ව්‍යවස්ථා සංශෝධන මාෆියාව/මේනියාව
Posted on July 18th, 2022

Malinda Seneviratne


#gotagohome අරගලය නොහොත් ගෝටව ගෙදර යැවීමේ ව්‍යාපෘතිය නොහොත් ආදරයේ අරගලය අනන්‍ය වූ ඇතැම් පුද්ගලයින්, සංවිධාන සහ බලවේග මුල සිටම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය යැයි තර්ක කළෝය. ආර්ථික අර්බුදය කෙසේ වෙතත් දේශපාලන අර්බුද වලට දිගු කාලීන විසඳුම එය යැයි ප්‍රකාශ කරන ලදී. 1978 ව්‍යවස්ථාවේ අවුල් දකින්නත් විසඳුම් යෝජනා කරන්නත්, විසඳන්න ඉදිරිපත් වෙන්නත් අර්බුද අවශ්‍ය නොමැති වූවත් සංශෝධන/ප්‍රතිසංස්කරණ ගැන කතිකාවක් ඇතිවීම සාධනීය වේ.   

ඒ කෙසේ වෙතත් පුද්ගලයෙක් හෝ සංවිධානයක් ව්‍යවස්ථා සංශෝධන යෝජනා කරන්නේ නම් අඩුම තරමින් අදාල ව්‍යවස්ථාමය ලියැකියවිලි අධ්‍යයනය කර තිබීම මැනවි. උදාහරණයක් වශයෙන් කෙනෙක් 20වන සංශෝධනය අහෝසි කර නැවත 19වන සංශෝධනය ස්ථාපිත කළ යුතු යැයි යෝජනා කරන්නේ නම් ඔහුට/ඇයට එම සංශෝධන දෙකෙහිම අඩංගු කරුණු කාරනා පිලිබඳ අවබෝධයක් තිබිය යුතුය. එපමණක් නොව, ඒ ඒ සංශෝධන සම්මත කරගත් ආකාර ගැනද, එවකට පැවති  දේශපාලන වටපිටාව ගැනද, සංශෝධන වල ප්‍රකාශිත අරමුණු මෙන්ම ප්‍රථිපල ගැනද යම් කියවීමක් තිබිය යුතුයි.  

ව්‍යවස්ථා සංශෝධනය යනු එක් මොහොතක දේශපාලන ගැටළුවක් විසඳා ගන්නා ක්‍රියාවලියක් නොවිය යුතුයි. යම් සංශෝධනයකින් වාසියක් ලැබෙන්නේ තමගේ දේශපාලන වීරයන්ට නැතහොත් අවාසියක් වන්නේ තමන්ගේ දේශපාලන වුවමනාවන් වඩාත්ම නියෝජනය කරන දේශපාලන පක්ෂයට හෝ චරිතයට යනාදී කාරණා සංශෝධන වලට ඇති කැමැත්ත හෝ අකමැත්ත තීන්දු කරන්නේ නම් එය සාධනීය මැදිහත් වීමක් නොවේ. එමෙන්ම ව්‍යවස්ථා සංශෝධනය යනු බරපතල කාරණයක් පමණක් නොව අනාගතයට බලපෑම් ඇති කළ හැකි කරුණක් බැවින්, හදිස්සියේ නොකළ යුතු බවද මතක තබා ගත යුතුයි. ව්‍යවස්ථා සංශෝදනයට අදාළ සරල සහ මූලික කොන්දේසි මේවා වේ.
   
1978 සිට 20 වතාවක් සංශෝධනය කර ඇති ව්‍යවස්ථාවක් අප සතුයි. එම සංශෝධන ඉහත ‘කොන්දේසි’ වලට කෙතරම් අවනත වී ඇති දැයි නැතහොත් උල්ලංගනය වී ඇති දැයි නිගමනය කළ හැකි වේ. එම සංශෝධන ඒ ඒ පාර්ලිමේන්තුවේ පැවති බහුතර බලය උපයෝගී කොට ඒ ඒ යුග වල බලයේ සිටි දේශපාලන චරිත සහ පක්ෂ/සන්ධාන වලට වාසිදායක වන ලෙස සම්මත කරගත් ලියැකියවිලිම විය. 17 සිට 20 වන සංශෝධන මෙන්ම යෝජිත 21වන සංශෝධනයේ කෙටුම්පතද විභාග කිරීම වටින්නේ එබැවිනි.     

17වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර සම්මත කරගත්තේ හදිස්සියෙනි. ඒ ජවිපෙ-පොදු පෙරමුණ ‘පරිවාස’ ආණ්ඩුව සමයේදී ය.  විධායක ජනපති ධූරයේ බලතල සීමා කිරීම එහි අරමුණ විය.  [සැ.යු: විධායක ජනපති ක්‍රමය ඉදිරිපත් කර සම්මත කරගත්තේ ජේ ආර් ජයවර්ධන ප්‍රධාන ඒ.ජා.ප. ආණ්ඩුවයි. ඒ 1978 දී. ජනපති ධූරයේ විධායක බලතල ගැන එම පක්ෂය දුක් වන්න පටන් ගත්තේ 1994 වසරේ එම පක්ෂයට බලය අහිමි වීමෙන් අනතුරුවයි. 1978 ව්‍යවස්ථාවෙන් ජනපතිට අසීමිත බලතල පවරන අතර ප්‍රායෝගිකව විපක්ෂය අතිශයින් දුර්වල කිරීමටත් විධිවිධාන එහි අන්තර්ගත විය. ජේ ආර් විශ්වාස කළේ සමානුපාතික ඡන්ද ක්‍රමය හේතුවෙන් ඔහුගේ පක්ෂය බලයෙන් පහ කළ නොහැකි බවයි. එමෙන්ම කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක බහුතරයක් නොලැබේ යැයි ද ඔහු කල්පනා කළේය. එබැවින් විධායක ජනපති ක්‍රමය වෙනස් නොකළ හැකි බවද ඔහු විශ්වාස කළේය]. විධායක බලතල සීමා කිරීම ප්‍රගතිශීලී පියවරක් වුනාද 17වන සංශෝධනයේ නොයෙකුත් දුර්වලකම් තිබිණ.     

18වන සංශෝධනයෙන් 17 හරහා සම්මත කරගත් සාධනීය කරුණු ආපස්සට හරවන ලද්දේ පාර්ලිමේන්තු බහුතරය පාලක පක්ෂයේ සහ එහි නායකයින්ගේ පටු වූවමනාවන් සාක්ෂාත් කර ගැනීම සඳහාය. 19වන සංශෝධනයටද පාදක වූයේ පටු වුවමනාවන්ය. විශේෂයෙන්ම මුලු රටේම ඡන්දදායකයින්ගෙන් ජනවරමක් ලබාගත් ජනාධිපති කෙනෙකුට ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබුන බලතල පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් පමණක් තිබුන අගමැති කෙනෙකුට පැවරීම එහි අරමුණ විය. 18න් ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිසම් සභා නැවත ගෙන එන ලද වූවත් ව්‍යවස්ථා සභාවේ සංයුතියෙන්ම ඒවායෙන් බලාපොරොත්තු වූ ස්වාධීනත්වය කප්පාදු විය.

19හි බරපතලම වරද නම් එය සම්මත කරගත් ආකාරය වේ. ශ්‍රේෂ්ටාධිකරණයේ විමසුමට කෙටුම් පත යැවීමෙන් අනතුරුව එහි ඇති දොස් නිදොස් කිරීමට උපදෙස් ලැබුනද, ඒ කිසිත් නොතකා සම්පාදකයින්ගේ හිතුමතේට වෙනත් කරුණු එක් කොට මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් නිදිකිරමින් සිටින මොහොතක මහා රෑ 19වන සංශෝධනය සම්මත කරගැනීමෙන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය විහිළුවක් බවට පත් කෙරින. ද්විත්ව පුරවැසිභාවයට අදාළ කරුණු එකතු කරන ලද්දේ සම්පාදකයින්ගේ දේශපාලන විරුද්ධවාදීන් දේශපාලන සමීකරණයෙන් ඉවත් කිරීම වස් රටේ පොදු යහපත තකා ගත පියවරක් නොවේ එය. ඇමති මණ්ඩලය යම් උපරිමයකට යටත් කිරීම සාධනීය ලෙස පෙනුනද ‘ජාතික ආණ්ඩුව’ යන කාරණය පැහැදිළිව නිර්වචනය නොකලේ මෙම කොන්දේසිය වටා යෑමට බව පසුව අනාවරණය විය.     


20වන සංශෝධනයෙන් ස්වාධීන කොමිසම් සභා විෂයෙහි 19වන සංශෝධනයේ අඩුපාඩු නිවැරදි කිරීම පසෙක දා ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පිහිටුවන ලදී. ද්විත්ව පුරවැසිභාවයට අදාළ කොන්දේසි ඉවත් කරන ලදී. මෙහෙදී මතක තබා ගත යුත්තේ අප රටට හානි කර ඇති දේශපාලන චරිත ගත් කළ පුරවැසියන්ද, ද්විත්ව පුරවැසියන්ද, විදේශිකයින්ද පෙරමුණ ගෙන කටයුතු කර ඇති බවයි. ඒ කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවයට අදාළ කොන්දේසි පැනවීමත් (19න්) ඉවත් කිරීමත් (20න්) පාදක වූයේ පටු දේශපාලන වුවමනාවන් බව පැහැදිලියි. ව්‍යවස්ථා සම්පාදනයේදී නොකළ යුතු දෙයකි එය. 20වැන්න සම්මත කිරීමේදී ශ්‍රේෂ්ටාධිකරණ විමසුමට සහ නිර්දේශවලට ද අවනත වූයෙන් එම කාරණයේදී 19වැන්න සම්පාදකයිට සහ එයට ඡන්දය දුන්න අයට වඩා විනයක් දක්නට තිබිණ.     

මෙම සමස්ථ ක්‍රියාවලිය තුල විශේෂම කරුණක් වන්නේ 17ට පක්ෂ බොහෝ දෙනා 18ටද පක්ෂ වීමයි. එමෙන්ම 18ට පක්ෂ බොහෝ දෙනා 19ටද පක්ෂ විය. 19ට ඇත උස්සපු බොහෝ මන්ත්‍රීවරු 20ටද කැමති විය. 21වන සංශෝධනය සම්මත කිරීමට නම් ඊට පෙර සම්මත වූ 17, 18, 19 සහ 20වන සංශෝධන වලට පක්ෂ වූ අයගේ සහාය අතවශ්‍ය වනු ඇත. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඒ ඒ මොහොතේ දේශපාලන වාසි අවාසි සළකා බලනු වස් යෝජිත් සංශෝධනවල අන්තර්ගතය පිලිබඳ මන්ත්‍රීවරු උනන්දු නොවන බවයි.

21වන සංශෝධනයට අදාළ ක්‍රියාවලිය දිග හැරෙන්නේ මේ ආකාරයටම වේ. තනතුර සහ බලතල වලට වඩා, ප්‍රජාතන්ත්රකරණයට වඩා, කොටින්ම ඇතිවිය හැකි අනතුරු ගැන විමසීමට වඩා පුද්ගලයෙකුට එරෙහි වීම හෝ පක්ෂ වීම වැදගත් වී ඇත. ශ්‍ර්ෂ්ටාධිකරණයේ විමසුම පිළිබඳව වැඩි කතාබහක් ඇසෙන්නට නැත්තේ මන්දැයි නොදනිමු. 19 මෙන්ම 21ද තක්කඩි විදිහට සම්මත කිරීමට සූදානම් කරන්නේ දැයි සාධාරණ සැක මතුවන්නේ මෙබැවිනි.  

21වන ව්‍යවස්ථා සශෝධනය ඉල්ලා අඩි හප්පමින් සටන් පාඨ කියන ‘විප්ලවවාදීන්’ බොහෝ දෙනෙකුට පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කළහොත් ඔවුන් නිහඬ වනු ඇත:  අ) 17වන සංශෝධනයේ කිසිදු වරදක් නොමැතිද? ආ) 18වන සංශෝධනයේ අඩුපාඩු මොනවාද? ඇ) 19වන සංශෝධනයේ වැරැද්දක් ඇත්තෙම නැද්ද?  උත්තරය ‘නැත’ නම් ව්‍යවස්ථා සභාවේ සංයුතිය, ශ්‍රේෂ්ටාධිකරණ විමසුම, ජාතික ආණ්ඩුව යන්න නිර්වචනය නොකිරීම, ද්විත්ව පුරවැසියන් නොවන අය අප රට විනාශ කිරීමට දායක වූයේ නැතිද යනාදී කාරණා විමසන්න. ඈ) 20වන සංශෝධනයේ දුර්වලතා මොනවාද? එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයැයි බෙරිහන් දෙන අයගෙන් ඇසිය යුත්තේ මෙපමණයි: 13වන සංශෝධනය අහෝසි නොකරන තත්ත්වයක් තුල මින් ජනිත වන අනතුරු ගැන කිසිවක් කිව හැකිද? අමතර ප්‍රශ්නයක්: විධායක ජනාධිපති ක්‍රමය කියන තරම් අවුල්සහගත සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී නම්, 1978 ව්‍යවස්ථාව හකුලා දැමා 1972 ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම නොවේද කළ යුත්තේ?

යෝජිත 21වන සංශෝධනය විභාග කළ යුතුය. මේ සඳහා කාලය අවශ්‍යය. ශ්‍රේෂ්ටාධිකරණයේ විමසුමට ද එය ඉදිරිපත් කළ යුතුයි. කෙටුම්පත පැහැදිළිවම පෙන්වා දෙන්නේ සම්පාදකයින් 19වන සංශෝධනයේ දෝෂ එලෙසම ව්‍යවස්ථාගත කිරීමට කැපව සිටින බවයි. යෝජිත ව්‍යවස්ථා සභාවේ සංයුතිය ගත් කළ ස්වාධීනත්වයක් නම් බලාපොරොත්තු විය නොහැක. එය බෙහෙවින්ම පක්ෂ දේශපාලනයට සහ දේශපාලනඥයින්ගේ වුවමනාවන් වෙනුවෙන් සැදුම්ලත් මණ්ඩලයකි.  

44-47 වන වගන්ති ගත කළ විධායක බලය ජනපතිගෙන් අගමැතිට හුවමාරු කිරීමේ වුවමනාවක් පැහැදිලිවේ.  (13වන සංශෝධනය අහෝසි කළහොත්) මෙය අනුවණකමක් නොවන නමුත්, වත්මන් ජනාධිපති පත් කර ඇත්තේ එම ධූරයේ බලතල පිලිබඳ නිසි අවබෝධයකින් යුතු වූ ජනතාවක් විසින් බව උපකල්පනය කළ යුතුයි. එබැවින් නියෝජනය කිරීමේ වරම පිළිබඳව සැළකිලිමත් විය යුතුයි. එසේ නොකළහොත් සම්පාදකයින් මෙන්ම මෙයට අත් ඔසවන මන්ත්‍රීවරුන්ද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසි අමතක කර ඇති බවට චෝදනා නැගෙනු ඇත.  

පහුගිය වසර 44 තුල සම්මත කරන ලද සංශෝධන මෙන්ම සම්මත කර ගත ආකාරයද විමසීමේ දී අපට පැහැදිලි වන්නේ දේශපාලන තක්කඩිකම් ඒ හැම අවස්ථාවේදීම මූලික වූ බවයි. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් නිර්මාණය කරන්නට අවශ්‍යනම්, එය කඩිනමින්ම කළ යුතු නම්, 1972 වසරේ සම්මත කරගන්නා ලද ජනරජ ව්‍යවස්ථාව වෙත නැවත යා හැකි බවද කිව යුතුමය. ඇත්තවශයෙන්ම සැබෑ දේශපාලන නිදහස එම ව්‍යවස්ථාවෙන් ලබා ගත බැවින් සහ එම නිදහස ලැබී අද සියවසක් ගතවී ඇති මේ මොහොතේ එවන් ක්‍රියාමාර්ගයක් තෝරා ගැනීම අනුචිත නොවනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress