අප නොවන අප
Posted on June 27th, 2022

ප්‍ර සමරසිංහ

අපට, අප වෙන්නට අවස්ථාවක් මතක ඇති කාලයක සිට ලැබී නැත. අපට අපේ කියා දැනුමක් තිබුණත් වන්දනා මාන කරන්නේ පර-දැනුමටය. පර (පර=අනුන්ගේ) දැනුම සහමුලින් අහක දමන්නට කියා තුන් හිතකින් වත් කියන්නේ නැත. අප මතක තබා ගත යුත්තේ ඒ ඒ දැනුම් උත්පාදනය වෙන්නේ ඒ ඒ පරිසරය හා සංස්කෘතිය මුලික වූ චින්තනය මත පිහිටිමෙන් බවය. ඒ ඒ දැනුමේ සාර අසාර බව, ගැලපීම නොගැලපීම විමර්ශනය කර, ඒවායින් සැබෑ ඵල ප්‍රයෝජනයක් ඇත්තම් පමණක් හා ඉන් අපේ හර පද්ධතියට අහිතක් නොවන්නේ නම් පමණක් අපේ දැනුමට අවශෝෂණය කර ගත්තාට නං නපුරක් වෙන්නේ නැත. නමුත් කාලයක් තිස්සේ අවාසනාවකට මෙන් සිද්ධ වෙන්නේ පර දැනුම, කරල පිටින් අනුකරණය කර අපේ දැනුමට විලිස්සීමය.

මිනිස් මූලික අත්‍යඅවශ්‍යතා හා අවශ්‍යතා සඳහා භාණ්ඩ හා සේවා නිපදවීමට එහා ගොස් මිනිස්සුන්ට නා නා විධ අනවශ්‍යතා බලෙන් උපද්දවා, ඒවාට සරිලන නිපදවීම, ප්‍රචාරණය, අලෙවිය හා මිලට ගැනීම ඊනියා දියුණුවය කියා සැලකීමට හුරු කෙරිණ. මිනුම් දඬු නීර්ණය විය. ධනවත්කමේ මිනුම, මේ තිබුණත් නැතත් පලක් නැති භාණ්ඩ හා සේවා අධි-පරිභෝජනත්වය මත රැඳවීමය. විසල් ගෙයක්, ප්‍රධාන පෙලේ වාහන තුන හතරක්, දුරකථන හය හතක්…. තිබීම හා නොතිබීම මත ධනවත්කම මැනින. පැය 24ම මේ මිනුම් දණ්ඩෙන් හතර අතට ‘බැටකන්නෝ’ වහල් සේවයේ යෙදෙමින්, ණය ගනිමින්, අදින්නදානෙන් හෝ බලන්නේ මේ ධනවත් බව ආරෝපණය කර ගන්නටය.

කෘෂි කර්මාන්තය කෙරෙන්නේ මහා පරිමාණයෙන්, අඩු කලෙකින් හා වැඩි අස්වැන්නක් ලබාගැනීමේ අරමුණෙන්ය. ඒ වෙනුවෙන් බුරුතු පිටින් වස පොහොර, කෘමි හා වල්නාශක නිෂ්පාදනය කර විකුණා, ග්ලෝබල්-නොර්ත් විශාල ධනස්කන්ධයක් උපයන්නේ, ග්ලෝබල්-සවුත් තුල ඇති ඒ ඒ දේශීය දැනුම් පද්ධතින්ට පයින් ගසාය. ඒ ඒ පොළොවේ විස තැන්පත් වෙන්නේ වේගයෙන් හා විශාල වශයෙනි. ඒ හේතුවෙන් පසේ හියුමස් තට්ටුව හා එහි ස්වභාවික ක්‍ෂුද්‍ර ජීවි ගහනයන්ට හා ක්ෂුද්‍ර පෝෂක වලට සිදු වන හානිය සුළුපටු නැත. කලිල කඩා යෑමෙන් පස් තට්ටු නිරන්තරයෙන් සෝදා යන්නේය. කිසිම රෝගකාරක බීජයක වාහකයෙක් නොවන හා ගොවියාට ආහාර නිපදවීමේ ලා සහාය වූ මී මැස්සන් අද වන විට 55%ක් ලොවෙන් අතුරුදහන්ය. ඉතිරි වූවෝ ද මැරි මැරී වැටෙන්නේ මී මැසි පාලනයේ යොදන ප්‍රතිජීවක නිසාය, මල් පැණි නැති නිසාය, වද බඳින්නට සුදුසු ඝන වනන්තර නැති වූ නිසාය, පසේ සංයුතිය කෘතීම වූ නිසාය.

මී මැස්සන්ගේ බාහිර සිරුරේ සේම අප බීමට ගන්නා වතුරෙත්, ආශ්වාස කරන වාතයේත්, සමුදුර පත්ලේත්, කඳුවැටි මුදුන්වලත් දැන් ඇත්තේ ප්ලාස්ටික්ය. මිනිසාගේ ආහාර වලින් 70%ක් නිපදවීමට උපකාරි වූ මේ සත්ව විශේෂය වඳ වී යන්නට මේ ලවක් දෙවක් නැතුව කරන අනුකරණය හේතුවී ඇත. අද අප කන කෑම පිඟානේ බහුලව මයික්‍රෝ-ප්ලාස්ටික් ඇත, ‘ටේකවේ’ හෝ ආපනශාලාවකින් හෝ කන්නේ නම් නොවැරදීවම තවත් වැඩිපුර ලබා ගත හැක. ඊනියා දියුණු වූවන් දෙස බලා අප උත්සහ කරන්නෙත් ඉක්මනට, පහසුවට හා පුස් ආටෝපයට තැන දීමටය. මිනිස් රුධිරයේ මයික්‍රෝ-ප්ලාස්ටික් ඇති බව ඉතා මෑතකදි තහවුරු කර ගෙනය. ඒවා පෙනහැල්ලේ, ප්ලීහාවේ, වකුගඩුවේ තැන්පත් වෙන බවත් සහසුද්දෙන්ම හොයා ගන්නා දවස වැඩි ඈතක නොවේය. අලි ඇතුන්ගේ, කුරුල්ලන්ගේ, සාගර සතුන්ගේ සිරුරු තුලත් මේවා තැන්පත් වන්නේ නම් මිනිසුන්ගේ තැන්පත් නොවන්නට කාරනාවක් නැත. ප්ලාස්ටික් දිරන්නට අවුරුදු හාරසීයක් පන්සීයක්වත් යන්නේය. දිනෙක මිය යන මිනිස් සිරුරුද කිසි බෙහෙත් ආලේපනයකින් තොරව මමීකරණය වනවාට සැක නැත. මේ වන විට දියවැඩියාව, හෘදයාබාධ  පිළිකා හා වකුගඩු රෝග ඉතා සුලබය. ඒ සුලබ වීමට පාදක වූ හේතුකාරක වලට නිසි පිළියම් නොදී, ඖෂධ බීවාට වෙන්නා වූ සෙතක් නැත.

සත්ව කර්මාන්තය, සතුන්ගේ ‘සත්ව හිමිකම්’ ද නොතකා කෘතීම සිංචනය තුලින් සතුන් වවන්නේය. ප්‍රතිජීවක නිෂ්පාදනයෙන් 75%ක් හා වර්ධක හොර්මෝන යොදමින් ‘හියුමේන්ලි’ සත්තු පෘෂ්ටිමත් කරන්නේය. මස් කිලෝ එකක් හදන්නට ධාන්‍ය කිලෝ හත අටක් යෙදවිය යුතුය, ලෝක ආහාර හිඟය මතු වන්නේ කොහෙන්දැයි අමුතුවෙන් හිතන්නට කියා දිය යුතු නැත. ඒ වාගේම මස් කිලෝ එකක් නිපැයුමට වතුර ලීටර 15,000ක් යොදන්නට වුවමනාය, මේ හේතුවෙන් ලෝක ජල හිඟය එන දිනද වැඩි දුරක නැත. හරක් කිරි අතිරික්තය, පිටි කිරි කර්මාන්තයට යන්නේය. පිටි ටින් හෝ පැකට්ටු හරහා අපට පහසුවෙන්, ඉක්මනට පිටි කිරි බොන්නට මග විවර කර ඇත. අපට තේ හා කෝපි බොන්නට ඕන කිරි සුදු පාටටය. පාට, සුදු නම් වස වුනත් කමක් නැත.

වසපොහොර යොදමින් කෙරෙන එළවලු, පලතුරු, ධාන්‍ය වගාව තව කර්මාන්තයකි. ඒ වස විසද සැලකිය යුතු ප්‍රමාණයකින් දිනපතා කන්නට සිදු වේය. මේ දක්වා ශරීර ගත වූ වස ප්‍රමාණයේ තරමට ලෙඩ රෝග මතු නොවන්නේ නම් විතරක් පුදුම විය යුතුය. කොයි හැටි වුනත් අසනීප තත්වයන්ට පිහිටට එන්නේ, සැත්කම් හා ඖෂධ කර්මාන්තයන්ය. සියළු බටහිර ඖෂධයෝ විද්‍යාත්මකය, ඕන රෝගයකට බෙහෙත් නැතත් සැත්කම් හෝ ඇත. ඕන කරන්නේ කාසිය. කාසි නැත්නම්, ණය කර්මාන්තය ණය පහසුකම් සහනදායි ක්‍රමයට දෙන්නට මනාපය. ඉන්පසු වෙහස මහන්සි වී උපයා ගත් සබ්බසකලමනාවම නැති කරගෙන එලොව යන විට පරම්පරාවම ණය කර දමා චුත විය හැක.

ග්ලෝබල් -සදනස්ලා, ග්ලෝබල්- නදර්නස්ලා පෙන්වන මග යා යුතුය, නොයන උන් එක තැන පල් වන මඩගොහොරු සේ අඳුන්වා ඇත. මඩ ගොහොරු තුලින් මතු වන්නේ මානෙල්, නෙලුම් වැනි මල්ය. අප ලජ්ජා විය යුත්තේ ඒ සුන්දරත්වය නොදකින තත්වයට අප අපව පත් කර ඇති ඊනියා බුද්ධිමත්කමටය.

දැන්වත් අප, අප විය යුතුය. අපට ඕනෑ කරන්නේ ස්වයංපෝෂිත ආර්ථික රටාවකි, සරල දිවිපෙවතකි. සකසුරුවම, අරපිරිමැස්ම තුලින් සම්පත් අපහරණයක් සිදු වන්නේ නැත. අප පරිසරයේ කොටසක් බව පසක් කර ගත යුතුය. සීමිත සම්පත් යොදා ගනිමින් අසීමිත ආසාවන් සපුරා ගන්නට වෑයම් කරන තාක් කල් ඇරගල් කරමින් පාර දිගේ ගියත් ඒ ගිය පමණින් සීමිත සම්පත්, අසීමිතව කිසි දා මතු වන්නේද නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress