සුද්දගෙ නීතිය අපිට එපා – හයවෙනි කොටස
Posted on December 5th, 2021

 චන්ද්‍රසිරි විජයවික්‍රම,  LL.B., Ph.D.

‘එක රටක්-එක නීතියක් කියන්නේ ලස්සන සටන් පාඨයක්’ – අලි සබ්‍රි, අධිකරණ ඇමති

‘The first thing we do, let’s kill all the lawyers’ William Shakespeare

එක රටක් යන්න අත්හැරදමා, එක නීතියක් නමැති බරව කකුල කරට ගැනීම

ලංකාවේ නීතිඥ ප්‍රජාව එක රටක්-එක නීතියක් යන සංකල්පය නිසියාකාරව අවභෝධ කරගෙන නැති බවට හොඳම නිදසුනක්  අධිකරණ ඇමති අලි සබ්‍රි විසින් නොවැම්බර් 28 දා දිවයින ඔන්ලයින් යූටියුබ් සාකච්චාවේදී  රටට ලබා දුන්නේය. ඔහු සිතන්නේද, එක නීතියක් යන්නෙන් අදහස් කරන්නේ, ‘තරාතිරම නොබලා හැමදෙනාටම නීතිය එක සමානව භූමියේ ක්‍රියාත්මක  කිරීම’ යන්නය. ඔහු කියන මේ කතාව දෝෂ සහිතය. ඉන් එකක් නම්  දැනට තිබෙන නීති එක ජනවර්ගයකට පමණක් වාසි ගෙන දෙනවා නම් ඒ නීති ක්‍රියාවට නැඟීම නීතියේ ආධිපත්‍යයද යන්නය. දෙවැනි කරුණක් නම් මේ නීති රටට හා අනිත් ජනවර්ගවලට හානිදායක නම් ඒවා ඉවත් නොකිරීම නීතියේ ආධිපත්‍යය යයි කියන බටහිර ඩොලර් විජ්ජාව හරහා මානව අයිතිවාසිකම් රැකදීමද යන්නය.

සමහර මුස්ලිම් ශාරියාවාදී නීති රටේ ඒකීය භාවයට කෙළින්ම හානිකරය. තේසවලමෙයි කොටස් වැනි, තවත් සමහර නීති,  එක රටක් යන හැඟීමක්  රටේ දෙමළ ජනයාගේ සිත් තුල, රට තුල, වර්ධනය වීමට මානසික භාධකයකි (disincentive). කෛරාටික පක්ෂ දේශපාලකයින් මේ කාරණා නොතේරෙනවා සේ හැසිරීම තේරුම් ගත හැකිය. එහෙත් රටේ අධිකරණ ඇමති එසේ නීති බබෙක් සේ කතාකිරීම ජනයා, විශේෂයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනයා නොමඟ යැවීමක් නොවේද?

සල්ලි තියෙනවා නම් ඕනෑම ගොනෙකුට යුද්ධ දිණන්න පුළුවන්  (ලක්ෂ්මන් කිරිඇල්ල), තොප්පිගල කියන්නේ නිකම්ම කැලයක්, පොසොන් කියන්නේ ලංකාවට සිදුවූ ප්‍රථම ආක්‍රමණය (රනිල් වික්‍රමසිංහ), අලිමංකඩ කියා පාමංකඩ යනවා (රවි කරුණානායක)  යන ගොන් කතා අසා ඇති රටකට, අලි සබ්‍රි නම් මුස්ලිම් අධිකරණ ඇමති, එක රටක්-එක නීතියක් කියන්නේ <ලස්සන සටන් පාඨයක්> යයි කීම, විජේදාස රාජපක්ෂ නම් සිංහල අධිකරණ ඇමති, <ලංකාව සිංහල බෞද්ධයාගේ රට යයි කියන්නේ කෙසේද> කියා අසනවාට වඩා බරපතල දේශපාලන ප්‍රකාශණයකි. පුදුමයට කරුණ නම් සබ්‍රි, විජේදාසගේ  නීතීඥ ගෝලයෙක්ද වීමය. ඔහු (සබ්‍රි) කුඩාකාලයේ පාසැලේදී පූජාවලිය කියවා ඇතත් නැතත්, ඔහුගේ යටිහිත ශාරියාකාරයින් හා සිංහල බෞද්ධයා අතර (rational thinking) අතරමංවී ඇතිබව මෙය දෙන සංඥාවය.

එක රටක්-එක නීතියක් යනු එකම කාසියේ පැති දෙකය. එක රටක් නැතිව එක නීතියක් අර්ථ ශූන්‍යය. බලු වලිගයක් පමණය. සිංහල බෞද්ධ ජනයාගේ පැත්තෙන් එය වනාහි 1815 ට කලින් සිටම ඔවුන්ට අහිමිකල අයිතිවාසිකම් හා ඔවුන්ට ලෝකයේ ඇති එකම ඉඩම් කැබැල්ල කැබලි කිරීමේ සුද්දන්ගේ හා කළු සුද්දන්ගේ මහාවංශ විරෝධී ව්‍යාපාරය නමැති කුළුගොනා අංදෙකෙන්ම අල්ලා ගැනීමකි. බොරු නිදහස ලබා අවුරුදු 74 කට පසුව, 1956 දී <අපේ ආණ්ඩුව>  විසින් වත් කරන්නට අසමත්වූදේ, 2021  අගදී සිදුවීම කොළඹ කළුසුදු පැරඩයිම් මාරුකිරීමේ ඓතිහාසික පියවරකි.

ලංකාවේ දුෂ්ට ත්‍රිකෝණය හා නිතීඥ වෘත්තිය

කොල්වින්ලා, පොන්නම්බලම්ලා දක්ෂ නීතීඥයින් ලෙස  සැළකුණේ පවතින නීතියේ ඉඩැස් අතරින් රිංගා නඩු දිනූ නිසා නොවේද? ගොයම් කොලය කියන්නේ කමතේ වීපිඳුරු ගොඩට නොව ගොයම් ගසේ කොලයකට යයිද, සතාසිවම් නොව වංගෙඩිය මිනීමරුවා කියාද තීරණයවන්නේ සබ්‍රිලාගේ නීතියේ ආධිපත්‍යය නමැති ටෙක්නිකල් කුණුකූඩය අනුවය. දේශපාලකයා-නිලධාරියා-කොම්පැනි/එන්ජීඕකාරයා යන දුෂ්ඨ ත්‍රිකෝණයේ රඟ පාන ප්‍රධානම චරිත වන්නේ ලොකු කුඩා නීතීඥ පිරිසය. මොවුන් ගෙන් මහජනයා සූරා නොකන අය ඇත්තේ ඉතා සුළු පිරිසකි.  නීතිය නමැති මකුළු දැලට අසුවන්නේ මැස්සන් වැනි දුබලයින්ය. රවි කරුණායකලා, රාජිතලා වැනි රාජාලියාලා දැල පසාරුකරගෙන ගැලවී යන්නේය. මීට හවුල්වන නීතීඥ භට පිරිස් තමන්ගේ කුට්ටිය කඩා ගනී. සමහරු ගාස්තු වෙනුවට මාලද කඩා ගනී.

අඩුතරමින් තිරන්ත වලලියද්ද වත් හොරු නොවන හොඳ ගොඩට වැටෙනවාද කියා මට සැක සිතෙන්නේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඔහු පෙනී නොසිටි නිසාය. සුප්‍රීම් උසාවියේ නඩුකාරයින් තුන් දෙනෙකුගෙන් දෙන්නෙක් උන්වහන්සේට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ඉඩදීම ප්‍රතික්ෂේප කලේය. මේ දෙන්නාගෙන් එක් අයෙක්වූ ප්‍රසන්න ජයවර්ධන ඔහු බාර් ඇසෝසියේසන් එකේ උපසභාපතිව සිටියදී බොදු බල සේනාවට විරුද්ධව දැඩිලෙස  ක්‍රියාකල අයෙකි. මොහු එම නඩුවෙන් ඉවත් නොවීම හෝ ඉවත් නොකිරීම ස්වභාව ධර්ම නීතියට අනුව  හාමුදුරුවන්ගේ මානව අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි. (තීන්දුව දී වැඩිකලක් යන්නට පෙර ඔහු හදිසියේ මියගියේය. ඔහු ගැන පලවූ ගුණ වර්ණනා, රට පාවා දුන් මංගල සමරවීරට කල ප්‍රශස්ති ගායනා  වැණිමය). සබ්‍රි මේ ගැන වචනයක්වත් කතා නොකලත් රන්ජන් රාමනායක නිදහස් කර ගන්නට නීති වෙනස් කිරීමට පවා සූදානම් බව දියවන්නා හෝටලයේදී ප්‍රකාශ කලේය.

නීතිඥ වෘත්තිය සමාජයකට ඉතා වැදගත් සේවයක් කල ආයතනයක් බව ගාන්ධි දකුණු අප්‍රිකාවේදී සිටම පෙන්වා දුන්නේය. කළුසුද්දෙක් නොවී ලෝක මට්ටමෙන් සේවයක් කල අයෙක් නම් වීරමන්ත්‍රි මහතාය. නීතිඥ වෘත්තිය සමාජයකට ඉතාවැදගත් සේවයක් කල ආයතනයක් බව ගාන්ධි දකුණු අප්‍රිකාවේදී සිටම පෙන්වා දුන්නේය. කළුසුද්දෙක් නොවී ලෝක මට්ටමෙන් සේවයක් කල අයෙක් නම් නීතිඥ  සී. ජී. වීරමන්ත්‍රිය. ඔහු නීති විද්‍යාල සබන් පැක්ටරියෙන් වෙනස්වූ අයෙකි. නීතිඥයින් වශයෙන් ඇමෙරිකන් මහජනයා වෙනුවෙන්, ඔවුන්ට අළුත් අයිතිවාසිකම් ලබාදීම සඳහා උසාවියේ නඩු හරහා ක්‍රියාකල එක් අයෙක් නම් ක්ලැරන්ස් ඩැරෝය (1857-1938). මොහු ගැන ලියා  ඇති එක පොතක්වත් ලංකාවේ නීතිඥයින්/නඩුකාරයින් කියවනවා නම් කෙතරම් අගේද? (Clarence Darrow for the defense: a biography, by Irving Stone, 1941). මෙවැනි තවත් උදාහරණයක් නම් දෙවරක්ම ඇමෙරිකාවේ උපජනාධිපති අපේක්ෂකයා වීමට ගිය විලියම් ඩග්ලස් (1898-1980) නම් සුප්‍රිම් උසාවි නඩුකාරයාය. ඔහු විසින් දුන් නඩු තීන්දු මහජනයාට අළුත් අයිතිවාසිකම් ගෙන දුන්නේය (Wild Bill: the legend and life of William O. Douglas by Bruce Murphy, 2003).

ලංකාවේ නීති වෘත්තිය ගැන ඇත්තේ බලවත් කලකිරීමකි.  බාර් ඇසොසියේසන් එකත්, සමහර නඩුකාරයිනුත් ඩොලර්  සහනාධාර ලබන්නේ ඇමෙරිකාව අධිකරණ ක්‍රමය උසස් කිරීමට උපකාර කරනවා යන කතාව උඩය. සුප්‍රිම් උසාවි නඩුකාරයෙකුගේ පුතෙක්වූ එස්. එල්. ගුණසේකර විසින් ලියනලද, Lore of the Law and Other Memories, S. L. Gunasekara (2011) පොතේ ඉහල මට්ටමෙන් සිදුවන පිටකසා ගැනීම් ගැන නොයෙක් උදාහරණ සපයා තිබේ. සුගන්ධිකා ප්‍රනාන්දු යන තරුණ නීතීඥවරියට, නිතීඥ වරිගයේ හොර ක්‍රියා එලිකිරීම නිසා දැඩි පීඩනයකට පත්ව නිහඬවීමට සිදුවිය. නාගානන්ද කොඩිතුවක්කු නම් කාගෙන ඉදිරියටම යමින් සිටී.

සබ්‍රිලාගේ ක්‍රියාකලාපය තක්සේරු කල යුත්තේ කුමණ පසුබිමක් යටතේද යන්න පෙන්වා දීම ඉහත ජේද කීපයේ අරමුණය. කුලියට සල්ලි වලට, සාධාරණ, අසාධාරණ  නීති වලින් රිංගා යාමට  උසාවියට බඩගානවාට වඩා වැඩි දෙයක් උතුම් නීති වෘත්තියකට ඇත. ඒවා මෙසේය. මෙය දැනට අවුරුදු 30 කට පෙර ලියූ ලිපියක ඇති සටහනක සිංහල අනුවාදයකි. මෙය වඩා පහසුවෙන් වටහා ගැනීමට පහත දැක්වෙන ලින්ක් එකට යන්න.

 LankaWeb – One country-one law project

නීති ශාස්ත්‍රය (legal system)

එක නීතියක් යනු සබ්‍රිලා කියන ආකාරයේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම යයි විග්‍රහ කිරීම අඥාන හෝ ජනයා හිතාමතාම රවටන උපක්‍රමයකි. නීතිය ක්‍රියාත්මක කිරීම යනු රටක සමස්ථ නීති පද්ධතියේ එක අංගයක් පමණය. මෙම නීති සමස්ථය ප්‍රායෝගික නීති විද්‍යාව (applied law) යන මාතෘකාව යටතේ පැහැදිලි කල හැකිය.  මූලික වශයෙන් එහි කොටස් තුනකි. (A) නීති ක්‍රියාවට නැඟීම (implementation /procedural), (B) නීති  සැදීම (creation/substantive) හා (C) නීති අධ්‍යාපනය/ පර්යේෂණ (teaching/research) යනුවෙනි.

(A) යටතේ (1) නීතිය බල ගැන්වීම (enforcement) හා (2) අර්ථ නිරූපණය කිරීම (interpretation) යයි අවස්ථා දෙකකි.  බලගැන්වීම කරන්නේ නිලධාරීන්, නඩු පවරන්නන් හා රෙගුලාසි ක්‍රියාත්මක කරන්නන් යන තුන් කොටසය (officers, prosecutors, regulators). ඔවුන් ගන්නා පියවරවල් පිලිවෙලින්, දඩ ගැසීම/ අත් අඩංගුවට ගැනීම, නඩු පැවරීම හා රෙගුලාසි ක්‍රියාවට නැඟීම යනාදී වශයෙනි (fine/arrest, prosecute, regulate).  මෙම කටයුතු ඒ සඳහා තිබෙන සම්පත් ප්‍රමාණය හා සමාජයේ ආකල්ප අනුව අගයනු/ තක්සේරු (assessment) කරණු ලැබේ (resources, values

[legal culture]

).

අර්ථ නිරූපනය කරන්නේ උසාවි හා නීතීඥයින් විසිනි. එහිදී උසාවි නීති සැදීමේ කාර්යකුත් (law-making), නීතිඥයින්  සැකයෙන් තොරව ඔප්පු කිරීමේ වගකීමත් (burden of proof) උසුලයි. මෙහිලා තක්සේරු කිරීමක් සිදු වන්නේ ශාක්ෂි (evidence/facts) හා විශේෂඥ ශාක්ෂි  (expert witness) අනුවය (විද්‍යාත්මක උසාවි? Science court).

(B) නීති සැදීම (creation/substantive) යටතේ (1) නීති සම්පාදනය (legislative endowments) හා (2) නීති සම්පාදන ක්‍රියාවලිය (legislative process) යනුවෙන් කොටස් දෙකකි. මහජන නියෝජිතයින් (legislators) නීති පණවති (enact). අධිකාරීන් (regulators) ඒවා ක්‍රියාවට (enforce)  නංවති. පර්යේෂකයෝ (researchers) නීති න්‍යාය/සංකල්ප (theory/concepts) ගොඩ නගති. කෙතෙක් දුරට මෙම කටයුතු ඉෂ්ටවේද යන්න, නීතියේ කාර්යක්ෂමතාව ලෙස අගයනු ලැබේ (compliance/efficacy of law).

නීති සම්පාදන ක්‍රියාවලියේදී විශේෂඥයින් (experts) සිවිල් සංවිධාන (interest groups), අවශ්‍ය දත්ත/තොරතුරු (empirical data) සැපයීම හා යුක්තිය/සාධාරණත්වය (justice/equity) ඉටුකර ගැනීමට මැදිහත්වේ. නීති පැණවීමේ අවශ්‍යතාවය (pre-impact) හා එසේ පැණවූ නීතිවලින් වන බලපෑම (legal impact) මඟින් මෙම කටයුතු අගයනු ලැබේ.

(C) කොටස සඳහා හොඳම නිදසුණ නම් එක රටක්-එක නීතියක් පිළිඹඳ කාරණාව සම්බන්ධයෙන් සුවිශේෂ දැණුමක් ඇති ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායය. මේ සම්බන්ධයෙන් දැනටමත් උතුරේ ටී.එන්.ඒකාරයින්ගේ දුර්මත වලට හාමුදුරුවන් නිසි පිළිතුරු ලබාදුන්නේය. උන්වහන්සේට මේ සම්බන්ධයෙන් ඇති ක්ෂේත්‍ර හා ශාස්ත්‍රීය දැණුම ඉදිරියේදී උලමා සභාවට සිය අදහස් නිවැරදි කරගැනීමට හේතූ උපකාර වනු නිසැකය.

චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් වරක් විදේශ කටයුතු අමාත්‍යාංශය හැඳින්වූයේ හොර අඹුවන්ගෙන්, දූෂිතයින්ගෙන්, පිරි ආයතනයක් ලෙසය. නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශයද විශේෂයෙන් රටේ සිංහල බෞද්ධ ජනයාට හිසරදයකි. ඔවුන් ජීවත්වන්නේ කළ් සුද්දන්ගේ ලෝකයකය. නීතිඥ සංගමය පාපයකි. වෛද්‍යය වෘත්තිය මෙන් නොව, නීතිය (නීති විද්‍යාව ) ඕනෑම කෙනෙකුට ලේසියෙන් ග්‍රහණය කරගත හැකි විෂයයකි. එය රොකට් සයන්ස් එකක් නොවේ. නොයෙක් විධිවිධාන සංග්‍රහ (procedures) මඟින් එය ජනතාවගෙන් ඉවත්කර තිබේ. උසාවියක් ඉදිරියට යෑම බිම්බෝම්බ ඇති බිමකින් යෑම වැනිය. නිතිය පිළිඹඳ මූලික දැණුමක් පාසැල් සිසුන් ඇතුළු හැම පුරවැසියෙකුටම ලබාදිය යුතුය. හැකි සෑම විටම ආරවුල් විසඳීමේ ක්‍රියාවලියෙන් නීතිඥයින් ඉවත් කල යුතුය. ඔවුන් කරන්නේ ප්‍රශ්ණ  තවතවත් දිග් ගැස්සීම හා අවුල් කිරිමය. නොයෙක් අන්දමේ සමථ මණ්ඩල ප්‍රවර්ධනය කල යුතුය.

මෙම ලිපි පෙල මෙම ලිපියෙන් අවසාන කරන්නට මුලදී සිතුවත් අලි සබ්‍රිගේ අනිසි කතාව නිසා එය වෙනස් කරන්නට සිදුවිය. මේ නිසා නීතිය-භූගෝල විද්‍යාව-බුදු දහම යන ත්‍රිත්වයේ (ත්‍රිකෝණයේ) නීතිය පිළිඹඳ පාදය පමණක් කෙටියෙන් සළකා බලන ලදී. යම් රටක නීතිය යනු තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක  කිරීම යයි සිතීම අයිස්බර්ගයක මුහුදු වතුරේ උඩින් පෙනෙන තුඩ දෙස බලනවා වැනිය.

සමස්ථ නීති පද්ධතියම, සිස්ටම් එකම, රෙපයාර් කලයුතු මලකඩ කෑ වාහනයක් වැනිය. මෙම පද්ධතියට ඉතිහාසයක්ද තිබේ. ඉතිහාසය යනු අතීත භූගෝල විද්‍යාවය. අතීත භූගෝල විද්‍යාවට පටහැනිව පැණවූ නීති වත්මන් භූගෝල විද්‍යාවටද පටහැනිය. සුද්දට රට තිබුණා නම් මීට වඩා හොඳයි කියා මහජනයා කිව් කාලයක් තිබුණේ කළුසුද්දන් ඉතිහාසය හා භූගෝල විද්‍යාව යන දෙකම අනාගත් (mismanagement) නිසාය.

පුදුමයට කරුණ නම් මෙහිදී නාගානන්ද කොඩිතුවක්කු හා අලි සබ්‍රි අතර ඇති සමානකමය. නාගානන්දගේ බිත්තර බාස්කට් එකත් නීතියේ ආධිපත්‍ය නැතිකම ගැනමය.

නීති විද්‍යාව, භූගෝල විද්‍යාව හා බුදු දහම සමඟ පාහන දම්වැල් වන්නේ ගැලපීමේදී නීති විද්‍යාවේ පදනමවන  මූලධර්ම  තුනක් විසින්ය. ඒවා නම් (1) රීසනබල්නස් ඩොක්ට්‍රින් (2) සද්භාවය (මෙන්ස් රියා, චේතනාව ) හා (3) ස්වභාව ධර්ම රීතිය (rules of natural justice).

මීලඟ ලිපියේ ඇති සටහනෙන් පෙන්වා  දෙන්නේ මෙම මූලධර්ම බුදු දහමට හා භූගෝල විද්‍යාවටද පොදුවන ආකාරයය. වෙනත් ආගම් හා වෙනත් විෂයයන් අතර මෙවැනි සම්බන්ධයක් තිබේදැයි කීමට දැනුමක් මට නැත.

One Response to “සුද්දගෙ නීතිය අපිට එපා – හයවෙනි කොටස”

  1. Sudath Gunasekara Says:

    Dear Chandra.
    I read all your Suddange niitiya Apata epaa series
    Could yo please publish this as a book and make it available for our donkeys to read it.
    I hope you have seen my article on Pension for Politicians in todays Lankaweb, just below yous.r
    Sudath

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress