මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අද ඇතිවී තිබෙන ආර්ථික අර්බූදයේ ප්‍රධාන පාර්ශවකරුවෙක්-ඉංජිනේරු කපිල පෙරේරා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති
Posted on July 19th, 2022

Lanka Lead News

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද උද්ගතව ඇති ආර්ථික අර්බුදය බිහිකිරීමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු බවයි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අධිකව නිකුත් කිරීම අද අප රට වැටී තිබෙන තත්වයට ප්‍රධානතම හේතුවක් බැව් ඉතා පැහැදිළි බව පෙන්වා දෙන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නන්දලාල් වීරසිංහ මහතා නියෝජ්‍ය මහබැංකු අධිපති සහ ජේෂ්ඨ නියෝජ්‍ය මහබැංකු අධිපති ලෙස මහබැංකුව මෙහෙයවමින් 2013-2019 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 14ක පමණ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රමාණයක් නිකුත් කිරීමට දායක වී ඇති බව පවසයි.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉන්ජිනේරු කපිල පෙරේරාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයක් මගින් මේ බව පවසා සිටී.
සම්පූර්ණ මාධ්‍යය නිවේදනය…

අපට ඇති විකල්ප සියල්ල අහුරමින්, ජාත්‍යන්තර ණය ගෙවීම පැහැර හැරීම – සැලසුම් සහගත ද?

වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් පසුගියදා මාධ්‍යය හමුවකදී ප්‍රකාශ කොට සිටින්නේ කුමන රජයක් පැමිණියද ඔහුගේ ප්‍රතිපත්ති සහ අනුගමනය කරන ක්‍රමවේදයට අනුගත වියයුතු බවයි. ඒ අතරම වර්තමාන දේශපාලන අර්බුදය පහව ගියත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයා දීමට, සහ මේ පවතින තත්වයෙන් ගොඩ ඒමට හැකිවේද ඒ සඳහා කොතරම් කාලයක් ගතවේද යන්න පිළිබඳ අවබෝධයක් ඔහු සතුව නැති බැව්ද පෙන්නුම් කරයි. මෙවන් තත්වයක් හමුවේ ඔහුට හිමි නොවූ බලයක්වූ රාජ්‍ය මූල්‍ය පාලනය තම අතට ගෙන කටයුතු කරන මහබැංකු අධිපතිවරයා ජනතාවට සංවේදී ප්‍රකාශ මාධ්‍ය හමුවේ සිදුකළද, ඔහු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවන්නේ කොයිබටද යන්න පිළිබඳව කිසිදු තාක්ෂණික හෝ වෘත්තිමය පැහැදිලි කිරීමක් සිදු නොකරයි. ජනතාව මේ පිළිබදව ඉතා විමසිලිමත් විය යුතුය.

පළමුව ඔහු අද උද්ගතව ඇති අර්බුදය බිහිකිරීමේ ප්‍රධාන පාර්ශවකරුවෙකි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අධිකව නිකුත් කිරීම අද අප රට වැටී තිබෙන තත්වයට ප්‍රධානතම හේතුවක් බැව් ඉතා පැහැදිළිය. නන්දලාල් වීරසිංහ මහතා නියෝජ්‍ය මහබැංකු අධිපති සහ ජේෂ්ඨ නියෝජ්‍ය මහබැංකු අධිපති ලෙස මහබැංකුව මෙහෙයවමින් 2013-2019 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 14ක පමණ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රමාණයක් නිකුත් කිරීමට දායක වී ඇත. ඉන් පෙර ශ්‍රී ලංකාව නිකුත් කර ඇති මුලු ස්වෛරී බැඳුම්කර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ක් පමණි. 2019න් පසු කිසිදු ස්වෛරී බැඳුම්කර නිකුතුවක් සිදුකර නැත. 2022 ජූලි 25 දිනට කල්පිරෙන ඇ.ඩො. බිලියන 1ක බැඳුම්කරය හැර ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති සියලුම බැඳුම්කර නන්දලාල් වීරසිංහ මහතා ඉහත තනතුරු දරද්දී ලබාගත් බැඳුම්කර වෙයි.

දෙවනුව ශ්‍රී ලංකාව ණය ගෙවීමෙන් ඉවත්වන බවට කළ ප්‍රකාශය පෙර සැලසුම් කළ තීරණයකට අනුව විය හැකි බව පෙනේ. මන්දයත්, ඔහු මහ බැංකු අධිපති ධූරයෙහි වැඩ ආරම්භ කරනුයේ අප්‍රියෙල් 7 වෙනිදාය. ඔහු – ඉදිරියේදී ණය නොගෙවන((pre-emptive negotiated default) ” බව ප්‍රකාශ කරනුයේ අප්‍රියෙල් 12 වනදාය. අප්‍රියෙල් 9 සහ 10 සති අන්තය වන අතර අප්‍රියෙල් 11 සහ 12 රජය ප්‍රකාශිත නිවාඩු දිනයන් වේ. ඒ අනුව 7 වෙනිදා වැඩ බාරගත් ඔහුට ඉහත තීරණය සඳහා අවශ්‍ය තොරතුරු සහ විමර්ශණයන් කිරීමට අවශ්‍ය සහය තිබිය හැක්කේ අප්‍රියෙල් 8 වනදා පමණි. මෙතරම් සුලු කාලයක් – රටක් වෙනුවෙන් තීරණයක් ගැනීමට අවශ්‍ය අධ්‍යයනයන් කිරීමට ප්‍රමාණවත් නොවේ. එමෙන්ම ඔහු එම තීරණය ගන්නේ රටේ මූල්‍ය පාලනය හිමි පාර්ලිමේන්තුව ද නොසළකා හරිමිනි. මෙලෙස ණය ගෙවීම් මගහැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වඩාත් අනර්ථකාරී පියවර ගැනීමට අදාල දොරවල් විවෘතවීමට නියමිතය.

තුන්වනුව ඔහු පවතින අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා පමණක්ම විසඳා ගැනීමට කටයුතු කිරීමයි. ඔහු මහබැංකු අධිපතිවී දැනට එක් කාර්තුවක් ගෙවී අවසන් වී ඇත. රටේ මූල්‍ය ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වූවා මිස කිසිදු සහනයක් නොලැබුණු බව ජනතාව ලෙස අප සැමට පැහැදිළිය. අපට ගෙන්වා ගතහැකි විදේශ විනිමය ගෙන්වා ගැනීමටත්, ප්‍රේෂණ සදහා උන්ඩියෙල් ක්‍රමය නොව බැංකු පද්ධතිය යොදවා ගැනෙන තත්වයට සකස් කර ගැනීමටත් ඔහු කටයුතු කොට නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට අවශ්‍ය සහන ලබාදීම මග හැරියොත් ඊට මුහුණ දීමට සැලසුමක් නොමැති අතර, වෙනත් විකල්පයන් කිසිවක් සලසා ගැනීමෙන් වැලකීමටද වග බලා ගනී. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුත්තේ අපගේ න්‍යායපත්‍රයකට සහ සැලසුමක් සහිතවය යන බොහෝ විද්වතුන්ගේ මතය හා සම්පූර්ණයෙන් ප්‍රති විරුද්ධය. මක්නිසාද යත් විකල්පයක් නොමැති පාර්ශයවයකට සාකච්ඡා මේසයක හඬක් නොමැති බැවිනි.

මෙලෙස අද රට වැටී ඇති තැනට ගෙන ඒමටත් එතැනින් නැගිටිය නොහැකි තැනට පත් කිරීමටත් වත්මන් මහබැංකු අධිපතිවරයා කටයුතු කළේද සහ කරන්නේද යන්න සම්බන්ධව සොයා බැලීම පිණිස වත්මන් පාර්ලිමේන්තුව කතානායක වරයා මෙන්ම කෝප් කමිටුවද දැනුවත් කිරීමට අපි කටයුතු කළෙමු. එහෙත් අද වඩා වැදගත් වන්නේ අවදියෙන් සිටින ජනතාවගේ වන ඔබගේ විමසිලිමත් භාවයයි. ඒ අනුව කතානායකවරයා සහ කෝප් කමිටුවේ සසභාපතිවරයා වෙත යොමු කරන ලද පැමිණිල්ල ජනතා දැනුවත්වීම පිණිස මේ සමග ඉදිරිපත් කරමු.

ඉංජිනේරු කපිල රේණුක පෙරේරා
සභාපති
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඉද්‍රිපත් කරන පැමිණිල්ල පුරවැසි කොළමේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress