පොහොර තහනමේ අභිරහස…
Posted on November 12th, 2022
උත්තර ලංකා සභාගයේ අනුරාධපුර සමුළුව
ගෝඨාභය රාජපක්ෂ රජය විසින් සිදුකළ විශාල වරදක් වන රසායනික පොහොර තහනම් කිරීම සඳහා උපදෙස් ලබාදුන්නේ කවුරුන්දැයි යන්න අදටත් අභිරහසක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මෙය ක්‍රියාත්මක කිරීමට පෙර තමන් සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දැඩි ව විරෝධය පළ කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ උත්තර ලංකා සභාගයේ අනුරාධපුර සමුළුව අමතමිනි.
එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
ලෝක ඉතිහාසයේ අඛණ්ඩව වසර 1,400ක් අගනුවර ලෙස පැවැති එකම නගරය අනුරාධපුරයයි. ක්‍රිපූ 377 දී පණ්ඩුකාභය රජු අනුරාධපුරය අගනුවර බවට පත් කළ දා පටන් ක්‍රිව 1017 දී රාජේන්ද්‍ර චෝල විසින් පස්වන මහින්ද සිහසුනෙන් නෙරපන තුරුම අපේ රටේ අගනුවර අනුරාධපුරයයි. මෙතරම් දිගු කලක් අගනුවර ලෙස පවතින්න අනුරාධපුරයට පුළුවන් වුණේ ඇයි? අභියෝග නොතිබුණු නිසා නොවේ. අභියෝග වලට උත්තර හොයලා හරියට ඒවාට මුහුණ දුන්නු නිසා. සේන ගුත්තික එලාර පුලහත්ත දාතික වගේ ආක්‍රමණිකයින් අනුරාධපුරය ආක්‍රමණය කලා. බැමිණිතියා සාය වැනි මහ දුර්භික්ෂ ආවා. වසංගත රෝග පැතිරුණා. නමුත් ඒ අභියෝග වලට මුහුණ දීලා වැටි වැටි නැගිටීමේ ජීවි ගුණය අනුරාධපුරයට තිබුණා. වැටි වැටි නැගිටින හොඳම පාඩම ලෝකයට ඉගැන්වූ අනුරාධපුරයට උත්තර ලංකා සභාගය ආවේ ඇද වැටුණු ලංකාවේ ප්‍රශ්නවලට උත්තර සොයාගෙන ඔබත් එක්ක කතා කරන්නයි .
රජරට ජනතාව හැමදාමත් කිව්වේ අපට වතුර දෙන්න. අපට පොහොර දෙන්න අපි රටටම කන්න දෙන්නම් කියලා. එදා පෙරදිග ධාන්‍යාගාරය වුණු ලංකාවේ අද තත්වය මොකක්ද? ගොයම් ගහ කහ ගැහිලා. බඩ ඉරිගු කරල යන්තම් අගල් හතරයි. රටටම කන්න දුන්නු රජරට ජනතාව අද බඩගින්නේ. අභිමානයෙන් ජීවත් වුණු ජනතාව අද සිඟමනට ඇද වැටිලා.
ගෝඨාභය ආණ්ඩුවේ අවසානය ආරම්භ වුණේ අන්තනෝමතික විදිහට රසායනික පොහොර තහනමින්. ලෝකයේ කිසිම රටක් නොකල වැඩක් කිසිම පර්යේෂණයක් නැතිව කිසිම අත්හදා බැලීමක් නැතිව කාගෙදෝ ලණුවක් කාලා හෙන හත වදිනවා වගේ එක පාරටම තහනම් කලා. එවිට රටක ආර්ථිකය කඩා වැටෙන එක අහන්න දෙයක් ද? 2021 අප්‍රේල් 26 ආණ්ඩුවේ අර්බූදය ගැන කතා කරන්න ජනාධිපතිතුමා අපට එතුමාගේ නිවසට ආරාධනා කලා. විමල් මම තව ඇමතිවරු දෙන්නයි. එදා තමයි පොහොර තහනම ගැන අපට මුලින්ම කිව්වේ. කතා කරන්න ගිය එක පැත්තක තියලා මේ අපරාධය කරන්න එපා කියලා අපි ජනාධිපතිතුමා සමග පැයකට වඩා වාද කලා. හැබැයි එතුමා දැඩි තීන්දුවක හිටිය. අමාත්‍යමණ්ඩල රැස්වීමට ඉදිරිපත් කලා. අපේ අමාත්‍ය මණ්ඩලය කියන්න නිකන් සිග්නල් කණු ටිකක්. අනුරාධපුරයේ රාජසභාවේ හිටපු ඇමතිවරුවත් එතරම්ම සිග්නල් කණු නොවෙයි. ඒ ඇමතිවරු නම් යහපති මහරජ එහෙමයි මහරජ කියන ගමන් එහෙම කොහොමද මහරජ කියන්න පුරුදු වෙලා හිටියා. ඒකටත් එක්ක දැන් ඉන්න ඇමතිවරු. කටින් වචනය පිටවෙන්න කලින් එහෙමයි සර් කියනවා. රාජ්‍ය නායකයන්ට හරි තීන්දු ගන්න මේ ඉන්න සිග්නල් කනු ඇමතිවරුන්ගෙන් කිසිම සහායක් හිමිවුණේ නැහැ.
2021 මැයි මාසයේ දී රසායනික පොහොර තහනම පිළිබඳ යෝජනාව ජනාධිපති විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට එරෙහිව කතා කලේ වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ යන ඇමතිවරුන් සහ මා පමණයි. විමල් අමාත්‍යතුමා එදා ඒ අමාත්‍ය මණ්ඩලයේ හිටියේ නැහැ. එක ඇමති කෙනෙක් කිව්වා සර් මේක කලොත් ඔබතුමා ලෝක ඉතිහාසයට එක් වෙනවා” කියලා. තව කෙනෙක් කිව්වා සර්ට මේ පිනම ඇති නිවන් දකින්න” කියලා. සාතිශය බහුතරය නිහඬව සිටියා. ජනාධිපති හිතන්න ඇති කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නේ නැතිව නිවන් දකින්න ෂෝට් කට් එකක් තිබෙනවා නම් ඒක පාවිච්චි කලාම මොකෝ කියලා. තහනම් කළා පොහොර.
ටික දවසක් යද්දි රට පත්තු වෙන්න ගත්තා. 2021 ඔක්තෝම්බර් මාසයේ දී ජනාධිපතිතුමා හදිසි ඇමති මණ්ඩල සාකච්ඡාවක් කැඳෙව්වා. ආණ්ඩුවේ ජනප්‍රියතාවය බරපතල ලෙස පිරිහී පවතින බව කියලා. ඊට හේතු සහ පිලියම් ඉදිරිපත් කරන මෙන් ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියා. විමල් වීරවංශ ඇමතිතුමා දිගු විස්තරයක් කරමින් රසායනික පොහොර තහනම පොහොට්ටුවේ සම්ප්‍රදායික බලකොටුව වන ගම පොහොට්ටුවට අහිමි කළ ආකාරය විස්තර කළා. එදා නම් ඇමතිවරු ගණනාවක් විමල් ඇමතිතුමාට පක්ෂව කරුණු දැක්වුවා. ඒත් ගොවි බිම් නියෝජනය කරන ඇමතිවරයෙක් මොකද කිව්වේ? ඕක දැන් නතර කලොත් සර්ගේ ආත්ම ගරුත්වයට මොකද වෙන්නේ. අපි දැන් බිම් මට්ටමෙන් කොම්පෝස්ට් පොහොර හදාගෙන යනවා. උද්ඝෝෂණ කරන්නේ පොඩි පිරිසක් විතරයි. ඒ නිසා සර් ගත්ත කීරනයේම ඉන්න කියලා”.
කොළඹ ඇමතිවරු රසායනික පොහොර තහනමට විරුද්ධයි. ගොවි ප්‍රදේශවල ඇමතිවරු පක්ෂයි. ජනාධිපතිතුමා කන් දුන්නේ අර ගමේ ඇමතිවරුන්ගේ ඉල්ලීමට.
ගෝඨාභය ආණ්ඩුව කළ ලොකුම ගොන්කම පොහොර තහනමට ලණුව දුන්නේ කවුද කියන එක අදටත් අබිරහසක්.
ආර්ථිකය ඇද වැටීම ඉක්මන් කළ අනිත් තීන්දු තුනම බැසිල් මල්ලි පාර්ලිමේන්තු ගෙන ඒම වෙනුවෙන් ගත්තු තීන්දු. මේ අයියලාට ලොකු ඕනැකමක් තිබුනා බැසිල් මල්ලිට ඇමෙරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්න සලස්වන්න. ඒකට 20 වන සංශෝධනය සම්මත කර ගන්න ඕනෑ. ඒකට පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දිනා ගන්න ඕනෑ. යුද්ධය දිනපු මහින්ද ජනාධිපතිතුමාටවත් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ දී තුනෙන් දෙකක් ගන්න බැරි වුණා. ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ටික තවත් වැඩි කරගෙන තුනෙන් දෙකේ බලය හදාගන්න නම් විජාවල් වල් දෙක තුනක් පෙන්වන්න ඕනෑ.
මුලින්ම කළේ රුපියල් ට්‍රිලියනයක් විතර අපිට පාඩු වෙච්ච 2019 බදු කප්පාදුව . එය කලේ බැසිල් මල්ලි පාර්ලිමේන්තු ගේන්න 2/3ට ඕනෑ ඡන්ද ටික හොයන්න. ඒකෙන් මේ ආර්ථිකය මෙච්චර ඉක්මනට කඩා වැටුණා. සාමාන්‍ය පෙල අසමත් දරුවන් ලක්ෂයකට රැකියා දුන්නේ බැසිල් මල්ලි වෙනුවෙන්. ආණ්ඩුවට විශාල වැය බරක් වුණත් දරුවන්ට වුණු සෙතකුත් නෑ. අවුරුදු තුනකට පස්සේත් රු22,500/- පඩියට අස්ථිර රස්සාවක්. එහෙම වෙලා තියෙන්නේ ඒක මේ රස්සා දීමක් නෙවෙයි ඡන්ද විජ්ජාවක් නිසා. උපාධිධාරින් හැට දහසකට රජයේ රැකියා දුන්නෙත් බැසිල් මල්ලි වෙනුවෙන්. පෞද්ගලික අංශයේ හොඳ රස්සාවල් කරපු අය අනේ දෙයියනේ ආණ්ඩුවේ රස්සාවක් නේද කියලා ඇවිත් රජයේ රස්සාවට එකතුවෙලා අද අස්ථිර රස්සාවක සොච්චම් වැටුපකට ලොටවනවා.
මේ විජ්ජා වලින් තුනෙන් දෙකේ බලය අරන් 20 සංශෝධනය සම්මත කරලා ඇමෙරිකානුවෙකු විධියටම පාර්ලිමේන්තු ආපු බැසිල් මලයා රටට කෙළ වෙනකොටම අපි අනාවැකි කිව්ව විදිහටම බඩුමුට්ටු උස්සගෙන ඇමරිකාවට ආපහු ගියා. අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් තිත්ත පාඩමක් ඉගෙන ගත්ත නිසා තමයි අපි ඕකට මුල ඉදන්ම විරුද්ධ උනේ. කුළුදුල් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට තමයි මේක ඉදිරිපත් කළේ. කිරිබත් කාලා පටන් ගත්ත මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීම. අපිට එහිදී මෙයට විරුද්ධව කතා කරන්න සිද්ධ වුණේ මේ අනතුර අපි කලින්ම දැක්ක නිසයි.
දැන් බැන බැන ඉඳලා වැඩක් නෑ. මේ අර්බූදයෙන් ගොඩ එන ක්‍රමය කතා කරමු.
මේ අර්බූදයෙන් ගොඩ එන්න නම් වවන්න පුළුවන් හැම දේම වවන්න ඕනෑ, අපි හදන්න පුළුවන් හැමදේම හදන්න ඕනෑ. අද අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනෑ. මුලින්ම ඉතින් ප්‍රමිතියේ ප්‍රශ්න තිබේවි. වියදමත් අනෙක් රටකට වඩා වැඩියි තමයි. සහල් බුරුමයේ ගත්තොත් මේ මීට වඩා ලාබයි. එහෙනම් ලංකාවේ සහල් වවන් නැතුව බුරුමයෙන් ගේනවද ? බී ලූනු ගෙඩිය අර්තාපල් ගෙඩිය ලංකාවේ වවනවට වඩා ඉන්දියාවේ වවන එක ලාභ නිසා ඉන්දියාවෙන් ගේනවද ? ඔය හදන හැම දෙයක්ම චීනයේ මීට වඩා ලාබයි. බඩු ටික චීනෙන් ගන්න පුළුවන්. නමුත් ගේන්න ඩොලර් කෝ. ඒ නිසා අපි හදමු. අපි වරද්ද වරද්දා හදමු. අද කටට රසට කෑම උයන අම්මලාත් පළමු හොද්ද වරද්ද ගත්ත අය තමයි. ලුණු වැඩි වෙන්න ඇති. මිරිස් වැඩි වෙන්න ඇති. හොද්ද රොස් වෙන්න ඇති. එහෙමයි කියලා හොද්ද හදන එක අම්මලා අත හැරියනම් අපිත් අද ඉන්නේ බඩගින්නේ. මට මතකයි 1990 මම පිටරට ගිහින් මුල් වරට පරිප්පු හොද්දක් හැදුවේ. මම හිතා ගෙන හිටියේ හොද්ද හැඳි ගාන අතරේ රත් වන විට කහපාට වෙනවා කියලා. හොද්ද හිඳෙන තුරුම හැඳි ගෑවාත් කහපාට වුණේ නෑ. පස්සේ අම්මාට දුරකතනයෙන් කතා කරලා මගේ ප්‍රශ්නය කිව්වා. අම්මා හිනා වෙලා කිව්වා හොද්ද කහපාට වෙන්නේ රත් වුණාම නොවේ. ඒකට කහ දාන්න ඕනි කියලා. වරද්ද වරද්දා ඉගෙනගන්න ඕනෑ. සමුදි දුමින්ද
1970 දශකයේ කවුරු හරි ජපන් කාර් එකක් ගත්තොත් හැමෝම කියන්නේ අපෝ ඕක හයිය නෑ. හැප්පුනොත් ඔයාගේ කකුල් නෑ. ඉංග්‍රිසි හරි ජර්මන් හරි කාර් එකක්නේ ගන්න තිබුණෙ කියලා. හැමෝම බනිනවා කියලා ජපනා කාර් හැදිල්ල අත් හැරියා ද? නෑ. ජපනා හපනා අද ලෝකයේ අංක 1 කාර් නිෂ්පාදකයා ජපානය. 1981 අපේ ගෙදරට රූපවාහිනියක් ගෙනාවා. බ්‍රෑන්ඩ් එක ඔරෙක්ස්. කොරියාවේ හදපු එකක්. දකින දකින කෙනා කියන්නේ ඇයි ජපන් ටීවී එකක් ගත්තේ නැත්තේ. කොරියාවේ කුණු බඩුනෙ කියලා. ඒ වෙනකොට ජපානය හොඳ වෙලා කොරියාව පෝලිමට එකතු වෙලා. නමුත් කොරියන් බඩු හොඳ නෑ කියලා කොරියාව බඩු හදන එක නැවැත්තුවෙ නැහැ. විවේචන වලින් පස්සට ගියේ නැති නිසා අද කොරියාවේ සැම්සුන්ග් සමාගම තමයි විද්‍යුත් උපකරණ නිෂ්පාදනයේ අංක 1. අද චීනයේ බඩු වල ප්‍රමිතිය ගැන සමහරු හිනා වෙනවා. චීනා නිෂ්පාදනය නතර කරනවාද? නෑ. ඒ වෙනුවට අඩුපාඩු හදාගෙන නිෂ්පාදනය වැඩි කරනවා. එහෙනම් අපි හදන බඩු වලත් මුල් යුගයේ දී මිළ වැඩි වෙයි. නමුත් අපි රුපියල් වලිනුයි ගෙවන්න වෙන්නේ. අපේ ප්‍රමිතියේ පොඩි ප්‍රශ්න තියෙයි. වරද්ද වරද්ද හරි අපේ නිෂ්පාදකයාට එය හදන්න දෙන්න ඕන. අපේ නිෂ්පාදන අපි ගන්න ඕන. ඔච්චර සල්ලි තියෙන ඕස්ට්‍රේලියාව ගුවන්තොටුපලේ ඉඳන් නගරයට යනකොට දැවැන්ත ප්‍රචාරක පුවරු ගහලා තියෙනවා ඔස්ට්‍රේලියානුවෙකු වෙන්න ඕස්ට්‍රේලියාවේ හදන දේ මිලදී ගන්න කියලා.
අපිත් හැත්තෑවේ යුගයේ කිව්වා සිරිලක දේ සිරි සැප දේ කියලා. හැබැයි දැන් වෙළෙඳ පොළට ගිය ගමන් භාණ්ඩය අනිත් පැත්තට හරවල බලනවා මොන රටේද හදලා තියෙන්නේ කියලා. අරලන්ඩ් මේ ලන්ඩ් කියලා තියෙනවා නම් භාණ්ඩය ඉස්තරම්. ශ්‍රී ලංකාව කියලා කියනවා නම් කියන්න ලැජ්ජයි. නමුත් වෙන රටවල් තමන්ගේ බඩු ගැන බොහොම අභිමානයෙන් කතා කරන්නේ. මම ළඟදී නිවසක් විවෘත කරන අවස්ථාවකට සහභාගි වුණා. ටයිල් කැට ඉතාලියේ නානකාමර කට්ටල ජර්මනිය ගෘහ භාණ්ඩ බුරුම තේක්ක කියලා පෙන්නුවා. මම ඇහුවා ලංකාවේ පස් ටිකක් වත් මේකේ නැද්ද කියලා. මෙන්න මෙහෙමයි අද අපේ රටේ මානසික තත්ත්වය. අපි සිරිලක දේ සිරි සැප දේ කියලා හිතන දාට අපි අපේ දේ අගය කරන දාට තමයි අපිට නැගිටින්න පුළුවන්. වරද්ද වරද්ද හරි අපේ දේ අපි හරියට හදනවා කියල හිතා ගත්ත දවසක තමයි අපිට නැගිටින්න පුළුවන්. අන්න ඒ සපිරි බල සිරිලක හදන්නට අපිත් එක්ක එකතු වෙන්න කියලා තමුන්නාන්සේලා සියළු දෙනාටම අරාධනා කරනවා.
– Media unit