එක දවසේමඅපෙන් සමුගත් ආනන්දයෙන්  බිහිවුණු විශිෂ්ට  කර්තෘවරුන් දෙදෙනා   
Posted on March 12th, 2022

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි

කොළඹ ආනන්දය රටට බිහිකළේ ෆොන්සේකා, කරන්නාගොඩ, වීරසේකර, ගෝඨාභය වැනි රණවිරුවන් පමණක් නොවේ.  ලොව ඉහළ පෙළේ ඉංජිනේරුවන් හා වෛද්‍යවරුන්ට අමතරව සාහිත්‍යය ලොව බැබළ වූ පත්තර කලාවේ පතාක යෝධයෝ දුසිම් ගණන්ද ආනන්දය රටට දායාද කළේය.

ධර්මන් වික්‍රමරත්න, සිසිර පරණතන්ත්‍රී, ජටිල වැල්ලබඩ   මෑතකදී පුවත්පත් ක්ෂේත්‍රයේ ඉහළටම ගිය ආනන්දීයයන්ගෙන්   සමහරෙකි.   එසේම සුනිල් මාධව ප්‍රේමතිලක හා බන්දුල පද්මකුමාර ආනන්දය නිර්මාණය කළ ඉහළම පෙළේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු යැයි මා කිවහොත්  එයට කිසිවකු විරුද්ධ නොවනු ඇත.  ශ්‍රී ලංකා පත්තර කලාව උඩු යටිකුරු කළ ආනන්දයේ මගේ සමකාලීනයන් දෙදෙනා එකම සතියක අපෙන් සමුගෙන ඇතැයි යන ආරංචිය කන වැටුණු මොහොතේ මට ඇතිවූ සංවේගය අතිමහත්ය.

බන්දුල හා සුනිල් මේ රටේ පුවත්පත් කලාවට සිදු කළ අනුපමේය මෙහෙවර ගැන පසුගිය සතිය පුරාම ඔවුන්ගේ සහෘදයන් පත්තර දුසිම් ගණනක පිටු පුරවමින් ලියා ඇති නිසාත් මා නැවත එවා මෙහි සඳහන් කළ යුතු නැත.  මා මෙහි ලියන්නට අදහස් කරන්නේ කුඩා කාලයේ සිට මා දැන හැඳිනගත්  විශිෂ්ට ආනන්දියයන් දෙදෙනා ගැනය.

වතු පරිපාලකවරයකු හා දකුණේ සුප්‍රසිද්ධ දානපතිවරයෙකුව සිටි මගේ පියා ඩී. සී. හේවාවිදාන මහතා උපන්නේ කඹුරුපිටියේ උල්ලල නමැති සුන්දර ගම්මානයේය.  තාත්තගේ ඉතා සමීප මිතුරකු වූ ඔහු වැනිම ක්‍රියාකාරී සමාජ සේවකයකු වූයේ උල්ලලට අල්ලපු ගමේ මාපලානේ වාසය කළ සුගතපාල ගොඩවත්ත ඉස්කෝලේ මහත්තයාය.  පාසල් යන වයසේ සිටි කඹුරුපිටිය හා අවට කුඩා ළමුන් දහසක් දෙනා දරිද්‍රතාවය නිසා තේ වතු වල වැඩට යනවා දුටු මේ සමාජ සේවකයන් දෙදෙනා බොහෝ කම්පාවට පත්වූහ.  රටේ අනාගත පරපුර රැක ගැනීම සඳහා හැම ගමකටම පාසලක් තිබිය යුතු යැයි ඔවුන් තේරුම් ගත්හ.  එහි ප්‍රතිඵලයක් ලෙස මගේ පියා උල්ලල  මහා විද්‍යාලය ආරම්භ කළ අතර ගොඩවත්ත මහතා කහගල විද්‍යාලය ආරම්භ කළේය.  පළාතේ ධනවත් තේවතු හිමියන්ගේ දහසක් තර්ජන ගර්ජන බාධක මැද්දේ ආරම්භ කරන ලද මේ විදුහල් දෙකේ අද ළමයින් 600 කට වඩා සතුටින් අධ්‍යාපනය හදාරති.

සුගතපාල ගොඩවත්ත මහතා දක්ෂ විදුහල්පතිවරයෙකු පමණක් නොව ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් විය. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු කළ නිසා තම ගුරු වෘත්තිය තහනම් කෙරුණු විට ඒ මහතා ඇත්ත පත්‍රයේ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයකු බවට පත්වී  එ.ජා.ප රජය නිර්දය ලෙස විවේචනය කළේය.

කඔුරුපිටිය පළාතේ පාසල් තවදුරටත් දියුණු කරන්නේ කෙසේදැයි මගේ පියා සමඟ සාකච්ඡා කිරීමට ගොඩවත්ත මහතා ඉමදුව වවුලුගල වතුයායේ පිහිටි අපේ නිවසට වරින්වර පැමිණියේය.  වරක් ඔහු පැමිණියේ පේෂකර්මාන්ත ගුරුවරියක වූ තම බිරිඳ සෝමාවතී හා වැඩිමහල් පුතුන් දෙදෙනා සමගය.

තාත්තාලා සමාජ සේවය ගැන කතා කරද්දි මමත් ගොඩවත්ත පවුලේ ලොකු පුතා ප්‍රභාත් හා දෙවන පුතා බන්දුල සමග මිදුලේ ක්‍රිකට් ගැසුවෙමු.

බන්දුල පද්මකුමාර නැමැති විශිෂ්ඨ මාධ්‍යවේදියා පුංචි කාලයේ මුල්වරට මට හමු වූයේ එසේය.  බන්දුල ඉන්පසු මට නැවත හමුවූයේ ආනන්දයෙදීය.  දවස් කෝලයකු වූ බන්දුල හා බෝඩිං පරිප්පුවකු වූ මා සමහර දිනවල ඉන්ටවල් එකේදී හමුවී කතාබස් කළෙමු.  අපේ කතා වලට බොහෝ විට මාතෘකාව වූයේ අපේ තාත්තලා දෙන්නා කඹුරුපිටිය පළාතේ අලුතෙන් කරමින් සිටි සමාජ සේවා ව්‍යාපාර ගැනය.  බන්දුල අයියා ආනන්දයේ සිටියදීත් පත්තරවලට කවි හා ලිපි ලිවීමට සමතෙක් විය.  ඉරිදා පත්තරවල පළ වූ ඔහුගේ පුංචි කවි හා ලිපි කපාගෙන සදුදා පාසලට පැමිණ යහ ලුවන්ට ආඩම්බරයෙන් පෙන්වීම ඔහුගේ සිරිත විය. බන්දුලගේ සාහිත්‍යය දස්කම් ඔපවත් වූයේ ආනන්දයේ අපි සැමට සිංහල ඉගැන්නූ  ගාල්ලේ බර්ටි ජේ විජේසිංහ  සර් නිසාය.

බර්ටි සර්ගේ තවත් හොඳම ගෝලයෙකු වූයේ සුනිල් මාධව ප්‍රේමතිලක ය.  ආනන්දයේ අපි සුනිල් අයියට වැඩි ගෞරවයෙන් සැලකණුයේ ඔහු එවකට සුප්‍රසිද්ධ කවියකු හා කර්තෘවරයකු වූ මීමන ප්‍රේමතිලකගේ පුතා වූ නිසාය.  සුනිල් අයියා පුංචි කාලයේදීම ලස්සනට ලියන්න හැකියාව තිබූ සිංහල සාහිත්‍යයට තෑගි පිට තෑගි ගත් ළමා ලේඛකයෙකු විය.  ඔහු තම විවේක කාලය ගත කළේ අයිස්ක්‍රීම් කෑමෙන් නොව පුස්තකාලයට වැදී සිංහල හා ඉංග්‍රීසි පොත් පත් කියවීමෙනි.

බර්ටි විජේසිංහ සර් අනුශාසකත්වය දැරූ විද්‍යාලයේ සාහිත්‍ය සංගමයේ සභාපති වූයේ බන්දුල පද්මකුමාර අයියාය.  සංගමය හරහා රචනා තරඟ හා කවි තරඟ පවත්වමින් පහළ පංතිවල මල්ලිලා සාහිත්‍යයට වඩාත් නැඹුරු කිරීමට ඔහු සමත් විය.

එ කාලයේ ලංකාවේ ප්‍රසිද්ධතම ළමා පත්තරය වූ මිහිර ශත 25 ක් දී මිලදී ගැනීමට අප බොහෝ ළමුන්ට වත්කමක් නොතිබුණි. ඒ  බව දැන සිටි බන්දුල අයියා කිරණ නමින් බිත්ති පුවත්පතක් ආනන්දයට හඳුන්වා දුන්නේ ය.  විදුහල්පති රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව ආරම්භ වුන බිත්ති පුවත්පත ඉතා කෙටි කාලයකින් අතිශයින්ම ජනප්‍රිය විය.  බ්‍රහස්පතින්දා උදේ පාන්දර බන්දුල අයියා පත්තරයට ලැබුණු ලිපි කවි හා චිත්‍ර තම අතින්ම ලියා හෝ ඇඳ තීරුව තීරුව බැගින් බිත්තියේ අලවන තුරු අපි බලා සිටියේ නොඉවසිල්ලෙනි. පාසල් දරුවකු වශයෙන් මගේ ලේඛන කලාව ඇරඹුණේ කිරණ බිත්ති පුවත්පතෙන් යයි කීම නිවැරදිය.  මා හැරුණ විට බන්දුල  අයියාගේ කිරණ පුවත්පතට නිතර ලිපි සැපයූ පුංචි ළමුන් වූයේ අද ´ඕස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ අධිනීතිඥවරයකුව සිටින මෛත්‍රී පනාගොඩ, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී බකීර් මාකර් හා ආරක්ෂක ඇමති අද්මිරාල් සරත් වීරසේකරය.

කිරණ ලංකාවේ පාසලක නිර්මාණය වූ ප්‍රථම බිත්ති පුවත්පත වීය.  පුවත්පතේ ජනප්‍රියතාවය කොතරම්  වැඩි වී ද කියනවා නම් සමහර දිනවල පාසල් කාලයෙන් පසුව ආනන්ද බාලිකාවේ බොහෝ සිසුවියන්ද කිරණ කියවන්නට පැමිණියහ. සාහිත්‍ය පොතක් ඇහින් නුදුටු අපේ බෝඩිමේ සමහර යාළුවෝ මේ ආරංචිය ඇසුවාට පසු බුරුතු පිටින් කිරණට කවි ලියන්නට වූහ.

කිරණ පුවත්පතට වසරක් පිරීම නිමිත්තෙන් බන්දුල අයියා ඕල්කට් ශාලාවේ ලොකු උත්සවයක් සංවිධානය කළේය.  එහි ප්‍රධාන අමුත්තා වූයේ එවකට දිවයිනේ ප්‍රසිද්ධ ලේඛකයකු වූ පියසේන නිශ්ශංක මහතාය.  වසරේ හොඳම කිරණ ලේඛකයා ත්‍යාගය  නිශ්ශංක මහතා අතින්  ලබාගත් ශිෂ්‍යයා වූයේ ඉම්තියාස් බකීර් මාකර්ය.

ආනන්ද නාලන්ද සමරු කලාපයට මම වරක් කවි පෙළක් ලියූවෙමි.

 මේක සමරු කලාපයට හොඳ වැඩියි දෙව්සිරි”  බර්ටි විජ්සිංහ සර් මට කීය. මම ලියුමක් දෙන්නම් ඒකත් අරන් ලේක්හවුස් එකට හෙට ගිහින් සුනිල් මාධව අයියට මේ ලස්සන කවි ටික දෙන්න.” සුනිල් අයියා එය ජනතා පත්තරේ අග පිටුවේ පළ කලදා මට ඇති වූයේ රට රාජ්‍යයක් දිනුවා වැනි සතුටකි. මගේ නිර්මාණයක් මුල්වරට පුවත්පතක පළ වූයේ එදාය. මම අහසේ ඇවිද්දෙමි.  මගේ තාත්තා ජනතා පත්තර 25ක්ම අරගෙන යාළුවන්ට ඛෙදුවේ මහත් ආඩම්බරයෙනි.

වයස දාහතරේ පුංචි කොල්ලකු වු මාව රට පුරා ප්‍රසිද්ධියට පත් කිරීම ගැන ස්තුති කරමින් මා සුනිල් අයියාට ලිපියක් ලියූවෙමි.

මල්ලි දිගටම කවි ලියන්න.  ඔයා ලොකු උනාම ලංකාවේ ඉහළ පෙළේ සාහිත්‍යය විශාරදයෙක් වේවි” යයි කියමින් ඔහු මට පෙරළා තැපැල් පතක් එවීය.  පසු කලෙක මා ඉංජිනේරුවකු වීම ගැන ඔහු මොනවා සිතුවා දැයි මම නොදනිමි.

සුනිල් මාධව අයියා මට උදව් කළේ එදා පමණක් නොවේ. මා අහම්ඛෙකින් චිත්‍රපට නළුවකු කළේ ද සුනිල් මාධව අයියාය. අපි  අටවන පන්තියේ සිටින විට A D රංජිත් කුමාර, නිලවීර සහ රංඡිත් ලාල්  වැනි ලොකු අයියලා නිම්වළල්ල නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට වූහ. එහි සහාය  අධ්‍යක්ෂක වූයේ බන්දුල පද්මකුමාර අයියාය.  චිත්‍රපටයේ තිරපිටපත ලිව්වේ  ජනතා පත්තරෙ උප කර්තෘ වූ සුනිල් මාධව අයියාය.

චිත්‍රපටයේ දර්ශන බොහොමයක් ආනන්දයේ ලෙඩ්බීටර් දෙමහල්  ගොඩනැගිල්ලේ සෙනසුරාදා රූගත කෙරෙනවා බෝඩිමේ අපි බලා සිටියේ මහත් උද්යෝගයෙනි. එවැනි එක් දවසක පන්ති කාමරයට ප්‍රධාන නළුවා ඇතුළුවන දර්ශනය රූගත කිරීම සඳහා පංතියේ වාඩි කරවීමට ළමුන් මදි බව අධ්‍යක්ෂකවරයාට තේරුම් ගියේය.  මල්ලි ඔය යාලුවත් එක්ක මෙහාට එන්න” යනුවෙන් ගාම්භීර හඬක් ඇසී මා හැරී බැලුවෙමි. ආ ඔයා නේද අපේ ජනතා පත්තරේට කවි ලිව්වෙ˜. සුනිල් මාධව පෙර පරිදිම මුව පිරුණු සිනාවෙන් මාව ඇමතීය. මෙන්න මේ ඩෙස්ක් එක ගාව වාඩි වෙලා සද්ද නැතුව ඉන්න.” රූගත කිරීම ආරම්භ කෙරුණි.  කැමරාවල ආලෝකයෙන් දෑස අන්ධවූවත් අපි අධ්‍යක්ෂකතුමා කී විදියට නොසැලී රඟපෑවෙමු.

දැන් මාතලේ උපාලි ස්ටෝර්හි අධිපති ආනන්ද රාජපක්ෂ මිතුරා හා මා විනාඩි දෙකක චිත්‍රපට නළුවන් වූයේ එසේ ය. රූගත කිරීම් අවසන් වූ වහාම බන්දුල පද්මකුමාර අයියා මගේ පිටට පොඩි තට්ටුවක් දමා” වෙරි ගුඩ්  මල්ලගි ගාමිණී ෆොන්සේකා කැලේ” යැයි මට විහිළුවක් ද කළේය.  සුනිල් මාධව හා බන්දුල පද්මකුමාර අන්තිම වරට මට මුහුණට හමු වූයේ එදාය.

කාලය වේගයෙන් ඇදී ගියේය.  මං එංගලන්තයේ කොටු වීය.  එහෙත් බන්දුල හා සුනිල් මාධව යන විශිෂ්ට ආනන්දීය මිතුරන් දෙදෙනා ශ්‍රී ලංකා පුවත්පත් ක්ෂේත්‍රයේ  ඉහළට ගමන් කරන අන්දම මා බලා සිටියේ මහත් අභිමානයෙනි.   අටවෙනි පිටුව ” හා සත්‍යවාදියෙකුගේ දිනපොත, දිවයින පත්තරය තුළ වෙනම පත්තරයක් ලෙස බිහිවීය.  අන්තර්ජාලය නොතිබුණු ඒ කාලයේ මම තැපෑලෙන් දිවයින ගෙන්වා ගත්තේ සුනිල් අයියාගේ අටවෙනි පිටුව” කියවීමට ය.  ඉඳහිට මම ඔහුට කතා කළෙමි.  මොකද දෙව්සිරි මල්ලි මගේ පිටුව ගැන හිතන්නෙ”.  ලංකාවේ පාඨකයන් අතර ඉතාම ජනප්‍රිය ඔහුගේ අටවෙනි පිටුව ගැන පිටරට අපි හිතන්නේ මොනවාදැයි දැනගැනීමට සුනිල්ට අවශ්‍ය වීය. සුනිල් අයියා කිව්වට තරහ වෙන්න නම් එපා දැන් නම් කැරොලිනාගේ කතාව බෝරිං වේගෙන එන්නේ. ලංකාවේ ඉන්න පාඨකයන්ට එල් සැල්වඩෝර් එකේ විප්ලවකාරියෙක් ගැන උවමනාවට වඩා දැනගන්න අවශ්‍ය නැහැනේ.”

එහෙනම් මොනවා ගැනද මම ලියන්න .”

අයියේ උදේට කහට උගුරක් වත් නැතුව බඩගින්නෙ ඉස්කෝලෙට ඇවිත් කලන්තෙ හැදිලා වැටෙන දරුවෝ ගැන ලියන්නකෝ.  යූ.එන්.පී මැති ඇමතිවරු හෝටල් වල පාටි දමද්දී  රෑ ට කන්න පාන් ගෙඩියක් ගන්න රුපියලක් නැතුව ලත වෙන දුප්පත් මිනිස්සු ගැන ලියන්නකෝ.”

සුනිල් මාධව අයියා ඉන්පසු විදේශ විප්ලව කතා මෙන්ම ලංකාවේ දුගී දරුවන්ගේ දුක ගැනද ලිපි ලීවේය. එහෙත් සුනිල් මාධව අයියට එක තැනක වැඩි කලක් වැඩ කරන්න බැරි ගායක් හැදී තිබුණි‚. ඔහු පත්තර මාරු  කළේ අපි සපත්තු මාරු කරන ගානටය.  භීෂණ සමයේ ඔහු වැඩ කළේ ලක්දිව පත්තරේය.  ඔහු ප්‍රේමදාස ජනාධිපතිට නිර්දය ලෙස පෑනෙන් පහරක් දුනි.  සුරා පොදක් කට ගා නොතිබූ සුනිල් හදිසියේ මධුවිතට ඇබ්බහි වී තිඛෙනු ආරංචි වී මා ඔහුගෙන් ඒ ගැන විමසුවෙමි. මල්ලි අඩියක් දෙකක් ගැහුවොත් තමයි මට මේ හැත්ත ගැන තියෙන වෛරය තද වෙන්නේ.  එතකොට දිගට හරහට ලියතැකි”යි කියමින් ඔහු සිනාසුනේය.

මාධව අයියා ගැන තවත් රසවත් සිදුවීමක් මට හොඳටම මතකය.1991 වන විට ඔහු සිටියේ ලක්දිව පත්තරේ ය. එංගලන්තයේ වටිනා සිද්ධි ගැන මම වරින් වර ලක්දිවට ලියූ නිසා අපි නිතර ටෙලිෆෝනයෙන් කතා කළෙමු.

ලංකාවට වරක් නිවාඩුවට පැමිණ මනමාලියන් 50ක් පමණ බලන්න ගොස් ඔවුන්ගේ ගෙවල්වලින් බඩ පිරෙන්න කාපු බීපු හැටි මා විස්තර කරද්දී මාධව අයියා අසා සිටියේ ආසාවෙනි. මම නම් මල්ලි මනමාලියො බලන්න යන්නේ නැහැ.  මනමාලියො ගෙදරට ගෙන්න ගන්නවා.”

ඒ  කිව්වේ˜

අපේ ඔෆිස් එකට කවි අරන් කෙල්ලෙක් එනවා.  මාර ලස්සනයි.කවද හරි එයා තමයි මම බඳින්නේ.”

මොනවා?  එයාගේ නම මොකක්ද අයියේ ”

මනෝරා”

අයියට කැපෙනම නම තියන කෙල්ලෙක් කොහොම හරි සෙට් කරගත්න. ”

ඒ ඇයි.”

ඇයි ඉතිං ඔයාගේ මනෝකායෙ නිතරම තියෙන්නේ රා”නේ. බැන්දට පස්සේ මනෝ- රා ඔයාට ඕනතරම් බොන්න ඉඩ දෙයි.”

සුනිල් මාධව මගේ විහිළුවට විනාඩි ගණනක් මහ හඬින් සිනාසුණේය. ඉන් වසරකට පමණ පෙර පසු සුනිල් අයියා මනෝරා සමඟ විවාහ වූ බව අසා මම බොහෝ සතුටට පත්වීමි.  මනොරා දැන් අරුණ පුවත්පතේ දක්ෂ මාධ්‍යවේදිනියකි.

මේ අතර බන්දුල පද්මකුමාර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බලවත් පෙරළියක් ඇති කරමින් මුල් පිටුව” පටන්ගත්තේය.  ආනන්දයේදී කිසිම ළමයකු පටන් ගන්නට නොසිතූ කිරණ˜ බිත්ති පුවත්පත බිහි කරමින් ළමා පත්තර කලාව වෙනස් කළ බන්දුල අයියා මුල් පිටුව වැන්නක් පටන් ගැනීම මට පුදුමයක් නොවී ය.

ආනන්දයේදී බන්දුල පද්මකුමාර ඇන්ඳේ හැන්ඩියටය.  මනාව මැද තිබූ ඔහුගේ පිරිසිදු සුදු කමිසය හා කලිසමේ කිසිම රැල්ලක් දකින්නට නොවීය.  කන්නාඩියක් ලෙස පොලිෂ් කර තිබූ කළු සපත්තු දෙකක් දමා කොළපාට ෆයිල් කවරයක් අතේ තබාගෙන පාසැල් කොරිඩෝර වල ඔහු ගාම්භීර ලෙස ඇවිදින අන්දම මට දැනුත් මැවී පෙනෙයි.

පුවත්පත් වෘත්තියට බැස්ස පසු ද ඔහු ඉතාමත් ස්මාට් එකට අඳින්නට සැලකිලිමත් විය.   මුල් පිටුව”කරද්දී සතියේ දවස් හතට එකිනෙකට වෙනස් වර්ණවලින් ටයි පටි හා කමිස හතකින් සැරසී පාඨකයන් ඉදිරියට පැමි ණී මට ඔහු වග බලාගත්තේය.

නමුත් සුනිල් මාධව අයියා පාසැල් යන කාලයේ පවා ඇඳුම් ගැන උනන්දුවක් නොදැක්වීය.  ඔහුට අවශ්‍ය වූයේ හැඩට අඳිනවාට වඩා ජනතාව හැඩකරන්නය. නොකෙරෙන විප්ලවයක් ගැන තරුණ පරපුර ආවේගශීලී කිරීමට ඔහු සමත් වීය.  කියුබාවේ හා එල් සැල්වදෝරයේ මෙන් ධනවාදයට විරුද්ධව ලංකාවේ ජනතාව කවදහරි කැරලි ගසනු ඇතැයි යන්න ඔහුගේ විශ්වාසය විය.  නමුත් භීෂණ සමයේ සුනිල් වටා එක්වුණු තරුණ පරපුර පවා ඔහුගේ අවසන් කාලයේ ඔහුව අමතක කර දමා තිබුණි.

බන්දුල හැමදේම කළේ මනා පිළිවෙලකට ය. සතියේ ඉදිරි දිනවල කළ යුතු දේ හා හමුවිය යුතු අය කවුදැයි තම දිනපොතේ ඔහු මනාව ලියා ගත්තේය. එනිසා ඔහු වෙලාවට වැඩ කළ පුද්ගලයකු වීය. නමුත්  සුනිල් මාධව එයට මුළුමනින්ම වෙනස් චරිතයක් විය.

හෙට කරන දේ තියා අද හැන්දෑවෙ කළයුතු දේ ගැනවත් ඔහුට කිසිම නිශ්චියක් තිබුණේ නැත.බන්දුල තුළින් කාටත් දකින්නට ලැබුණේ සාන්ත දාන්ත භාවය හා තැන්පත් ගති ලක්ෂණයන්ය. නමුත් සුනිල් මාධව අයියා ඛෙහෙවින් කළබලකාරිත්වයෙන් යුතු  ආවේගශීලී පුද්ගලයෙකු වූයේ ය.  මොවුන් දෙදෙනා අතර තිබුණු එකම සමානකම නම් පවුලේ වැඩ   කටයුතු කිරීමට ඉඩක් නො තිබීමයි.   බන්දුලගේ  පුතා හිරු හා දියණිය මුතු හැඩි දැඩි කිරීමේ තනි වගකීම බාර ගෙන සිටියේ පේරාදෙණියේ උපාධිධාරිණියක  හා සුප්‍රසිද්ධ ළමා පොත් කතුවරියකු  වූ ඔහුගේ බිරිඳ සමන්මලීය. එසේම සුනිල් මාධවගේ එකම පුතා සංජීවගේ ඉගෙනීමේ කටයුතු හා වගකීම් සියල්ලම ඉටු ක ළේ  මාධවගේ මාධ්‍යවේදී  බිරිඳ මනෝරාය.  රටේ උන්නතිය සඳහා නිර්භයව දිවා රෑ පෑන මෙහෙයවන්නට හැකි වූයේ ඔවුන්ගේ මේ  සුන්දර බිරින්දෑවරු දෙදෙනා නිසාය.

අප විසින් පිහිටුවා ගන්නා ලද එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම හරහා කඹුරුපිටියේ පාසල් 16ක දරුවන්ට පුස්තකාල පොත්පත් අලුත් නවීන සපත්තු හා ලැප්ටොප් ලබාදෙමින් සිටින බව ආරංචි වූ බන්දුල පද්මකුමාර මට එක් දිනක ටැලිෆෝන් කළේය.

මල්ලි බැරිද අපේ ඉස්කෝලෙටත් මොනවා හරි කරන්න.”  ඔහු ඒ කතා කළේ කඹුරුපිටියේ කහගල විද්‍යාලය ඔහුගේ පියා නමින් සුගතපාල ගොඩවත්ත විදුහල ලෙස නම් කළ පසුවය.

මෙන්න වැඩක්. ලේක්හවුස් එකේ සභාපතිතුමාට පුළුවන්නේ තාත්තගේ ඉස්කෝලෙට තට්ටු තුනක බිල්ඩිමක්  තනියම හදලා දෙන්න”. මම ඔහුට විහිළු කළෙමි.

කොරෝනාවට පෙර අවසන් වරට මා ලංකාවට ගිය වෙලේ සුගතපාල විදුහලට පා තැබුවේ ළමුන්ට පොත්පත් ක්‍රීඩා උපකරණ ප්‍රින්ටරයක් හා අයිස්ක්‍රීම් වෑන් එකක් ද රැගෙනය.  දැනට මාස කිහිපයකට පෙර බන්දුල අයියා උපන් ගමේ මාපලාන විදුහලට අපි අංග සම්පූර්ණ පුස්තකාලයක් පරිත්‍යාග කරන දවසේ එය විවෘත කිරීමට පැමිණෙන ලෙස මම ඔහුට ආරාධනා කලෙමි.

එන්න නම් හරි ආසයි මල්ලි, නමුත් මේ ලෙඩේ නිසා සමන්මලී මට කොහේවත් යන්න දෙන්නේ නැහැනේ. එයා නැත්නම් මම මෙලහකටත් වලපල්ලට ගිහින්” යයි ඔහු කීවේ දුක හා සතුට මුසු ස්වරයෙනි.

දෙව්සිරි මල්ලි කඹුරුපිටියේ ඉස්කෝල වලට ඔච්චර උදව් කරන්නේ ඊළඟ සැරේ ඡන්දෙ ඉල්ලලා අපේ  ඩලස්ව පරද්දන්න දැයි” සිරිත් පරිදි විහිළුවක් කරමින් ඔහු කතාව අවසන් කළේය.  බන්දුල  පද්ම කුමාර අයියා සමඟ මා කළ අවසන් කතාව එය වීය.

මේ අතර සුනිල් මාධව අයියා ඔත්පළව ඉතා දුබලව සිටින බව මා දැනගත්තේ මෙයට වසරකට පෙර ප්‍රභාත් අත්තනායක මිතුරා මවුබිමට ලියූ ලිපියකිනි. ප්‍රභාත් ගේ ලිපිය කියවූ වහාම මම ලංකාවේ සිටින මගේ මල්ලි ලවා සුනිල්ට උපකාර කළෙමි.  ඔහුගේ පරණ පත්තර මිතුරන් කිහිප දෙනෙකු ද වහාම ඔහු හමුවන්නට ගොස් තිබු ණි. එහෙත් සුනිල් අයියා විකල්ප පත්තර වල සිටින අවධියේ ඔහු වෙනුවෙන් මස් ලේ දන් දෙන්නට පවා ලෑස්ති යයි කියූ  සටන්කාමීන් කිසිවකු අවසන් කාලයේ ඔහුගේ පිහිටට පැමිණ සිටියේ නැත. අසූව දශකයේ  හැන්දෑවන්හිදී ඔහු වටා එක් රැස් වී සිට අඩිපුඩි ගැසූ සුන්දර මිත්‍ර සමාගම ඔහුට  නැති බැරි  කාලයේ අහලකටවත් ආවේ නැත. ලෝක ස්වභාවය එය යයි කියමින් සුනිල් අයියා හිත හදා ගන්නට ඇත.

ලෙඩ රෝග අප සැමට පොදුය.  අද හෝ හෙට මරණය කෙසේ හෝ අප කරා ළඟා වනු ඇත. අකල් මරණය ඔවුන් දෙදෙනාම සොයා ආවේ නොසිතු වෙලාවකය.  රෝගීව සිටි සුනිල් මාධවත් බන්දුල පද්මකුමාරත් පසුගිය සතියේ  පැය විසි හතරක් තුළ මරණය කරා ගිය බව අසා ආනන්දීයයන් දහස් ගණනක් කඳුළු සැලුහ.

බන්දුල පද්මකුමාර හා සුනිල් මාධව ප්‍රේමතිලක එකිනෙකාට වෙනස් ශෛලියක්  හා භාෂාවකින් අප රටේ පුවත්පත් කලාවට අනුපමේය සේවයක් කළ පතාක යෝධයන් දෙදෙනෙකි.  ඔවුන් දෙදෙනා නැතිවීමේ පාඩුව අපට වඩා මතු ඉපදෙන තරුණ පරපුරට දැනෙනු ඇත.

අපේ ගම්පළාතෙන් බිහිවුණු විශිෂ්ට පත්තර කතුතුමා  බන්දුල පද්ම කුමාරයාණෙනි,  පීඩිත පන්තියේ උන්නතිය සඳහා දිවි පරදුවට තබා පෑන මෙහෙය වූ සුනිල් මාධව සොයුරාණනි, සුරලොව දෙවඟනන්  ඔබ දෙපලට සැමදා බැති ගී ගයනු ඇත.  යලි හමුවන තුරු අපි සමු ගනිමු .

 බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි.  devsiri@hotmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress