ගෝල්පේස් අරගලය: ජන සභා පාලන ක්‍රමයකට <සිස්ටම් එක චේන්ජ් කිරීම> (විප්ලවයක් රහිත) විප්ලවයකි – Part-II
Posted on June 21st, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.
‘ටිබැට් (සිකීම්) ජාතික ඇස්. මහින්ද හිමි හිට්ලර්ගේ ඔත්තුකාරයෙක්’
-බුදුන්ගේ රස්තියාදුකාරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගලට අනුව
වියළි කලාපයේ වාරි කර්මාන්ත සිතියම-1905
හැඳින්වීම
අරගලකාරයින් යන්නේ දළදා මාළිගාවටද? මල්වතු-අස්ගිරි පන්සල් දෙකටද? මා එසේ අසන්නේ, උපදේශයක්, අනුසාසනාවක් මිස, සංඝ ආඥාවක් නිකුත් කිරීමට මේ හාමුදුරුවරුන් දෙනමට හැකියාවක් නැති නිසාය. අරගලකරුවන්ව බ්ලෙස් කල ක්‍රිස්තියානි පූජකයාද මේවා දන්නේ නැත. ෆත්වා නිකුත් කරන්නේ ඉස්ලාම් ආගමේ අයටොල්ලලාය. සිවුර කැලයක් කරගෙන ඉන්නා භික්ෂූන් ඉවත් කිරීමට සංඝාධිකරණයක් නීතිගත කරණ ලෙස කල ඉල්ලීමටවත් පාලක සිංහල සිස්ටම් කළු සුද්දෝ ක්‍රියා කලේ නැත. 2014 ජනාධිපති අපේක්ෂකයා තෝරණ කාලයේ ඇමෙරිකන් තානාපතිනි මිෂෙල් සිසන් අටපිරිකර අරගෙන ගියේ මහනුවරට නොව කෝට්ටේ නාගවිහාරයටය.
ප්‍රමාදවී හෝ අරගලයේ රැවුල්කාරයින්ට <පන්සල> මතක්වීම හොඳය. 1930 මාර්තු-අප්‍රේල් ගාන්ධිගේ සෝල්ට් මාර්ච් එකට පසුව ලංකාවේ ඊට සමාන ගමනක් ගියේ 1957 ඔක්තෝබර් දී JRJ (& Dudley) විසින්ය. එය නුවර පාරේ ගම්පහ ඉඹුල්ගොඩදී නතර කරන්නට සිදුවූයේ ගල් වර්ෂා මතය. එදා සිට මේ පාගමන් දේශපාලනය විහිළුවක් විය. අරගල ලමයි බස් එකෙන් නුවරට ගියා නම් මීට නරකද? ඔවුන්ගේ සංදේශයෙන් ගෝටාගේ මස් රාත්තලම ඉල්ලීම ඉවත්කර නැත්නම් ගමන නිෂ්ඵල ව්‍යායාමයක් පමණමය. තවද පැතුම් කර්නර්ගේ, සේපාල්ගේ, සුදත්තගේ, අභිෂේකා ප්‍රනාන්දු කෙළීගේ, දර්ශන් හඳුන්ගොඩගේ නිරාගමික කතාවට දැන් වෙන්නේ කුමක්ද? සිංහල බෞද්ධ උරුමය ගැන විජේවීරගේ පුතා උවිඳුගෙන් අරගලකරුවන් මෙන්ම නාගානන්ද ද පාඩම් ඉගෙනගත යුතුය.
ගැමි දිරිය ව්‍යාපෘතිය මරා දැමීම
මෙම ලිපියේ I කොටසින් ගැමි දිරිය වැඩ සටහන ගැන සඳහන් කලෙමි. පක්ෂ දේශපාලකයින් බොරුවට ගෙනා වැඩ සටහන් වලට වඩා එය වෙනස්වූයේ එය දේශපාලකයා නැති ව්‍යාපාරයක්වූ නිසාය. ඊට පසුව ගෙනා තවත් දෙකක් නම් සිරිසේන ජනාධිපතිගේ ග්‍රාම ශක්ති (2017 ඔක්තෝබර්) හා රනිල්-මංගල-කිරිඇල්ලේලාගේ ගම්පෙරලිය (2018 ජූලි) (Gamperaliya Rapid Rural Development Project) යන ජරමර දෙකය. දිළිඳුකම පිටු දැකීමේ ජාතික වැඩ සටහන අනුව හෙවත් ග්‍රාම ශක්ති යටතේ (poverty alleviation) 2020 වනවිට GSN 5000 ක් මහජනයා විසින් පාලනය කරන්නට බලාපොරොත්තු විය. කැතම දේ නම්, අළුත්කල (updated) ගැමි දිරිය 2040 ක් මේ ග්‍රාම ශක්ති වැඩේට එකතු (add) කරනවා යයි කීමය. මේ යහපාලන ව්‍යාපාරද තම පාක්ෂිකයින්ට කොන්ත්‍රාත් ලබාගෙන ගසා කෑමට සදා දුන් අවස්ථා මිස අන්කිසිවක් නොවීය. හැමදෙනාම ආවඩන ජන සභා සංකල්පය ක්‍රියාවට නංවනවා කියන්නේ ගැමි දිරිය වැඩ සටහන තවත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමය. නැතහොත් පක්ෂ දේශපාලකයා ඉවත් කර ගමේ මහජනයාට බලය පැවරීමය.
ජන සභා සංකල්පය – ප්‍රවේශ තුනක එකතුව
මීට පෙර ලිපි වලින් අරගලකාරයින්ට පෙන්වා දීමට උත්සාහ කලේ ජන සභා සංකල්පය ලේ වැගිරීමකින් තොරව රටේ සිස්ටම් එක වෙනස් කිරීමේ විප්ලවයක් ය යන්නය. එම ලිපි වලදී යොදාගත් චක්‍රාකාර රූප සටහනෙන් හා ඉංග්‍රීසි ටේබල් එකෙන්ද, අරගලකාරයින්ට, පක්ෂ දේශපාලකයින්ට, හැම වැඩක්ම බකල් කරණ නිලධාරීන්ට හා රක්ෂාව හරියට නොකරණ විශ්ව විද්‍යාල බොහෝ ගුරන්ට පෙන්වා දෙන්නට සැදුවේ (1) නීති විද්‍යාවේ හා (2) භූගෝල විද්‍යාවේ මූල ධර්ම (3) බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදා දර්ශනයට අනුව ගලපාගෙන ජන සභා සිස්ටම් එක යටතේ තිරසර සංවර්ධනයක් කරා යාහැකි ආකාරයය.
මගේ ගම, අපේ ගම, අපි රුහුණේ
සෑම සතෙකුටම වාගේ උන් විසින් වෙන්කර ගත් ප්‍රදේශයක් (territory) ඇත. මෙය උන් තම මුත්‍රා මඟින් කර ගැනීම සුලභ දර්ශණයකි. අලි කොටි වැනි සතුන්ට මෙන් නොව, මිනිසාට දිනකට ඇවිදිය හැකි දුර සීමිතය. එහෙත් ආදි මිනිසා සමූහ වශයෙන් තම ප්‍රදේශ වෙන්කර ආරක්ෂාකර ගත්තේ ගෝත්‍ර (tribes) වශයෙන් එකතුවය. කොළඹ රක්ෂාව කරණ අය දිග නිවාඩුවක් ලැබෙන තුරු බලා ඉන්නේ මෙසේ ගමට යෑමටය. මෙය උතුරේ දමිළ තරුණයින් කරණ හැටි මා දැක ඇත. ජන සභා සංකල්පයේ මනෝ විද්‍යාත්මක පසුබිම මෙයය. කුඩා ගමට, නගරයට කුඩා කාලයේ සිට යමෙකුට ඇතිවන මානසික බැඳීමය. වඩා සාමාජික හා ආර්ථික වශයෙන් බැලුවොත් ගම ගැන, ගමේ ගොවිතැන වැනි දේ ගැන ඇති දැණුම හා අත් දැකීම් සම්භාරය පිටින් එන අයට හෝ කොළඹ නිලධාරීන්ට නැත. හරි නම් කළ යුතු මෙම දැණුම (people-knowledge) ලේඛණ ගත කිරීමය. දුසිම් ගණනක් සිටින විශ්ව විද්‍යාලවල භූගෝල විද්‍යා ගුරුවරුන්ට මෙය පහසුවෙන්ම ඉටුකල හැකි ජාතික මෙහෙවරක් නොවේද? ජන සභා ක්‍රමයක් යටතේ මෙම පීපල් පවර්, පීපල් කැපිටල් (මහජනයා තුල ඇති දැණුම් සම්භාරය හා විභවය ) දෙසට යායුතුය. ගෝටාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රකාශණයේ ජනමූල සභා වශයෙන් දක්වා ඇත්තේ මේ අදහස නොවේද?
1930 ස් ගණන්වලදී භූගෝල විද්‍යාඥ ඩඩ්ලි ස්ටෑම්ප් විසින් බ්‍රිතාන්‍යයේ ඉඩම් පරිභෝගය පිළිඹඳ සමීක්ෂණයක් කර සැදූ සිතියම් 1960 ගණන් දක්වාම නැවත නැවතත් යත්කාලීන කර ආර්ථික සැළසුම් වලදී ප්‍රයෝජනයට ගන්නා ලදී. එහිදී ඔහු පාසැල් සිසුන්වද ඒ සඳහා සහභාගී කර ගත්තේය. කාලයක් ගියවිට යම් GSN ඒකකයක ඉන්නා සමෘධි නිලධාරියා ඇතුළු පිරිසට මේ කාරණා දැනගැනීමට ලැබේ. එහෙත් ප්‍රාදේශීය ලේකම්ලාට ඒවා ගැන ඕනෑකමක් තිබේද? (ග්‍රාම සේවක වෘත්තිය යොදවා ගමේ දත්ත සිතියම් ප්‍රභාකරන් විසින් සටන් විරාම කාලයට පෙර සිටම පිලියෙල කෙරව්වේය). මේ හැමෝටම තිබෙන්නේ බොරු උපාධි අධ්‍යාපන ක්‍රමයකි. සිස්ටම් එක වෙනස් විය යුතුය. සිංහල මාධ්‍යයෙන් විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමට ඉඩලැබී, පිටරට ගොස් ඉංග්‍රීසි කටගාගෙන, දරුවන්ද කෙසේ හෝ පිටරට පටවන ප්‍රොපෙසර්ලා දැන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ඉල්ලා පෙත්සම් යවන්නේ සිස්ටම් එකේ දෝෂ නිසාය. මොවුන් වර්ෂයකට වරක්වත් සිංහලෙන්වත් පර්යේෂණයක් කර ප්‍රසිද්ධ කරනවාද? අරගලයට ආවඩන්නේ මේ අයම නොවේද?
‘Think globally, act locally.’ -Patrick Geddes, Scottish Town Planner (1915)
‘All politics is local.’ – Tip O’Neill, ex-speaker of US House of Representatives (1977-87)
ගම ආර්ථිකයට සම්බන්ධකර ගැනීම
ලංකාවේ හාමුදුරුවරුන්ට තිබෙන්නේ කොහේ ගියත් අමතක නොවන වාසගම නම් තමන් උපන් ගමේ නමය. යමෙකුගේ වාසගම යයි ආදි කාලයේ (පෘතුගීසීන් එන්නට පෙර) කියන්නට ඇත්තේ ඔහු/ඇය වසන ගම විය යුතුය. ඉංග්‍රීසියෙන් Out of sight, out of mind කියන්නේද මේ උපන් ප්‍රදේශයට ඇති ආලයේම තවත් පැත්තකටය. ගම්පෙරලියේ ජිනදාස, මැලිබන් මුදලාලි, නවලෝක මුදලාලි, කරත්ත පිටුපස යමින් ගමෙන් පලා ආවේ නගරයේ රක්ෂාවක් සොයා ගෙනය. ලංකාවේ නොයෙක් උදාවල්, නැඟුමන්, මඟින් කර ඇත්තේ නගරයට ඒම අඩුකිරීමට ගම සමෘධිමත් කිරීම නොව ගම කාබාසීනීයා කර දැමීමය. ජපානයේ සංවර්ධනයේදී ගම විනාශ නොකර ගම ආර්ථිකයට සම්බන්ධ කරගෙන නගරයේ යෝධ පැක්ටරියට අවශ්‍ය කුඩා කොටස් ගම් වල නිෂ්පාදනය කෙරේ. ඇමෙරිකාවේද මෙවැනි බැඳීමක්, බැඳීම් ජාල, දක්නට ලැබේ. මෙවැනි උදාවල් හා ගම නැඟුම් ව්‍යාපාර හා අනිත් මහප්ප්‍රාණ ප්‍රොජෙක්ට් වලින් අන්තිමේදී මහජනයාට සැලසෙන සෙතක් නැති බව ස්කොට් ජේම්ස් විසින් රුසියාව, නයිජීරියාව වැනි රටවලින් උදාහරණ දක්වමින් පෙන්වා දී ඇත.
ලංකාවේ සිදුවන්නේ බලයට එන ආණ්ඩුත්, ඒවායෙන් ඉඩම් ලබාගන්නා විදේශ කොම්පැනිත් මහා පරිමාණ ධන නාස්ති හරහා පරිසරයට කරණ විනාශය (Scott, James C. (1998). Seeing Like a State: How Certain Schemes to Improve the Human Condition Have Failed. Yale University Press). ගමට විදුලි බලය ලබාදීමෙන් (rural electrification) වෙන රටවල සිදුවූයේ ගම්වල සුළු පරිමාණ ගෘහ නිෂ්පාදන ක්‍රියා බිහිවීමය. කෘෂි-කර්මාන්තය (agro-industrial) ආශ්‍රිතව මොනතරම් මෙවැනි ක්‍රියා සිදුකල හැකිද? මීට උදව් දිය හැකි රාජ්‍ය ආයතන කොපමණ තිබේද? මේවායේ නිලධාරීන් ව්‍යපෘති අරඹා ඇමතිලාට ඒවා ගැන ඉගැන්විය යුතුය. ගැමි දිරිය මඟින් සිදුකලේ එයය. ජන සභා මඟින් කරන්නේ ඇමතිලාව ගමට ඇඟිලි ගැසීමෙන් වැලැක්වීම නමැති සිස්ටම් චෙන්ජ් එකය.
ග්ලෝබල් විලේජ්
ලෝකය සමතලාය (The World is Flat), ලෝකය ගමකි (global village) යන ජාත්‍යන්තර කතා ඉදිරියේ, සෑම දේශපාලනයක්ම ලෝකල් යන ඇමෙරිකාවේ හිටපු කතානායකගේ ඉහත කියමන ජන සභා ගැන කතාකිරීමෙදී ඉතාමත් වැදගත්ය. සිස්ටම් චෙන්ජ් උණෙන් පෙලෙන අද දවසෙ පවා, අළුත් සන්ධාන හදන්නට හදන, ඩලස්, චම්පික, නාලක ගොඩහේවා, විමල් හෝ ගම්මන්පිල යන අය පවා ගමට බලය පැවරීමේ සිස්ටම් චේන්ජ් එක ගැන නිහඬය. LLRC කොමිෂම පමණක් නොව ඔරුමිත්තනාඩු ජරමරය පවා බිම් මට්ටමින් ජනතාව බලගැන්වීම කතාකලේය. පවතින දේශපාලන ක්‍රමය යටතේ ගමට නියම වශයෙන් බලය පැවරීමට (meaningful empowerment) පක්ෂ දේශපාලක කළුසුද්දන් සුදානම් නැත. එය වටහාගෙන, ජන සභා වල අගය තේරුම්ගෙන, අරගලකරුවන් ඒ සඳහා සටන් කලයුතු මේ නිසාය.
පරිසරවාදීන් හා රටවල් කඩන්නන්
මෙහි දෙපැත්තක් තිබේ. (A) එක පැත්තක් ගමට බලය දීමට පක්ෂවන ආකාරයේ අයය. ඔවුන් පරිසර විද්‍යාත්මකව තිරසර සංවර්ධනය දෙස බලන පිරිසය. (B) අනිත් පක්ෂය ජාතිය, ආගම, භාෂාව අනුව රටවල් බෙදීමට කැසකවන අයය. මොවුන් මානව අයිතිවාසිකම් යන කඩතුරාවට මුවාවි පරණ යටත් විජිතවාදයට අළුතින් කඩේයන R2P කට්ටියය. ඒ කාලයේ කඩුව හා බයිබලය අත්දෙකෙන් ගෙනා අය, ශත වර්ෂ 5 ක් රටවල් බෙදා පාලනය (divide & rule policy) කලාට පසුව, දැන් ඒ රටවල සුළු ජනවර්ග ආරක්ෂා කිරීම සිය දේව කාරියක් යයි දිවුරයි! ඉහතින් සඳහන් කල මහා පරිමාණ ව්‍යපෘතිකාරයින්ද මේ රටවල් කඩන පැත්තේ ඉන්නේ, එක රටක් වෙනුවට මරා ගන්නා රටවල් දෙකක් තිබේ නම්, එය ඔවුන්ගේ ජාවාරම් සඳහා වාසිදායක නිසාමය.
*(A) Small Is Beautiful (Buddhist Economics)
ෂුමාකර්ගේ ස්මෝල් ඊස් බියුටිෆුල් (Small Is Beautiful: Economics as If People Mattered, Ernst F. Schumacher, 1973) යන අදහසෙන් ආරම්භවී, කර්ක්පැට්‍රික් සේල්ගේ හියුමන් ස්කේල් (1980), හා Human Scale Revisited: A New Look at the Classic Case for a Decentralist Future (2017) මතවලින් ඉදිරිපත්වූයේ මිනිසාට මේච්චල් කරගත හැකි භූමි ප්‍රදේශවල මිනිසාගේ කටයුතු පරිපාලනය කරගැනීමට ඉඩ සළසා දීමේ යෝග්‍යතාවයය. තිරසර සංවර්ධන මාවත එයය. ෂුමාකර් බෞද්ධ ආර්ථික විද්‍යාවක් ගැනත්, මහජන සුභසිද්ධිය පිළිඹඳවත් ඉදිරිපත් කල අදහස්, ගාන්ධිගේ සරල දිවි පැවැත්මට අදාල ප්‍රායෝගික දර්ශනය සමඟ හොඳාකාරවම ගැලපුණේය. ඉන්දියාවේ ප්ලෑනින් කොමිෂමට වාර්තාවක් සපයමින් ෂුමාකර් 1962 දී පෙන්වා දුන්නේ ශ්‍රම බලකාය බහුල එහෙත් ප්‍රාග්ධනය හිඟ රටවල් තෝරා ගතයුතු <අතරමැදි කාර්මික තාක්ෂණ> intermediate industrial technology ක්‍රමවේද බවය. දැන් මෙය සුදුසු, <ගැලපෙන> appropriate technology ක්‍රමවේද යනුවෙන් හැඳින්වේ.
ගම අගය කල කර්ක්පැට්‍රික්, අවුරුදු 50 ක් පුරාම ලියුවේ ලෝකය, ලෝකය විසින්ම විනාශ කරගන්නා ආකාරය ගැනය. ඔහු සැළකුවේ UNO එක නිෂ්ඵල ආයතනයක් ලෙසය. 2020 වනවිට ආපදා තුනක එකතුවක් සිදුවනවා යයි ඔහු 2020 දී ලියූ ‘The Collapse of 2020’ යන කෙටි, සැර, පොතේ සඳහන් කර ඇත. ඒවා නම්, ලෝක මුදල් ආර්ථිකය කඩා වැටීම, දුප්පතුන් හා පොහොසතුන් අතර යුද්ධ හා විශාල පරිමාණයේ පරිසර ආපදාත් ය. …Sale believes the world is destroying itself. In a piece for LewRockwell.com Sale wrote, the government we have in this country is too incompetent, inept, corrupt, wasteful, and inefficient, too centralized, undemocratic, unjust, and invasive, and too unresponsive to the needs of individual citizens and small communities, and all because it is too big.”
මෙවැනිම ජනහිතකාමී ප්‍රවේශයක් ගත් ඇමෙරිකන් ඉතිහාස හා දේශපාලන විද්‍යා මහාචාර්ය වරයෙක් නම් සිය තරුණ කාලයේදී අහසින් ගොස් සතුරන්ට බෝම්බ දැමූ හොවාර්ඩ් ෂින් ය. ඇමෙරිකාවේ ජනයා එහි සිටි දේශීය පාලක පන්තියට විරුද්ධව නැඟී සිටින්නට පටන්ගත් විට, ඔවුන් එම විරෝධය බ්‍රිතාන්‍ය රජු දෙසට හරවා රටේ බලය අල්ලා ගැනීම නමැති, ඇමෙරිකන් විප්ලවයේ ශිෂ්‍යයින්ට උගන්වන්නේ නැති පැත්ත ඔහු සාධක සහිතව පෙන්වා දුන්නේය. පක්ෂ දෙකකට බෙදී මේ අයගේ පරම්පරා අදටත් රට මිස්මැනේජ් කරමින් සිටී. ලංකාවේ අර්බුද හාවෙකුගේ කකුලේ විශාල තුවාලයක් නම්, ඇමෙරිකාවේ අර්බුද, අලියෙකුගේ කකුලේ සුළු තුවාලයක් වැනිය. සිස්ටම් එකට එයට ඔරොත්තු දීමට, දරාගන්නට, හැකිව තිබේ. අරගලකාරයින් යොදවා ගෙන jvp, පෙරටුගාමි හා අනිකුත් ලංකාව කැබලිකිරීමේ බලවේග කරන්නේත් ෂින් විසින් සිය (A People’s History of the United States, Howard Zinn,1980) පොතේ පෙන්වා දෙන කුමන්ත්‍රණය වැන්නකැයි මට සිතේ.
(B) ජන සභා-ගම් සභා-පංචයාත්- අරහං මානව අයිතිවාසිකම්කාරයෝ
පරණ යටත් විජිත වල පාලන බලය භාරගත් කළු සුද්දන්ට, සුද්දන් විසින් ඉතාමත් සාර්ථක ලෙසාට ගෙනගිය බෙදා පාලන උපක්‍රමයෙන් ගැලවීමට දාර්ශණික හැකියාවක් නොවීය. 1923/4 කාලයේ මැනිං ආණ්ඩුකාරයා යෝජනා කල සුළු ජනවර්ග එකතුව මහජාතිය හා කරට කර සිටීම, සියේට 45/50 මට්ටමින් වත් භාර ගන්නට 50/50 ම ඉල්ලු පොන්නම්බලම් අකමැති විය. ක්‍රමයෙන් බලය අල්ලාගත් සිංහල පක්ෂ දේශපාලකයින් කලේ ගම් මට්ටමින්ම සුද්දගේ බෙදා පාලන උපක්‍රමය, ගම හා පවුල් මරාගන්නා තරමට අති දක්ෂ ලෙස තම පැවැත්ම උදෙසා ක්‍රියාවට නැංවීමය.
මේ පක්ෂ දේශ පාලකයින්ට මේ සඳහා අළුත් උප්පරවැට්ටියක් ඇමෙරිකන් ප්‍රොපෙසර්ලා විසින් ලබා දුන්නේය. එය මැනිංගේ ප්ලෑන එහි අන්තය කරා ගෙන යාමකි. උදාහරණයක් වශයෙන්, සිය උපදේශක දයාන් ජයතිලක විසින් ලියා දුන්නා විය හැකි කතාවක් දියවන්නාවේදී කරමින් සජිත් ප්‍රකාශකලේ රටට නන්මැජොරිටේරියන් දේශපාලන විසඳුමක් අවශ්‍ය බවය. මින් අදහස් කරන්නේ ලංකාවේ 13-A යටතේ කලා මෙන්, භාෂාව, ආගම අනුව සුළු ජන වර්ග වලට වෙනම ප්‍රදේශ වෙන් කර දීමය. එහි අවසාන ජවනිකාව වෙන්නේ දේශ සීමා ගැටුම් ඇතිවී ඉන්පසු වෙනම රටක් ලෙස යුද්ධ කරමින් දෙපාර්ශයම විනාශ වී යෑමත්, විදේශ බලවේග සිය හොද්ද බොරකර ගැනීමත්ය.
යුරෝපීය චින්තනක්‍රමයට (Euro-centric mindset – යුරෝපය අති ශ්‍රේෂ්ඨය!), කොටුවී සිටින ලංකාවේ පාලක කළුසුද්දන් පන්තිය හා එන්.ජී.ඕ ඩොලර් කල්ලි, යටත් විජිතවාදීන් විසින්ම සිය පරණ යටත් විජිතවල ඇතිකල රටවල ජන වාර්ගික අර්බුදවලට විසඳුම් වශයෙන් මෑතක සිට (R2Pද සමඟ) ඇමෙරිකන් හා යුරෝපා ප්‍රොපෙසර්ලා විසින් දේශනා කරණ <නන් මැජෝරිටේරියන් ලණුව> ගිලගෙන සිටී. මෙහි න්‍යායාචාරියා වන ඩොනල්ඩ් හොරෝවිට්ස් (Ethnic Groups in Conflict, Donald L. Horowitz. 1985) හෝ වඩා මෑතකාලයේ ‘වයි නේෂන්ස් ෆේල්’ (Why Nations Fail, 2012) යන පොත ලියූ දෙන්නාවත්, ඉන්දියාවේ පංචයාත් හෝ ලංකාවේ ගම් සභාව ගැන වචනයක්වත් නොලියයි! මොවුන් හා <සොෆ්ට් පවර්> ගැන ලියන ජෝසෆ් නයිලා (Soft Power: The Means To Success In World Politics – Joseph S. Nye, 2004), බටහිර ආධිපත්‍යය, කොම්පැනි ධනවාදය සඟවා ගන්නේ, මානව අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය යන මායාවල් ඉදිරියට දමාය. රටවල් කැඩීමේ ව්‍යාපාර වල දේශපාලකයින්ට බලය ලබාදීම මිස, එම සුළු ජන කොටස් වල ජනයාට බලය පැවරීම මඟින් රටවල් නොකඩා සහජීවනය ගොඩ නැඟීම මේ අය අමතක කර ඇත. ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන් වරක් කී පරිදි ජාති, භාෂා, ආගම් අනුව ගියොත් ලෝකයේ රටවල් 5000 ක් පමණ බිහිවන්නේය! හොරෝවිට්ස්ලා ගේ සූත්‍රය යොදා ගොඩ ආ එකම රටක්වත් ලෝකයේ නැත. සිදුවූයේ රටවල් කැඩීම හා ඉන් පසු ඒවා අතර සිවිල් යුද්ධ හටගැනීමය. ලෙබනනය, සුඩානය, ඊස්ට් ටයිමෝර් උදාහරණය. සොෆ්ට් පවර් කියන්නේ ආයුධ වෙනුවට ඩොලර් පගා, ට්‍රෝජන් අශ්වයෝ, කුමණ්ත්‍රන යනාදී කෞටිල්‍ය ගනයේ, දියරෙද්දෙන් බෙල්ල කපන උපක්‍රම වලටය.
බලතල බෙදීමේ න්‍යාය: මොන්ටෙස්කි ඔළුවෙන් හිට ගැනීම
මොවුන් වර්ණනා කරණ තවත් දෙයක් නම් බලතල බෙදීමේ න්‍යායය. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන රටක ආණ්ඩු යන්ත්‍රණ එන්ජින් තුන වෙන්කර තැබීමය. ඇමෙරිකාවේ මීට අමතරව, නිලධාරීන්ගේ යන්ත්‍රණයක් මෙන්ම කොම්පැනි ජන මාධ්‍ය බල ඇනියක්ද සිටී යයි කියැවේ. දැන් දැන් එලිවෙන කරුණු අනුව ලංකාවේද මෙම අළුත් කොටස් දෙකම ගජරාමෙට රට වනසමින් සිටී. වෙනම සයිලෝ ලෙස ඇමෙරිකාව ගිය ගමන මේ වනවිට අර්බුදයකට මුහුණ පා සිටී. ඇත්තවශයෙන්ම මොන්ටෙස්කි කියුවේ මෙවැනි තුන් ආකරයේ බෙදීමක් නොව, ආණ්ඩු බලය (sum of total governmental power) හැකි උපරිම භූමි ඒකක සංඛ්‍යාවකට විසුරුවා හරින ලෙසය. මෙයට හොඳම උදාහරණයක් නම් ලංකාවේ පන්සල්වල නායක හාමුදුරුවරුන් සතු සර්වාධිපත්‍ය බලයය. සෑම පන්සලක්ම ස්වාධීන ඒකකයකි. දායක සභාවේ අනුමැතියට අනුකූලව ක්‍රියාකරණ ඔවුන්ව පාලනය කරණ රෝමයේ පෝප් වැනි කෙනෙක් නැත. මෙම අළුත් විග්‍රහය නොදන්නාසේ නන්මැජෝරිටේරියන් කාරයින් හැසිරෙන්නේ එය ජන සභා සංකල්පය හා එකඟ වන්නක් නිසාය.
ඇමෙරිකාවේ ප්‍රාන්ත උසාවි වලට නඩුකාරයින් පත්වන්නේ ජනතා චන්දයෙන්ය. පක්ෂ දෙකෙන් හා ස්වාධීනව මොවුන් චන්ද අපේක්ෂකයින් වේ. පෙඩරල් නඩුකාරයින් පත්කරන්නේ ජනාධිපති විසින් කොන්ග්‍රස් අනුමතිය ලබාගෙනය. සුප්‍රිම් උසාවියේ පත්කිරීම් අමු අමුවේම දේශපාලන පත්කිරීම්ය. දිස්ත්‍රික් උසාවි නඩුකාරයින් පවා බුෂ්ගේ පත්වීම්, ක්ලින්ටන්ගේ පත්වීම්, බයිඩන්ගේ මිනිහා, ඩිමොක්ක්‍රැටික් පක්ෂයේ වශයෙන් හංවඩු ගැසේ. නඩුකාරයින්ගේ හා නීතීඥයින්ගේ දූ දරුවන් ගෙන් නීති ක්ෂේත්‍රය පිරී තිබේ. එහෙත් මේ සියල්ලේදීම වෘත්තීය දක්ෂතාවයටද යම් ඉඩක් ලැබෙන නිසා සිස්ටම් එක කඩා නොවැටී පවතී. සුදුස්සාට සුදුසු තැන දීම ආණ්ඩුවේ ආයතන වල අඩු වුනත් පුද්ගලික අංශය දුවන්නේ ඥාති-මිත්‍ර-රූප ලක්ෂණය මත පදනම් කරගෙන නොවේ.
කෙසේ වෙතත් නඩුකාරයෙක් පත් වෙන්නේ මැතිවරණ චන්දයකින් නම් ඔහු හෝ ඇය සෝවාන් වී නම් මිස, සර්වසාධාරණ හැසීරීමක් තිබිය හැකිද? ටෙක්සාස් ජනපදයේ අගනුවර වන ඔස්ටින් නගරයේ තිබෙන්නේ පුදුමය දනවන බලය බෙදීමකි. ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීලාගේ බිරිඳ/ස්වාමියා ආණ්ඩුවේ කාර්යාලයේ ලොකු නිලධාරියෙකි. මේ නිසා ලංකාවේ බලය බෙදීම ගැන, නීතියේ ආධිපත්‍යය ගැන දුක්වන අය, නාගානන්ද ඇතුළුව, ධනවාදී ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය ගැන දෙවරක් සිතිය යුතුය.
ලංකාවේ නීතියේ ආධිපත්‍යය ගැන කතාකරණ අය අමතක කරණ තවත් දෙයක් නම් ඉංග්‍රීසීන් විසින් දායාදකල, යම් නඩුවකදී දෙපැත්තේ නීතීඥයින් දෙන්නෙක් විසින් කරන ද්වන්ධ සටනය (adversarial system of dispute resolution). මෙය 1505 දී සිට සුද්දන් විසින් රටට ගෙනා කඩුව, බයිබලය, අරක්කු බෝතලය, හරක් මස්, යටත් වැසියාගේ යටි හිතට රිංගවූ හීනමානයට එක්වන මිනිසුන් සැමවිටම නඩු මඟට බැසීමේ ප්‍රවනතාවයය. මේ නිසා නීතිඥයින්ගේ තර්ක විතර්ක උඩ මිස යුක්තිය ජය ගන්නේ ඉතාමත් කලාතුරකිනි. නීතීඥයින් නැතිව සිවිල් ආරවුල් විසඳීම ප්‍රචලිත කල යුතුය. එක ගොස්ගසේ, පොල් ගසේ උරුම පංගුව උදෙසා නඩු කියන තරමට ඉංග්‍රීසිකාරයා හදා දුන් උසාවි හා නීති ක්‍රමය වෙනස් කරනවාට බාර් ඇසෝසියේෂන් පිරිස් ගෝල්පේස් අරගලයේ නාමයෙන් එකඟ වේවිද? ඉංග්‍රීසි අත්හදාබැලීම් අසාර්ථකවූ අන්දම ගැන පේරාදෙණියෙන් ඉතිහාස උපාධිය ලබාගත් විජය සමරවීර පර්යේෂණ කර ඇත (Vijaya Samaraweera, Litigation and legal reform in colonial Sri Lanka, Journal of South Asian Studies, Volume 2, 1979, pages 78-90.
ජන සභා: විප්ලවයකින් තොර විප්ලවය
අපේ රටේ භූගෝල විද්‍යාවට, ඉතිහාසයට්, පරිසරයට, සමාජයට ගැලපෙන විද්‍යාත්මක හා සියළු ජනවර්ගවලටම සාධාරණ විසඳුමක් වශයෙන් ජන සභා සංකල්පය, 2005 දී හා 2010 දී ජනාධිපති මහින්දටත්, 2007 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවූ කරු ජයසූරියටත්, 2010 දී උගත් පාඩම් හා සංහිඳියා කොමිෂමටත් (LLRC and the relevance of an Atlas of Spatial Justice, Lankaweb, Dec 2, 2010: to collect and analyze data to monitor progress at GSN level), 2015 ජනාධිපති මෛත්‍රීපාලටත්, 2020 දී රොමේෂ් ද සිල්වා කොමිටියටත් ඉදිරිපත් කරණ ලදී.
පසුගිය ලිපිවල රූප සටහන් මඟින් සරලව පෙන්වන්නට සැදුවේ මෙම ජන සභා සංකල්පය (ගම් සභාව, ගම-වැව-දාගැබ ත්‍රිත්වය) නීතිමය වශයෙන් සාධාරණ, බුදු දහමට එකඟ හා භූගෝල විද්‍යාත්මක නිර්ණායක වලට අනුකූල වන බවය. බෞද්ධ දශරාජ ධර්ම ගැන කතාකරණවා වෙනුවට වත්මන් ලෝක හා ලංකා දේශපාලනයට ගැලපෙන ආකාරයේ විසඳුමක් සඳහා විද්‍යාත්මක-මතවාදී අත්තිවාරමක් මෙම සටහන සපයයි. පොලොව මතුපිට දක්නට ලැබෙන විවිධත්වය (spatial diversity/variability) හා ඒ තුලින්ම හඳුනාගත භූමි ඒකක (regions) , කාලය හා දුර (time and space) අතින් සීමිත හැසිරීමක් ඇති මිනිසාගේ ක්‍රියාකාරී දේශපාලන සංවිධාන කෙරෙහි බලපාන්නේය. ප්‍රසිද්ධ නගර නිර්මාණ ශිල්පියෙක්වූ ගෙඩස් විසින් කිව්වායයි සැළකෙන ප්‍රකාශය අනුව, සිතීමේ ශක්තිය මෙන් නොව ක්‍රියාවේ හැකියාව භූමිය වශයෙන් සීමිතය. සෑම දේශපාලන න්‍යායයක්ම (වැඩවසම්, ධනවාදී. සමාජවාදී, අධිරාජ්‍යවාදී, පැසිස්ට්වාදී, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී) සාර්ථකවීම හෝ නොවීම රඳා තිබෙන්නේ අන්තිමේදී එය කුඩා භූමි ඒකක මට්ටමින් ක්‍රියාත්මක වනවාද යන්න මතය. එඪේර සංක්‍රමණික මිනිසුන්ගේ පවා ටෙරිටෝරියල් භුක්තිය (mobility and possession) සිංහයෙකු හෝ අලියෙකුගේ හෝ ගවයෙකුගේ ශරීර ශක්තියට සමාන නොවේ.
ගාන්ධි හා මාවෝ සේතුන් ගිය පාරවල් දෙක
ජනතා සහයෝගය (විභවය) උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් ගාන්ධිගේ හා මාවෝ ගේ ක්‍රියා පිලිවෙල ගැන අගනා විග්‍රහයක්, HOMO FABER: Technology and Culture in India, China and the West from 1500 to the present day (1980) යන ඔහුගේ පොතේ C. A. Alvares විසින් ඉදිරිපත් කර ඇත (පිටු 195-199). ගාන්ධිට අවශ්‍යවූයේ කොන්ග්‍රස් පක්ෂය විසුරුවා හැර ග්‍රාමීය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටටය. ඔහු මානව සංවර්ධනය පිළිඹඳ බටහිර ක්‍රමවේදය (පැරඩයිම්) ප්‍රතික්ෂේප කලේය. නේරු හා රාජෙන්ද්‍ර ප්‍රසාද් (අගමැති හා ජනාධිපතී) ඇතුළු ප්‍රභූ පැලන්තිය (elite) එය අනුමත කලේ නැත. ලඟදීම තමන් මේ අයට විරුද්ධව සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරණ බවට ගාන්ධි අනාවැකියක් පහල කලත්, ඊට පෙර ඔහුගේ ඝාතනය සිදුවිය. එසේ වුවත්, ගාන්ධිගේ මූලික අදහස් සර්වෝදය ව්‍යාපාරය (a rural reconstruction force) වශයෙන් පසුව (evolved) ක්‍රමයෙන් ගොඩනැඟුණේය.
1947 න් පසු ගාන්ධි ආරම්භ කරන්නට ගිය ව්‍යාපාරය දේශපාලනයෙන් හා ආණ්ඩු ප්‍රවාහයෙන් බාහිර දෙයකි. එහෙත් මාවෝ ගේ ක්‍රමය විප්ලවය හා සමාජය වෙනස් කිරීමේ මූලධර්ම මත පදනම් විය. ගාන්ධිගේ සර්වෝදය අදහස් සමානවන්නේ කොන්ෆියුසිස්වාදියෙක්වු ලියැන්ගේ විසින් 1930 ස් ගණන්වලදී පෙනීසිටි ග්‍රාමීය ප්‍රතිසංස්කරණ ව්‍යාපරයටය. ලියැන් යෝජනාකල ලෝකල් ස්වයංපාලනය හෙවත් ග්‍රාමීය ස්වයංපාලනය (local/rural self-government), ආණ්ඩුකරණය සඳහා කෙලින්ම ජනතාව සභභාගීවන නැන්කින් පාලන සමයේ සිතුවිලි වලට අනුකූලවූ දේශපාලන සංවිධානයක් විය (mass participation in government). එය නිලධාරීවාදය (bureaucracy) අනුව උඩ සිට පහලට කරණ වෙනස්කිරීම් හා සංවර්ධනය (change & improvement) මඟින් රට නූතන (modernization) කිරීමේ Kuomintang අදහසට වෙනස් සිවිල් ව්‍යාපරයක් විය. 1947 ට පසුව ඉන්දියාවේ ග්‍රාමීය සංවර්ධන නිල වැඩසටහන් මෙම ක්වෝමින්ටන් ක්‍රමයට සමාන විය.
ලියැන්ට වෙනස්ව, බටහිර ක්‍රමයට, නූතන විද්‍යාත්මක ග්‍රාමීය ගම් (modern ‘scientific’ rural villages) බිහිකිරීමට ඇමෙරිකාවේ අධ්‍යාපනය ලද ජිමි යෙන් වැන්නන් ක්‍රියාකලේය. ගාන්ධි මෙන් ලියැන්ට ද අවශ්‍යවූයේ බටහිරින් එන හානි වලක්වා ගනිමින්, චීන දාර්ශනිකයින්ගේ ප්‍රඥාව හා සංවිධානාත්මභාවයට අනුගතවන පරිදි නූතනවීමේ වාසි ලබා ගැනීමටය. ලමයින්ගේ මූලික අධ්‍යාපනයට-කෘෂිකර්මය, සාමාන්‍ය විද්‍යාව, සෞඛ්‍යය, ප්‍රජාචාරය, සදාචාරය හා උදෑසන භාවනා කිරීම පවා-ඇතුලත් කලේ ගාන්ධි අනුව යමින්ය.
ගාන්ධි මෙන් ඔහුද සමූපාකාර සමිති හා භාරකාර අයිතිය යෝජනා කලේය. ලියැන් හා මාවෝ මිනිස් පරිසරයේ බලපෑම හා, ග්‍රාමීය හා ප්‍රඥා වර්ධනයේලා කිට්ටු සාමූහික සබඳතාවල ඇති කාර්යක්ෂමබව පිළිඹඳ කොන්ෆියුසිස් අදහස් වැළඳ ගත්තේය. ගාන්ධිද මේ මතය පිළිගත්තේය.
මොවුන් තුන් දෙනාම (ගාන්ධි, ලියැන් හා මාවෝ) මිනිසාගේ සන්තානගත පිරිසිදු බව (internal virtue), බාහිර දේශපාලන, මිලිටරි හා ආර්ථික සාර්ථක භාවය සමඟ බැඳී ඇතිබව පිළිගත්තේය. ඔවුන්ට අනුව යහපත් සමාජයක් කරා ලඟාවිය හැක්කේ සමස්ත සමාජයේම සිදුවන අඛණ්ඩ පිරිසිදු පරිවර්තනයක් (continuous spiritual transformation) මඟින්ය. මෙය නිමක් නැති සදාචාරත්මක රංගනයකි. රටේ දේශපාලන හා ආර්ථික නොදියුණු බව ජයගත හැක්කේත්, නාගරික තෙම්පරාදු (dehumanization of urban bourgeois society) සමාජයේ විකෘතිවීම වලක්වා ගත හැක්කේත් එමඟින්ය. ආත්මාර්ථකාමී නිෂ්ඵල ආශා (selfish mundane desires) නිසා පරිත්‍යාගයේ වටිනාකම නැතිවී යා හැකිය. මිනිසාට සදාචාරත්මක (moral) හේතු මත ඔහුගේ බාහිර ව්‍යාජ ආත්මාර්ථකාමී (material self-interest) කමෙන් නැවත නැවතත් ගැලවී යෑමේ හැකියාවක් තිබේ. මාවෝට අනුව ආත්ම පරිත්‍යාගයේ (self-sacrifice) අරමුණ ජාතික රාජ්‍යය හා එහි ජනතාවය. එහෙත් ගාන්ධිට හා ලියැන්ට අනුව පරිත්‍යාගය අවසානයම මිස වෙන අරමුණකට වාහනයක් නොවේ. එය ටාඕය. සමූහයේ වාසිය ද්විතීයකය.
පොදු හික්මීමක් යටතේ (common ethic) චීනය පුබුදුවා ඒකග්‍රාහී කිරීමේ ලියැන්ගේ අරමුණ ලබාගැනීමට මාවෝ අන්තිමේදී සමත්විය (කොන්ෆ්හියුසිස් වාදය ආගමක් නොවන ආගමක් යයි ලියැන් පැවසුවේය).සුළු පරිමාණ ග්‍රාමීය කර්මාන්ත, ලෝකල් ස්වයංශක්තිය, විදේශ අදහස් හා ආධාර වලින් නිදහස්වීම, කුඩා සමූහ වශයෙන් කටයුතු කිරීම හා ගොවියන් විසින්ම කෘෂිකර්මාන්තය නඟාලීම යන ලියැන්ගේ අදහස් මාවෝ විසින් උපයෝගීකර ගත්තේය. මාවෝ හා ගාන්ධි-ලියැන් අතර වෙනස නම් විප්ලවීය (radical) ලෙස 1949 ට කලින් බලය හා දේපල නැවත බෙදා හැරීමට මාවෝ ක්‍රියා කිරීමය. ලෝන් මාච් එක යද්දීම බොහෝ ඉඩම් හිමියන් නැතිකර දමන ලදී. ගාන්ධිට එවැන්නක් කල නොහැකිවිය. චීන ජනයාට, ඔවුන්ගේ අතීත සූරාකෑමෙන් නිදහස්ව, අළුත් විප්ලවය සමඟ වැඩ කිරීමට සුදානමින් සිටියේ, විප්ලවය රැක ගැනීම ඔවුන්ගේ වගකීමක් වූ නිසාය.
මෙම දිග විස්තරය කොපි කලේ එහි ඇති කරුණු සමඟ ලංකාවේ කතාව සසඳා බැලීම උදෙසාය. අරගලයේ පැතුම් කර්නර් වැන්නන්ගේ අවධානය පිණිසය. අනාගාරික ධර්මපාලතුමාගේ අදහස්, කළුකොඳයාවේ හිමියන්ගේ ග්‍රාම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, වින්සන්ට් සුබසිංහගේ සඳලංකා සමූපාකර ව්‍යාපාරය, සර්වෝදය, පානදුරේ ආතර් වී දියෙස් විසින් රට පුරා කොස් ඇට බෙදීම මෙන්ම 1977 දී මහාචාර්ය W.S. කරුණාරත්න JR වෙනුවෙන් මැතිවරණ වේදිකාවේ කල සන්තානගත හා බාහිර විප්ලව කතා මේ ඉන්දියන්-චීන කතා වලට කෙතරම් කිට්ටුද කියා සිතේ. දශ ලක්ෂ 300 ක් පමණ ඉන්දියන් ජනයා අන්ත දරිද්‍රතාවයෙන් පෙලේ. ඇති නැති පරතරය, පරිසර දූෂණය කෙතරම්ද?
පිටට පෙනෙන චීනයේ නැගිටීම මිස ඇතුලතින් චීනය තුල වන කොටි වලිගයක් අල්ලාගත් වැනි අසීමිත සංවර්ධන ක්‍රියාවලිය ජනයාට කරණ විනාශය ඉදිරියේදී අනිසි විපාක ගෙන එනු නිසැකය. හොවැන්හෝ ගඟ මුහුදට වැටෙන්නේ ලෝකයේ වැඩිම විෂ පිළිකා කාරක අපද්‍රව්‍ය පිරි දිය කඩිත්තක් ලෙසය (National Geographic Special Issue, China: Inside the Dragon May 2008, pp.147-168). බටහිර අනුව යමින් චීනය හා ඉන්දියාව ලියැන් හෝ ගාන්ධිගේ පාරෙන් පිට පැන ඇත. කුඩා ලංකාව ගැන කුමණ කතාද? ජපානය මෙන් ගම රැක ගතයුතුය. ජන සභා මඟ ගතයුතුය. පක්ෂ දේශපාලකයා-නිලධාරියා-ngo කාරයා/බිස්නස්කාරයා යන දුෂ්ඨ ත්‍රිකෝණයෙන් ගැලවිය යුතුය. සිස්ටම් චෙන්ජ් මිස රෙජීම් චේන්ජ් කුමන්ත්‍රණයට අසු නොවිය යුතුය.
මෙම අවසාන ලිපියෙන් නැවතත් ජන සභා ක්‍රමය ක්‍රියාවට නැඟිය හැකි/යුතු ආකාරය මෙසේ සටහන් කරමි.
*(1) රටේ පහලම සිවිල් පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී සේවක වසම් (GSN units), ස්වභාවික මායිම් සහිත (නැචුරල්) ඒකක වනසේ, භූගෝල විද්‍යා-භූජල විද්‍යා-පරිසර විද්‍යා (geography. Hydrology, ecology) නිර්‌ණායක අනුව අළුතින් ප්‍රතිසංවිධානය කල යුතුය. තිරසර සංවර්‌ධනයක මුල් ගල රටේ භූමිය ස්වාභාවික (නැචුරල්) ඒකක ලෙස මායිම් කිරීමය.
*1905 දී පිළියෙල කර ඇති වාරි කර්මාන්ත සිතියම පෙන්වන්නේ ගම් සභාව මූලිකව රටේ පැවති ගම්-වැව-දාගැබ යන ස්වභාව ධර්මයට අනුකූල ත්‍රිත්වයේ ව්‍යාප්තියමය.
*කුඩා දූපත් දෙකක් වන නිව්සීලන්තයේද එරට ව්‍යවස්ථාවෙන් නියෝග කර ඇති අන්‌දමටම ලංකාවේදීද මෙය ව්‍යවස්ථාගත කල යුතුය. මෙම යෝජනාවෙන්, එක ගලකින් කුරුල්ලන් රැසක් බිම දමන ආකාරයේ, දැනට රටේ පවතින පක්‍ෂ දේශපාලකයින් විසින්ම පටලවා ගත් අන්තෝජටා-බහිජටා අර්බුද බොහොමයකටම විසඳුම් සපයන්නේය.
*කෝල්බෲක්ට කලින් 1796 දී රටේ පාලන ප්‍රදේශ 20 ක් පමණ විය (හොරස් පෙරෙරාගේ පොත 66 පිටුව). 1833 දී කෝල්බෲක් කොමිෂම විසින් රට පලාත් පහකට බෙදුවේ, යටත් විජිත සූරාකෑමේදීද, ඕනෑ නම්, බොහෝ දෙනා අදටත් මහ උජාරුවෙන් කතාකරණා ලිබරල් වාදය යොදාගත හැකිය යන හිඩැස අනුවය (ලිබරල් වාදයේද අන්තවාදයක් ඇත). ඔහුගේ එක අරමුණක් වූයේ 1818 කැරැල්ලට පසුව, උඩරට රදලයින්ගේ දල බිඳීමය. අනික, ආදායම් එකතුකර ගන්නා ඒකක සැදීමය. මෙම දෙවන උවමනාව අනුව දිගටම යමින් ලංකාව පලාත් නමයකට බෙදන ලදී.
*එහෙත් 1931 න් පසුව හෝ 1948 න් පසුව, තබා දැන් 2020 දී වත්, රටේ භූගෝල විද්‍යාවට හා ඉතිහාසයට පටහැනි මෙම භූමිය බෙදීමේ සූත්‍රය වෙනස් කිරීමට කට අරින දේශපාලකයෙක් තබා <විද්‌වතෙක්>වත් සොයා ගැනීම දුෂ්කරය. ලඟදී බොරුවට හෝ එසේ කිව්වේ ජනාධිපති සිරිසේන පමණය. මේ පිළිඹඳව ලියූ එකම පරිපාලන සේවා නිලධාරියාවූයේ, භූගෝල විද්‍යා විෂය හැදෑරූ, වී. කේ, නානායක්කාරය. පලාත් නවයේ කෘතිම බෙදීම ඔහු පෙන්වා දුන්නේ ඒ මත රටේ ජලය මූලික දේශගුණික කලාප තුන (තෙත් (රෝස පාට), අතරමැදි (කොල), වියළි (දුඹුරු)) ආරෝපනය කිරීමෙන්‌ය (Inviting failure-nature of the spatial unit of devolution, Island Nov. 8, 2017). මෙහි පහතින් කොපිකර තිබෙන්නේ ඒ සිතියමය.
Map Source: Inviting Failure – Nature of the spatial unit of devolution, V. K. Nanayakkara, Island, November 8, 2017, (දුඹුරුපාට-වියළි කලාපය, දම්පාට-අතරමැදි කලාපය, කොළපාට-තෙත් කලාපය)
*නන්මැජෝරිටේරියන් විසඳුම් කතාව තදින්ම බදාගෙන වසීවී සිටි, ඔරුමිත්ත්නාඩු වැඩේට සම්බන්ධ මහජන අදහස් සමීක්ෂණ කොමිටියේ ලාල් විජේනායක පවා, පාලන ඒකක, ජාතිය, වර්‌ගය, ආගම හෝ භාෂාව අනුව මායිම්කල යුතු නැතැයි නිර්දේශ කර තිබීම, රට කැබලි නොකිරීමේ ඒකිය ලංකාවක් යන සංකල්පයේදී ඉතා වැදගත් පියවරකි (9.1.2.6 නිර්දේශය, මැයි 2016). APRC කොමිටියේ සභාපති තිස්ස විතාරණත් භාෂාව හෝ ආගම අනුව භූමි ප්‍රදේශ මායිම් කිරීම නුසුදුසු යයි කියා සිටියේය.
*ලංකාවේ මෙම මානව ත්‍රිත්‌ව මොඩලය, මුළු දිවයිනම ආවරණය කරණ භෞතික ත්‍රිත්‌වයක්, -තෙත් කලාපය-වියළි හා ශුෂ්ක කලාප- මධ්‍යම කඳුකරය- හා බැඳී ඇත. (මීට අමතරව තෙත් කලාපය, අන්තර් කලාපය හා වියළි කලාපය වශයෙන් දේශගුණික ත්‍රිත්‌වයක්ද දිවයිනේ ඇත). මධ්‍යම කඳුකරය දිවයිනේ හදබිමය. ලංකාවේ ඇති ගංඟා 103 මෙම ත්‍රිත්‌වය පණ ගන්වන ලේ නහරය. උදාහරණයක් වශයෙන් සුද්දා, සමනල කන්ද කෝපි හෝ තේවගාවට එලිකලා නම්, මහවැලි, කැළණි, වළවේ කා කලු ගංඟා සිදීගොස් දිවයින කාන්තාරයක් වන්නට හොඳටම ඉඩ තිබුණි. <මිනිසාගේ ඉතිහාසය යනු වතුරේ ඉතිහාස කතාව> නම්, ජල ද්‍රෝණි අනුව ග්‍රාම සේවා වසම් මායිම් කිරීම ජනවාර්ගික ප්‍රශ්ණයක් වීමට හේතුවක් නැත. ගිනිගත්හේන පොලිසියේ වහලේ එක පැත්තකට වැටෙන වැහි වතුර කැළණි ගඟටත්, අනිත් පැත්තට වැටෙන වතුර මහවැලි ගඟටත් යනවා කියන්නේ මේ නිසාය.
*(2). ස්වාභාවික මායිම් සහිත ග්‍රාම සේවා වසම් (GSN units) ක්‍රමයේ ප්‍රයෝජන (වාසි)
සෙසු සියළු මානව ක්‍රියා සිදුවන්නේ පොලොව මතුපිටය. මෙම ක්‍රියා මතුපිට රටා බිහි කරයි (ප්‍රොසෙසස් ඇන්ඩ් පැටර්න්ස්). එහෙත් මෙම වසම් (GSN) මායිම් ක්‍රමයේ බලවත්ම වාසිය නම් එය රට කැබලි කිරීමේ ව්‍යාපාරයට, (මෑතක සිට ශාරියා ඉස්ලාම් ව්‍යාප්තවාදයට), විද්‍යාව, නීතිය හා බුදු දහම අනුසාරයෙන් දෙන විසඳුම වීමය. මෙහි පැති දෙකක් ඇත. එනම්:
1. GSN වසම් එකට එකතු කරමින් ඉහලට යමින් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්‌යාල බල ප්‍රදේශ මායිම් කිරීම හා සෙසු මධ්‍යම ආණ්ඩුවේ ආයතන වල ක්‍ෂේත්‍ර ඒකක වල මායිම්ද එසේ සැදීම. උදාහරණයක් වශයෙන්, කෘෂිකර්‍මාන්ත, පොලිස්, සෞඛ්‍ය, මහාමාර්‍ග, අධ්‍යාපන, අපදා කළමණාකරණ, සමාජ සේවා, වනරක්‍ෂණ යනාදී දෙපාර්තමේන්තු වල බල ප්‍රදේශ මෙම වසම් එකතුකල ස්වාභාවික ඒකකවේ. මෙය රුසියන් බෝනික්කන් ඇතුලේ සිට පිටතට ලොකුවනවා වැනිය; සරල මෙට්‍රික් ක්‍රමය වැනිය. මේ අනුව වසමක පිහිටීම (ලොකේෂන්) තිතක් වශයෙන් සළකා, විවිධ තොරතුරු ඩේටා ටේබල් හා/හෝ සිතියම් ලෙස පරිගණකයෙන් බලාගත හැකි ක්‍රමයක්ද සදාගත හැකිය.
2. අළුතින් සීමා මායිම් කල ග්‍රාම සේවා වසම් (GSN units), ජනතාව බලවත් කිරීම (එම්පවර්‌මන්ට් ඔෆ් පීපල් ඇට් ග්‍රාස් රූට් ලෙවල්) සඳහා ජන සභා වශයෙන් උපයෝගී කරගැනීම ව්‍යවස්ථාගත කිරීම. මේ අනුව වසමක්, (හෝ ඒවා එකක් ප්‍රමාණයෙන් කුඩා නම් දෙකක්), ජන සභා (ජන මූල සභා) ඒකකයක් ලෙස හඳුනා ගැනීමය. මෙම ජන සභා පක්‍ෂ දේශපාලනයෙන් තොර (ඉතා සාර්‌ථකවූ එහෙත් මෑතකදී හදිසියේ නතරවූ ගැමි දිරිය වැඩසටහන හෝ සුද්දන් හා කළුසුද්දන් විසින් කඩාකප්පල්කල, 1930ස් 40 ස් ගණන් වල කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් සාර්‌ථක ලෙස ගෙනගිය ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාද මර්‌දන දීපව්‍යාප්ත ව්‍යාපාරය මෙන්), ඉන්දියාවේ (73 සංශොධනය, 1992), පංචයාත් රාජ්‍ය ආයතන වලදී මෙන් ව්‍යවස්ථාවෙන් බලය දෙනලද, මැස්ලෝගේ මිනිස් අවශ්‍යතා හා උවමනා ලැයිස්තුවට අනුව දිය හැකි උපරිම බලතල සහිත ආයතන විය යුතුය.
3. මෙම ජනසභා භූමි ඒකක, 1977 ට පෙර රටේ පැවති පාර්ලිමේන්තු ආසන සීමා නිර්‌ණය කිරීමේදී හා චන්ද දමන ප්‍රදේශ (පොලින් ඒරියා) මායිම් කිරීමේදී, භාවිතා කල හැකිය. ඉදිරියේදී රටේ තිබිය යුතු මධ්‍යම රජය, පාර්ලිමේන්තුව, ජන සභා ජාතික උපදේශක සභාව හා බිම් මට්ටමේ ජන සභා පමණය. මේ අනුව පලාත් සභා හා ප්‍රාදේශීය සභා අනවශ්‍ය මුදල් නාස්තියකි. එහෙත් යම් හෙයකින් විකෘති ප්‍රාදේශීය සභා ක්‍රමය අතහැර දැමීමට පක්‍ෂ දේශපාලකයින්ට ශක්තියක් නැත්නම් තාවකාලිකව හෝ තවදුරටත් ඒවා පවත්‌වාගෙන යාමේදී ඒවායේ බල ප්‍රදේශය හා කොට්‌ඨාශවල මායිම්, ජන සභා ඒකක එකතුකර සදාගත යුතුය.
මෙය මෙම ලිපි මාලාවේ අවසාන ලිපියය. මෙම ලිපිවල දක්වා ඇති අදහස් පිළිඹඳව ඔබගේ විමසුම් අගය කරමි.
wijeychandra@gmail.com