මේ රට නාවික කේන්ද්‍රයක් කරමින් ආසියාවේ බලවත් රටක් ලෙස ඉදිරියට යාමට තැබූ බලාපොරොත්තුව අත්හැර නැහැ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on January 12th, 2022
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
වරාය ගොඩනැගීම මඟින් මේ රට නාවික කේන්ද්‍රයක් බවට පත්කරමින් ආසියාවේ බලවත් රටක් ලෙස ඉදිරියට යාමට තැබූ බලාපොරොත්තුව අත්හැර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
දකුණු ආසියාවේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානය කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පෙරවරුවේ මේ බව අවධාරණය කළේය.
නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම සහ ඉදිකිරීම් ආරම්භ කිරීමේ සංඥාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දෙන ලදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.
නැගෙනහිර පර්යන්තයේ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම පවත්වා ගනිමින් මෙසේ සංවර්ධනය කෙෙරන පර්යන්තයේ මුළු දිග මීටර් 1320කි. එය අදියර තුනක් යටතේ 2024 ජුලි මාසය වනවිට සාදා නිම කිරීමට නියමිතය.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම ආරම්භ කරන මේ අවස්ථාවට තමුන්නාන්සේලා සමඟ එකතු වෙන්න ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. මේ මොහොතේ මට අපේ රටේ වරායන් ඉදිකිරීම සම්බන්ධ අතීතය මතක් වෙනවා. නිදහස ලැබුණට පස්සේ අපේ රටට අලුතින්ම වරායක්, හදන්න ඕනෑ කියලා හිතුවේ 2005 බලයට ආපු අපේ ආණ්ඩුවයි කියලා නිවැරදි කිරීමට යටත්ව මා කියා සිටිනවා.
හම්බන්තොට වරාය හදන්න තීරණය අරගෙන අපි වැඩ පටන් ගත්තේ අපේ රට ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් එක්ක සටන් කරද්දී බව ඔබට මතක ඇති. එදා අලුතින්ම හම්බන්තොට වරාය ඉදිකරන්න හදනකොට ඒකට විශාල විවේචනයක් ආවා රෝහිතට මතක ඇති. සමහරු ඒක ආපස්සට හරවන්නත් හැදුවා.
එදා හිටපු විදේශ ඇමතිවරයා වරාය ඉදිකිරීම ගැන මාතෘකාව චීනයත් එක්ක සාකච්ඡා කරන ලේඛනයටවත් දාන්න කැමැති වුණේ නෑ. මට මතකයි විපක්ෂයේ අය කිව්වා හම්බන්තොට වරායේ ගලක් තියෙනවා ඒ නිසා නැව් එන්න පුළුවන් කමක් නැහැ.
එහෙම තත්ත්වයක් තමයි එදා තිබුණේ. අපි හැම චෝදනාවක්ම ඉවසාගෙන ඒවාට මුහුණ දීලා අලුතින් අපේ රටට වරායක් ඉදිකළා එදා. ඒ වරාය ඉදිකිරීම බලන්න සහ වරායට ජලය පිරෙනවා බලන්න අපේ රටේ ජනතාව ආපු හැටි ඔබට මතක ඇති.
මිත්‍රවරුනි,
හම්බන්තොට වරාය විතරක් නෙවෙයි. දකුණු කොළඹ වරාය පර්යන්තයත් ඔලුවිල් වරායත් හැදුවා. යුද්ධයත් අවුරුදු හතරකින් අපි ඉවරකළා. අධිවේගී මාර්ග හැදුවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමා තවත් හදනවා. ගුවන්තොටුපොළවල් හැදුවා. 2015න් පස්සේ රට භාරගත්තේ මේ දැවැන්ත සංවර්ධනයන් විවේචනය කළ අය කියල ඔබට මතක ඇති. ඒ අය ඇවිල්ල මොකද කළේ. ඒ වරාය විකුණුවා. හැබැයි විකුණනකොට ගලක් තිබුණේ නෑ.
මිත්‍රවරුනි,
අපිට එදා ඕනෑ කළේ මේ රට නාවික කේන්ද්‍රයක් කරන්න. වරාය ගොඩනැගීම මඟින් අපේ රට ආසියාවේ ප්‍රධාන බලවත් රටක් හැටියට ඉදිරියට යන්නයි සැලසුම් කළේ. අපි තවමත් එදා තියපු බලාපොරොත්තු අතහැරලා නෑ.
එදා මා යටතේ හිටපු වරාය රාජ්‍ය ඇමතිම තමයි මම විශ්වාස කරන්නේ ඇමතිවරයා වශයෙන් අදත් ඉන්නේ. දැන් එතුමා වරාය ඇමති. එදා වරායට තිබුණ බාධා ගැන හොඳට දන්න, ඒවාට හැම වෙලාවෙම උත්තර දුන්න කෙනෙක්. අද ඇමැති හැටියට වරාය ගැන බලාපොරොත්තු ඉටු කරන්න කැපවෙලා ඉදීම ගැන අපි සංතෝෂ වෙනවා.
මිත්‍රවරුනි,
සමහරු අහනවා මේ වාගේ අමාරු කාලයක මේ වාගේ අමාරු වැඩක් ආරම්භ කරන්නේ ඇයි කියලා. අපේ රටේ තිබුණ ගොඩක් ආණ්ඩු දුෂ්කරතා ඉස්සරහ පස්සට ගිය ආණ්ඩු. එල්ටීටීඊ ත්‍රස්තවාදය පැතිරුණ නිසා උතුරු නැගෙනහිර මායිම කිට්ටුවටවත් සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න 77 ඉඳන් පත් වුණ ආණ්ඩු බය වුණා. ඔබට මතකයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයවත් හදන්න කැමැති වුණේ නෑ එදා. යුද්දෙ ඉවර කරන්න පුළුවන් කියලා හිතුවේ නෑ ඔහොම.
නමුත් අපි යුද්ධය තියෙන අතරෙම තමයි අධිවේගී මාර්ගයේ වැඩ පටන් ගත්තේ. ගුවන්තොටුපොළේ වැඩ පටන් ගත්තේ එහෙම තියාගෙන.
කොවිඩ් අර්බුධකාරී අවස්ථාවේදී සියලු වැඩ නවත්තලා ඉදිරියට යන්න බෑ ඒ නිසයි අපි එවැනි දැවැන්ත අභියෝග තියෙද්දීත් සංවර්ධනය ගැන හිතන්නේ.ඉදිරියට ගියේ.
අධිවේගී මාර්ග හදන්න, සියක් නගර ව්‍යාපෘති ආරම්භ කරන්න විතරක් නෙවෙයි වරාය බටහිර පර්යන්තය ගොඩ නැගීමත් අපි පටන් ගත්ත. අපිට මේ රට ගැන විශාල බලාපොරොත්තුවක් තියෙනවා. නිකරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ළතවෙලා වැඩක් නෑ දැන් පලක් නෑ. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් වෙන්නේ ඉදිරි වසර තුන පිළිබදවයි. ඒ වසර තුන තීරණාත්මකයි. අතීතය නෙවෙයි අනාගතයයි අපි භාරගන්න ඕනේ.
ගෙවුණු අතීතය ආණ්ඩුවට ආපහු ගන්න බෑ. ඒක ආපහු අදින්න පුළුවන් වැඩ කළොත් විතරයි.
මිත්‍රවරුනි,
අපි මුහුණ දීලා තියෙන කටුක තත්වය පිළිගන්න ඕනෑ. කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන අගාධය මේ වරායේ ගැඹුරට වඩා වැඩියි කියලයි මම විශ්වාස කරන්නෙ. ඒක අපිට ජනතාවට හංගන්න ඕන නෑ.
ජනතාව මුහුණ දීලා තියෙන දුෂ්කරතා ගැන අපිට වගකීමක් තියෙනවා. බඩු ගණන් යනවාටත් වඩා පෝලිම් ඇතිවෙන එක හොඳ නෑ කියලා අපේ ජනතාව අපිට ඇවිත් කියනවා. අපි ඒක දන්නවා. මේ ආණ්ඩුව කිසිම වෙලාවක තමන්ගේ පහසුව ගැන හිතුවේ නෑ. තමන්ගේ පහසුව ගැන පමණක් හිතන ආණ්ඩුවක් නම් මූල්‍ය අර්බුදයකදී රුපියල් බිලියන සිය ගණනක සහනයක් ජනතාවට දෙන්න තීන්දු කරන්නේ නෑ.
මිත්‍රවරුනි,
ඔබ දන්නවා මේ වරාය සංවර්ධනයත් මුලදී ගොඩනැගුවේ අපේම මුදලින්. වරාය අධිකාරියේම මුදල් යොදවලා ගොඩනගන්න සැළසුම් කළ පර්යන්තය තමයි මේ නැගෙනහිර පර්යන්තය. නමුත් ඒ පර්යන්තය ගොඩ නගන්න කලින් අපි පරාද කරල අපිව ගෙදර ඇරියා. නමුත් යහපාලන ආණ්ඩුව අපි කරගෙන ගිය වැඩ පිළිවෙල එදාම නතර කළා. වරාය විතරක් නෙමෙයි මුළු රටේම අපි කරගෙන ගිය වැඩ පිළිවෙල නතර කළා. මේ පර්යන්තය ගොඩනගන්න හෝ රටේ සංවර්ධනය ඒ ආණ්ඩුවට වුවමනා වුණේ නෑ. ඔවුන් කළේ මේ පර්යන්තය වෙනත් රටවල් සමඟ පටලවන එකයි.
මතක තියාගන්න එදා හම්බන්තොට වරාය විකුණුවේ මර්දනය මැද්දේ. මාධ්‍යවේදීන්ගේ කන් පැලුවා. හම්බන්තොට විරෝධතාවට ගිය ජනතාවට පන්න පන්නා ගැහුවා. මැති ඇමතිවරුන් ඔළු පලාගෙන ආවේ. වෘත්තීය සමිතිවලට ඔළුව උස්සන්න දුන්නේ නෑ. භික්ෂූන් වහන්සේලාටත් ඇහුම්කන් දුන්නේ නෑ. යහපාලන ආණ්ඩුව මේවා විකුණනකොට කතා කරන්න ගියා නම් උන්වහන්සේලාවත් මර්දනය කරනවා. එදා මේවා විදේශවලට විකුණන එක කාටවත් නතර කරන්න බැරි වුණා.
මෙහෙ විතරක් නෙවෙයි මොනරාගල උද්ඝෝෂණ කරන ගොවියන්ට ගහන්න කොළඹින් කඳුළු ගෑස් ලොරි ගණන් යැව්වා. එහෙම කරලා අපි ගොඩනගපු සම්පත් විදේශවලට පවරලා දුන්නා.
එබඳු තත්ත්වයක් යටතේ තිබුණු රටක් තමයි අපි භාර ගත්තේ. දෙකොණ පත්තුවෙන විලක්කුවක් නිවා ගන්න වෙන්නේ බොහොම අමාරුවෙන්. පැත්තකින් යහපාලන ආණ්ඩුව විදේශ සමග ගහපු ගිවිසුම්, පැත්තකින් ඒවා යළි නිදහස් කරගෙන දියුණු කරන එක.
මේ මර්මස්ථාන නිදහස් කර ගන්නත්, ඒවා දියුණු කරන්න මුදල් හොයා ගන්නත් ඕනෑ. මේ සේරම මැද ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නත් ඕනෑ. යහපාලන ආණ්ඩුව වාගේ අපිට ජනතාව මර්දනය කරන්න බෑ. අපි කරන්නෙත් නැහැ. ඒ අය විදේශ සමඟ ඇති කරලා තියෙන ගිවිසුම් ගැන ජාත්‍යන්තරව වගකීමෙන් ක්‍රියා කරන්න ඕනෑ.
මේ පර්යන්තය ගැන ජාතියේ අපේක්ෂාවන් ආරක්ෂා කරගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙයි. මතක තියාගන්න අපි බලයට එනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවකට සම අනුග්‍රහ දක්වන්න පොරොන්දු වුණ රටක් මේක. අපි ඒ යෝජනාවෙන් ඉවත් වුණා. අපි ඇවිල්ල තමයි ඒ යෝජනාවෙන් ඉවත්වුනේ. අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම නතර කළා. මේවායේ බලපෑම් අපිට එනවා. රටට ආදරේ ජනතාව මේක තේරුම් ගන්න ඕනෑ. 2015 පස්සේ රටට වුණ දේ මතක තියා ගන්න.
රට ගැන තියෙන බලාපොරොත්තු අතාරින්න එපා. ගෙවුණ වසර දෙක අපේ විවේචකයන්ට කරගහගෙන යන්න භාර දෙමු. අනාගතය අපි භාර ගමු. ඔබ සැමට තෙරුවන් සරණයි.!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා
ජනාධිපතිතුමනි, අසල්වැසි ඉන්දියාවේ පාර පුරා මිනි ගංගාවල් වල එක දිගට පා වෙනවා අපි දැක්කා. ඔබතුමා කල්පනා කළා මගේ පලවෙනි ප්‍රමුඛතාවය මගේ රටේ පුරවැසියා ගේ ජීවිත ආරක්ෂා කිරීම. ඒ නිසා තමා ඔබතුමා එන්නත ලබාදීමේ ක්‍රියාවලිය අතට ගත්තේ.
කොවිඩ් වසංගතය වෙනුවෙන් ජාතික රැස්වීම් වල වාඩි වුණාම අපට තේරුණේ කොළවල ලියලා තියෙන දත්ත ලේඛන වලට වැඩිය ඒවා තිබුණේ ඔබතුමාගේ ඔලුවේ කියලයි.
ඔබතුමා අහනවා අහවල් දිස්ත්‍රික්කයේ එන්නත සියයට කීයද කියලා ගාන නිලධාරීන් කිව්වොත් ඔබතුමා කියනවා බොරු කියන්න එපා මේකයි මට ලැබෙන තොරතුර කියලා. එවැනි තත්ත්වයක් ඇති කරල තමා ඔබතුමා මිනිසුන්ට ජීවිතය දුන්නේ. පළවෙනි එන්නතත් ගහලා දෙවෙනි එකත් ගහලා ජීවිතේ බේරගන්න තුන්වෙනි එන්නතත් ගහලා යන ගමන් තමයි ජනාධිපතිතුමනි ඔබතුමාට බැන බැන යන්නෙ.
ජනාධිපතිතුමනි එහෙම බනින තරමටම තමයි අපිත් පන්නරය ලබන්නේ විවාදයකට ගියාම ඒ පැත්තෙන් ටිකක් වැඩිපුර බැන්නා ම තමයි ප්‍රතිවාදියාට අවශ්‍ය කරුණු ටික හොඳට කියන්න පුළුවන් වෙන්නේ.
සමහරු කියනවා ජනාධිපතිතුමනි මේ බනින්නේ 69 ලක්ෂය කියල. ඔබතුමාට මේ රටේ සමස්ත ජනතාවම ඡන්දය දුන්නේ නෑ. පොහොට්ටුවේ ඉදිරියේ කතිරෙ ගැහුවේ නායක හාමුදුරුවනේ හැට නම ලක්ෂයක් විතරයි. පනස්පන් ලක්ෂයක් ගැහුවෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව. අපට වෙන ආණ්ඩුවක් ඕන කියලා ගැහුවෙ. ඒ ගහපු පනස් පන් ලක්ෂය බනිනවා මිසක් ඔබතුමාගෙ හොඳ කියන්නේ නෑ. අපේ රජයේ හොඳ කියන්නෙත් නෑ.
මම පැහැදිලිව කියනවා ජනාධිපතිතුමනි රාජපක්ෂවරු මේ රටේ දෙවරක් මිනිස්සුන්ගෙ අතෙ තිබ්බ මරන සහතිකය මිනිසුන් ගේ අතින් ගලවපු අය. තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. මේ පේන කොළඹ අපි ඇවිද්දේ නෑ. අපි බය වුණා. පන්සලකට පල්ලියකට ගියේ නෑ.
ඒ බය වෙච්ච වෙලාවේ ඔබතුමා අපේ අග්‍රාමාත්‍යතුමා සේනාධිනායකයා හැටියට ඔබතුමා ආරක්ෂක ලේකම්තුමා හැටියට 2009 මැයි මාසේ දහනම වැනිදා යුද්ධය අවසන් කළා.
මට මතකයි අගමැතිතුමනි යුද්ධය පටන් ගත්තු වෙලාවේ අපේ ගම්වලට සොල්දාදුවෝ රණවිරුවන් මිය ගිහිල්ලා ඒ දේහයන් ගේනකොට කිව්වා මේ මැරෙන්නෙ මහින්දගේ ගෝඨගේ වැඩක් නිසා කියලා. ඒ කිව්වේ එදා විපක්ෂය. යුද්ධයක් පටන් ගත්තා කියලා. හැබැයි ජනාධිපතිතුමන් 2009 මැයි මාසේ 20වැනිදා ඒ අය කියනවා අපේ ආශිර්වාදයෙන් තමයි යුද්දෙ දින්නෙ කියලා. එහෙම සමාජයක අපි මේ ඉන්නේ. කරුමෙ එනකොට කර ගහන්න කවුරුත් නෑ. හැබැයි උරුමයක් එනකොට කර ගහන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා.
දැන් තව අවුරුද්දකින් දෙකකින් ආර්ථිකය ඔබතුමා ශක්තිමත් කරලා , රට හදන කොට කියයි අපි තමයි ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ මේක කරන්න කියලා. මේ මුහුද ගැන මේ වරාය ගැන ජනාධිපතිතුමනි මුහුදේ වතුර ලුණු රස දන්නැති අය වරාය ගැන පොත් ලියනවා. හරි පුදුම රටක අපි ඉන්නේ. හැබැයි ඒ අයත් එක්ක අපි ජීවත් වෙන්න ඕන.යැයි පැවසීය.
අමරපුර මහානිකායේ ශාසනෝදය සංඝ සභාවේ මහානායක වස්කඩුවේ මහින්දවංස ස්වාමීන්වහන්සේ , ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක ඕමාරේ කස්සප ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අන්‍යාගමික පූජකවරු මෙහි පැමිණ සිටියහ.
අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ,ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන මහත්වරු ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් යු.ඩී.සී ජයලාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.