වත්මන් අර්බුදයේ සැබෑ පියවරුන් කවුද? 
Posted on July 11th, 2022
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර ලේකම්දෙශහිතෛෂී ජාතික ව්‍යාපාරය

වත්මන් ආර්ථික අර්බුදය සහ ඒ තුළින් උත්සන්න වූ දේශපාලන අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ පාර්ශ්ව හෙවත් අර්බුදයේ පියවරුන් පිළිබඳව විවිධ පාර්ශ්ව එකිනෙකාට චෝදනා කරති. ඊට අමතරව යම් පාර්ශ්ව අර්බුදය නිර්මාණය කරන්නට බෙහෙවින් දායක වූ පියවරුන්ට එය විසඳිය හැකි යැයි විශ්වාසය පළ කරති. එසේම අර්බුදයේ මූලයන් පිළිබඳව සහ එය විසඳීමට අදාළව ආණ්ඩුව සහ විපක්ෂය මෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීන වූ දේශපාලන නායකයින් එකිනෙකාට පරස්පර මතවාද ප්‍රකාශ කරති. ඒ නිසා මේ කිසිදු පාර්ශ්වයකට මේ වනතුරු අර්බුදය විසඳිය හැක්කේ මෙසේ යැයි නිශ්චිත න්‍යාය පත්‍රයක් සහ මාර්ග සිතියමක් මහජනයාට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. එවැනි තත්ත්වයක් තුළ දිනෙන් දින අර්බුදය උග්‍ර වන අතර අරගල භූමියේ ආතල්” ගන්නා පිරිස් මෙන්ම පෝලිම්වල මරාගන්නා පොදු ජනතාව ද හෙට සිදුවන්නේ කුමක්දැයි නොදැන විවිධ ආකාරයට තම කෝපය ප්‍රකාශ කරමින් දින පසු කරති.
එහෙත් රෝගයක් සුවපත් කිරීම සඳහා පූර්ව කොන්දේසිය වන්නේ නිවැරදි රෝග විනිශ්චය බව කුඩා දරුවෙකුට වුවද වටහාගත හැකි කරුණකි. ඒ අනුව අඩු තරමින් රෝග විනිශ්චය වැරදි නම් ප්‍රතිකාරය ද වරදින බව තේරුම් ගැනීමට අප රටේ දේශපාලන නායකයින් අසමත් වීම තුළින් පෙන්වන්නේ අර්බුදයට ගොදුරු වීම හැර අන් විසඳුමක් ඔවුන් සතුව නොමැති බව නොවේද? දැඩි මහජන විරෝධය හමුවේ පවා මහජනයාට නිශ්චිත විසඳුමක් ඉදිරිපත් කළ යුතු බව ඔවුහු පිළිනොගනිති. ඒ වෙනුවට ඔලුගෙඩි මාරු කිරීමෙන් ප්‍රශ්නය විසඳිය හැකි යැයි අපේක්ෂා කරමින් ලෙඩේ උත්සන්න කිරීමට උපරිම වශයෙන් දායක වූ වෙදකුට ලෙඩා භාරදීම සඳහා ඔවුහු එකඟ වෙති. එපමණක් නොව ජනවරමක් නොමැති එම ඔළුගෙඩි මාරුවෙන් පසුව ඔහුට අර්බුදය විසදීම සඳහා කාලයක් ලබාදිය යුතු යැයි මහජනයා තුළ අපේක්ෂා ජනිත කරමින් ඔහු දෙස බලා සිටීම තුළින් අර්බුදයේ ගැඹුර පිළිබඳව ඔවුන්ට ඇති අවබෝධය පැහැදිලි වේ. ඕනෑම වෙදෙකු ලෙඩෙකු භාර ගන්නේ නම් තමාගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාරය කුමක්දැයි ලෙඩාට පැහැදිලි කළ යුතුය. නමුත් අවම වශයෙන් පළමුවෙන්ම එම කොන්දේසිය සැපරිය යුතු යැයි වෙදාට අභියෝග කිරීමට කිසිදු දේශපාලන නායකයෙකු ඉදිරිපත්වූයේ නැත. ඊට හේතුව ඔවුන්ගේ දේශපාලන න්‍යායාත්මක දුප්පත්කම ද එසේ නැතහොත් සුළු පිරිසක් විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා පනවනු ලබන මානසික බාධක වලට යටත්වීමද යන්න පැහැදිලි නැත. බොහෝවිට ඒ දෙකම නිසා බව උපකල්පනය කළ හැක.
කෙසේ වෙතත් සත්‍ය කතා කිරීම සහ එය පිළිගැනීම වැළැක්වීම සඳහා බරපතළ මානසික බාධක පැනවීමේ ක්‍රියාවලියක් රට තුළ දියත් වන බව ඉතා පැහැදිලිව දැක ගත හැක. මැයි 9 දින භීෂණය තුළින් එම තත්ත්වය තවදුරටත් උත්සන්න විය. යම් දේශපාලන පක්ෂ එවැනි කළු 9 වැනිදාවක් නැවත උදා වේ යැයි බියට පත්ව සියල්ල පසෙකලා ඊට මුහුණ දිය යුත්තේ කෙසේදැයි සාකච්ඡා කරති. ඇත්ත වශයෙන්ම මෙම මානසික බාධක පැනවීමේ ක්‍රියාවලියට දායක වන්නේ මිලියන 15ක් වූ ඡන්ද දායකයන් අතුරින් දළ වශයෙන් මිලියන 2ක් පමණ වූ සමාජ මාධ්‍ය තුළ සැරිසරන පිරිසකි. ඒ නිසා අද වන විට ආර්ථික ආපදාව යොදා ගනිමින් රට තුළ මහා දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමේ ආපද අධිරාජ්‍යවාදී මෙහෙයමට අදාල ප්‍රධාන භූමිකාව ඉටු කරන්නේ සකර්බර්ග්” විසින් බව පිළිගැනීමට සිදුවේ. බ්‍රිතාන්‍යයේ ක්‍රේම්බිජ් ඇනලිටිකා” විමර්ශනය තුළින් මුහුණ පොත” සතු තොරතුරු යොදාගනිමින් සමාජ මතය වෙනස් කිරීම සඳහා දියත් කළ මෙහෙයුම කෙතරම් සූක්ෂම ද යන්න අනාවරණය විය. අප රටට අදාලව ගත්විට දීර්ඝකාලීනව දේශපාලන නායකයින්ට එරෙහිව ගොඩනැගී ඇති අප්‍රසාදය සහ වෛරය නිසා සකර්බර්ග්ට තමා කාර්යය පහසු වී ඇත.
ශ්‍රී ලංකාවේ මනෝ විද්‍යාව පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා සමාජ මාධ්‍ය ජාලා යොදාගනිමින් දියත් කෙරෙන මානසික යුද උපක්‍රම පිළිබඳ බොහෝ අධ්‍යයනයන්හි නියැලෙන විද්වතෙකි. ඔහුට අනුව මුහුණු පොත් සතු දත්ත මගින් පුද්ගලයෙකුගේ මනෝවිද්‍යාත්මක අනන්‍යතාවය හෙවත් හැඩතල නිර්මාණය කළ හැක. එතුමා මෙම ලියුම්කරු සමග පුද්ගලිකව සඳහන් කළ ආකාරයට අප රටේ තීරණාත්මක භූමිකාවක් ඉටුකරන දේශපාලන නායකයින්ගේ මනෝවිද්‍යාත්මක හැඩතල මුහුණු පොත විසින් ඉතා හොඳින් පද්ධති ගත කර ඇත. ඊට අනුව ඔවුන්ට මානසික බාධක පැනවිය හැකි හෝ ඔවුන් පෙළඹවිය හැකි මතවාද සහ සත්‍ය හෝ අසත්‍ය කරුණු පද්ධතිය මගින් මධ්‍යගතව ඉහළට එසවීමේ හැකියාව ඇත. අද වන විට මුහුණුපොතට කළ නොහැකි දේ එනම් විශේෂයෙන්ම බලවත් දේශපාලන නායකයින්ට සහ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට සෘජුව මානසික බාධක පැනවීම සිදු කරනු ලබන්නේ ඇමරිකානු තානාපතිනිය විසිනි. ඇය රුසියානු ගුවන් යානය නිදහස් නොකරන ලෙස අමාත්‍යවරයාට බලපෑම් කිරීමට පවා ධෛර්යමත් වී ඇති බව එලිදරව් විය. ඊට අමතරව ඇය විසින් ආරක්ෂක හමුදා ප්‍රධානීන් පවා කැඳවන බව සහ ඔවුන් එම සාකච්ඡාවලට සහභාගී වන්නේ සේනාධිනායකයාගේ අවසරය නොමැතිව බවට ද එළිදරව් වී ඇත.
කෙසේවෙතත් එසේ පැනවෙන මානසික බාධක ක්‍රියාවලිය කෙතරම් ප්‍රබලද යත් බුද්ධිමත් ජනතාව අතර ජනාදරයට පත්ව සිටි ජේ්‍යෂ්ඨ ගායිකාවක් ඊනියා අරගල භූමියට පැමිණ වත්මන් ජනාධිපති පත් කිරීමට දායකවීම පිළිබඳව මහජනතාවගෙන් සමාව ඉල්ලීය. එම ක්‍රියාවට ඇය වැනි චරිතයක් පෙළඹවීම මගින් සමස්ත මානසික බාධක ක්‍රියාවලියට කෙතරම් දායකත්වයක් ලබාගත හැකි ද යන්න තේරුම් ගැනීම අපහසු නැත. එවැනි තත්ත්වයක් තුළ 2015 ආණ්ඩු පෙරළියට පසුව මහින්දාගමනයට” සහ ඉන් පසුව ”ගෝඨාගමනයට” ඉහළම දායකත්වයක් සැපයූ දේශපාලන නායකයෙකු මෙම ලියුම්කරුට සඳහන් කළේ ගෝඨාභය ජනාධිපති කිරීමට දායක වීම පිළිබඳව තමා තුළ වරදකාරී හැඟීමක් තිබෙන බවය. නමුත් ගෝඨාභය බලයට පත් නොවී සජිත් ප්‍රේමදාස මහතා නාමිකව සහ ඔහුට සහාය දැක්වූ ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් බලයට පත් වූවා නම් මෙම අර්බුදය නිර්මාණය නොවනු ඇත්ද යන ප්‍රශ්නයට ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත.
කෙසේවෙතත් ඉහත සඳහන් කළ ආකාරයට සමාජයේ මත නිර්මාණය කරන දේශපාලන නායකයින්ගේ විග්‍රහයන් සහ තීන්දු වරදින්නේ මානසික බාධක නිසාම පමණක් නොවන බව ද පිළිගත යුතුය. ඊට බොහෝ දුරට දේශපාලන න්‍යායත්මක දුප්පත්කමට අමතරව කරුණුමය සාක්ෂි විවේක බුද්ධියෙන් විශ්ලේෂණය කිරීමට අසමත් වීම යන සාධක ද බලපාන බව ඉතා පැහැදිලිය. පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව අප රටේ දේශපාලන නායකයින්ගේ දේශපාලන විග්‍රහයන් කරුණුමය සහ න්‍යායාත්මක වශයෙන් පොහොසත් නැති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. උදාහරණයක් ලෙස යම් දේශපාලන නායකයින්ට අනුව වර්තමාන අර්බුදය උපදින්නේ නිදහසින් පසුව අප පැමිණි වැරදි ගමන් මඟ නිසාය. ඒ මගින් යටත් විජිත සමයේ දී යහපත් ආර්ථික කළමනාකරණයක් සිදු වූ බවට ද වක්‍රව පිළිගැනේ. එහිදී 1977ට පෙර යුගයේ පැවති ආර්ථික මොඩලය සහ ඉන්පසුව ආරම්භ වූ ආර්ථික මොඩලය අතර පවතින පැහැදිලි වෙනස සහ එමගින් ඇතිවන ප්‍රතිඵලයේ වෙනස අවතක්සේරු වේ. එනම් 1977ට පෙර යම් දුර්වලතා සහිතව හෝ ජාතික රාජ්‍යය ශක්තිමත් කෙරෙන මෙන්ම දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කෙරෙන සහ බලශක්ති සුරක්ෂිතතාවය, ආහාර සුරක්ෂිතතාවය ආදිය සහතික කෙරෙන එම මොඩලයේ ප්‍රතිඵලය කුමක්ද? එමෙන්ම විදේශ ණය මත පදනම් වූ නාගරික ඉදිකිරීම් සහ වෙළඳාම මුල්කරගත් සහ හොරකම, දුෂණය සංස්ථාගත කළ මොඩලයකින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? එම ආර්ථික මොඩල දෙක අතර වෙනස මෙන්ම අදාළ ප්‍රතිඵල අතර වෙනස හඳුනාගත නොහැකිනම් රෝග විනිශ්චය වරදින බව ඉතා පැහැදිලිය. එසේ නම් එවැනි දේශපාලන ව්‍යාපාර විසින් ඉදිරිපත් කරන ප්‍රතිකාරද වරදින බවට සැකයක් නැත.
ඊට අමතරව හොරකම, වංචාව සහ දූෂණය නිසා මෙම අර්බුදය ඇතිවූ බවට විග්‍රහකර ගැනීම තුළ රාජපක්ෂලා හොරකම් කළ මුදල් ආපසු රට තුළට ගෙන ඒම මගින් අර්බුදය විසඳිය හැකි යැයි මතයක් ගොඩ නැගීම නිසා ද රෝගයේ මහා පින්තූරය විනිශ්චය කිරීමට නොහැකිවේ. රාජපක්ෂ පරපුරට එරෙහිව විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව බරපතළ දූෂණ, වංචා චෝදනා එල්ල වන බව සත්‍යයකි. ඒවා අධිකරණය හමුවේ හෝ පරීක්ෂණ කොමිසමක් හමුවේ ඔප්පු වුවත් නැතත් පොදු මහජනයා එම චෝදනා පිලිගනිති. විවිධ යටිතල පහසුකම් විශේෂයෙන්ම අධිවේගී මාර්ග සහ නාගරික ඉදිකිරීම් සඳහා විදේශ ණය ලබා ගැනීමේදී නිශ්චිත කොමිස් මුදලක් ලැබෙන බව පරම සත්‍යයකි. ඒ නිසාම එවැනි ව්‍යාපෘති වල උපායමාර්ගික ප්‍රමුඛතාවය කුමක් වුවත් ඉහළම කොමිස් ලබා ගත හැකි සහ ඉහළම පිරිවැය සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙළඹවීමක් ඇති වේ. ඒ මගින් විදේශ ණය බර වැඩිවන අතර එක් පැත්තකින් මහජන මුදල් කොල්ලකෑමට ලක්වේ. එසේම අනෙක් පැත්තෙන් රාජ්‍යයට ප්‍රතිඵලදායක නොවන පිරිවැය දැරීමට සිදුවන නිසා ප්‍රමුඛතාවය සහිත ව්‍යාපෘති ක්‍රියාතමක කිරීමට නොහැකි වේ.
නමුත් එසේ හොරකම සහ දූෂණ නිසා වර්තමාන අර්බුදය ඇති වූ බවට මතවාද ගොඩ නැගීම මගින් ඉහත සඳහන් කළ ආකාරයට රෝග විනිශ්චය වරදින බව ඉතා පැහැදිලිය. එමඟින් අර්බුදයට මූලික හේතුව වන එදා 1977න් පසුව ආරම්භ වූ ආර්ථික මොඩලයේ අවුල අවතක්සේරු වේ. ඒ තුළ වංචාව සහ දූෂණය ප්‍රචලිත කෙරෙන්නේ එම මොඩලයේ අනිවාර්ය අංගයක් නිසා බවද අවධාරණය නොවේ. වර්තමාන අර්බුදයේ මූලික රෝග ලක්ෂණ වන වෙළෙඳ හිගය අපනයන ආදායමට සමාන වීම හෙවත් ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයක් බවට පත්වීම මෙන්ම ඒ නිසා විදේශ සංචිත සිඳී යාම සහ ණය ආපසු ගෙවීමට නොහැකිවීම ආදී වශයෙන් වන විෂම චක්‍රය අද පවතින පරාධීන ආර්ථික මොඩලයේ අනිවාර්ය ලක්ෂණයකි. ආනයන දිරිමත් කෙරෙන සහ වෙළඳාම ප්‍රචලිත කරමින් දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වට්ටන එම මොඩලය නිවැරදි කිරීමෙන් තොරව රෝග ලක්ෂණ නැති කිරීමට හැකියාවක් නැත. නමුත් අප රටේ දේශපාලන නායකයින් සහ සමහර විද්වතුන් යැයි කියාගන්නා පිරිස් අර්බුදය කොටස් වශයෙන් විග්‍රහ කර ගැනීම තුළ ආර්ථික දේහය වෙලාගත් මහා රෝගය පිළිබඳ සංවාදය යටපත් වේ.
එනම් ආර්ථික මොඩලය වෙනස් කිරීමෙන් තොරව සහ ඒ තුළ පවතින දූෂණය ප්‍රචලිත කෙරෙන නීති සහ පරිපාලන ක්‍රමවේද විශේෂයෙන්ම විනිමය පාලනයට අදාළ නීති සංශෝධනය කිරීමෙන් තොරව අර්බුදය විසඳිය නොහැකි බව අවධාරණය නොවේ. එසේම ඒ තුළ එදිනෙදා පරිභෝජනය සඳහා සිදුකරන ආනයන වියදම් පියවා ගැනීම සඳහා වාණිජ පොලියට විදේශ ණය ගැනීම මගින් අර්බුදය උත්සන්න වන ආකාරය සැලකිල්ලට ලක් නොවේ. ඒ ආකාරයට 2015 සිට 2019 දක්වා කාලය තුළ 7%ක් වැනි ඉහළ පොලියට ස්වෛරී බැඳුම්කර ඩොලර් මිලියන 12500ක් නිකුත් කිරීම මගින් කෙටිකාලීන විදේශ ණය ලබා ගැනීම සහ 2017 දී විනිමය පනත දුර්වල කිරීම මගින් අර්බුදය උත්සන්න කළ දේශපාලන නායකයා ගැලවුම්කාරයා බවට පත්වන්නේ එම මහා පින්තූරය තේරුම් නොගැනීම නිසා නොවේද? මීට වසර 40කට පෙර ලෝකයේ දුප්පත්ම රටවල් 10ට අයත් වූ බංගලිදේශයේ ඩොලර් මිලියන 50000 සංචිත පවතින විට ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 100ක් නැති තත්ත්වයට පත් වන්නේ මෙම සත්‍ය තේරුම් නොගැනීම නිසාය. බොහෝ දේශපාලන නායකයින් පවසන ආකාරයට ආර්ථික මොඩලයේ අවුල එසේම තිබියදී විද්වතුන්ට රට බාර දීම මගින් අර්බුදය විසඳිය හැකිද? බංගලාදේශීය විද්වතුන් සහ අප රටේ විද්වතුන් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා ආර්ථික විද්‍යාවේ මූලධර්මවල වෙනසක් නැත. වෙනස ඇත්තේ ආර්ථික සහ දේශපාලන උපාය මාර්ගික ප්‍රවේශය තුළ ය. කෙසේ වෙතත් විද්වතුන්ට පාලනය භාර දීම මගින් අර්බුදය විසඳිය හැකි යැයි යමකු පවසන්නේ නම් එසේ භාරදිය යුත්තේ බංග්ලාදේයේ විද්වතුන්ට ය.
කෙසේ වෙතත් අද ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය නලලේ කොටා තිබූ දෙයක් බව ඉහත පැහැදිලි කිරීම කිරීම් මගින් තහවුරු වේ. කොවිඩ් වසංගතය මගින් සිදු වූයේ එය ප්‍රකාශයට පත් වීම ඉක්මන් වීම පමණි. ඒ අනුව පවතින මොඩලය මූලයෙන් ම වෙනස් නොකරන තත්වයක් යටතේ ජනාධිපති පුටුවේ කුමන පුද්ගලයෙකු වාඩිවී සිටිය ද ප්‍රතිඵලය වෙනස් නොවේ. එසේ වුවත් නලලේ කොටා තිබූ ඉරණම වෙනස් කරන බවට මහා අපේක්ෂා දල්වමින් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනවරම පිළිබඳව අබමල් රේණුවක ගෞරවයක් හෝ සැලකිල්ලක් දැක්වූයේ නැත. ඒ වෙනුවට එතුමා විසින් තමා වටේ කැරකෙන ජාවාරම්කරුවන් අතළොස්සකට මෙන්ම තමා විසින් තෝරාගත් වියතුන් ලෙස හැඳින්වෙන පුද්ගලයන් පිරිසකට සහ මෑත ඉතිහාසය තුළ බැරිකම පමණක් ප්‍රදර්ශනය කළ ඇමතිවරුන් පිරිසකට සියල්ල භාරදී එළුවගෙ පස්ස දෙස බලා සිටි නරියාගේ භූමිකාව රඟ දක්වනු ලැබීය. ඒනිසා එතුමාට පොදු මහජනතාවගෙන් සමාවක් නොලැබීම ඉතා සාධාරණ වේ. නමුත් අර්බුදය උත්සන්න වූ මොහොතේ දී පවා නිශ්චිතව කළ යුත්තේ කුමක්දැයි රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන සෙසු සියලු බලවේගවලට ද තම වග කීමෙන් නිදහස් විය නොහැක.
ඊට අමතරව මෙම අර්බුදය එනම් රෝගය උත්සන්න කිරීමට දැනුම්වත්ව හෝ නොසැලකිලිමත්ව දායක වූ වෙදුන් පිළිබඳව සංවාදයක් ගොඩනැගීමට දේශපාලන නායකයින් අසමත් වී ඇත. ඒ පුද්ගලයන් කවුරු වුවත් රෝගය වර්ධනය වූ හෝ වර්ධනය කළ ආකාරය වටහා ගැනීම රෝග විනිශ්චය ක්‍රියාවලියේම කොටසකි. ඉහත සඳහන් කළ ඩොලර් මිලියන 12500ක ඩොලර් බැඳුම්කර නිකුතුව ඊට හොඳම උදාහරණයකි. එම ප්‍රමාණය සමස්ත කෙටිකාලීන විදේශීය වාණිජ ණය ප්‍රමාණයෙන් 70% කි. එහෙත් ඊට උපදෙස් දුන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වර්තමාන ආණ්ඩුවේ උපදේශකයෙකි. ඔහුට නියෝග දුන් හෝ ඔහුගේ නියෝග අනුව දේශපාලන තීන්දු ගනුලැබූ පුද්ගලයා අතට දැන් දේශපාලන බලය හුවමාරු වී ඇත. මේ වන විට ස්වෛරී බැඳුම්කර ගෙවීම් පැහැර හැරීම් පිළිබඳව නිව්යෝක් අධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව අනුව ශ්‍රී ලංකාවට ආර්ථික සහ මූල්‍ය සුනාමියකට ගොදුරු වීමේ ඉඩක් ඇත. ඒ මගින් රජයට අයත් දේපළ පවරා ගැනීමේ හැකියාව සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ආකර්මන්‍ය කිරීමේ හැකියාව ඇත. එම බැඳුම්කර මගින් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම ද විශේෂ තත්වයකි. ආනයන වියදම් පියවා ගැනීම සඳහා ගනු ලැබූ එම තීන්දුවල ප්‍රතිවිපාක අදාල පුද්ගලයින් නොදැන සිටියා යැයි පිළිගත හැකි ද? එසේම යුද ජයග්‍රහණයෙන් පසුව ආර්ථික ඝාතක මාර්ග සිතියම ඔස්සේ ආණ්ඩුව දක්කා ගෙන ගිය කළ පී.බී. ජයසුන්දර සහ බැසිල් රාජපක්ෂ යන අය ගේ භූමිකාව මගින් ආර්ථිකයට සිදු වූ විනාශය කොතෙක් දැයි කිරා මැන බැලීම රෝග විනිශ්චයේ කොටසක් නොවේ ද?
ඒ සියල්ලටම අමතරව අර්බුදයේ පියවරුන් පිළිබඳ සංවාදයේ දී පවතින අර්බුදය උත්සන්න කිරීමට ඉතා සූක්‍ෂම මෙහෙයුම් දියත් කරන සහ උත්සන්න වූ අර්බුදය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍යය දණගස්වා තමාට අවශ්‍ය මාවත ඔස්සේ රැගෙන යන බලවේග හඳුනා ගැනීමද ඉතාම වැදගත් වේ. මේ වන විට ඉන්දියාව ඉතා සූක්ෂමව ශ්‍රී ලංකාවට යම්තම් හුස්ම ගැනීම සඳහා ඊනියා ක්‍රෙඩිට් ලයින් එකක් ලබා දී එමඟින් ආණ්ඩුවේ අත අඹරා ඉටුකර ගැනීමට නියමිත භූ දේශපාලන අත්පත් කර ගැනීම් වල ප්‍රමාණය ඉතා බරපතළ වේ. උදාහරණයක් ලෙස එම අපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට අනුව ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ අනුකම්පාවට යටත් කිරීමට නියමිතය. විදුලි පනත සංශෝධනය කර ඉන්දියාවේ අදානි සමාගමට මෙගාවොට් 500 ක සුනිත්‍ය බල ව්‍යාපෘතිය ලබාදීම මගින් පමණක් ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය ඕනෑම මොහොතක බිඳ වැට්ටවීමේ යතුර අදානි සමාගම අතට පත්වේ. ඊට අමතරව අයි.ඕ.සී. තෙල් සමාගමට වසර අවසානයේ දී ගෙවිය හැකි ආකාරයට මවු සමාගමෙන් ණයට තෙල් ආනයනය කර රටේ ඉන්ධන අර්බුදය යම් පමණකට සමනය කිරීමට සහය දැක්විය හැක. එහෙත් ඒ වෙනුවට එම සමාගම අපනයන කර්මාන්ත සඳහා නිකුත් කරන ඉන්ධනවලට ඩොලර් වලින් ගෙවීම් කළ යුතු බවට බලකරන අතර තම ආධිපත්‍ය වර්ධනය කරගැනීම සඳහා අමතර පිරවුම්හල් 50ක් ද ඉල්ලති. ඉන්දියානු ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම ඇමෙරිකාව ප්‍රමුඛ ක්වෙඩ්” රටවල් සමූහය විසින් දියත් කරන ඉන්දු පැසිෆික් භූ දේශපාලන ක්‍රියාන්විතයේම කොටසක් බව ඉතා පැහැදිළි ය. එහෙත් ඒ පිළිබඳව සමාජ සංවාදයක් නිර්මාණය කිරීම සඳහා අඩු තරමින් වාමාංශික පක්ෂ පවා අසමත් වී ඇත. ඒ අනුව අර්බුදයේ සැබෑ පියවරුන්ගේ ලැයිස්තුවට රටේ සියලුම දේශපාලන පක්ෂ අයත් වන බව පිළිගැනීමට සිදුවේ.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර ලේකම්දෙශහිතෛෂී ජාතික ව්‍යාපාරය