තලබෝල වටය
Posted on March 25th, 2022

ප්‍ර සමරසිංහ

අප මේ යුහුසුළු වෙන්නේ ඊනියා දියුණුවේ හිණිපෙත්තටම නගින්නටය. කොහොම වෙතත් ඊනියා දියුණුව වනාහි පල් වුන මඩගොහොරුවක් වග තේරුම් ගත් ඇත්තන් පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත එය තවත් යසට තේරුම් කර ගත්හ. තේරුම්ගත් ඇත්තන් හා නොතේරුණ ඇත්තන් අතර තියෙන්නේ ලොකු පරතරයක්ය. නොතේරුණ ඇත්තන් කොවිඩ් සමයට පෙර තිබූ ඊනියා ‘නෝමැල්ටිය’ එනු ඇතැයි මග බලන් අරහෙන් මෙහෙන් යදින්නේය, ඇති යමක් ඇත්නම් ඒවා විකුණන්නේය. එහෙමත් නැත්නම් පෙළපාලි යමින් උද්ඝෝෂණ කරන්නේය. ‘ග්ලෝබල් ප්‍රොපර්ටි’යක් වන සයිබර් අවකාශ හිතුමතේ භාවිත කර උන්මාද සිතුවම් මවන්නේය. ආණ්ඩු පෙරළන්න බල ලෝභය පෙරටු කරගෙන නං විකාර දොඩවන්නේය, කොටින්ම රැයක් දවාලක් නැතුව බොර දියේ මාළු බාන්න දත කන්නේය.

ඊනියා දියුණුව මත්තේ නැහෙන්නට පෙර අපි ඉතා සරල දිවි පෙවතකට උරුමකම් කිව්වෝ වෙමු. තිබුණ සීමිත වුවමනාවන් සපුරාලන්නට දවසේ පැය 24ම නැහුනේ නැත, වෙලාව තිබුනය කියා දැන් මෙන් කාටවත් බාල්දි පෙරලුවේද නැත. ප්‍රදර්ශන-මේනියාව තිබුණේ නැත, නෙක සංසන්දන කර, හිත යකාගේ කම්මල කරගත්තේද නැත. කලබල අධි තරඟකාරි මනසක් නොවූ හෙයින් හිතේ සැනසීම තිබි, නෑ හිතමිතුරෝද කලින් වෙලාවක් වෙන් නොකර ගෙවල් වලට යමින් එමින් තිබිණ. එකල කළු කපුටෝ ඉඳ හිට ඇවිත් ගව් කීවෝය. ගව්ව කිවූ වෙලාව හා ගව්වේ නාද රටාව අනුව අද හෝ හෙට නෑයෙක් එතැයි බලා සිටියෝද වෙමු. අල්පේච්ඡ ජීවිතයේ සුන්දරවූත් සරල වූත් බලාපොරොත්තු වූයේ ඒවාය. නාවාට නොහොඳ නෝක්කාඩුවක් ඇති උනේද නැත. කදමළු පුරෝ ගෙන ආවත් නැතත් හිතේ තිබුණේ ලෙන්ගතුකමය. අද මේ වන විට ඒවා හමස්කඩ පෙට්ටි තුලය. නෑයෝ ද හිතමිතුරෝද එකාට එකා නැත. හැම එකාම තරඟයක යෙදී සිටින ප්‍රතිමල්ලවයන්ය. දුවන්නේ එක හැල්මේය.

ඉඳහිට අපත් නෑ මිතුරන් දකින්නට, වත්තේ හැදුනු හොඳ ඉදුණු ආනමාලු ඇවරියක්, වතුපාලු ඇවරියක්, වරක පළුවක්, අඹ හා අම්ම අතින් නිමවුන රසකැවිල්ලක් අරගෙන ගියෝ වෙමු. අධි මිලැති මල් වැටුන කඩදාසියකින් ඔතා ඊට ගැලපෙන රිබන් පටියකින් ගැට ගසා ගෙන නම් මේ කිසි දෙයක් අරන් ගියේ නැත. අපට ඔය නරිනාටක කර පරිසරය වනසන්නට තරම් මෝඩ හිත් නොතිබුන එක ගැන සිහිපත් වන විට ලොකු ආඩම්බරකමක් ද හිතට නැගේය. ආරිච්චි බෝරිච්චි නැතුව පිරිසිදුව, පිළිවෙලට, සැලකිල්ලෙන් හා ගෞරවයෙන් ගෙන යන දේ ගෙනයන්නට අම්මා නිතර අපව හුරු කලාය.

එක හැන්දෑවක අම්මත් අප්පච්චිත් අපි දරු තුන් හතර දෙනත් අප්පච්චිගෙ ළඟ මිතුරෙක් හමුවෙන්නට ඔවුන්ගේ ගෙදර ගියෙමු. “අද කපුටෙක් ගව්වක් කිව්වහම හිතුනා කවුරු හරි ඒය” කියා කියමින්, ලංකාසිරි මාම අපව බොහොම ආදරෙන් පිළිගත්තේය. ටික වෙලාවක් සාලයේ වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදුන අප්පච්චිලා මිදුල දෙසටත්, අම්මල මුළුතැන්ගෙය පලාතටත් හැරුණේ හිච්චො ඉදිරියේ කරන ඕපදූප කථා වලත් සීමාවක් ඇති නිසා වන්නට ඇත. ඒ එක්කම අප ඉදිරියේ තිබූ කනප්පුව උඩ තලබෝල එක 20ක 25ක තසිමක් මතුවිය. ලොකු නෙල්ලි ගෙඩියක් ප්‍රමාණයේ තලබෝලය. ලංකාසිරි නැන්දා අතින් හැදෙන මේ තලබෝල කන්නට අප කවදත් මනාපය. තලබෝල තුල පුංචි හකුරු කැට හිනාවුනෙත් අප සමඟය. තල, කිතුල් හකුරු හා පොල් මුසුව එන සුවඳ, රස නහර පින වුවේය. කනවද නැද්ද, අම්මල එන තුරු හිටිය යුතුද නැද්ද යන ප්‍රශ්න වැලක් හිත් තුල දඟලනවද දැනිණ. වැඩිම වුනොත් අප බලා සිටින්නට ඇත්තේ විනාඩි දෙක තුනක් වෙන්නට ඇත. ලෝකයා මුලින්ම  හෙමින් සීරුවේ එකක් කටේ ඔබා ගත්තේය. මද්දු ද එයම අනුගමනය කලේ වැඩි කලබලයක් නැතිවය. ඩිංගි හා හින්නිත් පිළිවෙලට තලබෝල ගත්තෝය. ඔය පළමු වටය විය. ඊළඟ වටයද ඇරඹුයේ ලෝකයාය. පෙර සේම මද්දුත් ඇතුළු අපි දෙදෙනාත් ඔහු අනුගමනය කළෙමු. ඒ වාගේ වට 4-5 යන විට තසිමේ තලබෝල අන්තරස්ධානය. අම්මල තේ බන්දේසිය රැගෙන එන විට තසිම පාලුවට ගොසින්ය. වැඩිහිටියෝ මූනට මූන බලා ගල් ගිල්ලාක් මෙන් සිට, තේ කෝප්පයක රස විඳ සැනසුනෝය. තවත් හෝරාවක් හමාරක් කතාබස් කර ඔවුන්ට සමු දුන් අපි ගෙදර බලා පිටත් වීමු. එන අතරමග අම්මවත් අප්පච්චිවත් අපට කිසිවක් කීවේ නැත. නමුත් ගෙදර ගිය විට හොඳ සම්බුවක් ලැබෙන බව මගේ හිත කිව්වේය. කලේ වස වැරැද්දක් බව මට මෙන්ම අනිත් තුන් දෙනාටත් නොතේරෙන්නට හේතුවක් නැත.

මා හිතුවා හරිය. ගෙදර ගිය සැනෙන් අප හතර දෙනාට වාඩි වන්නට අණක් ලැබිණ. සාවධානව පැනය ඉදිරිපත් කලේ අප්පච්චිය “කවුද මුලින්ම තලබෝලයක් ගත්තේ ලංකාසිරි මාමලගේ ගෙදරදි”?  කිසි සද්දයක් නැත, අප හතර දෙනාම කකුලේ මාපටගිල්ලෙන් බිම හෑරුවාට බිම හෑරුනෙත් නැත. අම්මා, “ලොකු” කියා හඬ සැර කළාය. ලෝකයා, “මම”  කියා මිමිණුවේය. අම්ම “ඊට පස්සේ කවුද ගත්තේ” කියා ඇසු විට මද්දුත් කට ඇරියේය. ඩිංගිත් හින්නිත් පිළිවෙලට පළමු වටය, දෙවන වටය… ගිය හැටි පිලිගත්තෝය. “ඇයි කාටවත් හිතුනේ නැත්තේ දැන් කෑව ඇති කියල අඩු තරමේ දෙවන වටය ඉවර වෙන කොට වත්? ඔයගොල්ලෝ ඇරෙන්න තවත් අය කන්න ඉන්න බව තේරුම් නොගත්තේ, අරය ගත්ත නං මාත් ගන්නවා කියන මතයෙ හිටිය නිසා නේද? එහෙම උනාම සමස්තය පෙනෙන්නේ නැතුව යනවා. ඔය එක්කෙනෙක් හරි ඒ චක්‍රය කැඩුව නං ඔය දෙය වෙන්නේ නෑ”. ඔය අපට ලැබුණු අවවාදයය. එදා ඉඳල අප උත්සාහ කරන්නේ, කරන්නන් වාලේ තරඟයට දේවල් නොකරන්න, විශේෂයෙන් කාගේවත් දෙයක් කඩං නොකන්න, අයිති නැති දේවල් බදා නොගන්න, තම තමන් අතරේ විතරක් බෙදා නොකන්න.

දේශපාලන ලෝකයත් හරියට බාල හිච්චන්ගේ මේ තලබෝල ලෝකේ වාගෙමය. තියෙන සීමිත සම්පත් ටික එකින් එක හොරා කන්නේ, “අරය ගත්ත නං, මාත් ගන්නවා” කියන ආකල්පයේ ඉඳ ගෙනය. ප්‍රධාන පක්ෂ දෙක තුන මාරුවෙන් මාරුවට ඉන්න අවුරුදු හතර පහට, රට සන්තකේම තියෙන තුට්ටුවට විද මාරු වෙන්නේය. අන්තිමට හුදී ජනයාට කන්න ඉතිරි වෙන්නේ අපමණක් වූ දුක් ගැහැටය. රටක උන්නතිය වෙනුවෙන් කැප වෙන හැබෑ වැඩිහිටියෙක් අද දේශපාලනය කරන්න හොයා ගැනිම කළුනික හොයා ගන්නවටත් වඩා අමාරුය. හිටියත් ඒ හැබෑ වැඩිහිටියාට නිසි තැන නොදි  ඉන්නට තරම් බාලයෝ කටසපටය. ඒ දුර දක්නා නුවණැති වැඩිහිටියන්ගේ අවවාද අනුසාසනා පිළිගන්නටද අකමැතිය. හුදී ජන අපමයි මේ දේශපාලනය, විශාල බලකොටුවක් බවට පත් කරල ඒක මුර කරන්න, අවස්ථාවාදි  ආත්මාර්ථකාමි අඳ බාලයෝ පත් කර හරින්නේ. මේකත් බරපතල චක්‍රයක්, කඩා ගන්න අමාරු.

රටේ සම්පත් කඩා ගෙන කන චේතනාවෙන් කරලියට නොආ ආචාර්ය ඇන් ඇම් පෙරේරා වැනි සාමාන්‍ය බුද්ධිය ඇත්තෙකු මතු දිනෙක රටේ මුදල් ඇමති වුනත් නැතත්, අපට ඇත්තේ අපේ පාඩුවේ අර පුරුදු සරල ජීවිතේට යාමය. හැකරැල්ලුන් මෙන් මතු වන ලිබරැල්ලුන්ගේ බොරු පොරොන්දු, කන්ටේනර්-ටෝක්ස් තඹ දොයිත්තකට මායිම් කල යුතු නැත, ඔවුන් හුදී ජන ඔළු හෝදන්න කොහොම ආවත්, කුලප්පු කරන්න කොපමණ වලි කෑවත් අප බීරි කන් දී සිටිය යුතුය. ණය මතින් උපන් ලිබරල් කුමර කුමරියන් රජ වෙන්නට මාන බලන්නෙ ණය ගසා දමා නොවන බව තරයේ මතකයේ තබා ගත යුතුව ඇත. ඔවුනට ණයෙන් තොර ලෝකයක් කොයින්දෝ.. ණයෙන් තොර මාවතක් කොයින්දෝ..

මිනිස් අවශ්‍යතා සරල වෙන්න වෙන්න මිනිස්සුන්ට හා පරිසරයට උහුලන්න වෙන පාඩුව අවම වෙන්නේය. කරුමෙට “සරල අවශ්‍යතා හා ඉන් ලැබෙන උපරිම ලාභය” කියා පාඩමක් කිසිම ආර්ථික විද්‍යා පොතක ලියැවි නැත. ඒ පොතේ ලියැවි ඇති දේවලට වඩා නොලියැවි ඇති දේ අවබෝධ කර ගත්තා නං අද අපට මෙහෙම වෙන්නේද නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress