හූ කියන්නේ කවුද?
Posted on October 29th, 2022
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) කියන්නේ මහ දැවැන්ත දේශපාලන සංවිධානයක්. මේ වෙද්දි ඒ පක්‍ෂයේ සාමාජිකත්වය කෝටි දහයකට ආසන්නයි. ඒ කියන්නේ අපේ රටේ ජනගහනය වගේ පස් ගුණයක් විතර. මේ පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගැනීමත් ලේසි වැඩක් නෙවෙයි. සාමාන්‍යයෙන් සාමාජිකත්ව අයදුම්පත් දහයක් ලැබුණාම අනුමැතිය ලැබෙන්නේ හැම සුදුසුකමක් ම සම්පූර්ණ කරපු එක අයදුම්කරුවකුට විතරයි. ඒ වගේ ම, විවිධ මට්ටමේ සංවිධාන ලක්‍ෂ පනහක එකතුවක් විදිහටත් මේ පක්‍ෂය ගොඩනැගිලා තියෙනවා.
මේ තරම් දැවැන්ත දේශපාලන සංවිධානයක් එක පුද්ගලයෙක්ගේ හරි පුද්ගලයන් කීප දෙනෙක්ගේ හරි ඕනෑ එපාකම්වල හැටියට මෙහෙයවන්න බෑ. ඒ වගේ ම, එක සැරේ ම අහසින් කඩා වැටෙන, කිසිම දේශපාලන සහ විධායක හැකියාවක් නැති අයට මේ පක්‍ෂයේ ඉහළ ම නායකත්ව මණ්ඩලයට පත්වෙන්නත් බෑ. නායකයෝ විදිහට පත් කරගන්න සුදුසු අය හඳුනාගෙන ඒ අය තෝරගන්න ක්‍රමවේදයකුත් පක්‍ෂය විසින් හඳුන්වලා දීලා තියෙනවා.
පක්‍ෂය සහ නායකත්වය විසින් කරන්න ඕන දේවල් හඳුනාගෙන අදාළ පාර්ශ්වවලට වාර්තා කරන බුද්ධි මණ්ඩල සහ පර්යේෂණ අංශ විශාල ප්‍රමාණයකුත් පිහිටුවලා තියෙනවා. ඒ අයගේ අදහස් සහ යෝජනා විමසලා බලලා ඒ අනුව කටයුතුකිරීම පක්‍ෂයේ සහ නායකත්වයේ වගකීමක්.
1978 ආරම්භ කරපු ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පස්සේ චීනයේ ආර්ථිකය ඉතාමත් වේගයෙන් වර්ධනය වෙන්න පටන්ගත්තා. මේ ගැන අපි හැමෝම වගේ දන්නවා. 1999 අවුරුද්ද වෙද්දි චීනය ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවටත් පත්වුණා. ඒ අවුරුද්දේ ඉඳලා මේ දක්වා ම චීනයේ ආර්ථිකය දෙවැනි වෙලා තියෙන්නේ ඇමෙරිකා ජනපද සංගමයේ ආර්ථිකයට විතරයි.
මේ මහා වෙනස්කම් එක්ක ඇතිවෙන ලෝක තත්ත්වයන්ට ගැලැපෙන විදිහට චීනයේ නායකත්වයත් වෙනස්වෙන්න ඕන කියලා පක්‍ෂයට අයිති බුද්ධි මණ්ඩල විසින් ඒ දවස්වල වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අඩුම ගණනේ 2010 – 12 කාලය වෙද්දි මේ වෙනස අනිවාර්යයෙන් ම වෙන්න ඕන බවත් ඒ අය අවධාරණය කරලා තිබුණා. මේ උපදේශය ඒ දවස්වල බලයේ හිටිය පක්‍ෂයේ ඉහළ ම නායකත්ව මණ්ඩලය පිළිගත්තා. ඒ අදහස ඇත්තක් කරන්න නම් ඒකට ගැලැපෙන අය හොයාගෙන අවශ්‍ය විදිහට හැඩගස්වන්න ඕන. ඉතින් පක්‍ෂ නායකත්වය ඒ වැඩේ පටන්ගත්තා.
තමන්ට ලැබුණු උපදේශය අනුව කටයුතු කරලා මේ අය 2012 අවුරුද්ද ඉලක්ක කරගෙන අනාගත නායකයෙක් හොයන්න කටයුතු කළා. මේ සඳහා අඳුරගත්ත දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් තමයි 2012 දී පක්‍ෂ නායකත්වයට පත්වෙච්ච ශී චින්-පිං (习近平, Xi Jinping). අනිත් කෙනා තමයි පෝ ශි-ලැයි (薄熙来, Bo Xilai). මේ දෙන්නා ම ඒ වෙද්දි බිම් මට්ටමේ ඉඳලා ඉහළට විවිධ මට්ටම්වල විධායක තනතුරු දරලා අවුරුදු තිහකට වැඩි දේශපාලන අත්දැකීම් ලබපු අය. මෙහෙම අයට පුළුවන් පළාත් මට්ටමේ විධායක තනතුරුවලට පත්වෙන්න.
අවුරුදු දහයක් විතර පළාත් මට්ටමේ හරි අමාත්‍ය මට්ටමේ හරි තනතුරු දරලා වැඩ පෙන්නපු අයට තමයි රටේ ඉහළ ම නායකත්ව මණ්ඩලයට පත්වෙන්න පුළුවන්. මෙහෙම කෙනෙක් පළාතක නායකකම කරනවා නම් ඒ කාලය තුළ ඒ පළාතේ ආර්ථිකය වර්ධනය කරන්න, සමාජ ප්‍රශ්න විසඳන්න, ස්වභාවික උපද්‍රව ආදියෙන් වෙන්න පුළුවන් අනතුරුවලින් මිනිස්සු සහ සම්පත් ආරක්‍ෂා කරගන්න, විනය විරෝධී වැඩ සහ දූෂණ කටයුතුවල නිරත නොවී ඉන්න කැපවෙන්න ඕන. අවුරුදු දහයක් තුළ මෙහෙම විධායක වගකීම් තුනක්වත් සාර්ථකව ඉටුකිරීම තමයි පක්‍ෂයේ නායකත්ව මණ්ඩලයට පත්වීමේ සුදුසුකම බවට පත්වෙන්නේ.
ශී චින්-පිං 2000 අවුරුද්දේ දී චීනයේ නැගෙනහිර ෆූ-වියැන් පළාතේ ආණ්ඩුකාරයා බවට පත්වුණා. මේ වගකීම ඉටුකරන අතර ම ඔහු ඡිං-හුවා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරුවා. ඔහු ආචාර්ය උපාධිය ලබාගත්තේ 2002 අවුරුද්දේ. මේ කාලයේ දී (2001 – 2004) පෝ ශි-ලැයි ආණ්ඩුකාරකම කළේ චීනයේ ඊසානදිග ලියාඕ-නිං පළාතේ. 2002 වෙද්දි නැගෙනහිර ච-චියං පළාතේ නායකත්වය ශී චින්-පිංට ලැබුණා. 2004 වෙද්දි පෝ ශි-ලැයිට ලැබුණේ චීනයේ වෙළෙඳ ඇමැතිකම. 2007 දී ශී චින්-පිංට පැවැරුණේ ෂං-හයි නගරයේ නායකත්වය. ඒ අවුරුද්දේ ම, ඡුං-ඡිං නගරයේ නායකත්වය පෝ ශි-ලැයිට පැවැරුණා. ඉතින් 2012 වෙද්දි මේ දේශපාලන යෝධයෝ දෙන්නා ම ජාතික නායකත්වයට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන හිටියා.
පක්‍ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වුණේ 2012 නොවැම්බර් මාසයේ. ඉතින් පොතේ හැටියට නම් ශී චින්-පිං සහ පෝ ශි-ලැයි කියන දෙන්නා ම ඒ අවුරුද්දේ පත්කරපු දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවට (පක්‍ෂයේ ඉහළ ම විධායක කමිටුවට) පත්වෙන්න ඕන.
ඒත් හදිස්සියේ ම පෝ ශි-ලැයිගේ ඉරණම අනිත් පැත්ත හැරුණා. ඒකට හේතුවුණේ නීල් හේවුඩ් (Neil Heywood) කියන බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයාගේ මරණය. මත්පැන්වලට වහ දාලා බොන්න දීමෙන් ඔහුගේ මරණය සිද්දවුණු බව තහවුරු වුණා. මේ මිනීමැරුමට මුල්වෙලා තිබුණේ පෝ ශි-ලැයිගේ බිරිඳ. අදාළ පොලිස් පරීක්‍ෂණ වළක්වන්න පෝ ශි-ලැයි මැදිහත්වෙලා තිබුණා. මේකට අදාළ කරුණු මහ ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම කියන්න ඉඩක් නෑ.
2011 නොවැම්බර් මාසයේ වෙච්ච මිනීමැරුමට අදාළ නඩුව ඉක්මනින් විභාග කෙරුණා. 2012 අගෝස්තු වෙද්දි නඩුවේ තීන්දුව ලැබුණා. පෝ ශි-ලැයිගේ නෝනාට මරණ දඬුවම නියමවුණා. (පස්සේ මේක ජීවිතාන්ත සිර දඬුවමක් බවට පත් කෙරුණා). මේ විභාගය පැවැත්වෙන අතර පෝ ශි-ලැයිටත් තනතුරු අහිමිවුණා. පක්‍ෂ සාමාජිකත්වයත් අහිමිවුණා. ඔහුට විරුද්ධ තවත් චෝදනා මහ ගොඩක් ඉස්සරහට ආවා. 2013 සැප්තැම්බර් මාසයේ දී පෝ ශි-ලැයිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවුණා.
ඉතින් මේ ජංජාල මැද්දේ 2012 නොවැම්බර් මාසයේ දී ශී චින්-පිං කිසිම තරගයක් නැතුව දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවටත් පක්‍ෂයේ නායකත්වයටත් පත්වුණා. 2013 මාර්තු මාසයේ දී, ඔහු චීනයේ ජනාධිපතිවරයා බවට පත්වුණා. ඒත් එක්කම ඊට අවුරුදු දහතුනකට විතර කලින් පටන්ගත්ත පක්‍ෂයේ නායක ව්‍යාපෘතිය අවසාන වුණා.
ශී චින්-පිං හැඳින්වෙන්නේ පක්‍ෂ අරටුවේ නායකයෙක්” (领导核心, leadership core) විදිහට. මීට කලින් මේ හැඳින්වීම හිමිවෙලා තියෙන්නේ මාඕ ත්ස-තුං, තං ශියාඕ-පිං සහ චියං ත්ස-මින් (江泽民, Jiang Zemin) කියන තුන්දෙනාට විතරයි.
එතකොට හූ ජින්-ථාඕ (胡锦涛, Hu Jintao) කියන්නේ කවුද?
පක්‍ෂ නායකත්වයට හූ චින්-ථාඕ පත්වුණේ 2002 නොවැම්බර් මාසයේ. ඔහුට චීනයේ රාජ්‍ය නායකකම (ජනාධිපතිකම) ලැබුණේ 2003 මාර්තු මාසයේ.
පක්‍ෂ නායකත්වයට පත්වෙච්ච කෙනාට ඒ එක්කම හමුදා කොමිසමේ සභාපතිකමත් පවරනවා. රාජ්‍ය නායකකම ලැබුණු ගමන් ම ඔහු රටේ හමුදාවල ප්‍රධානියා (රාජ්‍ය හමුදා කොමිසමේ සභාපතිවරයා) බවටත් පත්වෙනවා. තං ශියාඕ-පිං, චියං ත්ස-මින් සහ ශී චින්-පිං කියන තුන්දෙනාට පක්‍ෂයේ නායකකම පවරපු අවස්ථාවේ ඉඳලා ම හමුදාවේ නායකත්වයත් පැවැරුණේ ඒ හින්දයි.
ඒත් හූ චින්-ථාඕගේ තත්ත්වය ඊට වඩා වෙනස්. 2002 නොවැම්බර් මාසයේ දී පක්‍ෂයේ නායකයා වෙලා, 2003 දී රාජ්‍ය නායකයා බවට පත්වුණු ඔහුට හමුදා කොමිසමේ නායකත්වය පැවැරුණේ නෑ. ඒ තනතුර තවදුරටත් හිටපු ජනාධිපති චියං ත්ස-මින් විසින් ම දැරුවා. හූ චින්-තාඕට මේ තනතුර ලැබුණේ 2005 මාර්තු මාසයේ දී. ඒ කියන්නේ අවුරුදු දෙකක් ජනාධිපතිකම කළාට පස්සේ. ඒ වගේ ම, හූ චින්-ථාඕ පක්‍ෂ අරටුවේ නායකයෙක්” විදිහට සැළැකෙන්නෙත් නෑ.
එහෙම නම්, 2002 ඉඳලා 2012 වෙන කල් පක්‍ෂ නායකකමත් 2003 ඉඳලා 2013 දක්වා රාජ්‍ය නායකකමත් හූ චින්-ථාඕට පැවැරුවේ ඇයි? ඇත්තෙන්ම ඔහුට පැවැරිලා තිබුණේ පක්‍ෂයේ අනාගත නායකයා ඉස්සරහට එන කල් බැටන් පොල්ල” ඇරැගෙන යෑමේ වගකීමක්. ඉස්සරහට පැනලා පහරදෙන, පක්‍ෂ අරටුවේ නායකයෙක්” විදිහට හඳුන්වන්න පුළුවන් කෙනෙක්ට එහෙම අතරමැද වගකීමක් පවරන්නේ නෑ.
ඇත්තෙන්ම, හූ චින්-ථාඕ සැළැකෙන්නේ තියෙන දෙයින් සතුටුවෙන, වැඩි දෙයක් බලාපොරොත්තු නොවෙන, වැඩි ක්‍රියාකාරීත්වයක් නැති (躺平, lying flat) කෙනෙක්” විදිහට. ඔහුගේ පාලන කාලයේ දී වැඩි බරක් ඇද්දේ අගමැති වන් චියාඕ-පාඕ (温家宝, Wen Jiabao).
මේ අතරමැද නායකයාගේ කාලයේ දී ඇතිවෙච්ච ප්‍රශ්න ගණනාවක් ගැනත් වාර්තාවෙලා තියෙනවා. දූෂණ ප්‍රශ්නයත් එහෙම එකක්. 1949 ඉඳලා මේ දක්වා කාලය තුළ පත්වෙච්ච දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටු නියෝජනය කරපු අය අතරින් පාලන කාලය තුළ දී දූෂණ චෝදනාවකට වැරැදිකාරයා වෙලා හිරේ ගියේ එකම එක පුද්ගලයයි. ඒ තමයි චෝ යුං-කං (周永康, Zhou Yongkang). ඔහු දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවට පත්වුණේ 2007 අවුරුද්දේ. ඒ කියන්නේ හූ චින්-ථාඕගේ පාලන කාලයේ. 2012 අවුරුද්දේ පවත්වපු 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පස්සේ ඔහු විශ්‍රාම ගියා.
ඒ එක්කම, තමන්ගේ පාලන කාලය තුළ දී, චෝ යුං-කං කරපු අකටයුතුකම් (බලය අයථා ලෙස පාවිච්චිකිරීම් සහ දූෂණ වැඩ) ගැන තොරතුරු අනාවරණය වෙන්න පටන්ගත්තා. 2013 අවුරුද්දේ අග වෙද්දි ඔහුට එල්ලවෙලා තිබුණු චෝදනා ගැන විමර්ශන ආරම්භ කෙරුණා. ඒ චෝදනා සනාථ කරලා 2015 ජුනි මාසයේ දී ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවුණා.
මෙහෙම වැඩ සිද්දවුණේ අදාළ කාලයේ නායකත්වය විසින් දූෂණ අකටයුතුකම්වලට විරුද්ධව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරපු හින්දා. ඇත්තෙන්ම හූ චින්-ථාඕ කියන්නේ එහෙම දරදඬු චරිතයක් නෙවෙයි. දැන් ඔහු වයස අවුරුදු 80 කට කිට්ටු කෙනෙක්. ඒ වගේ ම, අසනීපයෙන් ඉන්න කෙනෙක්. ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වෙලා අවුරුදු 10 ක් ගතවෙලා.
පහුගිය දවස්වල බටහිර මාධ්‍ය හරහා ඇතිකරපු ආන්දෝලනය ගැන අපි සළකා බලන්න ඕන මෙන්න මේ කරුණු පදනම් කරගෙන. පක්‍ෂ අරටුවේ නායකයෙක්” වෙලා නැති, ඒ තරම් සක්‍රීය නැති, වයසක කෙනෙක් ඊට හාත්පසින්ම විරුද්ධ කෙනෙක්ට විරුද්ධව කැරැල්ලක් ගහයි ද?
එහෙම නම් පහුගිය ඔක්තෝබර් 22 වැනි දා වුණේ මොකක්ද? සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇල්ෆ්‍රඩ් මූ-ලුවන් වූ දක්වලා තියෙන අදහසින් ඒ සිද්දිය පැහැදිළි කෙරෙනවා. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙම. I think this is a health issue, Hu is more of a lying-flat type, he doesn’t want much. I don’t think he’s expressing anger at Xi. (මම හිතන්නේ ඒක සෞඛ්‍ය හේතු මුල් කරගෙන ඇතිවෙච්ච සිද්දියක් කියලා. හූ කියන්නේ ඉස්සරහට පැනලා විරෝධය දක්වන කෙනෙක් නෙවෙයි. එතුමා ලොකු දෙයක් අපේක්‍ෂා කරන්නේ නෑ. ඔහු ශි චින්-පිංට විරුද්ධ බවක් පෙන්නනවා කියලා මම හිතන්නේ නෑ).”
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති