ලෙඩ්ඩු හරවා යවන්න නීතියෙන් ඉඩක් නැති ලන්ඩන් දොස්තරලා  
Posted on May 16th, 2022

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි මැයි 15 ඉරිදා සති අග අරුණ

ලෙඩේ මොකක්ද ඔයා මොන පක්ෂෙද

තමන්ගෙන් ප්‍රතිකාර ගන්නට ආ ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයාට දේශපාලන හේතූන් මත ප්‍රතිකාර නොකළ විශේෂඥ වෛද්‍යවරයෙක් වන මහාචාර්ය රනිල් ජයවර්ධන එක් පිරිසකට වීරයෙකි. තවත් පිරිසකට ද්‍රෝහියෙකි. ඒ අතරේ සැත්කමට භාජනය කර සිටි විමලවීර දිසානායක මන්ත්‍රිවරයාට රෝහලේදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයකු දේශපාලනය සිහි කරමින් අපහසුතාවට පත් කර තිබුණි. ඉකුත් 9 වැනිදා ප්‍රහාරයක් හමුවේ තුවාල ලබා ප්‍රතිකාර ගන්නට ආ පිරිසකට ජාතික රෝහලේදී සෞඛ්‍ය සේවකයෝ පහර දී තිබුණි. සැබවින්ම දේශපාලන හේතුවක් නිසා වෛද්‍යවරුන්ට මෙසේ හැසිරීමට හැකිද. මේ ලංකාවට බටහිර වෛද්‍ය ක්‍රමය ගෙනා එංගලන්තයේ ඒ ගැන ක්‍රියාත්මක වන ආකාරය ගැන ලියැවුණු ලිපියකි.  – කර්තෘ-                                                                                                                                                                                                                                                                                                                                        ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනය ගැන කලකිරීමට පත්වූ තරුණයින් විසින් අරඹන ලද ගෝඨා ගෝ ගමේ අරගලයට දැන් දවස් 36 කි.   පෞද්ගලික හා රජයේ ආයතන වල සේවය කරන විවිධ වෘතිකයන්මේ අරගලයට එක් වී හමාරය    දොස්තරවරු හෙදියන් උපස්ථායකයින්  ඇතුලු රෝහල් වෛද්‍ය වෘත්තිකයන් දහස් ගණනින්  අරගලයට සම්බන්ධ වී සිටිති.    වෛද්‍යවරු දෙතුන් දෙනෙකු රජයේ දේශපාලකයින් ට බෙහෙත්  කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේට්‍රන්  වරු හා හෙදියන්  තමන් අකමැති තුවාල කරුවන්  රෝහල්වලට  ඇතුළු නොකරගෙන ආපසු හරවා යවන අන්දම අපි බීබිසියෙන් දුටුවෙමු.

බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ටත්  දේශපාලන හෝ සමාජයීය කරුණක් මත ලෙඩුන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ  හැකිදැයි අරුණ පත්‍රයේ පාඨකයින් බොහෝ දෙනකු මගෙන් අසා එවා තිබේ. ඉංජිනේරු වරයෙකු වන මට මේ ගැන ඇත්තේ සාමාන්‍ය දැනීමක් පමණි. එහෙත් අපි ජීවත්වන  කෙන්ට් ප්‍රාන්තයේ Ashford  නගරයේ මහ රෝහලේ වැඩ කරන ලාංකික දොස්තර මිතුරන්ගෙන්  ලබාගත්  කරුණුත් එකතු කොට ඔබේ දැනගැනීම සඳහා මේ ලිපිය ලිවීමට මා  අදහස් කළෙමි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍යවරු කණ්ඩායම් දෙකක් සිටී. එක් කණ්ඩායමක් රෝහල් වෛද්‍යවරුන්ය. අනිත් කණ්ඩායම ජනතාවගේ එදිනෙදා රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන වෛද්‍යවරුන්ය. ලංකාවේ මේ වගේ මධ්‍යස්ථානවලට අපි කියන්නේ අහවල් දොස්තර මහතාගේ ඩිස්පැන්සරිය කියාය. එංගලන්තෙ වෛද්‍ය මධ්‍යස්ථාන හඳුන්වන්නේ doctor’s surgery කියාය. එහි සේවය කරන වෛද්‍යවරුන්ට  කියන්නේ General Practitioner   හෙවත් GP කියාය. බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ ද ත්ත අනුව අද වන විට GP දොස්තරලා  27757  ක් රට පුරා ඇති surgery වල සේවය කරන අතර  වෛද්‍යවරු 123,813ක් හා හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් 3,85470 ක්  රජයේ හා පෞද්ගලික රෝහල් 1229 ක සේවය කරති.  බ්‍රිතාන්‍ය යේ රෝහලක හෝ  වෛද්‍ය මධ්‍යස්ථානයක හෝ වේවා එහි සේවය කරන වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය විශේෂ නීති රාමුවක් හා ආචාර්ය ධර්ම පද්ධතියක් තුළ කටයුතු කිරීමට බැඳී සිටිති.

වෛද්‍ය මධ්‍යස්ථානයක හෝ වේවා රෝහලක හෝ වේවා එහිසේවය කරන වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය විශේෂ නීති රාමුවක් හා ආචාර්ය ධර්ම පද්ධතියක් තුළ කටයුතු කිරීමට බැඳී සිටිති. රාජකාරියෙන් පිටත දී ඔවුනට දේශපාලන හා සමාජයීය කටයුතු කිරීමට  සම්පූර්ණනිදහස තිබෙන නමුත් තමාගේ වෛද්‍ය තනතුරට නිගාදෙන හෝ  වෛද්‍ය වෘත්තීයේ ගෞරවය විනාශ වන  කටයුතුවල පෞද්ගලිකව යෙදී සිටීමටත් ඔවුනට අවසරයක් නැත. උදාහරණයක් වශයෙන් කියනවා නම් දොස්තර කෙනෙකු  ගෙදරදී හොර රහසේ මත් කුඩු පාවිච්චි කරකර අසු වුවහොත් ඔහුට නඩු පැවරෙනවා පමණක් නොව සේවය ද වහාම අහිමි වේ.   ලංකාවේ ඔබට ඕනම දිස්පැන්සරි එකට ගොස් මුදල් ගෙවා ඕනම වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගැනීමට හැකිය. නමුත් එන්ගලන්තයේ අපිට සාමාන්‍ය ලෙඩකදී බෙහෙත් ගත හැක්කේ අප ලියා පදිංචි වී ඇති surgery යේ වෛද්‍යවරයෙකුගෙන් පමණි.  ගෙදරින් ඈත  නගරකදී හදිසියේ රෝගී වුවහොත් ඒ පළාතේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් හෝ රෝ හලකින් අපට තාවකාලිකව ප්‍රතිකාර ලබා ගත් හැකිය. මෙම ක්‍රමය රෝගීන්ට හා දොස්තරවරුන්ට ලොකු  පහසුවකි. සෑම පුරවැසියෙකුටම උපන්දින සිට ඇතිවූ ඇතිවූ රෝග හා ප්‍රතිකාර සියල්ලම එම වෛද්‍ය මධ්‍යස්ථානයේ  පරිගණකවල   සටහන් ඇති වී නිසා අලුතෙන් පැමිණි  GP වෛද්‍ය වරයෙකුට පවා  රෝගියෙකුගේ   වෛද්‍ය  ඉතිහාසය බලා පහසුවෙන් වෙදකම් කළ හැකිය.  හදිසි අනතුරකදී හැරෙන්නට අපිට මහ රෝහලට ගොස් ශල්‍යකර්මයක් කරන ලෙස ඉල්ලා සිටීමට බැරිය. හර්නියා, හර්ද සැත්කම අක්ෂි කාච බද්ධකිරීම වැනි දහසක් ශල්‍යකර්ම සදහා රෝගීන්  මහ රෝහලට යොමු කරන්නේ ඔහුගේ GP වෛද්‍යවරයාය. .   ලංකාවේ ඔබට දොස්තර මහතාගේ ඩිස්පැන්සරියෙන්ම එම බෙහෙත් මිලදී ගත හැකිය.  නමුත් බ්‍රිතාන්‍ය surgery වල කෙරෙන්නේ  රෝගීන් පරීක්ෂා කිරීමත් ඉන්නන් ඉවත් කිරීම වැනි සුළු සුළු සැත්කම් කිරීමක් පමණි. GP දොස්තරවරයා අපේ බෙහෙත් තුන්ඩුව විද්‍යුත් මාර්ගයෙන් ළඟම ඇති ෆාමසියට යවයි. අප එහි යන විට බෙහෙත් සූදානම් කර තිබේ.  කුඩා ළමුන් ගර්භනී මව්වරුන් විශ්‍රාමිකයන් හා අඩු ආදායම්ලාභීන්ට සියලුම බෙහෙත් රජයෙන් නොමිලේ ලැබේ. අනිත් සියලු දෙ නාම එක බෙහෙත කට පවුම් නමය බැගින් ගෙවිය යුතුය. (අද ලංකා මුදලෙන්  එය රුපියල් 4600කි .)

. රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ දී අඛණ්ඩතාවය ඉතා වැදගත්ය.කලින් තමන් විසින් ප්‍රතිකාර කරනලද රෝගියෙකුට  දේශපාලන මතභේද හෝ පෞද්ගලික කෝන්තරයක්  මත ප්‍රතිකාර කිරීම  නැවැත්වීමට දොස්තර කෙනෙකුට පුළුවන් කමක් නැත. එයට අමතරව ජාතිය, ආගම ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ මට්ටම, වයස, අංගවිකලත්වය , රෝගී තත්වයේ බරපතලකම යන කරුණු යටතේ රෝගියෙකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමට  බ්‍රිතාන්‍යයේ කිසිම වෛද්‍යවරයෙකුට නීතියෙන් ඉඩක් නැත

අප ජීවත්වන Ashford නගරයේ මන්ත්‍රීවරයා වන්නේ කොන්සර්වටිව් පක්ෂයේ Damian Green ය. 1997 සිට අද දක්වා තිබූ මහ මැතිවරණ හතෙන්ම  තම ආසනය දිනා වාර්තා පිහිටවා  ඇති  ඔහු පළාතේ ඉතාම ජනප්‍රිය දේශපාලඥයාය.  තෙරේසා මේ ගේ අගමැති කාලයේදී උප අගමැති නිලයද හෙබවූ  අපේ මන්ත්‍රීතුමා ලියා පදිංචි වී සිටින්නේ අපේ පවුලේ අය බෙහෙත් ගන්නා වෛද්‍ය මධ්‍යස්ථානයේමය.  අපේ ලෙඩ බලන එක් සුදු GP දොස්තර වරයෙක්   ලේබර් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු හා  නගරයේ  පක්ෂ ශාඛාවේ ප්‍රධාන සංවිධායක ද වෙයි. ශාඛා රැස්වීම්වලදී ඔහු බොරිස් ජොන්සන්ගේ ආණ්ඩු පක්ෂය තරයේ විවේචනය කරන්නෙකි . එහෙත් තම රැකියාවට ඔහු දේශපාලනය ගාවා ගන්නේ නැත.Damien Green  මහතා ප්‍රතිකාර ගැනීමට පැමිණි  සෑම විටකම  ඔහුව සාදරයෙන් පිළිගන්නා අපේ GP දොස්තර මහතා  මන්ත්‍රීතුමාගේ  සෞඛ්‍ය තත්වය හොඳාකාරව පරීක්ෂාකර සුදුසු බෙහෙත් නියම කරයි. ඔහුව ඉතා ඕනෑකමින් බලා ගනියි.    එසේම කොන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රී තුමා මගේ ලෙඩෙක්. එයාට අහවල් රෝගය තියෙනවා” කියා ජනමාධ්‍යවලටවොයිස් කට් දෙන්නටද අපේ දොස්තරවරයා පෙළඹෙන්නේ නැත. ලෙඩෙකුගේ රහස්‍ය භාවය රැක ගන්නට බ්‍රිතාන්‍ය වෛද්‍යවරු කටයුතු කරන්නේ මෙසේය.  තමන්ගෙ උතුම් වෛද්‍ය සේවාවත්   දේශපාලනයත් පටලවා නොගෙන ජාති ආගම් කුල පක්ෂ භේද නොතකා සෑම රෝගියාටම එක සේ සැලකීම ගුණාංගය බ්‍රිතාන්‍ය වෛද්‍යවරු  සතුව තිබීම අපේ ලොකු වාසනාවකි.

බ්‍රිතාන්‍ය වෛද්‍ය  වෘත්තියේ ආචාර ධර්ම පද්ධතිය අනුව  බරපතළ අනතුරකට ලක්ව ඇති  රෝගියෙකුගේ ජීවිතය  බේරා ගැනීමට  කළ හැකි හැම දෙයක්ම කිරිමට  මෙහි වෛද්‍යවරු බැඳී සිටී.  හදිසි අනතුරකදී හෝ ආපදාවකදී එයා මගේ ලෙඩෙක් නොවේ ” හෝ “මට හරි මාන්සියි”   කියා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමට හෝ සිද්ධිය නොදැක්කා ලෙස එතනින් මාරු වී යෑමට බ්‍රිතාන්‍යයේ දොස්තවරුන්ට නීතියෙන්  අවසර නැත. එසේ කිරිම  ඔවුන්ගේ ආචාර්ය ධර්ම උල්ලංඝනය කිරීමකි  . උදාහරණයක් වශයෙන් මෙයට වසර විසි පහකට පමණ පෙර බර්මින්හැම් නුවර වෛද්‍ය මධ්‍යස්ථානයක් අසල මහ පාරේ ගමන් කළ පුද්ගලයකු රෝගී වී බිම ඇද වැටුණි. අසල්වාසීහු වහාම ගිලන් රථයකට ටෙලිෆෝන් කොට surgery  යට  දුවගොස් “අනේ ඩොක්ටර් අන්න පාරේ මනුස්සයෙක් වැටිලා ඉන්නවා ඉක්මනට එන්න”යි ඇවිටිලි කළහ.  නමුත් වෛද්‍යවරයා එය ගණන් ගත්තේ නැත. “අද  උදේ ඉඳන් ලෙඩ්ඩු බලල මට හරිම මහන්සියි. අනික මේක මගේ ලන්ච් ඉන්ටර්වල් එක. මම  විවේක ගන්න වෙලාවේ ලෙඩ්ඩු බලන්න මට කොහෙත්ම බැහැ”යි  කී දොස්තරවරයා තම කාමරයේ දොර වසා ගෙන නැවතත් සුළු නින්දකට වැටුණේය. ගිලන් රථය පැමිණෙන විටත්  අහිංසක මගියා  හෘදයාබාධයකින් මරණයට පත්ව තිබුණි.  මරණාසන්න රෝගියෙකුට ප්‍රතිකාර කිරීම උවමනාවෙන්ම ප්‍රතික්ෂේප කිරීමේ චෝදනාව යටතේ පොලිසිය ඔහුට විරුද්ධව නඩු පැවරූ  අතර බ්‍රිතාන්‍ය වෛද්‍ය කවුන්සලය විසින් ඒ රැකියාව අහිමි කරන ලදී.

එසේම දැනට වසර දහයකට පෙර බ්‍රිතාන්‍යයේ රෝහලක සේවය කරන වෛද්‍ය මහාචාර්ය වරයවරයෙකු තම වැඩ මුරය නිම කර බිරිඳ සමග M1 නැමැති අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් ගත්තේ වෛද්‍ය සගයෙකුගේ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා ය.  හදිසියේම ඔහු ඉදිරියෙන්  ගමන් ගත් මෝටර් රථ දෙකක්  ඝට්ටනය  වී පාරෙන් ඉවතට විසිවී ගිනි ගන්නට විය.  බොහෝ රියදුරන් වහාම තම   රථ නවත්වා තුවාලකරුවන් එළියට අදින්නත් ගින්න නිවන්නටත් පටන් ගත්හ.  නමුත් මෙම ඉන්දියන් වෛද්‍යවරයා තම මෝටර් රථය අනිත් මං තීරුවට දමා  වේගයෙන් එම ස්ථානයෙන් පලා ගියේ මගුල් ගෙදරට වෙලාවට යා යුතු බව බිරිඳට කියමිනි.  නමුත් ඔහුගේ අවාසනාවකට එතැන සිටි වෙනත් රියදුරුකු පලායන දොස්තරවරයා  කවුදැයි හඳුනාගත්තේය . අනතුරකදී තුවාලකරුවන්ට ප්‍රථමාධාර  ලබා නොදී පැන යෑමේ චෝදනාව යටතේ වෛද්‍ය කවුන්සලය මොහුට විරුද්ධව නඩු පැවරුවේය. අන්තිමේදී මේ විශේෂඥ වෛද්‍ය   මහාචාර්යවරයාට ජනතා නින්දා අපහාස මැද්දේ තම රැකියාවද අහිමි වීය. මෙයින් පැහැදිලි වන්නේ තුවාලකරුවකු හෝ හදිසි  රෝගියෙකු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටිද්දී නිදහසට කරුණු කියමින් අවස්ථාව මග හැර යාමට බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ට කිසිසේත් ඉඩ නැත.  .

බ්‍රිතාන්‍ය රෝහල්වල සේවය කරන  වෛද්‍ය නිලධාරීන්ට  තුවාලකරුවන්ගේ තරාතිරම බලමින්  ප්‍රතිකාර කළ යුත්තේ කාටද   කිසිම බෙහෙතක් නොදී  ආපහු හරවා   යැවිය යුතු ලේ පෙරෙන පුද්ගලයින්  කවුරුන්ද  කියා තීරණය කිරීමට  නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් තිබේදැයි  විස්තර කරන ලෙසද අරුණ පාඨකයින් මගෙන් ඉල්ලා තිබේ.

දුම්රිය අනතුරකදී හෝ ජාතිවාදී අරගලයකදී මෙහි  රෝහලකට එකවර රෝගීන්  සිය ගණනක් ගිලන්රථ වලින් ගෙන එනු ලැබේ.  එවැනි අවස්ථාවක  තුවාලකරුවන්  100කට ම එකවර ප්‍රතිකාර  කිරීමට හදිසි අනතුරු අංශයට පුළුවන්කමක් නැත.  මෙහිදී ඔවුහු සමහර රටවල මෙන්  තමන්ගේ දේශපාලන  මතිමතාන්තර හෝ හිත තුළ ඇති ආවේගය අනුව ප්‍රතිකාර කිරීමේ  ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමන තුවාලකරුවන්ටදැයි තීරණය  කරන්නේ නැත .  මෙහිදී මුලින්ම ප්‍රතිකාර කළ යුත්තේ කාටදැයි  තීරණය කරන  ක්‍රමවේදයට ඉන්ග්‍රිසියෙන් කියන්නේ   triage  කියාය. Triage ක්‍රමය අනුව ඉක්මනට ප්‍රතිකාර කළ යුත්තේ කවුද කියා වෛද්‍යවරු තීරණය කරන්නේ තුවාලවල බරපතළකම අනුව මිස ලෙඩා ගේ හමේ පාට, ආගම, ජාතිය, රැකියාව හෝ දේශපාලනය අනුව නොවේ. 

මේ සඳහා හොඳම  උදාහරණය 2011 අගෝස්තු මාසයේ ඇතිවූ ලන්ඩන් කැරැල්ලේදී   රෝහල්වල නිලධාරීන් කටයුතු කළ ආකාරයය. මේ බිහිසුණු කැරැල්ල ඇති වූයේ Mark Duggan නැමැති අහිංසක කළු ජාතිකයෙකු පොලිසිය විසින් වෙඩි තබා මරා දැමූ නිසාය. මෙයින් කෝපයට පත් වූ කළු ජාතිකයන් දහස් ගණන් දිගට හරහට අත්බෝම්බ හා අවිආයුධ වලින් පොලිසි හා රජයේ ආයතන වලට පහර දෙමින් ඒවා ගිනිබත් කළහ. දවස් පහක් තිස්සේ ලන්ඩන් නගරයේ ඇති වුණු  කෝලහලවලින් පස් දෙනෙකු මිය ගිය අතර කැරලිකරුවන් 180 ක් හා පොලිස් නිලධාරීන් දෙසිය පනස් දෙනෙකු බරපතළ ලෙස තුවාල ලැබූහ.  ඒ අවස්ථාවේ ලන්ඩන් රෝහල් triage  ක්‍රමය අනුගමනය කරමින් බරපතළ තුවාල කරුවන් කෙලින්ම ශල්‍යාගාරයට ගන්නා ලදී . මෙහි රෝහල් කාර්ය මණ්ඩලවල සිටි බොහෝ වෛද්‍යවරු හා හෙදියන් හා කළු ජාතිකයන් වූ නිසා තමන්ගේ වරිගයේම  තරුණයකු අමු අමුවේ මරා දැමීම ගැන ඔවුන් පසු වූයේ බලවත් තරහකිනි. නමුත් නොදියුණු රටවල් වල මෙන් ඔවුන් ” අපි තමුසෙලාට බෙහෙත් කරන්නේ නැහැ තැනකට ආපහු   ගිහින් ලේ හලාගෙන   මැරෙන එකයි ඇත්තේ “කියා පොලිසියේ තුවාලකරුවන් ජීප් වල දමා ආපසු හරවා යැව්වේ නැත.   “පාරේ යන අහිංසකයින්ට ගහලා තමුසෙලා මහ බලු වැඩක් නේද කරේ” කියා තුවාල වී ට්‍රොලියේ වැටී සිටින අරගල කරුවන්ට ඔවුන් පරුෂ වචනයෙන් බැන් නේද නැත. ඉක්මනට ප්‍රතිකාර කළ යුත්තේ පොලිස් නිලධාරියාට  ද කැරලිකරුවාට ද  පාරේ ගමන් ගත් අහිංසකයාට ද කියා තරාතිරම අනුව ඔවුන් තීරණයක් ගත්තේ නැත. ඔවුන් කඩිනමින්ම ප්‍රතිකාර කොට  බේරා ගත යුත්තේ කාගේදැයි තීරණය කළේ triage  ක්‍රමය අනුවය.  එය කොතරම් වටිනා ක්‍රියාවක් ද. අන්තිමේදී කැරලිකරුවන් හා පොලිස් භටයන් එකම වාට්ටුවට ඇතුළත් කොට ඔවුන්ට කිසි භේදයක් නැතුව එක සේ ප්‍රතිකාර කරමින් රෝහලේ වෛද්‍ය මණ්ඩලය මහජනතාවගේ ජනමාධ්‍ය වල ප්‍රසංසා හා ප්‍රසාදය හිමි කර ගත්තේය.  අදත් බ්‍රිතාන්‍ය රෝහල් වල වෛද්‍ය කාර්ය මණ්ඩලය  කටයුතු කරන්නේ එදා  2011 ලන්ඩන් කැරැල්ලේ දී ඔවුන් තම සේවය ඉටු කළ උදාර අන්දමටමය.  රෝහලට රැගෙන එන තුවාලකරුවකු ගේ දේශපාලනය, රැකියාව ජාතීය  හා ආගම ගැන නොසලකා    triage ක්‍රමය අනුගමනය කරමින්  වෛද්‍ය අවශ්‍යතා අනුව ඔවුන්ට  ප්‍රතිකාර කරන බ්‍රිතාන්‍ය රෝහල් අනිත් රටවල් වලට  දෙන්නේ මහඟු ආදර්ශයකි.

එසේම තමන්ගේ ප්‍රතිකාර ලැබීමට එන පුද්ගලයා  විරුද්ධ පක්ෂයක දේශපාලනයෙකු,  වෙනත් ආගමක හෝ  ජාතියක පුද්ගලයකු   නිසා ඔහුට මම බෙහෙත් කරන්නේ නැතැයි යන වැරදි ආකල්පයේ නොසිට  හැමෝටම  සමානාත්මක ලෙස ප්‍රතිකාර කරන බ්‍රිතාන්‍ය  වෛද්‍යවරුන්ගෙන්    සදාචාරය කුමක්දැයි අපි කවුරුත් ඉගෙන ගත යුතුය

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress