ධර්මපාලතුමා ලොවට දුන් දායාදය
Posted on September 21st, 2021

චන්ද්‍රසිරි විජයවික්‍රම,   LL.B., Ph.D.

(Source: The Sinhala Bauddhaya, September 20, 2021, Anagarika Dharmapala 157 birth commemoration issue)

ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා //
පිටරට සිරිතට දිව දික් කරණා- අප සිංහල කළු සුද්දා…
ලක්ෂ්මී බායි

මිනිස් පංචස්කන්ධ හා ලෝක ඉතිහාසය

අනාගාරික ධර්මපාලතුමාට ලංකා ඉතිහාසයේ හිමිවන අද්විතීය ස්ථානය අපි දනිමු. එසේ නමුත් ලංකා කොලනියේ අභිවෘධිය සඳහා නොයෙක් හිරිහැර භාධක මැද තනියම එතුමා ඉටුකල භූමිකාව ලෝක ඉතිහාසයේ සිදුවූ සුවිශේෂ  සංසිද්ධියක්  නොවේද යන කාරණය ඇමෙරිකන් මහාචාර්යවරුන් දෙන්නෙක් විසින් 2012 දී ලියන ලද, ‘වයි නේෂන්ස් ෆේල්’ යන පොත, (Why Nations Fail by Daron Acemoglu & James Robinson) කියවන විට හෙලිවේ.. මෙම පොත ලිවීමට අවුරුදු 15 ක් ගතවූවා යයි ඔවුන් පවසයි.  නොබෙල් ත්‍යාග ලාභීන් පස් දෙනෙක්ම මෙම පොත වර්ණනා කර තිබේ.

ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිණිය වීම නිසා සිරිමා බණ්ඩාරනායක මැතිණිය 1960 ජූලි මස ලෝක ඉතිහාසයට එක්විය. වයස අවුරුදු දහයේදී සිය පියා සමඟ 1873 දී සිදුවූ පානදුරා මහාවාදය බලන්නට ගිය ඩේවිඩ් හේවාවිතාරණගේ දේශපාලන  විද්‍යාත්මක කතාන්තරය, ඔහු විසින් බුද්ධගයාව බේරාගෙන බුදුදහම ලොවට යාමේ භූමිකාවට වඩා බෙහෙවින් වෙනස්ය.

ඉහත සඳහන් පොතෙන් සළකා බලන්නේ රටවල් (countries) අසමත් වීම නොව ජාතීන් (nations) අසමත් විම ගැනය.  එහෙත් බොහෝවිට එකම බිමක, එක ජාතියකට/ජනවර්ගයකට වඩා සිටින බව  අමතක කල නොහැක්කකි (උදාහරණයක් ලෙස සිංහලයින්ගේ රට සිංහලේ [සිලෝන්] හා 1972 දී බහුජනවාර්ගික කල ශ්‍රී ලංකාව). මෙම පොත ගැන, ඉතිහාසයේ අවසානය ( The End of History, Francis Fukuyama), යනුවෙන් විවාදාත්මක පොතක් ලියූ ෆැන්සිස් ෆුකුයාමා කියන්නේ, එමඟින් ජාතීන් පොහොසත් වීමට හා දුප්පත් වීමට හේතුව, භූගෝල විද්‍යාව, වසංගත හෝ සංස්කෘතිය නොව, සමාජ සංස්ථා හා දේශපාලනය  (institutions & politics) යන කරුණ එලිකර දෙන බවය. මෙම වයි නේෂන්ස් ෆේල් පොතේ ලංකාව හෝ බුද්ධාගම හෝ ධර්මපාලතුමෙක් හෝ ගැන සඳහනක් නැත. කතුවරුන් දෙන්නා ලෝකයේ රටවල් රාශියකින්ම උදාහරණ දක්වමින් ඔවුන්ගේ තියරිය ඉදිරිපත් කලත් ලංකාව, රටේ ආයතන හා දේශපාලනය අමතක කිරීම ඔවුන්ගේ තියරියට, තර්කයට අභියෝගයක් යයි සිතේ. එයට හේතුව පොතේ පේලි අතරින් ලෝකයේ ධර්මපාල දේශපාලන භූමිකාවක් අහුලාගත, හඳුනාගත හැකිවීමය. යම් රටක මිනිසුන්ට චන්ද බලයක් තිබෙනවා නම් ඒ රටට දුකෙන්  ගැලවීමට මඟක් පෑදෙන්නට ඉඩ ඇත යන ඔවුන්ගේ තියොරිය 1931 සර්වජන චන්ද බලය ලැබීමෙන් පසු ලංකාවේදී නම් සිදු නොවීය. 1948  න් පසු සිදුවූයේ බාගෙන කනවා වෙනුවට ඉහගෙන කෑමය. පක්ෂ දේශපාලකයින් විසින් භෞතික හා අභෞතික  මුළු රටම සූරාකෑමය (tragedy of the commons).

අනිත් කාරණය නම් ඔවුන් කියන අන්දමට, වෙනිසිය හා රෝමය පරිහානී මඟට වැටුනේ පිලිවෙලින්, යම් ආත්මාර්ථකාමි කුඩා පිරිස් හෝ අධිරාජයින් විසින් ඒවායේ තිබු ජනයා දේශපාලනයට සහභාගිවීමේ අවස්ථා අහිමි කිරීම නිසා නම්, ජනයා ගම් මට්ටමින්ම දේශපාලනයට සහභාගීවිම හා සම්මුති දේශපාලනය, රජකාලයේ සිටම ලංකාවේ දිගටම පැවති බවය. සංඝයාගේ මැදිහත්ව රජුන් තැනීම හෝ දමනය කිරීම මේ දිවයිනේ සිදුවූවේ 1215 එංගලන්ත මැග්නා කාටා, 1649 දී චාල්ස් රජුගේ හිස ගසා දැමීමට බොහෝ කලකට පෙර සිටය. ඔවුන් දෙදෙනා විසින් 2019 දී ලියන ලද, The narrow corridor: states, societies, and the fate of liberty යන පොතේද තියොරිය වන්නේ යම් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා ශක්තිමත් රාජ්‍යයක් හා ශක්තිමත් සමාජයක් යන සංස්ථා දෙකමත්, ඒ දෙක අතර  සමතුලිතතාවයකුත් තිබිය යුතු යනුය. එංගලන්තයේ මෙය ක්‍රමයෙන් වර්ධනය වුනත්, ඇමෙරිකාවේදී ට්‍රම්ප් ජනාධිපති යටතේ එය අවදානමකට ලක්වූවා යයි ඔවුන් අනතුරු අඟවයි. 

රටවල් වර්ග කරණ මිණුම්දඬු

අද ලෝකයේ ධනවත්, බලවත්, රටවල් හා දුගී, අසමත් හා අසමත් වෙමින් පවතින (failed and failing) රටවල් වශයෙන් බෙදීමේදී  බටහිර අය යොදාගන්නා නිර්ණායක අතර මිනිසුන්ගේ සතුට, ශුභ සිද්ධිය වැනි භූතාන් රටේ ප්‍රමුඛතාවය දෙන මිනුම්දඬු  (Happiness Index) විරලය. දැන් දැන් ඔවුන් ප්‍රමුඛතාවය දෙන්නේ හියුමන් රයිට්ස්, රිලිජස් ෆ්‍රීඩම්, සමරිසි අයිතිය, වැනි ඉන්ඩෙක්ස් වලටය. එහෙත් යුරෝපීය යටත් විජිතවාදී සූරාකෑම යටතේ උවමනාවෙන්ම දුප්පත් කරවන ලද රටවල්, අරගලයකින්, අර්ධ සටනකින් හෝ ලංකාවේදී මෙන් පෙත්සම් ගසා සාමයෙන් නිදහස ලබාගත් පසුව, පාලන බලයට සේන්දු වන කළුසුද්දන්ගේ නොමනා පාලනය යටතේ ප්‍රපාතයටම තල්ලුවී යෑම ගැන ඔවුන් නිහඬය.

තවද ඇමෙරිකන්, ඉන්දියන්, රුසියන්, චීන, පකිස්තාන්, ඊශ්‍රායල්, බ්‍රිතාන්‍ය, අරාබි යනාදී වශයෙන් චරපුරුෂ සේවාවල් රටවල් තුලට තානාපති නිර්මුක්තිය ඇතුව හා අයථාලෙස රිංගා නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර, දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන විසින් නිලධාරීන්ද හවුල් කරගෙන සියුම්ලෙස රටවල් බකල් කිරීම හැමෝම දන්නා රහසකි. ජෝන් පර්කින්ස්ගේ පොත මෙම ක්‍රියාදාම දෙස එකැස් කැස්බෑවෙක් විය සිඳුරෙන් අහස බැලුවා වැනි එක් උදාහරණයකි. (Confessions of an Economic Hit Man by John Perkins, 2004).

කොසොල් රජතුමා දුටු හීන දාසැය

ලංකාවේ නමවත් සඳහන් නොවන පොතක, කොසොල් රජතුමා දුටු සීන දාසැය සඳහන් විය නොහැකිය. එසේ නමුත් මෙම මහාචාරීන් දෙන්නාගේ තියොරි එක මහාසුපින ජාතකයේ ඇති විග්‍රහයමය. බයිබලයේ ඇති බොහෝ අනාගත වාක්‍ය මෙන් නොව මෙම හීන දාසැය නූතන දෙශපාලන විද්‍යා ප්‍රකාශයක් වැනිය. කෙටියෙන් සළකා බැලුවොත් ඔවුන් දෙන්නාගේ තියොරිය මෙසේය: යම් ජතියක තිබෙන්නේ යම් සුළු කොටසකට ඒ රටේ (ජාතියේ ) සම්පත් සූරාකෑම සඳහා උපකාරවන එකිනෙක හා බැඳූන දේශපාලනික හා ආර්ථික ආයතන නම් ඒ ජාතිය දියුණු වන්නේ නැත (extractive political & economic institutions). එවැනි ක්‍රමයක් තුල බලය හා ධනය ග්‍රහණය කරගෙන සිටින පිරිස රාජ්‍යය (state) පාලනය කරණ නිසා රටේ අසහනය, අරගල හා සිවිල් යුද්ධ (unrest, strife, civil war) වලට මඟ පැදේ. තවද එවැනි ආර්ථික ආයතන, මිනිසුන්ට ඉතිරි කිරීමට, ආයෝජනය කිරීමට හෝ නව නිපැයුම් නිර්මාණය කිරීමට හේතු උපකාරවන දිරිගැන්වීම් සිදුකරන්නේ නැත (does not create incentives needed for people to save, invest & innovative). නවීකරණය, දියුණුව සඳහා අත්‍යවශ්‍යම වන පවතින ක්‍රමය අත්හැරදැමීමට හෝ වෙනස්කිරීමට (creative destruction), ධනය හා බලය බදාගෙන ඉන්නා පිරිස විසින් ඉඩක් නොදෙන්නේ ඉන් ඔවුන්ට සිදුවෙන අවාසි නිසාය අළුත් අළුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී, මුනිදාස කුමාරතුංග). මෙවැනි ක්‍රමයක් යටතේ ආර්ථික වර්ධනයක් ඇතිවියහැකි වුවත් එය  තාවකාලිකය, දිගටම නොපැවතී කඩා වැටේ (not sustainable). ඒ පිරිස අතරම අභ්‍යන්තර ගැටුම් (infighting) හටගනී.

මෙම ක්‍රමයට වෙනස්ව රට ජාතිය ගැන සිතන, (ලෝභ-ද්වේශ-මෝහයෙන් අඩු?) අය සිටින රටක තිබෙන්නේ බලය සමාජයේ  හැමදෙනාටම විසිරීයන හා බලය අසීමිත ලෙස යමෙකුට හෝ යම් පිරිසකට භවිතාකල නොහැකි විවෘත දේශපාලන ආයතනය (inclusive & pluralistic). මධ්‍යගත (කේන්ද්‍රීය ) හා ශක්තිමත්/බලවත් රාජ්‍යයක් තිබීමද මෙහිදී වැදගත්ය. සමාජයේ එක කොටසක් සමාජයේ සෙසු කොටස් සූරා නොකන ක්‍රමයක් යටතේ සමෘධිය ලඟාකර දෙන එන්ජින් වන්නේ නිදහස් වෙළඳාම, තාක්ෂණය හා අධ්‍යාපනයයි. කොටසක් විසින් සම්පත් සූරාකෑමේ ක්‍රමය යටතේ (extractive) දුෂ්ඨ චක්‍රයකුත් (vicious circle),  සමාජයේ සැමට අවස්ථා ලැබෙන විවෘත ක්‍රමයක් යටතේ (inclusive) පාරිශුද්ධ/ධර්මිෂ්ට (virtuous circle) චක්‍රයකුත් ක්‍රියාත්මක වන්නේය. ඒකාධිපති පාලකයින්  වෙනුවට දශරාජ ධර්මය අනුගමනය කලයුතුය. මෙවැනි inclusive වෙනසක් නොවුණොත්, දැනට ආර්ථික වර්ධනයක් පෙන්වන, එහෙත් extractive ක්‍රමයක සිටින, චීනයටද, රුසියාවට වූ දේම සිදුවිය හැකියයි පොතේ සඳහන්වේ.

බුදු දහම හා කොරෝනා පාඩම

අතීතයේදී මෙවැනි හෝ ඊට කිට්ටු ‘අවපාලන’ වාතාවරණයක් තිබූ රටවල් වන එංගලන්තය හා ඇමෙරිකාව (USA) ඉන් ගැලවු ආකාරය  පොතේ පෙන්වා දෙයි. යටහ් විජිතවාදය යටතේ සූරාකෑමට ලක්වු ලංකා කොලනිය ගොඩගන්නට බෞද්ධ දර්ශණය අනුසාරයෙන් ධර්මපාලතුමා පෙන්වාදුන් මාර්ගය ඒ කාලයටත් (1920-1930), මෙම පොත ලියූ මේ කාලයටත් (2000-2021) හොඳටම වලංගුය. මෙම පොතට, ‘බුදුදහම හා ලංකා කොලනිය,’ යනුවෙන් පරිච්ජේදයක් ඇතුලත් කල යුතුව තිබුණේ ඒ නිසාය.

අනාගතයේ ලෝකයේ ඉතිරිවෙන්නේ බෞද්ධ දර්ශනය පමණකැයි අයින්ස්ටයින් කිව්වා කියා මා අසා ඇත. ඉන්දියා ජනාධිපතිධූර දැරූ අබ්දූල් කලාම් හා ප්‍රතිභා පටිල් මෙන්ම, ටී බුටික් එකක වැඩකර ජීවිතය අරඹා ඉන්දියාවේ අගමැතිවූ නරේන්ද්‍ර මෝඩිද කිව්වේ ලෝකයේ ප්‍රශ්ණ බෞද්ධ ප්‍රතිපත්ති මඟින් විසඳාගත හැකිය යන්නය. මේ තුන් දෙනාම උපතින් බෞද්ධ අය නොවීය. සිය තරුණ අවධිය හිපියෙකු ලෙස ගතකර, දලයිලාමාගේ ඇසුරට වැටී  බුද්ධ දර්ශනය පිළිඹද ඇමෙරිකන් මහාචාර්යවරයෙක්වූ රොබට් තර්මන්, Inner Revolution: Life, Liberty and the Pursuit of Real Happiness (1998) යන පොතේ ඇමෙරිකාවේ ප්‍රශ්ණ වලට බෞද්ධ  විසඳුම් පෙන්වාදී ඇත.

අනාගාරික ධර්මපාල-කළුකොඳයාවේ මොඩලය

සතිපතා නිකුත්වූ සිංහල බෞද්ධයා පුවත්පත කියවා රට ජාතිය ගොඩ නැඟීමේ ධර්මපාල මඟට අවතීර්ණවූ කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් 1930-40 දශකවලදී ඉතාමත් සාර්ථක ලෙස ධර්මපාල මොඩලය අපරාධ මර්දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ  ජාතික ව්‍යාපාරය වශයෙන් රටපුරා ව්‍යාප්තකර, රට සශ්‍රීකකර, රටට සාමය හා සෞභාග්‍යය ගෙන දුන්නේය. විල්මට් ඒ පෙරේරා මහතා විසින් හොරණ ප්‍රදේශයේ මෙය අනුගමණය කළේය. ඒ කාලයේදී  මාක්ස්වාදීන් කලේ ලොරි වලින් මැලේරියා ප්‍රදේශ වලට බඩු ගෙනයාමය.  පක්ෂ දේශපාලකයින්ගෙන් තොර ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් වශයෙන් මෙම සංකල්පයම 2004-2010 කාලයේදී ගැමිදිරිය යන නමින් ක්‍රියාත්මකවූ බව අද බොහෝ දෙනා දන්නේ නැත. ගම ඉස්සරහට දමාගෙන නොයෙක් නම් වලින් පක්ෂ දේශපාලකයින් විසින් නැටූ හා නටන නාඩගම් මීට වෙනස් ය.

ලංකාව හා ලෝකය

යටත් විජිතවාදය රටවල් සූරාකෑ ක්‍රමයක් (extractive) බව කතුවරු දෙන්නා පවසයි. ඉන් ගැලවීමට තැත්කරණ රටක් ලෙස 1966 දී නිදහස ලැබූ බොට්ස්වානා රාජ්‍යය හඳුන්වාදෙන ඔවුන්, 1895 දී ලන්ඩන් ගොස් සෙසිල් රෝඩ්ස්ගේ ආක්‍රමණයට විරුද්ධව බ්‍රිතාන්‍ය කොලොනියල් ලේකම් ජෝසප් චැම්බර්ලේන් හමුවී සාම ගිවිසුමක් අත්සන් කල ගෝත්‍ර නායකයින් තුන් දෙනෙකු ගැන සඳහන් කරයි. තම ප්‍රදේශය මැදින් රේල් පාරක් දැමීමට ඉඩදී රෝඩ්ස්ගෙන් රට බේරාගත හැකිවූවායයි පැවසේ. මෙවැනි දෙයක් 1815 කන්ද උඩරට ගිවිසුම යටතේ සිදුවුනේ නැත. . 

1346 යුරෝපයේ කළු වසංගතය (Black Death), එංගලන්තයේ 1215 මැග්නා කාටා, 1642-51 සිවිල් යුද්ධය, 1688 අනගි (glorious) විප්ලවය වැනි සිදුවීම්, යම් ජාතියක අනාගත ඉරණමට බලපාන, දෙපැත්ත කැපෙන කඩු හා සමාන තීරණාත්මක අවස්ථා (critical junctures) වන බවත් එංගලන්තය සෙසු යුරෝපා රටවලින් වෙනස්ව වෙනස් මඟක ගියේ ඒ නිසා බවත්. සඳහන් කරණ කතුවරු දෙන්නා, මෙසේ වන්නේ යම් නොපෙනෙන බලවේගයක් නිසාද යන ප්‍රශ්ණය ගැන නිහඬය. සමහර ඇමෙරිකන් ජනාධිපතිවරු යුද්ධවලට ගියේ (ටෙඩී රුසවෙල්ට් පිලිපීනය අල්ලා ගැනීම හා ජොර්ජ් බුෂ් ඉරාකයට පහර දීම) ඒ දෙවියන් ඔවුන්ට පෙන්වාදුන් මඟ යයි පවසමිනි.

යටත් විජිතවාදය යටතේ ලෝකයේ රටවල්  සූරාකෑමට ලක්වූ බව පොතේ දක්වන්නේ කුළුබඩු හා මිනිස් සමූල ඝාතන (spice & genocide) යන මාතෘකාව යටතේය. වාෂ්ප එන්ජිම නිපදවූ ජේම්ස් වොට් 1775 දී තම පියාට යැවූ ලිපියක යටත් විජිත හඳුන්වන්නේ වතු ලෙසය (plantations). සුද්දන් විසින් ඇතිකල දියුණු/නූතන හා නොදියුණු/චිරානුගත දෙබිඩි  ආර්ථිකය (dual economy) ගැන සඳහන් කලත් ඉන් එහාට  ගොස් ඒ  රටවල්  ආර්ථික හා දේශපාලනික වශයෙන් අඝාධයට (අසමත්වීමට ) වැටීමට ප්‍රධානම හේතුවක් ලෙස ලෝකයේ දැනට ක්‍රියාත්මකවන නූතන යටත් විජිතවාදය අමතකකර හෝ නොසළකා හැරීමට මේ පොතේ තියොරිය තීරණය කර ඇති බව පෙනේ. ලංකාව හෝ සිංහල ජාතිය ගැන ඔවුන් නිහඬ මේ නිසාම විය යුතුය. එවන් පසුබිමක් යටතේ 1920-30 කාලයේවත්, දැන් වත්, සුද්දන්ට හා කළුසුද්දන්ට ධර්මපාල භූමිකාව අරහංය. ධර්මපාල භූමිකාව ලෝක නිදසුණක් වන්නේ මේ හේතුව නිසාය. සමාජ ආයතන හා දේශපාලනය රටක දුකට හෝ සැපට හේතුව නම්, බුදු දහම අනුසාරයෙන් ධර්මපාලතුමා ගොඩනැඟූ සමාජ-දේශපාලනය බකල් වූයේ කෙසේද? ලංකාවේ මෙම ඉතිහාසය ගැන පරිච්ජේදයක් වයි නේෂන්ස් ෆේල් යන පොතේ නැත්තේ මන්ද?

පන්සල හා පාලක කල්ලිය

ලංකාවේ ඉතිහාසය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හා නිදහස් යුගය වශයෙන් බෙදා විමසනතාක් ලෝකයේ යටත් විජිත බාස්කට් එකට ලංකාව ඔබාදැමීම සරල තීරණයකි. ලංකාවේ වෙනස ඉස්මතුවන්නේ රටේ ඉතිහාසය පන්සල හා සුදු-කළුසුදු පාලක පන්තිය අතර ඇතිවූ නිරන්තර ගැටුමක් ලෙස සළකා බලන විටය. මෙවැනි ප්‍රවේශයකදී මෙම ගැටුමේ එකිනෙක මත වැටෙන/බැඳුණ අවධි හඳුනාගත හැකිය. උදාහරණයක් වශයෙන් 1798 -1873 බුද්ධාගම කියන්නේ බොරුවක් යයි පැවසුණු කාලයය. 1840 සිට ඇරඹුනේ බුද්ධාගම පණ අදිමින් සිටි අවධියය. ඕල්කොට්-අනාගාරික ධර්මපාල යුගය 1880-1915 දක්වාම දිවයයි. 1931-48 ඩොනමෝර් බෞද්ධයින්ගේ කාලය, රටට කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්ගේ සේවය ලැබුණු අවස්ථාවය. සෝම හාමුදුරුවන්ගේ භූමිකාව (2000-03), කඹ වැනි පිරිත් නූල් බැඳීම ඇරඹුණ කාලය (2004-10), බොදු බල සේනාව (2012), අස්ගිරි ප්‍රකාශනය (2017 ජූනි 20) වශයෙන් මෙවැනි අවධි 12 ක් හඳුනාගත් ලිපියක් ලංකාවෙබ් වෙබ් අඩවියේ පලකර ඇත.

මෙම ඉතිහාසයේදී එක් එක් කාලවල ඊට මූලිකවූ හාමුදුරු නම්ක් හෝ කීප නමක් සිටියේය. ඔවුන් ඉෂ්ට කලේ ජාතියේ මුර දේවතාවුන් වශයෙන් බුද්ධාගම ලංකාවට ගෙනා කාලයේ සිට භාරවුණ වගකීමය. මෙය පෝප් විසින් යුරෝපයේ රජකෙනෙක් ලෙස කල හැසිරීමට වෙනස්ය. 1799 නෝත් ආණ්ඩුකාරයාගේ සිට 1948 ඩි. එස්. සේනානායක ප්‍රථම අගමැති හා ඉන් පසුවද මෙම සංකල්පය සුද්දන් හා කළුසුද්දන් පටලවා ගත්තේය. නෝත් එය අල්ලාගත්තේ ගම හා පන්සල අතර ඇති බැඳීම (ගහට පොත්ත වැනි ) නැතිකල යුතුය වශයෙනි. ඩී. එස්ලාට අවශ්‍යවූයේ පොලිටිකල් මන්ක්ස්ලා නිහඬ කරවීමය (1946 විද්‍යාලංකාර ප්‍රකාශණය, භික්ෂුවකගේ උරුමය).

හීනමානය රිංගවීම

යටත් විජිත වාදය ලංකාවේ ඇරඹෙන්නේ කඩුව හා බයිබලය රැගෙන පෘතුගීසින් ඒමත් සමඟය. ඉංග්‍රීසින් විසින් බෝතලය (අරක්කු රේන්ද) ඊට එක් කලේය. ගමේ කුලභේද මට්ටමේ සිටම වැසියා බෙදා පාලනය කිරීම (divide & rule) තව උපායක් විය. යාපනේ ක්‍රිස්තියානි පල්ලිවල කුලහීන යයි සළකන ජනයා ඉඳගත්තේ බිම මිස පුටුවල හෝ බංකුවල නොවේ. එහෙත් මේ සියල්ලටම වඩා සියුම් විෂබීජයක්, විෂඝෝර/තිත්ත කෂායක් වූයේ යටත් වැසියාගේ මනසට හීනමානය කාවැද්දීමය. ඉංග්‍රීසි පාලකයින්ගේ විදියට සිතන, අඳින, කන බොන, හැසිරෙන. හිනාවෙන කළු සුද්දන් පිරිසක් රටක් තුල බෝ කිරීම අරභයා මැකෝලි සාමි විසින් 1835 දී ඉන්දියාවට අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා දෙන ලදී. ලංකා කොලනියේ 1812 වනවිටත් ක්‍රිස්තියානි මිෂනාරි පාසැල් යාපනයේ හා මඩකලපුවේ ආරම්භකර තිබුණි. 1832 දී කෝල්බෲක් සාමි විසින් නිලවශයෙන් මේ ක්‍රමය අනුමත කරණලදී. තමන්ට ශීත ඍතුවේදී නොමැරී සිටීමට උදව්කල ඇමෙරිකන් රතු ඉන්දියානුවන්ට වසූරිය විෂබීජ සහිත බ්ලැන්කට් බෙදාදීම වැනිදේ සිදු නොවුනත්, සිංහල බෞද්ධයා මර්දනය කිරීම ඉංග්‍රීසි සුද්දාගේ කැමැත්ත විය. 1818, 1848 දී පමණක් නොව 1915 දී පවා එය සිදුවිය. දෙමළ හෝ මුස්ලිම් ජනයා විදේශිකයින් හා සටන් කලේ නැත. ඉන්දියාව බෙදන්නට මුල සිටම ක්‍රියාකලත්,  ලංකාවේදී සුද්දා බැලුවේ වන්නියේ ද්‍රවිඩ/මලබාර් ජනයා පදිංචිකරවීමේ උත්සාහයේ සිටම සිංහල ‘බලය,’ ශක්තිය හා ආත්ම විස්වාසය බංග කිරීමය.

සිංහල, දෙමළ, මුස්ලිම් ජනකොටස් විරසක කරවීම ආරම්භකලේ 1832 සිටය. මොවුන් අතරින් බෝකරගත් කළු සුද්දන් එකිනෙකා කුලල් කා ගත්තේය. විශේෂයෙන් මුස්ලිම් නායකයින් ශාරියා රාජ්‍යයක් කරා යෑමේ අඩිතාලම් 1915 ට පෙර සිටම ශුක්ෂම ලෙස දමමින් සිට ඇති බව මේ වනවිට එලිදරව්වී ඇත. සුද්දන් විසින් දුන් ජාතිවාදී බෙදීම නමැති ලණුව සිංහල  කළුසුද්දන් විසින් ගිල ගෙන අන්තිමේදී එය කොටිවලිගයක්ම විය.  1910 පමණ සිට කරලියට ආ බොහෝවිට ක්‍රිස්තියානීන්වූ සිංහල නායකයින් බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාවක් නොදත් අය පමණක් නොව පන්සල අමතක කල අයද විය. 1880 දී ඕල්කොට් ආගමනයෙන් පසු පුදුමාකාරයට පන්සල් පිළිකන්නට තල්ලුවී ගියේය. ඕල්කොට් බෞද්ධයින් ඉංග්‍රීසි කතාකරණ අතරමංවූ පිරිසක් විය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට හා ධර්මපාල තරුණයාට ඕල්කොට් ක්‍රමයේ වරද වටහා ගන්නට වැඩිකාලයක් ගියේ නැත.

ආර්ථික වශයෙන් සුද්දන් කලේ රටේ සම්පත් සූරා කෑමය. බොරු නීති පනවා ඉඩම් කොල්ලකා ගෙන කෝපි, තේ, රබර්, පොල්, කුරුඳු යනාදිය වවා නිර්යාත කර, ආහාරද්‍රව්‍ය හා පාරිභෝගික භාණ්ඩ සියල්ල ආනයනය කලේය. ඉංග්‍රීසීන් වෙළඳ ජාතියකි. මෙම භාණ්ඩ වරායට ගෙන ඒම සඳහා රේල් පාරවල් හා මාර්ග පද්ධතියක් දමා ගත්තේය. මිනිරන් හෑරුවත් පැන්සලක්වත් සැදුවේ නැත. දෙවන ලෝක  යුද සමයේ මට්ටක්කුලියේ හම්පදම් කිරීම වැනි යම් කර්මාන්ත කීපයක් කොළඹ අසල ආරම්භකලේ රජයේ දෙපාර්තමේන්තු ලෙසය. ගැමියන්ගේ ගොවිතැන් නොසලකා හැරියේය. මෙම ක්‍රියාවලට හවුල්වී ඉන් ධනවත්වූ කළුසුද්දන් පිරිස අතරින් බොහෝ දෙනා ඇමෙරිකාවේ වහලුන් හිමි වතුකාරයින් මෙන්, ළමාතැනී දැන හෝ නොදැන, මිනි අන්තඃපුරද තබා ගත්තේය.

සංඝ සංස්ථාව අඩපණ කිරීමට සුද්දන් විසින් කලදේ හා නොකළදේ බොහෝය. බුද්ධාගම බොරුවක් යන ව්‍යාපාරයට රහසින් අනුබල දුන්නාට අමතරව, මෙන්ම පන්සල් සංවිධානය, විනය පිරිහීමට ඔවුන්ගේ නීති හේතුවූ ආකාරය ප්‍රින්ස් ගුණසේකර මහතා විසින් 1957 දී ලියන ලද විහාර නීති විත්ති යන කෘතියේ පෙන්වාදී තිබේ. බෞද්ධ පාසැල් ක්‍රමයට හා පිරිවෙන් අධ්‍යාපනයටද එල්ලවූ භාධක එමටය.

ධර්මපාලතුමාට වටකරගෙන පහරදීම

සුද්දන් හා කළු සුද්දන් විසින් හවුලේ ගෙනගිය මෙවැනි extractive ක්‍රමයක් (බලය හිමි සුළු පිරිසක් සෙසු ජනයා සූරාකෑම හා සිංහල බෞද්ධ ජනයාට හිරිහැර කිරීම) යටතේ, ඉහත සඳහන් පොතේ දැක්වෙන කතාන්තර අනාගාරික ධර්මපාලතුමාගේ භූමිකාව හා සමානකල නොහැකිය. එතුමා විසින් ලංකා ජාතික සංගමයේ කළු සුද්දන් සමඟ ක්‍රියාකිරීමට උත්සාහ කලේය. ජපන්, ජර්මන් රටවලින් තාක්ෂණ දැණුම ලබාගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඒ සඳහා ක්‍රියාකලේය. රටේ අතීත ශ්‍රීවිභූතිය නැවත ලඟාකර ගැනීම සඳහා දේශීය ගොවිතැන හා කර්මාන්ත නංවාලීමේලා අවධානය යොමු කලේය. කළුකොඳයාවේ නාහිමියන් එය ගම්මට්ටමින් ක්‍රියාවට නැංවූවේය.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ සුද්දන් විසින් කළු සුද්දන්ට හා සෙසු ජනතාවට රිංගවූ, පැටවූ, හීනමානයට විරුද්ධව ඔහුගත් විසඳුමය. ගාන්ධිට එවැනි ශක්තියක් නොවීය. මෙහිදී යමෙක් විෂ්මයට පත්වියහැකි කරුණක් නම් පලවෙනි ලෝක යුද්ධයට ඉන්දියන් සෙබළුන් බඳවා ගැනීමේ ඒජන්ත කෙනෙක් වශයෙන් ක්‍රියාකිරීමට බලපත්‍රයක් තමාටද දෙන ලෙස ඉල්ලා ගාන්ධි අග්‍රාණ්ඩුකාරයාට කල ඉල්ලීමය (India: the most dangerous decades, Selig Harrison, 1960). පඹයෙක් සදා, ඊට සුදුහුණුගා, ගෙයි ඉදිරියේ හෝ මිදුලේ හිටුවා, පර සුද්දා, පර සුද්දා කියමින් දිනපතා උදේ හවා ඊට පයින් ගසන්නට යයි ඔහු දුන් උපදේශය මනෝචිකිත්සක ප්‍රතිකර්මයක් මෙන්ම පාලක සුද්දන්ට හා ඔවුන්ට ගැති කළු සුද්න්ට එල්ලකල තියුණු දේශපාලන අවියක් විය. පර සුද්දා යනු සුදු පාලකයාට කල අපහාසයක් නොවන බව සුදු නඩුකාරයෙකුට පෙන්වා දීමට එතුමාට සිදුවිය. එහෙත් සුද්දෙකුට හතර ගාතෙන් වැටෙන්නට මහ ජෝන් කොතලාවල පයින් ගැසූ විට එය අසා සතුටුවූ එතුමා, ‘අපේ ජෝන්’ යනුවෙන් ඔහුට  ආදරයෙන් ඇමතුවේය. ලෝක අධිරාජ්‍යවාදී ඉතිහාසයේ මෙවැනි ආකාරයේ තවත් සිදුවීමක් වාර්තාවී නැත. අප සළකා බැලූ පොතේ කතෘවරු දෙන්නා මෙය දැන සිටියා යයි සිතිය නොහැකිය.

සමාජ ආයතන හා දේශපාලනය රටක ඉරණම විසඳනවා නම් අනාදිමත් කාලයක සිට දිවයිනේ ක්‍රියාත්මකවූ ගම-වව-දාගැබ යන සමාජ, ආර්ථික-දේශපාලන ත්‍රිත්වයට වඩා ඉහළ ආයතනයක් ලෝකයේ තිබෙනවාද? මේ සම්බන්ධයෙන් සර්වෝදයේ ආරියරත්න මහතාගේ බලපිරමිඩය හා ධර්ම චක්‍රය යන පොතේ රූප සටහන් දෙක තුනක්ම ඇත. පක්ෂ දේශපාලකයින් විසින් 1931 න් පසු මෙම ත්‍රිත්වය (මොඩලය ) දිගින් දිගටම 2019 දක්වාම කෙලෙසුවේය. කොරෝනා අර්බුදය රටට උගන්වන පාඩම නම් මෙම ත්‍රිත්වය නව මුහුණුවරකින් ක්‍රියාවට නැඟිය යුතු නොවේද යන්නය. ගම-වැව-දාගැබ යන්න, පන්සල- පක්ෂ දේශපාලකයගෙන් තොර ජන මූල සභා-යුද හමුදාව යන අංග තුනක් මඟින් සිදුවන බලතුලනයක් යටතේ, ශක්තිමත් මධ්‍යම රජයක් මඟින්, 1978 න් පසු බල්ලාට ගිය විනයක් නැති රට ගම්මට්ටමෙන් ගොඩගත යුතුව තිබීම, ධර්මපාල-කළුකොඳයාවේ 1930 ආර්ථික-දේශපාලන ව්‍යාපාරය කඩාකප්පල් කල කළු සුද්දන්ට කල දෛවෝපගත සරදමක් වැනිය. හිට්ලර් කෙනෙක් වෙලා හෝ රට හදන්න යන හාමුදුරුනමකගේ කියමනේ රහසද මෙයය. වයි නේෂන් ෆේල් පොතෙන් වක්‍රව හා ඝෘජුව දෙන්නේද මේ පණිවුඩයමය. ශක්තිමත් මධ්‍යම රජයක් හා, එක පාලක කොටසකට නොව සමස්ථ සමාජයටම දේශපාලන බලය විසිරී යන ක්‍රමයක් තිබීම බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකාවේ දියුණුවට හේතුවූ බව ඔවුන්ගේ තියරි යය.

මොන්ටෙස්කිගේ බලතල බෙදීමේ න්‍යායයෙන් ඇත්තවශයෙන්ම කිව්වේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය දැඩි ලෙස වෙන් කිරීම නොව, ආණ්ඩු බලය හැකි උපරිම මට්ටමින් ආයතන විශාල සංඛ්‍යාවකට විසුරුවා හැරීමය යන වත්මන් විවරණය, මොන්ටෙස්කිව ඔළුවෙන් හිටුවීමක් ලෙස සැළකේ. ඇමෙරිකන් ක්‍රමය අද මුහුණපා සිටිනා අර්බුදය මෙවැන්නකි. ලංකාවේ පන්සල් වල විහාරාධිපතිවරුන් තම පන්සලේ සර්වාධිපතියා වන්නේය. ප්‍රජාතන්ත්‍රවාදය යනු චර්චිල් කී පරිදි දුර්වල ක්‍රමයක් මෙන්ම ක්‍රිස්තියානි පල්ලි සංවිධානයට වෙනස්ව හාමුදුරුවරුන් අතර සමඟියක් නැත්තේද මේ නිසාය. එහෙත් අර පොතේ කියන ප්ලූරලිසම් යනු මෙයය. මේ අනුව පන්සල එක් අංගයක් වන රට ගොඩනැංවීමේ  නව මොඩලයක් ඒකාකාරි නොව විවිධත්වය රැකගන්නා ආයතන වන්නේ මේ නිසාය. පන්සලට අමතරව කෝවිල, පල්ලිය හා මුස්ලිම් සුපී පල්ලියද මීට එකතු වෙන්නේය. මෙවැනි කතා පොතේ කතෲන් දෙන්නාගේ කණ්වලට මීපැනි දැමීමක් විය නොහැකිද?

1920 දශකයේ ජාතිවාදය ඇවිලවූ සුද්දෝ, 1931 දී සර්ව ජන චන්ද බලය ප්‍රධානය කලේය. ජනයාට මෙය දීම ලබාදීම වඳුරන්ට දලි පිහි දීමක් වැනියයි කළු සුද්දන් ඊට විරෝධය පලකලේය. ඩොනමොර් ක්‍රමය දෙමළ කළු සුද්දන් විසින් අවභාවිත කලේය. මෙය පොතේ කියන, රටක දියුණුවට නතිවම බැරි පවතින ක්‍රමයේ වෙනස් කිරීමට (creative destruction) කල විරෝධයක් නොවේද? පවතින ක්‍රමය වෙනස් කිරීමට 1956 අප්‍රේල් මස ලංකාවේ සාමකාමි විප්ලවයක් සිදුවිය.  1931 සිට බලය හා ධනය අල්ලගෙන රට පරිහාණියට ගෙනගිය කළු සුද්දන් කල්ලිය පරාජය විය. එහෙත් මාක්ස්වාදීන් හා ක්‍රිස්තියානි කළු සුද්දන් අණ්ඩුවේ ඇතුලෙන් හා පිටින් සිට එය කඩාකප්පල් කලේය. 1962 දී කල පොලිස්-නාවික හමුදා ක්‍රිස්තියානි කුමණ්ත්‍රණයකින් රට ගලවා දුන්නේ සිංහල බෞද්ධ තනි පොලිස් නිලධාරියෙකු විසින්ය. 1958 කුඹුරු පණත රදළ ඉඩම් හිමි රදලයින්ට හා අනිකුත් කුඹුරු අඳයට දුන් කුඹුරු හිමියන්ට දුන් මරු පහරක් විය.

පොතේ කියන ආකාරයේ තවත් තීරණාත්මක අවස්ථාවක්වූයේ 2009 මයි 18 දා තිස් අවුරුදු ත්‍රස්ත යුද්ධය නිම කිරීමය. එහෙත් විදේශ බලවේග (ඉන්දියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඊ.යූ, බැන්කි මූන් ගේ යූ එන් ඕ) මැදිහත්ව එය බකල් කලේය. කළු සුද්දන් පක්ෂ දේශපාලනය කරමින් රට පාවාදීම, 2015 දී ජිනීවා වලදී සිදුවිය. ඌරාගේ මාළු උගේ පිටේම කපනවා මෙන් යුද්ධය දිනාගන්නට කැපවූ හමුදාපතිව රවටා ඩොලර් බලයෙන් ඔහුවම යුද ජයග්‍රහණය කඩා කප්පල් කිරීමට යොදවා ගන්නට ඇමෙරිකන් තානපති රොබට් බ්ලෙක්ලාට හා තොප්පිගල කියන්නේ කැලයක් යයි කී රනිල් ඇතුළු කළු සුද්දන්ට හැකිවිය.

2014 දී සිදුවූයේ යුද ජයග්‍රහණය බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව අනුව කළමනාකරණය කිරීමට අසමත්වූ පාලක පිරිස ගැන ජනයාගේ තිබූ අප්‍රසාදය දේශීය හා විදේශීය බලවේග විසින්, රටේ නමගිය ජාති මාමක හාමුදුරුනමක් රවටා ඔහු හරහා, කොස් ඇට බාවා ගැනීමක්ය. කළු සුද්දන්ගේ පවතින දූෂිත ක්‍රමයට (extractive institutions) විරුද්ධව ක්‍රියාකල හැම හාමුදුරුනමක්ම වාගේ අකාලයේ මිය යෑම ලංකාවට විශේෂ වන සංසිද්ධියක් සේය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් ඇරඹී, සෝම හාමුදුරුවන් හා මාදුළුවාවේ සෝභිත හිමියන් දක්වා මෙම සූත්‍රය දිවයයි. බොදු බල සේනා හිමියන් බේරී සිටීන්නේ ජාතියේ වාසනාවටය කියා සිතේ.

අර පොතේ කියන අන්දමේ තීරණාත්මක අවස්ථාවක් (critical juncture) 2019 දී සිදුවිය. සමහර විට මෙය ලංකාවට ලැබුණ අවසාන සාමකාමී අවස්ථාවද වීමට හොඳටම ඉඩ ඇත.1956 සිදුවූ විප්ලවයට වඩා ඔබ්බට යමින්, කවදාවත් තම භාවනා ආරණ්‍යයෙන් නගරයට නොපැමිණි හාමුදුරුවරු පවා, කවදාවත් පක්ෂ දේශපාලනය නොකල හමුදා නිලධාරියෙකුට බලය ලබාදුන්නේ මුස්ලිම් හා දෙමළ චන්ද නැතිව ජනාධිපති කෙනෙක් වෙන්න බෑ යන මිත්‍යාවද නිෂ්ප්‍රභා කරමින්ය. තරුණ පිරිස් මුළු රටපුරාම තාප්පවල හා ගොඩනැඟිලි බිත්තිවල ජාතිමාමක යෝධ පින්තූර අඳින්නට පටන් ගත්තේය. එහෙත් කළු සුද්දන් එය සෝඩා බෝතලයක් කලේය.

අනාගාරික ධර්මපාලතුමා හා කළුකොඳයාවේ ප්‍රඥශෙඛර නාහිමියන්ට තිබූ නිර්භීතකම හා ප්‍රඥාව, දේශපාලකයෙක් නොවන ගෝඨාභය ජනාධිපතිට, ප්‍රමාදව නොව ඉක්මණින්ම ලැබුණොත් වයි නේෂන් ෆේල් යන පොතේ කතෘලාට ඔවුන්ගේ තියරිය සංශොධනය කරන්නට සිදුවනු ඇත. ලංකාව අද අතරමංවී සිටින්නේ ආයතන (inclusive) නැතිකම හෝ බහු ජන පදනමක් හෝ චන්ද බලය නැතිකම  නිසා හෝ නොව, බොරු ප්‍රජාතන්ත්‍ර (නාස්ලණූ) වාදයක් හා කළු සුද්දන්ට සීමාවූ නීතියේ ආධිපත්‍යයක් යන මායාවකට අසුවී, හිරවී, සිටීම නිසාය. සුද්දගෙ නීතිය හෝ කළු සුද්දගෙ නීති අසාධාරණ නම් ඉන් පිඩාවිඳින අයගෙන් නීතියට ගරුකිරීමක් බලාපොරොත්තු විය හැකිද?

එංගලන්තයට හෝ ඇමෙරිකාවට හෝ දුෂ්ට චක්‍රයකින් ගැලවෙමින් සිටිනවා කියන බොට්ස්වානා වලට ලංකාව මුහුණදෙන ආයතන හෝ දේශපාලන ප්‍රශ්ණ නොවීය. (1) ගෙදර හා ගම මට්ටමින් මිනිසුන් බෙදී මරාගන්නා පක්ෂ දේශපාලනය (2) විකෘති චන්ද ක්‍රමය (3) රට කැබලි කිරීමට උල්පන්දම් දෙන කළු සුද්දන් හා එන් ජී ඕ ඩොලර් බල ඇනි (4) ලෝක ක්‍රිස්තියානි මූලධර්මවාදය (5)  ශාරියා ඉස්ලාම් අන්තවාදය (6) ලෝක බල අරගලය නමැති ගිරයට අසුවූ පුවක් ගෙඩියක් වැනි වීම (7) පක්ෂ දේශපාලකයින් විසින් රට ණය උගුලකට හිරකර දැමීම (8) ඊළම් කාරයින් යුරෝපා රටවල් හා ජීනීවා කල්ලි සමඟ එක්වී  නටන නාඩගම (9) මිලේනියම් රේල් පාර නමැති භයානක හොල්මන (10) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා අන්ද මන්දව හා අතරමංව සිටීම (11) ජාත්‍යන්තර මත් කුඩු ජාවාරමට ලංකාව  අසුවීම (12) බින්දුවට බැස ඇති සදාචාරය (13) ලෝක නිදහස් වෙළඳ ආර්ථික සංකල්පයක් යටතේ ලෝක කොම්පැනි හා ලංකාවේ කොම්පැනි දූෂිත මාෆියා ලෙසින් රට සූරාකෑම (14) අවුරුදු 73 ක් තුල සිදුවී ඇති අනිසි රාජ්‍ය කළමනාකරණය (mismanagement).

ධනවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍ර වාදය යටතේ 1948 සිටම ලංකාවේ සිදුවී ඇත්තේ දුෂ්ට ත්‍රිකෝණයක් විසින් රට ග්‍රහණයට ගැනීමය. පක්ෂ දේශපාලකයා-නිලධාරියා-බිස්නස්කාරයා- යන ආයතන තුන රටේ ඇති දුෂ්ට චක්‍රයය (vicious circle). බිස්නස්කාරයා යන්නට එන් ජී ඕ ඩොලර් මුදලාලිලා හා අනිකුත් පුද්ගලික ඒකක/ආයතන අයත්ය. මෙම ත්‍රිත්වය අතරින් නිලධාරියා කෙතරම් දූෂිතද යන්න මිනිසුන්ට වස කැවීමේ සිට හිරේ ඉන්නා රිෂාඩ් බදියුද්දීන්ට සෙල්ෆෝන් එකක් දීම දක්වා උඩුදුවා ගොස් ඇත. ඒ කාලයේ කියවුනේ ජේ ආර් අතගැසු හැම දෙයක්ම ඩිසාස්ටර් එකකින් අවසානවූවා යන්නය. මේ වනවිට ගෝඨභය ජනාධිපතිට උරුමවී තිබෙන්නේ අන්තෝජටා බහුජටා කරුමයකි. මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය වැනි අර්බුදයකි. අනාගාරික ධර්මපාලතුමා හා කළුකොඳයාවේ පාර ඔහුට ඇති විසඳුමය.

චන්ද්‍රසිරි විජයවික්‍රම,   LL.B., Ph.D.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress