බෞද්ධ ජනරජ ප්‍රවාදය – 55 වැනි කොටස- ‍නීතියට පෙර පිළිවෙත
Posted on January 31st, 2022

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

අන් සියල්ලට ඉහළින් නීතිය පිහිටුවිය යුතු බවට වන අදහස නිවැරැදි එකක් නොවේ. නීතිය යනු සමාජයේ පිළිවෙළ පවත්වාගෙන යෑමට උපකාරී වන ක්‍රමවේදයකි. සම්මත සහ පොදුවේ අනුමත පිළිවෙළට හානිදායක යමක් සිදුකිරීම වැළැක්වීම නීතියෙන් සිදුවෙයි. එහෙයින් වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුත්තේ සම්මත සහ පොදුවේ අනුමත පිළිවෙළක් සකසාගැනීමට ය. මෙවැනි පිළිවෙළක් සැකැසෙන්නේ විධිමත් ජාතික ප්‍රතිපත්ති තුළිනි.

මෙම ප්‍රවාදය විසින් ජනරජයේ පරමාධිපත්‍යය තුළට ජනතාවගේ උපදේශන බලය ද ඇතුළත් කර තිබේ. විධිමත් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීම සඳහා අවැසි මගපෙන්වීම් ලබාදීම ඒ අනුව පිහිටුවන උත්තරීතර උපදේශක සභාවේ මූලික වගකීමකි. විධායක බලයේ සිදුවන වෙනස්කම් නිසා ජාතික ප්‍රතිපත්තිවල වෙනසක් සිදු නොවන බව ඒ තුළින් තහවුරු වෙයි. මැතිවරණවලින් බලයට පත්වන අයට කළ හැක්කේ තමන්ට පැවැරෙන විධායක කාර්යයන්ට අදාළ මූලික පිළිවෙත් අනුව කටයුතුකිරීම සහ ඒ සඳහා අවැසි සහායක ප්‍රතිපත්ති සකසාගැනීම පමණකි.

ජනරජයේ ඉඩම් සහ නිවාස ප්‍රතිපත්තිය යනු විධායක බලයේ සිදුවන වෙනස්වීම් අනුව නැවත නැවතත් සම්පාදනය විය යුත්තක් නොවේ. යම් යම් කාලීන අවශ්‍යතා අනුව එම ප්‍රතිපත්තියෙහි වෙනස්කම් සිදුකිරීම උත්තරීතර උපදේශක සභාවේ වගකීමකි. එම උපදේශන අනුව අදාළ නීති සම්පාදනයකිරීමේ වගකීම ජාතික ව්‍යවස්ථාදායක සභාවට පැවැරෙයි. උත්තරීතර උපදේශක සභාව විසින් නිර්දේශිත ප්‍රතිපත්ති සහ ජාතික ව්‍යවස්ථාදායක සභාව විසින් සම්පාදිත නීති අනුව ඉඩම් සහ නිවාසවලට අදාළ මෙහෙයුම් කාර්යයන් සිදුකිරීම ජනරජයේ විවිධ මට්ටම්වල ක්‍රියාත්මක විධායක ආයතන විසින් සිදුකළ යුත්තේ ය. ජාතික ප්‍රතිපත්ති සහ ඒ අනුව සම්පාදිත නීති යටතේ අදාළ මෙහෙයුම් කටයුතු නිසි පරිදි සිදුවන්නේ ද යන්න තීරණයකිරීමත් ඉඩම් සහ නිවාස භාවිතයේ දී ඉස්මතු විය හැකි ගැටලු සහ ගැටුම් නිරාකරණයත් නීතිය පසිඳලන ආයතනවල (අධිකරණවල) වගකීම වෙයි.

එහෙයින් ජනරජයේ දේපළ නීතිය සම්පාදනය විය යුත්තේ එයට අදාළ ඉඩම්, නිවාස සහ අනෙකුත් වත්කම්වලට (දේපළවලට) අදාළ ජාතික ප්‍රතිපත්තිය මත පදනම්වීමෙනි. මෙහි දී මෙම කාර්යයට අදාළ සංස්කෘතික කරුණු සැළැකිය යුතු බව ද මෙයට පෙර ලිපියෙන් පැහැදිළි කළෙමු. එයට අමතරව මෙහි දී ජනරජයේ පොදු සහ ප්‍රමුඛ අවශ්‍යතා කෙරෙහි ද අවධානය ය‍ොමු කළ යුතු වෙයි. නිදසුනක් වශයෙන් ආහාර අවශ්‍යතාව සැළැකිය හැකි ය. ආහාර අවශ්‍යතාව පහසුවෙන් සම්පූර්ණකිරීමට නම් වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය ආරක්‍ෂා කරගත යුතුවෙයි. මෙම කාර්යයට අදාළ අවම ඉඩම් සීමාවක් ජාතික මට්ටමින් නිර්ණයකිරීම ද එම සමස්ත ප්‍රමාණය කෝරළ සහ ගම් මට්ටමේ වගකීම් ලෙසින් බෙදා දැක්වීම ද ජාතික ඉඩම් ප්‍රතිපත්තිය තුළින් සිදුවිය යුත්තේ ය.

ඉඩම්වලට අදාළ දේපළ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ සහ ඒ ආශ්‍රිත ගැටුම් නිරාකරණය කළ යුත්තේ අදාළ බිම් මට්ටමේ වගකීම් සැළැකිල්ලට ගැනීමෙනි. වගා කළ හැකි බිම් ප්‍රමාණයට අදාළව නිශ්චිතව පැවැරුණු වගකීම් උල්ලංඝණය වන පරිද්දෙන් ඉඩම් පිළිබඳ දේපළ නීතිය ක්‍රියාත්මක කළ නො හැකි ය. කිසියම් ගම්මානයක් තුළ වගා කළ හැකි ඉඩම් අක්කර තුන්සියයක් අවම මට්ටමින් ආරක්‍ෂා කළ යුතු බවට වගකීමක් පවරා ඇත්තේ නම් එය උල්ලංඝණය නොවන අයුරින් අදාළ නීති ගැටලුව පසිඳලීම ඒ් සඳහා වන බලය පැවැරුණු අධිකරණය විසින් සිදුකළ යුත්තේ ය.

තව ද, ජනතාවගේ නිවාස අවශ්‍යතාවට අදාළ නිශ්චිත සහ ප්‍රමාණාත්මක ජාතික ප්‍රතිපත්තියක් නැතිනම් සහ එය හොඳින් ක්‍රියාත්මක කරන්නේ නැතිනම් ඒ ආශ්‍රිත ගැටලු සහ ගැටුම් ඇතිවීම වැළැක්විය හැකි නොවේ. නිවසකින් ලැබෙන ආවරණය සහ පහසුව ජනතාව අපේක්‍ෂා කරති. එසේ වුව ද, එම අවශ්‍යතාව නොමිලයේ ලබාදීමේ හැකියාවක් ජනරජයට නොමැත. එහෙයින් රාජ්‍ය නියාමනයක් සහිතව සාධාරණ මිලකට ජනතාවට නිවාස සැපැයීමේ නිශ්චිත වැඩපිළිවෙළක් හඳුන්වාදීම ජනරජයේ සියලු මට්ටම්වල ක්‍රියාත්මක විධායක ආයතනවල වගකීම වෙයි. මෙයට අදාළ සියලු කරුණු ආවරණය වන පිරිදි ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය උත්තරීතර උපදේශක සභාවේ වගකීමක් වන අතර එයට අදාළ නීති සම්පාදනය ජාතික ව්‍යවස්ථාදායක සභාවේ වගකීමක් වෙයි.

සේවා ස්ථාන (නිදසුන් වශයෙන් පාසල්) ආශ්‍රිත නිල නිවාස සහ අනෙකුත් නැවතුම් ස්ථාන ඉදිකිරීම, විශ්‍රාමිකයන් සඳහා යෝග්‍ය නිවාස ක්‍රම ඉදිකිරීම වැනි කාර්යයන් ද මේ සඳහා යොදාගත හැක්කේ ය. තම වර්තමාන පැවැත්ම සහ අනාගත ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසයක් ජනතාවගේ සිත් තුළ ජනිතවන්නේ මෙවැනි වැඩපිළිවෙළ තුළිනි. එම විශ්වාසය ඇති මිනිස්සු දේපළ සම්බන්ධ ගැටුම් ඇති කරගැනීමෙන් වළකිති.

මෙවැනි ජාතික සහ පුද්ගලික අවශ්‍යතා තහවුරුකිරීමට අදාළ ප්‍රතිපත්ති සහ නිශ්චිත වැඩපිළිවෙළ හඳුන්වා නො දී ක්‍රියාත්මක කරනු ලබන දේපළ නීතියකින් පමණක් ගැටලු නිරාකරණය කළ නො හැක්කේ ය. දේපළ සම්බන්ධ ප්‍රතිපත්ති කිසි ලෙසකින්වත් කෙටිකාලීන ඒවා නොවන බව ද අපි වටහාගත යුත්තෙමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress