පිලිබඳව වූ අභිමානයෙන් කටයුතු කිරීමට සිය  අවධානය තීව්‍ර කළහ. එය වඩා වැදගත් බව සලකා ඒ අනුව ඔවුහු කටයුතු කළහ. මහාවීර දිනය කෙසේ හෝ සැමරීමට ඔවුහු යුහුසුළු වුහ. ද්‍රවිඩ බෙදුම්වාදීන් සිය ඒකිය රාජ්‍ය සංකල්පය අත්හල බවක් පෙනුනේද  නැත. සන්හිඳියා කාලයේ කිසිදා නොතිබුණු මුස්ලිම් අන්තවාදයක් මේ රටේ බිහි විය.

සන්හිඳියාව යටතේ දකුණේ සිංහලුන් විශාල ලෙසින් උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කල යුතු වුවත් එවැනි දේ බොහෝ අඩු විය. රජයන් ඒවාට අනුබල නොදුණි. යුධ ජග්‍රහණයෙන් පසුව 2009/2010 වසරවල දිනකට සාමන්‍යයක් ලෙස සිංහල බස් 4/5 පමණවත් දකුණෙන් උතුරට ගියේය. ඔවුහු බොහෝ විට නැවතුනේ නාග විහාරයේය. ඒ දිනවල සිංහලයන්ට උතුරේ බලන්න බොහෝ දේ තිබුනේය – ප්‍රභාකරන්ගේ මාලිගා, බංකර්, නාන තටාක, සුසෙයිගේ මාලිගා, LTTE සබ්මැරීන, LTTE විශාල කාලතුවක්කු වැනි ආයුධ/ගුවන් යානා, තමිල් චෙල්වම් ඝාතනය කල ස්ථානය  ආදිය. සන්හිඳියාව නාමයෙන් මේ සියල්ල ඉවත් කෙරිණ. යාපනය  නගරයේ බෙහෙවින් සිටි නිල ඇඳුම් හැඳි හමුදා භටයන් ඉවත් කෙරුණි. සිංහල කථා කරන පොලිස් නිලධාරින්ද උතුරෙන් බොහෝ සෙයින් අඩු කර දමන ලදී.

පසුව, මේ බස් සංක්‍යාව සතියකට බස්  4/5 වැනි ප්‍රමාණයක් පමණ දක්වා අඩු විය.  අද සිංහලයන්ට උතුරේ ආසාවෙන් බලන්න තිබෙන ස්ථාන අල්පයි – එලිෆන්ට්පාස්හි හසලක වීරයාගේ ස්මාරකය (මෙයද ඉවත්කළ යුතුයයි මහා ඝෝෂාවක් ඇතැම් සිංහලයෝ නැගුහ), කොටුව,  නාග විහාරය, නාගධීපය, දඹකොළ පටුන, පුස්ථකාලය, නල්ලුර් කෝවිල  ආදී. අද සිටින සිංහල දරුවන්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් කිසිදා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට  නොගොස් ඇති බවයි මෙම ලියුම්කරුගේ විශ්වාසය. ඉදිරියේදී වුවද පාසැල් නිවාඩු සමයන්හි (කොරෝනා ඉවරවූ පසු) තම දරුවන්ට උතුර, නැගෙනහිර පෙන්වන්න දෙමව්පියන් රැගෙන යනු ඇතැයි කියා සිතීමට අපහසුය.

කොටින්ම මේ රටේ ඇත්තේ පළාත් 9ක් නොව 7ක් යයි සිතන තරමට සිංහලයෝ උතුර, නැගෙනහිර පිළබඳව ආශාවන් අත් හැර ඇත්තා සේය.

සන්හිඳියා කාලය තුල සිංහල රුපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශයන් සහ වෙනත් වැදගත් වැඩසටහන් (විශේෂයන්ම ‘breaking news’, ක්‍රිකට් ක්‍රීඩා ප්‍රචාර) භාෂා 3න්ම විකාශනය කිරීමේ ක්‍රමයක් ඇතැම් නාලිකා විසින් ආරම්භ කරන ලදී.  අදද මෙය පැවැත්වේ. මෙය සිංහලයාට හිස රදයකි. නමුත් ඔවුහු ඉවසති. නමුත් දෙමළ නාලිකාවල සිංහල භාෂාවෙන් ‘breaking news’ නොකියන බව ඒ පිළිබඳව දන්නා කෙනෙක් මෙම ලියුම්කරුට පැවසිය.  

කලින් සිංහලයෝ සිංහල රුපවාහිනි නාලිකා වලින් ඉන්දියන් චිත්‍රපටි නැරඹුවේ නම් ඒවා හින්දි ඒවාය.  නමුත් දැන් සිංහල උප ශිර්ෂ (sub titles) යොදා දෙමළ චිත්‍රපටි, දෙමළ ටෙලි ඩ්රාමා සිංහල නාලිකාවල ප්‍රධාන කාලයන්හි (prime time) වල විකාශනය වේ. එනම්, දිවා සහ රාත්‍රී ආහාර ගැනීමෙන් පසු විවේකිව ඉන්නා කාලවල. මේ වෑයම ඉතා සාර්ථක බව පෙනෙන්නේ සිංහලයෝ දැන් මෙවැනි දෙමළ වැඩ සටහන් වලට ඉතාමත්  ඇබ්බැහිවී ඇති නිසාය.  මේ දෙමළ චිත්‍රපටි, දෙමල ටෙලි ඩ්රාමා වලින් ශ්‍රී ලාංකික සමාජයට සේවයක් වුවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. මේ බොහොමයකින් පෙන්වනුයේ දකුණු ඉන්දියාවේ විදි සටන්, දන හිසින් උඩට සරම් නවා රාශිගතවූ පිරිමින්ගේ විදි නැටුම්, විවිධාකාර අපරාධ (මරා, සුට්කේස් තුල රැගෙන යන මළමිනී වැනි), මිනීමැරුම්, නොමනා ලිංගික සම්බඳතා සහ පවුල් ආරවුල් වැනි වූ කථාය. සන්හිඳියාව වෙනුවෙන් එකදු සිංහල චිත්‍රපටියක්/ටෙලි ඩ්රාමාවක් සිංහල උප ශීර්ෂ යොදා දෙමළ නාලිකාවක විකාශනය වීද? මෙම ලියුම්කරුට ඒ සම්බන්ධව ලැබුණු පිළිතුර නැත යන්නය. මේ පිළිතුර වැරදි විය හැක.

යුද්ධයෙන් පසු ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රගුණ කිරීමට රජයන් අති විශාල මුදල් සම්භාරයක් වැය කළහ. නමුත් කලින් සඳහන් කලාක් මෙන් එම සන්හිඳියා ක්‍රියාමාර්ගයේ ප්‍රධාන ඉල්ලක්කය වූයේ සිංහල මහ ජාතිය බව පෙනීගියේය. ඔවුන් වෙනස් විය යුතු බවට උදේ හවස මතක් කිරීම්/ඉල්ලීම් සිංහල මාධ්‍ය මඟින්  සිදු කෙරිණි. එසේනම්, ඔවුන් මෙතෙක් කල් කල දේ වැරදිද කියා රජයන්ගෙන් ඇසිය යුතුය.   

සන්හිඳියාව ක්‍රියාවලියේ අසාර්ථකභාවයේ වගකීම වැඩිපුරම ජනතාවට වඩා රජයන් විසින් භාර ගත යුතුය.

සන්හිඳියාව සංකල්පය මන්ත්‍රයක් මෙන් උදේ හවස ජන මාධ්‍ය හරහා සිංහලයෙන් ජප කිරීම සිදු විය (දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් සන්හිඳියාව ප්‍රවර්ධනය නොකලාය කියා කියනවා නොවේ).

සන්හිඳියාව ‘කසාය’ ඉතා පහසුවෙන්  සිංහලයන්ගේ ‘උගුරෙන් පහලට’ රජයන් බැස්සවුහ. පාසැල් ළමුන්ගේ ඇට මිදුළි වලට පවා එය ඇතුල්  විය. 1990න් පමණ පසු උපන් බොහෝ ළමුන්/තරුණයින් නිදහසින් පසු සිංහලයින් අහිංසක ද්‍රවිඩයනට වධ හිංසා දුන් ද්‍රවිඩයන් සමුලඝාතනය කල ජාතියක් බවට සිතයි. LTTEය ත්‍රස්තවාදීන් නොව නිදහස උදෙසා වූ සටන්කාමින් (freedom fighters) ලෙස සිතන බොහෝ සිංහල දරුවන්/තරුණයන් ඇත. 1983 දී අහිංසක දෙමළ ජාතිකයන් හිංසා වලින් බේරාගත්තේද සිංහලයන් බව ඔවුන් නොදනී; මන්ද ඒවා ඔවුනට උගන්වා නැති හෙයිනි.

එක් පසුගිය රජයක සන්හිඳියාව භාර ඇමතිවරයාට තිබුනේ අසීමිත වූ බලයකි. සන්හිඳියාව ක්‍රියාත්මක කිරීමටය කියා ඔහු අන් අමාත්‍යංශවල  වැඩ වලටද ඇඟිලි ගැසුවේය.

ලොව කිසිම රටක සිදු නොකළ මානුෂික මෙහෙවරක් මඟින් මෘග, ම්ලේච්ච ත්‍රස්තවාදීන් විනාශ කල වීරෝධාර හමුදාව එම යුද්ධය අවසාන භාගයේදී  අහිංසක දෙමළ වැසියන් 40,000ට වඩා සමුලඝාතනය කළේය යන චෝදනාව (ඇතැමුන් මෙය 100,000 කියා කිහ) අමුලික බොරුවක් බව පෙන්වා දීමට, විශේෂයෙන්ම හැදෙන දරුවන්ට, සන්හිඳියා ක්‍රියාදාමය නොයොදා ගත්තේය. මුළු බටහිර ලොවම ශ්‍රී ලංකාවට ඒ පිළිබඳව ඇගිලි දිගු කරද්දී අපේම දරුවනට සත්‍යය කුමක්ද කියා (පාසැල් තුලින්/පොත් තුලින්) පැහැදිලි කර දීමට අප අසමත් වි ඇත. මේ නිසා පට්ටපල් බොරුවක් වූ ‘Channel 4 Sri Lanka Killing Fields’ වාර්තා චිත්‍රපටය සත්‍යයක් යයි සිතීමට අපේ වර්තමාන/අනාගත දරුවන් පෙලෙඹුනහොත් අප ඒ පිළිබඳව පුදුම විය යුතු නොවේ. යුධ හමුදාව අතින් බොහෝ සිවිල් වැසියන් මැරුණු බවත් එය විභාග කල යුතු බවත් යන ව්‍යාජ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකාව තුල පතල කිරීමට අදද ඇතැම් කොටස් මාන බලත්.

සිංහලයන් තමන්ගේ ජාතිය පහත් මෘග එකක් ලෙස සලකන තත්වයකට පැමිණ ඇතිවිට ඔවුන් එකිනෙකාට කෙලෙස ආදරය කරම්ද?

සන්හිඳියාව නිසා සිංහල බෞද්ධ සංස්කෘතියේ කිසියම් මොට වීමක් සිදු වුවත්, පොදුවේ ගත්කල, කිසිම ජාති භේධයක් නොමැති දරුවන් (සිංහල, දෙමළ, මුස්ලිම්) සන්හිඳියාව නිසා දකුණෙන් බිහිවුණි. එය හොඳ දෙයකි. නමුත් සන්හිඳියාව දකුණේ ව්‍යාප්ත කිරීමට රජයන් දැරු වෑයම සුළු ජාතින් වැඩි වශයෙන් ජීවත්වෙන ප්‍රදේශවලද  (වැඩියෙන්ම උතුරු පළාතේ) සිදු නොකිරීම වරදකි.

සන්හිඳියාව සඳහා රජයන් වියදම් කල මුදල් වැඩියෙන්ම වියදම් කලේ එම සංකල්පය දකුණේ ප්‍රචලිත කිරීම සඳහාය. මෙම පණිවිඩය සිංහල ජනමාධ්‍යවල උදේ දවල් හවස නොකඩවා හොරණෑවන් මෙන් ප්‍රචාරය කෙරුණි. ද්‍රවිඩ, මුස්ලිම් ජන මාධ්‍යවල ඒ තරමට ප්‍රචාරයක් නොදිණ. ඒ, එම ජන කොටස් එම  සංකල්පය වැළඳගැනීමට සිංහලයන් තරම් ඇල්මක් නොදැක්වීම නිසාද විය හැකියි.

මෑත කාලවල දකුණේ – කළුතර, මාතර, හම්බන්තොට, කුරුනෑගල, මීගමුව වැනි සිංහලයින් උපරිමව ජීවත්වෙන ප්‍රදේශවල පවා දෙමළ කථා කරන නව ‘ජනපද’/වාසස්ථාන  බිහිවූ අතර පොලිසි/උසාවි වල අවශ්‍ය නම් දෙමලෙන් කටයුතු කිරීමේ අවස්ථා ඒ ජනයාට ලැබුණි. එදා බොරැල්ලේ  වනාතමුල්ල 95% පමණ සිංහල බෞද්ධ වූ නාගරික ගම්මානයකි. අද එහි සිංහල බෞද්ධයන්  50%ක් වත් නැති තරමි. සහශ්‍ර පුර වැනි යෝධ නාගරික ව්‍යාපෘති වල (5,000 එහා ජනයා ජීවත්වෙන)  සෑම විටම වාගේ සිංහල, දෙමළ, මුස්ලිම් 1/3 අනුපාතයට බෙදෙන පරිදි ජනයා පදිංචි කරනු ලැබිය.

සෑම රජයේ කාර්යාලයකම දෙමළ කථා කරන නිලධාරින් සිටීම අනිවාර්යය කිරීමෙන් දෙමළ කථා කරන ජනයාට මුළු රට තුලම අපහසුවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට අවස්ථා උදා වූණි.

නමුත් නැගෙනහිර සහ විශේෂයෙන්ම උතුරේ තත්ත්වය මිට වඩා මුළුමනින්ම වෙනස්ය. උතුරට ගිය විට එය ශ්‍රී ලංකාවේ කොටසක් ද කියා සිතෙන තරමට වෙනස්ය. උතුරේ රජයේ කාර්යාලවල සිංහලෙන් කිසිදු  වැඩක් කර ගැනීමට නොහැකි බව උතුරේ වෙසෙන සිංහල වැසියන් (මොවුන් ඉතාම  අල්ප දෙනෙකි) මේ ලියුම්කරුට පවසයි. මේ පිළිබඳව එවකට සන්හිඳියාව භාර ඇමති හට පැවසූ විට ඔහු ඔවුන් මඟ හැර ගිය බව ඔවුහු පවසත්.  

මෙම ලියුම්කරු සමඟ උතුරේ එක් PHI වරයෙක් ඉංග්‍රීසියෙන්  කථා නොකර දෙමලෙන් කථා කරන මෙන් ඉල්විය. ඔහු පිළිබඳව පැමිණිලි කිරීමට මෙම ලියුම්කරුට සිදු විය.

වව්නියාවෙන් උතුරට A9 මාර්ගයේ සවිකර තිබෙන අති දැවැන්ත බිල්බෝඩ් වල සඳහන් වනුයේ දෙමළ (සහ සමහරවිට ඉංග්‍රීසී) භාෂාව පමණි, සිංහල කිසිසේත් නැත. යාපනය දුම්රිය ස්ථානයට කොළඹ සිට නගරාන්ත දුම්රිය සැපත් වූ බව සිංහලෙන් ශබ්ධ විකාශනය නොකෙරිණි (නමුත් කොළඹින් ජාඇලට, බෙලිඅත්තට වේයන්ගොඩට  යන දුම්රිය භාෂා 3න්ම ඒ ගැන කියයි). උතුරේ පාරවල සිංහල නාම පුවරු ඇත්තේ අල්පවය. කඩ, සාප්පු නාමපුවරුවල සිංහල ඇත්තේම නැත. කිසිදා ශ්‍රී ලංකාවේ සිටියා යයි වාර්තා වී නැති දෙමළ  රජවරුන්ගේ පිළිම මෑතකදී යාපනය නගර මධ්‍යයේ ඉදිකර තිබෙනු දක්නට ඇත. යාපනයේ සිංහල මහා විද්‍යාලය යලි ස්ථාපිත කිරීම කෙසේ වෙතත් සන්හිඳියා කාලයේදී මන්නාරමේ තිබු වසර 35ක්  පමණ පැරණි සිංහල පාසැල ද වැසි ගියේය.

ත්‍රිකුණාමලයේ දෙහිවත්තේ සිංහලයන් ගොවිතැන් කල කුඹුරු අක්කර 1,000ක් පමණ ඔවුනට අහිමි විය; ප්‍රබල ද්‍රවිඩ දේශපාලනඥයෙක්ගේ  උවමනාවට එම ඉඩම් එම පලාතට අලුතින් පැමිණ ස්ථාපිත කල ද්‍රවිඩ ජන කොටසකට හිමි විය. එතුමා එම පළාතේ දිසා ලේකම් තුමාට දුන් ‘ඕඩරයෙන්’ මේ දේ වුවා යයි දෙහිවත්ත පන්සලේ විහාරාධිපති හිමියන් මේ ලියුම්කරු සමඟ පැවසුහ. මේවා පිළිබඳව පැවතී රජයනට  කොතෙක් පැමිණිලි කලත් කිසි වැඩක් නොවිය (ඇමතිවරුන් හමුවී පුද්ගලිකව සිංහලයන්ට සිදුවන අසාධාරණකම් ගැන කී විට  ඒවා බැලීමට පැමිණි ඇමැතිවරුද, ඒ පිළිබඳව කම්පා වූ ඇමැතිවරුද  වුහ. නමුත් අවසානයේ කිසිත් සිදු නොවිය).  උතුරේ සහ නැගෙනහිර සිංහල බෞද්ධ පුරාවස්තු භුමි වල හින්දු කෝවිල් අලුතින් ස්ථාපනය විණ. ඉපැරණි ගල් කුළුණුවල (සිංහල රාජධානි යුගයේ)  ත්‍රී ශුල ගසා ඒවා නව හින්දු කෝවිල් ඉදිකිරීමට භාවිත කර ඇත. මන්නාරමේ පැරණි බුදු පිළිමවල සිරස කඩා දමා එම ඉඩමේ දෙමල කෙසෙල් කොටුවක් ඉදිකර තිබුණු බව එක් බෞද්ධ භික්ෂුවක් මේ ලියුම්කරු සමඟ කීය. මේවා සිදුවුයේ දෙමළ පලාත්සභාවක් උතුරේ බිහි කිරීමට ස්තුතිවන්ත වෙන්ටය (යුධ ජයග්‍රහණයෙන් පසුව 2009 – 2011 කාලයේ කල යුතුව තිබුනේ 13වන සංශෝධනය අවලංගු කර පළාත් සභා මුළුමනින්ම අහෝසි කර දැමීමය).

යුද්ධයට ප්‍රථම යාපනයේ සිංහලයන් 50,000ක් පමණ සිට ඇත. අද ඉන් 5%ක් වත් සිටීද? ප්‍රභාකරන් විසින් උතුරෙන් එලවා දමන ලද සිංහලයන්,මුස්ලිමානුවන් නැවතත් එම ප්‍රදේශවලට යාමට ඉතා අශාවෙන් සිටිත්. නමුත් ඔවුන්ව එම ප්‍රදේශවල නැවත පදිංචි කිරීම පිළිබඳව රජයන් සැලකිල්ලක් දැක්වුවේ නැත.

පුත්තලමේ සිටි මුස්ලිම් සරණාගතයන් නැවත උතුරේ (මන්නාරම සිලාවතුරේ) පදිංචි කිරීම හරිය. විල්පත්තුව කැපීම වැරදිය.

වවුනියාව ආශ්‍රිතම වූ සිංහල ගම්මාන හැරුණු කොට වර්තමානයේ උතුරේ සැලකිය යුතු තරම් සිංහල පිරිසක් ජීවත්ව ඉන්නා සිංහල ගම්මාන ඇත්තේ වවුනියාවෙන් නැගෙනහිර දෙසට වූ ගම්මාන 6 – 7ක පමණි. මේවා නම්: වෙහෙරතන්න, නන්දිමිත්‍රගම, නාමල්ගම, බෝගස්වැව, හැළඹවැව, වැලි ඔය, සිංහපුර ආදියයි. මේ ගම්වල උපරිම (සම්පුර්ණ) වශයෙන් සිංහල පවුල් 2,500 – 3,000 පමණ ජීවත්වනු ඇතැයි අනුමාන කල හැක.  මුලතිව් ආශ්‍රිතව පිහිටි කෝකිලායි වල මිගමුව ප්‍රදේශයෙන් පැමිණ ජීවත්වෙන සම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ යෙදෙන සිංහල පවුල් 70ක් පමණ ඇත. 2010 – 2015 රජය මෙම ගම්මාන වල වෙසෙන ඉතා අසරණ, දුක්ඛිත තත්වයේ වූ වැසියන්ගේ සුභ සිද්ධිය උදෙසා වැඩ කරනු ලැබිය.

පසුගිය රජයේ සීමා නිර්ණ කොමිසමේ නිර්දේශ අනුව ඉහත ජේදයෙන් සඳහන් කල උතුරු/නැගෙනහිර සිංහල ගම්මාන වලින් සමහරක්  එම පළාත් වලින් ගලවා උතුරු මැද පළාතට අනුයුක්ත කල යුතුය. මෙයින් වන්නේ උතුරු/නැගෙනහිර සිංහල ජනගහනය තවත් අඩු විමය. වත්මන් රජය මේ මෝඩ නිර්දේශ ක්‍රියාත්මක නොකරනු ඇතැයි උදක්ම පතමු.

දකුණ අද ජනගහනයෙන් පිරි ඉතිරි ගොස්ය. මිනිසුන් පර්චස් 2 ඉඩම්වල පවා ගෙවල් සාදා ගනිති. තදබදය ඒ තරමටම  වැඩිය. අලි-මිනිස් අර්බුදය උච්චම තත්වයට පත්ව ඇත. කැලෑ වලින් පිරී  ජන ශුන්‍ය ප්‍රදේශයක් වූ හම්බන්තොටද (ලෙනාඩ් වුල්ෆ්ගේ අති සුන්දර වනාන්තර ගමක් වූ බැද්දෙගමහි  සිළිඳු, පුන්චි මැණිකා සහ හින්නිහාමි චරිත  මතක්වේ) වරායක්, ගුවන් තොටුපලක්, ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, සිනමා ගම්මානයක්, තරු 5/4 හෝටල  වැනි දේ බිහිවීම නිසා බෙහෙවින් වෙනස් වී ඇත (මේවා සියල්ල ජාත්‍යාන්තර මට්ටමේ ඒවාය). හම්බන්තොට තව තවත් නාගරීකරණය වෙමින් පවතී. එහි බොහෝ ඉඩම් චීන ආයෝජනයන්  සඳහා වෙන් කර ඇතැයි පැවසේ. ඒ, හම්බන්තොට වරාය වසර 99ට චීනයට බදු දීමේ අමනෝඥ ක්‍රියාව නිසාය (මේ නිසා රටේ ස්වෛය්රීත්වයට සහ භෞමික අඛණ්ඩත්වයටද හානි සිදුවිය හැක).   

රටේ ජනතාවට  ජීවත්වීමට හොඳම ඉඩම් දැන් ඉතිරිව ඇත්තේ උතුරේ සහ නැගෙනහිරය. මෙය මේ රටේ 1/3 ක භුමි භාගයකි. මුහුදු තීරයෙන් 2/3ක්  පමණ වේ. නමුත්, අදත් සිංහල ජාතිකයෙකුට උතුරේ (සහ ඇතැම් නැගෙනහිර) ඉඩම් කොටසක් මිලදී ගැනීමට, බද්දට ගැනීමට, ගොවිපලක් ආරම්භ කිරීමට නොහැකිය/ඉතාම අපහසුය. මේවා මේ රටේ දැවැන්ත, දැවෙන ප්‍රශ්ණය. නමුත් ඒවා ප්‍රශ්ණ නොවන ආකාරයෙන් පෙන්වා රජයන් කටයුතු කරයි. වර්ගවාදී ජාතික ප්‍රතිපත්තියක් අදහන TNA සහ බෙදුම්වාදී ද්‍රවිඩ දේශපාලඥයනට අවශ්‍ය ලෙස උතුරේ කටයුතු සිදුකිරීමට රජයන් ඉඩ දීම නොකළ යුත්තකි.  නියම සන්හිඳියාව වන්නේ රටවැසියෙකුට තමන් කැමති ඕනෑම පලාතක ජීවත්වීමේ අයිතිය හිමිවීමයි. එනම් ද්‍රවිඩ ජාතිකයෙකුට යාපනය අත් හැර වැල්ලවත්තේ පදිංචි වීමට හැකියාවක් ඇති මෙන් ගම්පහ වෙසෙන සිංහලයෙකුට කිලිනොච්චි හි ඉඩමක් මිලදී ගෙන ගෙයක් සදා ගැනීමේ අයිතිය තිබිය යුතුයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  14වෙනි වගන්තියෙන් රටවැසියන්ට ලබාදී ඇති අයිතියකි (Freedom of Movement).  

සිංහලයා වඳ වෙන ජාතියක්, සිංහල ක්ෂය වෙන භාෂාවක්?

1982 සංගණනයේ ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රතිශතය 70% විය. ශ්‍රී ලංකාවේ අදටත් සිංහලයන් 70% සිටිතැයි බොහෝ දෙනා කියත්. නමුත් එය එසේ යයි පිළිගැනීමට තරම් සාක්ෂි තිබේද?

1970 – 1980 ගණන් දක්වා රජයන් ‘පුංචි පවුල රත්තරං’ කියා දැවැන්ත පවුල් සංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවිය. වාසේක්තමි ශල්‍යකර්ම කරන පිරිමින්ට මුදලින් ආධාර පිරිනැමුණි. දරු ප්‍රසුත සඳහා රෝහල්ගත වන කාන්තාවන් දරු ප්‍රසුතියෙන් පසු වඳ සැත්කමකට භාජනය කෙරිණි.  ‘පුංචි පවුල රත්තරං’ වැඩපිළිවෙලින් රටේ ජනගහන වැඩිවීම බෙහෙවින් පාලනය කෙරුණි. නමුත් එය මුලිකවම බලපෑවේ සිංහල පවුල් වලට බව කවුරුත් පිළිගන්නා කරුණකි. සිංහලයන්ට සාපේක්ෂව රටේ දෙමළ සහ මුස්‌ලිම් ජනගනයන් ඉතා සීග්‍ර වර්ධනයනට ලක්විය. අදද එය සිදුවෙමින් පවතී.

1970 දශකයේ කොළඹ මහානගර සභා ප්‍රදේශය තුල සිංහල ප්‍රතිශතය 70% වුවත් අද එය 35% – 40%ට පමණ පහත වැටි ඇති බව නොරහසකි. කොළඹ නගරයේ බසයක ගමන් කරන්නෙකුට එය තුල සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමාන ගණනින් ගමන් කරන බව දක්නට ලැබේ. බොහෝ මහ නගරවල තත්ත්වයද මෙසේය (ගාල්ල, මහනුවර,  නුවර එළිය, බදුල්ල, කෑගල්ල, කුරුනෑගල, මීගමුව වැනි). ශ්‍රී ලංකාව තුල හොරෙන් පැමිණ ජිවත්වන දෙමළ (දකුණු ඉන්දියාවෙන්) සහ මුස්ලිම් (මාලදිවයිනෙන්, පකිස්ථාන් වැනි)  වැසියන් සිටින බව නොරහසකි. මේ අය සංගණන වාර්තා, චන්ද හිමි නාමලේඛන වලට හසු වෙන්නේ නැත. ඔවුන් සැඟවී මෙන් ජීවත් වෙති. ඇතමුන් හොරට පුරවැසිකම් සාදා ගනිති. සිංහලයන් බොහෝ දෙනෙක් තාවකාලිකව (මැද පෙරදිග) හෝ ස්ථිරව මේ රට හැර ගොසිනි. මේ නයින් බලන කල ශ්‍රී ලංකාවේ අද 70%ක් සිංහලයන් සිටිතැයි විශ්වාසකිරීම උගහටය. දැන් මෙහි චීන ජාතිකයන්ද බොහෝය.

සිංහල නම් ගත් ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් බොහෝය. විශේෂයෙන්ම 1983 දෙමළ කෝලාහලවලින් පසු සිංහල නමක් දැරීම සිය ජිවිතාරක්ෂාවට සහ රැකියාවක් ලබා ගැනීමට උදවුවනු ඇතැයි බොහෝ ද්‍රවිඩයන් විශ්වාස කළහ.

මේ කරුණු සලකා බැලීමේදී අද ශ්‍රී ලංකාවේ ඇත්තටම  70% සිංහලයන් වාසය කරන්නේ යයි සිතීමට අපහසුය. මෙම ලියුම්කරු විශ්වාස කරන්නේ මේ ප්‍රතිශතය 65% – 70% අතර අගයක් විය යුතු බවයි. කෙනෙක් එය ඊටත් වඩා අඩුයයි කීමට පුළුවන.

ලොව සිංහලයා ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ පමණය. ඔහුට යාමට වෙන රටක් නැත. ශ්‍රී ලංකාවේ හැර ලොව වෙන කිසිදු රටක සිංහල භාෂාව කථා නොකරයි. දෙමළ, ජාතියක් සහ භාෂාවක් ලෙස පිළිගත් රටවල් ඇත. තමිල්නාඩුවේ (දකුණු ඉන්දියාවේ පමණක්) ද්‍රවිඩයන් කෝටි 7ක් පමණ වෙසෙති; ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයම  කෝටි 2.2ක් පමණි.

ශ්‍රී ලංකාවේ සිංහලයන් මහ ජාතිය  බව ඇත්තය. නමුත් දකුණු ආසියා කලාපය තුල පවා ඔවුහු සුළු ජාතියක්ය.

(1987දි ඉන්දියාව පැමිණ ශ්‍රී ලංකාවට අහසින් කෑම පාර්සල් අත්හැර ගියහ. ඉන්දියාවට ඉතා බියසුලුවූ රාජ්‍ය නායකකයා  1987දී ඉන්දු – ලංකා ගිවුසුමට පිවිස රටම කාලකන්ණි කල 13 වෙනි සංශෝධනයට එකඟ විය (මුලූ රටම එය එපා කියා උදඝෝශනය කරද්දී/ඇඳිරිය නිතිය දමා සිය ගණන් විරෝධතා කරුවන් මරා දමද්දී). 1991දි එවකට සිටි රාජ්‍ය පාලකයාට ඉන්දියන් හමුදාවනට දින කිහිපයක් ඇතුලත මේ රටින් පිටත් වී යන ලෙසට ඉල්ලීමක්  කිරීමට පිටකොන්දක් තිබුණි).

දකුණු  ඉන්දියාවේ ධනුස්කොඩි සහ ශ්‍රී ලංකාව් රාමේශ්වරන් යා කෙරෙන පාලමක් සැදීමේ ව්‍යාපෘතියක් තිබු බව සැමට මතක ඇත.  එය එසේ වුනානම් දකුණු ඉන්දියානුවන්ට උතුරේ සිය ‘ඥාතීන්’ පාගමනින් පැමිණ ශ්‍රී ලංකාවේදී එකතුවීමට ඉඩ තිබුණි (පාලම කිමි 30ට වඩා දුරෙන් අඩුය). මෙය ශ්‍රී ලංකාවේ සිංහල ජනගහන ප්‍රතිශතය (%) තවත් පහළ යාමට දොර විවෘත කිරීමකි. ශ්‍රී ලංකාව ගැන විරසක වූ අවස්ථාවක දකුණු ඉන්දියානුවන්ට පාලම දිගේ ‘ආයුධ’ රැගෙන ලක්ෂ ගණනින් දුවවිත් මේ රට ‘ආක්‍රමණය’ කිරීමට වුවද ඉඩ ප්‍රස්ථාව පාලමින් ලැබේ. ආර්ථිකමය පැත්තෙන් – ඉන්දියාවට අපේ අපනයන සහ ඉන්දියාවෙන් අපට ආනයන – භාණ්ඩ ප්‍රවාහනය, ඉන්දියාවට එන බටහිර සංචාරකයන් සහ වසරකට දැනටමත් ලක්ෂ ගණනක් වූ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සැපැත්වෙන ඉන්දියානු සංචාරකයන් මෙරටට වඩාත්  ආකර්ෂණය කරගැනීමේ හැකියාව වැනි දේ උදෙසා පාලමක වැඩදායි බව කියා නිමකළ නොහැක. පාලමේ භූගෝලීය පිහිටීම- අදාළ වටපිටාවයි ප්‍රශ්ණය (එය උතුරු ඉන්දියාව නොව දකුණු ඉන්දියාව හා සම්බන්ධ වීමට හදන පාලමකි).

උතුරේ සිංහලයන් සහ මුස්ලිමානුවන් වැඩි වශයෙන් පදිංචි වී සිටින්නේ නම් (විශේෂයෙන්ම මන්නාරම, පේදුරු තුඩුව වැනි ප්‍රදේශවල), එය ශ්‍රී ලංකාව භෞමිකව  ආරක්ෂා කිරීම උදෙසා වූ කදිම රක්ෂණයකි.  උතුර රැක ගැනීමට නම් එහි සිංහලයන් සහ මුස්ලිමානුවන් බොහෝ එහි වාසය කල යුතුය. ප්‍රභාකරන් උතුරේ සිටි මුස්ලිමානුවන් ලක්ෂයකට වඩා පිරිසක් දකුණට එලවා දැමුවේ එහෙයිනි.

DS සේනානායකගේ මහඟු ප්‍රඥාව සිහිපත් වේ.

මෙවන් වාතාවරණයක් පවත්නා ශ්‍රී ලංකාවේ, සිංහලයන් ඔවුන්-ඔවුන් කුලල් කා ගැනීම කණගාටුදායකය.  එදාටත් වඩා සිංහලයන් එකිනෙකා අතර පවත්නා නොසරුප් බව අද අධිකය. ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් ඔවුන්ගේ ජාතිකයන් සමඟ කුලල් නොකා සමගිව ජීවත් වෙත්. තමන් සුළු ජාතියක් බව වටහාගෙන ඇති ඔවුහු  තමන්ගේ ජාතිය, භාෂාව, ආගම දිවිහිමියෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරත්. තම ජනගහනය කෙසේ හෝ වැඩි කර ගනිති. ඔවුන්ගේ නායකයෝ ඒවාට අනුබල දෙති. සිංහලයෝ එසේ කටයුතු නොකිරීම ඔවුන්ගේ මළගම ඔවුන් විසින්ම කපා ගැනීමකි.

විදේශගතවූ විටද  සිංහලයෝ එම රටවල දී ශ්‍රී ලාංකික ‘ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් මෙන් නියම සහෝදරත්වයෙන් (comradeship) යුක්තව කටයුතු නොකරති. ඒ රටවලදී ද ඔවුහු තම සහෝදර සිංහලයා පරයා යාමේ මානසිකත්වයෙන් යුක්තව කටයුතු කරයි.

දකුණේ සියළු දේශපාලන පක්ෂ ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ගැන කථා කරති. එසේ නොකළහොත් ඔවුනට බලයට ඒමට බැරියයි ඔවුහු සිතති. මෙය මිත්‍යා සිතිවිල්ලකි.  සිංහල (බෞද්ධයන්) ගැන කථා කිරීමට එකම දේශපාලන පක්ෂයක්වත් නැත. නමුත් ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන්ගේ අයිතීන් කථා කිරීමට/සටන් කිරීමට බොහෝ පක්ෂ ඇත.

ප්‍රධාන පක්ෂ 3 සුළු ජාතික චන්ද හඹා යති. නමුත් ඔවුනට ඒවා නොලැබෙන බව ඔවුනට නොතේරේ. ඔවුන් ආසන දිනන්නේ දකුණේ සිංහල චන්ද වලිනි. නමුත් ඔවුන් සිංහලයාට ආවේනික වූ ප්‍රශ්ණ ගැන කථා නොකරත්.

සිංහලයා ගැන කථා කිරීම දේශපාලනමය අසම්මතවාදී දෙයක් ලෙස  (politically incorrect) ලෙස රටේ මුල්බැස ඇත. එයද සන්හිඳියාවේ නරක අතුරු පලයකි.

සුළු ජාතින් ගැන කථා කිරීමෙන් මානව හිතවාදී ලේබලය අලවා ගැනීමට හැකිවේයැයි ඔවුන් සිතති. එය මෝස්තරයටද ඉතා හොඳය (fashionable). විදේශ බටහිර රටවල සංචාර, එකී  තානාපති නිවෙස්වල නොනවත්වා පැවැත්වෙන භෝජන සංග්‍රහ, NGO සල්ලි – මේවා ගලා එන්නේ සුළු ජාතික ප්‍රශ්ණ කථා කරන්නන්ටය. සිංහලයාගේ සැබෑ ප්‍රශ්ණ ගැන කථා කරන්නා සිංහල අන්තවාදියෙක් ලෙසට වූ ලේබලයෙන් පිදුම් ලබයි.

සුළු ජාතික ප්‍රශ්ණ තිබේ නම් ඒවා ගැන කථා කල යුතුය. සුළු ජාතීන්ට කිසිසේත් අකටයුතු, අසාධාරනකම් නොකළ යුතුය. නමුත් මහ ජාතියටද ප්‍රශ්ණ ඇති බව රජයන් ධාරණය කර ගත යුතුය. උදා: වතුකරයේ දෙමළ සේවක අයිතින් ගැන, ඔවුන්ගේ ජීවන තත්වයන් නඟා සිටුවීමට රජයන් විශාල වශයෙන් කැපවී වැඩ කරයි. ඒ වෙනුවෙන් අති විශාල මුදලක් දරයි. එය හොඳය. නමුත් වතු වටා ජිවත්වන උඩරට සිංහල ගම්වාසින් ගැන රජයන් එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි?  වතු සේවකයන්ගේ අවම වැටුප වැඩි කරද්දී ඒ වතු වටා සිටින ගම්වල වෙසෙන කළු බණ්ඩලා, හීන් මැණිකේලා දවසට එක වේලක් වත් කන්න නොමැති තරම් වූ  දරිද්‍රත්වයෙන් සිටිනවා නේද කියා රජයන් නොසිතයි/බලා නොබලයි. මේ කළු බණ්ඩලා, හීන් මැණිකේලාද වතුවල වැඩට යාමට බොහෝ ආසාවෙන් සිටිත්. නමුත් වතු වෘත්තිය  සමිති ඒවාට විරුද්ධය. සුද්දන් වතු බිහි කලේ කළු බණ්ඩලා, හීන් මැණිකලාගේ මුතුන් මිත්තන්ගේ ඉඩම් බලයෙන් පවරා ගෙන බව දැන් කාටත් අමතකය.

තම අයිතීන්, තම ජාතිය/ආගම ගැන කථා කිරීමට සිංහලයෝ මැලි බවක් පෙන්වයි.  බොහෝ අය එසේ කිරීමට බයය. සිංහල, බෞද්ධ  අයිතීන් ගැන කථා කිරීම අද තහනම් වචන බවට පත්වී  ඇද්ද? පුදුමාකාර ලෙස, සිංහල, බෞද්ධකම ගැන කථා කල අයට විරුද්ධව නිති මඟින් කටයුතු කිරීමට බලධාරීන් උත්සහ කර ඇත. මෙය අධිරාජ්‍යවාදී යුගයේවත් නොසිදුවූ දෙයකි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ  14වෙනි වගන්තියෙන් ලබාදෙන භාෂමය නිදහසට (Freedom of Speech) පටහැනිය. ධර්මපාලතුමා ඇතිතරම් මෙරට පාලනය කල  බ්‍රිතාන්‍යයනට බැන්නේය. ඔවුහු ඔහුගේ කට වැහිමට නොගියහ.

නමුත්, ද්‍රවිඩ බසින් අන්තවාදී කරුණු කියනා අය ශ්‍රී ලංකාව තුල නියාමනයකට බඳුන් නොවෙනා සේය.

කොරෝනාවට පෙර කාලයේ සවස් භාගයේ මේ රටේ මත්පැන් බිම ශාලා මත්ලොලින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරි තිබුණු බව ඒ පිළිබඳව දන්නා අයට මතක ඇත. මේ අයගෙන් බහුතරය – 80%ට  වඩා වුයේ සිංහලයන්ය. මේ රටේ වැඩිපුරම මිනීමැරුම්/අපරාධ  සිදුවන්නේ සිංහලයන් – සිංහලයන් අතරය. වැඩියෙන්ම මත් ද්‍රව්‍ය, මත් කුඩු පානයට ඇබ්බැහි වී ඇත්තේ සිංහලයෝය. නමුත් එම ජාවාරම් වැඩිපුරම කරන්නේ අන්‍ය ජාතිකයෝය. මේ රටේ සිරකරුවන්ගෙන් වැඩි දෙනා සිංහලයෝය. එම ප්‍රතිශතය 70%ට වඩා බොහෝ වැඩිය.

සිංහලයා ක්‍රමයෙන් වඳවී යන ජාතියක් බවත් සිංහල භාෂාව ක්ෂය වෙන භාෂාවක් බවත් රහසක් නොවේ. මහනගරවල දැනටමත් සිංහල ජන සංඛ්‍යාව සිග්‍රව අඩුව ඇත. මේවා ක්‍රමානුකුලව පළාත්, නගර, ප්‍රාදේශීය සභා ප්‍රදේශවලද සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවෙන් සිංහලයා සදහටම වඳවී නොයනු ඇත. නමුත්, ශ්‍රී ලංකාව තුල සිංහලයා සුළු ජාතිකයෙක් ලෙස යම් දවසක ජිවත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇත (35% -45% ක පමණ ලෙස). එදාට මෙය කියවන ඔබ – අප, වර්තමාන බොහෝ දරුවන්, දිවි මඟ හැර ගොසිනි.   

තවත් සිද්ධාන්ත 2ක් (මේ දෙකම සිංහලයාට අසුභය):

(1) මෑතක සිට රුවන්ඩාව පාලනය කරන්නේ ටුට්සින්ය (ඔවුන් ඉතා හොඳින් රට පාලනය කරත්). ඔවුන් ජනගහනයෙන් 9% – 14% පමණ වේ. මහ ජාතිය හුටුන්ය. ඔවුන් ජනගහනයෙන් 86% – 91% පමණ වේ. එන්න එන්නම අසාර්ථක රාජ්‍යක් බවට පත්වන ශ්‍රී ලංකාවද නුදුරේදී ‘ටුට්සි රාජ්‍යක්’ වීමද විය හැක.

(2) ශ්‍රී ලංකාව කෙරෙහි වූ චීන බලපෑම අති දැවැන්තය. මේ යන ආකාරයට ගියහොත් ඉදිරි වසර 30 ඇතුලත  මේ රටේ මුළු ජනගහනයෙන් අඩුම තරමින් 10%ක් වත් චීන ජනගහනය වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.  වසර 50කදි ,100දි?

සිංහල ජාතිකාණුරාග ගීත, සිංහල නැටුම් ආදිය

 ‘මේ සිංහල අපගේ රටයි’, ‘හෙළ ජාතික අභිමානේ’, ‘සිංහල ජය ගීත හඬට’, ‘තුන් සින්හලයම නෑදෑයෝ’ – මෙවා එදා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ රැව් පිළිරැව්  දුන් ගීතයි. හැදෙන ළමුන්, යෞවනයන් නිතර මුමුණනු ලැබු ගීතයි.  අද වැඩිහිටියන් එදා පාසැල් යන අවධියේ ප්‍රසංග වලදී අභිමානයෙන් හඬ දී ගැයූ ගීතයි. මේවා ඉතා මනහර ගීතය. නමුත්, අද මේවා අහනවත් නොලැබේ, නැත්නම් ප්‍රචාරය කරන්නේ ඉතා අඩුවෙනි. අහක දමා ඇති මෙවන් සිංහල ජාතිකාණුරාග ගීත ගණනාවකි.

‘පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්’ ගීතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේ පවා ගුවන් විදුලියේ වාදනය වූ බවත් අද එය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වාදනය නොවන බවත් මිතුරෙක් මා සමඟ පැවැසීය. එහි සත්‍ය අසත්‍ය භාවය මා නොදනිමි.

මේවා ප්‍රචාරය කිරීමට බියවී ඇත්තේ බොහෝදුරට බෙදුම්වාදී අදහස් දරන මන්ත්‍රීන් විසින් කරන පැමිණිලි නිසාය. දෙමළ රුපවාහිනි/ගුවන් විදුලි නාලිකා වල විකාශනය වන සිංදු වැඩසටහන් පිළිබඳව දැඩි නියාමනයක් පවතී දැයි නොදනිමි. ද්‍රවිඩ/මුස්ලිම් බෙදුම්වාදී/අන්තවාදී ප්‍රකාශ ගැන ඒ පිළිබඳව දන්නා සිංහලයෝ පැමිණිලි නොකරති; මෙය වැරදිය.

අද සෑම දෙනාම වාගේ අගය කරන්නේ බටහිර හෝ ඉන්දියන් (හින්දි/දෙමළ) තනු අනුව නිපැයෙන සිංහල ගීත බව පෙනී යයි.  ශ්‍රී ලංකාවටම උරුමවූ සංගීතයෙන් ගී ගැයූ සුනිල් ශාන්තයන්, අයිවෝ ඩෙනිස්ගේ  ගීත අද මුළුමනින්ම අමතක වී ගොසිනි. ඒවා අතිශය රසබර, මනා පදවැල් වලින් හෙබී ගීතය.

අරක්කු/බියර්, වයින්  වැනි මත්පැන් නිතර බොමින් (ගැහැණු/පිරිමි), කුකුල්/ඌරු මස් කමින්,  බයිලා/හිප්හොප් ගායන තාල වලට නටමින් ඉතා සැහැල්ලුවෙන් සිටිනා ජාතියක් ලෙසටයි සිංහලයන් දැන් බොහෝ දුරට පෙනෙන්නේ. ඉතා නැතත් සැහැල්ලුවෙන් සිටියාට කමක් නැත, තමනට ආවේනික වූ ප්‍රශ්නවලදී බුද්ධිමත්ව/ශිෂ්ටසම්පන්න ලෙස නැගී සිටිය යුතුය. රටේ වර්තමානය ගැන පමණක් නොව අනාගතය ගැනද සිතිය යුතුය.

අප විසින් කලයුතු ‘සටන්’ අප ප්‍රවේශමින් තෝරා බේරා ගත යුතුය. බොහෝ විට සිදු වෙන්නේ අනවශ්‍ය ‘සටන්’ තෝරා ගැනීමත් අත්‍යාවශ්‍ය ‘සටන්’ මඟ හැර යාමට සැලැස්විමත්ය. එයට හේතුව ප්‍රශ්නයන් දෙස අප මතුපිටින් පමණක් බැලීමයි (සමහරවිට ආත්මාර්ථකාමිවද). ගැඹුරටම ගොස් විශ්ලේෂණය කර බැලීමක් අපි නොකරමු. ඒ නිසා බුද්ධි වර්ධනයක්ද සිදු නොවේ.

මෙය අපේ එදිනෙදා ජිවිතයටද අදාළ වෙන උවදෙසකි.

උවමනාවට වඩා සන්තුෂ්ටිය සෙවීමට යාම නිසා අප සෞඛ්යම වශයෙන්ද  දුර්වල වී සිටිමු. බොහෝ දෙනෙක් මැදිවිය ලඟාවිමට පෙර නිදන්ගත ලෙඩවලට ගොදුරු වී ගොසිනි.   

අවුරුදු 70ට ප්‍රථම ශ්‍රී ලාංකිකයා (සිංහලයා ඇතුලුවේ) මිය පරලොව ගොසිනි (කොරෝනා පැමිණීමට පෙර).

අද ශ්‍රී ලංකා ‘ටික් ටොක්හි’ මුලිකවම ඇත්තේ නුතන තරුණියන්ගේ විකාර නැටීම්ය.  වෙනත් රටවල අය  ධනාත්මක, අගයක් ඇති ටික් ටොක් නිර්මාණ ඉදිරිපත් කරත්. අපේ ධන්නෝ බුදුන්ගේ වැනි මහාර්ග සිංහල ගීත රැප් නොකරන මෙන් අපට මේ අයගෙන් බැගෑපත්ව ඉල්ලා සිටීමට සිදුවී ඇත. අපේ පාරම්පරික නැටුම් කළාවටද කණ කොක් හඬ ඇසෙනු ඇති බවක් පෙනේ.  ඒවාද අංග රචනයෙන්, ඇඳුම් වලින් (අඩ නිරුවත් වාගේ) දැන් සංකර බවක් දක්වයි. සමහර උඩරට නැටුම් ශිල්ප/ශිල්පියෝ වේදිකාවේදී දෙතොල් සිප ගැනීමට ඉතා ආසන්න වූ නැටුම් දර්ශන ඉදිරිපත් කරත්.  මේවා අපේ සම්ප්‍රදායික සිංහල බෞද්ධ නැටුමට අකැපය. අපේ  පහත රට නැටුම් කළාව ආරක්ෂා කර ගැනීමට ක්‍රම වේදයක් නොමැති බවද පෙනේ.

අවසානය

ජාතියක් වශයෙන් සිංහලයනට ඔවුන් ඉදිරියේ ඇත්තේ මහා ප්‍රශ්ණ/අභියෝග ගණනාවකි. සිංහලයාට සිය  ජාතිය රැක ගෙන, අපේ අයිතීන්/සම්පත් ක්ෂය වීමට නොදී; සුළු ජාතින්ද  සතුටින් සිටින, සුළු ජාතීනට  අසාධාරණ/අවඩැන් සිදු නොවෙන,  රටේ සියළු දෙනාටම වාසනාව, සෞභාග්‍යය උදාවන පින්බර  ශ්‍රී ලංකාවක් ගොඩ නගා ගැනීමට පුළුවන.  සැහැල්ලුවද භුක්ති විඳිමින්,  බුද්ධිමත්ව, නැණවත්ව, අවධානශිලිව සියළු දෙනා ජිවත් විය යුතුය. නැත්නම් වෙන්නේ අප සියළු දෙනාගේම අනාගතය තව තවත් අඳුරු වි යාමකි.     

මෙම ලියුම්කරු ඕස්ත්‍රේලියාවේ ‘සිටි ෆර්ස්ට්’ නීතීඥ ආයතනයේ ප්‍රධානතම  බැරිස්ටර් සහ සොලිසිටර් වශයෙන් බොහෝ කාලයක් සේවය කළේය (zx102@bigpond.com)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress