අරගලය තුල ඇති අරගලය
Posted on July 9th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ඇමරිකානු එක්සත් ජනපදය විසින් නිර්මාණය කර මෙරට තුල ඇතිකරන ලද අරගලය, ඉතා කෙටිකාලයක් තුලදී ජයග්‍රාහි ඉලක්කය පසුකර යන්නට සමත්විය. දැන් රාජපක්ෂ පවුල රාජ්‍ය බලය හසුරවන කවය තුල නැත. අරගලයට පෙරදා මෙරට ඇමරිකානු තානාපතිවරිය මෙරට ජනතාව අමතා, අරගලය සාමකාමී අරගලයක් විය යුතු බව සැලකර සිටියද, ඇයගේ ඉල්ලීම සම්බන්ධව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ අරගලකරුවන් විසින්, ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන හිතවාදියාවූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම ඇය කිසිසේත්ම අනුමත කරන ක්‍රියාවලියක් නම් නොවේ.

මේ ක්‍රියාව තුලින් පෙන්නුම් කරන්නේ, තමන් නිර්මාණය කල පිල්ලිය යකදුරාවම බිල්ලට ගන්න වෑයම් කරන තත්වයකි. මේ ගෙවී යන්නේ අරගලයේ ආරම්භක අවදිය වන බැවින්, අවසානය වනවිට සිදුවෙමින් ගලායන ක්‍රියාවන් පරම්පරාව තුල හොද දේවල් මෙන්ම විෂම දේවල්ද ඇතිබව අප සිහියේ තබා ගත යුතුය.

අරගලය ඇමරිකාවේ අවශ්‍යතාවයක් හා නිර්මාණයක් වුවද එය මෙරට ජනතාවට දිස්වන්නේ,ගෝඨාභය රාජපක්ෂයන්ගේ පාලනයේ දුෂිතබාවය විසින් නිර්මාණය කරන ලද්දක් බවය.

ගෝඨාභය රාජපක්ෂ යනු මෙරට පාලනය කල අවාසනාවන්තම ජනාධිපතිවරයාය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂයන්ගේ, සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් බවට පත්කර ගැනීමට නොහැකිවීම තුලින් පෙන්වාදෙන්නේ, ශ්‍රී ලාංකීය ජනතාවද මහා අවාසනාවන්ත ජාතියක් බවයි.

මැතිවරණ වේදිකාවේදී, ගෝඨාභය යනු මිනිසුන්ව පණපිටින් කිඹුලන්ට කන්න දෙන භයානක මිනිහෙක් ලෙස රාජිත සේනාරත්නලා විසින් නිර්මාණය කර තිබු ප්‍රතිරූපය වෙනුවට අප දුටුවේ,තම කාර්යාලය අවහිර කරන මිනිසුන්ට එයකරගෙන යාමට ඉඩතබා ඉවත්ව යන, ඊ .ඩබ්ලිව්. අධිකාරම් මහතාට සමකල හැකි මනසකින් යුත් චරිතයකින් යුත් බවයි.

මෙවන් චරිත රාජ්‍ය පාලනයට සුදුසු නොවන අතර,මේ චරිත ඔබින්නේ, මහන දම් පිරිමටය. රට අපේක්ෂා කරන්නේ, ගැමුණු රජ මෙන්වූ චරිත වන අතර, සතුරා හඳුනාගත්විට අනුකම්පා විරහිතව ඔවුන්ව විනාශ කර දැමීමට සුදානම් නායකයින්වය. දැන් ගෝඨාභය නැත. අනාගත පරපුර දකින්නේ, ඉතා හොද පාලක පරම්පරාවක් සිටිය යුගයක දුෂිතම ජනාධිපතිවරයාව ජනතා අරගලයක් තුලින් බලයෙන් පන්නා දැමු බව දැක්වෙන චිත්‍රයයි. මෙය නොවිය යුත්තක් වන අතර, ඉතිහාසය ලියන අය මේ සම්බන්ධව ඉතා බුද්ධිමත්ව සිදුවූ සිදුවීම සටහන් කොට තැබීම ඉතා වැදගත්ය.

මේ අරගලය  ඇත්තේ ඉතා බලවත් අවදියකයි.මේ බලවත් අවස්ථාවේදී, එහි බලය හැසිරවීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය. සෑම ජනතා සතුරෙක් කරා හඹා යාමේ හැකියාවක් එයට ආරෝපණය කිරීම ජනතාව විසින් සිදුකල යුතුය. මේ අරගලයේ දිසාව ඇමරිකානු තානාපතිවරිය අපේක්ෂා කරන දිසාවට නොව, මෙරට සාමාන්‍ය ජනතාව අපේක්ෂා කරන දිසාවට මෙහෙය වීම මෙයට සම්බන්ධවී සිටින දේශප්‍රේමී,තරුණ පරපුරේ වගකීමයි.එසේ නොවුනහොත්, පොල්පොට් යුගයේ කාම්බෝජය, ඇමරිකන් ගැති ඉරාකය, හෝ ලිබියාවක් මේ රට තුල නිර්මාණය කිරීමේ වෑයමක් මතුවිය හැකිය.ඊයට ඉඩ නොතැබිය යුතුය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress