ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම නොව සංශෝධනය කිරීම ප්‍රමාණවත්
Posted on October 8th, 2022

චානක බණ්ඩාරගේ

ශ්‍රී ලංකාව වනාහි ත්‍රස්තවාදයට ඉක්මනින් ගොදුරු වන රටකි – ලොව ත්‍රස්තවාදයෙන් උපරිමව බැට කෑ රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉහලින්ම සිටී.

ප්‍රභාකරන් නායකත්වය දැරූ LTTEය යනු ලෝකයේ තිබු දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයකි.  

පසුගිය වසර 50 තුල අප නිරන්තරයෙන් කෘර ත්‍රස්තවාදී ග්‍රහණයට ලක්වීමු. ඒ, 1971 සහ 1988 ජවිපෙ (සිංහල) ත්‍රස්තවාදය, 1976 පමණ ඇරභී 2009 දක්වා පැවතී ද්‍රවීඩ ත්‍රස්තවාදය (LTTE සහ අනෙක් කණ්ඩායම්), සහ 2019 දී අප මුහුණ පෑ දරුණු මුස්ලිම් (සහරාන්) ත්‍රස්තවාදයයි.

1979 න් පසු සියළු ත්‍රස්තවාදයන්  සාර්ථක ලෙස අවසානයේ මැඩලීමට රජයනට හැකි වුයේ  ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට ස්තුති වන්ත වෙන්න බව රටට ආදරේ කරන මධ්‍යස්ථ මතධාරීහු පිළිගනිති.

අද රටේ ත්‍රස්තවාදයක් නැති බවත් ඒ නිසා ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කල යුතු බවත් කීම මෝඩ තර්කයකි. මෙම පනතින් කෙරෙන්නේ ත්‍රස්තවාදය පැන නැඟීමට පෙර එය නතර කර දැමීමය. එය ඉතා අත්‍යාවශ්‍ය කාර්යයකි.

විශාල ගණනක් අහිංසකයන් මැරූ දෙහිවල දුම්රිය බෝමබ කරුවෝ සිරගත කලේ මෙම පනතට ස්තුතිවන්ත වෙන්නය. පිටකොටුව, CTO, මරදාන, කටුනායක ගුවන්තොටුපොළ, මහ බැංකුව, අකුරැස්ස, ජාඇල, අනුරාධපුරය, මහනුවර, කැබිතිගොල්ලැව ආදී ප්‍රදේශ වල, 2019 පාස්කු ඉරිදා – දහස් ගණනින් අහිංසක ජනයා – සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, විදේශිකයෝ – ත්‍රස්තවාදී බෝම්බ වලින් මියගියහ, තුවාලකරුවන් බවට පත් වුහ. සමහරක් එම අපරාධකරුවෝ අදත් සිරබත් කති.

මෙවැනි පනත් අද ලෝකයේ සෑම රටකම පාහේ ඇත.

ත්‍රස්තවාදය මැඬලීමේ පනත අහෝසි කල යුතුයයි යනුවෙන් අද රට තුල අති දැවැන්ත ව්‍යාපාරයක් ගොඩ නැඟී ඇත. එයට දේශප්‍රේමින් යයි අප සිතා සිටියවුන්ද එක්වී සිටිනු දැකීම කණගාටුවට කරුණකි. මොවුන් මේ සිදු කරන්නේ රට නැවත අඝාධයට ගෙන යාම යයි මේ අයට නොවැටහෙන්නේ ඇයි?

මෙම දැවැන්ත ව්‍යාපාරයේ නායකත්වය දරන්නේ TNA බව සැමට නොරහසකි.  සුමන්තිරන් සහ රාසමානික්කම් ‘ත්‍රස්තවාදය වැළක්වීමේ  පනත අහෝසි කරනු’ යයි කියා ඉල්ලන, රට පුරා ක්‍රියාත්මක වන ජංගම වැඩ සටහනක් ඇත. මෙය ඉතා සක්‍රීයය. කුරුනෑගල, මහනුවර, දෙවුන්දර, හම්බන්තොට ජනතාව පවා වල නොකැඩි මොවුන්ගේ පෙත්සමට අත්සන් තබත්. ජනතාවගෙන්  අත්සන් ලබා ඔවුන් සකස් කරන අවසන් පෙත්සම මොවුන් යවනුයේ ජෙනිවා වලට, බටහිර රාජ්‍යයනට සහ බටහිර  නොයෙක් NGO වලට නොවේද?

ජෙනිවා වලදී, වෙනත් බටහිර රටවලදී සහ NGO වලදී මොවුන් ඉල්ලන්නේ ශ්‍රී ලාංකික යුධ විරුවන් නොකළ අපරාධ වලට නඩු අසා දඬුවම් කිරීම, ශ්‍රී ලංකාවට සම්බාධක දැමීම, ශ්‍රී ලංකාවට විදෙස් ආධාර ලබා නොදීම,  අසාධාරණ වූ දෙමළ අයිතිවාසිකම් ඉල්ලීම වැනි දේයි. ඉදින්, සත්‍ය වශයෙන්ම රටට ආදරය කරනවුන් මෙවැනි අය හා සම්බන්ධ වන්නේ ඇයි?

TNA මේ රටේ බෙදීම අපේක්ෂාවෙන් කටයුතු කරයි. ඒ බව නොතේරෙන්නෝ මෝඩයෝය.  

TNA පාර්ලිමේන්තුවේ LTTEහි proxy පක්ෂය ලෙස වැඩ කල බව කාටත් දැන් අමතකය.

සුමන්තිරන්, රාසමානික්කම් දේශප්‍රේමින් නොවේ. දකුණේ ජනතාවට අද ‘සීනිබෝල’ කථා කියන ඔවුන් විදේශගත වූ විට රටට විරුද්ධව වැඩ කරති.

‘ශ්‍රී ලංකාව දුර්වලව වැටි සිටින මේ අවස්ථාවේ අප අපේ අරමුණු ඉෂ්ට කර ගැනීමට උපරිමව වැඩ කරමු’  වැනි අදහසක් රාසමානික්කම් කැනඩාවේ රැලියකදී මෑතකදී ඉංග්‍රීසී බසින් කීය. රාසමානික්කම් එදා දෙමළ බසින් දීර්ඝ, වේගවත් කථාවක් කළේය. ඔහු දෙමලෙන් කීවේ කුමක්ද? සුමන්තිරන් වනාහි විදේශගත වූ සැනින් ශ්‍රී ලංකාවට හතුරුකම් කල අයෙක් බව මෙම ලියුම්කරු අත්දැකීමෙන් හොඳාකාරව දනී.  

නැවතත්; මෙවැන්නන්ගේ යටි අදහස් සිංහලයාට  නොතේරෙන්නේ මන්ද?

‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා’ කියා රොබර්ට් නොක්ස් එදා කීවේ ඒ නිසාය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉතා දරුණු, ම්ලේච්ච එකක් ලෙස එයට විරුද්ධව කටයුතු කරන්නෝ පවසත්. එය වැරදිය. කලින් සඳහන් කලාක් මෙන් එය නිසා විවිධ ස්වරුපයෙන් ආ ත්‍රස්තවාදය මැඩලීමට රජයනට හැකි විය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාද මර්ධන පනත එතරම් දරුණු නම් 9/11 වලින් පසු ඇමරිකාව සහ බටහිර රටවල් සම්මත කරගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් ගැන මේ අය කියන්නේ කුමක්ද? ඇමරිකාව ඒ රටේ නිතියට ප්‍රකාරව   ග්වන්ටානමෝ බේ සහ අබුග්රයිබ් හි මුස්ලිම් ත්‍රස්තවාදී සැකකරුවන්හට සැලකුවේ ඉතා ම්ලේච්ඡ, අමානුෂික භාවයෙනි. එංගලන්තයේ ත්‍රස්තවාදය සම්බන්ධ වරදකරුවෙකුට අවමව වසර 14ක සිරදඬුවමක් හිමිවේ.  ප්‍රංශය ත්‍රස්ත සිරකරුවන් දීර්ඝ කාලයන් චෝදනා ගොනු නොකර, නීතීඥ සහාය නොදී,  සිර කර තබා ගනී. ස්පාඥ්යයේ ත්‍රස්ත සැකකරුවන්ව අමානුෂික,කෘර වධ හිංසා වලට ලක් වන බවට නිරන්තර චෝදනා නැගේ. ඕස්ත්‍රේලියාවේ ක්‍රියාත්මක වන දැඩි ත්‍රස්ත මර්ධන පනත් වල සඳහන් ‘control orders’ මඟින් ත්‍රස්ත සැකකරුවන්ගේ සෑම ක්‍රියාවක්ම ඔවුන් නිදහස් වූ පසු පවා අධීක්ෂණයට ලක්කල හැක. අහිංසකයන් වූ වෛය්ද්‍ය මොහමඩ් හනීෆ් (බ්‍රිතාන්‍ය ජාතික) සහ ශිෂ්‍යයෙක් වූ මොහොමඩ් කාමර් (ශ්‍රී ලාංකික) ඕස්ත්‍රේලියාවේ ත්‍රස්ත පනත යටතේ අත් විඳී ඉතා කටුක, දුෂ්කර තත්වයන් මුළු ලොවම දනී.

ශ්‍රී ලාංකාවේ ත්‍රස්තවාද මර්ධන පනතේ කෘර වගන්ති වශයෙන් විචාරකයන්ට දැක්විය හැක්කේ පහත ඒවාය. වෙනත් රටවල ත්‍රස්ත මර්ධන පනත් හා සසඳන කල මේවා එතරම් දරුණු වගන්ති නොවේ. කෙසේ නමුත්, මෙම ප්‍රශ්ණය සාමකාමිව නිරාකරණය කර ගැනීම උදෙසා, එකී පනත අහෝසි නොකර, එහි ඇති ‘දැඩි’ වගන්ති පිළිබඳව රජය විසින් සිදු කල හැකි සංශෝධන මෙම ලියුම්කරු මෙසේ පහතින් සඳහන් කරයි:

  1. 9 (1) – සැකකරුවකු මාස 18 දක්වා, චෝදනා ගොනු නොකර ආරක්ෂක ඇමතිගේ නියෝගයෙන් රඳවා තබා ගත හැක.

සංශෝධිත පනතේ මේ කාලය අඩු කල හැක – මාස 9ට වැනි.

  1. 10 – ආරක්ෂක ඇමතිගේ උක්ත නියෝගය අවසාන තීරණය වන අතර කිසිම අධිකරණයකට එය විභාග කල නොහැක.

අත් අඩංගුවට ගැනීමෙන් මාස 4කින් පසු, ගරු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් මඟින් ඇප අයදුම් පතක් ඉල්ලා සිටීමට අවස්ථාව ලබා දිය යුතුයි. කෙසේ වෙතත් ගරු අභියාචනාධිකරණය මඟින් ඇප ලබා නොදෙන තත්වයන් තවදුරටත් පවත්වා ගත යුතුයි. ඇප ලබා දිය යුතුම අවස්ථාවක් නම්  ඉතා දැඩි කොන්දේසි යටතේ පමණක් එය ලබා දිය යුතුයි – දිනපතා හෝ අඩුම තරමින් සතියකට දින 4ක් ලඟම ඇති පොලිස් ස්ථානයට වාර්ථා කිරීම, විදේශ ගමන් තහනම, නියමිත ග්‍රාම සේවක වසම තුල පමණක්  වාසය කිරීම වැනි.

  1. 2 – ‘ත්‍රස්තවාදය’ පිලිබඳ පවත්නා නිර්වචනය ඉතා පුළුල් වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වෙනි වගන්තියෙන් ලබා දෙන භාෂණමය නිදහස සමඟ ගැටේය යන්න.

මෙම නිර්වචනය මීට වඩා පටු කල හැකියි; නමුත් එය ඉතා ප්‍රවේශමින් සිදු කල යුතුයි. මෙම නිර්වචනයෙන් ජනතාවට ඇති භාෂනමය නිදහස කිසිසේත් මොට නොකළ යුතුයි. එම නිදහස තරයේ සුරැකිය යුතුයි. නමුත්, මෙයින් අදහස් කරන්නේ මියගිය ත්‍රස්ත නායකයන් සිහි කිරීමේ උත්සව, ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යක් බිහි කිරීමේ දේශපාලනමය රැස්වීම්/ප්‍රකාෂණ කිරීමේ දැනට තිබෙන තහනම ඉවත් විය යුතු බව නොවේ (බෙදුම්වාදීන් පනත අහෝසි කරන්නැයි කියා ඉල්ලන්නේ මෙවැනි දේට ඉඩ දෙන ලෙසය).  

  1. 6(1) – පොලිස් නිලධාරියෙකුට ත්‍රස්ත සැකකරුවෙකු අත් අඩංගුවට ගත හැකි වීම.

මේ බලය වෙනස් නොකළ යුතුයි.

  • 7 (1) – මහේස්ත්‍රාත් තුමෙකුට ත්‍රස්ත සිරකරුවෙකුට ඇප ලබා දිය හැක්කේ නීතිපති එකඟ වුවහොත් පමණි.

මෙය වෙනස් කල යුතුය. නමුත් ඇප කොන්දේසි ඉතා දැඩි විය යුතුයි.  උක්ත ii. බලන්න.

  • 7 (3) – පොලිසියට ත්‍රස්ත  සැකකරුවෙකු ප්‍රශ්ණ කිරීමට විවිධ ස්ථානවලට රැගෙන යාමේ ඇති නිදහස.

මෙයට, සැකකරුගේ නීතිඥයාට සහභාගී වීමට ඉඩ දිය යුතුය වශයෙන් සංශෝධනය විය යුතුය.  

  • 15 (a) – ත්‍රස්ත සැකකරුවකු රඳවා තැබිය යුතු ස්ථානය ආරක්ෂක ලේකම් තුමා සතුවේ.

මෙම බලය ආරක්ෂක ලේකම් නොව ආරක්ෂක අමාත්‍යතුමාට පැවරිය යුතුයි.

  • 16 – ත්‍රස්ත සැකකරුවෙක් ලබා දෙන ප්‍රකාශයක් ඔවුනට විරුද්ධව නඩු විභාගයකදී භාවිතා කල හැක.

තමන් කෘර වධ හිංසා යටතේ එවැනි ප්‍රකාශයක් ලබා දුන්නේ යයි සැකකරුවකු නඩු විභාගයකදී ප්‍රකාශ කල හොත් එහි නිරවද්‍යතාවය ගරු අධිකරණය විසින් නඩු විභාගය්දී විභාගයට ලක් කල යුතුය. එම ප්‍රකාශය සත්‍යක් බව සනාථ වුවහොත් එකී සාක්ෂි ගරු අධිකරණය විසින් නිශේධනය කළ යුතුයි.

  1. 26, 28 – සැකකරුවන් කෘර වධ හිංසාවට ලක් කිරීමට මෙම වගන්ති ඉවහල් වේ යයි පනතේ විවේචකයෝ පවසත්.

මෙවැනි වගන්ති ලොව සෑම රටකම පාහේ ත්‍රස්තවාදය මර්ධන පනත් වල අඩංගුය. සංශෝධිත 16 වගන්තිය මඟින් (ඉහත) කෘර නිලධාරින්ව නඩු විභාගයේදී හෙළිවනු ඇත. එවැනි සාක්ෂි නිෂ්ප්‍රභා වනු ඇත.

ත්‍රස්තවාදී පනත හඳුන්වා දුන් දිනයේ පටන් (1979) බෙදුම්දීන්ට උවමනා වුයේ මෙම පනත කෙසේ හෝ අහෝසි කර දැමීමටය. මෙතෙක් කල් ඔවුන් ජයග්‍රණය නොකළහ. දැන් ඔවුන්  ජයග්‍රහණය  අභිමුඛව සිටී. ඔවුන් ප්‍රීති ඝෝෂා නගන්නේ එහෙයිනි.

මෙම පනත අහෝසි කල පසු වෙනත් පනතක් සම්මත කර ගත හැකි බව ඔවුහු කියති, නමුත් ඔවුන් කිසිදා නැවත ත්‍රස්තවාදය අහෝසි කරන පනතක් සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බව බුද්ධිමතුන් දනී. ජෙනිවා සහ බටහිර රටවල් නව පනතක් ගෙන ඒමට විරුද්ධව නොයෙක් තහංචි පනවනු ඇත.  මේ නිසා කළ යුත්තේ දැනට තිබෙන පනත අහෝසි කිරීම නොව ඉහත දක්වා ඇති පරිදි පනත සංශෝධනයට ලක් කිරීමයි. එවිට එය ඉතාම සාධාරණ පනතක් බවට පත්වනු ඇත.

ජෙනිවා, බටහිරට බියවී අපට ජීවත් විය නොහැක. අප හරි දේ කර, ඒ බව මුළු ලොවටම පැහැදිලි කර පෙන්වමු. දක්ෂ, අවංක ඇමතිවරු, තානාපතිවරු සහ රජයේ නිලධාරීන් අවශ්‍ය මේ නිසයි.

විරෝධතා කරුවන් සමහරෙකුගේ අවශ්‍යතාව කෙසේ හෝ ඊළම පිහිටුවා ගැනීමටය. ත්‍රස්තවාදී මර්ධන පනත අහෝසී වූ වහාම රජයට ප්‍රධාන වශයෙන් ඉතිරි වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයයි (Criminal Procedure Code – Act No 15 of 1979).  මෙයට ත්‍රස්ත ක්‍රියාවන් හසු කරගැනීම ඉතා අපහසුය.

ශ්‍රී ලංකාවේ රජයන් මෙම අගනා ත්‍රස්ත පනත ඉතා නින්දිත ලෙස අවභාවිත කල බව රහසක් නොවේ. තමන්ගේ සතුරන්ට ‘පාඩම් ඉගැන්වීමට’ සෑම රජයක්ම මෙම පනත යොදා ගතී. ඔවුනගේ හුදු ආත්මාර්ථකාමී, පළිගැනීමේ ආශාවන් නිසා අද අමාරුවේ වැටි තිබෙන්නේ ශ්‍රී ලංකා මාතාවය. ඔවුන්ගේ මෙවැනි දේ බෙදුම්වාදීන් උලුප්පා පෙන්වා දෙති; එයින් වාසි ලබා ගනිති.

උද්ඝෝෂකයන් කල යුත්තේ රජයන් විසින් ත්‍රස්ත පනත භාවිතා කර සිදු කරන නිතී විරෝධී ක්‍රියාවලට විරුද්ධව සටන් කිරීමය. රටට අත්‍යාවශ්‍ය වූ ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන මෙන් ඉල්ලා සිටීම නොවේ.

නැවතත්; වරද ඇත්තේ රජයන්ගේ  අමනොඥ්ය ක්‍රියාවන් වල මිස ත්‍රස්ත මර්ධන පනතේ නොවේ. බස් රථයක රියදුරු බීමත්ව ගොස් එය නිතර හප්පන්නේ නම් නැණවත් බස් රථ හිමියා කරනුයේ බස් රථයේ රියදුරුව ඉවත් කිරීම මිස මුදල් ආකරයක් වූ බස් රථය විකුණා දැමීම නොවේ.

7 පෙබරවාරි 2022 දින ඇමරිකාවේ Human Rights Watch ආයතනයේ වාර්තාවක පහත සඳහන් චේදය මෙසේ පල කරමි:

In June 2021, a Tamil opposition politician, Shanakiyan Rasamanickam, claimed in parliament that over 100 people had been arrested under the PTA for social media posts.[115] In Batticaloa, police detained 19 people in November 2020 for allegedly posting online birthday wishes for the late LTTE leader Velupillai Prabhakaran, who was killed in 2009.

ත්‍රස්තවාදය පිලිබඳ  පනත අහෝසි කිරීමෙන් පසු කිසි බියක් නොමැතිව උතුරේ සහ නැගෙනහිර ප්‍රභාකරන්  උපන්දිනය, වෙනත් දෙමළ ත්‍රස්තවාදී වැඩ සටහන්/උත්සව මහ ඉහලින් පැවැත්වීමට බෙදුම්වාදීන් කටයුතු කරනු ඇත. LTTE සොහොන් බිම් නැවත ඉදි කරනු ඇත. ඊලම ඉල්ලා ඔවුන්  උතුරේ සහ නැගෙනහිර හර්තාල් කරනු ඇත. හමුදා කඳවුරු වටලනු ඇත.  දැන් පලාලි වල ජාත්‍යාන්තර ගුවන්තොටුපලක්ද ඇති නිසා, රට ඉතා දරුණුව ආර්ථිකව වැටී තිබෙන මේ සමයේ, උතුරේ වෙනම රාජ්‍යක් ප්‍රකාශ කිරීමට පවා ඔවුන් පසුබට නොවනු ඇත.  

රට ඉතා දුර්වලව ඇති නිසා, ඉන් අනියත වාසි ලබා, ප්‍රභාකරන්ට යුද්ධයෙන් ජය ගත නොහැකි වූ ද්‍රවිඩ ඊලම ‘මොළයෙන්’ ලබා ගැනීමයි මේ අයගේ වෑයම (රාසමානික්කම් කැනඩාවේදී ඉංග්‍රීසියෙන් කීවේ මෙය නොවේද?).

මෙවර ජෙනිවා චන්දයෙන් ඔවුන් දිනුවේ අති බහුතරයෙනි.  

මෙවැනන් හා සම්බන්ධව වැඩ නොකිරීමට සියළු දේශප්‍රේමින් වග බලා ගත යුතුය.

මෙම ලිපිය අවසන් කිරීමට මෙම විශේෂ සටහන් දැක්වීම උචිත යයි මෙම ලියුම්කරු කල්පනා කරයි:

යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තු පලඛයක දෙමළ භාෂාව සඳහන් නොවුණි කියා රාසමානික්කම් මැසිවිලි නැගීය. වව්නියාවෙන් උතුරට A9 මාර්ගයේ සවිකර තිබෙන පළාත් සභාවෙන් අනුමත අති දැවැන්ත බිල්බෝඩ් වල සඳහන් වනුයේ දෙමළ (සහ සමහරවිට ඉංග්‍රීසි) භාෂාව පමණක් බව, උතුරේ පාරවල සිංහල නාම පුවරු ඇත්තේ ඉතා අල්පව බව රාසමානික්කම්ට නොපෙනෙන්නේ මන්ද? කිසිදා ශ්‍රී ලංකාවේ සිටියා යයි වාර්තා වී නැති දෙමළ  රජවරුන්ගේ පිළිම මෑතකදී යාපනය නගර මධ්‍යයේ සහ එක් ප්‍රධාන කෝවිලක් ඉදිරියේ ඉදිකර තිබීම ගැන රාසමානික්කම් පවසන්නේ කුමක්ද?

අදත් සිංහල ජාතිකයෙකුට උතුරේ (සහ ඇතැම් නැගෙනහිර) ඉඩම් කොටසක් මිලදී ගැනීමට, බද්දට ගැනීමට, ගොවිපලක් ආරම්භ කිරීමට නොහැකිය/ඉතාම අපහසුය. සිංහලයෙක් මඩකලපුවේ ඉඩමක් මිලදී ගෙන එහි පදිංචි වෙනවාට රසමානික්කම් විරුද්ධ නොවන්නේද? ඔහු වරක් මේවා වෙනුවෙන් දීර්ඝ පාගමනක් සංවිධානය නොකළේද? මේ නිසා, ඔහුව එවකට සිටී ඇමරිකන් තානාපතිනියගේ ප්‍රශසංසාවට ලක් නොවිනිද?

බෙදුම්වාදීන්ගේ මෙවැනි අසාධාරණකම්, දෙපිට කාට්ටුකම් ජෙනිවා වලට, බටහිරට ගිය විට පැවසීමට රජයනට හෝ දේශප්‍රේමිනට නොහැකි වී ඇත. අපේ ඇති මුලිකම දුර්වලකම මෙයයි. අප විදේශගත ‘සතුරාට’ කිසිදාක නිසි ලෙස පිළිතුරු සපයා  නැත; කරුණු පැහැදිලි කර දී නැත.

ද්‍රවිඩ ජාතිකයෙකුට කිලිනොච්චි අත් හැර ගම්පහ පදිංචි වීමට හැකියාවක් ඇත. මුස්ලිම් ජාතිකයෙකුට අක්කරෙයිපත්තු  අත්හැර තංගල්ලේ පදිංචි විය හැක. මෙය රටේ දෙමළ, මුස්ලිම් ජනගහණයන් වර්ධනයට ඉමහත් රුකුලකි. නමුත්, ගම්පහ හෝ තංගල්ලේ වෙසෙන සිංහලයෙකුට කිලිනොච්චි හෝ අක්කරෙයිපත්තු ඉඩමක් මිලදී ගෙන ගෙයක් සදා ගැනීම ගැන ද්‍රවිඩ (සහ මුස්ලිම්) දේශපාලඥයන් තදින්ම විරුද්ධ වෙත්.  

ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වීමේ හැකියාව සහ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ  14වෙනි වගන්තියෙන් රටේ සියළු රටවැසියන්ට ලබාදී ඇත (freedom of movement). සිංහල පවුලක් වැල්වැටිතුරේ ගොස් ජීවත්වීමට තේසවලාමේ නිතිය ඍජුව හරස් නොවේ. උතුරේ ඉඩම් පිළිබඳව තේසවලාමේ නීතියේ බලපෑම ඉතා අල්පය.

නියම සන්හිඳියාව වන්නේ රටවැසියෙකුට තමන් කැමති ඕනෑම පලාතක ජීවත්වීමේ අයිතිය හිමිවීම බව රාසමානික්කම්ලා, සුමන්තිරන්ලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි. සිංහලයන් ගොස් උතුරේ පදිංචිමට (සංවිධානාත්මකව, රජයේ අනුග්‍රහයෙන් ජනාවාස තැනීම නොවේ) ඔවුන් සහාය ලබා දිය යුතුයි.

අද දකුණ ජනයාගෙන් පිරි ඉතිරි ගොස් පර්චස් 2න් පවා මිනිසුන් නිවෙස් තනා ගනිති. කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල අද සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව 1/3 පමණ බැගින් සම සමව  ජීවත්වෙත් (1970 දශකයේ දී කොළඹ ජනගහනයෙන් 70%ක් පමණ සිංහලය).

ජනාවාසයට සුදුසු හිස් ඉඩම් විශාල ප්‍රමාණයෙන් ඇත්තේ උතුරේ සහ නැගෙනහිරය – මෙය මේ රටේ 1/3 ක භුමි භාගයකි. මුහුදු තීරයෙන් 2/3ක්  පමණ වේ. සිංහලයා ද ගොස් මේ ප්‍රදේශවල පදිංචි විය යුතුය. නැවතත්; එය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් ඔවුනට ලැබී ඇති ව්‍යවස්ථාත්මක අයිතියකි.

මෙම මූලික අයිතිය – සිංහලයන්ට උතුරේ සහ නැගෙනහිර නිදහසේ පදිංචි වීමේ අයිතිය – ඉල්ලා උද්ඝෝෂකයන්, අරගලකරුවන් සටන් පාට කිව යුතුය. එය අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් විය යුතුය.

TNA සහ වෙනත් ද්‍රවිඩ නායකයන්ගෙන් මේ පිළිබඳව වූ ඔවුන්ගේ ස්ථාවරය කෙලින්ම ප්‍රශ්ණ කල යුතුය.

මෙයට විරුද්ධ වන්නෝ ජාතීවාදීන් (racists) වශයෙන් ප්‍රසිද්ධියේ නම් කල යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress