‘ධර්ම පරාක්‍රමබාහු පාඩම’ නොඉගෙනීමේ පලවිපාක
Posted on April 6th, 2022

චානක බණ්ඩාරගේ

1505දි ලොරෙන්සෝ අල්මේදා ශ්‍රී ලංකාවට පැමිණිලි වෙලේ කෝට්ටේ රජ කලේ ධර්ම පරාක්‍රමබාහු රජතුමායි (8වන පරාක්‍රමබාහු). ඉතා කපටියෙකු වූ අල්මේදා තමන් පෘතුගාල රජුගේ දුතයන් බවත්,  තමන්ට ශ්‍රී ලංකාව අයිති කරගැනීම පිළිබදව කිසිම ආශාවක් නැති බවත්, ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සහ වාණිජ කටයුතු සිදු කිරීමට පමණක් කැමති බවත් කියා සිටියේය. රජතුමා මේ සම්බන්ධව සිය ඇමති මණ්ඩලය සමඟ සාකච්චා කළේය.

ඇමති මණ්ඩලයේ හතර දෙනෙක්ම වුයේ ඔහුගේ සොහොයුරන්ය!

මේ ඇමති මණ්ඩලය ගත් තීරණය වුයේ පෘතුගාලය සමඟ රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් එකෙහිනිම අත්සන් තැබිය යුතු බවයි. ගිවුසුම ප්‍රකාරව පෘතුගාල රජතුමාට වසරකට කුරුඳු අති විශාල ප්‍රමාණයක් (රාත්තල් ලක්ෂ 2ක් පමණ) තුටු පඳුරු ලෙස සැපයියමට පොරොන්දු විය.  ආපසු යන අල්මේදාගේ නැව්වලට පෘතුගාල රජු වෙනුවෙන් ඇත් පැටවූ 2ක්, මුහුදු ගමනේදී ආහාර පිණිස ජීවත්වෙන කුකුලන් රාශියක්, පිරිසිඳු පළතුරු විශාල ප්‍රමාණයක් (කෙසලේ, අඹ, අන්නාසි, තැඹිලි ආදිය) පැටැවිණි. පෘතුගීසීන්ගේ ඉල්ලීමට ඉඩ දෙමින් ඔවුනට තම රජතුමාගේ නිල මුද්‍රාව සහ ක්‍රිස්තු කුරුසය කොළඹ වරාය තුල ගලක කෙටීමට ද ඉඩ දෙනු ලැබිය (කොලඹ වරායේ මේවා අද දවසටත් දක්නා ඇතැයි කියත්). පිටත්වීමට කලින් ඒ ස්ථානයේ කුඩා කතෝලික දේවස්ථානයක් සාදා එහි කතෝලික පුජාවක් පැවැත්වීමටත් අනුමැතිය ලැබුණි. මේ, ශ්‍රී ලංකාවේ පැවැත්වූ ප්‍රථම දිව්‍ය පුජාව විය හැකයි. පල්ලියට අසලින් කුඩා කර්මාන්තශාලාවක් සැදීමත් එහි ස්ථිර මට්ටමින් පෘතුගිසි සේවකයන් කිහිප දෙනක් නවත්වා තැබීමටත් අවසර ලැබුණි. පෘතුගීසිහු ඉතා කෘර ලෙස අප රට අවුරුදු 150ක් පමණ පාලනය කර ගියහ.

 එක් පවුලකට උපරිම බලය ලබා දීමේ පළ විපාකයි ඒ.

අවුරුදු 500ට එහායින් පසු එම වරද අපි නැවත කළෙමු.

අද ශ්‍රී ලංකාව වැටි තිබෙන්නේ අති දැවැන්ත වළකය. එය ඉතා ගැඹුරුය, අන්ධකාරය, භයාන්කරය. 

අපව වලට වට්ටවුවේ අපේම පාලකයෝය.

අප කෙසේ හෝ මෙයින් එලියට ආ යුතුය. නැත්නම් අප වල තුලම මැරී යනු ඇත.

ග්‍රීසිය, ආර්ජන්ටිනාව, ලෙබනනය මෑතකදී මෙවැනිම වලවලට වැටුණු රටවල්ය. ඒ රටවල බැංකු පද්ධති විනාශ වී ගොස් ජනතාව සිය දේපල, මුදල්, ඉඩ කඩම්, සියලුම දේ නැති කර ගත්හ. දහස් ගණන් මිනිස්සු සිය දිවි හානි කර ගත්හ. අපේ රටේත් මේ දේ හෝ මීටත් වඩා භයානක දේ සිදුවිය හැක.

අපේ රටේ දැනටමත් උද්ඝෝෂණ,  මහජන ප්‍රතිරෝධ නිසා වටිනා ජීවිත නැතිවී ඇත.  දේපල හානී සිදුවී ඇත. බොහෝ විරෝධතාකරුවන් සාමාන්‍ය ජනතාවයි. දරුවන් කර පින්නා ගත් දෙමව්පියන් එම දරුවන් සමඟ පැමිණ පාරේ සටන් පාට කියත්. රෝහලේ එවලේ උපන් දරුවා ගෙදර රැගෙන යන ගමන් උද්ගෝෂණවලට සහභාගී වූ තරුණ යුවලක්  විය. මේ අය සාමකාමී ලෙස, එහෙත් දැඩිව තම පණිවුඩය පිට කරත්. හරි ක්‍රියාමාර්ගය එයය; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියෙන් ඒ අයිතිය සැමට ලබා දී ඇත. එම අයට විරුද්ධව ආරක්ෂක අංශ වලට කිසිත් කළ නොහැක. නමුත්, ගෙවල් ගිනිතැබීම්, දේපල හානි සිදුකිරීම්, වෙනත් ලොකු අපරාධ කිරීමේ  පරමාර්ථයෙන්ම ඒවාට එක්වන අයද සිටිනු දක්නට ලැබේ. මේ අය සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට පැමිණෙන අයය. සියල්ලන්ටම වඩා ප්‍රවේශම් විය යුත්තේ මේ අයගෙනි.

මේ අය හඳුනාගෙන, පාලනය කිරීම/ඉවත් කිරීම කල යුතුය. ඔවුන්ගේ අරමුණ උද්ගෝෂණය නොවේ; හිංසාකාරී, අපරාධකාරී ක්‍රියා කිරීමයි. මේ අය එන්නේම කළහ ඇති කිරීමටය.   

මේ අය නිසා මුළු වෑයමම ව්‍යවර්ථ වී යා හැක.

අන්තරේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ඒ හා අදාළ කණ්ඩායම්, පෙරටුගාමින් මේ මහජන පිබිදීම තමන් කලින් කරන අරගලවලට වඩා වෙනස් බව සිහිතබා ගත යුතුය. සෙසු අය සමඟ, ඔවුන් යන වේගයෙන් වැඩ කිරීමට, ඒ අය සිහිතබා ගත යුතුය.

පිටරට (බටහිර) සිටින ශ්‍රී ලාංකිකයන් ඉතා හොඳින් ඔවුන්ගේ උද්ගෝෂණ සිදු කරති. ඔවුන් කිසිදු ප්‍රචණ්ඩත්වයක් විද්‍යාමාන නොකරත්.   

ජර්මනියේ නායකත්වයෙන් යුරෝපය විසින් ග්‍රීසිය මේ වලෙන් කදිමට උඩට ගනු ලැබිය. ආර්ජන්ටිනාව ගොඩ දැමීමට IMF දැවැන්ත සහායක් දැන් ලබාදෙයි (අප IMF ආධාර ලබා ගැනීමට අකමැති වූ ප්‍රධාන හේතුවක් වුයේ මෙම රජය බලයට පැමිණි විගස සුපිරි ධනවතුන්ට දුන් දැවැන්ත බදු සහන නවතා දමන ලෙස IMF විසින් බල කර සිටිනු නිසා විය යුතුය). දැන් ප්‍රංශ නායකත්වය යටතේ යුරෝපය සහ සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් එකතුව ලෙබනනය මේ වලෙන් ගොඩට ඇද දැමීමට කටයුතු කරත්. එය සිදුවෙනු ඇත. වෙනිසියුලාවට සහ ඉරානයට නැවත තෙල් විකිණීමට ඇමරිකාව නැවත අවසර දීමට සලකා බලන ආරංචි අසන්ට ලැබේ?

අපට?

ඉන්දියාව සහ චීනය අපට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටී. එය මේ වෙලාවේ වාසනාවකි. නමුත්, ඔවුහුද අප සම්පත් සුරා කන අවස්ථා දක්නට ලැබේ. චීනයට කොළඹ/හම්බන්තොට වටිනා ඉඩම්, ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දීමට සිදු වුණි. සුළං සහ සොලාර් බලාගාර ඉදිකිරීමටය කියා රජය විසින් මේ දෙරටට දැන් උතුරේ සහ නැගෙනහිර ඉතා වටිනා ඉඩම් අක්කර දහස් ගණනින් පවරා දෙමින් සිටී. චීනයට, අදානිට අක්කර දහස් ගණනින් රජය දෙන්නේ දීර්ඝ කාලීන බදු පදනම මතය, අවුරුදු 99 වැනි. මේවා දෙන්නේ නිකම්ද? නැත්නම් ගෙවූ මුදල් මොනවාද? ඒ ගැන කිසිම පාරදුශ්‍ය භාවයක් නැත්තේ ඇයි? ගැහු කොමිස් අහුවෙන නිසාද?

දැන් ලැබෙමින් පවතින ඉංදීය, චීන ආධාර නිසා යම් සහනයන් ඉදිරියේ ලැබෙනු ඇත. මේ නිසා විදුලිය කැපීම, ඉන්ධන (පෙට්‍රල්/ඩීසල්/භූමිතෙල්), ගෑස්, රෝහල්වල බෙහෙත් ආදියට යම් තාවකාලික විසදුම් ලැබෙනු ඇත.

හැමදාම ලෝකේ වටේ ගොස් හිඟා කාමින් ජීවත්වීමට මේ රටට නොහැකිය. දැන් බංග්ලාදේශයද අප දුටු විට දොර වසයි.

2019 ජනාධිපතිවරණයේදී ගෝටාට ලැබුණු 69 ලක්ෂයක් වන චන්දවලින් 75%ට වැඩියෙන් සිංහල චන්දය. රටේ සිංහල බෞද්ධයන් 85% පමණ ගෝටාට චන්දය දුන්හ.  ඉන්පසු 2020 අගෝස්තු මහ මැතිවරණයේදී පොහොට්ටුවට 2/3ක බලයක් ලබාදුනි. එම රජයට මාස 6ක් වත් යාමට ඔබ්බෙන් ‘සර් ෆේල්’ වැනි සටන් පාට මඟින් රජය ඉල්ලා අස්විය යුතුය යන දැඩි මහජන මතයක් ගොඩ නැගුණි.  

අසාර්ථක රාජ්‍යක් වූ පකිස්ථානයේද හැමදාම වාගේ සිදුවන්නේ මේ වැනි ක්‍රියාදාමයි.  ඒ තත්වයට අපද දැන් වැටි ඇත.

මෙම පොහොට්ටු පාලනය ඉතා අසාර්ථක බව නොකිවමනාය. 2015දි ද ඔවුන්ව ගෙදර යැව්වේ ඒ හෙයිනි. ඉදින්, අවුරුදු 5ක් යන්න මත්තෙන්, ඒ බව දැන දැනත්, පොහොට්ටුව නැවත බලයට ගෙන ඒමට ජනයා චන්දය දුනී.

මේ තත්වයට ජනතාවද වග කිව යුතුය.

එක් පවුලක් විසින් රට පාලනය කරන බවත් එම පවුල ඉතා දුෂිත බවත් මිනිසුන් අද මැසිවිලි නගති. නමුත්, මේ බව, එය මෙසේම වෙන බව ඔවුන් නොදැන සිටියාද? 2004 සුනාමි ව්‍යවසනයට එකතු කල අරමුදල් පවා මංකොල්ල කෑ බවට බරපතල චෝදනා තිබියදී, 2005දි එම පවුල බලයට පත් කලේ රටේ ජනතාවම  නොවේද?  

1994 පසු මේ රටේ බිහි වී ඇත්තේ ඉතා කලහකාරී, ආත්මාර්ථකාමී, අසහනකාරී සමාජයකි. උතුම් ගති පැවතුම්වලට, ශිෂ්ටසම්පන්න බවට, සාරධර්ම වලට අද රටේ ඉඩ අඩුය. පාරේ වාහන වලට හැප්පෙන මිනිසුන් ස්වේච්චාවෙන් රෝහලක් වෙත ගෙනයාමේ හැදිච්ච කමක් අපේ රටේ තිබුණි. අද හප්පප්පු වාහනයේ රියදුරු අනතුර සිදුවුන ස්ථානයෙන් පැණ යනවා පමණක් නොව, පරීක්ෂණ අවස්ථාවේදී වෙනත් රියදුරෙක් ඔහු වෙනුවට ඉදිරිපත් කිරීමට තරම් අප සමාජය පිරිහී ඇත.

අප වංක සහ දුශිතයයි කියා චෝදනා කරන දේශපාලඥයන් බිහි වන්නේ මේ සමාජය තුලින්මය. මෙය කියවන ඔබත් මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, සංස්ථා/මණ්ඩල සභාපතිවරයෙක්/අධ්‍යක්ෂවරයෙක් වූ පසු බොහෝ විට හැසිරෙන්නේ මේ දැන් ඉන්නා අය අයුරින්ම  නොවිය හැකිද (හොරකම් කරන)? මන්ද, අප සමාජය ඒ තරමටම පිරිහී, ගරාවටිමකට, කඩාවටිමකට ලක් වී ඇති නිසාය. අපේ අනාගත පරපුර ගැන ඇතිවන්නේ ඉතා දුකකි.

මෙම රජය අසාර්ථක බව ජනතාව තරයේ කියති. කිසිදාක පාරට නොබැස්ස අය පාරට බැස උද්ගෝෂණය කරති.  

මේ අයටම, අන්තර් පාලන රජයක නව අගමැතිවරයෙක්  යටතේ, අපව මේ වට්ටවා තිබෙන වලෙන් ගොඩ දැමිය හැකි යයි ජනතාව පිළිනොගනිති. ජනතාවට මේ අය එපාය.

පොහොට්ටු රජයන් තුල අහසට උසට නැඟ යන අල්ලස්, දුෂණ, කොමිස් වැනි හොරකම් පිලිබඳ විශාල ප්‍රශ්ණ ඇත. මේවායෙන් තොර පාලනයක් ගැන ඔවුන් දන්නේ නැත. රාජ්‍ය පරිපාලනයේ සහ කළමනාකරණයේ ඔවුන් දක්වන්නේ ඉතාම අකාර්යක්ෂමතාවයකි, අදක්ෂ කමකි. මුල්‍ය පාලනයක් කියා දෙයක් නැති ලෙසටයි ඔවුන් රට පාලනය කලේ. මේ රජයේ පාලකයන්ට කිසිම ඉදිරි දැක්මක් නැතිව බව ඔවුන් විසින්ම ප්‍රත්‍යක්ෂ කර ඇත.    

සජබ – සජබ තුල අති දක්ෂයන් රාශියක් සිටිති. ඔවුන් තරුණය. කඩිසරය. දේශප්‍රේමිය. ඔවුන්ට යමක් කල හැකි ඉතා හොඳ බුද්ධියක් ඇති අයය.  දක්ෂ කථිකයෝ රාශියකි. පාර්ලිමේන්තුව තුල හොඳ සටනක් ඔවුන් ගෙන යයි. සජබ ඉහල නායකත්වයනට රට භාර ගෙන කල හැකිද නොහැකිද යන මතයක් ද රට තුල ඇත. යුද්ධයට නායකත්වය දුන් ෆොන්සේකා රණ විරුවා සජබ තරුණ නායකයිනට නායකත්ව හැකියාවන්   ගැන මනා පුහුණුවක් ලබා දීම ඉතා අවශ්‍යවේ.

ජවිපෙ – ජවිපෙ පැමිණ රට බේරා ගනු ඇතැයි බොහෝ අය දැන් විශ්වාස කරති. හෙට පාර්ලිමේන්තු චන්දයක් තිබ්බොත් ජවිපෙ විශාල ආසන සංඛ්‍යාවක් නියතයෙන්ම ජය ගනු ඇත.

ජවිපෙ තුලද අති දක්ෂයන් රාශියකි. ඔවුන් තරුණය, හොඳ ජවයක් තිබේ. ජවිපෙ සැබවින්ම රටට ආදරය කරන බවක් පෙනේ.

ජවිපෙ නායකයන් තමන් සර්ව සම්පුර්ණ බවට සිතති; අනුන්ගේ වැදගත්, වටිනා උවදෙස් වලට සවන් දීමට අකමැත්තක් දක්වන බවක් පෙනේ. මේවා හදා ගත යුතුය.

 දුෂණයට, අල්ලසට විරුද්ධව ජවිපෙ කථා කරන බව සැබවි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුව සහ ඉන්  පිටත මහ හඬක් නඟති.  එය ශ්‍රේෂ්ටයි.

නමුත්, කලක් හඬ නැගීමෙන් පසු ඔවුහු නිහඬ වීම ගැටලුවකි. එක් මාතෘකාවක් සජීවව තිබියදී තවත් එකක් අල්ලා කථා කරති. එය ගැනද මහ හඬක්  නඟා, ඉන්පසු තව එකක් අල්ලා ගනිති. එකකින් වත් ජනතාවට ප්‍රථිපල ලැබී නැත.

මහ බැංකු මංකොල්ල සටන හැර වෙනත් කිසිම සටනකින් සාර්ථක ප්‍රථිපල ලබාගැනීමට ජවිපෙට නොහැකි විය. අවසානය දක්වා සටනක් ගෙන ගොස් හොර දේශපාලනඥයන් තනතුරු වලින් අස් කිරීමට, ඔවුන්ව නඩු අසා හිරේ යැවීමට ජවිපෙ කටයුතු කල යුතුය. එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ඕස්ත්‍රේලියාව වැනි රටවල් මොන ක්‍රමයෙන් හෝ දුෂිතයන්ව  මන්ත්‍රී/ඇමති ධුරවලින් ඉවත් කරති/ සිරේ යවති. ඒ, විපක්ෂයේ පක්ෂ සියල්ල පාර්ලිමේන්තුව තුල එක දිගටම නොනවත්වා නගන මහා හඬ නිසායි (මාධ්‍යද ඒ සඳහා උපරිම සහාය දේ). ශ්‍රී ලංකාවත් ඒ රටවලුත් අතර ඇති ප්‍රධානතම වෙනස එයයි.

පැනමා පේපර්ස්, පැන්ඩෝරා පේපර්ස්, සිනි මංකොල්ලය, සුදු ළුණු/පොල් තෙල්  මංකොල්ල,  ඇන්ටිජන් සහ වැක්සින් හොර, පර්ල් එක්ස්ප්‍රස් පාඩු, යුරියා/ගෑස් මගඩි, ගෑස් සිලින්ඩර් පිපිරීම්, නැනෝ පොහොර මංකොල්ලය, බුරුම සහල් මංකොල්ලය – මේවා දැන් සැමට, ජවිපෙ ඇතුළු, අමතක වී ඇත්තාසේය. මෙය ඉතා අසතුටුදායකය.

තමන් බලයට පැමිණි පසු මේ හොරුන්ට දඬුවම් කරන බව පමණක් පැවසීම මදිය. ජවිපෙ මේ සටන් දැන් සිටින පාර්ලිමේන්තුව තුල ඉතා තීව්‍රව, සෙසු විපක්ෂ කණ්ඩායම් සම්බන්ධ කරගෙන සිදු කල යුතුය.

 ‘මුන් ඔක්කොම හොරු මල්ලි’ යන රන්ජන්ගේ කථාව ජවිපෙටත් අදාලද? එය එසේ නොවේයයි පතමු.

රනිල් වික්‍රමසිංහ  – රනිල් ඉතා වැදගත්, මහත්මා ගුණයෙන් යුත් කෙනෙකි. රනිල් එංගලන්තයේ හෝ ඕස්ත්‍රේලියාවේ ඉපදුනා නම් මේ වනවිට අගමැති වී (රාජ්‍ය නායකයා) අවසානයයි සමහරු කියත්. මෑතක් වනතුරුමඔහුව  හැඳින්වුයේ මිස්ටර් ක්ලීන් නමිනි. මහා බැංකු කොල්ලයෙන් ඔහුගේ නම ඉතා පලුදු විය. වෙනත් දේශපාලනඥයන් මෙන් හොරකමේම යෙදෙන්නට රනිල්ට හේතු අඩුය; නමුත් ඔහු යටතේ සිටී අය බොහෝ වංචා දුෂණ කළහ. මෙය ඔහුගේ අඩුවකි.

2016න් පමණ පසු රනිල් හොඳ පරිණත බවක් පෙන්වා ඇත. කලින් තිබු සබකෝලය, ගොත ගැසීම, උඩඟු බව දැන් සකස් කර ගෙන ඇත. දක්ෂ නායකත්ව ගුණ විද්‍යාමාන කරයි. අති දක්ෂ කථිකයෙක් බවට අද ඔහු පත්වී සිටි. අද, රනිල් සිය දක්ෂතා උපරිමව විදහා දක්වන, හොඳම කාලයයි. දැන්, ඔහු සැබවින්ම රටට ආදරය කරන බවද පෙනේ.

දැන් රට කල යුත්තේ කුමක්ද?

‘අප්‍රේල් සුවඳ’ (April Scent) රැල්ලේ වැඩිමනත් ජනතාව ඉල්ලන්නේ නවතම පාළනාධිකාරයකි. ඔවුන් දැන් සිටින ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුළු පාර්ලිමේන්තුවම (225) ම ප්‍රතික්ෂේප කරත්. ඔවුන්ගේ ඉල්ලීම ඇරයුම  නැවුම් පිරිසකටය. රටේ නායකත්වය මේ ලෙසින් වෙනස් විය හැකිද?

ඔව්.

1989 රුමේනියානු විප්ලවයට කිසිදු නායකත්වයක් නොතිබුණි. දින ගණනක උද්ගෝෂණ වලින් පසු චව්චෙස්කුගේ රාජ්‍යය එක් වරම ගිලිහී වැටිණි. ඉන්පසු ජාතික ගැලවීමේ සභාව (National Salvation Front) විප්ලවාදින් අතරෙන් බිහිවුයේ අහම්බෙන්ය. ඔවුන් පසුව දේශපාලන පක්ෂයක් බවට පත්වී දිගටම රට පාලනය කළහ. ලෙනින් සෝවියට් විප්ලවයට සම්බන්ධ වුයේ බොහෝ ප්‍රමාදවය. සාර්ව රජකමින් පහ වුයේ 1917 පෙබරවාරිවලය; ලෙනින් සෝවියට් දේශයට ජර්මනියේ සිට නැවත පැමිණියේ 1917 ඔක්තෝම්බර් (2වන) විප්ලවය යන අතරතුරේය. නොවැම්බර් වල ඔහු සෝවියට් නායකයා විය! අයටොල්ලා කොමෙයිනි ඉරාන  විප්ලවය මෙහෙය වුයේ යුරෝපයේ සිටය. ඔහු යලි ඉරානයට එහි නායකයා වී ආවේ ෂා ඉරානය අත් හැර ගියාටත් පසුවය.

වහාම පාර්ලිමේන්තුව රැස්ව දැන් සිටින වියපත් අගමැතිතුමා එම තනතුරෙන් ඉවත් ව, පාර්ලිමේන්තුවේ ගරුත්වය සහ විශ්වාසය දිනු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් භාරකාර අග්‍රාමාත්‍ය තනතුරට පත්විය යුතුයි. භාරකාර ඇමති මණ්ඩලයට හොරුන් ඇතුලත් නොකල යුතුයි.

ඉන්පසු, දින 90ක් ඇතුලත ජනාධිපති සහ පාර්ලිමේන්තු චන්දයක් පැවැත්විය යුතුය. වියදම් පිරිමසා ගැනීමට මේ දෙකම එකම දින සිදු කල යුතුයි.

මෙම දින 90 තුල ගරු ජනාධිපතිතුමා ස්වකීය  කැමැත්තෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත්, 19වෙනි සංශෝධනය යටතේ, අගමැති තුමාට තිබු බලය නව අගමැතිතුමාට ලබා දෙන්නේ නම් මැනවි.  එසේ කල හැකි නොවුවහොත් (පාර්ලිමේන්තුවේ 2/3 ලබා ගත නොහැකි වුවහොත්), තම විධායක බලය පාවිච්චි කර, තමන් සතුව ඇති අති මහත් බලතලවලින් කොටසක් අග්‍රාමාත්‍ය තනතුර මැනවින් හෙබවීම පිණිස නව අග්‍රාමාත්‍ය තුමාට පැවරිය හැකියි. 

නව අගමැතිතුමාගේ පළමු පියවරක් විය යුත්තේ රන්ජන්ව නිදහස් කිරීමට කටයුතු කිරීමය. මන්ද, මුළු මහත් රටේම ඉල්ලීම එය නිසයි.

දින 90 අවෑමෙන් පැවැත්වෙන චන්දයෙන් පවත්නා ඕනෑම පක්ෂයකට ජය ගත හැක; ඔවුන්ගෙන් නව ජනාධිපතිවරයෙක් සහ රජයක් බිහිවේ; මේ ‘අප්‍රේල් සුවඳ’ රැල්ලෙන් මතුවන කණ්ඩායම/ක් ඇතුළු. පසු සඳහන් කණ්ඩායම/ක් ජය ගැනීමේ සම්භාවිතාව වැඩි බවයි දැනට පෙනෙන්නේ.

රන්ජන්ද බොහෝ දුරට තරඟ කරනු ඇත.

කවුරු කෙසේ කිවත් රටට ඉතා අහිතකර මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර සැබෑ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ, ඉතාම  ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණ රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කල යුතුවේ. පාර්ලිමේන්තුවේ ආසන ගණන අඩු කල යුතුය. මනාප ක්‍රමය, චිට් මන්ත්‍රීන් අහෝසි කල යුතුය. ආසනයකට වගකීයන මන්ත්‍රීකෙනෙක්, තනිව කෙනෙකුට -ස්වාධීනව චන්ද ඉල්ලිය හැකි ක්‍රමයක් ඇති කල යුතුය.

මෑතකදී හොරකම් කල සියළු දෙනා අධිකරණය ඉදිරියට පැමිණිය  යුතුවේ. අසාධාරණ ලෙස නිදොස් කොට නිදහස් කල නඩු නැවත ගොනු කල යුතුය. හොරුනට කිසිම සමාවක් නොදිය යුතුය. සොරා ගත් මුදල්, දෙපළ රාජසන්තක කල යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress