බෞද්ධ ජනරජ ප්‍රවාදය – 51 වැනි කොටස- බෞද්ධ නීතියේ පරමාර්ථය
Posted on January 4th, 2022
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
නීතියට අර්ථයක් ලැබෙනුයේ සංස්කෘතියක් තුළ ය. යම් ක්‍රියාවක නිවැරැදි බව, වැරැදි බව, යෝග්‍ය බව, අයෝග්‍ය බව යනාදිය අප විසින් තීරණය කරනු ලබන්නේ අදාළ සංස්කෘතික ඇගැයීම් මත පදනම්වීමෙනි. එහෙයින් රටක නීති සම්පාදනය විය යුත්තේ ද එම ඇගැයීම්වලට අනුරූප වන පරිදි ය. ඒ අනුව, රටක පවතින නීතිය තුළින් ද එහි අනන්‍යතාව ප්‍රකාශ කෙරෙයි. ජනරජයේ අනන්‍යතාව ප්‍රකාශ කෙරෙන සාමූහික හිමිකමක් ලෙසින් අපගේ නීතිය සම්පාදනය විය යුතු බව මෙම ප්‍රවාදය තුළින් යෝජනා කෙරුණේ ද එබැවිනි.
යටත්විජිත බලපෑමෙන් මිදීමට නො හැකි වී ඇති බැවින් අප රට තුළ තවමත් ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසි ස්වාමියාගේ සම්ප්‍රදායට අනුකූල වන පරිදි අර්ථදැක්වුණු රෝම – ලන්දේසි නීතිය ය. එහෙයින් ඉංග්‍රීසි, රෝම සහ ලන්දේසි සංස්කෘතික ඇගැයීම්වල ආභාසය අපගේ නීති ක්‍රමය තුළ වෙයි. ජනරජයේ පරමාධිපත්‍යය හිමි ජනතාවගේ සංස්කෘතික ඇගැයීම් ඒ තුළින් ප්‍රකාශවන්නේ නැත. ඒ අනුව, ජනරජයේ ජනතාව අපේක්‍ෂා කරන සාධාරණත්වය එවැනි නීතියකින් ඉටුවනු ඇති බවක් ද බලාපොරොත්තු විය නො හැකි ය.
අපගේ ඉපැරැණි නීති පිළිවෙත් මේ වන විට මුළුමනින් ම මෙන් බිඳවැටී තිබේ. කාලීන වෙනස්කම්වලට අනුරූපවෙමින් වර්ධනය වීමේ අවස්ථාවක් අපගේ නීතියට නො ලැබිණි. එහෙයින් අප විසින් ජනරජය සඳහා නීති ක්‍රමයක් සම්පාදනය කරනු ලැබිය යුත්තේ ශේෂ වී පවතින නීති වාර්තා, ඒවා පිළිබඳව කරනු ලැබූ සහ ලබන පර්යේෂණ සහ බුදුදහම විසින් අනුදැන වදාරන මූලධර්ම මත පදනම්වීමෙනි.
ඉපැරැණි සිංහල නීතිය ගැන හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා විසින් කරන ලද හැදෑරීම් සහ පර්යේෂණවල ප්‍රතිඵල එතුමා ලියා පළකළ නීති නිඝණ්ඩුව” සහ මධ්‍යකාලීන ලංකාවේ නීතිය” යන පොත්වල අන්තර්ගත ය. ගුණසේන ගමගේ මහතා විසින් රචිත පැරණි හා මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රමය” යන ග්‍රන්ථය ද මේ අරභයා ප්‍රයෝජනවත් වෙයි. සැබැවින් ම, වැදගත්වනුයේ ඉපැරැණි නීතිවලට අදාළ මූලධර්ම හඳුනාගැනීම ය.
ජනරජයේ අනන්‍යතාව ප්‍රකාශ කෙරෙන නීති ක්‍රමයක් හඳුන්වාදීමට බුදුදහමින් ලබාගත හැකි ආභාසය ද ඉතා වැදගත් ය. නීතිය පිළිබඳ කරුණු කියන අවස්ථා විශාල ප්‍රමාණයක් ත්‍රිපිටක පාළිය තුළ වෙයි. ජාතකපාළියේ එන සුලසා ජාතකය මේ සම්බන්ධයෙන් නිදසුන් වශයෙන් දැක්විය හැකි ය. ඡන්ද, දෝෂ, භය, සහ මෝහ යන සතර අගතියෙන් අගතිගාමී නො වී යුක්තිය හෝ අයුක්තිය පිරික්සන, අන්‍යයා ද තමා ද නො පෙළෙන යම් රජෙක් වරදට සුදුසු දඬුවම් දෙවන්නේ වේ ද ඒ රජුගේ ගුණය සහ පිරිවර නො පිරිහෙන බව එහි දැක්වෙයි. එයට පටහැනිව, යම් රජෙක් ක්‍රියා කරන්නේ ඔහුගේ කීර්තිය පිරිහී, මැරී දුගතියට යන බවක් ද එයින් කියැවෙයි. එයින් තවදුරටත් කියැවෙන පරිදි රජු විසින් දඬුවම් පැනැවිය යුත්තේ ජනතාව නොමඟ යෑම වැළැක්වීමේ අනුකම්පා සහිත නුවණිනි. එහෙයින් ජනරජයේ නීති සම්පාදනයටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් සතර අගතිය පිළිබඳ ඉගැන්වීම ගුරු කරගත හැකි ය.
එයට අමතරව, පංචශිලය මත පදනම් ව නීතිමය අවශ්‍යතා හඳුනාගැනීම ද කළ හැකි ය. අපගේ සංස්කෘතික ඇගැයීම් ඇතිවීමට සහ වර්ධනයවීමට පස් පව් පිළිබඳ අවබෝධය සහ ඒවායින් වැළැකීමේ අවශ්‍යතාව තීරක වී තිබෙයි. පංචශීලය මත නීති සම්පාදනයකිරීම යන්නෙන් අදහස් කරනුයේ ඒවා නීතිගතකිරීම නොවේ. එයින් කියැවෙන්නේ පංචශීලය ආකෘතියක් වශයෙන් ගෙන ඒ ඇසුරින් වැරැදි හඳුනාගත යුතු බවත් එම වැරැදිකිරීමෙන් ජනතාව වළක්වාගැනීමට අදාළ නීති සම්පාදනය කළ යුතු බවත් ය.
අදත්තාදානය පිළිබඳ සිල්පදය මේ සඳහා නිදසුන් කොටගත හැකි ය. නුදුන් දෙය ගැනීම අදත්තාදානය ලෙසින් හැඳින්වෙයි. වෙනත් පුද්ගලයකුට අයත් සම්පතක් සොරෙන් ගැනීම, එම සම්පත්හිමියා වංචාවෙන් රැවැටීම, ඔහුව බියට පත්කොට ස්වකැමැත්තෙන් දෙන දෙයක් ලෙසින් තමන් සන්තක කරගැනීම වැනි කරුණු ගණනාවක් ඒ තුළින් ප්‍රකාශවෙයි. සොරකම, මංකොල්ලකෑම, අල්ලස, දූෂණය, අවභාවිතය වැනි වැරැදි මෙම ශික්‍ෂාපදය ඇසුරින් විග්‍රහකළ හැකි ය. වෙනත් විවිධ වූ වැරැදි හඳුනාගෙන අර්ථදැක්වීමට අනෙකුත් ශික්‍ෂාපද ද යොදාගත හැකි ය.
බෞද්ධ නීතියේ පරමාර්ථය වන්නේ ජනතාව නිවැරැදි කරවීම විනා දඬුවමින් ඔවුන් පීඩාවට ලක්කිරීම නොවේ. එහෙයින් වැරැදිකරන්නන් හඳුනාගෙන, තමන් කළ වරද ගැන ඔවුන්ට කියා දී යෝග්‍ය විශෝධන ක්‍රියාමාර්ගයක් ඔස්සේ යහපත් මිනිසුන් වශයෙන් ඔවුන්ව නැවතත් සමාජගතකිරීම ජනරජයේ වගකීම විය යුත්තේ ය. අධ්‍යාපනය, ශිල්ප පුහුණුව, භාවනාව, ප්‍රජා සේවය වැනි ක්‍රම තුළින් වැරැදිකරුවන් හික්මවිය හැකි ය. බන්ධනාගාර වැනි වධක ස්ථාන පැවැතිය යුත්තේ ජනතාව ඒවායින් ඈත්කරවීමේ අභිප්‍රායකින් විනා භේදයක් නොමැතිව සියලු ආකාරයේ වැරැදිකරුවන්ගෙන් ඒවා පිරවීමට නොවේ.
මෛත්‍රියෙන් සහ කරුණාවෙන් සියලු ආකාරයේ අපරාධකරුවන් දමනය කොට යහපත් මිනිසුන් වශයෙන් ඔවුන්ව සමාජගතකිරීම බෞද්ධ නීතියේ පරමාර්ථය වෙයි.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති