ලොහාන් රත්වත්තේගේ කතා වස්තුව
Posted on September 19th, 2021

කතුවැකිය උපුටාගැණීම  මව්බිම

ලොහාන් රත්වත්තේ ආයෙත් වරක් පිස්සු කෙළියේය. පිස්සු කෙළිය කියා කීවේ මෙහෙම වැඩ කරන්නට පුළුවන් වන්නේ සිහිබුද්ධියෙන් නම් නොවන බැවිනි. මත්පැනින් සූර්වී සිටියාම සිහිබුද්ධිය සම්පූර්ණයෙන් අඩුවන්නේ නැතත් ටිකක් හෝ එහි අඩු ලුහුඬුවක් පෙනෙන්නට පටන් ගනී. මෑතදී වාර්තා වුණු ලොහාන්ගේ පිස්සු නැටිලි දෙක තුනේදීම ඔහු හිටියේ බීමතින් බවට ඕනෑ තරම් සාක්ෂි ඇත්තේය. ලොහාන් නම් කියන්නේ මාධ්‍ය මඟින් හා තවත් විවිධාකාරයෙන් ඔහු වෙත එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. බැලුවම අමාත්‍ය ධුරයකින් අස්වී තිබෙන්නේ රටට ජාතියට සමාජයට ආදරය කරන යහපත්ම පුද්ගලයෙකි. ඔහු අත කිසිදු වරදක් නැත. 

මේ යහපත් පුද්ගලයාගේ පරණ තෝම්බුව ඔහුගේ එකී යහපත් චර්යාව කදිමට නිරූපණය කරයි. ලංකාවේ රග්බි පුහුණුකරුවකුව සිටි ෆීජි ජාතික ජොයෙල් ප්‍රේරා ඝාතනය සම්බන්ධවද මොහුගේ නම පොලිස් පොතට ගියේය. උඩතලවින්න දස පුද්ගල ඝාතනයේ සැකකරුවකු ලෙසද මේ ලොහාන් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. ඒ ඔහුගේ පියාද සමඟය. මේ ලොහාන් මුලින්ම ජනතා නියෝජිතයකු වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2010 මහ මැතිවරණයේදීය. 

දිගින් දිගටම මහ මැතිවරණ ජයගන්නට සමත් වූ මේ කියන යහපත් පුද්ගලයාට වර්තමාන ආණ්ඩුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයත්් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයත් යන අමාත්‍ය ධුර දෙකක්ම පිරිනමයි. 

මේ රාජ්‍ය අමාත්‍යවරයා මේ සටහන ලියන මොහොත වන විට ඉල්ලා අස්වී තිබෙන්නේ බන්ධනාගාර කටයුතු සම්බන්ධ අමාත්‍ය තනතුරෙන් පමණි. තමා අතින් කිසිදු වරදක් සිදුවී නැති බව කියන ලොහාන් මේ විධියට එක් රාජ්‍ය අමාත්‍ය ධුරයකින් ඉල්ලා අස්වී සිටින්නේ මොන පිස්සුවටද? වරදක් වී නැතිනම් තමාගේ නිර්දෝෂිභාවය ගැන රටට කරුණු කියා තවදුරටත් චෝදනා නඟමින් සිටින පිරිස හා මාධ්‍ය මට්ටු කරන්නට මේ අමාත්‍යවරයාට හොඳටම පුළුවන්කම ඇත. මාධ්‍යවේදියකු මේ සම්බන්ධව ප්‍රශ්න කළ විට ලොහාන් අපූරු උත්තරයක් දෙයි. තමාට මාධ්‍ය මඟින් චෝදනා එල්ල කරන විට ආණ්ඩුව අපහසුතාවට පත්වෙනවා. ඒ නිසා මම බන්ධනාගාරයේ ගින්න නිවන්න ඉල්ලා අස් වුණා. ලොහාන්ට රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබෙන්නේ මහර බන්ධනාගාරයේ ඇති වුණු සිරකරු කැරැල්ලත් සමඟය. ඇත්තටම බන්ධනාගාරය ගිනි ගෙන තිබුණේ එදාය. දැන් ගින්න ඇති වී තිබෙන්නේ බන්ධනාගාරයේ නොව සමස්ත රට තුළය. 

එක පැත්තකින් කොවිඩ් වසංගතයයි. තවත් පැත්තකින් ජිනීවා සමුළුව පැත්තෙන් එල්ල වන මානව හිමිකම් පිළිබඳව චෝදනා කන්දරාවකි. තවත් පැත්තකින් රට අභ්‍යන්තරයේ දැඩි විනිමය හිඟයයි. ළඟ පෙනෙන විසඳුම් නැති ආර්ථික අර්බුදයයි. මේ විධියට රටම ගිනි ඇවිළ තිබෙන මොහොතක ලොහාන් ආණ්ඩුවට නැති ප්‍රශ්න ඇති කරවයි. රටේ ජනාධිපති වෙත ඉල්ලා අස්වීමේ අදහස දැන්වූ විට ජනපතිගෙන් ලැබෙන්නේ මෙහෙම පිළිතුරකි. ඉල්ලා අස්වෙන එක හොඳයි. කොහොමත් මම අස් කරන්න තමයි හිටියේ. ජනපති එහෙම කීවත් ලොහාන් එක් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ළඟ තබාගෙන එකකින් පමණක් ඉල්ලා අස්වෙයි. විපක්ෂය ජනපතිගෙන් ඉල්ලා තිබෙන්නේ මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍ය ධුරයෙනුත් ලොහාන් අස් කරන ලෙසය. ශ්‍රී  ලංකා නීතිඥ සංගමය ද ලොහාන් අපරාධ වරදක් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන නිසා ඔහු තවදුරටත් අමාත්‍ය ධුරයක රැඳී සිටීමට සුදුසු නැති බව කියා ඇත. 

රත්වත්තේ මේ රටේ පිස්සු කෙළින විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සිටියේ ඉතාලියේය. ඔහුද ලොහාන්ට කියා ඇත්තේ සියලු ඇමැතිකම්වලින් ඉල්ලා අස්වන ලෙසය. එහෙත් ලොහාන්ගේ ඉල්ලා අස්වීම භාගෙටය. සිද්ධිය ගැන කරුණු පරීක්‍ෂා කිරීමට කමිටුවක් පත්කොට ඇතත් ආණ්ඩුවේ කමිටු පත් කිරීම ගැන නම් ඕනෑවට වඩා බලාපොරොත්තු තබා ගැනීමට පුළුවන් කමක් නැත. මේ රටේ දේශපාලන ඉතිහාසයේ බොහෝ කමිටුවලින් සිදුවී තිබෙන්නේ ප්‍රශ්න යට ගැහිල්ලය. මේ කමිටුවත් එහෙම එකක් දැයි දැන්ම අපට කියන්නට පුළුවන්කමක් නැත. එහෙම වුණත් යම් සිද්ධියක් ගැන තොරතුරු පරීක්‍ෂණවලදී, අදාළ චූදිතයා තවදුරටත් තනතුරුවල රැඳී සිටිනවා නම් එමඟින් සිද්ධිය පිළිබඳ බලපෑම් කළ නොහැකිදැයි සිතා බැලිය යුතුය. රාජ්‍ය නිලධාරියකු වැරැද්දක් කළොත් අනිවාර්යයෙන්ම මුලින්ම කරන්නේ ඔහු දැරූ තනතුරුවලින් තාවකාලිකව ඉවත් කිරීමය. මේ රාජ්‍ය අමාත්‍ය ධුරය දරන්නෙකි. එහිදී රටේ පොදු නීතිය ඔහුට අදාළ නැද්ද? තවත් කාරණයකි. මේ කියන රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරයට කඩා වැදී යකා නටද්දී ඒ කිසිවක් ගැන බන්ධනාරයේ ඉහළම නිලධාරියා දන්නෙම නැත. අමාත්‍යවරයා එල්ලුම් ගස් බලන්නට යන්නේ ඔහුටත් හොරෙන්ය. මේ සිදුවීම් මාලාවේදී බන්ධනාගාරය භාර නිලධාරීන්ටද ඇඟ බේරා ගන්නට පුළුවන්කමක් නැත. 

මෑතකදීත් බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳ තොරතුරු පරීක්ෂා කරනු පිණිස යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ බවට මාධ්‍ය වාර්තා තිබුණු බව අපට මතකය. 

නිල හා නොනිල මාධ්‍ය සියල්ල මඟින්ම, රාජ්‍ය අමාත්‍ය ලොහාන් දැන් විවේචනයට බඳුන් කොට ඔහුට එරෙහිව චෝදනා රැසක් නඟා තිබේ. ඉකුත් 5 වැනිදා වැලිකඩ බන්ධනාගාරයට ලොහාන් පැමිණ තිබුණේ සිය රැකවලුන් හා මිතුරන් පිරිසක්ද කැටුවය. අමාත්‍යවරයා කොට කලිසමකින් සැරසී බීමත්ව මිතුරන්ට එල්ලුම් ගහ පෙන්වීමට වැලිකඩ සිරගෙදරට ගිහින් නිලධාරීන්ටද තර්ජනය කළ බවට වාර්තා පළ වී තිබිණි. එක් වාර්තාවක දැක් වුණේ ඔහු සුරූපී තරුණ අඟනක්ද කැටුව ගොස් සිටි බවය. මේ පිරිස ගේට්ටුව ළඟට එන්නේ සවස 4.45ට පමණය. සවස 5.00න් පසු සිවිල් ප්‍රජාව බන්ධනාගාරයට ඇතුළු වීම සපුරා තහනම්ය. කොරෝනා වසංගතයද ඒ තහනමට හේතුවකි. පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව මන්ත්‍රිවරුන්ට බන්ධනාගාරයට යෑමට හිමිකම් තිබුණත් කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලික තහනමක්ද පනවා තිබිණි. ලොහාන්ගේ පිස්සු නැටිල්ල සිදු වුණේ මේ කියන සියලු තහංචි ක්‍රියාත්මකව තිබියදීය. 

මට අමාත්‍යවරයා හැටියට ඕනෑම වෙලාවක බන්ධනාගාරයට යන්න පුළුවන්. මං එහෙම ගිය හැම වෙලාවෙම මුලින්ම යන්නේ සිරගෙදර කුස්සියට. ඒ සිරකරුවන්ට කෑම ටික එහෙම හරියට දෙනවාද බලන්න.” මේ මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට ලොහාන් දුන් 

පිළිතුරය. මේ පිළිතුරෙන්ද පෙනී යන්නේ ලොහාන් සිරකරුවන් ගැන පුදුම සෙනෙහසකින් සොයා විමසා බලන කාරුණික දේශපාලනඥයකු බවය. මෙවැනි කෙනෙක් අනුරාධපුර බන්ධනාගාරයට විශේෂ හෙලිකොප්ටරයකින් ගොස් එහි සිටි සිරකරුවන් දණගස්වා පිස්තෝලය ඔළුවට මානා” තොපි පරිස්සමින් හිටපල්ලා ඕනෑවට වඩා දැඟලුවොත් මරා දමනවා” කියා කීවා කියා පිළිගන්නේ කොහොමද? ඔප්පු කරන්නට සීසීටීවී කැමරා දර්ශනත් නැත. තර්ජනය පටිගත කරන්නට සිරකරුවන් ළඟ ජංගම දුරකථනයක්වත් නැත. කරුණු මෙසේ තිබියදී මේ කමිටු බයිලාවලින් ඇති පලේ මොකක්ද? 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පිස්සු නැටිල්ල ගැන කටක් ඇරියේ නැත. 

ඒත් අනුරාධපුර බන්ධනාගාර සිදුවීම ගැන කරුණු සොයා බලන්නට බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කුට පවරා තිබිණි. සිරකරු හිමිකම් සුරැකීමේ කමිටුවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා නියෝග කොට තිබෙන්නේ සිද්ධිය සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙසය. 

ලොහාන් රත්වත්තේගේ කතා වස්තුව හුදී ජන පහන් සංවේගය පිණිස ‘මව්බිම’ ඉදිරිපත් කරන්නේ අගති විරහිතවය. මෙවැනි දේශපාලන නාටක මෙරට දේශපාලන කරළියෙහි යළි ඇස නොගැටෙන්නට නීතිය යුක්තිය ඉටුවනු දකිනු රිසියෙනි. 

3 Responses to “ලොහාන් රත්වත්තේගේ කතා වස්තුව”

  1. Ratanapala Says:

    එකසත් ජාතීන්ගේ සමුළුවේදී ලංකාවේ මානුෂීය අයිතීන් ගැන සාකච්චා කරන අවස්ථාවක සහ ජනාධිපති තුමා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට තියෙන අවස්ථාවේ මෙසේ මුළු රටම බාල්දු කිරීමේ ක්‍රියාවක් සිදු කල මේ ඇමතියා සියලු තනතුරු වලින් අස්කළ යුතුය! රජයේ ඇමතිකම් දරන්නන්ට ඇති වගකීම් මේ තැනැත්තා පහර හැර තියෙනවා. ඔහුව නඩු අසා නිසි දඬුවම් දිය යුතුයි.

    මේ සියල්ල සිදුවන්නේ ඔහු රත්වත්තේ කෙනෙක් නිසා බව පැහැදිලිය. රටේ අවාසනාවකට මෙවැනි අයට තවමත් රටේ කොටසකින් චන්දය ලැබෙනවා! දේශපාලකයෝ බලන්නේ ඔවුන්ගේ පක්ෂයට චන්දය ලබා දෙන මන්ත්‍රී අපේක්ෂකයන්ය. මේ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ ඉතාම අවාසනාවන්ත තැනකය.

  2. aloy Says:

    Why did the most dreaded ‘Sun god’ met with his ‘Nandi Kadal’ at the end?. Because there were clever spin doctors to fool such gullible. Take these write ups with a pinch of salt!.

  3. aloy Says:

    Sorry about typo.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress