හෑෂ් ටැග් අරගලය
Posted on May 3rd, 2022

ෂම්මි උයනගේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු

නීත්‍යානුකූලව ඡන්දයකින් පත්වූ ආන්ඩුවක් හෑෂ් ටැග් වලින් ගෙදර යැවිය හැකිද? පසුගිය 2019 වකවානුවේ දී පැවැත්වූ මැතිවරණ නීත්‍යානුකූල නොවූයේනම් අද ඇතිවන තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනී. එසේ වූවානම් නම් තීරණාත්මක බලවේගය වන්නේ හෑෂ් ටැග් නොව මහජනතාවගේ අරගලයයි. ඊනියා නිර්පාක්ෂික අරගලයේ  #GotaGoHome2022 හෑෂ් ටැග් ප්‍රමාණය ලක්ෂ 5 කට ආසන්න වී ඇත. යම් හෑෂ් ටැග් එකක්, එක් අයෙකුට යොදාගත හැක්කේ එක් වරක් පමණක් ද? සාමාන්‍යයෙන් ඡන්දයකදී නම් එක් ඡන්ද දායකයෙකුට සිය ඡන්දය එක් වරක් පමණක් භාවිතා කළ හැකි වුවද මේ ඩිජිටල් ක්‍රමයේ එක් අයෙකුට ඕනෑතරම් හෑෂ් ටැග් ප්‍රමාණයක් දැමිය හැක.

ව්‍යවස්ථානුකූලව පවත්වන ලද  මැතිවරණයකින් ලබාගන්නා ඡන්ද ලක්ෂ 69 යට වඩා නොනිළ හෑෂ් ටැග් ලක්ෂ 5 සැලකිය යුතු බලයක් පෙන්නුම් කර තිබේ. 2/3 ක බලයක් ලබා පිහිටුවා ගෙන තිබූ පොහොට්ටුවේ විද්‍යාත්මක කැබිනට්ටුව පැය 24 න් ගෙදර යැව්වේය. ඇත්ත වශයෙන්ම සිදුවූයේ නහය තෙක්ම ගිලෙන තුරු වගේ වගක් නැතුව හිටපු වත්මන් ආණ්ඩුවේ අදේශපාලනික ක්‍රියාමාර්ග තවදුරටත් අල්ලාගෙන සිටීමට නොහැකි වූ “මගීන්” එක එකා බැගින් ඉන් ඉවතට පනින ලදී. විමල්, ගම්මන්පිල ඇතුළු එකොළහේ කණ්ඩායම ස්වාධීන වීම මෙහි එක් සිද්ධියක් පමණි. ඇතිවූ තත්වය සම්බන්ධයෙන් ජනතාව ඒකරාශී වීම මා හිස මුදුනෙන්ම පිළි පිළිගන්නා අතර අවසානයේ අරගලය අවජාතකවීම පිළිබඳව ඇත්තේ මහත් පිළිකුලකි. අර්බුදය සහ අරගලය පිළිබඳව විමර්ශනාත්මකව බලන පුද්ගලයකුට ඒ පිළිබඳව යම් කිසි වැටහීමක් ලබාගත හැකිය.

