හැම ප්‍රශ්නයක්ම යට ගහන ගැටුමක් නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා… ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබසරණයි.
Posted on November 3rd, 2021

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාරක ලේකම් විජිත හේරත්

බඩු මිල ඉහළ යාමෙන් ජනතාවට ජීවත් වෙන්න බැරිම තත්වයකට වියදම් වැඩිවෙලා, ඊට සාපේක්‍ෂව ආදායම් වැඩිවී නැහැ. ඒ වගේම ගෑස්, සිමෙන්ති, කිරිපිටි, සීනි, භූමිතෙල් හිඟයක් තිබෙනවා. මේ සියල්ලම ලබාගන්න පෝලිම්වල ඉන්න  වෙලා. දැන්  භූමිතෙල් පෝලිමකුත් තියෙනවා. ඒ වගේම පාලන මිල පාලනයෙන් ගිලිහිලා. හාල්, සිමෙන්ති, සීනි, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩවලට තිබුණු පාලන මිල අයින් කරලා. ආණ්ඩුවත්  පාලනයෙන් අයින්  වෙලා ඉන්නේ. මේ නිසා රටේ ජනතාව බරපතළ අර්බුද රැසක ගිළිලා.
විශේෂයෙන් සිමෙන්ති  හිඟ  වීමත්  එක්ක  අපේ රටේ ශ්‍රම බළකායෙන් 7%-10%ත් අතර පිරිසකට රැකියා අහිමිවෙලා. මේ නිසා මේසන් බාසුන්නැහේට වගේම අත් උදව්කරුවන් ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී අසරණභාවයට පත්වී තිබෙනවා. මේ නිසා ඔවුන්ට තනි තනියෙන් මහ පාරේ උද්ඝෝෂණය කරන්න සිදුවෙලා. දරු පවුල් රකින්න  කිසිම මාර්ගයක් නැහැ. බොහෝ තැන්වල  සිමෙන්ති කොට්ටයක් දෙන්නේ වැලි, ගඩොල් ගත්තොත් විතරයි. එහෙම තියෙද්දිත් එකක් රු. 1500-1600 අතර වෙනවා. අනිකුත් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල වේගයෙන් වැඩිවෙලා. රු. 95,000ට තිබුණු යකඩ කම්බි  ටොන් එක රු. 210,000 දක්වා වැඩිවෙලා. රු. 2ට තිබුණු කොන්ක්‍රිට් ඇනය දැන් රු. 5යි. යම්කිසි ඇස්තමේන්තුවක් කරලා ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන්නේ කොහොමද? ඉදිකිරීම් කරන්න බැහැ. මේ ක්‍ෂේත්‍රයේ හැම පැත්තෙන්ම මිල වැඩිවෙලා; අර්බුදයට ලක්වෙලා.

ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කුප්‍රකට ජාවාරමක් තිබෙනවා. සීනි බදු වංචාවෙන් මාස 3කදී රු. කෝටි 1500ක් රජයට අහිමි වුණා. මේ තාක් සීනි ගෙන්වන්නේ ශත 25 බද්දට. මේ නිසා අද වෙනකොට රජයට වුණු පාඩුව රු. කෝටි 6,000ක් විතර වෙනවා. ආණ්ඩුව පාලනයෙන් අයින් වෙලා ඉන්නේ. මේ ප්‍රශ්නවලට ජනතාව උත්තර ගන්නේ කාගෙන්ද? හැමදේම අයාලේ යන තත්වයට පත්වෙලා තියෙන්නේ. සිමෙන්ති  ආනයනකරුවන්ගෙන් 10%ක කොමිස් ඉල්ලන බව කවුරුත් දන්නවා. සමහර ඇමතිවරුන් විවෘතවම ආනයනකරුවන්ට කතා කරනවා. එක පැත්තකින් ඩොලර් අර්බුදය තිබෙන අතර අනෙක් පැත්තෙන් 10%ක කොමිස් දුන්නම තවත් මිල ඉහළ යනවා. සිමෙන්ති මිල ඉහළ යාමට ආණ්ඩුව විසින් ඇතිකළ ඩොලර් අර්බුදයත් කොමිස් අය කිරීමත් හේතුවී තිබෙනවා. මේ රට මේ තත්වය තුළ ආර්ථික වශයෙන් මහා  අර්බුදයකට ඇවිත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව තිබුණු 4.8%ක උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ 7.6% දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා තිබුණා. මේ තත්වය පාලනය කරන්න  මොළ හතේ විකෘති මිනිසාට හැකිවුණේ නැහැ.

මේ අතර ගොවි ජනතාව පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නැති ප්‍රශ්නයට මුහුණදීලා. ආණ්ඩුවේ ඔළමොට්ටල තීරණ නිසා මුළු රටේම ගොවි ජනතාව මහ පාරට ඇවිත් සිටටිනවා. කෘෂි නිෂ්පාදන කඩාවැටිලා දැවැන්ත සාගතයක ලකුණු පහළ  වී තිබෙනවා. ගොවි ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත් නොවුණු බව අගමැතිවරයා සංවත්සරයේදී කිවුවා. අද වුණත් ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ. අර්වීනියා හා බැසිලස් කියන බැක්ටීරියා අඩංගු හානිකර කුණු කන්දක් ගේන්න ආණ්ඩුව ක්‍රියා කළ නිසා මහජන බැංකුවට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ නැව ලංකාවේ මුහුදු සීමාවේ නැංගුරම් ලා තියෙනවා. නමුත් ඇමතිවරු කියන්නේ රේඩාර් පද්ධතියට පෙන්වන්නේ නැහැ කියලයි. අපේ රටේ ජාතික ආරක්‍ෂාව කෝ? බලහත්කාරයෙන් ඇවිත් තියෙන නැවට කිසිදු පියවරක් ගන්නේ නැහැ. ඒ වගේම මහජන බැංකුවට මේ වෙනුවෙන් ඩොලර් මිලියන 09ක් ගෙවන්න සිදුවෙනවා. ඒ කියන්නේ රු. කෝටි 210ක්. මහජන බැංකුවේ  සල්ලි මේ පොහොර ගෙනාවත් නැතත් ගෙවන්න සිදුවෙනවා. මහජන බැංකුවේ තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි. යූ.සී.ටී. 600 කියන ජාත්‍යන්තර නීතියට Uniform Custom and taxes) අනුව මේ සල්ලි ගෙවන්න  බැඳිලා ඉන්නවා. මේක රාජ්‍යයන් දෙක අතර ගනුදෙනුවක් නොවන බව ජයසුන්දර මහත්තයා කියනවා. එහෙම නම් මොකටද තානාපති කාර්යාලය නිවේදන නිකුත් කරන්නේ? ඒ වගේම කෘෂිකර්ම ඇමතිවරයයි, රාජ්‍ය ඇමතිවරයයි තානාපති කාර්යාලයට ගිහින් කරුණු පැහැදිලි කරන්නේ ඇයි? ඒ වගේම මහජන බැංකුව චීන තානාපති කාර්යාලයට නිවේදනයකින් දැනුම් දෙන්නේ ඇයි?

චීනයේ කුණු පොහොර ගෙන ඒමට අපේ නිරෝධායන ඒකකයෙන් බාධා එනකොට ආණ්ඩුව ඊළඟට ගත්ත ඔළමොට්ටල තීන්දුව ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වන එකයි. පෞද්ගලික ගිණුම් මහජන බැංකුවේ විවෘත කර හදිසියේම කෝටි 29ක් දැම්මා. පහුගිය සිකුරාදා ඒ ගිණුම වහලා මහජන බැංකුවේ පොදු ගිණුමට දාලා ඒ හරහා ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන්වලට සල්ලි ගෙවනවා. කොමර්ෂල් පොහොර සමාගම එක්ක ඉන්දියාවේ සමාගම අත්සන් කරන ගිවිසුමක් අනුව මේ පොහොර ගේන බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙනවා. නැනෝ නයිට්‍රජන් ලීටර් ලක්‍ෂ 21ක් ඉන්දියාවෙන් ගෙන්වන්න ඩොලර් 529,125,00ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් රු කෝටි 1200ක් මේ වෙනුවෙන් වියදම් දරනවා. මේ සා විශාල මුදලක් අහිමි  කර ගැනීමේ ගනුදෙනුව පිටුපස අයථා මූල්‍ය ගනුදෙනු සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍යතාන්ත්‍රික ගැටලුත් නිර්මාණය වෙලා තියෙනවා. චීනයත් ඉන්දියාවත් අතර බල අරගලය හමුවේ මේ රටවල් දෙකෙන් එකක් සමග කරන ආනයනයේදී චීනයේ පොහොර නැවැත්වීමෙන් චීනය රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් අපිට එල්ල කළා. තාම ඒ තර්ජනය අවසන් වුණේ නැහැ. එහෙම තියෙද්දී ඉන්දියාවෙන් පොහොර ආනයනයේදී සිදුවන බලපෑම ආණ්ඩුවට තේරෙන්න ඕනෑ. වැරදි තීන්දු නිසා ඇතිකරගන්න මේ තත්වයන් නිසා විශාල අර්බුදයකට රට මුහුණ දී තිබෙනවා. මේ වගේ තත්වයක් යටතේ අපේ රටේ ණය  ගෙවීමේ හැකියාව තවත් පහත දැමීමට මූඩීස් ආයතනය ක්‍රියාකර තිබෙනවා.
රටේ හැම තැනම බඩුමිල පිළිබඳ, වැටුප් පිළිබඳ සහ පොහොර ඇතුළු අනෙකුත් ප්‍රශ්න පිළිබඳ උද්ඝෝෂණ තිබෙනවා. ඒ වගේම ජාතික සම්පත් විකිණීමට එරෙහිව මේ රටේ වෘත්තීය සමිති විරෝධතා දියත් කර තිබෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න සියල්ල යට ගහන්න ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙනවා. මේ සියලු ප්‍රශ්න යට ගහන්න සුපුරුදු පරිදි කුමන්ත්‍රණකාරී දේශපාලන වුවමනාවන් ඉස්සරහට ගෙනත් තිබෙනවා. 2019 සිදුකළ කුමන්ත්‍රණකාරී දේශපාලනය නැවත වටයකින් කරළියට ගේන්න කටයුතු කර තිබෙනවා. හිටි හැටියේ  එක  රටක්, එක නීතියක් හදන කාර්යසාධක  බළකායක් පිහිටුවන්නේ මේ නිසා. මේ පාලකයන්ගේ වැරදි ක්‍රමවේද නිසා පොඩි මිනිසාට එක නීතියකුත් බල පුළුවන්කාරයාට තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා. ජාති, ආගම්, කුල භේද අනුව තව පැත්තකින් වෙනස් විදිහට සලකනවා. නීතියේ ආධිපත්‍යය බිඳවැටෙමින් පවතිනවා. රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වගකිව යුතු ආණ්ඩුවක ප්‍රධාන කාර්යභාරයක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress