ඩොලර් අර්බුදය උග්‍රවන්නේ 2017 විදේශ විනිමය පනත නිසාද? 
Posted on July 14th, 2022

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර ලේකම් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

අප රටේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් වලට අදාල සියලු කටයුතු මූලික වශයෙන් නියාමනය කරනු ලබන්නේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගිනි. එම පනත සම්මත කරනු ලැබූ 2017 ජුලි 28 දක්වා ඒ සියලු කටයුතු පාලනය වූයේ 1953 අංක 27 දරණ විනිමය පාලන පනත මගිනි. එම පනත යටතේ පිහිටු වූ විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව විනිමය පාලනයට අදාළ සියලු කටයුතු ස්වාධීනව සිදුකරනු ලැබීය. ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ සියලු තොරතුරු බැංකු පද්ධති තුළ ඒකරාශී වූ අතර බැංකු පද්ධතියට පරිබාහිරව කළු වෙළඳපළක් වර්ධනය කළ නොහැකි ආකාරයට දැඩි සීමා පැණවින. එම පනත යටතේ සිදු කෙරෙන යම් වැරදි සඳහා රේගු ආඥා පනත යටතේ පවා දඩුවම් කළ හැකි විය. එම පනතට උල්ලංඝනය කිරීම අපරාධ වරදක් බවට පත්වන අතර වසර 5ක් දක්වා සිර දඬුවම් සහ දඩ නියම කළ හැක.

2017ට පෙර ක්‍රියාත්මක වූ පනත යටතේ වරදක් කිරීමට උත්සාහ කිරීම ද පනත යටතේ වරදක් බවට පත් කිරීම විශේෂ තත්වයකි. එම දැඩි පාලනය නිසා අපනයන ආදායම් සියල්ල නිසි ලෙස බැංකු පද්ධති හරහා රට තුළට ප්‍රේෂණය විය. ඊට අමතරව කළු වෙළඳපළ හරහා විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් සිදුකිරීම බරපතල වරදක් වූ බැවින් අද මෙන් කළු වෙළෙඳපොළ හරහා ගනුදෙනු කිරීමට අපරාධකරුවකු හැර අන් කිසිවෙකු දිරිමත් නොවීය. එම තත්ත්වය වෙනස් කර විදේශ විනිමය ජාවාරම් දිරිමත් කිරීම සහ කළු වෙළඳපල මගින් විදේශ විනිමය රට තුළට ගලා ඒම දිරිමත් කිරීම සඳහා පළමු උත්සාහය ගනු ලැබුවේ 2003 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ය. ඒ විදේශ විනිමය කළමනාකරණ පනත නමින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම මගිනි. එම පනත මගින් මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය විසින් ස්වාධීනව ක්‍රියාත්මක කළ බලතල සියල්ල මුදල් අමාත්‍යවරයා සහ මුදල් ලේකම්වරයා යටතට පත් කිරීමට නියමිත විය. ඊට අමතරව 1953 පනත් මගින් අපරාධ වැරදි ලෙස සිර දඩුවම් නියම වන වැරදි සියල්ල සිවිල් නඩු නිමිති බවට පත්කෙරිණි. එහෙත් එම විනාශකාරී පණත් කෙටුම්පතට එරෙහිව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව එම පනත සම්මත කිරීම සඳහා විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියම විය.

එහෙත් එදා 2003දී තනි පුද්ගලයෙකුගේ මැදිහත්වීම මත එම බරපතළ වරදක් නිවැරදි කරගත හැකි වුවත් 2017 දී පැවති තත්ත්වයන් යටතේ ඊට ඉඩක් නොලැබුණි. ඒ නිසා 2006 මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ විනිමය පාලනය සඳහා පැවැති ප්‍රතිපාදන පවා අභියෝගයට අභියෝගයට ලක් වන ආකාරයට 2017 විදේශ විනිමය පනත සම්මත කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සහ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාට නැවත ඉඩක් ලැබුණි. ඉහත සඳහන් කළ ආකාරයට 2003 පනත මෙන් මෙම පනත මගින් ද මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය මෙහෙයවීමේ බලය මුදල් අමාත්‍යවරයාට ලැබුණි එසේ නව පනත මගින් ඊට පෙර අපරාධ වැරදි ලෙස හැඳින්වූ පනත යටතේ වැරදි සියල්ල සිවිල් නඩු නිමිති බවට පත්කෙරිණි. එහිදී මහ බැංකුව විසින් වැැරදි කරුවෙකුට පනවනු ලබන දඩ මුදල් පිළිබඳව අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනා මණ්ඩල පිහිටුවීමේ බලය ද අමාත්‍යවරයා යටතට පත්විය. ඊට අමතරව පනත් ක්‍රියාත්මක වන දිනයට පෙර සිදුකළ සියළු වැරදි පිළිබඳව තවදුරටත් අපරාධ නීතිය යටතේ දඬුවම් කළ නොහැකි බවට ප්‍රතිපාදන පනතට ඇතුල් කෙරිණි. ඒ අනුව අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව එල්ල වූ සියලු චෝදනා වලින් නිදහස් වීමට ඔහුට හැකියාව ලැබුණි.
ඒ ආකාරයට 2017 විදේශ විනිමය පනත මගින් විදේශ විනිමය පාලනය ඉතා බරපතළ ලෙස දුර්වල කිරීමේ ප්‍රතිවිපාක අද රටේ මහජනයා භුක්ති විදිමින් සිටිති. අපනයන ආදායම් රට තුළට බැංකු පද්ධතිය හරහා ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි පාලනය කිරීම සිදුනොවන බැවින් විවෘත ගිණුම් මගින් එම ආදායම් අවභාවිතා කිරීමට හැකියාව ලැබී ඇත. පසුගිය මාස 6ක කාලය තුළ අපනයන ආදායම් දළ වශයෙන් 10% කින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් යටතේ පවා අදාළ විදේශ විනිමය ආදායම් රට තුළට ගලා ඒම සිදු නොවන්නේ ඒ නිසාය. ඊට අමතරව බැංකු පද්ධතියට තරගකාරීව කළු වෙළෙඳපොළ මහා පරිමාණයෙන් පුළුල් කිරීමට ජාවාරම්කාරයන්ට හැකි වී ඇත්තේ නව පනත නිසා මහ බැංකුවට අසරණව ඒ දෙස බලා සිටීමට සිදු වී ඇති නිසාය. පනත යටතේ පනවා ඇති සීමාවන් පවා උල්ලංඝනය කිරීමේදී එම වැරදි වලට පනත යටතේ අපරාධ නඩු පැවරිය නොහැකි බැවින් ජාවාරම්කරුවන් දිරිමත් වන අතර ඔවුන්ට නිරුපද්‍රිතව කළු වෙළද පොළ හරහා අසීමිතව ලාභ ඉපයීමට හැකියාව ලැබී ඇත.

එම තත්ත්වය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් සහ ආගමික අන්තවාදී බලවේගවලට එසේ කළු වෙළඳපළ හරහා රටේ ආර්ථිකය හැසිරවීමට පවා හැකියාව ලැබී ඇත. ඊට අමතරව 2017 පනතේ පවතින දුර්වල ප්‍රතිපාදන නිසා මුදල් විශුද්ධිකරණ පනත පවා උල්ලංඝනය කරමින් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා පවා විදේශ විනිමය අවභාවිතා කිරීමට හැකියාව ලැබී ඇත. එම ක්‍රියාවලියටම අදාළ ඉතා බරපතළ ම උදාහරණ කිහිපයක් පොලිස් පරීක්ෂණවලදී සහ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා සාක්ෂි විමසීම් වල දී මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වලදී එළිදරව් විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ සාක්ෂි ලබාදුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය නිලධාරියා සඳහන් කරනු ලැබූවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ හිරා පදනමට” රුපියල් මිලියන 17500ක් වටිනා විදේශ අරමුදල් සෞදි අරාබියේ සංවිධානයකින් ප්‍රේෂණය කර ඇති බවය.

එම ක්‍රියාවලිය තුළ හිස්බුල්ලා මහතාගේ ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන 27ක පමණ විදේශ විනිමය අවස්ථ කිහිපයකද ලැබී තිබූ බව හෙළිදරව්ය. නමුත් බැංකු පද්ධතිය විසින් ඒ පිළිබඳව මහ බැංකුවට වාර්තා කිරීමක් සිදු වී නැත. ඒ අනුව මහ බැංකුවේ අවසරය නොමැතිව එම විදේශ අරමුදල් වලින් විදේශීය ගෙවීම් සිදු කිරීමේ හැකියාව ද ඇත. ඊට අමතරව කළු වෙළෙඳපොළ මගින් එකතු කරනු ලබන විදේශ අරමුදල් පවා බැංකු ගිණුම් වලට බැර කිරීම මගින් ඒවා නීත්‍යානුකූල කිරීමට සහ එම විදේශ විනිමය රටින් බැහැර කිරීමට ද හැකියාව ඇත. එවැනි ගනුදෙනු පිළිබඳව මහ බැංකුව සතුව තොරතුරු නොමැති බව සහ එම ගනුදෙනු වැළැක්වීම සඳහා මහ බැංකුවට බලතල නොමැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී හෙළිදරව් විය. එවැනි තත්වයක් නිර්මාණය වී ඇත්තේ 2017 දී සම්මත කරනු ලැබූ විදේශ විනිමය පනත නිසා බව එම කාරක සභා අවස්ථාවේදී තවදුරටත් පැහැදිලි විය.

එම පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා 2019 ජුලි 26 දින මහබැංකු ප්‍රධානීන් කැඳවනු ලැබීය. එම අවස්ථාවට එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ අධ්‍යක්ෂකවරුන් වන ඩී.එම්. රණසිංහ සහ ආර්.ආර්. ජයරත්න යන මහත්වරුන් සහභාගී විය. එහිදී සාක්ෂි ලබාදුන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කරන්නේ වාණිජ බැංකු විසින් විදේශීය ප්‍රේෂණවලට අදාලව සියලු තොරතුරු සටහන් කර නොගන්නා බවය. හිරා පදනම වෙත සෞදි අරාබියේ සංවිධානවලින් අවස්ථා 7ක දී ලැබී තිබූ රුපියල් බිලියන 17500ක් වටිනා විදේශ මුදල් ව්‍යාජ ආකාරයට විදේශ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස සටහන් කර තිබූ බව මහ බැංකු අධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.

එහිදී සාක්ෂි ලබාදුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ආර්. ආර්. ජයරත්න මහතා සඳහන් කළේ පවතින නීතිය අනුව බැංකු පද්ධතියෙන් පරිබාහිරව බොහෝ විදේශ විනිමය ගනුදෙනු සිදුවන බවය. ඊට අමතරව එම ගනුදෙනු නියාමනය කිරීම සඳහා තමාට බලයක් නොමැති බව ද ඔහු විසින් පිළිගනු ලැබීය. ඒ අනුව නීත්‍යානුකූල බැංකු පද්ධතියෙන් පරිබාහිරව මහා කලු වෙළඳපොළක් පවතින බව එදා එළිදරව් විය. ඒ පිළිබඳව සහ එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වූ 2017 විදේශ විනිමය පනත මගින් විනිමය පාලළනයට අදාලව ඇති කරන අවුල් සහගත තත්වය පිළිබඳව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් පුවත්පත් මගින් හෙළිදරව් කරනු ලැබීය. අද උත්සන්න වී ඇති රෝගයේ මූලික ලක්ෂණ ඔහු විසින් පෙන්වා දුන්නද පනත ශෝධනය කර අදාල වැරදි නිවැරදි කළ යුතු බවට සමාජ සංවාදයක් ඇති නොවීය. එහි විපාක අද තෙල් පෝලිම් වලදී මහජනයා අත්විඳිමින් ඇත.

ඉහත සඳහන් කළ තේරීම් කාරක සභාවේ දී 2017 දී එම පනත සම්මත කළ ආකාරය පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් ද සිදුවිය. එදා 2003 දී යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සම්මත කිරීමට නියමිත වූ පනත් කෙටුම්පත් බාහිර පිරිසක් විසින් සකස් කරන බවට එල්ල වූ චෝදනා එහිදී සනාථ විය. එම කාරක සභාවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේ පනත් කෙටුම්පත් සකස් කිරීමේ ක්‍රියාවලියට මහ බැංකුව සම්බන්ධ නොවූ බවය. ඒ අනුව මුදල් අමාත්‍යවරයා අතට විදේශ විනිමය පාලන බලය ලැබෙන සහ පනත උල්ලංඝනය කිරීම අපරාධ වරදක් බවට පත් නොවන ආකාරයට මෙන්ම තමාට එල්ල වූ අපරාධ චෝදනා තවදුරටත් විභාග කළ නොහැකි ආකාරයට අමාත්‍යවරයා විසින් බාහිර උපදෙස් අනුව පනත සකස් කළ බව එහිදී එළිදරව් විය. නමුත් එවැනි බරපතළ වරදක් පිළිබඳ පවා සමාජ කතිකාවක් ඇති නොවීය.

ඒ ආකාරයට 2017 සම්මත කළ විදේශ විනිමය පනත මගින් විදේශ විනිමය පාලන ක්‍රියාවලිය බිඳ වට්ටන බව සහ එහි ප්‍රතිවිපාක ඉතා බරපතළ බව එලිදරව් වුවද පාර්ලිමේන්තු කාරක සභාව මගින් පවා අදාළ පනත වහාම සංශෝධනය කළ යුතු බවට නිර්දේශයක් ඉදිරිපත් කළේ නැත. මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදය විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයට අදාළව නිසි පියවර ගත නොහැකි වී ඇත්තේ පවතින පනතේ දුර්වලතා නිසා බවට මහ බැංකු අධිපතිවරයා විසින් හෝ අදහස් ප්‍රකාශ කරන්නේ නැත. 2015 සිට 2019 දක්වා කෙටිකාලීන ස්වෛරී බැඳුම්කර ඩොලර් මිලියන 12500 ක් එනම් සමස්ත වාණිජ ණය වලින් 70%ක් ලබා ගැනීම මගින් වත්මන් අර්බුදයට පුද්ගලිකව දායකත්වයක් සැපයූ අය අතරින් ප්‍රමුඛයෙකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වර්තමාන ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වුවද පනත සංශෝධනය කළ යුතු බවට ඔහු විසින් හෝ උපදෙස් ලබා දී ඇති බවක් දැනගන්නට නැත.

ඉන්දියාවේ අදානි සමාගමට මෙගාවොට් 500 ක සුනිත්‍ය බල ව්‍යාපෘතියක් ටෙන්ඩර් කැඳවීමෙන් තොරව ලබාදීම සඳහා දින කිහිපයක් ඇතුළත විදුලිබල පනත සංශෝධනය කිරීමට ගෝඨා – රනිල් සන්ධානය උත්සුක විය. එහෙත් වත්මන් අර්බුදය විසඳීම සඳහා ප්‍රධානතම පූර්ව කොන්දේසිය වන පවතින විදේශ විනිමය පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු විවාදයකදී හෝ අසන්නට නොලැබුණි. ඊට අමතරව ආණ්ඩුව විවේචනය කරන සහ තමන්ට අගමැතිකම දුනහොත් මාස 6කින් අර්බුදය විසඳා පෙන්වන්නම් කියන විපක්ෂයේ දේශපාලන නායකයින් පවා මෙම මූලික පූර්ව කොන්දේසිය ඉටු කරන ලෙස බලපෑම් කරන්නේ නැත. පනත සංශෝධනය කිරීම මගින් කළු වෙළෙඳපොළ පාලනය නොකරන්නේ නම් එම පක්ෂයේ සාමාජිකයන් වුවද කළු වෙළෙඳපොළ තුළ ඩොලර් එකට අමතරව ගෙවන රුපියල් 40 හෝ 50 අතහැරදමා බැංකු පද්ධතිය මගින් මුදල් එවීමට දිරිමත් වනු ඇතැයි සිතිය හැකි ද? එසේ නම් තම ඉල්ලීම පරිදි රටවිරුවන් හෝ රතු විරුවන් විසින් රටට එවන ඩොලර්වලින් අර්බුදය විසඳිය හැකි යැයි සිතන අය අඩු තරමින් තමා අගමැති වූ විට ඉටු කරන පළමු කර්තව්‍ය වන්නේ විනාශකාරී විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් කළු වෙළඳපොළ පාලනය කිරීම බව කිව යුතු නොවේද?

කෙසේ වෙතත් මේ වනවිට ජාතික බලවේග විසින් අර්බුදය විසඳීම සඳහා නිශ්චිත මාර්ග සිතියමක් සකස් කළ හැකි ආකාරයට 61 වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. ඒ තුල උපාය මාර්ග 5ක් යටතේ සංකල්ප ලෙස නොව නිශ්චිත ක්‍රියාමාර්ග ලෙස යෝජනා 61ක් සහ ක්‍රියාකාරකම් 108ක් මෙන්ම මහජන මනස සුවපත් කිරීම සඳහා ප්‍රතිඥා 11ක් සහිත සංෂිප්ත ලියවිල්ලක් රටට ඉදිරිපත් කර ඇත. එම වැඩපිළිවෙළ ගරු කථානායකතුමාට නිල වශයෙන් පිළිගැන්වූ අතර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තැපැල් මගින් යවා ඇත. එම වැඩපිළිවෙළ මගින් විදේශ විනිමය පනත සංශෝධනය කිරීම අර්බුදය විසඳීම සඳහා වන මූලික පූර්ව කොන්දේසියක් බව අවධාරණය කර ඇත. විදේශ විනිමය අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය කෙටිකාලීනව සමනය කිරීම සහ පවතින අර්බුදය තවදුරටත් වර්ධනය කිරීම වැළැක්වීම නම් වූ පළමු උපාය මාර්ගික ප්‍රවේශය යටතේ ඉදිරිපත් කර ඇති යෝජනා දහතුනක් අතුරෙන් 6 වැනි යෝජනාව විදේශ විනිමය පනත සංශෝධනය කිරීම ය.

නමුත් මේ වන තුරු ආණ්ඩුව හෝ විපක්ෂය හෝ ආණ්ඩුවෙන් ස්වාධීන වූ බලවේග විසින් කිසිදු වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කර නැත. ඉහත සඳහන් කළ ආකාරයට මාස 6කින් අර්බුදය විසඳන බවට ව්‍යවස්ථා විරෝධීව තමාට අගමැතිකම ලබා දෙන ලෙස ඉල්ලා සිටින නායකයින් පවා ඒ ආකාරයට තමා බලයට පත් වූ පසුව අර්බුදය විසඳන්න මෙසේ යැයි එක් පිටුවක් ලෙස හෝ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැත. ඕනෑම දේශපාලන නායකයෙකු විසින් ජනතාවගෙන් බලය ඉල්ලා සිටිය යුත්තේ ජනතා අපේක්ෂා ඉටු කරන වැඩපිළිවෙළක් ජනතාව වෙත ඉදිරිපත් කරමිනි. එසේ වැඩපිළිවෙළක් නොමැති නායකයෙකු අගමැති පුටුවේ හෝ ජනාධිපති පුටුවේ වාඩි වූ පමණින් ඔහුගේ මොළයට අදහස් හෝ දැනුම ප්‍රාතූර්භූත වන්නේ කෙසේද? ඒ නිසා ආණ්ඩුව විවේචනය කරන දේශපාලන නායකයින් සහ ආණ්ඩු බලය ඉල්ලා සිටින දේශපාලන නායකයින් විසින් ඉටු කළ යුතු පළමු සදාචාරමය කොන්දේසිය වන්නේ මහජනයා තවදුරටත් ගොනාට ඇන්ඳ වීමෙන් තොරව අර්බුදය විසඳන ආකාරය රටට ඉදිරිපත් කිරීමය. එවැනි යෝජනාවලියක් එක පිටුවක් ලෙස රටට ඉදිරිපත් කළ ද පවතින විදේශ විනිමය පනත සංශෝධනය කිරීමේ උවමනාව ඊට ඇතුළත් විය යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress