බෞද්ධ ජනරජ ප්‍රවාදය – 36 වැනි කොටස- ‍අල්පේච්ඡ ප්‍රවේශය
Posted on September 20th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

බුදුදහම අල්පේච්ඡතාව අගය කරයි. ඒ තුළින් ලද හැකි සතුට සහ සැහැල්ලුව පෙන්වාදෙයි. එහෙයින් ම, බහුභාණ්ඩික බවෙහි වරද ද බුදුදහම තුළින් අවධාරණය කෙරෙයි. මෙය ලෝකෝත්තර අරමුණු සඳහා පමණක් අදාළ කරුණක් නොවේ. අපි අපේ ලෞකික ජීවිත තුළින් ද මෙම ඉගැන්වීමෙහි ප්‍රායෝගිකත්වය අත්දැක ඇත්තෙමු. අල්පේච්ඡතාව යනු සියල්ල අත්හැරීම නොවේ. ධම්මපද අට්ඨකතාවේ එන බහුභාණ්ඩික තෙරුන්ගේ කථා පුවතින් අවධාරණය කරන්නේ එම කරුණයි.

සමාජ – ආර්ථික ප්‍රගමනය සඳහා ද අල්පේච්ඡතාව අදාළ වෙයි. බහුභාණ්ඩික පුරුදු විසින් ආදායම ඉක්ම වූ වියදම් රටාවකට මිනිසුන් යොමු කෙරෙයි. මෙම වරද නිසා පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් ණය වෙන මිනිසකු නිර්මාණය වෙයි. ආයෝජන කාර්යයක් වෙනුවෙන් ණයවීමත් පරිභෝජනය සඳහා ණයවීමත් සමාන නැත. ආයෝජනය සඳහා ලබාගන්නා ණය ඔස්සේ ආදායම් ඉපැදෙයි. එබැවින්, ලබාගත් ණය ආපසු ගෙවීම පිළිබඳ ගැටලුවක් ඇති නොවෙයි. එනමුදු පරිභෝජන ණය එසේ නොවේ. එය හුදෙක් පිරිවැයක් පමණක් ම වෙයි.

බහුභාණ්ඩික බව නිසා මිනිස් ශ්‍රමයෙහි මිල ද ඉහළ යයි. වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා ඉහළ වැටුපක් ලබාගත යුතු වෙයි. ශ්‍රමය වෙනුවෙන් ඉහළ වැටුප් ගෙවීමට සිදුවන කල නිෂ්පාදන පිරිවැය ඉහළ යයි. නිෂ්පාදන මිල වැඩි භාණ්ඩවල‍ට වෙළෙඳපොළෙහි තරග කළ නො හැකි ය. එහෙයින් ම, එම නිෂ්පාදනය ඔස්සේ ලබාගත හැකි ආදායම සහ ලාභය අඩුවෙයි.

ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ මිල දී ගන්නා විට ඒවා සඳහා අමතර ඉල්ලුමක් ද නිර්මාණය වෙයි. අධික ඉල්ලුම විසින් භාණ්ඩ මිල ඉහළ දමන බැව් අපි දනිමු. මෙය එම භාණ්ඩ සැබැවින් ම අවශ්‍ය, එනමුත් ඒ වෙනුවෙන් ඉහළ මුදලක් වැය කළ නොහැකි අය වෙත එල්ලකරන පීඩාවකි. එහෙයින්, අන්‍යයන් පීඩාවට පත්කිරීමේ පාපයක් ද මේ තුළින් නිර්මාණය වන බව පැහැදිළි ය. බහුභාණ්ඩික බවෙහි වරද දැන දැන ම මෙය සිදුකිරීම නිසා අදාළ පාපකර්මයට අදාළ චේතනාව ද ඒ තුළ පවතින බව අපි වටහාගත යුතු වෙමු.

අවශ්‍යතා ඉක්මවා මිල දී ගන්නා භාණ්ඩ නිසා සම්පත් නාස්තියක් ද සිදුවෙයි. මෙම සියලු භාණ්ඩ නිෂ්පාදනය කෙරෙනුයේ අගත – අනගත (පැමිණි – නොපැමිණි) සැම දෙනාට ම අයිති සීමිත සම්පත්වලිනි. මුදල් තිබුණු පමණින් හෝ ප්‍රමාණය ඉක්ම වූ ආශාවන් සන්තර්පණයට ඇති අභිලාසය නිසා හෝ සැමට හිමි සම්පත් මෙ ලෙසින් නාස්තිකිරීම බලවත් වරදකි.

මෙම නාස්තිය විවිධාකාරයෙන් අපට හඳුනාගත හැකි ය. නිවසකට අවශ්‍ය පුටු හයක් නම් ඒ වෙනුවට පුටු විස්සක් තිහක් මිල දී ගැනීම නාස්තියකි. එක් පසෙකින් ඒවා මිල දී ගැනීම වෙනුවෙන් වැයකරන මුදල් නාස්තිවෙයි. තවත් පසෙකින් ඒවා තැන්පත්කිරීමේ ඉඩ නාස්තිවෙයි. නිවසක ඇති වැදගත් ම අංගය වනු‍යේ එ් තුළ පවත්නා හිස් බව ය. කිරිගරුඬින් බිත්ති බැඳ රනින් සෑදූ උළු සෙවිලි කළ ද කාමර තුළ පවතින හිස් බව (ඉඩ) තරම් වටිනා දෙයක් තවත් නැත. ඒ හිස් බව නැතිනම් එ ලෙසින් ඉදිකරන නිවසකින් ලබාගත හැකි ප්‍රයෝජනයක් නොමැත. බහුභාණ්ඩික බව විසින් මෙම හිස් බව අඩුකරයි. ප්‍රමාණය ඉක්මවා මිල දී ගත් මෙම භාණ්ඩ පිරිසිදුකිරීමට සහ නඩත්තුකිරීමට අමතර කාලයක් සහ ශ්‍රමයක් ද වැය කළ යුතු වෙයි. මෙය ද බලවත් නාස්තියකි.

ප්‍රමාණය ඉක්මවා ඉදිකරන නිවාස තුළින් ද විශාල සම්පත් නාස්තියක් සිදුවෙයි. එයට අමතරව, එවැනි නිවාස බලාගැනීම, පිරිසිදුකිරීම සහ නඩත්තුකිරීම ද වෙහෙසකර කාර්යයකි. ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ මුදල් වැයකිරීමට සිදුවෙයි. මුදල් කෙතරම් තිබුණ ද කාලය සහ ශ්‍රමය සීමාසහිත ය. සේවකයන් යොදවා මෙම කටයුතු කළ හැකි වුව ද එම පුද්ගලයන් පාලනය තමන් විසින් ම සිදුකළ යුතුවෙයි. එහෙයින් මෙවැනි ඉදිකිරීම්වල ප්‍රශස්ත ප්‍රමාණය තීරණය කළ යුත්තේ අදාළ සියලු සාධක සැළකිල්ලට ගැනීමෙනි.

යම් යම් උත්සව අවස්ථා මුල් කරගෙන ඇති කරගන්නා බහුභාණ්ඩික පුරුදු ද වෙයි. මංගල සහ අවමංගල උත්සවවල දී මෙම හැසිරීම් ප්‍රකට වෙයි. මෙවැනි උත්සව වෙනුවෙන් විශාල මුදලක්, කාලයක් සහ ශ්‍රමයක් වැයකිරීම සමාජ – ආර්ථික ප්‍රගමනයට බාධාවකි. යම් අයකු තම ජීවිත කාලය තුළ වෙහෙස වී රැස්කරගත් ධනය මෙවැනි උත්සවයක් වෙනුවෙන් වැයකිරීමෙන් තම අනාගතය අවදානමකට ඇද දමයි. මෙවැනි උත්සවයක් වෙනුවෙන් ණයවන්නේ නම් හෝ තමන් සතු දේපලක් විකුණන්නේ නම් හෝ එය ද අඥානකමකි.

මෙම ගැටලු විසඳගත හැකිවන්නේ අල්පේච්ඡ බව, සරල බව සහ චාම් බව පිළිබඳව පවතින සංස්කෘතික ඇගැයීම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමෙනි. අධ්‍යාපනය, ජනමාධ්‍යය, කලාව සහ සාහිත්‍යය මේ සඳහා යොදාගත හැකි ය. ප්‍රශස්ත අයුරින් සම්පත් භාවිතයට ගන්නා සමාජයක් නිර්මාණයකිරීම බෞද්ධ ජනරජයේ වගකීමකි.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress