දෙයියෝ සාක්කි..
Posted on August 6th, 2022
ප්‍ර සමරසිංහ
ඒ දවස්වල කලට වැහි වැටෙන තුරු බලා සිටියේ වැඩිහිටියන්, සතා සීපාවා, ගස් කොළන්, ගංගා ඇළ දොළ, ළිං විතරක් නෙවේය, හිච්චන් බලා හිටියෙත් වැස්ස වැටෙන්නේ කොයි වේලාවේද කියාය. පොද වැසි, මල් වැසි වලට වඩා හිච්චන්ගේ මනාපය වූයේ නා කපන වැහි, මොර සූරන වැසිවලටය. වැහි පීලි අගිස්සෙන් දියඇලි රූ මවමින් කඩන් හැලුණු තද හීතල වැහි වතුර පාරට ඔළුව අල්ලා බස බස ගා නා ගනිද්දි ලැබූ ආශ්වාදය වචන වලට පෙරලන්නට බැරිය. කඳුරේ, ලිඳේ, ඇලේ සුනිල දියෙන් නානවාට වඩා දහ ගුණයක තෘප්තියක් ලැබුනේ වැහි වතුරෙන්ය. වැටෙන වැස්ස බොන්නට කට උඩුබැලියන් කර ගෙන අප්පච්චිට හොරා, ගේ පිටුපස වත්ත දිගේ දුව ගියේ තටු ලැබුනාටත් වඩා සන්තෝශයකින්ය. අහස ගොරවා විදුලි කොටන වෙලාවල, අම්මගේ දෝස්මුරයෙන්ද තවත් තෙතබරියන් වී බලුපැටියන් සේ කීකරුව ගෙට දුව ආ දවස් ද ඉඳහිට නොතිබ්බා නොවේය.
වැහි එන කාලෙට මහගෙදර දෙතුන් පැත්තක වැහි පීලි යට තබා තිබුනේ ලොකු උස බැරල්ය. දැන් වාගේ වැහි පීලි හා යටි නළ සම්බන්ධ කර නිකරුනේ කාණුවට වැහි වතුර මුදා හරින්නට තරම් ‘පොශ්’ නොවීම ගැන ඇත්තේ සිහින් සතුටක්ය. ඒ පිරෙන වතුර, මල්පාත්ති වාගේම එළවලු පාත්තිවලටද වැහි අවසානයේ බොන්නට ලැබුනේය. මුළුතැන්ගෙදර මැටි හට්ටි මුට්ටි සෝදා ගන්නටත්, බුමුතුරුණු නොඇතිරූ ගෙබිම සෝදන්නටත්, රෙදිපෙරෙදි සෝදා ගන්නටත්, ගෙදර හිටි දඩෝරි තුන් හතර දෙනා නාවන්නටත් ඒ වැහි වතුර යෙදවිණ. වැහි වතුර බීමට ගත් බවද මතකය, උතුරා නිවා මෙන්ම හීතල වැහි වතුර බොන්නටද තහනමක් තිබ්බේ නැත. තහංචි තිබුනේ කලාතුරකින් වහින වැස්සට තෙමෙන්නට යාමත් හා ඒ වැහි වතුර පාවිච්චියටත්ය. වරක් දෙවරක්, කලාතුරකින් වහින වැස්ස ගෙන ආ ගෝනුස්සෙක් දෙන්නෙක් මිදුලේ දිග පළල මැන්නා මතකය.
එතෙක් මෙතෙක්, අප වෙනස් වූ වෙනස්විල්ලේ හැටියට වැස්ස විතරක් අදටත් නොවෙනස්ව තියෙන්නට කාරණාවක් නැති බව සැබෑය. එනමුත්, වැහි වතුරේ මුළු මහත් සත්ව සංහතියම අනතුරේ හෙලන, මිනිසා විසින් නිපදවූ රසායනික-ද්‍රව්‍ය-සුන්බුන් ඇතුලත් රෝගකාරක තිබෙනවා යැයි හීනෙන් වත් හිතන්නට හිත ඉඩ දෙන්නේ නැත. ඒත් කරුමෙට දැන් දැන් වැහි වතුරේත්, හිමේත් ඇත්තේ එවන් ෆෝඑවර් කෙමිකල්ස්ය. පිළිකාකාරක: වැස්සකවත්, හිම පියලි තුලවත් තිබිය යුතු නැතත්, කාලෙක පටන් තිබෙන තරමක් තියෙන්නේ එවැනි රෝගකාරක බව හොයා ගෙනය. ඒ විතරක් නම් තව ඉවසන්නට තිබ්බේය; දරුවන්ගේ ඉගෙනීම හා හැසිරීම සම්බන්ධ දුර්වලතා වලටත්, තරබාරුවටත්, පෙනහළු සම්බන්ධ රෝගවලටත්, සිරුරේ කොලෙස්ට්රෝල් වැඩිවීමටත්, ප්‍රතිශක්තිකරණ තුලිතාබාධ ඇතිවීමටත් ෆෝඑවර් කෙමිකල්ස් සම්මාදම් වෙන බව මෑතකදි ‘දියුණු යයි සම්මත රටක’ කල පර්යේෂණ වලින් හෙළි කර ගෙන ඇත. මේ රසායනික ද්‍රව්‍ය මෙවැනි සංකුලතා ඇති කරනු ඇතැයි මින් දහ දොළොස් වසරකට පෙරත් හාහූවක් තිබී යට වී ගිය හැටි කල්පනා වෙන්නේය.
මීට අවුරුදු 70කට පමණ පෙර සිට මිනිසා නිපදවූ Perfluoroalkyl සහ Polyfluoroalkyl (PFAS) යන රසායනික ද්‍රව්‍යයන් අතිශයින් ජනප්‍රිය නොඇලෙන හට්ටි මුට්ටි තාච්චි, ඇතැම් රූපලාවන්‍ය ආලේපන, බුමුතුරුණු , දිය නොරැදෙන රෙදි යනාදි නිෂ්පාදන සඳහා බහුලව යොදා ගෙන ඇත. අද වන විට මේ සදාකාලික-රසායනික-ද්‍රව්‍ය-සුන්බුන් සාගරය, පස, වාතය, ජලය හරහා ලොව පුරා පැතිර ගොස් අවසන් බවක් කියවේය. වැස්ස හා හිම මාර්ගයෙන් මේ අහිතකර ෆෝඑවර් කෙමිකල් හැම අස්සක් මුල්ලක් නෑරම තිබෙන දේවල් බවට පත් වී ඇත. ‘දියුණු යයි සම්මත රටවැස්සන්’ වැහි වතුර නොබොන හේතුවෙන් යම් අස්වැසිල්ලක් ඔවුනට ඇති බවක් පර්යේශකයන් කියතත්, වැහි වතුර පානීය ජලය කර ගත් ‘දියුණු යයි නොසම්මත රටවැස්සන්’ රකිනු ලබන්නේ අහවලෙක්දැයි කියන්නට කවුරුවත් නැති වීම අවාසනාවක්ය.
පහසුවටත්, ලේසියටත්, ආටෝපයටත් මුල් තැන දෙමින් ‘දියුණුව’ සොයා ගත් මිනිසා, ඔහු විසින්ම විනාශයේ දොර විවෘත කර ගෙන හමාරය. අප සොබාදහමෙන් ඈත්ව තියන හැම අඩියකම පාහේ ඇත්තේ මෙවැනි විඳවීම්ය. මැටි වළන් හැර දමා, නන්ස්ටික් පෑන්ස් වැළඳ ගත් ‘දියුණුව’ ෆෝඑවර් නොවුනේ මක් නිසාදැයි දැන්වත් හිතුවාට වැරැද්දක් නැත. යමක් අති-පහසු කරගන්නට දත කන විට සිද්ධ වෙන්නේ තවත් දහයක් දේ අති-අපහසු කරගන්නටය. කඳුරක, ඇළක, දොළක, වැහි වතුරක, හිම පෙත්තක තිබුන මිහිර මේ වන විට ලබන්නට බැරිතරමින් අතිභයංකර කරලාය.
පරිසරයට වියහැකි ව්‍යසන ප්‍රවණතා ගැන විපරම් කර බලා, මේ පරිසර පද්ධතියට මොනයම්ම හානියක් නොවේ නම් පමණක් අලුත් අලුත් දෑ තැනිය යුතු බවක් පඬි රුවන් කීවාදැයි දන්නේ නැතත්, සාමන්‍ය බුද්ධියෙන් තොරව කරන්නං වාලේ නව නිපැවුම් කිරීම අමු මෝඩ කමක්ය. අඩු තරමේ ඉන් සංකුලතා ඇතිවූ විටකවත් ඒවා එකවර පිලි නොගෙන, කෝටියක් සාක්කි සොයා ඒ සාක්කි පදනම් කර ගත් නිගමන වලට එන විට, අඩි හයක් යටට වලක් හාරා දෙන්නටවත් මිනිස් පුළුටක් ඉතිරිවේද කියා සිතේය.