පුර්තුගීසීන් තිරිකුණාමලේ කොටුවට බිලි ගත් පුදබිම
Posted on October 20th, 2021

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්*

සෙන්කඩගල (නුවර* ස්වාධීනව සිටි වික‍්‍රමබාහු රජුට පසු රජ වූ ජයවීර බණ්ඩාර (ව්‍ය.ව. 1511 -1551* කෝට්ටේ රාජ්‍යයේ සහ සීතාවක රාජ්‍යයේ තර්ජනවලින් ආරක්‍ෂාවීම සඳහා ආධාර ඉල්ලීම අනුව පුර්තුගීසි හමුදා කණ්ඩායමක් 1542 දී පළමු වරට තිරිකුණාමලයට පැමිණ ඇත. එහෙත් ඇති වූ අනපේක්‍ෂිත දබරයකින් ලැබූ පරාජය නිසා ගමන අසාර්ථක විය. පුර්තුගීසීන් ලංකාවේ නැගෙනහිර නැව්තොටු හා සම්බන්ධ වෙළඳ කටයුතු වලින් ඉතා දිගු කලක් බැහැර වී ඇත.
ව්‍ය.ව. 17 වෙනි සියවසේ මුල් කාලයේ සෙනරත් රජු සමග සමාදානයකට එළඹ පුර්තුගීසීහු තිරිකුණාමලේ සහ මඩකලපුවේ නැව්තොටු වෙළඳ කටයුතු සඳහා භාවිත කිරීම සඳහා අවසර ගෙන සටකපට ලෙස ඉතා රහසිගත ව බු.ව. 2166 (ව්‍ය.ව. 1623* දී තිරිකුණාමල බලකොටුව ගොඩනැගූහ. එහෙත් පුර්තුගීසීන් පළවාහැර ව්‍ය.ව. 1639 දී ආපසු අල්ලා ගත් තිරිකුණාමලය ව්‍ය.ව. 1766 ලන්දේසි ගිවිසුම තෙක් සිංහල රජු යටතේ වීය. ව්‍ය.ව. 1795 දී ඉංගිරිසීන් සතු විය. එය තිරිකුණාමලේ ෆ්‍රෙඞ්රික් කොටුව නමින් හඳුන්වනු ලබයි.

පුදබිමක් බිලි ගනියි
තිරිකුණාමලේ (ගෝකණ්ණ පටුනේ* වෙළඳ කටයුතු ආරම්භ කළ විගස කොන්ස්ටන්ටයින් ඩි සා ඩි මෙනෙෂෙස් එහි බලකොටුව ගොඩනගන ලද අවස්ථාවේ ඒ භූමියේ තිබූ පුදබිම (පැගෝඞ්* විනාශ කරන ලද බව පුර්තුගීසි පූජකයෙකු සහ ඉතිහාසඥයෙකු වූ ෆර්නාඩෝ ඩි ක්වේරෝෂ් එළිදරවු කොට ඇත.
පුර්තුගීසීන් විසින් විනාශ කරනු ලැබූ පුදබිම හින්දු කොවිලක් බවට නූතන දෙමළ උගතුන් සහ ඉතිහාස ලේඛකයන් කළ ප‍්‍රකාශය දේශීය සහ විදේශීය ඉතිහාසඥයන් පිළිගෙන ඇති අතර එය එලෙසින් ම අපට පාසල්වල, සරසවිවල උගන්වනු ලැබෙයි. අපි එලෙස ම හදාරමු. ව්‍ය.ව. 20 වෙනි සියවසේ දෙවෙනි භාගයේ ගොඩනගන ලද වරින්වර යම් යම් අංග එකතු කරමින් තවමත් ඉදිකරමින් පවතින ඊශ්වර/ශිව කෝවිලක් එහි ඇත. සිංහල, ද්‍රවිඩ/දෙමළ සහ බෞද්ධ, හින්දු වෙනසක් නැතිව කෝවිලට යති. වෛදික ආගමිකයන්ගේ ඊශ්වර දෙවියන් පසු කලෙක ශිව දේව නාමය ද ලබා ඇත.
ෆ්‍රෙඞ්රික් කොටුවේ කෝවිල පුරාණ කාලයේ සිට එහි පවතින බව කියති. බොහෝ දෙනෙක් එය එසේ ය’යි පිළිගනිති. විශ්වාස කරති. දේව භක්තිය සහ ආගමික සහජීවනය නම් නව ‘කෙවිට’ නිසා එහි සැබෑ අතීතය ගැන විමසා බැලීමක් නැත. එහෙත් සත්‍යය සොයා යාමට සහ දැනීම ලබාගැනීමට තිත තැබිය යුතු නැත. එබැවින්, පුර්තුගීසීන් විනාශ කරනු ලැබූ පුදබිම කුමක් දැ’යි සත්‍ය ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක ඇසුරෙන් සොයා ගැනීම සහ හෝ එයට මග සකසා ගැනීම අවශ්‍යව ඇත.

කෝවිල ගොඩනැගීමේ කථාව
මේ ඊශ්වර/ශිව කෝවිල ගොඩනැගීම සහ එහි පැරණි බව සනාථ කිරීමට ඉතා වැදගත් සාධකයක් ලෙස ”කෝනේශර් කල්වෙට්ටු” නම් දෙමළ කාව්‍යය ඉදිරිපත් කරන කථාවක් දක්වා ඇත. මෙය 19 වෙනි සියවසේ අවසාන භාගයේ පමණ ලියන ලදැ’යි අදහස් කරනු ලබයි. එමෙන්ම සියලූ උගතුන් විසින් ලංකාවේ දෙමළ ඉතිහාසය සම්බන්ධ ඉතාමත් වැදගත් සහ ප‍්‍රධාන ම කෘතිය ලෙස සලකනු ලබන ”යාල්පාන වෛපව මාලෙයි” කාව්‍යය ද මේ ගැන සඳහන් කොට ඇත. මේ කාව්‍ය දෙක සඳහන් කරන පුවත් උපුටා දැක්වීම දැනුම අළුත් කරගැනීම සඳහා උපකාර වෙනු ඇත.

කෝනේසර් කල්වෙට්ටු
කෝනේසර් කල්වෙට්ටු සංස්කරණය කොට ප‍්‍රකාශයට පත් කරන ලද චන්මුකරට්ටින අයියාර් විසින් ඉදිරිපත් කරන ෆ්‍රෙඞ්රික් කොටුවේ කෝවිල ගොඩනැගීම සම්බන්ධ පුවත ඉතා කෙටියෙන් මෙසේය:
”මනුනීතිචෝලන්ගේ පුත් වරරාමතේවන් සහ ඔහුගේ පුත් කුලක්කෝට්ටන් තිරිකුණාමලේට පැමිණ එහි දේවාලය ගොඩනැගීය. ඔහු මදුරාවෙන් ප‍්‍රධානියෙකු ගෙන්වා ගෙන වන්නිපන් තත්වයට උසස් කළේය. එමෙන්ම දේවාලයේ සියලූ ම ගණුදෙනු කට්ටුකුලම් පත්තුවේ වන්නිආර්නාර් විසින් පවත්වාගෙන යායුතු බවට නියෝග කළේය.” මේ අනුව මනුනීතිචෝලන්ගේ පුතා සහ ඔහුගේ මුණුපුරා කෝවිල ගොඩනගා ඇත.

යාල්පාන වෛපව මාලෙයි
ව්‍ය.ව. 1736 ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයාගේ ආරාධනයෙන් රචනා කළ බව සඳහන් කරන යාල්පාන වෛපව මාලෙයි කාව්‍යය මේ සම්බන්ධව ඉදිරිපත් කරන පුවත ඉතාමත් කෙටියෙන් මෙසේය:
”කාවේරිපුම් පට්ටනමෙහි මනුනීති කන්දචෝලන් පුත් කුලක්කෝඞ්ඩු මහා රාජ තෙමේ පුණ්‍ය තීර්ථ වන්දනාව සඳහා … ති‍්‍රකෝණමලයෙහි කෝනේශ්වර කෝවිල කරා සැපත් විය. තඹලගම්හි කොනේශ්වර කෝවිල නම් ශිවාලය ජරා ජීර්ණ වෙමින් පවත්නා බව ති‍්‍රකෝණමලයෙහි දී අසන්නට ලැබී එහි ගොස් ශිවාලය සහ ඊට අයත් ගොඩනැගිලි පිළිසකර කරවීමෙහි නියැලිව විසී…” පිළිසකර කිරීම් නිම කොට විශාල භූමි ප‍්‍රදේශ හතක් වෙන් කොට එහි ඵලවැල්, කෙත්වතු අස්වද්දා කෝවිලට පුදා ඒවා පාලනයට ඉන්දියාවේ මුහුදු වෙරළාශි‍්‍රත ප‍්‍රදේශයෙන් ගෙන්වූ වන්නියාවරුන් යොදවා ආපසු තම රටට ගොස් දිව්‍ය ලෝකයට ගිය බව කාව්‍යය කියයි. (වන්නියාවරුන් ගැන වෙනම කථා කළ යුතු වෙයි.*

නොගැලපෙන කථා
කොනේසර් කල්වෙට්ටු දක්වන පුවත අනුව මනුනීතිචෝලන්ගේ පුතා වූ වරරාමතේවන් සහ මුණුපුරා වූ කුලක්කෝට්ටන් කෝවිල ගොඩනගා ඇත. යාල්පාන වෛපව මාලෙයි කාව්‍යය අනුව කුලක්කෝඞ්ඩු(ට්ටු* මනුනීති චෝලන්ගේ මුණුපුරා නොව පුතා ය. එමෙන් ම කාවේරිපුම් පට්ටනමේ ‘මහා රාජා’ වූ ඔහු තිරිකුණාමලේ කෝවිලක් ගොඩනැගුවේ නැත. ඔහු එහි පැමිණියේ ”පුණ්‍ය තීර්ථ වන්දනාවේ” එක් ස්ථානයක් වූ නිසා ය. එහි දී අසන්නට ලැබුණු තොරතුරක් අනුව ඔහු තඹලගම ශිව කෝවිලක් පිළිසකර කිරීමක නිරත වී එහි පැවැත්මට කටයුතු යොදා ඇත.
ඓතිහාසික යුගයේ චෝල හෝ පාණ්ඩ්‍ය සහ චේර රජ පෙළපත්වල මනුනීතිචෝලන් නම් පාලකයෙකු සිටි බවට තොරතුරු නැත. කෙසේ වෙතත්, මේ කථා පුවත්වල දක්වන මනුනීතිචෝලන් සහ කුලක්කෝට්ටන්ගේ ඥාති සම්බන්ධය ගැන සහ තිරුකුණාමලේ කෝවිල ගොඩනැගීම පිළිබඳ තොරතුරු අතර පරස්පර බවක් පැහැදිලිව ම දැක්වෙතත් දෙමළ උගතුන් සහ ලේඛකයන් කෝවිල ගොඩනගනු ලැබූ තැනැත්තා කුලක්කෝට්ටන් බව නිශ්චිතව ප‍්‍රකාශ කොට ඇත. මේ කථා පුවත් දෙක ම ඔහු චෝලයෙකු බව කියයි. එමෙන්ම ඔහු මහා බලසම්පන්නයෙකු බව ද කියයි.
යාල්පාන වෛපව මාලෙයි කාව්‍යය කුලක්කෝඞ්ඩු(ට්ටු* ‘මහා රාජ’ ශක වර්ෂ 358 දී පැමිණි බව කියයි. එනම් තිරිකුණාමලේට ඔහු පැමිණියේ ව්‍ය.ව. 436 දී ය. ඒ අනුව එකල කුලක්කෝට්ටන් සහ වරරාමතේවන් සහ ඊට පෙර හෝ ඒ කාලයේ ම මනුනීතිචෝලන් ජීවත් වූ බලවත් පාලකයන් බව සහ දකුණු ඉන්දියාවේ කොරමන්ඩල් ප‍්‍රදේශයේ කාවේරි පටුනේ චෝලයන් දේශපාලන බලවතුන් වී සිටි බව දක්වයි. පුරාවිද්‍යා හෝ ඓතිහාසික වාර්තා කිසිවක මොවුන් ගැන සඳහනක් නැත. වෙනත් රාජ්‍යයකට විශේෂයෙන් ම සමුදුරෙන් එතෙර රාජ්‍යයකට ගොස් තමන්ගේ හිතුමතය අනුව ඒ රාජ්‍යය තුළ දේශපාලන, පරිපාලන කටයුතුවල නිරත වීමට තරම් චෝලයන් ප‍්‍රබල ව සිටියේ දැ’යි එකල දකුණු ඉන්දියාවේ ඉතිහාසය නිසැක ව ම හෙළි කරනු ඇත.

එදා දඹදිව ද්‍රවිඩ භූමිය
ව්‍ය.ව.පූ. 3 වෙනි සියවස වෙන විට ද මහශිලා යුගයේ සංස්කෘතිය තුළ පැවති චෝල, පාණ්ඩ්‍ය සහ චේර භුමිය අශෝකගේ ”ධර්මවිජය” ව්‍යාපාරයෙන් සහ ලංකාවෙන් වැඩම කළ භික්‍ෂු, භික්‍ෂුණීන් සහ බෞද්ධ උපාසික උපාසිකාවන් මගින් නව සංස්කෘතික තලයකට පත් වූ බව පුරාවිද්‍යා සාධක අනුව විද්වතුන් පැහැදිලි කොට ඇත. එහි සීහල විහාරයක් පැවති බව සහ සීහලදීපෙන් ගිය කෙළෙඹියන් ගැන සඳහන් ප‍්‍රාකෘත සෙල්ලිපි ලැබී ඇත.
කර්ණාටක ජන්මවාසීන් වූ කලාබ‍්‍රයන් ව්‍ය.ව. 3 වෙනිි සියවසේ සිට 6 වෙනි සියවසේ අවසානය පමණ වෙන තෙක් ”ද්‍රවිඩ භූමියේ” පාලකයන් වී ඇත. ප‍්‍රාකෘත, පාලි සහ සංස්කෘත භාෂා භාවිත කරන ලද ඔවුන් බෞද්ධ සහ ජෛන ආගමිකයන් වූ බවට තොරතුරු කාසි ඇතුළු පුරාවස්තු, බෞද්ධ සහ ජෛන සාහිත්‍යය සහ පසුකාලීන හින්දු කෘති තුළින් හෙළි වෙයි. එකල කාවේරිපටුන ප‍්‍රදේශයේ බෞද්ධයන් සිටි බවට තොරෙතුරු ලැබී ඇත.
බුද්ධදත්ත හිමියන් ‘විනයවිනිච්චය’ රචනා කළේ මේ කාලයේ බව සලකනු ලබයි. එසේම ද්‍රවිඩ භාෂා සංස්කෘතකරණය වීම මෙකල සිට සිදු වී ඇති බව අදහස් කෙරෙයි. බෞද්ධ සහ ජෛන චින්තන සහිත සිලප්පදිකාරම්, මනිමේඛෙලෙ, තිරුක්කුරල් ද්‍රවිඩ කාව්‍ය මේ කාලයට අයත් ලෙස සලකනු ලබයි. එහෙත් ”ද්‍රවිඩ භූමියේ” කලාබ‍්‍රයන්ගේ පාලන කාලය පිළිබඳ තොරතුරු නැත. ඒ කාලය ද්‍රවිඩ භූමියේ ඉතිහාසයේ අඳුරු පරිච්ජ්දයක් ලෙස සැලකෙයි.
ආන්ද්‍ර ප‍්‍රදේශයේ බලවතුන් වූ, ප‍්‍රාකෘත සහ සංස්කෘත භාෂා භාවිත කළ පල්ලවයන් කලාබ‍්‍ර බලය අහෝසි කොට ව්‍ය.ව. 9 වෙනි සියවස දක්වා චෝල දේශය ද ඇතුළත් වූ ‘ද්‍රවිඩ භූමියේ’ උතුරු කොටසේ බලවතුන් වී සිටි අතර පාණ්ඩ්‍යයන් දකුණු කොටසේ් බලවතුන් වී ඇත. සංගම් කවීන්ගේ අද්භූත කථා තුළ සඳහන් චෝල පාලකයන් වූ මිථ්‍යා චරිත සහ ඓතිහාසික යුගයේ චෝල රජුන් අතර සම්බන්ධයක් දැක්වීමට නොහැකි අතර ව්‍ය.ව. 200 පමණ සිට 848 දක්වා කාලය චෝල ඉතිහාසයේ අරාජික කාලයක් ලෙස සලකනු ලබයි. (චෝලයන් ව්‍ය.ව. නවවෙනි සිය වසේ දෙවෙනි භාගය වෙන තෙක් පරාධීනව සිටි ජන වර්ගයකි.*

මනෝමය කුලක්කෝට්ටන්
මේ කාලය තුළ ද්‍රවිඩ භූමිය පැවතියේ කලාබ‍්‍ර, පල්ලව සහ පාණ්ඩ්‍ය බලය යටතේ ය. චෝලයන් ද්‍රවිඩ භූමියේ බලවතුන් බවට පත්වීම කලාබ‍්‍රයන්ට, පල්ලවයන්ට සහ පාණ්ඩ්‍යයන්ට පසුව ය. ව්‍ය.ව. 6 වෙනි සියවසේ සිට චෝලයන් පල්ලව සහ පාණ්ඩ්‍ය බලයට යටත් ව සිටි බව සහ ඔවුන්ගෙන් මිදීමට අරගල කරමින් සිටි බවට තොරතුරු ඇත. ‘‘චෝල’’ වචනය පවා දෙමළ වචනයක් නො වෙන බව මහාචාර්ය නීලකණ්ට ශාස්තී‍්‍ර දක්වන අතර චෝලයන් දෙමළ කථා කරන ජන වර්ගයට අයත් නොවූ බව අයියෙන්ගර් හෙළි කොට ඇත.
කෝනේසර් කල්වෙට්ටු සහ යාල්පාන වෛපව මාලෙයි කියන ලෙස ශක වර්ෂ 358 (ව්‍ය.ව. 436* දී සමුදුරෙන් එතෙර රටක ශිව කෝවිලක් ගොඩනගා තම හිතුමතේට කෙත්වතු සංවර්ධනය කොට බෙදා දුන් ලෙස දක්වා ඇති චෝල කුලක්කෝට්ටන් ‘මහා රාජා’ පිළිබඳ පුවත හුදු මනෝමය නිර්මාණයක් බව විද්වතුන් පිළිගත් කරුණකි. එසේ වුව ද දෙමළ උගතුන් සහ ලේඛකයන් ඔහු ඓතිහාසික අයෙකු ලෙස දැක්වීමට උත්සාහ කොට ඇත.

චෝඩගංග සහ කුලක්කෝට්ටන්
කුලක්කෝට්ටන් නමින් සඳහන් කොට ඇත්තේ චෝඩගංග බවට පී. පී. වෛතියලිංගම් තේසිකාර් ඉදිරිපත් කළ අදහසක් අනුමත කරන ආචාර්ය එස්. පද්මනාතන් ද කුලක්කෝට්ටන් අන් අයෙකු නොව චෝඩගංග බව දක්වමින් එය ගොතන ලද මිථ්‍යා කථාවක චරිතයක් නොව කුලක්කෝට්ටන් ඓතිහාසික අයෙකු බව දැක්වීමට තිරිකුණාමලෙන් ලැබී ඇති චෝඩගංග නම සඳහන් ව ඇති සෙල්ලිපියක් සම්බන්ධ කොට ඇත. මේ සෙල්ලිපිය ශක වර්ෂ 1145 (ව්‍ය.ව. 1223* පිහිටුවන ලද එකකි.
ලිපිය ලියා ඇති කාලය සම්බන්ධයෙන් එකල තිරුකුණාමලේ (ගෝණගම්තොට=ගෝකණ්ණ තිත්ථ* කාලිංග මාඝ යටතේ පැවති බව සහ එහි ඔහුගේ හේවා කඳවුරක් තිබූ බව අමතක කළ යුතු නැත. දෙමළ භාෂාවෙන් නොව සංස්කෘත භාෂාවෙන් ලියා ඇති මේ සෙල්ලිපියේ සඳහන් චෝඩගංග ද්‍රවිඩයෙකු නොවේ. ඔහු නැගෙනහිර ගංග වංශයට අයත් කාලිංග කුමාරයෙකු බව විද්වතුන් පැහැදිලිව දක්වා ඇත. ඔහු මාඝගේ ඉල්ලීමට ඔහුගේ සහායට පැමිණ ඔහුගේ හවුල්කරු ලෙස සිටි ජයබාහු විය හැකි බව ආචාර්ය සී. ඩබ්ලියු. නිකලස් පැහැදිලි කොට ඇත. ෆ්‍රෙඞ්රික් කොටුවේ තිබූ පුරාණ ගෝකණ්ණ විහාරයේ උ`ඵවස්සක කොටා තිබූ චෝඩගංගදේව නම සහ ශක ව. 1145 (ව්‍ය.ව. 1223* වර්ෂය සඳහන් සංස්කෘත සෙල්ලිපිය ”ලංකාව සතුරන් විසින් ජයගත නොහැකි” රටක් බව ද කියයි. දෙමළ උගතුන් සහ කෝනේශර් කල්වෙට්ටු සහ යාල්පාන වෛපව මාලෙයි කියන ආකාරයේ කථාවක් එහි නැත.
එමෙන්ම කුලක්කෝට්ටන් සහ චෝඩගංග එක් අයෙකු බවට වූ නිගමනය අනුව ෆ්‍රෙඞ්රික් කොටුවේ කොනේසර් කෝවිල ගැන කෝනේසර් කල්වෙට්ටු සහ යාල්පාන වෛපව මාලෙයි කියන කථා පුවත් සම්පූර්ණයෙන් ම ප‍්‍රතික්‍ෂේප වෙයි. එසේම දහවෙනි සියවසේ පමණ මේ කෝවිල ගොඩ නගන ලද බවට නූතන දකුණු ඉන්දීය ලේඛකයන් දක්වන අදහස ද බිඳවැටේ. එපමණක් නොව ව්‍ය.ව. 1223 වර්ෂයට පෙර තිරිකුණාමලේ (ගොකණ්ණතිත්ථයේ* ඊශ්වර කෝවිලක් නොතිබුණු බව තහවුරු කරයි. කෙසේ වෙතත් ඒ සෙල්ලිපියේ චෝඩගංග එහි කෝවිලක් ගොඩනැගූ බව සඳහන් නොවේ.

මේ දෙමළ කාව්‍ය නිර්ව්‍යාජ ද?
සත්‍යය වශයෙන් මේ කාව්‍ය ඓතිහාසික අගයෙන් ඉතාමත් දුප්පත් ය. එසේ ම මේ කාව්‍ය වසර දෙසියයක්වත් පැරණි නැති බව සී. එස්. නවරත්නම් පිළිගෙන ඇති අතර ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල ප‍්‍රකාශ කොට ඇත්තේ ඒවායේ දැක්වෙන කථා ඓතිහාසික පුවත් ලෙස පිළිගත නොහැකි මිථ්‍යා කථා බව ය.
එමෙන්ම ”බලපරාක‍්‍රමාන්විත ශ්‍රේෂ්ඨයන් විසින් පාද ප‍්‍රණාමය කරනු ලබන ප‍්‍රවර කීර්තිමත් මක්කාර් නාමෝපලක්‍ෂිත ලන්දේසි ආණ්ඩුකාර උතුමාණන් වහන්සේගේ ආරාධනයෙන්, යාපන ඉතිහාසය මෙසේ ද්‍රවිඩ භාෂාවෙන්” රචනා කළ බව යාල්පාන වෛපව මාලෙයි කාව්‍යයේ රචක මයිල්වාගනම් සඳහන් කොට ඇත. එවැනි ලන්දේසි ආණ්ඩුකාරයෙකු ලංකාවේ සිටි බව ඓතිහාසික වාර්තා හෙළි නොකරන නිසා ඒ කාව්‍යය නිර්ව්‍යාජ එකක් දැ’යි ප‍්‍රශ්ණයකි.

ක්වේරෝස්ගේ එළිදරව්ව
තිරිකුණාමල කොටුව ගොඩනැගීමට පුර්තුගීසීන් විනාශ කරන ලද පුදබිම (පැගෝඞ්* පිළිබඳව කෝනේසර් කල්වෙට්ටු සහ යාල්පාන වෛපව මාලෙයි දක්වන කථාවලට වඩා ක්වේරෝස් පියතුමා ඉදිරිපත් කරන සමකාලීන තොරතුරු ඓතිහාසික වශයෙන් වැදගත් ය. විනාශ කරන ලද පුදබිම ගැන ක්වේරෝස් පියතුමා සඳහන් කරන සෙල්ලිපියේ සඳහන් තොරතුරු ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන සහ හදාරන අයට වැදගත් ය.
”ලංකාවේ අධිරාජයා වූ මනික රාජ බාහු වීදිය-මල්-මණ්ඩ දෙවියන් වෙනුවෙන් මේ වෙහෙර …. වර්ෂයේ ඉදි කළේය. ෆ‍්‍රෑන්ක්ස් නම් වූ ජාතියක් පැමිණ එය විනාශ කරන්නේ ය. එය නැවතත් ගොඩනැගීමට මේ දිවයිනේ රජ කෙනෙකු ඇති වෙන්නේ නැත.” යනුවෙන් ඒ සෙල්ලිපියේ සඳහන් ව තිබූ බව ක්වේරෝස් දක්වා ඇත.(14* ඒ අනුව වෙහෙර ”වීදිය-මල්-මණ්ඩ දෙවියන්” වෙනුවෙනි. ඊශ්වර/ශිව වෙනුවෙන් නොවේ. ගොඩනගන ලද්දේ කුලක්කෝට්ටන් හෝ චෝඩගංග නම් වූ අයෙකු විසින් නොවේ. ”මනික රාජ බාහු” නමැති රජ කෙනෙකි. එමෙන් ම කුලක්කෝට්ටන් හෝ චෝඩගංග නම තිබූ අයෙක් ”ලංකාවේ අධිරාජයා” ලෙස කිසිම කලෙක සිටියේ නැත.

නැති දෙයක් ලේඛනගත කරයි
ක්වේරෝස් සඳහන් කරන සෙල්ලිපියේ ඊශ්වර/ශිව ගැන සම්බන්ධයක් නැත. එසේ වුව ද, පුර්තුගීසීන් විනාශ කරන ලද මේ පුදබිම ‘කෝනේෂ්වරම් කෝවිල’ බව සී.එස්. නවරත්නම් සඳහන් කරයි. එමෙන්ම ලංකා ඉතිහාසය හදාරන සියල්ලන් ම ගුරු පොත ලෙස පිළිගනු ලබන ”ලංකා ඉතිහාසය” කෘතිය සංග‍්‍රහ කිරීමට දායක වූ එස්. නටේසන් ද ”කොන්ස්ටන්ටයින් ද සා තිරිකුණාමලේ ශෛව කෝවිල වනසා දමා” යනුවෙන් ප‍්‍රකාශ කරයි. දෙස්, විදෙස් සහ සිංහල, ද්‍රවිඩ, උගත්, නූගත් සියලූ දෙනා එය එසේ ය’යි පිළිගෙන ඇත.
ක්වේරෝස් සඳහන් කරන සෙල්ලිපියේ ඊශ්වර හෝ ශිව කෝවිලක් ගැන හෝ ගොඩනගන ලද වර්ෂය හෝ සඳහන් නොවේ. සෙල්ලිපියේ සඳහන් පුදබිම පුර්තුගීසි පරිවර්තනයේ දක්වා ඇත්තේ ”වීදිය-මල්-මණ්ඩ දෙවියන් වෙනුවෙන්” ඉදිකොට තිබූ එකක් ලෙස ය. ”වීදිය-මල්-මණ්ඩ” නමින් ඊශ්වර/ශිව හඳුන්වනු ලැබූ බවට කිසි ම සාධකයක් නැත. එහෙත් පුර්තුගීසීන් විනාශ කරන ලද්දේ කෝනේෂ්වරම් කෝවිල බව සහ එය ගොඩනගනු ලැබුවේ ව්‍ය.ව.පූ. (කි‍්‍ර.පූ.* 1300 වසරට පෙර විය හැකි බව සහ වෙනත් තැනෙක එය ව්‍ය.ව.පූ (කි‍්‍ර.පූ.* 1580 දී පමණ විය හැකි බව කිසිදු පදනමක් නැතිව මේ උගතුන් ප‍්‍රකාශ කොට ඇත.
යජුර් වේදයෙන් පසු ඊශ්වර වැනි දෙවියන් සමාජගත කළ වෛදික ආර්යයන් ඔවුන් දක්වන කාලය වෙනවිට අඩුම වශයෙන් භාරතයේ වයඹදිග භූමිය පසු කොට ගංගා නිම්නයට සංක‍්‍රමණය වී නොසිටි බව අමතක කිරීම සුදුසු නැත. එමෙන්ම ඒ කාලයේ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ/දෙමළ කථා කරන ජනයා සිටියේ නැත. කෙසේ වෙතත් වීදිය-මල්-මණ්ඩ නමින් හින්දු දෙවියෙක් හෝ ද්‍රවිඩ දෙවියෙක් නැත.
ඓතිහාසික යුගය ආරම්භයේ සිට ව්‍ය.ව. 10 වෙනි සියවස පමණ වෙන තෙක් ද්‍රවිඩ භූමියේ පැවති දේශපාලනික තත්වය අනුව ලංකාවට පැමිණ තමන්ගේ හිතුමතය පරිදි තිරුකුණාමලේ (ගොකණ්ණතිත්ථයේ* කෝවිලක් ගොඩනැගීමට හෝ පදවියේ කෝවිලක් පිළිසකර කිරීමට සහ නැගෙනහිර පළාතේ භූමිය බෙදා එක් එක් අයට පැවරීමට හැකි තරම් බලවත් චෝල පාලකයෙකු සිටි බව සිතීමට පවා නොහැකි මිථ්‍යා කථාවකි.

ගෝණගම්තොට හා බැඳුණු ඉතිහාසය
පුර්තුගීසීන් කොටුව ගොඩනැගුවේ එතැන තිබූ පුදබිමක් විනාශ කරමින් බවට ක්වේරෝස් පියතුමා කරන ප‍්‍රකාශය පිළිගත් කරුණකි. එමෙන්ම ඒ පුදබිම කුමක් දැ’යි දැන ගැනීමට එතෙක් පැවති පළාතේ ඓතිහාසික තොරතුරු සිහිපත් කිරීම අවශ්‍ය ය.
ඓතිහාසික යුගය ආරම්භයේ සිට ම ලංකාවේ ඊශාන දිග සහ නැගෙනහිර දිග ප‍්‍රදේශ ආර්ය ජනයා වාසය කළ, ශාක්‍ය සිංහල බෞද්ධ ජනාවාස පැවති භූමි ප‍්‍රදේශ වීය. ගිරහඬුසෑය, තිරියාය, මානාමතු, කුච්චවේලි, කුරුන්දාවසෝක, ගොකණ්ණ, වෙල්ගම්වෙහෙර, පදවිය, කොටසර, සේරුවිල, ලංකාපටුන විහාරය, කන්නියා ආදී බෞද්ධ පුදබිම් රාශියක් පිරුණු ප‍්‍රදේශයකි.
භද්දකච්චානා කුමරියගේ සහෝදරයෙකු වූ රාම කුමරු පිහිටුවාගත් ගම ගෝණගාම විය. පණ්ඩුකාභය රජ තම බිසව ස්වර්ණපාලී කුමරියගේ පියාට ප‍්‍රදේශයේ කටයුතු භාර කළේය. කාවන්තිස්ස රජු සමයේ සිට මහවැලිගෙඟන් දකුණු කොටස දිඝාමඬුල්ල යටතේ සහ උතුරු කොටස රජරට යටතේ පැවතුණි. ගැමුණු රජු යටතේ දිවයින එක්සේසත් රාජ්‍යයක් වූ තැන් සිට ඉතිහාසය පුරා රජරට ‘පාචීන පස්ස’ පාලන කොට්ඨාශයට ඇතුළත් විය. ගෝකණ්ණතිත්ථ ප‍්‍රදේශය සංස්කෘතික, ආගමික සහ විදේශ සම්බන්ධතා සඳහා වැදගත් නැව්තොටුවලින් යුත් ප‍්‍රදේශයක් විය.
නැව්තොට හේතුවෙන් ගෝණගම්පටුන වූ එහි පිහිටි කන්ද ගෝණකන්ද විය. පුදබිම නිසා ශී‍්‍ර ගෝණකන්ද නමින් හඳුන්වනු ලැබීම ස්වාභාවික ය. යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ පැමිණීමෙන් පසු දෙමළකරණයෙන් තිරිකෝණමලෙයි වී ඇත. (දෙමළ භාෂාවේ ‘ග’ අක්‍ෂර රූපයක් නැත. ඒ සඳහා ‘ක’ අක්‍ෂරය භාවිත කරනු ලබයි.*
ව්‍ය.ව. 1029 සිට 1070 දක්වා පැවති අඛණ්ඩ සිංහල හමුදා ප‍්‍රහාරවලින් හෙම්බත්ව වරින් වර අතිරේක හමුදා පවා ලබා ගනිමින් චෝල ආක‍්‍රමණිකයන් බලය රැුකගත් කාලයේ හෝ තිරිකුණාමලේ (ගොකණ්ණතිත්ථ* ඊශ්වර/ශිව කෝවිලක් ගොඩනැගූ බවට හෝ පැවති බවට තොරතුරු නැත. පොළොන්නරුවේ ශිව කෝවිල් දෙක බෞද්ධ විහාර විනාශ කොට ගොඩනගන ලද බව පුරාවිද්‍යා සාධක සනාථ කරයි.
මුස්ලිම් සංහාරවලින් දිවි රැුකගැනීමට උතුරු ඉන්දියාවේ සිට පැමිණි ලෙස සැලකිය හැකි බමුණු පූජකයන් සඳහා ව්‍ය.ව. 1097 දී පමණ පළමුවෙනි විජයබාහු රජතුමා (ව්‍ය.ව. 1055-1111* විසින් ගංතලාහි (කන්තලේ* ”විජයරාජ චතුර්වේදී මංගලම්” බමුණු ගමක් පිහිටුවා(20* ”විජයරාජ ඊශ්වරම්” නමින් ශිව කෝවිලක් ද කරවනු ලැබීය. ඉන් වසර සියයකින් පමණ පසු මේ බමුණු ගම සහ කෝවිල පිළිබඳව තොරතුරු නැත. දෙවෙනි ගජබාහු රජු (ව්‍ය.ව. 1132-1153* ආරක්‍ෂාව සඳහා කලක් කොටසර ප‍්‍රදේශයේ සිටි බවට සහ තම ජීවිතයේ අවසන් කාලයේ පදවිය ප‍්‍රදේශයේ සිට රාජ්‍යය විචාල බවට ඇති වාර්තා බැහැර කළ නොහැකි ය.
ව්‍ය.ව. 1017 සිට 1070 කාලය හැර ආරම්භයේ සිට ම ව්‍ය.ව. 1215 වෙන තෙක් අනුරාධපුර සහ පොළොන්නරු රාජ්‍ය යුග තුළ වසර 1700ක පමණ කාලයක් මේ පළාත සිංහල රාජ්‍ය පාලනය යටතේ පැවතුණි. ව්‍ය.ව. 1215 දී රජරට විනාශ කොට කාලිංග මාඝ බෞද්ධයන් සහ භික්‍ෂූන් පළවාහැර සිංහල බෞද්ධ ගම්වල සහ විහාරාරාමවල කඳවුරු තනා තමන්ගේ කුලී හේවායන්ට පදිංචිය සැලසූ නමුදු පරාජයත් සමග සියල්ල අත්හැර දැමීමට සිදු වූ බවට සහ ව්‍ය.ව. 1262 දී ජාවක චන්ද්‍රභානු සිංහල රාජ්‍යය පැහැර ගැනීමේ අසාර්ථක සටන සඳහා කුරුන්දි, මානාවතු, ගෝකණ්ණ (තිරිකුණාමලේ*, පදවිය ආදි ප‍්‍රදේශවල සිංහල බෞද්ධ ජනයාගේ සහාය ලබාගත් බවට ඇති ඓතිහාසික වාර්තා අමතක කළ යුතු නැත.

ද්‍රවිඩ වෙළෙන්දන්ගේ පූජා
තිරියාය, වෙල්ගම්වෙහෙර ආදී බෞද්ධ පුදබිම්වලට සහ පොළොන්නරුව, පදවිය ප‍්‍රදේශවල ශිව සහ විෂ්ණු කෝවිල් කීපයකට කරන ලද පූජා පිළිබඳව සඳහන් දෙමළ සෙල්ලිපි ලැබී ඇත. අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත් ලෙස සැලකෙන මේ සෙල්ලිපි ප‍්‍රධාන වශයෙන් තෙල්, පහන්, ගිතෙල් ආදී එදිනෙදා අවශ්‍ය පූජා ද්‍රව්‍ය පූජා කොට ඇති බව සහ මේ දායකයන් ද්‍රවිඩ භූමියේ තිරුප්පුවනම්, තිරුවයියාරු, චිදම්බරම් ආදි නගරවලින් පැමිණි තෙල් වෙළෙන්දන්, බුලත් වෙළෙන්දන්, කෙසෙල් වෙළෙන්දන් වූ බව හෙළි කරයි. සිංහල බෞද්ධයන් පූජා කළේ පුදබිම්වල ස්ථාවර පැවැත්ම සහ නඩත්තුව සඳහා අවශ්‍ය කෙත්වතු, වැව් බදු, ඉඩම් බදු, දිය බදු, බැංකු තැන්පතුවල පොලිය ආදිය යි. නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනාවාස මිස ස්ථිර අසිංහල ගම්බිම් නොවූ බව සෙල්ලිපි හෙළි කරන වැදගත් ඓතිහාසික කරුණකි.
වෙළඳ කටයුතු සඳහා සෙනරත් රජුගේ අවසරය ලබාගත් පුර්තුගීසීන් වංචනික ලෙස ව්‍ය.ව. 1623 දී තිරිකුණාමලේ කොටුව ගොඩනගා එහි බලවතුන් ව සිටි වසර 16ක කාලය (1623-1639* හැර, ව්‍ය.ව. 13 වෙනි සියවසේ දෙවෙනි භාගයේ සිට ව්‍ය.ව. 18 වෙනි සියවසේ අවසන් දසක කීපය (1766* වෙන තෙක් ඊශාන දිග සහ නැගෙනහිර දිග පළාත් දඹදෙණි, ගම්පළ, කෝට්ටේ, සීතාවක සහ සෙන්කඩගල රාජ්‍ය පාලනය යටතේ පැවතුණි. (කෝට්ටේ රාජ්‍ය යුගයට පෙර විශේෂයෙන් ම ගම්පළ යුගය තුළ බටහිර දිග නැව්තොටු සහ සාගර කලාපය මුස්ලිම් සහ හින්දු මුහුදු කොල්ලකරුවන්ගේ ගොදුරු බිම් බවට පත් ව තිබූ බව ඉබ්න් බතූතා හෙළි කරයි.*
තිරිකුණාමලේ දී සෙන්කඩගල (නුවර* රජුගේ අත්අඩංගුවට පත් ව ව්‍ය.ව. 1660 සිට වසර විස්සක කාලයක් සිංහල රාජ්‍යයේ ‘එළිමහන් සිරකරුවෙකු’ ලෙස සිටි රොබට් නොක්ස් දිවයිනේ නියම මාර්තෘභූමි වාසීන් සිංහලයන් පමණක් බව පවසයි. එමෙන් ම මලබාර්/ද්‍රවිඩ ජනයා සිංහල රජුට බදු ගෙවමින් පදිංචි ව සිටි අය බව සහ මුස්ලිම් ජනයා නැව්තොටුවලට බඩු ගෙනයාමෙන් (වෙළඳ අතරමැදියන් ලෙස* ජීවත් වූ ඉඩම් හිමිකම් නැති ආගන්තුකයන් (ස්ටේ‍්‍රන්ජ(ර්ස් වූ බව සහ නැව්තොටු අවට ප‍්‍රදේශවල පදිංචි මලබාර් සහ මුස්ලිම් ජනයා ලන්දේසීන්ට රේන්ද ගාස්තු සහ කප්පම් ගෙවූ බව කියයි.

”පැගෝඞ්”?
ඉන්දියාවේ සහ ලංකාවේ ආගම් සහ ආගමික ස්ථාන පිළිබඳ වසර සියයකට වැඩි කාලයක දැනීම් සහ අත්දැකීම් තිබූ පුර්තුගීසීන් විනාශ කරන ලද පුදබිම ගැන සඳහන් කිරීමට චර්ච් හෝ කෝවිල් වචනය නොව ”පැගෝඞ්” වචනය භාවිත කොට ඇත. පුර්තුගීසි ‘පැගෝඞ්’ යන වචනයට ”සාමාන්‍යයෙන් වැඳුම් පිදුම් කිරීම පිණිස පූජනීය ධාතු නිදන් කොට මහල් සහිතව ඉදිකළ පිරමීඩාකාර ගොඩනැගිල්ල” යනුවෙන් අරුත් දක්වා ඇත. බෞද්ධ විහාරාරාම ගැන සඳහන් කිරීමේ දී රොබට් නොක්ස් ද ‘පැගෝඩා’ වචනය භාවිත කොට ඇත. සාමාන්‍යයෙන් භක්තිය පළ කරමින්, ඇතැම් විට සතුන් බිලි දෙමින් දෙවියන් යැදීම සඳහා වූ හින්දු කෝවිල් ගොඩනැගීමේ දී ”පූජනීය ධාතු” නිදන් කිරීමක් නැත.

පැරණි සිංහල සෙල්ලිපිය
රජුගේ නම හෝ වර්ෂය පැහැදිලි ව වාර්තාවේ සඳහන් වී නම් පුර්තුගීසීන් විනාශ කරන ලද පුදබිම කුමක් ද? එය ඉදිකළේ කවුදැ’යි හඳුනා ගැනීමට යම් හැකියාවක් ඇත. කෙසේ වෙතත් සෙල්ලිපියේ රජුගේ නම ”බාහු” කොටසක් සහිත වූ නිසා ඔහු සිංහල රජෙකු බව අනුමාන කිරීමට හැකි ය. ව්‍ය.ව. 1623 පමණ කාලයේ ලැබී ඇති මේ සෙල්ලිපිය පිළිබඳව ඩි ක්වේරෝස් පියතුමා කරන පැහැදිලි කිරීම මේ අනුමානය ශක්තිමත් කරයි. එසේම එය බැහැර නොකළ යුතු ඉතා වැදගත් ඓතිහාසික කරුණකි.
”මේ විහාරය (පැගෝඞ්* විනාශ කරන අවස්ථාවේ අකුරු කොටන ලද ගලක් සොයාගනු ලැබී ය. සිංහලයන්ගේ පැරණි අක්‍ෂර පිළිබඳ ඉහළ ම උගතුන් විසින් පරිවර්තනය කරන ලදුව, ලංකාවේ ඕවිදොර් විසින් සත්‍ය බවට සහතික කරන ලද එය අති උත්තම රජු වෙත යවන ලදී.” යනුවෙන් ලිපිය ගැන හඳුන්වන ක්වේරෝස් පියතුමා ලිපිය ”සිංහලයන්ගේ පැරණි අක්‍ෂර” භාවිත කොට ලියා තිබූ බව සහ එය ”පැරණි සිංහල අක්‍ෂර පිළිබඳ ඉහළ ම උගතුන් විසින්” කියවන ලද බව පැහැදිලිව ම සඳහන් කරයි. එසේම භාවිත කොට තිබූ අක්‍ෂර ව්‍ය.ව. 16 වෙනි සියවස ආසන්න කාලයේ භාවිත වූ සිංහල අකුරු නොව පුරාණ සිංහල අකුරු බව ද හෙළි කරයි.

සෙල්ලිපිය අතුරුදන්වීම
මේ සෙල්ලිපිය මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැත. ඉතිහාසඥයන්ගේ විශ්වාසය ලිපිය සහිත ගල් කුට්ටිය ද කොටු බැම්ම තැනීමට යොදා ගන්නට ඇති බව ය. කොටුව තැනීමට සුදුසු තැනක් සෙවූ පුර්තුගීසීන් ”විශේෂයෙන් ම ඉදිකිරීම සම්පූර්ණ කිරීමට විහාරයේ ගල් ඉතාමත් ප‍්‍රයෝජනවත් විය හැකි නිසා හරියට ම තිරිකුණාමලේ විහාරය පිටුපස කුඩා බිම් තීරුවේ බලකොටුව ගොඩනැගීමට අවසානයේ තීරණය කොට 1622 වැඩ අරඹා (එකල ඔවුන් සමග සාමයෙන් සිටි* නුවර රජුට දැන ගැනීමට ඉඩ නොලැබෙන සේ ඉදිකිරීම වේගවත් කළ” බව ලංකාවේ අගමික ප‍්‍රචාරයේ නිරතව සිටි පිලිප්පුස් බෝල්දිඅස් පියතුමා කරන සඳහන ඒ විශ්වාසය තහවුරු කරයි.

ඓතිහාසික සහ පුරාවිද්‍යා සාධක
වසර දසක කීපයකට පෙර ෆ්‍රෙඞ්රික් කොටුව තුළ කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් එහි තිබූ පුරාණ බුදුමැදුරක කොටස්, පධානඝරයක නටබුන්, බුදුපිළිම සහ පුරාණ බෞද්ධ විහාරාරාමවල ඉදිකරනු ලබන විවිධ අංග පැවති බව සනාථ කරන පුරාවිද්‍යා සාධක රැුසක් සොයාගැනීමට හැකි විය. මේ පුරාවිද්‍යා අවශේෂ (ආටිෆැක්ට්ස්* භික්‍ෂූන් වාසය කළ අංග සම්පූර්ණ පුරාණ බෞද්ධ ආරාමයක් එහි පැවති බව එළිදරවු කරයි. ඒ පුරාවස්තු තිරිකුණාමල කෞතුකාගාරයේ තැන්පත් කරනු ලැබ ඇත.
පස්වෙනි අග්බෝ රජු (ව්‍ය.ව. 718-724* ගෝකණ්ණ විහාරයේ පධානඝරයක් ඉදිකරනු ලැබූ බව මහාවංශය සඳහන් කරයි. පුරාවිද්‍යාඥයන් සොයාගනු ලැබූ පධානඝරයේ නටබුන් නිසැකයෙන් ම ඒ පධානඝරයේ නටබුන් විය හැකි බව අදහස් කෙරෙයි. එමෙන් ම තුන් පැත්තකින් මුහුදින් වටවී ඇති මේ භූමිය තුළ, භාවනා කරන භික්‍ෂූන් සඳහා අවශ්‍ය සියලූ අංගවලින් යුත් පුදබිමක් ලෙස ගෝකණ්ණ විහාරය පැවති බව පෙනෙයි. බොහෝ විට මේ විහාරයට අවශ්‍ය අංගයක් වූ පධානඝරය පස්වෙනි අග්බෝ රජු විසින් ගොඩනගන්නට ඇත. ව්‍ය.ව. අටවෙනි සියවසෙන් පසුව ද පැවති මේ විහාරය ඉන් බොහෝ කලකට පෙර ගොඩනගන ලද පුදබිමක් බවත් පෙන්නුම් කරයි.
වෙහෙර විහාර රාශියක් කර වූ මහසෙන් රජු (ව්‍ය.ව. 275-302* ගෝණගම්පටුනේ ද විහාරයක් කරවූ බව මහාවංශය සඳහන් කරයි. දන්ත ධාතුව රැුගෙන දන්ත කුමරු සහ හේමමාලි කුමරිය පිරිවර සමග පැමිණියේ ගෝණගම්තොට ආශි‍්‍රතව පිහිටි පුරාණ ලංකාපටුන නැව්තොටිනි.

කෝවිලක් නොවේ
තිරිකුණාමලේ කොටුව ගොඩනගන අවස්ථාවේ පුර්තුගීසීන් විනාශ කරන ලද්දේ ඊශ්වර/ශිව කෝවිලක් හෝ වෙනත් හින්දු දෙවියෙකු වෙනුවෙන් කළ කෝවිලක් නොව බෞද්ධ විහාරස්ථානයක් බව ඩි ක්වේරෝස් සහ පිලිප්පුස් බෝල්දිඅස් පියතුමන්ලා ඉදිරිපත් කරන තොරතුරු සහ ඓතිහාසික සහ පුරාවිද්‍යා සාධක සනාථ කරයි. ඒ විහාරය, නිසැක ව ම, මහසෙන් රජු විසින් ගෝණගම්පටුනේ (ගෝකණ්ණතිත්ථ* ගොඩන`ගන ලද බෞද්ධ සිද්ධස්ථානය විය හැකි ය. පුර්තුගීසීන් ව්‍ය.ව. 1623 විනාශ කරන තෙක් වසර එක්දහස් තුන්සිය පනහක (1350* පමණ කාලයක් පුරා පැවති ගෝකණ්ණ විහාරය සහ ඒ භූමිය පවා දැන් බෞද්ධයන්ට හිමි නැත.
යුරෝපීය ආක‍්‍රමණවලින් පසු විශේෂයෙන් ම ඉංගිරිසීන්ගේ කාලයේ සිට නැගෙනහිර පළාතේ ද ජන සංයුතිය සහ සංස්කෘතිය ඉතා විශාල ලෙස වෙනස් විය. දෙමළ, හින්දු, කි‍්‍රස්තියානි සහ මුස්ලිම්කරණය ඉතා දැඩි ය. නතර වී නැත.

බොදු පුදබිම් මත කෝවිල් සහ පල්ලි
ව්‍ය.ව. 1795 ඉංගිරිසීන් අල්ලාගත් කාලයේ සිට වසර එකසිය පනහකට වැඩි කාලයක් පුරා ෆ්‍රෙඞ්රික් කොටුව ඉංගිරිසීන්ගේ හමුදා මූලස්ථානයක් ලෙස පැවතුණි. හමුදා නිවහන් ද ඒ තුළ වීය. බණ්ඩාරනායක ආණ්ඩුව විසින් 1957 දී කටුනායක සහ තිරිකුණාමල හමුදා කඳවුරු භූමි අයිතිය යළි ලබා ගැනීම තෙක් ෆ්‍රෙඞ්රික් කොටුව පැවතියේ බි‍්‍රතාන්‍ය රාජ්‍යයේ කොටසක් ලෙස ය. ඉංගිරිසින්ගේ අවසරයකින් තොරව කිසිවෙකුට ෆ්‍රෙඞ්රික් කොටු දොරටුවෙන් ඇතුල්විමට පවා නොහැකි විය.
ෆ්‍රෙඞ්රික් කොටුවේ තිබෙන ශිව කෝවිල ගොඩනගා ඇත්තේ 1956 ට පසුව ය. කෝවිල ගොඩනැගීමට බොහෝ කලකට පෙර සිට ඒ භූමියේ පුරාණ බෝධියක් විය. දිවයිනේ වෙහෙර විහාර විශාල ගණනක් විනාශ කළ පුර්තුගීසීන් පවා විනාශ නොකළ ඒ බෝධිය ෆ්‍රෙඞ්රික් කොටුව තුළ ව්‍ය.ව. 1956 වෙන විට ද මිනිස් උවදුරු රහිතව රැුකී පැවතුණි.(34* වරින් වර වර්ගවාදීන් විසින් අතු ඉති කපමින් ටිකින් ටික විනාශ කරමින් තිබුණු බෝධිය 1964 වසරෙන් පසු දක්නට නැත. වර්ගවාදී බෙදුම්වාදීන්ට බිලි වී ඇත.
එමෙන් ම දේවානම්පිය තිස්ස රජු කල රෝපණය කරන ලද ශ‍්‍රී මහාබෝධියේ දෙතිස්ඵලරුහ බෝධිය පිහිටි, කාවන්තිස්ස රජු බෝධිඝරයක් ඉදිකරනු ලැබූ, කිලිවෙඞ්ඩියේ ‘ශී‍්‍ර වර්ධන බෝධිවිහාර’ භූමියේ කෝවිලක් තනා, එහි වූ ශී‍්‍ර මහා බෝධියේ ශාඛාවක් වූ බෝගස ෆ්‍රෙඞ්රික් කොටුවේ බෝධියට කළ ආකාරයෙන් ම විනාශ කොට ව්‍ය.ව. 1977 පමණ බෝ මුල ද උදුරාදමා තිබුණු තැන පවා හඳුනා ගැනීමට නොහැකි වෙන සේ සියලූ නටබුන් විනාශ කොට ඇත.

මානව ශිෂ්ටාචාරයට එරෙහිව ”වාර්ගික හිමිකම්”
උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ පුරාණ බෞද්ධ වෙහෙර විහාර මත ඒවායේ ගොඩනැගිලි ද්‍රව්‍ය ද භාවිත කරමින් හින්දු කෝවිල් ගොඩනගන ලද බවට සහ බුදු පිළිම ශීර්ෂ පවා ශිවලිංග සහ පුල්ලෙයාර් ලෙස භාවිත කරන ලද බවට ආචාර්ය පෝල් ඊ පීරිස්, ජේ.පී. ලූවිස්, ආර්.ඩබ්ලිව්. අයිවර්ස්, එස්. ඕ. කනගරත්නම් මුදලි ආදී ඉංගිරිසි රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් කොට ඇති තොරතුරු ෆ්‍රෙඞ්රික් කොටුවේ කෝනේසර් කෝවිල සම්බන්ධයෙන් ද බැහැර කළ නොහැකි ය. 16 වෙනි සියවසේ සිට බොදු පුදබිම් මත හින්දු කෝවිල් සහ කි‍්‍රස්තියානි/කතෝලික සහ මුස්ලිම් පල්ලි රාශියක් ඉදිකොට ඇති බව සහ ඉදිකරන බව රහසක් නොවේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිරිකුණාමල දිස්ති‍්‍රක්කය තුළ වූ හඳුනාගත් පුරාණ බෞද්ධ පුදබිම් 150 ක් පමණ සිතියම්වල ඇතුළත් කොට ඇත. එමෙන්ම පුරාවිද්‍යා ගවේෂකයන් හඳුනාගත් ස්ථාන රැුසකි. වාර්ගික බෙදුම්වාදය සහ ත‍්‍රස්තවාදය නිසා විසිවෙනි සියවසේ 70 දසකයෙන් පසු මේ කලාපයේ පුරාවිද්‍යා පරීක්‍ෂණ, කැණීම් අඩාල විය. වසර දසක තුනක පමණ කාලයක් පුරාවිද්‍යාවට හා ගවේෂකයන්ට ‘තහනම්’ කලාපයක් විය. වර්තමානයේ පවා පුරාවිද්‍යා සමීක්‍ෂණ සහ කැණීම්වලට එරෙහිව සමහර වර්ගවාදී දේශීය පමණක් නොව විදේශීය පුද්ගලයන්, සංවිධාන සහ ආයතන මානව ශිෂ්ටාචාරයට එරෙහිව ‘වාර්ගික හිමිකම්’ අවිය ඔසවමින් ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress