ජනසතු අරගලය ජනතාකරණයට ලක් වුනාද?
Posted on July 21st, 2022

Malinda Seneviratne

ජනතා අරගලයක් අලුතින් ජනසතු කරන්න ඕනේ නෑ.  තිබ්බේ අරගලයක් නෙවෙයි, අරගලයන්. බහුවචනයෙන් තමයි කතා කරන්න වෙන්නේ. එක් එක් අරගල වල එක එක ජන කොටස්. සමපාත වුන තැනුත් තිබුනා. නොවුන තැනුත් තිබුනා. වඩා නිවැරදිව කිව්වොත් කවුරු කවුරුත් ‘අරගලයක්’ තුල හිටියා, ඉන්නවා සහ තමන් තේරුම් ගත්ත කුමන හෝ අරගලයක් සමග අනන්‍ය වුනා, අනන්‍ය වෙලා ඉන්නවා. ‘ජනතාකරණය’ කියන්නේ වෙනම දෙයක්. පුද්ගලීකරණය වෙනුවට රණසිංහ ප්‍රේමදාස භාවිතා කරපු සුරතල් ආදේශයක්.
 
ජනතාව. ජනතා අයිතිය. ජනසතු වීම. ජනතා හඬ සහ ජනහඬ නියෝජනය කිරීම. ඊනියා ජනතා නියෝජිතයින්ට ජනතාව නියෝජනය කිරීමේ වරම් ලබා ගැනීම හෝ ලබාදීම ට අදාළ ක්‍රමවේදය. මේ සියලු දේවල් ආදරයේ අරගලයට අදාළ වෙනවා. අරගලය කාගේද? අරගලයට අයිතිකරුවන් ඉන්නවනම් ඒ අයිතිය ලැබුනේ කොහොමද, අයිතිය පැවරුවේ කවුද සහ කොහොමද? හැම ප්‍රශ්නෙටම ‘ඇයි බං මහජනතාවනේ!’ වගේ උත්තර හරියන්නේ නෑ.  

සිදුවුනේ මොකද්ද, සිදු වෙමින් පවතින්නේ මොනවද, ඉදිරියේ සිදු විය හැකි දේවල් මොනවාද විමසන කොට අරගලයේ ජනසතු-අගය වගේමා ජනතාකරණ අනතුර ගැනද කතා කරන්න සිද්ද වෙනවා.
 
සංවිධාන ව්‍යුහයක් නැති, පුළුල් දේශපාලන වැඩසටහනක් නැති ජනතා නැගිටීම් අනිවාර්යයෙන්ම අනන්‍යතාවය වගේම නියෝජන වලංගුභාවය පිලිබඳ අර්බුදයන් වෙත ගමන් කරනවා.  අරගලය අයිති කාටද? අරගලයට අයිති කවුද? අයිතිකාරයින් ඉන්නවානම් එයාලට අයිතිය පැවරුවේ කවුද, කොහොමද? සංවිධාන ව්‍යුහයක් නැති, පුළුල් දේශපාලන වැඩසටහනක් නැති ජනතා නැගිටීම් සාමාන්‍යයෙන් දේශපාලන අරමුණු ඇති, සංවිධාන ශක්තියක් ඇති පාර්ශවයන් තමන්ගේ අණසකට නතු කරගන්නවා. එහෙම නැත්තම් අරගල වල දේශපාලන වාසිය තමන් වෙතට හරවගන්න වැඩි හැකියාවක් ඇත්තේ දේශපාල අරමුණු ඇති, සංවිධාන ශක්තියක් ඇති කණ්ඩායම් වලටයි.

ආදරයේ අරගලය ඉවර වුනාද, ඉවර නැත්තම් අරගලයේ හෙට දවස කෙබඳුද යනාදී ප්‍රශ්න පැත්තකට දාමු මොහොතකට.  හෙට මොනවා වෙයි ද කියල කියන්න බෑ. අද අරගලයේ වාසි නෙලාගන්නේ විපක්ෂයේ දේශපාලන චරිත සහ පක්ෂ. අද ව්‍යවස්ථා සංශෝධන කතා නැත. අද #අරගලයgohome ට්‍රෙන්ඩ් කරන්න දඟලන අරගලකරුවන් මතු වෙමින් පවතිනවා. එයාල විශ්‍රාමික අරගලකරුවන්ද නැත්තම් ෆේක් අරගලකරුවන්ද නැත්තම් සැබෑ අරගලකරුවන් ගොනාට අන්දපු තක්කඩිද කියල ඉදිරියට තීන්දු කරන්න පුළුවන් වෙයි.

නමුත් අරගල වලට එකතු වෙන හැමෝම අවසානයන් ගැන මොනතරම් කතා කළත් අවසානය මොනවගේද, එය වෙත යන්නේ කොහොමද යනාදිය ගැන දන්නේ නෑ. දැන ගන්න විදිහකුත් නෑ. එයින් අරගල අර්ථ විරහිත වෙන්නේ නෑ. අරගල වල ස්වභාවය එයයි. අරගල විකාශනය වන ආකාරය, වේගය සහ දිශාව කලින්ම තීන්දු කරන්න බෑ. දිගහැරෙන ආකාරය, වේගය, දිශාව තීන්දු වෙන්නේ අරගලයේ ගතිකත්වයෙන්. මොන විදිහට දිග හැරුණත් අවසානයේ අරගලයේ අයිතිකරුවන් කවුද කියන ප්‍රශ්නය ඉතුරු වෙනවා.         

ජයග්‍රහණයකට පියවරු මවුවරු දහස් ගණනක්, පරාජය අවජාතකයි. සදාතනික සත්‍යයයක් කියන්න පුළුවන්. ඒත් ඉතින් ජයග්‍රහණය සහ පරාජය අර්ථකථනය කරගන්න විදිහ අනුව තමයි පීතෘත්වය, මාතෘත්වය සහ අවජාතකකම් මනින්න වෙන්නේ. අරගලය ඉදිරියට යද්දී කොඩි වැනුනා, ජය ගී ගැයුනා. අරගලය බ්රේක් වෙද්දී, අරගලයේ කොඩි කොහේ හරි හිටපු අය අතට ගත්තට පස්සේ, තනු වෙනස් වෙන්න පටන් ගත්තා. කොඩි හැකිලුනා. මේ සියලු දේ සිද්ද වෙද්දී, අරාජිකත්වයම ඉල්ලපු, අරාජිකත්වයටම අත වනපු, හිංසනය විහින්සනය දක්වා දක්කපු ඇතැම් අයට අරගලය දැන් තිත්ත වෙලා වගෙයි. තිත්ත වෙලාම නෙවෙයි. සටන් පාඨ වෙනස් වෙලා. ගෝටාගෝහෝම් කතා දැන් වැඩක් නැහැ. මයිනාගෝහෝම් කතා ඉවරයි. සිස්ටම්-චේන්ජ් හාන්සි වෙලා.

දැන් ඇහෙන්නේ වෙන කතා. දැන් ඇති. අපි ඕවට නෑ. අරගලයගෝහෝම්. අපට අවශ්‍ය වුනේ මේ වගේ අරගලයක් නෙවෙයි. අපි එකතු වුන අරගලය නෙවෙයි මේක. ඇහෙන්නේ ඒ වගේ කතා. මරපිය, මැරියන්, ගිනි තියපන්, හොඳ වැඩේ ඕකුන්ට, අන්න අරූ අතන, අන්න අරූ left, අනන් අරුත් left, වගේ දේවල් සමාජ මාධ්‍යයේ පොස්ට් කරපු අය නැත්තම් ඒ වගේ පොස්ට් වලට ලයික්-ෂෙයාර් දාපු අය නැත්තම් මේවා නොදැක්කා වගේ හිටපු අය එක පාරටම අරගලයෙන් අත හෝදගන්න ට්‍රෙන්ඩ් එකක් පේනවා.  ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් ඇන්ටිලා, අංකල්ලා, මචංලා නෙවෙයි. auntyලා uncleලා, broලා. එයාල සහ එයාලගේ mumලා, dadලා, grandpaලා සහ grandmaලා ඒ කාලේ ඉඳල ඡන්දේ දුන්නේ කාටද කියල හොයන්න වටිනවා. ප්‍රජාතන්ත්‍ර වුරෝධී හැම පාලකයාටම එරෙහි වුනාද, හොරකමට සහ හොරුන්ට එරෙහිව හැමදාම හඬක් නැගුවද, පාලකයෝ ගත්ත හැම මෝඩ ප්‍රතිපත්තිමය තීන්දුවකටම එරෙහි වුනාද, ඒ තීන්දු කෝචෝක් කළාද කියලත් හොයන්න වටිනවා. සිස්ටම්-චේන්ජ් ගැන කතා කරපු නමුත් දැන් ඒ ගැන මුනිවත රකින අය සිස්ටම් කියල අදහස් කරන්නේ මොකද්ද කියල හොයන්න වටිනවා. පැවති සහ පවතින සිස්ටම් එකෙන් තමන්ට වාසි ලැබුනද, ලැබිය හැකි වාසි ප්‍රතික්ෂේප කෙරුවද කියලත් හොයන්න වටිනවා. අරගලය සමග අනන්‍ය වුන හැමෝම මේවා හොයනාවානම් හොඳයි. අරගල බෝට්ටුවට අන්තිමට ගොඩ වුනේ කවුද, බෝට්ටුව මොන පැත්තටද ගමන් කෙරුවේ සහ ගමන් කරන්නේ වගේ දේවල් වඩා පැහැදිළි වෙයි එතකොට.    


මේ සියලු දේවල් ඕනෑම අරගලයක සුලබව දකින්න තියෙනවා. වඩා සීරියස් ප්‍රශ්නක් ඉතුරු වෙනවා. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල මුල ඉඳලම පැහැදිලි වුනාට අරගලයේ බහුතරයක් ඒක පිළිගන්න කැමති වුනේ නෑ. අරගලය කාගේද කියන එකට පහසු උත්තරයක් නෑ. ඒත් අරගලය වෙනුවෙන් කතා කරන අයට එසේ අරගලය නියෝජනය කරන්න වරමක් දුන්නේ කවුද කියන ප්‍රශ්නයට නම් සරල උත්තරයක් තියෙනවා: එහෙම සියලු දෙනාගේ නැත්තම් අඩුම තරමින් අරගලයේ සියලු පාර්ශවකරුවන්ගෙන් බහුතරයක කැමැත්තක් කාටවත් ලැබිලා නැත. ජනතා අරගලයක් නම්, ‘ජනතාව’ කියන්නේ කවුද, ඒ කියන ‘ජනතාව’ ජන වරමක් කාට හරි දුන්නද, ඒ ජනමතය මොකද්ද කියලා තීන්දු කරන ක්‍රමයක් තිබුනද යනාදී ප්‍රශ්න වලට උත්තර නෑ. ඒ වෙනුවට එක එක කණ්ඩායම්, ජන වරම සමස්ත ‘ජනතාව’ තම තමන් වෙත පවරාගත් පිරිස් හඳුනගන්න පුළුවන්.

මෙහි වැදගත්ම කාරණය වන්නේ ඒ විදිහට, අත්තනෝමතික විදිහට, තම තමන්ම අරගල-ඔටුණු දාගත්ත අය ප්‍රජාතන්ත්‍රවාදය, ජන වරම සහ ජනතා පරමාධිපත්‍යය ගැන රටටම ටියුෂන් දෙන්න හදන එකයි.

මාතෘකාව සලකා බලමු. “අරගලය ජනසතු කළාද සහ ජනතාකරණයට ලක් වුනාද?” ජනතා අරගලයක් අලුතින් ජනසතු කරන්න ඕනේ නෑ.  ආදරයේ අරගලයේ ජනතාව දස දහස් ගණනින් හිටියා. දස දහස් ගණනින් කෙසේ වෙතත් අරගලය තුල තවමත් ඉන්නවා. වඩා නිවැරදිව කිව්වොත් කවුරු කවුරුත් ‘අරගලයක්’ තුල හිටියා, ඉන්නවා සහ තමන් තේරුම් ගත්ත කුමන හෝ අරගලයක් සමග අනන්‍ය වුනා, අනන්‍ය වෙලා ඉන්නවා. ‘ජනතාකරණය’ කියන්නේ වෙනම දෙයක්. පුද්ගලීකරණය වෙනුවට රණසිංහ ප්‍රේමදාස භාවිතා කරපු සුරතල් ආදේශයක්.

මෙහෙම කියන්න පුළුවන්. සම්පුර්ණයෙන් ජනසතු වූ අරගල නෑ, ඒකෙ අවුලකුත් නෑ. අරගලය ජනතාකරණය වෙමින් පවතිනවා. ඒක අවුල්.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress