සිංහලයනට වන අසාධාරනකම් ගැන කථා කිරීමට කිසිවෙක් නැත
Posted on December 27th, 2021

චානක බණ්ඩාරගේ

 ‘සිංහල’, බෞද්ධ’ සංකල්පයන්

‘සිංහල’’, බෞද්ධ’ යන සංකල්පයනට පසුගිය වසර 40 ක පමණ කාලයක සිට සිදුවී ඇති අවැඩ, අගතිය, හානිය අති මහත්ය.

1815දි  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු පවා  උඩරට ගිවුසුම මඟින් මේ රට හැඳින්වුයේ ‘සිංහලේ’ යන නමිනි. සිලෝන් හෝ ශ්‍රී ලංකා යන නම් ඔවුන් පාවිච්චි නොකළේ එකල ඒවා මේ රටේ නාමය ලෙසට සනිටුහන්ව නොතිබීමයි.  

1995 මැද භාගයේ පමණ සිට මේ රටේ සැමදා තිබුණු  ‘සිංහල බෞද්ධ’ වෙනුවට ශ්‍රී’  ලාංකික’ යන අනන්‍යතාවය දිය යුතුය යන රාජ්‍ය මතයක් ගොඩ නැඟීමට පටන් ගැනිණි. එක් සුළු ජාතියකට මහ ජාතිය විසින් කරන ලද අසාධාරණ වෙනුවෙන් තමා ලැජ්ජාවට පත්වෙන බව වැනි අදහසක් එවක සිටි රාජ්‍ය නායිකාව ජාත්‍යන්තරය හමුවේ කියා තිබුණි.

මේ රටේ සිංහල බෞද්ධයනට අමතරව ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, ආදිවාසින් (මොවුන් සිංහල බෞද්ධයන්ගේම කොටසක් වැනි වෙති), මැලේ ආදීහු ජීවත් වෙති. එවන් පසුබිමක සියළු රටවැසියන් ‘ශ්‍රී ලාංකික’ යන අනන්‍යතාවෙන් හැඳින්වීමේ පදනමක් ඇත. එම අනන්‍යතාවය  පිළිබඳව විරුද්ධ වීමට දැන් අපහසුය. සුද්දා දැමු සිලෝන් නාමය  1972 වසරේදී වෙනස් කරන විට මේ රට නැවත වරක් සිංහලේ ලෙස නම් කිරීමට හැකියාව තිබුනත් එය ශ්‍රී ලංකාව ලෙස නම් වුයේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ තිබෙන්නේ සිංහල බෞද්ධ අත්තිවාරමක් (foundation) බව සියළු දෙනා පිළිගත යුතුය. 1995 පමණ සිට තිබු රජයන් ඉතා සුක්ෂම ලෙස   ‘සිංහල’’, බෞද්ධ’ ලෙස රට හැඳින්වීමට එදිරිව කටයුතු කලහ.

2009 යුද්ධයෙන් පසු සන්හිඳියා ක්‍රියාදාමය; 2010 – 2019

සියළු රටවැසියන් සිය ආවේනික ජාතිය (සිංහල, දෙමළ, මුස්ලිම්) අමතක කර ‘ශ්‍රී ලාංකික’ විය යුතුයයි කියන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රමයෙන් මුල්බැසගති.  බෙදුන්වාදීන්, ජාතික අන්තවාදීන් බහුල සහ ඉතා ප්‍රබල වූ මේ රට තුල අඩු තරමින් ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවක් සියළු රට වැසියන් ගොඩ නැඟූනේ නම් එය හොඳය. නමුත් එය සිදු නොවිණි.  

එම සන්හිඳියා ක්‍රියාදාමය මුළු රට පුරාම එක විදියට ක්‍රියාත්මක විය යුතුව තිබුණි. එය එසේ නොවීය.

සෑම ජාතියක්ම (සිංහල, දෙමළ, මුස්ලිම්)  එක ලෙසින් එම ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව වැළඳ ගත යුතුය. නමුත් එවැන්නක් සිදු වුයේ නැත.  

දකුණේ සිංහලයන් සිය  සිංහල බෞද්ධත්වය  දෙවෙනුවට මෙන් තබා මෙම  නව ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ඉමහත්  භක්ත්‍යාධරයෙන් වැළඳ ගත්හ. ‘අපි ශ්‍රී ලන්කන්’ කියා ජාතික කොඩිය අභිමානයෙන්  ක්‍රිකට් තරඟ වලදී වැනුහ, නිදහස් දිනය දා එය තම නිවසේ ප්‍රදර්ශනය කළහ. සුළු ජාතින්, විශේෂයෙන්ම උතුරේ,  එවන් ආසාවක්/උද්යෝගයක් ප්‍රදර්ශනය නොකළහ. අද තත්ත්වය ද  එසේය.

සිංහලයෝ ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ආශාවෙන් වැළඳ ගැනීමට යාමෙන් සහ සුළු ජාතින් එය ඒ තරමින් වැළඳ නොගැනීමෙන් සිංහලයෝ තමනට ආවේනික වූ ජාතිකත්වය (‘සිංහල’, බෞද්ධ’)මොට කර ගත්හ. මෙහි අවාසනාවන්ත ප්‍රථිපල දැනටමත් දක්නට ලැබෙතත් (උන්වහන්සේගේ දේශපාලන මතවාද කුමක් වුවත්, තම විශ්ව විද්‍යාලයේ කුලපති වූ, වයෝවෘධ ස්වාමින්වහන්සේට දන ගසා වැඳ, භක්ත්‍යාධරයෙන් යුක්තව තම උපාධි සහතිකය ලබා ගැනීමට හැදියාවක් තිබු ශිෂ්‍යයන් සිටියේ එදාය; අද?) වඩා බරපතල ප්‍රථිපල විද්‍යාමාන වනුයේ තවත් වසර 25ට පමණ ඔබබෙන් යයි ලියුම්කරු විශ්වාස කරයි.  ඒ පිළිබඳව මේ ලිපියෙන් පැහැදිලි කෙරේ.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ සම්භවය ඇති රටක් නොවේය යන සංකල්පය රට තුල ඇතිකළේ ඇතැම් සිංහල බෞද්ධ දේශපාලනඥයන් විසින්මය. කාදීනල්තුමා තම මතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔවුහු මඳක් නිහඬ විය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වෙනි වගන්තියෙන් රජයන් විසින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී  බෞද්ධාගම ආරක්ෂා කිරීමට සහ රැක ගැනීමට ලබාදී ඇති ප්‍රතිඥාව ඉවත් කිරීමට රජයන් සලකා බැලු බව නොරහසකි. මෙයද බොහෝ දුරට ව්‍යවර්ථ වුයේ කාදිනල්තුමා තම මතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. නමුත්, නැවතත් ‘secular’ සංකල්පය යටතේ මේ මතය – එනම්, 9වෙනි වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම – ඇතැම් යු ටියුබ් වැඩසටහන් ඉදිරිපත් කරන්නන් විසින් ව්‍යංගාර්ථයෙන්  උත්සහ දරන බව පෙනේ. ශ්‍රී ලංකාව සැමදාම වුයේ secular රටකි; 9වෙනි වගන්තිය නිසා secular භාවයට කිසිදු හානියක් සිදු වී නොමැත.

නැවතත්; සන්හිඳියාව යටතේ සිංහලයෝ තම  සිංහල බෞද්ධ සංස්කෘතිය වර්ධනය කරනවා වෙනුවට  ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රගුණ කිරීම වෙනුවෙන් ඇප කැපව වැඩ කළහ.  බොහෝ දෙනෙක් දෙමළ ඉගෙන ගත්හ. කෝවිල් ගියහ. දෙමළ චිත්‍රපටි, සින්දු රස විඳින්නට වඩාත් යොමු වුහ. දෙමළ ක්‍රමයට ඇඳුම් (සරම්, සාරි, පොට්ටු, කරාඹු) ඇන්දහ/පැලඳුහ. දෙමළ/මුස්ලිම් කෑම සෑදීමට/අනුභවයට, දෙමළ නෘත්‍යනය ඉගෙනුමට වඩාත් යොමු වුහ. දෙමළ/මුස්ලිම් අය තම සමීප මිතුරන්/අසල්වැසියන් බවට පත් කර ගත්හ.  තම විවාහ සහකරු/සහකාරිය ලෙස පෙර නොවූ විරු ලෙස සිංහල නොවන ද්‍රවිඩ/මුස්ලිම් අයව තෝරා ගත්හ.  

දකුණේ සිංහලයෝ ද්‍රවිඩ/මුස්ලිම් සංස්කෘතින් හා සමීපවීම වීමට උත්සාහ කරද්දී උතුරේ, නැගෙනහිර අය සිංහල කථා කිරීම, බෞද්ධාගම ගැන, සිංහල සිරිත් විරිත් ඉගෙනුම  ගැන සුවිශේෂ උනන්දුවක් දැක්වූ බවක්  අසන්නට නොලැබුණි.

දෙමළ කථා කරන  සුළු ජාතින් – උතුරු නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ, මුස්ලිම් (වැඩියෙන්ම උතුරේ දෙමළ)  ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රගුණ කිරීම/වැළඳ ගැනීමට වඩා ඔවුන්ටම ආවේනිකවූ ජාතිකත්වය තවත් වර්ධනය කිරීම සහ ඒ පිලිබඳව වූ අභිමානයෙන් කටයුතු කිරීමට සිය  අවධානය තීව්‍ර කළහ. එය වඩා වැදගත් බව සලකා ඒ අනුව ඔවුහු කටයුතු කළහ. නිදහස් දිනය දා ජාතික කොඩිය ප්‍රදර්ශණය කිරීම කෙසේ වෙතත් නොවැම්බර් 26 වෙනිදා මහාවීර දිනය කෙසේ හෝ සැමරීමට ඔවුහු යුහුසුළු වුහ. ද්‍රවිඩ බෙදුම්වාදීන් සිය ඒකිය රාජ්‍ය සංකල්පය අත්හල බවක් පෙනුනේද  නැත. 2010 – 2019 සන්හිඳියා කාලයේ කිසිදා නොතිබුණු මුස්ලිම් අන්තවාදයක් ද මේ රටේ බිහි විය.  2019 අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා රට පුරා බෝම්බ පිපිරී ගියේය.

සන්හිඳියාව යටතේ දකුණේ සිංහලයන් විශාල ලෙසින් උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කල යුතු වුවත් එවැනි දේ බොහෝ අඩු විය. රජයන් ඒවාට අනුබල නොදුණි. යුධ ජග්‍රහණයෙන් පසුව 2009/2010 වසරවල දිනකට සාමන්‍යයක් ලෙස සිංහල බස් 4/5 පමණවත් දකුණෙන් උතුරට ගියේය. ඔවුහු බොහෝ විට නැවතුනේ යාපනයේ නාග විහාරයේය. සමහරෙක් නාවට්කුලි සිංහල ගම්මානයේ (යාපනයට කිලෝ මීටර් 8යි) නැවතුනහ.

ඒ දිනවල සිංහලයන්ට උතුරේ බලන්න බොහෝ දේ තිබුනේය – ප්‍රභාකරන්ගේ මාලිගා, බංකර්, නාන පිහිනුම් තටාක, සුසෙයිගේ මාලිගා, LTTE සබ්මැරීන, LTTE විශාල කාලතුවක්කු වැනි ආයුධ/ගුවන් යානා, තමිල් චෙල්වම් ඝාතනය කල ස්ථානය  ආදිය. සන්හිඳියාව නාමයෙන් මේ සියල්ල ඉවත් කෙරිණ. මේ ස්ථාන යුද හමුදා භාරය යටතේ මේ රටේ මහජනතාවට බැලීමට සැලැස්විය යුතුව තිබුණි. LTTEය යනු මොන තරම් කෘර, ම්ලේච්ච ත්‍රස්තවාදී සංවිධානයක්ද යන්න අනාගත දරුවනට  පෙන්වීමට ඒවා භාවිතා කල හැකිව තිබුණි. උතුරේ ද්‍රවිඩයන්ද ඒවායින් පාඩම් ඉගෙන ගනු ලැබ තිබුණි, විශේෂයෙන්ම LTTEයේ කෘරත්වය පිළිබඳව. යාපනය  නගරයේ බෙහෙවින් සිටි හමුදා භටයන් ඉවත් කෙරුණි, ඔවුන්ව හමුදා බල ඇණි තුල කොටු කෙරිණි.

2013 පමණ වනවිට සිංහල කථා කරන පොලිස් නිලධාරින්ද උතුරෙන් බොහෝ සෙයින් අඩු කර දමන ලදී. යුද්ධය අවසන් වූ පසු සෑම නගරයකම හමුදා ආපනශාලා විය. අද එකක් වත් නොමැත. සිරිසේන ජනාධිපති හමුදා කැම්ප් ගොඩනැගිලි වලට පමණක් මෙන් සිමා කරමින්, විවිධ හේතු දක්වමින්, ඒවාට අදාළ ව තිබු විශාල ඉඩම්/හමුදා ෆාර්ම් ඒවාට අහිමි කර දෙන ලදී. සමහර හමුදා ඉඩම් උතුරු පළාත් සභාවට පවරා ගැනුණි.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක් නම් මෙවැනි දේ කරන්නේ ඇයි?

උතුරේ, නැගෙනහිර  ඇතැම් හමුදා කෑම්ප් සුද්දා විසින් ඔවුන්ගේ කාලයේ තනන ලද ඒවාය. ඒවා රටේ භෞමික අඛණ්ඩතාවයට අත්‍යාවශ්‍ය ඒවා නිසාය.

දකුණේ සිංහලයෝ උතුර බලන්න පැමිණීම ගැන උතුරේ සාමාන්‍ය දෙමළ ජනයා කැමති වුහ. සිංහල – දෙමළ මිත්‍රත්වය වර්ධනය විය. උතුරේ/යාපනයේ ආර්ථිකය දියුණු විය. ජාතිවාදී අදහස් දරන සම්බන්ධන්, සුමන්තිරන්, විග්නේස්වරන් වැන්නන් කෙසේ වෙතත් මෙවැනි දේට විරුද්ධ වන බව ප්‍රසිද්ධ කරුණකි. රජයන් ඔවුන්ගේ වදන් වලට පමනක් අනුකුලතාවය දක්වන්නේ ඇයි? ඔවුනට ඇති අනියත බිය නිසා නේද?

2020 සුනාමියට  පෙර මෙම බස් සංක්‍යාව සතියකට බස්  4/5 වැනි ප්‍රමාණයක් පමණ දක්වා අඩු වී තිබුණි. අද සිංහලයන්ට උතුරේ ආසාවෙන් බලන්න තිබෙන ස්ථාන අල්පයි – එලිෆන්ට්පාස්හි හසලක වීරයාගේ ස්මාරකය (මෙයද ඉවත්කළ යුතුයයි මහා ඝෝෂාවක් ඇතැම් සිංහලයෝ නැගුහ), නාවට්කුලි සිංහල ගම සහ පංසල (එහි දර්ශනීය නව කොත් වහන්සේ), නාග විහාරය, නාගධීපය, දඹකොළ පටුන, කොටුව,  පුස්ථකාලය, නල්ලුර් කෝවිල, කීරිමලේ උණුවතුර ලිං ආදී. අද සිටින සිංහල දරුවන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් කිසිදා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට  නොගොස් ඇති බවයි මෙම ලියුම්කරුගේ විශ්වාසය. ඉදිරියේදී වුවද පාසැල් නිවාඩු සමයන්හි (කොරෝනා ඉවරවූ පසු) තම දරුවන්ට උතුර, නැගෙනහිර පෙන්වන්න දෙමව්පියන් රැගෙන යනු ඇතැයි කියා සිතීමට අපහසුය.

කොටින්ම මේ රටේ ඇත්තේ පළාත් 9ක් නොව 7ක් යයි සිතන තරමට සිංහලයෝ උතුර, නැගෙනහිර පිළබඳව ආශාවන් අත් හැර ඇත්තා සේය. එම පළාත් දෙක පිළිබඳව ඔවුන් තුල ආධ්‍යාත්මික වූ  බැඳීමක්/ඇල්මක් නොමැත. ඔවුන්ගේ සම්පුර්ණ අවධානය යොමු වී ඇත්තේ තමන් ජීවත්වෙන පළාත් 7 පිළිබඳවය. උතුර නැගෙනහිර (මෙය මේ රටේ 1/3 ක භුමි භාගයකි, මුහුදු තීරයෙන් 2/3ක්  පමණ වේ) ඉඩම්/දේපල තමන්ට කිසිදා ලබා ගැනීමට නොහැකි දේ ලෙස ඔවුන් සලකත්. මැලේසියාවේ, ඕස්ත්‍රේලියාවේ පුරවැසියෙක් එම රටවල ඕනෑම ප්‍රදේශයක වාසය කිරීමේ නිදහස භුක්ති විඳී. ඔවුහු තම රට පුරාම ආසාවෙන් සංචාරය කරත්.

සන්හිඳියා කාලය තුල ද්‍රවිඩ ආධිපත්‍ය දරන රුපවාහිනී සමාගම් සිංහල රුපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයන් සහ වෙනත් වැදගත් වැඩසටහන් භාෂා 3න්ම විකාශනය කිරීමේ ක්‍රමයක් ආරම්භ කරන ලදී (විශේෂයන්ම ‘breaking news’, ක්‍රිකට් ක්‍රීඩා ප්‍රචාර ආදී).  අදද මෙය එලෙසින්ම ක්‍රියාත්මක වේ. මෙය සිංහලයාට හිස රදයකි. රුපවාහිනිය රස විඳීමට බාධාවකි. ඔවුන්ගේ පරාසය තුලට වෙනත් භාෂාවන් බලෙන් රිංගා දැමීමකි. නමුත් ඔවුහු මෙය ඉවසති.  මෙය බලවත් අසාධාරණයක් වන්නේ දෙමළ නාලිකාවල සිංහල භාෂාවෙන් විවිධ ප්‍රවෘත්ති, ‘breaking news’ නොකියන නිසාය. 

කලින් සිංහලයෝ සිංහල රුපවාහිනි නාලිකා වලින් ඉන්දියන් චිත්‍රපටි නැරඹුවේ නම් ඒවා හින්දි ඒවාය.  නමුත් දැන් සිංහල උප ශිර්ෂ (sub titles) යොදා දෙමළ චිත්‍රපටි, දෙමළ ටෙලි ඩ්රාමා සිංහල නාලිකාවල ප්‍රධාන කාලයන්හි (prime time) වල විකාශනය වේ. එනම්, සිංහලයෝ දිවා සහ රාත්‍රී ආහාර ගැනීමෙන් පසු විවේකිව ඉන්නා කාලවල. මේ වෑයම ඉතා සාර්ථක බව පෙනෙන්නේ සිංහලයෝ දැන් මෙවැනි දෙමළ වැඩ සටහන් වලට ඉතාමත්  ඇබ්බැහිවී ඇති නිසාය.  මේ දෙමළ චිත්‍රපටි, දෙමළ ටෙලි ඩ්රාමා වලින් ශ්‍රී ලාංකික සමාජයට සේවයක් වුවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. නමුත් මෙය, සිංහලයන්ට දෙමළ සංස්කෘතිය ආරෝපණය කිරීමට ගන්නා ලද උත්සාහයකි. එය සාර්ථක වී ඇත. මේ බොහොමයක් දෙමළ චිත්‍රපටි, දෙමළ ටෙලි ඩ්රාමා පෙන්වනුයේ දකුණු ඉන්දියාවේ විදි සටන්, දන හිසින් උඩට සරම් නවා රාශිගතවූ පිරිමින්ගේ විදි නැටුම්, සිංහලයන්ට නුපුරුදු විවිධාකාර අපරාධ (මරා, සුට්කේස් තුල රැගෙන යන මළමිනී වැනි), මිනීමැරුම්, නොමනා ලිංගික සම්බඳතා සහ පවුල් ආරවුල් වැනි වූ කථාය. නාභිය නිරාවරණයව සාරි ඇඳීම දකුණු ඉන්දියාවේ සාමාන්‍ය දෙයකි; ශීලාචාරයයි කිව නොහැකි මේ දෙය අද ශ්‍රී ලංකාවේද සාමාන්‍ය දෙයක් වී ඇත. සන්හිඳියාව වෙනුවෙන් එකදු සිංහල චිත්‍රපටියක්/ටෙලි ඩ්රාමාවක් සිංහල උප ශීර්ෂ යොදා දෙමළ නාලිකාවක විකාශනය වීද? මෙම ලියුම්කරුට ඒ සම්බන්ධව ලැබුණු පිළිතුර නම් නැත යන්නය.

යුද්ධයෙන් පසු ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රගුණ කිරීමට රජයන් අති විශාල මුදල් සම්භාරයක් වැය කළහ. නමුත් කලින් සඳහන් කලාක් මෙන් එම සන්හිඳියා ක්‍රියාමාර්ගයේ ප්‍රධාන ඉල්ලක්කය වූයේ සිංහල මහ ජාතිය බව මෙම ලියුම්කරු පවසයි. සිංහලයා වෙනස් විය යුතු බවට උදේ හවස මතක් කිරීම්/ඉල්ලීම් සිංහල මාධ්‍ය මඟින්  සිදු කෙරිණි. එසේනම්, ඔවුන් මෙතෙක් කල් කල දේ වැරදිද කියා රජයන්ගෙන් ඇසිය යුතුය.  

සන්හිඳියාව සංකල්පය මන්ත්‍රයක් මෙන් උදේ හවස ජන මාධ්‍ය හරහා සිංහලයෙන් ජප කිරීම සිදු විය. පොදු ප්‍රවාහන පහසුකම් (බස්, දුම්රිය), මධ්‍යම බස් නැවතුම් පොළවල්, දුම්රිය ස්ථාන, රජයේ රෝහල්, පාසැල්, තැපැල් ස්ථානවල සන්හිඳියා පණිවුඩය තදින්ම ප්‍රචාරය කෙරිණි (දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් සන්හිඳියාව ප්‍රවර්ධනය නොකලාය කියා කියනවා නොවේ).

සන්හිඳියාව ‘කසාය’ ඉතා පහසුවෙන්  සිංහලයන්ගේ ‘උගුරෙන් පහලට’ රජයන් බැස්සවුහ. පාසැල් ළමුන්ගේ ඇට මිදුළි වලට පවා එය ඇතුල්  විය. 1990න් පමණ පසු උපන් බොහෝ ළමුන්/තරුණයින් නිදහසින් පසු සිංහලයින් අහිංසක ද්‍රවිඩයනට වධ හිංසා දුන්, ද්‍රවිඩයන් සමුලඝාතනය කල ජාතියක් බවට සිතයි. LTTEය ත්‍රස්තවාදීන් නොව නිදහස උදෙසා වූ සටන්කාමින් (freedom fighters) ලෙස සිතන බොහෝ සිංහල දරුවන්/තරුණයන් ඇත. 1983 දී අහිංසක දෙමළ ජාතිකයන් හිංසා වලින් බේරාගත්තේද සිංහලයන් බව ඔවුන් නොදනී; මන්ද ඒවා ඔවුනට උගන්වා නැති හෙයිනි.

මෑතක අවසන් වූ රජයක සන්හිඳියාව භාර ඇමතිවරයාට තිබුනේ අසීමිත වූ බලයකි. සන්හිඳියාව ක්‍රියාත්මක කිරීමටය කියා ඔහු අන් අමාත්‍යංශවල  වැඩ වලටද ඇඟිලි ගැසුවේය.

උතුරේ ජනයා ශ්‍රී ලාංකික ජාතික ගීය (තමනට තේරෙන) දෙමළ බසින් අභිමානයෙන් සහ ආසාවෙන් ගයන්නේ නම් එය ඉතා ප්‍රශංසනීයයි. කල යුත්තේ එය තහනම් කිරීම නොව තව තවත් දිරිගැන්වීමකි.

සන්හිඳියාව නිසා සිංහල බෞද්ධ සංස්කෘතියේ කිසියම් මොට වීමක් සිදු වුවත්, පොදුවේ ගත්කල, කිසිම ජාති භේධයක් නොමැති දරුවන් සන්හිඳියාව නිසා දකුණෙන් බිහිවුණි. එය ධනාත්මක දෙයකි. නමුත් සන්හිඳියාව දකුණේ ව්‍යාප්ත කිරීමට රජයන් දැරු වෑයම සුළු ජාතින් වැඩි වශයෙන් ජීවත්වෙන ප්‍රදේශවලද  (වැඩියෙන්ම උතුරු පළාතේ) සිදු නොකිරීම වරදකි. දකුණේ සිංහලයන් ද්‍රවිඩ, මුස්ලිමානුවන්ට දක්වන දැඩි ආදරය, කරුණාව ඔවුනට  උතුරේදී හෝ නැගෙනහිරදී නොලැබෙන්නේ නම් සන්හිඳියා යාන්ත්‍රණය හරි හැටි ක්‍රියාත්මක වී නොමැති බව, එය එක් පැත්තකට පමණක් ක්‍රියාත්මක වී ඇති බව, ඕනෑම කෙනෙක් පිළිගත යුතුය.

සිංහලයනට පමණක් සිදුවන අසාධාරණ තවත් කිහිපයක්   

මෑත කාලවල දකුණේ – කළුතර, මාතර, හම්බන්තොට, කුරුනෑගල, මීගමුව වැනි සිංහලයන් උපරිමව ජීවත්වෙන ප්‍රදේශවල පවා දෙමළ කථා කරන නව ‘ජනපද’/වාසස්ථාන  බිහිවූ අතර පොලිසි/උසාවි වල අවශ්‍ය නම් දෙමලෙන් කටයුතු කිරීමේ අවස්ථා ඒ ජනයාට ලැබුණි. නමුත්, උතුරේ රජයේ කාර්යාලවල සිංහලෙන් කිසිදු  වැඩක් කර ගැනීමට නොහැකි බව උතුරේ වෙසෙන සිංහල වැසියන් (මොවුන් ඉතාම  අල්ප දෙනෙකි) මේ ලියුම්කරුට පවසයි. මේ පිළිබඳව පසුගිය රජයේ සන්හිඳියාව භාර ඇමති හට පැවසූ විට ඔහු ඔවුන් මඟ හැර ගිය බව ඔවුහු පවසත්. 

උතුරට ගිය විට එය ශ්‍රී ලංකාවේ කොටසක් ද කියා සිතෙන තරමට වෙනස්ය. වව්නියාවෙන් උතුරට A9 මාර්ගයේ සවිකර තිබෙන අති දැවැන්ත බිල්බෝඩ් වල සඳහන් වනුයේ දෙමළ (සහ සමහරවිට ඉංග්‍රීසී) භාෂාව පමණි, සිංහල කිසිසේත් නැත. යාපනය දුම්රිය ස්ථානයට කොළඹ සිට නගරාන්ත දුම්රිය සැපත් වූ බව සිංහලෙන් ශබ්ධ විකාශනය නොකෙරිණි (නමුත් කොළඹින් ජාඇලට, බෙලිඅත්තට වේයන්ගොඩට  යන දුම්රිය භාෂා 3න්ම ඒ ගැන කියයි). උතුරේ පාරවල සිංහල නාම පුවරු ඇත්තේ අල්පවය. කඩ, සාප්පු නාමපුවරුවල සිංහල ඇත්තේම නැත. කිසිදා ශ්‍රී ලංකාවේ සිටියා යයි වාර්තා වී නැති දෙමළ  රජවරුන්ගේ පිළිම මෑතකදී යාපනය නගර මධ්‍යයේ සහ එක් ප්‍රධාන කෝවිලක් ඉදිරියේ ඉදිකර තිබෙනු දක්නට ඇත (මහාවංශයට අනුව පරංගීන් පැමිණෙන විට යාපනය පාලනය වුයේ කෝට්ටේ රාජධානිය යටතේ වූ යුව රජෙක් මඟිනි).

යාපනයේ සිංහල මහා විද්‍යාලය යලි ස්ථාපිත කිරීම කෙසේ වෙතත් සන්හිඳියා කාලයේදී මන්නාරමේ තිබු වසර 40ක්  පමණ පැරණි සිංහල පාසැල ද (2017 දී) වැසි ගියේය.

1988 සිට 2018 පමණ වනතුරු (වසර 40ක්) උතුරේ ආණ්ඩුකාරයා වුයේ සිංහලයෙකි. එයින් එම පළාත තුල  සිංහලයන්ගේ අයිතීන් යම් ප්‍රමාණයකට රැකුණි. නමුත් පසුගිය ආණ්ඩුකාරයන් 3 දෙනාම (අද ද ඇතුළු) ද්‍රවිඩ ජාතිකයෝ වුහ. උතුරේ ආණ්ඩුකාරවරයා ද්‍රවිඩ ජාතිකයෙක් විය යුතු බවට සම්ප්‍රදායක් බිහි වෙමින් පවතීද?

2015දී ත්‍රිකුණාමලයේ දෙහිවත්තේ සිංහලයන් ගොවිතැන් කල කුඹුරු අක්කර 1,000ක් පමණ ඔවුනට අහිමි විය; ජාතික වීරයෙක් තත්වයට අද රටම  පිළිගත් නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයෙක් වන ප්‍රබල ද්‍රවිඩ දේශපාලනඥයෙක්ගේ  උවමනාවට (TNA) එම ඉඩම් එම පලාතට අලුතින් පැමිණ ස්ථාපිත කල ද්‍රවිඩ ජන කොටසකට හිමි විය. එතුමා එම පළාතේ දිසා ලේකම් තුමාට දුන් ‘ඕඩරයෙන්’ මේ දේ වුවා යයි දෙහිවත්ත පන්සලේ විහාරාධිපති හිමියන් මේ ලියුම්කරු සමඟ පැවසුහ. මේවා පිළිබඳව පැවතී රජයනට  කොතෙක් පැමිණිලි කලත් කිසි වැඩක් නොවිය (ඇමතිවරුන් හමුවී පුද්ගලිකව සිංහලයන්ට සිදුවන අසාධාරණකම් ගැන කී විට  ඒවා බැලීමට පැමිණි ඇමැතිවරුද, ඒ පිළිබඳව කම්පා වූ ඇමැතිවරුද  වුහ. නමුත් අවසානයේ කිසිත් සිදු නොවිය).  උතුරේ සහ නැගෙනහිර සිංහල බෞද්ධ පුරාවස්තු භුමි වල හින්දු කෝවිල් අලුතින් ස්ථාපනය විණ. ඉපැරණි ගල් කුළුණුවල (සිංහල රාජධානි යුගයේ – උදා: දෙවෙනි පෑතිස් රජ සමයේ)  ත්‍රී ශුල ගසා ඒවා නව හින්දු කෝවිල් ඉදිකිරීමට භාවිතා කර ඇත. මන්නාරමේ ඉපැරණි බුදු පිළිමවල සිරස කඩා දමා එම ඉඩමේ දෙමළ කෙසෙල් කොටුවක් ඉදිකර තිබුණු බව එක් බෞද්ධ භික්ෂුවක් මේ ලියුම්කරු සමඟ කීහ. එම ජායාරුප මෙම ලියුම්කරු දැක ඇත. පුරාවිද්‍යාව භාර එක් ඇමතිවරයෙකුට ඔහු මේවා පෙන්වීය, අවසානයේ කිසිදු වැඩක් සිදු නොවීය.

මේවා සිදුවුයේ දෙමළ පලාත සභාවක් උතුරේ බිහි කිරීමට ස්තුතිවන්ත වෙන්ටය. යුධ ජයග්‍රහණයෙන් පසුව 2009 – 2011 කාලයේ කල යුතුව තිබුනේ 13වන සංශෝධනය අවලංගු කර පළාත් සභා මුළුමනින්ම අහෝසි කර දැමීමය. එය ජනමත විචාරණයක් තුලින් ඉතා පහසුවෙන් කල හැකිව තිබුණි. නමුත්, 2013 වසරේ ෂෝගම් (CHOGM)  සමුළුව පවත්වා බ්‍රිතාන්‍යයේ  සුද්දා සතුටු කිරීමට රජයට ඊට වඩා අවශ්‍යව තිබුණි. රජයට පළාත් සභා සියල්ල අහෝසි කරනවාට වඩා CHOGM පැවැත්වීම වැදගත් විය.

කැමරන් ලංකාවට පැමිණ එම සමුළුව ‘කඩාකප්පල්’ කළා පමණක් නොව හමුදා හෙලිකොප්ටරයක් බලෙන්ම මෙන් රැගෙන උතුරට ගොස් විග්නේස්වරන් සහ වෙනත් ජාතිවාදීන් සමඟ සාකච්චා පැවැත්විය. ලංකාවේ යුද්ධය පිළිබඳව අසත්‍ය වාර්තා චිත්‍රපට සැදු Channel 4 TV කණ්ඩායමට මෙරටට ඒමට ඉඩ සැලසීමට තරම් ආණ්ඩුව දීන විය.

යුද්ධයට ප්‍රථම යාපනයේ සිංහලයන් 50,000ක් පමණ සිට ඇත. නියම සංඛ්‍යාව මෙම ලියුම්කරු නොදනී.

අද එයින් 5%ක් වත් එහි සිටීද? එසේ නොවීමට හේතුව කුමක්ද?

ප්‍රභාකරන් විසින් උතුරෙන් එලවා දමන ලද සිංහලයන්, මුස්ලිමානුවන් නැවතත් එම ප්‍රදේශවලට යාමට ඉතා අශාවෙන් සිටිත්. නමුත් ඔවුන්ව එම ප්‍රදේශවල නැවත පදිංචි කිරීම පිළිබඳව යුද්ධයෙන් පසු රජයන් සැලකිල්ලක් දැක්වුවේ නැත.

පසුගිය රජයේ සීමා නිර්ණ කොමිසමේ නිර්දේශ අනුව උතුරු/නැගෙනහිර සිංහල ගම්මාන වලින් සමහරක්  එම පළාත් වලින් ගලවා උතුරු මැද පළාතට අනුයුක්ත කල යුතුය. මෙයින් වන්නේ උතුරු/නැගෙනහිර සිංහල ජනගහනය තවත් අඩු විමය. වත්මන් රජය මේ මෝඩ නිර්දේශ ක්‍රියාත්මක නොකරනු ඇතැයි උදක්ම පතමු.

දකුණ අද ජනගහනයෙන් පිරි ඉතිරි ගොස්ය. මිනිසුන් පර්චස් 2 ඉඩම්වල පවා ගෙවල් සාදා ගනිති. තදබදය ඒ තරමටම  වැඩිය. අලි-මිනිස් අර්බුදය උච්චම තත්වයට පත්ව ඇත. කැලෑ වලින් පිරී  ජන ශුන්‍ය ප්‍රදේශයක් වූ හම්බන්තොටද (ලෙනාඩ් වුල්ෆ්ගේ අති සුන්දර වනාන්තර ගමක් වූ බැද්දෙගමහි  සිළිඳු, පුන්චි මැණිකා සහ හින්නිහාමි චරිත  මතක්වේ) වරායක්, ගුවන් තොටුපලක්, ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, සිනමා ගම්මානයක්, තරු 5/4 හෝටල  වැනි දේ බිහිවීම නිසා බෙහෙවින් වෙනස් වී ඇත (මේ සියල්ලම වාගේ ජාත්‍යාන්තර මට්ටමේ ඒවාය – අධි පොලියට විදේශ ණය ලබා නිම කරන ලද ව්‍යාපෘතිය). හම්බන්තොට තව තවත් නාගරීකරණය වෙමින් පවතී. එහි බොහෝ ඉඩම් චීන ආයෝජනයන්  සඳහා වෙන් කර ඇතැයි පැවසේ. ඒ, හම්බන්තොට වරාය වසර 99ට චීනයට බදු දීමේ අමනෝඥ ක්‍රියාව නිසාය (මේ නිසා රටේ ස්වෛය්රීත්වයට සහ භෞමික අඛණ්ඩත්වයටද හානි සිදුවිය හැක).  

රටේ ජනතාවට  ජීවත්වීමට හොඳම ඉඩම් දැන් ඉතිරිව ඇත්තේ උතුරේ සහ නැගෙනහිරය. මෙය මේ රටේ 1/3 ක භුමි භාගයකි. මුහුදු තීරයෙන් 2/3ක්  පමණ වේ. නමුත්, අදත් සිංහල ජාතිකයෙකුට උතුරේ (සහ ඇතැම් නැගෙනහිර) ඉඩම් කොටසක් මිලදී ගැනීමට, බද්දට ගැනීමට, ගොවිපලක් ආරම්භ කිරීමට නොහැකිය/ඉතාම අපහසුය. මේවා මේ රටේ දැවැන්ත, දැවෙන ප්‍රශ්ණය. නමුත් ඒවා ප්‍රශ්ණ නොවන ආකාරයෙන් පෙන්වා රජයන් කටයුතු කරයි. වර්ගවාදී ජාතික ප්‍රතිපත්තියක් අදහන TNA සහ බෙදුම්වාදී ද්‍රවිඩ දේශපාලඥයනට අවශ්‍ය ලෙස උතුරේ කටයුතු සිදුකිරීමට රජයන් ඉඩ දීම නොකළ යුත්තකි. 

අප රණ විරුවන් තම ජීවත පරදුවට දී සටන් කලේ මුළු ශ්‍රී ලංකාවම සැවොටම භුක්ති විඳිය හැකි තැනක් බවට පත් කිරීමටය. රට යුද්ධයෙන් දිනුවේය. නමුත් සිංහලයාට අදත් උතුර සහ නැගෙනහිර ‘අහිමිය’. ද්‍රවිඩ ජාතිකයෙකුට කිලිනොච්චි අත් හැර ගම්පහ පදිංචි වීමට හැකියාවක් ඇත. මුස්ලිම් ජාතිකයෙකුට අක්කරෙයිපත්තු  අත්හැර තංගල්ලේ පදිංචි විය හැක. මෙය රටේ දෙමළ, මුස්ලිම් ජනගහණයන් වර්ධනයට ඉමහත් රුකුලකි. නමුත් ගම්පහ හෝ තංගල්ලේ වෙසෙන සිංහලයෙකුට කිලිනොච්චි හෝ අක්කරෙයිපත්තු ඉඩමක් මිලදී ගෙන ගෙයක් සදා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒවාට යම් අවහිරයන් වේ නම් රජයන් ඒවා දුරලිය යුතුය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  14වෙනි වගන්තියෙන් රටවැසියන්ට ලබාදී ඇති අයිතියකි (freedom of movement). නියම සන්හිඳියාව වන්නේ රටවැසියෙකුට තමන් කැමති ඕනෑම පලාතක ජීවත්වීමේ අයිතිය හිමිවීමයි.

එදා බොරැල්ලේ  වනාතමුල්ල, මට්ටක්කුලියේ සමිට්පුර 95% පමණ සිංහල බෞද්ධ වූ විශාල නාගරික ගම්මානයන්ය. පන්සල් වලින් නැඟුන සාධු නාදය, පිරිත් සජ්ජායනා වලින් ඒ ප්‍රදේශ සුපිරිසිඳුවත් විය. අද ඒවායෙහි සිංහල බෞද්ධයන්  50%ක් වත් නැති තරමි. ජාතික නිදහස ගැන කථා කරන නිවාස ඇමතිවරයෙක් යටතේ සහශ්‍ර පුර, මුවදොර උයන වැනි යෝධ නාගරික ව්‍යාපෘති වල (7,000- 8,000 එහා ජනයා ජීවත්වෙන)  සෑම විටම වාගේ සිංහල, දෙමළ, මුස්ලිම් 1/3 අනුපාතයට බෙදෙන පරිදි ජනයා පදිංචි කරවනු ලැබිය (ප්‍රේමදාස අගමැතිතුමා මිනිසුන් පදිංචි කලේ/රජයේ පත්වීම් දුන්නේ රටේ ජාතික ජනගහන අනුපාතයනටය). කොටහේන, මෝදර, මට්ටක්කුලිය, මාලිගාවත්ත, වැල්ලවත්ත, කොම්පඥය වීදිය වැනි ප්‍රදේශවල අද සිංහලයා නැත්තටම නැති තරම්ය.

කොළඹ නගරය තුල සිංහලයා අද සුළු ජාතියක් බවට පත්වී හමාර නොවේද?

කොළඹ නව ජනාවාස ප්‍රදේශවල බොහෝ නව පල්ලි (ක්‍රිස්තියානි, මුස්ලිම්), කෝවිල් ඉදිවී තිබේ.  එම සුළු ජනයාගේ අවශ්‍යතාවයනට ඒවා අවශ්‍යය. එහි වරදක් නැත. නමුත්, උතුරේ  සිංහලයාට උතුරේ ප්‍රසිද්ධ ස්ථානයක බුද්ධ ප්‍රතිමාවක් තබා වන්දනාමාන කිරීමට ඇති නිදහසට උතුරේ මහ ඇමති විග්නේස්වරන් විරුද්ධ විය. රජයන් එවිට නිහඬ විය.

සිංහලයා වඳ වෙන ජාතියක්, සිංහල ක්ෂය වෙන භාෂාවක්?

1981 සංගණනයේ ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රතිශතය 74% විය. ශ්‍රී ලංකාවේ අදටත් සිංහලයන් 70% සිටිතැයි බොහෝ දෙනා කියත්. නමුත් එය එසේ යයි පිළිගැනීමට තරම් සාක්ෂි තිබේද?

1970 – 1978 පමණ දක්වා රජයන් ‘පුංචි පවුල රත්තරං’ කියා දැවැන්ත පවුල් සංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවීය. වාසේක්තමි ශල්‍යකර්ම කරන පිරිමින්ට මුදලින් ආධාර පිරිනැමුණි. දරු ප්‍රසුත සඳහා රෝහල්ගත වන කාන්තාවන් දරු ප්‍රසුතියෙන් පසු වඳ සැත්කමකට භාජනය කෙරිණි. ඔවුනටද මුදල් සහ වෙනත් තෑගී බෝග ලබා දුනි.  ‘පුංචි පවුල රත්තරං’ වැඩපිළිවෙල අති සාර්ථක විය. රටේ ජනගහන වැඩිවීම බෙහෙවින් පාලනය කෙරුණි. නමුත් එය මුලිකවම බලපෑවේ සිංහල පවුල් වලට බව කවුරුත් පිළිගන්නා කරුණකි. සිංහලයන්ට සාපේක්ෂව රටේ දෙමළ සහ මුස්‌ලිම් ජනගනයන් ඉතා සීග්‍ර වර්ධනයනට ලක්විය. අදද එය සිදුවෙමින් පවතී.

1970 දශකයේ කොළඹ මහානගර සභා ප්‍රදේශය තුල සිංහල ප්‍රතිශතය 70% වඩා අධික වුවත් අද එය 35% – 40%ට පමණ පහත වැටි ඇති බව නොරහසකි. කොළඹ නගරයේ බසයක ගමන් කරන්නෙකුට එය තුල සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමාන ගණනින් ගමන් කරන බව දක්නට ලැබේ. බොහෝ මහ නගරවල තත්ත්වයද මෙසේය (ගාල්ල, මහනුවර,  නුවර එළිය, බදුල්ල, කෑගල්ල, කුරුනෑගල, මීගමුව වැනි).

1964 අත්සන් තබන ලද සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම එන තුරු පසුගිය 20 වෙනි ශත වර්ෂයේදී ‘කල්ලතෝනින්’ වශයෙන් හඳුන්වනු ලැබූ දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ඉතා විශාල ලෙස ශ්‍රී ලංකාවට හොරෙන් පැමිණ මෙහි පදිංචි වුහ (එවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආසියාවෙන් දෙවෙනි වුයේ ජපානයට පමණි). ඔවුන්ගෙන් ඇතැමෙක් මේ රටේ අති  සාර්ථක ව්‍යවසායකන් බවට පත් වුහ. ප්‍රභාකරන්ගේ පියා (ඔහු කේරල වැසියෙකි) පවා මෙරටට හොරෙන් පීනා පැමිණියෙකි.  චෙල්වනායගම් උපන්නේ මලයාසියාවේය.

මාළු අල්ලන ධීවරයන් මෙන් පෙනී සිටිමින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩයෝ බෝට්ටුවලින් පැමිණ හොරෙන් මෙරට පදිංචි වෙන බවට වාර්ථා පළවී තිබුණි. මේවා සංවිධානාත්මකව කරන උතුරේ දේශපාලඥයෝ  සිටි බව නොරහසකි. වීසා ලබාගෙන මෙරටට පැමිණ නික්ම නොගොස් සිටින දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ, මාලදිවයින්, පාකිස්ථාන් වැසියන් පිළිබඳව වාර්ථා පුවත් පත් වල නිරතුරුව පළවී තිබුණි. මෙවැනි අයට මෙහි ජීවත් වීමට ඉඩ නොදිය යුතුය.

මේ අය සංගණන වාර්තා, චන්ද හිමි නාමලේඛන වලට හසු වෙන්නේ නැත. ඔවුන් සැඟවී මෙන් ජීවත් වෙති. ඇතමුන් හොරට පුරවැසිකම් සාදා ගනිති. විශාල පමණින් මුදල් හොරට දී නොරටුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බවට ප්‍රවෘර්ති ශ්‍රී ලංකාවේ මාධ්‍යවල/සමාජ මාධ්‍යවල පලවී තිබේ. 

බොහෝ නොරටුන් ශ්‍රී ලාංකිකයන් විවාහ කරගෙන මේ රටේ පුරවැසිභාවය ලබා ගනිති. පසුව ඇතැමෙක් දික්කසාද වෙති.

සිංහලයන් බොහෝ දෙනෙක් තාවකාලිකව (මැද පෙරදිග) හෝ ස්ථිරව මේ රට හැර ගොසිනි. මේ නයින් බලන කල ශ්‍රී ලංකාවේ අද 70%ක් සිංහලයන් සිටිතැයි විශ්වාසකිරීම උගහටය.

දැන් මෙහි චීන ජාතිකයන්ද බොහෝය. මේ පිළිබඳව වෙනම මේ ලිපියේ කථිකා වේ.

සිංහල නම් ගත් ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් බොහෝය. විශේෂයෙන්ම 1983 දෙමළ කෝලාහලවලින් පසු සිංහල නමක් දැරීම සිය ජිවිතාරක්ෂාවට සහ රැකියාවක් ලබා ගැනීමට උදවුවනු ඇතැයි බොහෝ ද්‍රවිඩයන් විශ්වාස කළහ. සිංහල නම් ගත් අති ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ වුහ.

මේ කරුණු සලකා බැලීමේදී අද ශ්‍රී ලංකාවේ ඇත්තටම  70% සිංහලයන් වාසය කරන්නේ යයි සිතීමට අපහසුය. මෙම ලියුම්කරු විශ්වාස කරන්නේ මේ ප්‍රතිශතය 65% – 68% අතර අගයක් විය යුතු බවයි. කෙනෙක් එය ඊටත් වඩා අඩුයයි කීමට පුළුවන. නිවැරදි සංඛ්‍යාලේඛන නොමැති වීම බලවත් අඩු පාඩුවකි.

මේ අගය මේ තරමින් වත් තිබෙන්නේ 1983න් පසු ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ලක්ෂ 10ක් පමණ ස්ථිර ලෙස මෙරට අත් හැර යාම නිසාය (බටහිර රටවලට). පුදුමය නම් මේසා විශාල ද්‍රවිඩයන් ප්‍රමාණයක් මෙරට අත් හැර ගියත් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ප්‍රතිශතය (ශ්‍රී ලාංකික සහ ඉන්දීය දෙමළ) අදත් එදා 1981 සංගණනයේදී  වූ  20%ට හෝ ඊට වැඩි හෝ ආසන්නව තිබීමයි.

1981 සංගනනය අනුව මේ රටේහි  වූ මුස්ලිම් ප්‍රතිශතය 8%කි. අද මෙය 10% – 12% විය යුතුය. මෙරට මුස්ලිම් ජනතා ප්‍රතිශතය ඉතා සීග්‍රයෙන් ඉහළ යන බව නොකිවමනාය.

ලොව සිංහලයා ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ පමණය. ඔහුට/ඇයට  යාමට වෙන රටක් නැත. ශ්‍රී ලංකාවේ හැර ලොව වෙන කිසිදු රටක සිංහල භාෂාව කථා නොකරයි. දෙමළ, ජාතියක් සහ භාෂාවක් ලෙස පිළිගත් රටවල් ඇත. තමිල්නාඩුවේ (දකුණු ඉන්දියාවේ පමණක්) ද්‍රවිඩයන් කෝටි 7ක් පමණ වෙසෙති, කේරලයේ මලයාලියෝ කෝටි 3.2කි. මුළු මැද පෙරදිගම ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට විවෘතය. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයම  කෝටි 2.2ක් පමණි. සිංහල ජන සංඛ්‍යාව කෝටි 1.5 ට අඩු විය යුතුය.

ශ්‍රී ලංකාවේ සිංහලයන් මහ ජාතිය  බව ඇත්තය. නමුත් දකුණු ආසියා කලාපය තුල පවා ඔවුහු සුළු ජාතියක්ය.

උතුරේ සිංහලයන් සහ මුස්ලිමානුවන් වැඩි වශයෙන් පදිංචි වී සිටින්නේ නම් (විශේෂයෙන්ම මන්නාරම, යාපනය, පේදුරු තුඩුව වැනි ප්‍රදේශවල), එය ශ්‍රී ලංකාව භෞමිකව  ආරක්ෂා කිරීම උදෙසා ද කදිම රක්ෂණයකි.  උතුර රැක ගැනීමට නම් එහි සිංහලයන් සහ මුස්ලිමානුවන් බොහෝ එහි වාසය කල යුතුය. ප්‍රභාකරන් උතුරේ සිටි මුස්ලිමානුවන් ලක්ෂයකට වඩා පිරිසක් දකුණට එලවා දැමුවේ එහෙයිනි.

අද සිංහලයන්ට මේ යථාර්ථය අවබෝධ නොවේ. පුත්තලමේ සිටි මුස්ලිමානු සරණාගතයන් ආපසු උතුරට (මන්නාරමට) රැගෙන ගියා කියා ඔවුහු මැසිවිලි නගති.

ශ්‍රී ලංකාවේ සිංහලයන් ඔවුන්-ඔවුන් කුලල් කා ගනිති. එක පවුලේ සහෝදර සහෝදරියන් මිනි මරා ගනිත්, එකෙක් තවකෙකුට විරුද්ධව නඩු කියයි. දිනපතා මිනීමැරුම් සහ වෙනත් අපරාධ ඉතා අධිකය. සිංහලයන් ඔවුන් ඔවුන් අතර අතර පවතින නොසරුප් බව වැඩිකර ගන්නා කල්හි ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් ඔවුන්ගේ ජාතිකයන් සමඟ කුලල් නොකා සමගිව ජීවත් වෙත්. තමන් සුළු ජාතියක් බව වටහාගෙන ඇති ඔවුහු  තමන්ගේ ජාතිය, භාෂාව, ආගම දිවිහිමියෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරත්. තම ජනගහනය කෙසේ හෝ වැඩි කර ගනිති. ඒවායේ වරදක් නැත.

විදේශගතවූ විටද  සිංහලයෝ එම රටවල දී ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් මෙන් නියම සහෝදරත්වයෙන් (camaraderieship)  යුක්තව කටයුතු නොකරති. ඒ රටවලදී ද ඔවුහු තම සහෝදර සිංහලයා පරයා යාමේ මානසිකත්වයෙන් යුක්තව කටයුතු කරයි.

දකුණේ සියළු දේශපාලන පක්ෂ ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රවර්ධනය ගැන කථා කරති. එසේ නොකළහොත් ඔවුනට බලයට ඒමට බැරියයි ඔවුහු සිතති. මෙය මිත්‍යා සිතිවිල්ලකි.  සිංහල, බෞද්ධයන්  ගැන ඔවුන් කථා නොකරති.

සිංහල, බෞද්ධයන් ගැන කථා කිරීමට රටේ එකම දේශපාලන පක්ෂයක්වත් නැත.

එකම ප්‍රබල සිංහල රුපවාහිනි නාලිකාවක්වත් නොමැති බව පෙනේ. තිබුනත්, සිංහල බෞද්ධත්වය ප්‍රවර්ධනය කරනවා වෙනුවට බොහෝ විට කරන්නේ ඒවා අභාවයට ගෙන යන දේයි.

නමුත්, ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන්ගේ අයිතීන් කථා කිරීමට/සටන් කිරීමට බොහෝ දේශපාලන පක්ෂ ඇත. ඒ සඳහා සුවිශේෂ වූ රුපවාහිනී නාලිකා ඇත. හොඳම සංඛ්‍යාත ලබාදී ඇත්තේ එම රූපවාහිනී/FM ගුවන් විදුලි නාලිකා වලටය. සිංහල FM නාලිකා ඉතා අපැහැදිලිය.

අද රටේ තිබෙන සෑම දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂයක්ම බිහිව ඇත්තේ ඔවුන්ගේ ජනයා වෙනුවෙන් සටන් කිරීමටය.

සිංහල ප්‍රධාන දේශපාලන පක්ෂ ද (3 හෝ 4) සුළු ජාතික චන්ද හඹා යති. නමුත් ඔවුනට එම චන්ද නොලැබෙන බව ඔවුනට නොතේරේ. උතුරේ/නැගෙනහිර  ජනතාව කිසිදා ඔවුනට චන්ද නොදෙත්. කොළඹ ද සුළු ජාතින් චන්දය  දෙන්නේ මනාප ක්‍රමයටය.

ඒ මන්ද, ඒ ජනයා සැමදා චන්දය දෙන්නේ ඔවුන්ගේම  සුළු ජාතික චන්ද අපේක්ෂකයනට නිසාය.   අවසානයේදී මෙම සිංහල ප්‍රධාන දේශපාලන පක්ෂ (3 හෝ 4) ආසන දිනන්නේ දකුණේ සිංහල චන්ද වලිනි. නමුත්, කලින් සඳහන් කලාක් මෙන් ඔවුන් සිංහලයාට පමණක්  ආවේනික වූ ප්‍රශ්ණ ගැන කථා නොකරත්. එයට මුලිකම හේතුව සුළු ජාතික චන්ද නැතිව යනු ඇතැයි යන ඔවුන් තුල ඇති අනියත බියය. අනෙක, බටහිර රටවල්, බටහිර NGO විසින් තමන් ‘ජාතිවාදී’ යයි විවේචනය කරනු ඇතැයි යන බියය.

සිංහලයාගේ අයිතීන් ගිලිහි යන කුමන වැඩ පිළිවෙලක් ගැන හෝ මේ පක්ෂ නොබියව, ඉදිරියට පැමිණ කථා නොකරත්.

සිංහලයා ගැන, සිංහල අයිතීන් ගැන කථා කිරීම දේශපාලනමය අසම්මතවාදී දෙයක් ලෙස  (politically incorrect) ලෙස දැන් බටහිර ජාත්‍යාන්තරයේ පමණක් නොව සිංහලයා ජීවත්වෙන රටේද  බොහෝ දුරට මුල්බැස ඇති සිද්ධාන්තයකි. සන්හිඳියාවද එවැනි දෙයක් ප්‍රවර්ධනය කරයි.

සුළු ජාතින්ගේ ප්‍රශ්ණ ගැන කථා කිරීමෙන්, විශේෂයෙන්ම ඔවුනට මේ රටේ අසාධාරණ සිදු වෙනවා වැනි දේ කීමෙන් බොහෝ දෙනෙක් ඉතා පහසුවෙන් මානව හිතවාදී ලේබලය අලවා ගණිත්. එය මෝස්තරයටද ඉතා හොඳය (fashionable). විදේශ බටහිර රටවල සංචාර, එකී  තානාපති නිවෙස්වල නොකඩවා පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහ, NGO සල්ලි – මේවා ගලා එන්නේ සුළු ජාතික ප්‍රශ්ණ කථා කරන්නන්ටය. සිංහලයාගේ සැබෑ ප්‍රශ්ණ ගැන කථා කරන්නා සිංහල අන්තවාදියෙක් ලෙසට වූ ලේබලයෙන් පිදුම් ලබයි.

සිංහලයන්ට නොමැති සුළු ජාතීන්ට පමණක් සීමාවූ මෙරට ඇති ප්‍රශ්ණ මොනවාදැයි ඇසුවහොත් මේ ඊනියා මානව හිතවාදීන්ට දීමට පිළිතුරු නොමැත.

තම අයිතීන්, තම ජාතිය/ආගම ගැන කථා කිරීමට සිංහලයෝ මැලි බවක් පෙන්වත්.  බොහෝ අය එසේ කිරීමට බයය. ‘සිංහල’, ‘බෞද්ධ’  අයිතීන් ගැන කථා කිරීම අද තහනම් වචන බවට පත්වී  ඇද්ද? පුදුමාකාර ලෙස, සිංහල, බෞද්ධකම ගැන කථා කල අයට විරුද්ධව නිති මඟින් කටයුතු කිරීමට බලධාරීන් උත්සහ කර ඇත. මෙය අධිරාජ්‍යවාදී යුගයේවත් නොසිදුවූ දෙයකි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  14වෙනි වගන්තියෙන් ලබාදෙන භාෂනම නිදහසට (freedom of speech) පටහැනිය. ධර්මපාලතුමා ඇති තරම් මෙරට පාලනය කල  බ්‍රිතාන්‍යයනට බැන්නේය. ඔවුහු ඔහුගේ කට වැහිමට නොගියහ.

ද්‍රවිඩ බසින් අන්තවාදී කරුණු කියනා අය ශ්‍රී ලංකාව තුල බොහෝය. මේ අය නියාමනයකට බඳුන් නොවෙනා සේය.

සුළු ජාතික ප්‍රශ්ණ තිබේ නම් ඒවා ගැන කථා කල යුතුය. සුළු ජාතීන්ට කිසිසේත් අකටයුතු, අසාධාරනකම් නොකළ යුතුය. නමුත් මහ ජාතියටද ප්‍රශ්ණ ඇති බව රජයන් ධාරණය කර ගත යුතුය, ඒවා විසඳිය යුතුය.  උදා: වතුකරයේ දෙමළ සේවක අයිතින් ගැන, ඔවුන්ගේ ජීවන තත්වයන් නඟා සිටුවීමට රජයන් විශාල වශයෙන් කැපවී වැඩ කරයි. ඒ වෙනුවෙන් අති විශාල මුදලක් දරයි. එය හොඳය. නමුත් වතු වටා ජිවත්වන උඩරට සිංහල ගම්වාසින් ගැන රජයන් එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි?  වතු සේවකයන්ගේ අවම වැටුප වැඩි කරද්දී ඒ වතු වටා සිටින ගම්වල වෙසෙන සම්පත්ලා, ස්වර්ණමාලිලා දවසට එක වේලක් වත් කන්න නොමැති තරම් වූ  දරිද්‍රත්වයෙන් සිටිනවා නේද කියා රජයන් නොසිතයි/බලා නොබලයි. මේ සම්පත්ලා, ස්වර්ණමාලිලාද වතුවල වැඩට යාමට බොහෝ ආසාවෙන් සිටිත්. නමුත් වතු වෘත්තිය  සමිති ඒවාට විරුද්ධය. සුද්දන් වතු බිහි කලේ සම්පත්ලා, ස්වර්ණමාලිලාගේ මුතුන් මිත්තන්ගේ ඉඩම් බලයෙන් පවරා ගෙන බව දැන් කාටත් අමතකය.

සිංහලයාට පමණක් ආවේනිකවූ ‘සිංහල’ප්‍රශ්ණ වෙනම ගෙන මාධ්‍යන් කථා කරන බවක් නොපෙනේ (‘බෞද්ධ’ ප්‍රශ්ණ නම් යම් තරමකට සාකච්චා වේ). අද ‘සිංහල’, ‘බෞද්ධ’ ප්‍රශ්ණ ගැන ලිපියක් පල කර ගැනීමට පවා ඇති මාධ්‍ය අවස්ථා ඉතා සීමිතය. සිංහල අයිතීන් ගැන ලිපි පල කිරීමට සිංහල ප්‍රකාශන ආයතන සුදානම් නැත. ඒවා ගැන ලියන මාධ්‍යවේදීන්ද නැත හෝ ඉතා අඩුය. සිටියත් ඔවුහු සමාජයෙන් හොඳ නමක් නොලබති.

 නමුත්, සුළු ජාතික ප්‍රශ්ණ ගැන කථා කිරීමට නම් ඕනෑතරම් මාධ්‍ය ඉඩ කඩ ඇත.  

සිංහලයා ක්‍රමයෙන් සංඛ්‍යාවෙන් අඩුවී යන ජාතියක් බවත් සිංහල භාෂාව ක්ෂය වෙන භාෂාවක් බවත් රහසක් නොවේ. කලින් සඳහන් කලාක් මෙන් මහනගරවල දැනටමත් සිංහල ජන සංඛ්‍යාව සිග්‍රව අඩුව ඇත. මේවා ක්‍රමානුකුලව පළාත්, නගර, ප්‍රාදේශීය සභා ප්‍රදේශවලද සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවෙන් සිංහලයා සදහටම වඳවී නොයනු ඇත. නමුත්, ශ්‍රී ලංකාව තුල සිංහලයා සුළු ජාතිකයෙක් ලෙස යම් දවසක ජිවත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇත (35% – 40% ක පමණ ලෙස). එදාට මෙය කියවන ඔබ – අප, වර්තමානයේ බොහෝ මැදි වියේ/වැඩිමහළු අයවලුන්, දිවි මඟ හැර ගොසිනි.  

සිද්ධාන්ත 2ක්  (මේ දෙකම සිංහලයාට අසුභය):

(1) මෑතක සිට රුවන්ඩාව පාලනය කරන්නේ ටුට්සින්ය (ඔවුන් ඉතා හොඳින් රට පාලනය කරත්). ඔවුන් ජනගහනයෙන් 9% – 14% පමණ වේ. මහ ජාතිය හුටුන්ය. ඔවුන් ජනගහනයෙන් 86% – 91% පමණ වේ. එන්න එන්නම අසාර්ථක රාජ්‍යක් බවට පත්වන ශ්‍රී ලංකාවද නුදුරේදී ‘ටුට්සි රාජ්‍යක්’ වීම සිදු  විය හැක. 

කදිරගාමර් ජීවත් වුනානම් ශ්‍රී ලංකාව ද ටුට්සින් (දෙමළ) පාලනය කරන රුවන්ඩාවක් බවට පත් වීමට බොහෝ දුරට  ඉඩ තිබුණි. කදිරගාමර් දක්ෂයෙකි, නමුත් ඔහු ජනාධිපතිත්වය දරන රජයක් යටතේ රුවන්ඩාවේ ටුට්සින් මෙන් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් ඉහලටම විත් සැම අංශයකින්ම සිංහලයන්ව පාලනය කරන තත්වයක් උදාවීම නොවැලක්විය හැකි කරුණකි. මනෝ ගනේෂන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විය යුතුය  වශයෙන් ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා ප්‍රකාශ කරති. රට යන මාවත දෙස බලද්දී මෙවැන්නක් සිදුවීමට ද බොහෝ ඉඩ ඇත. මනෝ ගනේෂන් ප්‍රභාකරන් සමඟ එකම වේදිකාවේ සිටි බව බොහෝ අයට අමතකය.

(2) ශ්‍රී ලංකාව කෙරෙහි වූ චීන බලපෑම අති දැවැන්තය. මේ යන ආකාරයට ගියහොත් ඉදිරි වසර 30 – 40 ඇතුලත  මේ රටේ මුළු ජනගහනයෙන් අඩුම තරමින් 10%ක් වත් චීන ජනගහනය වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.  වසර 60කදී,100දී?

පෝර්ට් සිටිය, හම්බන්තොට වරාය, කොළඹ වරාය සහ වෙනත් විවිධාකාර ව්‍යාපෘති යටතේ දස දහස් ගණනින් ඉදිරියේදී මෙරටට චීන්නුන් පැමිණීම නොවැලක්විය හැකි කරුණකි. ඔවුන්ගෙන් ඇතැමෙක් ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වීම්/එක්ව ජිවත්වීම් සිදු කරනු ඇත.

අධික ලෙස චීන ජනයා තම ජනගහණයන් බෝකර ගැනීම ගැන දන්නා ඇමරිකානු, කැනේඩියානු,  ඕස්ත්‍රේලියානු රජයන් එම රටවලට චීන ජනයා පැමිණීම වැලක්වීම පිණිස ඒ හා වීශේෂිත වූ ආගමන නීති පැනවුහ. උදා: ඕස්ත්‍රේලියාවේ 1901 සිට 1972 දක්වා බලපෑ White Australia Policy නමැති වර්ණවාදී ආගමන ප්‍රතිපත්තිය.

හම්බන්තොට වරායෙන් චීන ජාතිකයන්ට ශ්‍රී ලංකාව තුලට නිදහසේ, ඉතා පහසුවෙන් පැමිණීමට අවස්ථාවක් උදා වී ඇද්ද?  එහි සිදුවන ආගමන රෙගුලාසි නියාමන කටයුතු කෙසේ සිදුවේද? දැනට ශ්‍රී ලංකාව තුල වර්ෂ  2010ට පසුව පැමිණි චීන ජාතිකයෝ කොපමණ වෙත්ද? විසා නොමැතිව මෙරට සිටින චීන ජාතිකයන් ගණන කොපමණද? මේවා සම්බන්ධව දැඩි සොයා බැලීමක් කල යුතු නොවේද?  පසුගියදා හම්බන්තොටට න්‍යෂ්ටික අවි රැගත් චීන නෞවකාවක් පැමිණ ඇති බව අප දැනගත්තේ එය පැමිණ ගියාටත් පසුවය.

සිංහල ජාතිකාණුරාග ගීත, සිංහල නැටුම් ආදිය

 ‘මේ සිංහල අපගේ රටයි’, ‘හෙළ ජාතික අභිමානේ’, ‘සිංහල ජය ගීත හඬට’, ‘තුන් සින්හලයම නෑදෑයෝ’ – මෙවා එදා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ රැව් පිළිරැව්  දුන් ගීතයි. හැදෙන ළමුන්, යෞවනයන් නිතර මුමුණනු ලැබු ගීතයි.  අද වැඩිහිටියන් එදා පාසැල් යන අවධියේ ප්‍රසංග වලදී අභිමානයෙන් හඬ දී ගැයූ ගීතයි. මේවා ඉතා මනහර ගීතය. නමුත්, අද මේවා අහනවත් නොලැබේ, නැත්නම් ප්‍රචාරය කරන්නේ ඉතා අඩුවෙනි. අහක දමා ඇති මෙවන් සිංහල ජාතිකාණුරාග ගීත ගණනාවකි.

‘පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්’ ගීතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේ පවා ගුවන් විදුලියේ වාදනය වූ බවත් අද එය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වාදනය නොවන බවත් මිතුරෙක් මේ ලියුම්කරු සමඟ පැවැසීය. එහි සත්‍ය අසත්‍ය භාවය ඔහු නොදනී.

මේවා ප්‍රචාරය කිරීමට බියවී ඇත්තේ බොහෝදුරට බෙදුම්වාදී අදහස් දරන මන්ත්‍රීන් විසින් කරන පැමිණිලි නිසාය. දෙමළ රුපවාහිනි/ගුවන් විදුලි නාලිකා වල විකාශනය වන සිංදු වැඩසටහන් පිළිබඳව දැඩි නියාමනයක් පවතී දැයි නොදනිමි. ද්‍රවිඩ/මුස්ලිම් බෙදුම්වාදී/අන්තවාදී ප්‍රකාශ ගැන ඒ පිළිබඳව දන්නා සිංහලයෝ පැමිණිලි නොකරති; මෙය වැරදිය.

අද සෑම දෙනාම වාගේ අගය කරන්නේ බටහිර හෝ ඉන්දියන් (හින්දි/දෙමළ) තනු අනුව නිපැයෙන සිංහල ගීත බව පෙනී යයි.  ශ්‍රී ලංකාවට (සිංහලට) උරුමවූ සංගීතයෙන් ගී ගැයූ සුනිල් ශාන්තයන්, අයිවෝ ඩෙනිස්, දේවානන්ද වෛද්ද්‍යසේකර, ශාන්ති ගීතදේව වැන්නගේ  ගීත අද මුළුමනින්ම අමතක වී ගොසිනි. ඒවා අතිශය රසබර, මනා පදවැල් වලින් හෙබී ගීතය.

රටට සිදුවෙන විපත් ගැන වගේ වගක් නැති සිංහලයෝ

කොරෝනාවට පෙර කාලයේ සවස් භාගයේ මේ රටේ මත්පැන් බිම ශාලා මත්ලොලින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරි තිබුණු බව ඒ පිළිබඳව දන්නා අයට මතක ඇත. මේ අය හොඳින් මත් වෙන්න බී ගෙදර ගියේ බොහෝ විට අව සිහියෙනි. පසුදා උදෑසන අවදිව වැඩට ගොස් එදින සවස නැවත බීම සැලකට ගොඩ වුහ. මේ අයගෙන් බහුතරය – 80%ට  වඩා වුයේ සිංහලයන් බව පැවසීම අතිශෝක්තියක් නොවේ.

මේ රටේ වැඩිපුරම මිනීමැරුම්/අපරාධ  සිදුවන්නේ සිංහලයන් – සිංහලයන් අතරය. වැඩියෙන්ම මත් ද්‍රව්‍ය, මත් කුඩු පානයට ඇබ්බැහි වී ඇත්තේ සිංහලයෝය. නමුත් එම ජාවාරම් වැඩිපුරම කරන්නේ අන්‍ය ජාතිකයෝය. මේ රටේ සිරකරුවන්ගෙන් වැඩි දෙනා සිංහලයෝය. එම ප්‍රතිශතය 70%ට වඩා බොහෝ වැඩිය.

අරක්කු/බියර්, වයින්  වැනි මත්පැන් නිතර බොමින් (ගැහැණු/පිරිමි), කුකුල්/ඌරු මස් කමින්,  බයිලා/හිප්හොප් ගායන තාල වලට නටමින් ඉතා සැහැල්ලුවෙන් සිටිනා ජාතියක් ලෙසටයි සිංහලයන් දැන් බොහෝ දුරට පෙනෙන්නේ. ඔවුහු තමන්ගේ සහ තම පවුලේ අයගේ අභිවෘධිය ගැන පමණක් සිතති. රට ගැන, රටේ අනාගතය ගැන නොසිතති.  පාලකයන් තමන්ට උවමනා ලෙස මුදල් හොරකම් කරමින්, ඉතා අකාර්යක්ෂම ලෙස රට පාලනය කරමින් රට තව තවත් අඝාදයට ඇද ගෙන යාම ගැන ඔවුනට එතරම් තැකීමක් නැත. මන්ද, එවැනි උසස් තැන් වලට පැමිණියහොත් ඔවුන් බොහෝ දෙනෙක්ද හැසිරෙන්නේ ඒ අයුරින්ම හෙයිණි.

දුෂණ, වංචා ගැන ඉක්මනින් කිපී අප කථා කරන්නෙමු.  ඒ සැනින්ම ඒවා අමතක කර දමන්නෙමු. අකමැති දේශපාලනඥයන්ම නැවතත්  චන්දය දී පත් කර ගන්නෙමු.  

කොටින්ම මහා බැංකු මංකොල්ල, සීනි වංචාව, පොල්තෙල් වංචාව, පැනමා පේපර්ස්, පැන්ඩෝරා පේපර්ස් අද අපට අමතක වී ඇත්තා සේය.

දුෂණයට, අල්ලසට විරුද්ධව කථා කරන, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව තුල සහ ඉන්  පිටත මහ හඬක් නඟන, තමන් ඉතා සුපිරිසිඳු යයි කියා ගන්නා උද්ධච්ච මතධාරී දේශපාලන පක්ෂයක් පවා කරන්නේ කලක් මහ හඬ නැගීමෙන් පසු ක්‍රමානුකුල ලෙස නිහඬ පිළිවෙතක් රැකීමයි. ඉන් පසු, අළුත් මාතෘකාවක් අල්ලා ඔවුහු නැවත කථා කරති, ටික කලකට පමණක් මහ හඬක් නඟති. 1994 සිටම (අවුරුදු 28ක්) ඔවුන් කලේ මේ දේය.

අවසානය දක්වා සටනක් රැගෙන ගොස් කිසිම හොර දේශපාලනඥයෙක් ඔවුන්ගේ  තනතුරු වලින් අස් කිරීමට, ඔවුන්ව නඩු අසා හිරේ යැවීමට කිසිම දේශපාලන පක්ෂයකට නුවුවමනාය.  ‘මුං  ඔක්කොම හොරු මල්ලි’ කියා රංජන් කීවේ ඒ නිසා නොවේද?

එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ඕස්ත්‍රේලියාව වැනි රටවල නම්  මොන ක්‍රමයෙන් හෝ දුෂිතයන්ව  සිරේ යවති. එහිදී මාධ්‍ය සුවිශේෂ වූ කාර්ය භාරයක් සිදු කරයි.  ශ්‍රී ලංකාවත් ඔවුනුත් අතර ඇති වෙනස එයයි.

කැනේඩියානු අගමැතිවරයා තමන් ගමන් කරන වාහනයේ සීට් බෙල්ට් එක නොපැලඳුවහොත් ඔහුට විරුද්ධව දඩ කොලයක් නිකුත් කිරීමට එරට පොලිස් කොස්තාපල් වරයෙක් කටයුතු කිරීමෙන් විද්‍යාමාන වනුයේ එරට ජනතාව තුල ඇති ‘නිතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුය’ යන විශ්වාසයයි; ඔවුන් තුල තම රට කෙරෙහි පවත්නා අසීමිත වූ ආදරයයි.

එම කොස්තාපල් වරයාව  ටොරන්ටෝ සිට නිව් ෆවුන්ලන්තයට පසුදා කිසිසේත් ස්ථාන මාරු කර නොයවනු ඇත. නමුත් ලංකාවේ නම්, ඔහුට කොළඹ සිට කිලිනොච්චි දක්වා ස්ථාන මාරුවක් පසුදාම ලබා දීම බොහෝ දුරට ස්ථිරය.

ශ්‍රී ලංකාවට, සිංහල ජාතියට, බුද්ධාගමට බලපාන ප්‍රශ්ණවලදී සිංහලයා බුද්ධිමත්ව/ශිෂ්ටසම්පන්න ලෙස නැගී නොසිටීයි. සිංහලයාට පොදු වූ අසාධාරණකම් ගැන කථා නොකරයි. සිංහලයා සිංහලයාටම ගරහයි.

අද සිංහලයා තමන් සහ තම පවුල ගැන පමණක් සිතයි. රට ගැන නොසිතයි. සිංහල ජාතියේ විශේෂයෙන්ම එහි දිගු කාලින පැවැත්ම ගැන ඔහුට/ඇයට ඇත්තේ අල්පේච්ච වූ හැඟීමකි. කොටි ත්‍රස්තවාදීන් සමඟ පවා ඩීල් දැමු සිංහලයෝ වුහ.

අවසානය

ජාතියක් වශයෙන් සිංහලයනට ඔවුන් ඉදිරියේ ඇත්තේ මහා ප්‍රශ්ණ/අභියෝග ගණනාවකි. සිය  ජාතිය, උතුම් වූ බෞද්ධාගම රැක ගෙන, අපේ අයිතීන්/සම්පත් ක්ෂය වීමට නොදී; සුළු ජාතින්, අන්‍යාගමිකයන්ද  සතුටින් සිටින, සුළු ජාතීනට/අන්‍යාගමිකයනට අසාධාරණ/අවඩැන් සිදු නොවෙන, රටේ සියළු දෙනාටම වාසනාව, සෞභාග්‍යය උදාවෙන, පින්බර  ශ්‍රී ලංකාවක් ගොඩ නගා ගැනීමේ වැඩි භාර දුර වගකීම සිංහලයා සතුව ඇත.   

සැහැල්ලුව භුක්ති වින්දාට කම් නැත. නමුත්, බුද්ධිමත්ව, නැණවත්ව, අවධානශිලිව අප සියළු දෙනා ජිවත් විය යුතුය. නැත්නම් සිදු වන්නේ අප සියළු දෙනාගේම අනාගතය තව තවත් අඳුරු වි යාමකි.

ඉතා කණගාටුවෙන් කිව යුතු වන්නේ ලොව වෙසෙන ඉතාම කුඩා ජන කොටසක් වන සිංහල අප දුර්වල වී යාම දැන් ක්‍රමානුකුල ලෙස සිදුවෙමින් පවතින බවයි.  ඒ බව අපට නොපෙනීම/නොදැනීම අන් සියල්ලටම වඩා සැලකිලිමත් විය යුතු, කණගාටුවට පත් විය යුතු කරුණකි.  

මෙම ලියුම්කරු ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායමේ (ගෝලීය) සහ ශ්‍රී ලංකාවේ, සිංහල සංවර්ධන සංවිධානයේ වත්මන් සභාපතිවරයාය. ඔහු ජාත්‍යාන්තර නීතිඥවරයෙක් ලෙස බොහෝ කාලයක් විදේශයන්හි  සේවය කර ඇත (arwdc@bigpond.com).

5 Responses to “සිංහලයනට වන අසාධාරනකම් ගැන කථා කිරීමට කිසිවෙක් නැත”

  1. aloy Says:

    There isn’t a voice for Sinhalaya in the parliament. Not a single fellow is confident to speak in that language except to say wambotu katha, Muslims are the most vocal Sinhala speakers who have a disproportionate representation in the parliament. It was late prez RP who paved the way for that. Surely ‘Puthano’ will tread the same path as he has no other way.

  2. Sudath Gunasekara Says:

    හිතවත් චානක,
    ඔබ කියන කාරනා සියල්ල ගැන මා එකන්ග වෙනවා.ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායමේ (ගෝලීය) සහ ශ්‍රී ලංකාවේ, සිංහල සංවර්ධන සංවිධානයේ වත්මන් සභාපතිවරයා වශයෙන් ඔබට විශාල මෙහෙයක් කරන්ට පුලුවන්. මේ සඬ්හ්හා පලමුවෙන්ම අපට අව්ශ්ය මේ රටතුල මෙන්ම ජාත්යන්තරව මේ සදහා පිළිගන්න සැබෑ සින්හල්යින්ගේ ප්‍රබල සන්විධානයක්.ඔබ දරන ඉහත තනතුර යොදාගෙන ඔබට මේ සම්බන්ද්යෙන් විශාල මෙහෙයක් කළ හැකියි. මම ඒ සන්දහා
    කළහැකි සියල්ල කිරීමට සූදානම්.එයට මට ඇති එකම ප්‍රස්නය වයස (84)නමුත් අවසන් හුස්ම යනතුරුම මගේ රට හා ජාතිය වෙනුවෙන් මට කළහැකි සියලු දේ මම කරනවා.
    මේරටේ සිටින එකම දේශ්පාලකයෙක්වත් අපි දෙන්නාගේ රාමුවට වැටෙන්නෙ නෑ. ඒ වගේම සින්හල බෞද්ද ඹ්හික්සුනම්ක් සොයාගැනීමත් අමාරුයි මේ රට 1948 සිට ඇදදමා ඇති අඝාධයෙන් ගොඩගැනීම සඳහා ධර්මපාල චින්තනය අනුව අවශානය දක්වා ක්‍රියාකළ හැකි සන්විධානයක් අපි හදාගන්ට ඕනෑ.
    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි !

  3. Chanaka B Says:

    Thank you Aloy. Yes those SJB Muslim MPs are very eloquent. Certainly they speak better Sinhalese than our own fellows.

  4. Chanaka B Says:

    ස්තුතියි සුදත්!

    මා ලිපියෙන් පළ කල පරිදි සිංහලයාගේ අයිතීන් ගැන කථා කිරීම අද වැරදි සහගත දෙයක් ලෙසිනුයි රට තුල පෙනෙන්නේ. අද සිංහලයනටද තම රට ජාතිය ගැන හැඟීමක් නැති හැඩය.

    ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායම (ගෝලීය) ජාත්‍යාන්තරව වෙසෙන ශ්‍රී ලංකාවට හිතැති වෘත්තීය වේදීන්ගේ කුඩා (නමුත් බලගතු) එකතුවකි. සිංහල සංවර්ධන සංවිධානය නැවතත් බල ගැන්වී ඇත (මගේ පියා විසින් 1980 මුල ගණන් වල ආරම්භ කරන ලද සංවිධානයකි මෙය). අපේ (SSS) වාර්ෂික මහා සභාව කොරෝනා අවසන් වූ වහාම පැවැත්වෙනවා. ඔබත් අප හා එක් වන්න. arwdc@bigpond.com (00711 33 4224).

    තෙරුවන් සරණයි! සුභ නව වසරක්!

  5. Chanaka B Says:

    ස්තුතියි සුදත්!

    මා ලිපියෙන් පළ කල පරිදි සිංහලයාගේ අයිතීන් ගැන කථා කිරීම අද වැරදි සහගත දෙයක් ලෙසිනුයි රට තුල පෙනෙන්නේ. අද සිංහලයනටද තම රට ජාතිය ගැන හැඟීමක් නැති හැඩය.

    ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායම (ගෝලීය) ජාත්‍යාන්තරව වෙසෙන ශ්‍රී ලංකාවට හිතැති වෘත්තීය වේදීන්ගේ කුඩා (නමුත් බලගතු) එකතුවකි. සිංහල සංවර්ධන සංවිධානය නැවතත් බල ගැන්වී ඇත (මගේ පියා විසින් 1980 මුල ගණන් වල ආරම්භ කරන ලද සංවිධානයකි මෙය). අපේ (SSS) වාර්ෂික මහා සභාව කොරෝනා අවසන් වූ වහාම පැවැත්වෙනවා. ඔබත් අප හා එක් වන්න.

    තෙරුවන් සරණයි! සුභ නව වසරක්!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress