බෞද්ධ ජනරජ ප්‍රවාදය – 35 වැනි කොටස – ​‍චතුර්විධ ප්‍රතිපදා
Posted on September 13th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සසර සරණ සත්ත්වයා පෙළෙන්නා වූ භවදුකින් මිදීමේ ක්‍රමය බුදුදහම තුළ විග්‍රහ කෙරී ඇත්තේ චතුර්විධ ආකෘතියක් තුළ ය. දුක, දුකට හේතුව, දුක නැතිකිරීම සහ දුක නැතිකිරීමේ මාර්ගය ලෙසින් චතුරාර්ය සත්‍යය දේශනාව තුළ මෙය ඉදිරිපත් කෙරෙයි. ලෝකෝත්තර අරමුණු වෙනුවෙන් දේශිත මෙම ආකෘතිය බෞද්ධ ජනරජයේ සමාජ – ආර්ථික ගැටලු විසඳීම සඳහා ද යොදාගත හැකි ය.

මෙය කළ හැකිවනුයේ ගැටලුව, ගැටලුවට හේතුව, විසඳුම, එම විසඳුම කරා යන මාර්ගය යන ලෙසින් මෙම ආකෘතිය භාවිතයට එක්කිරීමෙනි. මෙය ඕනෑම ආකාරයේ සමාජ – ආර්ථික ගැටලුවක් විසඳීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයකි. ඒ ඒ ගැටලුවට අදාළ වන ලෙසින් පියවරින් පියවර මෙම ක්‍රමය භාවිතය අපහසු කාර්යයක් නොවේ.

යම් ගැටලුවක් ඇති වූ කල්හි මුලින් ම කළ යුත්තේ එය මැනැවින් වටහාගැනීම ය. නිශ්චිත අයුරින් එම ගැටලුව සහ එහි ස්වභාවය වටහා නොගෙන එය විසඳිය නොහැකි ය. මූලික නිරීක්‍ෂණ, ඒ අනුව කෙරෙන තොරතුරු එකතුකිරීම් සහ පර්යේෂණ මාර්ගයෙන් මෙය කළ යුතු වෙයි. විවිධ වූ කෝණවලින් ගැටලුව දෙස බැලීම ද කළ යුත්තේ ය. සමාජයේ විවිධ මට්ටමේ අත්දැකීම් සහ අභිලාෂයන් ඇති පිරිසගේ දායකත්වය ලබාගැනීම ද මේ අරභයා අවශ්‍ය වෙයි. සමාජයේ වසන වැඩිහිටි පිරිස අත්දැකීම්වලින් පිරුණු අය වෙති. එහෙයින් මෙවැනි නිරීක්‍ෂණ සඳහා එවැනි අයගේ දායකත්වය අත්‍යවශ්‍ය වෙයි. තරුණ පිරිස අලුත් දැනුමින් සන්නද්ධ වී සිටිති. නැවුම් අභාලාෂයන්ගෙන් ද ඔවුන්ගේ සිත් පිරී පවතී. එහෙයින්, ගැටලුව හඳුනාගැනීමට එවැනි පිරිස්වල දායකත්වය ද අත්‍යවශ්‍ය වෙයි.

ගැටලුව උද්ගතවීමට හේතු වූ කරුණු සොයාබැලීම මනා ශික්‍ෂණයක් සහිතව කළ යුතු කාර්යයකි. සමාජයේ වසන උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දායකත්වය මේ සඳහා අවශ්‍ය වෙයි. මේ වෙනුවෙන් මූලික කරුණු නිරීක්‍ෂණය සහ ඒවා ගැඹුරින් විග්‍රහකිරීම අත්‍යවශ්‍ය කාරණයකි. පොදු සමාජ ගැටලු සඳහා පදනම් වී ඇති හේතු හඳුනාගැනීම බිම් (ගම් සහ නාගරික) මට්ටමින් ද, ප්‍රාදේශීය (කෝරළ) මට්ටමින් ද, ජාතික මට්ටමින් ද සිදු කළ හැකි ය. ගැටලුවේ ස්වභාවය, එහි තරම සහ අදාළ වන භූමිය යන කරුණු සළකා මෙම මට්ටම තීරණය කළ යුත්තේ ය. මෙම ප්‍රවාදයෙන් යෝජනා කෙරුණු කෝරළ බුද්ධි මණ්ඩල වැනි ආයතන ද, විශ්වවිද්‍යාල වැනි ආයතන ද මේ සඳහා දායක කරගත හැකි ය.

මෙම ක්‍රියාදාමයේ තුන්වැනි අදියර වනුයේ විසඳුම් යෝජනාකිරීම ය. අදාළ කරගත හැකි මානව සම්පත්, අනෙකුත් සම්පත් සහ දැනුම වැනි කරුණු මැනැවින් සළකා බලා අදාළ විසඳුම් යෝජනාකිරීම සිදුකළ යුත්තේ ය. මෙම කරුණු ගැන මනා අවබෝධයකින් යුතුව අදාළ විසඳුම් යෝජනා කරන කල්හි ඒවා යථාර්ථයක් බවට පත් කරගැනීම අපහසු නොවේ. එකී සාධක නො සළකා හැර ඉදිරිපත් කෙරෙන යෝජනාවල ප්‍රායෝගික වටිනාකමක් නොමැත.

ගැටලුව හොඳින් හඳුනාගෙන, එයට පදනම් වූ කරුණු ද අවබෝධ කරගෙන, පවත්නා තත්ත්වයන්ට ගැලපෙන විසඳුම් යෝජනා කළ පසු වෙහෙසිය යුත්තේ එම විසඳුම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ය. මෙම ආකෘතියෙන් නිර්දේශ කෙරෙන අවසාන (සතරවැනි) පියවර එයයි. විසඳුම කරා යන මාර්ගය පෙන්වාදිය යුත්තේ පියවරෙන් පියවර ය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් නිර්දේශිත ක්‍රමවේදය මේ සඳහා ආදර්ශයක් කරගත හැකි ය.

විසඳුම සම්බන්ධයෙන් තිබෙන අවබෝධය, එය යථාර්ථයක් බවට පත්කරගැනීමට ඇති උවමනාව තුළින් මෙම ගමන ආරම්භ වෙයි. ඒ තුළ ගැබ් වී ඇත්තේ එක්තරා ආකාරයක නිවැරැදි දැක්මකි. මෙම දැක්ම නැති කල්හි ගමනෙහි ඇරඹුමක් ගැන සිතිය නො හැකි ය. මනා සිහියකින් සහ කල්පනාවකින් යුතුව මෙම ගමන යා යුතු වෙයි. එහෙයින් නිවැරැදි කල්පනාව ද මෙම ගමනට අදාළ වෙයි. ගමනෙහි නිරවුල් බව තහවුරු කෙරෙනුයේ ඒ තුළ සිදුවන සන්නිවේදන ක්‍රියාදාමය තුළ ය. නිවැරැදි වචන භාවිතයක් ඒ සඳහා අවශ්‍ය වෙයි.

විසඳුම කරා යන මාර්ගයෙහි ඒ ඒ පියවරට අදාළ කාර්යයන් නිවැරැදිව ඉටුකිරීම තුළින් පමණක් ගමනෙහි සාර්ථකත්වය තහවුරු වෙයි. එහෙයින් අදාළ කාර්යයන් නිවැරැදිව සිදුකිරීම අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තකි. විසඳුම ක්‍රියාත්මක කරන්නන්ගේ පුද්ගල – සමාජ භාවිතය ගැටලුකාරී වුවහොත් ඒ තුළින් ද ගමන අඩපණ විය හැකි ය. එහෙයින් මෙම කාර්යයට බාධා නොවන අයුරින් තම ජීවිත පිළිවෙත් පවත්වාගෙන යෑමට ද ඔවුන් කටයුතු කළ යුතු ය.

ගමනෙහි සාර්ථකත්වය තහවුරුවන්නේ ඒ වෙනුවෙන් දරනු ලබන ව්‍යායාමයෙහි නිවැරැදි බව අනුව ය. අලස බව, නිසි කලට නිසි පියවර නොගැනීම වැනි කරුණු නිසා ගමනට බාධා එල්ලවිය හැකි ය. සියලු කාර්යයන් මනා සිහියකින් සිදුකිරීම ද අත්‍යවශ්‍ය වේ. මේ සියල්ල සම්පූර්ණ වූ විට යෝජනා කෙරුණු විසඳුම සාක්‍ෂාත් කරගෙන (ගැටලුව විසඳා) අවසාන ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress