ශ්‍රී ලංකා ඉතිහාසය විකෘති කිරීම් (1වන කොටස)
Posted on November 12th, 2022

චානක බණ්ඩාරගේ

‘ලොව හොඳින්ම කලේ අපය’ යන මත ජනගත කිරීමක් පසුගිය කාලවල සිදු විය. ඒ හා සමාන දෙයක් රටේ ප්‍රසිද්ධ යයි කියා කිව හැකි පුරාවිද්‍යාඥයෙක් අපේ ඉතිහාසය ගැන දැන් කාලාන්තරයක් තිස්සේ ඉතා සාර්ථක ලෙස කරගෙන යයි.

මොහු කියන අයුරින් මීට වසර දහස් ගණනකට පෙර ශ්‍රී ලංකාවේ අති සාර්ථක කෘෂිකාර්මික ජිවන ක්‍රමයක් පැවත ඇත. මෙය දැවැන්ත, නව සොයා ගැනීමකි.

නමුත් ලෝකයේ  වෙනත් ඉතිහාසඥයන්,  පුරාවිද්‍යාඥයන් අද වෙනතුරු මෙය සනාථ කර නොමැත. 

ලොව පිළිගත් සමාජ විද්‍යා මුළ ධර්ම අනුව ලොවේ ජීවන ශිෂ්ටාචාර 3කි – දඩයම සහ එකතුකිරිම (Hunter and Gatherer), කෘෂිකාර්මික (Agrarian) සහ කාර්මික (Industrial) ජීවන රටායි.

අවුරුදු දස දහස් ගණනකට පෙර මිනිසා මේ ලොව ජීවත්වුයේ සතුන් මරා, ඒවා අනුභව කිරීමේ ජීවන ක්‍රමයකිනි. මෙය  දඩයම සහ එකතුකිරිමේ ශිෂ්ටාචාරයයි. ඉන්පසු මිනිසුන් කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් වෙත යොමු විණ. ඒ තත්ත්වයට එන්නේ දඩයම සහ එකතුකිරිම යන ජීවන රටාවෙන් ඔබ්බට ‘දියුණු’ වීමෙනි. එනම්, බෝග වගාවන් සහ සත්ව පාලනයෙන් ජිවන ක්‍රමය ගෙන යන සමාජයකි. ක්‍රමානුකූලව භුමිය වගා කිරීම සහ සතුන් පාලනය කිරීම ඒ සමාජයේ ප්‍රධානතම ජීවන ක්‍රමයයි. කෘෂිකාර්මික ජිවන රටාවක් තුල වවන ලද බෝග වල අතිරික්තය ගබඩා කිරීමක් සිදුවේ. කෘෂිකාර්මික ජිවන රටාවට පසුව එන්නේ 3වෙනි සහ අවසාන ජිවන රටාව වන කාර්මික ජිවන රටාවයි.

ලොව පිළිගත් ඉතිහාසය වනුයේ ලොවේ ප්‍රථම සංවිධානාත්මක කෘෂිකාර්මික ජිවන ක්‍රමය බිහි වුයේ මිසපොටේමියාවේය (දැනට වසර 5,500ට ප්‍රථම). ඉන්පසුව ලොව බිහිවූ කෘෂිකාර්මික ශිෂ්ටාචාර වනුයේ  ඉන්දු වැලි, ඊජිප්තු සහ දකුණු ඇමරිකාවේ ඇන්ඩිස් කඳුකරය ආශ්‍රිතවයි. ලොව කිසිම පොතක ශ්‍රී ලංකාවද මේ ගොන්නට අයත් වන බව පවසා නැත.

අද දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් වනාන්තරගත ඇතැම් පිරිස්, ආර්ක්ටික් හි මසුන් මරා අනුභව කරන්නන් සහ සයිබීරියාවේ මුවන් වැනි සතුන් මරා අනුභව කරන්නන් වැනිවූ  ඉතා සුළු ආදිවාසි පිරිසක් පමණක් දඩයම සහ එකතුකිරිමේ ජීවන රටාවන් තවදුරටත් පවත්වාගෙන යයි. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසා අපේ වැදි ජනතාවගේ මේ ජීවන ක්‍රමය අප විසින් ඔවුනට අහිමි කර දෙන ලදී.

අද ඇමරිකාව, කැනඩාව, බටහිර යුරෝපය, ජපානය, ඕස්ත්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් පැහැදිලිවම කාර්මික ජීවන රටාවන් විද්‍යාමාන කරන රටවල් වේ.  මේවාද කාලාන්තරයක් දඩයම සහ එකතුකිරිම සහ  කෘෂිකාර්මික ජිවන රටාවන් හෙබු රටවල් විය.  චීනයද කෘෂිකාර්මික ජීවන රටාවෙන් ඔබ්බට ගොස්  කාර්මික ජීවන රටාවට දැන් අයත් වන රටකි. ඉන්දියාවද එසේ යයි කෙනෙකුට වාද කල හැක.

කර්මාන්ත ඇතත් අද ද  ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් (ජීවන රටාවක්) ඇති රටක් වශයෙන් දැක්විය හැක (පන්ඩුකාභය/දේවානම් පියතිස්ස ඒ කෘෂිකාර්මික ආරම්හය අපට දුන්හ). වෙනත් බොහෝ රටවල්ද තවම කෘෂිකාර්මිකය – දකුණු/දකුණු නැගෙනහිර ආසියා සහ අප්‍රිකා. 

මෙවැනි තත්වයක් මත ලොව සියල්ලන්ටම පෙර වාගේ වී වගාව පටන් ගත්තේ අපයි (නැත චීනයයි), යකඩ සොයා ගැනීම සිදු කලේ අපයි (නැත චීනයයි), ශ්‍රී ලංකාවේ සිංහයෝ සැරි සැරූහ (විය නොහැකියි), මීට වසර 49,000 පෙර සිංහලයෝ හෝර්ටන් තැන්නේ බාර්ලි, ඕට්ස් වැවුහ (මේවා වගා කිරීම ආරම්භ වුයේ ඊජිප්තුව, වර්තමාන ඊශ්‍රායලය වැනි ප්‍රදේශ වල  දැනට වසර 8, 000 කට පමණ පෙරය) යන මෙකී මහාචාර්යවරයාගේ සොයාගැනීම් හුදු ප්‍රබන්ධ ලෙස බැහැර කල යුතුය.

මෙවැනි සුවිශේෂී ලොව වෙනත් කිසිම රටක නොතිබු තත්වයක් ශ්‍රී ලංකාවේ තිබුනේ නම් ලොව වෙනත් ඉතිහාසඥයන්,  පුරාවිද්‍යාඥයන් ඒවා අනුමත කල යුතුය. කිසිවෙක් එසේ කර නැත.

ශ්‍රීලංකාව ඉන්දියාවෙන් වෙන් වුනේ මීට වසර 7,000ට පෙර යයි මොහු ඇතැම් වැඩ සටහන් වල කියා ඇත.  එසේ නම් අපේ ඉතිහාසය පැරණි වන්නේ වසර 7,000ක් පමණක් නොවේද? එසේ නම්, ඉන් පෙර අප ඉන්දියානුවෝ විය යුතුයි. අපේ ප්‍රෞඩ ඉතිහාසය අවුරුදු දස දහස්/ලක්ෂ ගණනාවක්  පැරණි යයි මොහු එසේ නම් කියන්නේ කෙසේද?  එක් සමාජ නාලිකා වැඩසටහනක ‘ හෝමෝසපියන් වරු ගොඩ බැස්සා යාලේ’ යයි මොහු පවසයි.

මෙවැනි අසත්‍ය නිසා ශ්‍රී ලංකාවට වන හානිය, එමෙන්ම අපේ අනාගත පරම්පරාවට, අති මහත්ය. 

කණගාටුවට කරුණක් වන්නේ මෙවැනි දේ පාසැල් සිසුන්ගේ ඉතිහාසය පෙළ පොත්වලට අඩංගු කර තිබීමයි. ඒ පිළිබඳව මෙම ලිපි පෙලේ සවිස්තරාත්මකව පසුව සඳහන් වේ.

එක්තරා සමාජ මාධ්‍ය ජාලයක් විසින් ‘නොනවතින ඉතිහාසය’ වැනි සමාන නමකින් පවත්වා ගන යන වැඩසටහන් කිහිපයකට සවන් දීමේදී පෙනී යන්නේ එකී නාලිකාව ශ්‍රී ලංකාවේ පිළිගත් ඉතිහාසය කණපිට පෙරලීමේ මෙම තැතට උදව් කරන බවයි.  මෙම වැඩසටහන් වල කරුණු සපයන්නේ මෙකී මහාචාර්ය වරයාමයි.

මෙම වැඩසටහන් වල ස්වභාවය නම් එකම කරුණ විවිධ අවස්ථාවලදී විවිධ ලෙස දැක්වීමයි. උදා: වසර 49,000 ට පෙර ශ්‍රී ලංකාවේ ලෝකයේ බාර්ලි, ඕට්ස් වැනි වගාවන් තිබුනේය යනුවෙන් වෙනත් වැඩසටහනක මහාචාර්ය වරයා විසින් කියා තිබු කාරණය මෙම නාලිකාවේදී මෙය වසර 17,500කට පෙර වශයෙන් වෙනස් කර තිබුණි.  

ඉතිහාසය එසේ විටින් විටින් විට වෙනස් කරමින් කිව හැකි දෙයක් නොවේ. අප කැමති වුවත් නැතත් අපට ඇති ඉතිහාසය අප පිළිගත යුතුය. අපට වුවමනා ලෙස විටින් විට වෙනස් කිරීමට ගියහොත් ලෝකයා ඉතිහාසය පිලිබඳ අපේ නිවැරදි ඉදිරිපත් කිරීම් පවා ගණන් නොගනු ඇත.

මෙම නාලිකාවේ වැඩ සටහන්වලට සවන් දීමේදී සිංහලයාගේ සම්භවය දකුණු ඉන්දියාව බව පෙන්වීමට උත්සහ දරන බවක් පෙනේ.

මහාවංශයට අනුව ශ්‍රී ලංකා දේශය බිහි වූයේ  මෙයට වසර 2,504 කට පෙර – ක්‍රි පු 498) උතුරු ඉන්දියාවේ සිංහපුර, වංග දේශයේ, ලාට රටේ (අද උතුරු බෙංගාලයේ)  සිටි විජය කුමරුගේ ශ්‍රී ලංකාවට (තම්බපන්නිය) වූ ආගමනයත් සමගිනි.  ‘සිංහළයේ’ ප්‍රාරම්භකයා, විජය, ඉන්දියානුවෙකි (බෙන්ගාලියෙකි).

මහාවංශය සහ වෙනත් අටුවා පොත් අනුව සිංහලයන් බුදු බුදුරජානන් වහන්සේට ඥාති සම්බන්ධතාවක් ඇත.  ලංකාවේ දෙවන රජ වූ පඬුවස්දේව (ඔහුට විජය කුමරු තම මාමණ්ඩිය විය) විවාහ වුයේ බුදු රජාණන් වහන්සේගේ  සමීපතම ලේ ඥාතියෙක් වූ බද්ධ කච්චානා (කපිලාවාස්තුහි, ශාක්‍ය වංශයේ) කුමරිය සමඟයි. සිංහලයාට බුදු රජාණන් වහන්සේ ඥාති වන්නේ මේ ලෙසිනි (ජැක්සන් ඇන්තනි මහතා පෙන්වා දීමට උත්සහ කර ඇත්තේ මෙය විය යුතුයි).

මහාවංශය සඳහන් කරන ආකාරයට විජය ලංකාවට පැමිණියේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේය. මහාවංශයට අනුව පිරිනිවන් මංචකයේ හොත්තාවූ බුදුන් වහන්සේ ශක්‍රයා අමතා ‘සිංහබා පිත් තෙල විජය කුමර අනගත සත් සියයක් පිරිවර ඇතිව ලාට රටින් ලක්දිව් බැසේය. දේවේන්ද්‍රය මාගේ සස්න ලක්දිව්හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහුද ලංකාවද මොනවට රකුව’ යි වදාළ සේක.”

සිංහලයා පැවතෙනුයේ විජය රජුගෙන් යන්න වසර දහස් ගණනක් තිස්සේ, මෑතක් වනතුරුම, මේ රටේ පිළිගත් ඉතිහාසය විය. නමුත් 21 වන ශතවර්ෂය ආරම්භයත් සමඟ මෙයට ප්‍රතිවිරුද්ධ මත පැණ නඟින්නට වන. විජය රජු වැනි ‘සල්ලාල සෙල්ලක්කාරයෙක්ගෙන්’ (ඔහුගේ පියා, සිංහබාහු රජ විසින්, විජයට 700 පිරිවරදී , නැවක නංවා, රටින් නෙරපා හරින ලදී) සිංහලයා පැවතෙන්නේය යන්න නොපිළිගත යුතු යයි ඇතැම් සංඝයාවහන්සේලා පවා කීමට ඉදිරිපත් වුහ. අප රාවණා ගෙන් පැවතෙන්නන් යයි පැවසීම වඩා උචිත බව බොහෝ දෙනා සිතීමට පටන් ගතී.

නැවතත්, රටක ඉතිහාසය අපට වුවමනා ආකාරයට වෙනස් කර ගත හැකි දෙයක් නොවේ. නවීන සුදු ඕස්ත්‍රේලියාව බිහි කිරීමට පුරෝගාමී වුයේ මහා බ්‍රිතාන්‍යයෙන් එම රටට එවන ලද සිරකරුවෝය – 1788  පමණ සිට. සිඩිනි, මෙල්බර්න්, බ්‍රිස්බන් නගර බිහි කලේ මේ අයයි. ඔවුන් පැමිණීමෙන් වසර 50 ට පමණ පසුවය සිරකරුවන් නොවන බ්‍රිතාන්‍යයන් ඕස්ත්‍රේලියාවට එවනු ලැබුවේ. නමුත්, තම රට ගොඩ නැගු මුතුන් මිත්තෝ බ්‍රිතාන්‍යයෙන් එවන ලද සිරකරුවන් බව සුදු ඕස්ත්‍රේලියානුවෝ අදත් සතුටින් පිළිගනිත්. සත්‍ය වසන් කිරීමට ඔවුනට නුවමනාය.

වර්ෂ 2000න් පසු කාලය වන විට රාවණා යනුවෙන් රජෙක් ශ්‍රී ලංකාවේ සිටියේය යන ඉන්දියාවේ රාමායණය යන ප්‍රභාන්ධනාත්මක ග්‍රන්ථයේ ඇති කථාව (fiction) සත්‍යයක් වශයෙන් පිළිගත යුතු බවට ශ්‍රී ලංකාවේ මතයක් ගොඩ නැඟූණි. ඉතා බලවත් රටක් බවට පත්වෙමින් තිබෙන ඉන්දියාවේ ඇති රාවණා, රාමා, සීතා පිලිබඳව  වූ පිළිගැනීම මෙයට සාධකයක් විය. ඇතැම් ප්‍රධාන පෙලේ සංඝයාවහන්සේලාද මේ කථාවට උඩ ගෙඩි දුණි.

බොහෝ ප්‍රධාන පෙලේ පෞද්ගලික රුපවාහිනී නාලිකා (මේවා සමහරක් රහසිගත ද්‍රවිඩ බෙදුම්වාදී ආකල්ප ඇති ඒවාය) විවිධ වැඩසටහන් තුලින් රාවණා සත්‍ය බව පෙන්වමින් සිංහල ජනමතය වෙනස් කර තිබුණි. අද රාවණා ගැන වැඩි කථාවක් නැත්තේ රාවණා යනු දෙමළ රජෙක් ලෙසට ඉන්දියාව සහ ජාත්‍යාන්තරය තදින් පිළිගෙන තිබෙන  නිසාය.

විකිපීඩියා අනුව ශිව දෙවියන්ගේ භක්තිවන්තම දායකයා රාවණාය. තවද එම වෙබ් අඩවිය පවසන්නේ  රාවණා විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් බවයි. මෙරට ද්‍රවිඩයන් කියන්නේද රාවණා ඔවුන්ගේ කෙනෙක් බවයි. ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරන්, නාගධීපයේ හින්දු  කෝවිලේ උග්‍ර ලෙස රාවණා ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක වේ.

රාවණා මිත්‍යාව ජනතාවට අවබෝධ වන මේ අවධියේ ඔවුන් තමන් රාවණාගෙන් පැවැතෙන්නන්ය යන සංකල්පයෙන් ඈත් වෙමින් සිටිත්. මෙය හොඳ දෙයකි.

ඉතා පැහැදිලි සහ අව්‍යාකුල වූ ශ්‍රී ලාංකේය ඉතිහාසය (මහාවංශය) බොරු බවත්, ඉතා නිරවුල් වූ අපේ ඉතිහාසය ඉතා ව්‍යාකුල, පටලැලි සහිත බවත් පෙන්වීමටත්  ඇතැම් රුපවාහිනි සහ සමාජ මාධ්‍ය නාලිකා (යු ටියුබ්) දැඩි සටනක් දෙමින් සිටී.

මෙකී මහාචාර්යවරයා කරන්නේ ද එවැනි දෙයකි.  ඔහු මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ඇත.

මහාවංශය අනුව ද්‍රවිඩ ඊලාමක් ගැන කථා කිරීමට බෙදුම්වාදීන්ට කිසිදු හැකියාවක් නොලැබේ. ප්‍රභාකරන්,  ඇන්ටන් බාලසිංහම් මහාවංශය බොරුයයි කියා කීවේ එහෙයිනි. මහාවංශය බොරු බව පෙන්වීමට LTTEය හැකි සෑම දෙයම කළේය.

අද, විග්නේශ්වරන් සහ සමහර TNA මන්ත්‍රීන් සහ ඔවුනට හිතෛය්ෂී ඉතිහාසඥයන් තර්ක කරන්නේ රාවණා දෙමළ නිසා එවක (මිට වසර 4,000ට පෙර) මෙරට සිටි ජනතාවද දෙමළ බවයි. කුවේණි දෙමළ හෝ අඩු තරමින් දෙමළ මුසු බව ඔවුන් කියන්නේ එහෙයිනි. ඔවුනට අනුව හෙළයන්ද (වැද්දන්ද) ද්‍රවිඩයන්ය. (තමනට කිසිදු දෙමළ සම්භවයක් නැති බව  අපේ වැදි ආදිවාසීහු තරයේ කියා සිටිති. ඔවුන් කියන්නේ ඔවුන් ‘හෙළයන්’ බවත්, විජයාගමනයෙන් ඔවුන්ගේ වැඩිතරය සිංහලයන් සමඟ මුසුවූ බවත්ය. සිංහ + ලේ = සිංහලේ).

සිංහලයින් බිහිවීමට පෙර (විජයාගමනයට පෙර) මුළු රටම දෙමළ වූ බව අන්තවාදී ද්‍රවිඩයෝ කියති. රාවණා ඔවුනට තිබෙන ප්‍රධානතම තුරුම්පුවකි.

නිවැරදි නම විය යුත්තේ දේවානම් ‘පියතිස්සම්’ යයි විග්නේස්වාරන් කියයි.

සීගිරිය ගොඩ නැගුවේ කාශ්‍යප නොව රාවණා බව බෙදුම්වාදීන් කියති. ඇතැම් සිංහලයෝද දැන් මේ බව පවසත්. 

රාවණා රජු සත්‍යයක් නම්, සිංහලයාට වඩා වැඩි අයිතියක් ද්‍රවිඩයනට ශ්‍රී ලංකාව පිළිබඳව ඇතැයි යන ඉල්ලුමක් ද්‍රවිඩයනට කල හැක. ද්‍රවිඩයන් සිංහලුන්ට කලින් මේ රටේ වාසය කළේය යන මතය මුල්බැස ගතහොත් ද්‍රවිඩයනට යම් දවසක  ජාත්‍යාන්තර නිතිය අනුව (Customary International Law) උතුරු නැගෙනහිර පමණක් නොව මුළු ශ්‍රී ලංකාවේම අයිතිය උදෙසා ඉල්ලීමක් කල හැකි වනු ඇත. මේ පදනම මත – එනම්, හුදු ජාත්‍යාන්තරමය   පිළිගැනිම මත, ලොව නව රටවල් බොහෝ ගණනක් බිහිවී තිබේ (කොසවෝ, දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝර් වැනි).

අදද TNA සහ වෙනත් බෙදුම්වාදීන් මහා වංශය බොරු බව පෙන්වීමට තැත් කරති. රටේ ඇතැම් ප්‍රසිද්ධ පෞද්ගලික රුපවාහිනි නාලිකා මේ මතය සිංහල ජනතාවට කාවැද්දීමට විශාල ලෙස මුදල් වියදම් කර, රාවණා ප්‍රවර්ධන වැඩ සටහන් ඉදිරිපත් කල බව නොරහසකි. ඉදිරියටත් ඔවුන් මේ දෙය කරනු ඇත.

ඉදිරියේදී  බෙදුම්වාදීන් ජාත්‍යාන්තරය හමුවේ උතුරු නැගෙනහිරට වෙනම රාජ්‍යයක් අනිවාර්යයෙන්ම ඉල්ලනු ඇත. සුමන්තිරන්, ශානක්‍යන්, විග්නේස්වරන් වැන්නන් මෙහි පෙරමුණ ගනු ඇත (හොර රහසේ).

දැනුදු TNA මන්ත්‍රීන් ශ්‍රී ලංකාව තුල එකක් කියා ජෙනිවා සහ බටහිරට ගොස් තව එකක් කියති. පළාත් සභා මැතිවරණය පැවැත්වන තෙක් විග්නේශ්වරන් සහ TNA වැන්නන් කල් මරමින් සිටිත්.

වසර 2,500 ක් පැරණි  අභිමානවත්, ප්‍රෞඩ සිංහල බෞද්ධ ශිෂ්ටාරයට, සිංහල උරුමයට/සාර ධර්මයනට  පහර ගැසිමට සහ කිසිදා නොතිබුණු ස්ථිරසාර දෙමළ අධිරාජ්‍යයක් මෙරට තිබුනාය කියා පෙන්වීමට බෙදුම්වාදීන්  රාවණා සහ වෙනත් නොයෙක් සංකල්පය යොදා ගනිත්.

සිංහලයන්ද මේ උගුල් වලට ඉතා පහසුවෙන් අසුවීමයි කණගාටුවට කරුණ වනුයේ.

මතු සම්බන්ධයි…..

මෙම ලියුම්කරු ජාත්‍යාන්තර නිතීඥවරයෙකි. ඔහු ඉතිහාසය/සමාජ විද්‍යාව පිලිබඳව ද උසස් ගණයේ උපාධිධරයෙකි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress