නිපුණතා සපිරි අනාගතයක් වෙනුවෙන් “නිපුණතා උදානය” ජාතික වැඩසටහන වයඹ පුරවරයෙන් ඇරඹේ.
Posted on January 11th, 2022
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායට එක්වන්නන් හට වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ආයතනවල සමස්ත ක්‍රියාදාමය වැඩිදියුණු කරමින් නිපුණත්වයෙන් සපිරි අනාගත පරපුරක් බිහි කිරීමේ අභිප්‍රායෙන් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය සහ ඒ යටතේ පවතින ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල එකමුතුවෙන් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ජාතික මෙහෙවරක් වන “නිපුණතා උදාන 2022” ජාතික වැඩසටහනේ සමාරම්භය වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් “වයඹ උදානය” නමින් ඊයේ (10) දින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් සාරගම දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.
මෙහි දී වයඹ පළාත තුළ විසිර සිටින අවිධිමත් අධ්‍යාපනයක් ලැබූ තරුණ තරුණියන් සහ වැඩිහිටියන්හට NVQ සුදුසුකම සහිතව රැකියාලාභින් කරවීම, එම පළාත තුළ පිහිටි තාක්ෂණ විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීම, නව ගොඩනැඟිලි ඉදි කිරීම, වෘත්තීය පුහුණු ආයතනවලට නව සිසුන් බඳවා ගැනීම, නව පාඨමාලා ආරම්භ කිරීම වැනි තවත් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අරමුණු වේ.
මෙදින රාජ්‍ය අමාත්‍යතුමිය විසින් වයඹ පළාත තුළ තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, කාර්මික විද්‍යාල සහ තාක්ෂණ විද්‍යාලවල “නිපුණතා උදානය” මූලික කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන නව වැඩසටහන් පිළිබඳ නිරීක්ෂණයේ ද යෙදුණි. ඒ අනුව,
සාරගම දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී,
· සිසු සවිය’ ශිෂ්‍යාධාර ප්‍රතිලාභීන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.
· පුහුණු ආධුනිකයන් හට වෘත්තීය ඇඳුම් කට්ටල ලබා දීම.
· සාරගම දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ICT level 5 පාඨමාලාව වෙනුවෙන් පරිගණක ලබා දීම.
· රාජ්‍ය අමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් සඳහා NVQ-RPL පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම.
ඉන්පසුව ත්‍රීරෝද රථ රියදුරන් වෙනුවෙන් පළමුවරට ඇරඹෙන Skill 4 you වැඩසටහනේ සමාරම්භක අවස්ථාව කුරුණෑගල පිහිටි ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) දී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, වයඹ පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහි දී,
· ත්‍රීරෝද රථ රියදුරන් හට ගොඩනැගිලි නඩත්තු සහ සේවා, ලෝහ පිරික්සුම්කරණය, ගෘහස්ථ විදුලි උපකරණ අලුත්වැඩියාව සහ සේවා, ගෘහාශ්‍රිත වෙනත් සේවා වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් 04ක් යටතේ පාඨමාලා හඳුන්වා දී වෘත්තීය පුහුණුව ලබා දීම.
· ඔවුන් බහුවිධ නිපුණතා සහිත වෘත්තීයලාභීන් බවට පත් කිරීම.
· වෘත්තීය නිපුණතාවය ලබා දීමෙන් පසුව පවතින රැකියා අවස්ථාවන් ලබා දීම සහ ස්වයං රැකියාවකට යොමු කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙහි අරමුණ වේ.
මෙම අවස්ථාවේ දී Skill 4 you ජාතික වැඩසටහනේ නිල ලාංඡනය එළි දැක්විණ.
මීට අමතරව මෙදින වැඩසටහනට සහභාගී වූ ත්‍රීරෝද රථ රියදුරන් හට කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ත්‍රිරෝද රථ ආරක්ෂිත ආවරණ, අනෙකුත් උපකරණ ඇතුළුව මාර්ගෝපදේශන පොතක්ද ලබා දෙන ලදී.
කුරුණෑගල පිහිටි තාක්ෂණ විද්‍යාලය තුළ නිරීක්ෂණයක යෙදීමේ දී රාජ්‍ය අමාත්‍යතුමිය විසින්,
· නිපුණතා උදාන වැඩසටහනට සමගාමීව ඉදිවන නව ගොඩනැගිලි පිළිබඳව අවධානය යොමු කිරීම.
· ආධුනික සිසුන් සමඟ කතාබහ කර ඔවුන්ට තිබෙන ගැටලු සහ අවශ්‍යතා පිළිබඳවද අමාත්‍යතුමිය විසින් විමසීමක් කරමින් ඒවාට විසඳුම් සාකච්ඡා කිරීම.
· රාජ්‍ය අමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් ආධුනික සිසු සිසුවියන් හට ලංකන් ඩ්‍රෝන් ඇකඩමිය මඟින් ඩ්‍රෝන යන්ත්‍ර පිළිබඳව වැඩසටහනක් සිදු කළ අතර එහි දී ඩ්‍රෝන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, හැසිරවීම ආදී කරුණු පිළිබඳව ආධුනිකයන් හට දැනුමක් ලබා දීමට කටයුතු කෙරිණ.
ඉන්පසුව වාරියපොළ පිහිටි කාර්මික විද්‍යාලයේ පැවති පාඨමාලා මූලික කරගත් ප්‍රදර්ශනාත්මක වැඩසටහනේ නිරීක්ෂණයකට ද සහභාගී වූ රාජ්‍ය අමාත්‍යතුමිය විසින් එහි ඉගෙනුම ලබන නිපුණතා “සිසු සවිය” ශිෂ්‍යාධාර ප්‍රතිලාභීන් හට ලිපි ප්‍රදානය කිරීමත් පුහුණු ආධුනිකයන් හට වෘත්තීය ඇඳුම් කට්ටල ලබා දීමත් සිදු කෙරිණ.
වයඹ උදානයට සමගාමීව සිදු කෙරෙන වැඩසටහන් 13 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර දීපව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත “නිපුණතා උදාන 2022” ජාතික වැඩසටහන තවත් පළාතකින් නැවතත් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කෙරේ.
මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය