පිච්චිය නැතත්…
Posted on May 17th, 2022

ප්‍ර සමරසිංහ

පොඩි වලවල් හාරා, ඒවට සීරුවට ගස්ලබු ඇට දමා, උදේ හවස වතුර වත් කර, පොහොර වර්ග දමා හැදු එකම ගස්ලබු ගහක් අපේ ගෙවත්තේ එකල තිබ්බේ නැත. වත්ත පුරා තැනින් තැන තිබුනේ ගස්ලබු ගස්ය. පැලේ ලොකු වෙන කොටවත් ඒ වටේට සුද්ද කර කොළ රොඩු ටිකක් යහමින් එකතු කලේද යලටමහටය. කිසි සාත්තුවක් නැතුව ලොකු වුන ගස් වල ගෙඩි හැදුනේ අපට කාල හමාර කරන්නටත් බැරි තරමටය. හුඟක් ගස් වල හැදුනු ගස්ලබු ඉතාමත් මිහිරිය, සමහර ගස්ලබු ගස්වල ගෙඩි දියරහය, කටේ තියන්නට බැරිය. දියරහ ගෙඩි අපි නොකෑවාට ලේන්නු, කුරුල්ලෝ උන්ගේ මනදොල එයිනුත් මනාව සන්තර්පණය කර ගත්තේ අපෙන් අවසර නොලබාය.

ඉඳුණු ගස්ලබු රසනහර පිනා යන පළතුරක්ය. දෙහි යුෂ හා මිශ්‍ර කර රසවත් බීමක් හදා බොන්නටද හැකිය, ප්‍රණිතය. පැහුණු ගස්ලබු උයන්නට හැක. ගස්ලබු මැල්ලුම, අලුකෙහෙල් බඩ හා ගස්ලබු එකට දැමු වැන්ජනය ද කෑම පිඟාන ගුණවත් කර රසෙන් නහවන්නේය. ගස්ලබු නැති අච්චාරුවක් වරදින අලුත් අවුරුද්දක් තිබුනා මතක නැත. යන්තමට ඉදි ගෙන එන ගස්ලබු, තීරු කපා තම්බා, උලුප්පා ගත් පොල් කෑල්ලක් එක්ක රස නොබැලු දිවකින් වැඩක් නැත. ලපටි ගස්ලබු කොළ වාෂ්පයෙන් තම්බා හෝ මැල්ලුමද බොහෝ රසය. ඉතා පෝෂ්‍ය ගුණයෙන් අනූන ගස්ලබු, මේ වනවිට වානිජකරණය වී, වසවිස පොහොර යොදා මහා පරිමාණයෙන් වගා කරන්නේය. ඒ නිසා වෙළඳපොලෙන් ගස්ලබු ගෙඩියක් මිලට අරන් කනවාට වඩා නොකා ඉඳීම ගුණදායකය.

වෙසක් පෝය සතියට කලාතුරකින් අටපට්ටමක් පැටව් එක්ක ගෙදර මිදුල හැඩ කලත් අපි වැඩිපුර කලේ පහන් පත්තු කිරීමය. මැටිපහන් ගෙදර තිබ්බේ නැත. ඒත් හොඳ ආදේශකයක් තිබුනේය, ඒ ගස්ලබුය. වත්තේ හැදුනු දියරහ ගස්ලබු ගස් කීපයක ගෙඩි ඇත්තටම හැදුනේ අපට වෙසක්, පොසොන් කාලයට පහන් පත්තු කරන්නටද වෙන්නට ඇත. තරමක් මෝරපු ගස්ලබු ගෙඩියක් දෙකට පලා ඇට අයින් කරන්නටත්, පහන්තිරය රඳවන්නට පොඩි කැපුමක් දමන්නටත්, අඩිය සමබර වෙන්නට පොඩි කොටසක් කපා ඉවත් කරන්නටත් මහ කාලයක් ගියේ නැත. ඒ වාගේ පහන් පහළොවක් විස්සක් පත්තු කර ලැබූ සුවය, ඒ සුන්දරත්වය අදත් මනස පුරා ඇත.

විවෘත ආර්ථිකයට පින්සිද්ධ වෙන්න අපි බොහෝ දෙනා ‘කුල්ටොයිඩ්’ වීමු. නා නා විධ සැරසිලි වෙළඳ පොලෙන් මිලට ගෙන ගේ දොර සැරසීම පොරත්ව හැසිරීමකි. වෙසක් කූඩු ද අටපට්ටම හා පැටව් ද ගන්නේ කඩෙනි. ලයිට් බලුබ් වැල්, බකට්, පහන් කඩෙන් ගේන්නේ අවුරුදු පතාය, එක එක සැම්පලේ ඒවා ඇත, මේ අවුරුද්දේ ගෙනාපුවා ඊගාව අවුරුද්දේ සරසන්නට යොදා ගන්නේ නැත. අතමිටේ කාසිය, කඩේ බඩුය, මිලට ගන්නේය, පාවිච්චි කරන්නේය, විසිකරන්නේය. පරිසරයට හෙන ගැහුවත් කමක් නැත. රිසයිකල් කිරීම කුල්ට් නැත. ලයිෆ් එක බිසී නිසා දරු මල්ලෝ එක්ක වෙසක් කූඩුවක් හදන්නට, පහනක් පත්තු කරන්නට වෙලාවක් නැත. ආමිස පූජාව හරියට කර ගන්න බැරි එකේ ප්‍රතිපත්ති පූජාව ගැන කතා කිරීමද අනුවණ කමකි. ඔලුබක්කෝ නටමින් දන්සල් වඳින, ධාරාණිපාත-තෝරන් බලන්න වාහනෙන් කොළඹ යන, කොටින්ම කානිවල් සිහියෙන් වෙසක් පෝය සැමරීම නූතන ට්‍රෙන්ඩ් එකය. අතහැරිමට වඩා මේ දවසටත් කෙරෙන්නේ තව තවත් බදාගැනීමය. සරල විය යුතු මේ දවසත් සංකීර්ණ කර ගෙන සසර දික් කර ගන්නා බුද්දාගම්කාරයෝ ගැන කතා නොකර සිටීම සුබදායකය.

හැම කුණු ගොඩක්ම කොවිඩ් වසංගතයට පටවා, කනුකුනු ගාමින් “අයියෝ! වෙසක් පෝය 2020දීත්, 2021දීත් හරියට සමරන්න බැරි වුනා, 1977 ඉඳල ඇතිකළ හොරගුහා සිස්ටම් එකේ ප්‍රථිපල වැල්පොලිය වාගේ වැඩි වෙලා, 2022 වෙද්දි අතේ පිච්චියම නැති වුනා, ඒ නිසා වෙසක් අපට නැතෝ” කියා ලතෝනි දෙන්නෝ වෙති. ‘කවදාවත් නොලැබෙන අපේ නිවන් සැප’ කියා දෙයක් ඇත්තේ ඕල්කොට්-බුද්දාගම්කාරයන්ටය. නිවන ‘ලබා ගන්නට’ බැරිය. නිවන ‘අපේ නිවනක්’ නොවේය. ‘නිවන් සැප’ කියා දෙයක් හෝ තැනක්ද නැත. සසර ඇවිද ගෙන යන අතරතුරක තමන් විසින්ම සම්මවබෝධයෙන් සසර නවතා ගත් ඇසිල්ලේ පටන් නිවනය.

වෙසක් පොහෝ කාලයට පහන් පෙළක් දල්වන්නට අතමිට සරු වෙන්නට වුවමනා නැත. මල් වට්ටියක් පුජා කර බුදුරදුන් වඳින්නට හතර මහ නිධානෙ පහල වී තිබිය  යුතු නැත. බණ පදයක් අහන්නට කාසි ඕන නැත. සිල් පදයක් රකින්නට හෝ ප්‍රතිපත්ති පූජාවට සාක්කුවේ ඇත්තේ සොච්චමක්ද මහා ධනස්කන්ධයක්ද යන්න බලපාන්නේ නැත. භාවනාවක යෙදෙන්නට කාළගුණය සතුරෙක් හෝ මිතුරෙක් වන්නේද නැත. නැති බැරි මනුස්සයෙක්ට දෙන්නෙක්ට, බත් පිඬක් දෙන්නට සප්ත සාගරය උතුරා යන තරමට කාසි ඕනත් නැත.

ඉබේ හැදෙන්නේ නැත්නං ගස්ලබු ගෙඩියක් හොයා ගෙන ඒ ඇට පැල කර, ගස් පහක් හයක් වස විසෙන් තොරව සාත්තු කර හදා ගන්නට කාලය ඇවිත් ඇත. දිව පිනවන්නේය. කුස පිරෙන්නේය. ශරීර-හොරු වීමෙන් වැළකෙන්නේය. ගස්ලබු ගෙඩියකින් පහනක් හදා, පහන් තිරයක් දා ආලෝක පූජාවේ යෙදීමෙන් ලැබෙන ප්‍රීතිය, විදුලි බලය වියදම් කරන ලයිට් බලුබ් වැලේ නැත. පරිසර හිතකාමිය. ඉන් සකල ලෝකයාට මහත් පල, මහත් ආනිසංශ ද ලැබෙන්නේය.

ප්‍රඥාව පහල වේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress