‘පූජනීය දළදා සංස්කෘතිය‘ අලි කුලප්පුවීමේ දේශපාලනය
Posted on August 24th, 2021
රජිත් කීර්ති තෙන්නකෝන්
‘පූජනීය දළදා සංස්කෘතිය‘ අලි කුලප්පුවීමේ දේශපාලනය
දළදා පෙරහැර හා ලංකා දේශපාලන අතර දැවැන්ත සම්බන්ධයක් තිබේ. ‘පූජනීය දළදා සංස්කෘතිය‘ දාහතරවන කලාපයට පෙරවදනක් ලියන්නට මම දළදා සංස්කෘතියේ දේශපාලනය අධ්‍යයනය කළෙමි.
දළදා සංස්කෘතියේ දේශපාලන කතාව කියන්නට දළදා හාමුරුවන්ගෙන් අවසරයි!
ඇත්තු කුලප්පු හා මැතිවරණ දේශපාලනය
මහනුවර දළදා පෙරහැරේ අලි කුලප්පුවීමකින් 1959 අගෝස්තු 19 දින පුද්ගලයින් 15 ක් මිය ගියේය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඇතා ඝාතනය කළේය. මේ අලි කුලප්පුව ගැන දීර්ඝ ලිඛිත සාහිත්‍යයක් ‘අලි කොමිසම‘, පාර්ලිමේන්තුව, පත්තර, මහෙස්ත්‍රාත් විභාගය හරහා නිර්මාණය විය.
පසුව එය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් එපිට මැතිවරණ වේදිකාවට ද ගියේය. දේශපාලන කුලප්පුවලින් අලින් කුලප්පු වෙලා” එදා මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා කීවේය. ටී.බී.ඉලංගරත්න ඇමතිගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පටන්ගත්තේය.
එදා පටන් අලි කුලප්පුව දේශපාලනය හා බැඳී ඇත.
1959 සැප්තෑම්බර් 25 බණ්ඩාරනායක ඝාතනය සිදු විය. ලංකා දේශපාලනය උඩු යටි කුරු කළ 56 විප්ලවයෙන්‘ 1956 අප්‍රේල් බිහි වූ ආණ්ඩුව සිය කාලය සම්පූර්ණ කිරීමටත් පෙර, 1959 දෙසැම්බර් 4 බිඳවැටුණි. 1960 මාර්තු මැතිවරණයෙන් එජාපයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩු පිහිටවූවේය.
1976 අගෝස්තු ඇසළ පෙරහැරේ පත්තිනි දේවාල රන්දෝලියේ ඇතා කුලප්පුවිය. පොලිස් වෙඩි පහරින් පත්තිනි දේවාලයේ වතුර මල අසල දි ඇතා මැරී වැටුනේය. 1977 ජූලි 22 එජාපය 5/6 ක බලයක් සහිතව ආණ්ඩු බලය ලබාගත්තේය.
1992 අගෝස්තු නෙරංජන් විජේරත්න දියවඩන නිලමේ සමයේ දී, පෙරහර කරඩුව රැගත් මංගල හස්තිරාජයා කලබලයට පත් වූවේ විදුලි කාන්දුවක් හේතුවෙන් රන්සිවිගේ ගිණිගැනීමෙනි. 1992 කරඬුුව වඩම්වන්නට සිටි රත්නපුර සමන් දේවාලයේ ඇතා ඇත් ගොව්වාට පහර දී කලබැගෑනියක් ඇති වූවේ කරඬුව බඳින්නට සුළු වේළාවකට පෙරය. ඇතා නිර්වින්දනය කළ අතර, පෙරහැර කරඬුව වැඩම කරනු ලැබූවේ ජයරාජා නම් ඇතා පිට ය. 1993 මැයි 1 දින ජනාධිපති ආර්.ප්‍රේමදාස ඝාතනය විය. 1993 මැයි 17 පලාත් සභා ඡන්ද විමසීමේ දී බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් සභා බලය විපක්ෂයට ගියේය.
1993 අගෝස්තු ජනපති ඩී.බී.විජේතුංග සමයේ දෙවැනි කුඹල් පෙරහැරේ දී කරඩුව මඩම්මවන මගුල් ඇතු කුලප්පුවූවා පමණක් නොව ඇඳ වැටුණි. 1994 අගෝස්තු 16 දින එජාපයේ 17 වසරක පාලනය අවසන් වී චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිවරයා ලෙස පත් විය.
2012 හෝ 2013 පළමු කුඹල් පෙරහැර අතර, මහ වැසි වැටී මහමළුවේ තිබූ දැවැන්ත අට්ටාලයක් කඩා වැටුණි. එහි ශබ්දයට අලි කලබල වූ අතර, අලි රංචුවට බිය වී වැටී එක් (ගැබිණි කාන්තාවක්) මියගියේය. මහ වැස්ස නිසා එදා පෙරහැරේ බෙර වාදනය කළේ සුදු ඉටිරෙදිවලින් වසා (මළ ගෙදරක) වාගේ ය.
2014 මහ පෙරහැරේ දී කරඬුව මඩම්මවමින් සිටි ඉන්දි රාජා ට කොටුගොඩැල්ල වීදියේ දී දෑලේ සිටි බූරුම රාජා දළ පහරක් එල්ල කළේය. එදා පෙරහැර ගෙවැදුනේ දෑලේ ඇතුන් රහිතව ය.
2014 පෙරහැර අවසන් වී දින කිහිපයකින් ලංකාවේ දේශපාලනය වෙනස් වන්නට පටන් ගෙන, 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව බිහිවිය.
2019 අගොස්තු මාලිගාවේ ඇතෙකුට පහරදීමට නාථ දේවාලයේ පෙරහැරට ගෙන ආ අලියෙක් උත්සහ කළේය. 2019 නොවැම්බර් මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව බිඳවැටුණේය.
අටුවා කථාව
දළදා සංස්කෘතියේ අලි ඇත්තු කලබලවීම ගැන 1959 කතාවේ දී නුගවෙල නිළමේ කරඬුව වැඩම කළ ඇතා ගේ දළයෙන් අල්ලා ගෙන කලබලය සමනය කර ගත් අයුරු ගැන දීර්ඝ ලිඛිත සාක්ෂි ඇත.
1976 පත්තිනි දේවාලයේ ඇතා නවරත්න නිළමේ (අමාත්‍යවරයෙකි) ඉදිරිපිට වෙඩි වැදී මියයාම ගැන පොලිස් වාර්තා පවසන්නේ ‘අත්වැරැද්දකින් වෙඩි වැදීමක්‘ ලෙස ය.
1992 සිද්ධිය ජනමාධ්‍ය එදා වාර්තා කළේ නැත. සිද්ධිය ඇසින් දුටුවන්, අවසන් මොහොතේ පෙරහැර කරඬුව බැදීමේ කාර්යය ඉටු කළ ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ ඇතුළු කිහිප දෙනෙකු හැර සිද්ධියට ලිඛිත සාක්ෂි නැති තරම් ය.
1993 අවසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කරඬුව වඩම්මවමින් සිටි ඇතා ය. කරඬුවට හානියක් නොවු නමුත් ඇතා ඇඳ වැටුණු බව ඇසින් දුටුවන්ගෙන් මම අසා ඇත්තෙමි.
2019 අගොස්තු මාසයේ නාථ දේවාලය අසල බැඳ සිටි (පෙරහැරේ නොගිය) සතෙකු මාලිගාවේ පෙරහැරේ ගිය සතෙකුට පහරදීම/පහරදීමට උත්සහ දැරීම නිසා පෙරහැර ගෙවදීමට ආසන්නයේ කලබලය සිදුවිය. එවකට මම මධ්‍යම පළාතේ ආණ්ඩුකායා වූ බැවින් සිද්ධිය මා දැනගත් නමුත්, ඉතිහාසය පුරාම සිදුවී ඇති අයුරින්ම එය සිරස්තලයක් වූවේ නැත.
2021 අගෝස්තු 22 අවසන් රන්දෝළි පෙරහැරේ දී කතරගම දේවාලයේ අලි තිදෙනෙකු හෝ සිව් දෙනෙකු කුලප්පු විය. කුලප්පු වූ එක් සතෙකු දළදා කරඬුව වැඩමවූ අලි පන්තිය අසලට පැමිණි නමුත්, නැදුන්ගමුවේ ඇතා ද, දෑලේ ඇත්තු ද නොසෙල්වී කිසිදු කලබලයකින් තොරව සිටියේය.
රූපවාහිනියෙන් ද, අන්තර් ජාලයෙන් ද සජීවී යැයි කියා පෙර දින පෙරහැර පෙන්වනු ලැබීය.
ටීකා ව
පෙරහැර සංස්කෘතියකි! දේශපාලනය ද සංස්කෘතියකි!!
පසු සටහන – මෑත කාලයේ රටේම අලි ඇතුන් පෙරහැරට එක් කර ගන්නට දරණ උත්සාහය නිසා පෙරහැර දිගු වී ඇත. අලි කුලප්පුවීම් වැඩිවීමට එය ප්‍රධාන හේතුවකි.
රජිත් කීර්ති තෙන්නකෝන්