අරගලය අවජාතක වීම පිළිබඳව එක් එක් කරුණු වෙන වෙනම ගෙන විමර්ශනය කිරීම ඵලදායක නැත. ඉන් අරබුදයට විසඳුමක් හෝ අරගලයට ජයග්‍රහණයක් ලැබේ නම් පමණක් ඒ පිළිබඳව කාලය යෙදෙව්වා ට කම් නැත. ඇඟිල්ල දිගුකර සඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස නොව සඳ දෙස බලන්න. අර්බුදය විසඳීමට ඇත්ත වශයෙන් ම උවමනාවක් ඇත්නම් තෝරා බේරා ගත් සටන් පුවරු පමණක් කියවන්න. වෙන වෙන කුණුහරප සටන් පුවරු අවශ්‍ය අයට, අවශ්‍ය පරිදි, අවශ්‍ය තැනක, අවශ්‍ය කාලයක් ප්‍රදර්ශනය කිරීමට ඉඩ දීම අරගලය අල කිරීමට ඇති හොඳම මාර්ගයයි. අරගලකරුවන් අරගල භූමියෙන් ඉවත් කළ ද ඔවුන්ගේ සටන් පුවරු සමාජ මාධ්‍ය තුලින් ඉවත් කිරීම එතරම් ලේසි නැත. කරනවා නම් හොඳම ක්‍රියාව වන්නේ එම සටන් පාඨ වල “වටිනාකම” ජන සමාජය තුළ නිෂේධනය කර දැමීමයි. වෙනත් අයුරකින් කියනවා නම් ජන සමාජයක තුළ, එම සටන් පාඨ වලට තවදුරටත් වලංගු භාවයක් නොමැති වන සේ අර්බුදය විසඳා දැමීමයි.

කෙසේ හෝ අප ඇස් පනාපිටම අවජාතක හෝ විජාතික හෝ අරගලයක් ඇති වී තිබේ. ගින්නක් නැත්තං දුමක් නගින්නේ ද නැත. ගින්න ඇතිවූ විට එය නිවා දැමීම සඳහා ගිනි නිවන භටයන් සිටින්නා සේම එයට පිදුරු දමන එන්ජීඕ බත්බැලයන් හතර අත මතුවෙමින් ඇත. ඔවුන් හඳුනා ගැනීම බොහෝ අපහසුය. සමහරු නිරාගමික ය. පසුගිය තිස් අවුරුදු ත්‍රස්තවාදී අරගල සමයේදී ඔවුන් සිහිමුර්ජාවෙන් පසුවිය. බොහෝ දෙනා එම කාල පරිච්ඡේදයේදී ඉපදී වත් නැති අතර ඉතුරු ටික ඕපපාතිකය. ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු පාලකයන් තමන්ට අවශ්‍ය දේ මහජනතාවට ලබා දීමේ පාලන ක්‍රමයයි. කෙසේ නමුත් පාලකයා අන්දමන්ද නම් මහජනතාව විසින් පාලකයාට Go Home” කියනු ඇත. පසුගිය යහපාලන රජය පත් වී මාස ගණනක් ඉක්මයාමටත් මත්තෙන්ම මහජනතාව Go Home” කීමට පටන් ගත් නමුත් ඔවුන් ගෙන ගිය මර්දනකාරී සහ උපක්‍රමශීලී ක්‍රමවේදය එම ආණ්ඩුව වසර 5 ක්, එනම් ඊළඟට පැවැත්වූ පළමු නිල ඡන්දය දක්වාම පවත්වාගෙන යන ලදී  (2019 දක්වා). එදා යහපාලන රජය පලවා හැරීමට ජනතාවට හෑෂ් ටැග් අවශ්‍ය නොවූ අතර එකාවන්ව එක පෙළට රටේ ජනතාව, ආගමික නායකයන්, බුද්ධිමතුන්, ජාතික සංවිධාන, මහ පවුරක් වී, මහ බලයක් වී මේ රට ජාතිය රැක ගත්හ.

විමල් ඇතුළු පිරිස ගිලෙන නැවෙන් අවසාන මොහොතේ හෝ පැන ගැනීම සාමාන්‍ය සාමාර්ථයක් හෝ ලබා දීමට තරම් වටින ක්‍රියාවකි. කෙසේ නමුත් විමල්ලා, ගම්මන්පිලලා, වාසුලා නහය දක්වා ගිලෙන තෙක් සිහිසුන්ව ආණ්ඩුව ඇතුළේ සිටියේයැයි මම විශ්වාස නොකරමි. ඔවුන් තමන්ට හැකි පමණ (scope) ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන්නට උත්සාහ කළ බව, ඔවුන් ප්‍රකාශ කර ඇත. නමුත් ආණ්ඩු ප්‍රධානීන්ට සිහිමුර්ජා වී තිබුණි. විමල්ලා නැවෙන් පැන්න බව ඔවුන් දැනගත්තේ පත්තරෙනි. දඩිබිඩිගා විමල් සහ ගම්මන්පිල ඇමති ධුරවලින් ඉවත් කලේ 195 ක් විතර අතේ තියෙන මහා චන්ඩීන් ලෙසිනි. අහෝ සිදු වූ කරුමය! ඊට ටික දිනකට පසු ආණ්ඩුවේ විද්‍යාත්මක කැබිනට්ටුව ම සතුටින් විසිර ගියෝය. නැවෙන් පැන්න විමල් Netflix බැලීම සඳහා ගෙදර ගිය අතර කොල්ලො කුරුට්ටො බෝඩ් උස්සාගෙන ගෝල්ෆේස් පැමිණියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිය පවුල් ප්‍රශ්න සඳහන් පෝස්ටර් උස්සාගෙන සිටි හුදී ජනයාට අරගලයේ ක්‍රෙඩිට් එක නිකම්ම ලැබුණි.

විමල්ලා, (විමල් ලෙස තනි පුද්ගල නාමයක් භාවිතා කළ ද මේ සමගම ඔවුන් සමඟ සිටින අනෙකුත් දේශපාලන නායකයන්ගේ නම් ද කියවන්න) ආණ්ඩුවෙන් ඉවත් වීම, මේ ඇතිවූ සමාජ, දේශපාලනික, ආර්ථික කලබගෑනියට හේතුවක් නම් ඔවුන් එසේ ඉවත් වීම යනු ජාතික අපරාධයකි. නමුත් සිදුවූයේ එය නොවේ. විමල්ලා කරේ පෙර සඳහන් කළ පරිදි ගිලෙන නැවෙන් එළියට පැමිණීමයි. ඒ වන විටත් සමස්ත රාජ්‍යම කඩා වැටී තිබුණි. ඉතාමත් ව්‍යාකූල තත්වයක් නුදුරේම හටගන්නා බව ද, රාජ්‍ය මෙහෙයවන්නන්ගේ අසමත් ක්‍රියාකාරකම් පිළිබඳව ද විමල්ලා තැන් තැන්වල කතා කර තිබුණි. එහිදී මේ රජය පත් කිරීම සඳහා වෙහෙස මහන්සි වූ සමාජ ක්‍රියාකාරකයින් කීපදෙනෙක් ඔවුන්ගෙන් විමසා සිටියේ “ඇයි ඉතින් ඕවා අපට කියන්නේ… අපි ඔයගොල්ලන්ව පත්කරලා යැව්වෙ ඕවා විසඳන්න නේ… ඔයගොල්ලෝ ඕව කතා කරලා විසඳගන්න” ලෙසයි. ඒ වන විටත් ආණ්ඩුව තුළ යම් අරගලයක නිරත වී සිටි ඔවුන්, ඔවුන්ට හැකි පරිදි, ප්‍රශ්නය සමාජගත කිරීමට උත්සාහ දරන ලදී. එදා සමාජ ක්‍රියාකාරකයින් උපහාසයෙන් ඔවුන්ව ප්‍රතික්ෂේප නොකර ඇතිවී ඇති තත්වය දීර්ඝව විශ්ලේෂණය කිරීමට කතිකාවක් ආරම්භ කළා නම් අද තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් වීමට ඉඩ තිබුණි. විමල්ලාට කළ හැකිව තිබුණේ එපමණකි. කොල්ලෝ කුරුට්ටෝ ටික එකතු වී “Gota Go Home” ගම හැදුවේ නැත්තං සිද්ධ වන්නේ එවකට ආණ්ඩුවේ සිටි අඳ, ගොළු, බිහිරින් ටික එකතු වී “Wimal Go Home” ගම සෑදීමයි. විමල්ට හොඳ සද්දයක් තිබේ. විමල්ට ඒ සද්දය භාවිතාකළ හැක්කේ තමාට පාර්ලිමේන්තු යාම සඳහා සහ වෙනත් අයෙකු ජනාධිපති කරවීම සඳහා පමණි. වගේ වගක් නැතුව සිටි ජාතික සංවිධාන වලට අද දක්වාම මේ ප්‍රශ්නයට අවතීර්ණ වීමට නොහැකි වී ඇත්තේ අවශ්‍ය මොහොතේදී සිදු කළ යුතුව තිබූ තාත්වික මැදිහත්වීම සිදු නොකළ බැවිනි. මේ ආණ්ඩුව පත්වී මුලින්ම සිදුකරන ලද අමන ක්‍රියාව වූයේ, ආණ්ඩුව පත් කිරීම සඳහා අමිල මෙහෙවරක් ඉෂ්ට කරන ලද ජාතික සංවිධාන නිහඬ කරවීමයි. ඒ බව මේ ලිපියේ සඳහන් නොකිරීම එක පැත්තකින් ජාතික සංවිධාන වලට කරන  අසාධාරණයකි.

දැන් අශ්වයා පැන ගොස් අවසානය. ජාතික සංවිධාන කෙසේ වෙතත් මේ ප්‍රශ්නයේ ප්‍රධාන පාර්ශවකරු වන ආණ්ඩුවට ද විසඳුම්ක් නොමැතිව අන්දමන්ද වී ඇත. ආතල්ගමේ අරගල කාරයන්ට ද මේ සම්බන්ධව විසඳුමක් නැත. ඔවුන්ගෙන් සමහරෙක් පවසන්නේ මේ ආණ්ඩුව ගෙදර යන ලෙසයි. කරවටක් ගිලී ඇති මේ වෙලාවේ ඉන්පසු කුමකින් කුමක් සිදු වේදැයි සිතා ගැනීමටවත් නොහැක. මේ ආණ්ඩුව එළවා දමා යූඑන්පී හෝ ජේවීපී ආණ්ඩුවක් ඇති කිරීම සඳහා මෙම ලියුම්කරු එක වචනයක් වත් නාස්ති නොකරන බව අවධාරණයෙන් ලියා තබමි. එදා 88/ 89 කාලයේ දී ගොවිජන සේවා මධ්‍යස්ථානයකට ගිනි තැබීමට නියෝග කළ සහෝදරයන්ගෙන් “ඊටපස්සේ මොකද කරන්නේ” යැයි භූමි තෙල් බෝතලයක් අතින් දරා ගෙන සිටි කිරිසප්පයෙක් විමසන ලදුව ඔහුට පිළිතුරු වශයෙන් ලැබුණේ “පළමුව ගිනි තබනු. ඊට පසු වන දේ පසුව බලමු” යන්නයි. මේ ආණ්ඩුව ගෙදර යවා යූඑන්පී, ජේවීපී ආණ්ඩුවක් ගෙන ඒමේ කිරිපණුගායක් අද සමාජයට නොමැති අතරම මේ ආණ්ඩුව ගෙදර යවා මේ බිහිසුණු අවස්ථාවේ ආණ්ඩුව භාර ගැනීමේ උවමනාවක් සජිත්ට හෝ අනුර කුමාරට ඇති බවක් ද නොපෙනේ.

ඇත්ත වශයෙන්ම එජාප ආණ්ඩුවක් බලයේ සිටියේ නම් අද මේ ඇතිවී ඇති දුක්ඛදායක තත්වය අත්විඳීමට සිදු නොවනු ඇති. එසේනම් රනිල් ප්‍රමුඛ එජාප විජාතික නඩය දවසට එක බැගින්, තිබෙන සම්පත් එකින් එක විකුණා දමා ආතල්ගම වැසියන්ට කන්න බොන්න ලබාදෙනු ඇත. උන්මත්තක ආතල්ගමේ වැසියන් ඉල්ලා සිටින්නේ ද එයයි.

ෂම්මි උයනගේ

පරිගණක මෘදුකාංග ඉංජිනේරු

shammie@email.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress